එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීම ගැන අධ්‍යයනයක්

එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීම ගැන අධ්‍යයනයක්

*********************************************

එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීම ගැන අධ්‍යයනයක්

(05.11.2021 – 07:26 +0530 – hirunews.lk/sinhala)

පොදු ස්ථානවලට පිවිසීමේදී කොරෝනා එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනයක යෙදෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.

මේ අතර, ඊයේ (04) දිනයේ මෙරටින් හඳුනාගත් ආසාදිතයින් 592 ත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,43,385 ක් දක්වා ඉහළ ගියා.

පෙරේදා (03) සිදු වූ කොරෝනා ආසාදිත පුද්ගල මරණ 15 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (04) තහවුරු කළා.

ඒ සමඟ මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 13,806 ක්.

මේ අතර, කැනඩාවේ පොදු ස්ථාන කරා ඇතුළුවීමේදී පූර්ණ එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කර ඇතැයි කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් ප්‍රකාශ කළා.

ඊයේ (04) සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සමඟ පැවති හමුවකදී ඔහු සඳහන් කර ඇත්තේ, එම පියවර ගනු ලැබුවේ වසංගතයෙන් තමන් ආරක්ෂා වන අතරම, අනෙක් පුද්ගලයින්ටද එය පැතිරීම වළක්වා ගැනීමේ අරමුණින් බවයි.

මෙම හමුව සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං ද එක්ව තිබෙනවා.

බූස්ටර් එන්නත මෙරට ජනතාවට ලබාදීම ආරම්භ කිරීම ඉතා සාධනීය පියවරක් බවත්, එය ඉදිරියේදී අනෙකුත් කණ්ඩායම්වලටද ලබාදෙන්නේ නම් වඩා වැදගත් වනු ඇති බවත් එහිදී ප්‍රකාශ කර ඇති බව සඳහන්.

මෙම හමුවේදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, යුරෝපා රටවල් ක්‍රියාත්මක කරන පොදු ස්ථානයන් හි එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීමේ වැඩපිලිවෙළ මෙරට තුළ ද ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනයක නිරතවන බවයි ෴

+++++++++++++++++

දකුණු ආසියාතිකයින්ට කොරෝනා අවදානම ඉහළ බව හෙළි වේ

(05.11.2021 – 07:46 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනයෙන් පෙනහලු අක්‍රිය වී මරණයට පත්වීමේ අවදානම දෙගුණ (x2) කරන ජානයක් සොයාගැනීමට බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් සමත් වී තිබෙනවා.

නව අනුක තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය යොදාගනිමින් වෙන් කරගනු ලැබූ මෙම ජානය ‘එල්.ඉසෙඩ්.ටී.එෆ්.එල්-1’ ලෙසයි හඳුන්වා ඇත්තේ.

මෙම ජානය දකුණු ආසියානු පසුබිමක් සහිත පුද්ගලයන්ගෙන් සියයට 60 ක් තුළ පවතින බව අනාවරණ වී ඇති අතර, යුරෝපීය සම්භවය සහිත පුද්ගලයන්ගෙන් සියයට 15 ක් තුළ දක්නට ලැබෙන බව සඳහන්.

අප්‍රිකානු සහ කැරිබියානු සම්භවයක් සහිත පුද්ගලයන්ගෙන් සියයට දෙකක් (2%) තුළ සහ නැගෙනහිර ආසියානු සම්භවයක් සහිත පුද්ගලයන්ගෙන් සියයට 1.8 ක් තුළ මෙම ජානය හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව දකුණු ආසියාතිකයන්ට කොරෝනා අවදානම වැඩි වශයෙන් බලපෑමේ හේතුව අනාවරණ වන බවයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.

ඔක්ස්ෆඩ් සරසවියේ පර්යේෂණ කණ්ඩායමේ මහාචාර්ය ජේම්ස් ඩේවිස් පෙන්වා දෙන්නේ කොරෝනා වසංගතයෙන් ඇතැම් ජන ප්‍රජාවන් වැඩි අවදානමකට ලක්වීම වටහාගත යුතු කරුණක් බවයි.

මෙම ජානය මගින් කොරෝනා වයිරසය පෙනහලුවලට ආසාදනය වීම පහසු කරන්නේ එය වැළැක්වීමේ යාන්ත්‍රණය අක්‍රිය කිරීමෙන්.

එහෙත් එමඟින් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපෑමක් ඇති කරන්නේ නැහැ.

මේ නිසා එන්නත්කරණය තුළින් තවදුරටත් මෙම අවදානම වළක්වාගත හැකි බවයි ඔක්ස්ෆඩ් විද්‍යාඥයින් අවධාරණය කළේ ෴

++++++++++++++++++++

වසර දෙකකට (2) පසු ස්විට්සර්ලන්තයේ සිට මගී ගුවන් යානයක් දිවයිනට

(05.11.2021 – 08:55 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය නිසා 2019 වසරේ අත්හිටුවීමෙන් පසු ස්විට්සර්ලන්තයේ සූරිච් ගුවන් තොටුපොළේ සිට පළමුවරට මගී ගුවන් යානයක් අද (05) පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණියා.

පෙරවරු 07:30 ට ගුවන් තොටුපොළට ළඟා වූ ස්විස් ජාත්‍යන්තර ගුවන් සේවාවට අනුබද්ධ ‘ඒඩ්ල්වයිස්’ ගුවන් සේවයට අයත් ඩබ්ලිව්.කේ. 64 දරණ මෙම යානයෙන් විදේශිකයන් 96 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.

දිවයිනට පැමිණි ස්විස් ගුවන් යානය ජල ආචාර මධ්‍යයේ පිළිගනු ලැබූ අතර, එහි පැමිණි විදේශිකයින් පිළිගැනීම සඳහා ස්විට්සර්ලන්ත තානාපතිවරයා ද ගුවන් තොටුපොළට පැමිණ සිටි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ ෴

+++++++++++++++++

මුඛයෙන් ලබාදෙන ‘මොනුපිරවියා’ කොරෝනා ඖෂධය පිළිබඳව ශ්‍රී ලංකාවේ අවධානය

(05.11.2021 – 10:04 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනයෙන් රෝහල් ගත වීම සහ මරණයට පත්වීමේ අවදානම අවම කරන බවට තහවුරු වී ඇති ‘මොනුපිරවියා’ නමැති ඖෂධය ශ්‍රී ලංකාව විසින් ලබා ගත යුතු ද යන්න පිළිබඳව ඖෂධ නිෂ්පාදන සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙතින් විමසා තිබෙනවා.

ඔහු වෙත ලිපියක් යොමුකරමින් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, මුඛයෙන් ලබාදෙන මෙම වයිරස් නාශක ඖෂධය මගින් කොරෝනා ආසාදිතයින් රෝහල්ගත කිරිම සහ මරණයට පත්වීම දළ වශයෙන් සියයට 50 කින් වළක්වන්නේ යැයි ‘මර්ක්’ ඖෂධ සමාගම ප්‍රකාශයට පත් කර ඇති බවයි.

මේ නිසා අදාළ ඖෂධය රටවල් රැසක් විසින් නිර්දේශ කරමින් ඇණවුම් කර ඇති බවත්, අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

‘මොනුපිරවියා’ ඖෂධය ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය කළමනාකරණය කිරීම සඳහා යොදා ගත හැකි ආකාරය පිළිබඳව කොරෝනා විද්වත් කමිටු මතය තමන් වෙත දන්වා එවන ලෙසයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දැනුම් දී ඇත්තේ.

එමෙන්ම, මෙම නව ඖෂධය ලබා ගැනීමේ අවශ්‍යතාවක් පවතී නම්, ඒ සඳහා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් ලබාදෙන ලෙස ද එම ලිපියෙන් ඉල්ලා තිබෙනවා ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය ගමන්වාර ලබන 08 වැනිදා සඳුදා සිට

(05.11.2021 – 07:33 +0530 – hirunews.lk/sinhala)

නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය ගමන්වාර ලබන 08 වැනිදා සඳුදා සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ, රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය සහ සාමාන්‍ය කාලසටහන් වල රාත්‍රී 7 න් පසුව දුම්රිය ධාවනය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඉදිරියේදී තීරණයකට එළඹෙන බවයි.

කොරෝනා ව්‍යාප්තිය පාලනය යටතේ තිබූ අන්තර් පළාත් සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ඉකුත් පළමු වැනි දා (01) සිට අන්තර් පළාත් කාර්යාල දුම්රිය පමණක් ආරම්භ කෙරුණා.

කෙසේ වෙතත් මේ වන තෙක් රාත්‍රී 7 න් පසුව දුරගමන් සේවා දුම්රිය මෙන්ම කෙටි දුර ධාවන දුම්රිය ගමන් වාරද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන්නේ නැහැ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දැනට ක්‍රියාත්මක ක්‍රමවේදයට අනුව රාත්‍රී 7 න් පසුව මගී අවශ්‍යතාවය මත පමණක් දුම්රිය යෙදවීමට කටයුතු කෙරෙන බවයි ෴

******************************************

වටවල දී මනුෂ්‍ය ඝාතනයක්

(05.11.2021 – 06:54 +0530 – hirunews.lk/sinhala)

වටවල පොලිස් වසමේ මවුන්ජින් වත්ත ප්‍රදේශයේ දෙපාර්ශවයක් අතර පැවති පැරණි ආවුලක් දුරදිග ගොස්, බහින්බස් වීමක් ඇති වී තිබෙනවා.

එය සමථයකට පත් වූ නමුත්, නැවත සන්ධ්‍යා කාලයේ දී එක් පුද්ගලයෙකු බීමතින් පැමිණ යළි ආරවුලක් ඇති කරගෙන ඇති අතර, අදාළ පුදගලයා විසින් කාන්තාවකට පොල්ලකින් පහර දී ඇති බවයි වාර්තා වෙන්නේ.

පහර කෑ කාන්තාව වටවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබුණා.

මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 55 ක මවුන්ජින් වත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මෘත ශරීරය වටවල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ වයස අවුරුදු 27 ක මවුන්ජින් වත්තේ පදිංචිකරුවෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර, වටවල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන පැවැත්වෙනු ඇති ෴

******************************************

වන අලි ගැටලුවට හණ වගාවෙන් විසඳුම්

(05.11.2021 – 07:37 +0530 – hirunews.lk/sinhala)

වන අලි ගම්වැදීමේ ගැටලුවට විසඳුමක් ලෙස අලි වැට ආරක්ෂා කිරීම සඳහා හණ වගා කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

එම කටයුතු සිදු කරනු ලබන්නේ අලි වැට සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය, වන ජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහවැලි සංවර්ධන අධිකාරිය, සහ වේවැල් – පිත්තල – මැටි – ලී බඩු හා ග්‍රාමීය කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශයේ මෙහෙයවීමෙන්.

හණ ශාකයට අලින්ගේ භීතිකාවක් පවතින බවට නවතම සොයාගැනීම් වලින් අනාවරණය වීම පදනම් කර ගනිමින් මෙම පියවර ගෙන ඇති බව වනජීවි අමාත්‍යංශය සඳහන් කළා.

ඒ අනුව මේ යටතේ අලිවැට ආශ්‍රිතව හණ වගා කෙරෙන අතර වන අලින් පැමිණ අලි වැට බිඳ දමා ගම්මානවලට ඇතුළු වීමේ තත්ත්වය මෙමගින් වැලකෙනු ඇති.

වේවැල් – පිත්තල – මැටි – ලී බඩු හා ග්‍රාමීය කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ, හණ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන හණ කර්මාන්තය වැඩි දියුණු කිරීමද මෙමගින් සිදු කෙරෙන බවයි ෴

******************************************

සහල්, සිමෙන්ති හිඟය තවත් සතියක්

(05.11.2021 – 07:40 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි සති 02 තුළ සහල් සහ සිමෙන්ති හිඟයට විසදුම් ලැබෙන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, කොළඹදී ඊයේ (04) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එමෙන්ම සතොස මගින් අඩු මිලට අලෙවි කෙරෙන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සීමා සහිතව ලබාදෙන්නේ ඒවා සැබවින්ම අවශ්‍ය පාරිභෝගිකයන්ට ලබා දීමේ අරමුණින් බවද වෙළඳ අමාත්‍යවරයා කියා සිටියා.

මේ අතර, රට පුරා එළවළු මිල ගණන්ද යළිත් ඉහළ ගොස් තිබෙනවා.

ඇතැම් සුපිරි වෙළෙඳසල්වල බෝංචි, කැරට්, ලීක්ස් ඇතුළු එළවළු කිලෝග්‍රෑමයක මිල රුපියල් 200 සිට 300 දක්වා ඉහළ ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

රට පුරා එළවළු සිල්ලර වෙළෙදාමේ නිරත වන්නන් පවසන්නේ විශේෂ ආර්ථික මධ්‍යස්ථානවල සහ කොළඹ එළවළු වෙළෙඳපොළේ එළවළු තොග මිල ඉහළ යෑම නිසා සිල්ලර මිලද ඉහළ ගොස් ඇති බවයි ෴

******************************************

සපුගස්කන්දේ මළසිරුර ගැන පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන

(05.11.2021 – 07:43 +0530 – hirunews.lk/sinhala)

සපුගස්කන්ද – තෙල් පිරිපහදුව අසල මාර්ගයේ කසල ගොඩක තිබූ ගමන් බෑගයක තිබී සොයාගත් කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් මේ වනවිට පොලීසිය අංශ කිහිපයක් ඔස්සේ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව දැනට කාන්තාවන් අතුරුදන් වී ඇති බවට පොලිස් ස්ථාන වෙත ලැබී ඇති පැමිණිලි සහ තොරතුරු ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බවටයි වාර්තා වන්නේ.

පසුගිය දින කිහිපය තුළ බියගම ප්‍රදේශයෙන් කාන්තාවක් අතුරුදන් වී ඇති බවට තොරතුරු ලැබී ඇති අතර, ඒ ඔස්සේ ද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මේ වනතෙක් බෑගයේ තිබී සොයාගත් එම කාන්තාවගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට නොහැකි වී ඇත්තේ මෘත ශරීරය හඳුනාගත නොහැකි වන අන්දමින් නරක් වී තිබීම හේතුවෙන්.

කෙසේ වෙතත්, සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයද මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

අවුරුදු 30 ත් 40 ත් අතර වියේ පසුවන කාන්තාවකගේ සිරුරක් බෑගයක තිබී ඊයේ (04) පස්වරුවේ පොලිසිය සොයාගනු ලැබුවේ ප්‍රදේශවාසීන් එම ස්ථානයෙන් දුගඳක් හමන බවට කළ දැනුම් දීමකට අනුවයි.

සොයාගත් සිරුර අත් පා ගැට ගසා තිබූ බවටද පොලීසිය ප්‍රකාශ කළා.

බෑගය, කොළ පැහැති පැදුරකින් ඔතා එම ස්ථානයට ගෙනවිත් දමා ඇති අතර පොලීසිය දැනට සැක පළ කරන්නේ මීට දින කිහිපයකට පමණ ඉහතදී එය කසල ගොඩට දමා ඇති බවටයි ෴

******************************************

පොලිස් කොස්තාපල්වරයෙකු හෙරොයින් සමඟ අත් අඩංගුවට

(05.11.2021 – 08:57 +0530 – hirunews.lk/sinhala)

තංගල්ල ප්‍රදේශයේ හෝටල් කාමරයක කාන්තාවක් සමඟ හෙරොයින් මත්ද්‍රව්‍ය අසුරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (04) රාත්‍රියේ අත්අඩංගුවට ගත් 32 හැවිරිදි මෙම පොලිස් කොස්තාපල්වරයා අම්බලන්තොට – කොග්ගල්ල ප්‍රදේශයේ පදිංචි හුංගම පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි අයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් කාන්තාව 41 හැවිරිදි ගන්දර – තලල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර, ඇය, මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා සමඟ අනියම් සබඳතාවක් පවත්වා ගෙන යන බවද පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

මොවුන් සතුව තිබී පොලිස් භාරයට ගනු ලැබූ හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 28 යි මිලිග්‍රෑම් 580 ක් ෴

******************************************

අපරික්ෂාකාරී යතුරුපැදියක අධිවේගී කැබ් රියක් ගැටුණු හැටි (CCTV)

(05.11.2021 – 10:09 +0530 – sinhala.adaderana.lk)

වාද්දුව, මොල්ලිගොඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල අසල දී යතුරුපැදියක් හා කැබ් රථයක් ගැටී පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා තිබේ.

පසුගිය දා ඉන්ධන පිරවුම් හලට ඇතුළු කිරීමට මාර්ගය හරහා හැරවීමට උත්සහ ගත් යතුරුපැදිය විරුද්ධ දිශාවෙන් අධික වේගයෙන් පැමිණි කැබ් රථයක ගැටී අනතුර සිදුව ඇත.

අනතුරින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා පානදුර මුලික රෝහලට ඇතුළත් කර තිබේ.

යතුරුපැදිකරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය සහ කැබ් රථය අධික වේගයෙන් ගමන් කිරීම අනතුරට හේතුව බව පොලීසිය සඳහන් කරයි.

අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු අද (05) මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිපත් කිරීමට නියමිතය.

අනතුර සිදුවන අයුරු ඉන්ධන පිරවුම් හලේ සවිකර තිබූ CCTV කැමරාවේ මෙලෙස සටහන්ව තිබුණි.

https://www.youtube.com/watch?v=_jLCoby3CRw

******************************************

සතොස විනාශ කරන ඇමතිගේ පවුල් පාලනය – උදූ, පිටි, සීනි ඔක්කොම හොර පාරේ ගියේ මෙහෙමයි (04.11.2021)

******************************************

අභ්‍යන්තර හා ග්‍රාමීය මාර්ග 1500 ක් විවෘත කෙරෙයි

(05.11.2021 – 10:44 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් ප්‍රධාන මාර්ගවලට හා අධිවේගී මාර්ගවලට තදබදයකින් තොරව පහසුවෙන් පිවිසිය හැකි ආකාරයට සියලු අභ්‍යන්තර, ග්‍රාමීය හා අතුරු මාර්ග කි.මි 1,00,000 ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ, වැඩ අවසන් කළ මාර්ග 1500 ක් ජනාධිපතිගේ සහ අගමැතිගේ ප්‍රධානත්වයෙන් විවෘත වීමට නියමිත ව තිබෙනවා.

ඒ හෙට (06) දින වීරකැටිය මණ්ඩාඩුව ක්‍රීඩාංගණයේ දී.

දිවයිනේ සියලු ම දිස්ත්‍රික් හා මැතිවරණ කොට්ඨාස සියල්ල ආවරණය වන පරිදි මෙම මාර්ග 1500 නිම කර ඇති බවයි වාර්තා වන්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *