වෘත්තිය සමිති අද (05) තීරණාත්මක සාකච්ඡාවක

වෘත්තිය සමිති අද (05) තීරණාත්මක සාකච්ඡාවක

*********************************************

වෘත්තිය සමිති අද (05) තීරණාත්මක සාකච්ඡාවක

(05.11.2021 – 13:17 +0530 – hirunews.lk/sinhala)

යුගදනවි බලාගාරයේ රජය සතු කොටස් ඇමරිකානු සමාගමකට පවරා දීමේ ගිවිසුමට එරෙහි ඉදිරි ක්‍රියාමාර්ග වලට සෙසු වෘත්තීය සමිතිවල සහය ලබා ගැනීමේ විශේෂ සාකච්ඡාවක් අද (05) පස්වරුවේ කොළඹ දී පවත්වන බව ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල්, වරාය හා විදුලි ඒකාබද්ධ සන්ධානය ප්‍රකාශ කළා.

එහි නියෝජිත, ලං.වී.ම. ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අදාළ වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කර කඩිනම් ක්‍රියාමාර්ගවලට එළඹීමට නියමිත බවයි.

කෙසේ වෙතත් යුගදනවි ගිවිසුම අත්සන් කළේ එහි මූලික කරුණු සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනෑන්ඩෝ පසුගිය දා ප්‍රකාශ කර තිබුණා.

******************************************

ජලාශ 30 ක ධාරිතාව 80% ඉක්මවයි

(05.11.2021 – 11:16 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි සතියේදීත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සන්ධ්‍යා කාලයේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 ඉක්ම වූ තද වැසි අද (05) දිනයේදීත් ඇතිවිය හැකි බවයි එහි අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂිකා ශිරෝමනී ජයවර්ධන මහත්මිය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ අතර, වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ජලාශ 73 න් 30 කට වැඩි ප්‍රමාණයක ජල ධාරිතාව මේ වනවිට 80% මට්ටම ඉක්මවා ගොස් තිබෙනවා.

පවතින වැසි තත්ත්වය ඉදිරියටත් පැවතිය හොත් තවත් ජලාශ වාන් දැමිය හැකි බැවින් ජලාශ සහ ඇල මාර්ග භාවිත කිරීමේදී විමසිලිමත් වන ලෙසයි එම දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී. අබේසිරිවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

නිරිත දිග මෝසම පවතින මෙම අවස්ථාවේ වැසි ජලය උපයෝගී කරගනිමින් වගා කටයුතු සිදුකරන්නේ නම් ජලාශවල ජලය ඉදිරි යල කන්නය සඳහා ඉතිරි කර ගැනීමේ හැකියාව පවතින බවද ඔහු පෙන්වා දුන්නා.

******************************************

කතරගම දේවාලයේ නැතිවූ බව කියූ රන් තැටිය හමු වෙයි

(05.11.2021 – 11:18 +0530 – hirunews.lk/sinhala)

අස්ථානගත වී යළි රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේවරයාට භාරදුන් තැටිය රජයේ රස පරීක්ෂකවරයාට යොමු කිරීමට කොළඹ අපරාධ කොට්ඨාසය සූදානම් වනවා.

බැතිමතෙකු විසින් පවුම් 38 ක් පමණ බරැති රන් තැටියක් දේවාලය වෙත පූජා කර තිබූ අතර, එය, අතුරුදන්ව ඇති බවට රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර වෙත පුද්ගලයෙකු දැනුම්දී තිබුණේ සමාජ මාධ්‍ය ඔස්සේ පණිවුඩයක් යොමු කරමින්.

ඉන් අනතුරුව බස්නායක නිලමේවරයා විසින් පොලිස්පතිවරයා වෙත මේ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබූ අතර, ඉන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසය හරහා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

කෙසේ වෙතත් පසුගිය 28 වැනි දා අදාළ රන් තැටිය බව පවසමින්, දේවාලයේ ගබඩා භාරකරුගේ සහෝදරයෙකු බව කියන පුද්ගලයෙකු විසින් නැවතත් එය, දේවාලයට භාරදුන් බවයි රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර සඳහන් කළේ.

අදාළ පුද්ගලයා එය භාර දී තිබුණේ එම දේවාලයේ ප්‍රධාන කපු මහතා ලෙස කටයුතු කරන සොමිපාල ටී. රත්නායකගේ නිවසේ තිබූ බවට සඳහන් කරමින්.

පසුගිය 2019 වසරේදී අදාළ රන් තැටිය රුහුණු කතරගම මහා දේවාලයට ප්‍රදානය කර ඇති බවටයි වාර්තාවන්නේ.

එමෙන්ම එම ප්‍රදානය සිදු කළ බව කියන මාසයේ දේවාලයේ කපු මහතා ලෙස කටයුතු කර ඇත්තේ සොමිපාල ටී. රත්නායක බව සඳහන්.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තමන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සොමිපාල ටී. රත්නායක කියා සිටියා.

විහාර දේවාලගම් පනතට අනුව මෙවැනි ප්‍රදානයක් සිදු කිරීමේදී ඒ පිළිබඳව තොරතුරු භාණ්ඩ ලේඛනයට ඇතුළත් කිරීම අනිවාර්ය බව රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර කියා සිටියා.

කෙසේ නමුත් එම රන් තැටිය දේවාලයට පූජා කළ දායකයා පිළිබඳව කිසිදු තොරතුරක් මේ දක්වා සොයාගැනීමට නොහැකි බව කොළඹ අපරාධ කොට්ඨාශය ප්‍රකාශ කළා.

එමෙන්ම අදාළ රන් තැටිය සම්බන්ධයෙන් දේවාලයේ භාණ්ඩ ලේඛනයට ඇතුළත් කර නොමැති බවයි මෙතෙක් සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

කෙසේ වෙතත් කොළඹ අපරාධ කොට්ඨාසයේ උසස් නිලධාරියෙකු කියා සිටියේ යළි භාරදුන් තැටිය අදාළ රන් තැටියමද යන්න සහ එහි බර සහ රත්‍රං සම්බන්ධයෙන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හරහා විමර්ශනයක් සිදු කරන බවයි.

******************************************

දිවිනැගුම ලිත් නඩුව ඉදිරියට පවත්වාගෙන යාම ගැන නීතිපති ස්ථාවරය 11 වැනි දා

(05.11.2021 – 12:16 +0530 – hirunews.lk/sinhala)

2015 ජනාධිපතිවරණ සමයේ දිවි නැගුම අරමුදලෙන් රුපියල් මිලියන 200 ක් වැය කරමින් ලිත් මිලියන 5 ක් මුද්‍රණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය බැසිල් රාජපක්ෂට සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවකට කොළඹ මහාධිකරණය හමුවේ අද (05) අධිචෝදනා පත්‍ර කියවා දෙනු ලැබුවා.

අද (05) දිනයේදී නඩුවට අදාළව සාක්ෂි ලබාගත් අතර, එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරයා මහාධිකරණයට දැනුම් දුන්නේ ඉදිරිපත්ව ඇති සාක්ෂි නීතිපතිවරයාට දැනුම් දීමෙන් අනතුරුව නඩුව ඉදිරියට පවත්වාගෙන යන්නේද සම්බන්ධයෙන් වන ස්ථාවරය මේ මස 11 වැනි දා මහාධිකරණයට දැනුම් දෙන බවයි.

කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත ඉදිරියේ අද (05) මෙම නඩුව කැඳවනු ලැබුවා ෴

******************************************

මෙවර මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර බෙදාදීම ඇරඹෙයි

(05.11.2021 – 13:01 +0530 – hirunews.lk/sinhala)

මෙවර මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර බෙදාදීම ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඇතැම් ප්‍රදේශවල ගොවීන් පවසන්නේ තමන්ට අවශ්‍ය පොහොර මෙතෙක් නොලැබුණු බවටයි.

මේ අතර, බෙන්තොට – මිරිස්වත්ත ප්‍රදේශයේ දී පොහොර ගැටලු‍ව සහ ඉහළ යන බඩුමිලට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගය ඊයේ (04) විරෝධතාවක් ද සංවිධාන කර තිබුණා.

මේ අතර ගිරිතලේ ව්‍යාපාරය යටතේ වගා කරන ගොවීන්ට මෙවර මහ කන්නය සඳහා ගිරිතලේ ජලාශයෙන් ජලය නිකුත් නොකරන ලෙස ගොවීන් ඉල්ලීමක් කර තිබෙනවා.

කෙසේ වෙතත් දෙසැම්බර් 24 වැනිදා ජලය නිකුත් කරන ලෙසට ගොවීන් යෝජනා කළ අතර, පොළොන්නරුව දිසාපතිවරයා ඊට එකඟනොවීමෙ හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

පරාක්‍රම සමුද්‍රයෙන් ද මෙවර මහ කන්නයට අවශ්‍ය ජලය නිකුත් කිරීම අද (05) ආරම්භ කෙරුණා.

එසේම කවුඩුලු‍ ජලාශයෙන් ද මහ කන්නයට අවශ්‍ය ජලය නිකුත් කිරීම සිදු වුණේ ගොවි නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ෴

******************************************

බෙන්තොට පාරාදීස දූපතේ වැටකෙයියා ශාඛ විනාශයක්

(05.11.2021 – 13:24 +0530 – hirunews.lk/sinhala)

බෙන්තොට – පාරාදීස දූපත ආශ්‍රිත වෙරළ තීරයේ නව කාණු පද්ධතියක් කැපීම සඳහා වෙරළ තීරයේ ඇති වැටකෙයියා ශාක රැසකට හානි කරමින් විශාල පරිසර හානියක් සිදු කරන බවට ප්‍රදේශයේ සංචාරක මාර්ගෝපදේශකයන් චෝදනා කරනවා.

මෙම වෙරළ තීරයේ කිලෝ මීටර් 1.5 පමණ දුර විහිදෙන අතර, පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමක් ව්‍යාපෘතිය සිදු කරන බව සඳහන්.

සංචාරක මාර්ගෝපදේශකයන් පවසන්නේ සුනාමි ව්‍යසනය සිදු වූ අවස්ථාවේදී පවා මෙම වැටෙකයියා ශාකවලින් ආවරණය වී තිබූ ප්‍රදේශය ආරක්ෂා වූ බවයි.

මේ අතර, මුතුරාජවෙල වගුරු බිමෙහි ඉඩම් කොටස් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීම සදහා නිකුත් කර ඇති බව කියන ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලමින් කඳාන නගරයේදී මුහුදුබඩ බිම් තීරය සුරැකීමේ සංවිධානය අද (05) විරෝධතාවක නිරත වුණා.

එසේම, ඊට එරෙහිව සුරකිමු මුතුරාජවෙල සංවිධානය අද (05) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ද භාර දී තිබෙනවා ෴

******************************************

ගුවන් සේවා රැසක් යළි ශ්‍රී ලංකාවට ගමන් අරඹයි

(05.11.2021 – 13:38 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය නිසා 2019 වසරේ අත්හිටුවීමෙන් පසු ස්විට්සර්ලන්තයේ සූරිච් ගුවන් තොටුපොළේ සිට පළමුවරට මගී ගුවන් යානයක් අද (05) පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණියා.

ස්විස් ජාත්‍යන්තර ගුවන් සේවාවට අනුබද්ධ ‘ඒඩ්ල්වයිස්’ ගුවන් සේවයට අයත් ඩබ්ලිව්.කේ. 64 දරණ මෙම යානයෙන් විදේශිකයන් 96 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.

මේ අතර දශක තුනකට (3) පමණ පසු ප්‍රංශ ජාතික ගුවන් සේවයේ ‘එයාර් ෆ්‍රාන්ස්’, ශ්‍රී ලංකාව වෙත ඍජු ගුවන් ගමන් අද (05) යළි ආරම්භ කරනවා.

එමගින් ශීත ඍතුවේ යුරෝපීය සංචාරකයන් ඉලක්ක කරගත් සතිපතා ගුවන් ගමන් තුනක් (3) කොළඹ සහ පැරිසිය අතර ක්‍රියාත්මක කරනු ඇති.

එයාර් ෆ්‍රාන්ස් – කේ.එල්.එම්. ගුවන් සේවාවේ ඉන්දීය උප මහද්වීප කලාප සාමාන්‍යාධිකාරී ජොන් නොවෙල් කෝල්ට් ප්‍රකාශ කළේ ලබන වසර වනවිට ලොව පුරා ගුවන් මගීන් සංඛ්‍යාව කොරෝනා වසංගතයට පෙර පැවති මට්ටමින් සියයට 80 ත් 90 ත් අතර සීමාවකට පැමිණෙනු ඇති බවයි ෴

වසර 30 කට පසුව යළිත් ප්‍රංශ ගුවන් සේවය ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සම්බන්ධතා ආරම්භ කරමින් එම ගුවන් සේවයේ පළමු මංගල ගුවන් යානය අද (05) පස්වරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියා.

ප්‍රංශ ගුවන් සේවයේ ඒ.එෆ්. 268 දරණ එම ගුවන් යානය ප්‍රංශයේ පැරිස් නුවර සිට මාලදිවයින හරහා 05 දින සවස 02:15 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා වුණා.

මෙම ගුවන් යානයෙන් ගුවන් මගීන් 65 දෙනෙකු පැමිණි අතර, අද (05) දින සිට ප්‍රංශ ගුවන් සේවයේ ගුවන් යානා සතියකට තෙවතාවක් (3) ප්‍රංශයේ පැරිස් නුවර හා ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපළ අතර, ගමන් වාර ඇරඹෙනු ඇති.

ඉරිදා, අගහරුවාදා සහ සිකුරාදා පෙරවරු 11:10 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ප්‍රංශ ගුවන් සේවයේ මෙම ගුවන් යානා යළිත් පස්වරු 12:40 ට කටුනායක සිට පැරිස් නුවර බලා පිටත්ව යනු ඇති.

එමෙන්ම ශ්‍රී ලන්කන් ගුවන් සේවය ද සතියකට දින 03 ක් ප්‍රංශයේ පැරිස් නුවර වෙත තම ගුවන් යානා මෙහෙයුම් සිදු කරන අතර, ඒ අනුව කටුනායක ගුවන් තොටුපළ සිට ප්‍රංශයේ පැරිස් නුවර වෙත සතියකට ඍජු ගුවන් ගමන් වාර 06 ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

මෙම පළමු මංගල ගුවන් යානයෙන් පැමිණි ගුවන් මගීන් පිරිස පිළිගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ උත්සවයක් පැවති අතර, ඒ සදහා සිවිල් ගුවන් සේවා සහ අපනයන කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා ඇතුළු ගුවන් තොටුපළ නිලධාරීන් පිරිසක් එක්ව සිටියා ෴

******************************************

පාරිභෝගිකයන්ට නීති දැමීමේ කිසිම අයිතියක් නෑ- ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා

(05.11.2021 – 14:18 +0530 – hirunews.lk/sinhala)

භාණ්ඩ මිලදී ගැනීම සඳහා පැමිණෙන පාරිභෝගිකයින් හට කොන්දේසි දැමීමට කිසිසේත් හැකියාවක් නොමැති බව අධිකරණ අමාත්‍යාංශයේ උපදේශක ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, එවන් අවස්ථාවක් උද්ගත වුවහොත් පාරිභෝගික අධිකාරියට පැමිණිලි කිරීමේ හැකියාවක් පවතින බවයි.

******************************************

වැලිසර අනතු‍රේ පිය පුතු දෙපළ 19 තෙක් රිමාන්ඩ්

(05.11.2021 – 14:26 +0530 – hirunews.lk/sinhala)

පුද්ගලයෙකුට මරු කැඳවමින් තවත් සිව් (4) දෙනෙකුට තුවාල සිදුකරමින් වැලිසර මහබාගේ ප්‍රදේශයේ සිදුවූ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෝටර් රථය පැදවූ 16 හැවිරිදි ළමයා සහ මෝටර් රථයේ හිමිකරු වන ඔහුගේ පියා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔවුන් අද (05) වත්තල මහේස්ත්‍රාත් හේෂාන් ද මෙල් හමුවට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදීයි.

අනතුරෙන් එක් අයෙකු මියගොස් තවත් තුන් (3) දෙනෙකු තුවාල ලැබුවා.

එසේම, අනතුරෙන් මියගිය පුද්ගලයාගේ දියණිය සහ අනතුරට ලක්ව තුවාල ලැබූ අනෙකුත් පුද්ගලයන්ගේ පවුලේ ඥාතීන් අද (05) මහාබාගේ පොලීසිය ඉදිරිපිටදී වරදකරුවන්ට කඩිනමින් දඩුවම් ලබාදෙන ලෙස ඉල්ලමින් විරෝධයක ද නිරත වුණා.

මේ අතර, අනතුරෙන් තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ 3 දෙනාගෙන් එක් අයෙකු ප්‍රතිකාර ලබා මේ වනවිට රෝහලෙන් පිටව ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ.

******************************************

කාබනික පොහොර බෙදාදීම ඇරඹේ

(05.11.2021 – 14:31 +0530 – hirunews.lk/sinhala)

මෙවර මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර බෙදාදීම ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඇතැම් ප්‍රදේශවල ගොවීන් පවසන්නේ තමන්ට අවශ්‍ය පොහොර මෙතෙක් නොලැබුණු බවටයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *