පොහොර ලේකම් කාර්යාලයේ සිදුවී ඇති රුපියල් කෝටි 100 කට අධික මූල්‍ය වංචාව

පොහොර ලේකම් කාර්යාලයේ සිදුවී ඇති රුපියල් කෝටි 100 කට අධික මූල්‍ය වංචාව

*********************************************

පොහොර ලේකම් කාර්යාලයේ සිදුවී ඇති රුපියල් කෝටි 100 කට අධික මූල්‍ය වංචාව

(04.11.2021 – 06:28 +0530 – hirunews.lk/sinhala)

මේ අතර, පොහොර සහනාධාරය යටතේ ගොවීන්ට ලබාදීමට පොහොර ලේකම් කාර්යාලයෙන් ආනයනය කළ පොහොර සඳහා ව්‍යාජ රසායනාගාර වාර්තා ඉදිරිපත් කරමින් සිදු කළ බව කියන රුපියල් කෝටි 100 කට අධික මූල්‍ය වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පවතින පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කරනු ලැබූ මෙම වංචාව සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන කොට්ඨාශයට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවේ මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග, ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා විසින්.

පොහොර ලේකම් කාර්යාලය විසින් 2018 සහ 2019 වසර වලදී මෙරටට ආනයනය කරනු ලැබූ යූරියා, මියුරේට් ඔෆ් පොටෑෂ් සහ ට්‍රිපල් සුපර් ෆොස්පේට් යන පොහොර වර්ග සදහා රසායනාගාර වාර්තා ව්‍යාජව සකස් කර මෙම වංචාව කාලාන්තරයක් තිස්සේ සිදු කරමින් තිබූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලේ දැක්වෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති අතර වංචා කර ඇති මුළු මුදල ගණනය කිරීමෙන් පසු අධිකරණයට කරුණු වාර්තා කරන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බී වාර්තාවක් මගින් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

මේ අතර, මෙම වංචාව සම්බන්ධයෙන් අභ්‍යන්තර විගණන පරීක්ෂණයකින් පසු නිලධාරීන් 4 දෙනෙකුගේ සේවය අත්හිටුවා ඇති බව ද වාර්තා වනවා ෴

******************************************

ඉන්දියාවෙන් ආනනයන කළ නැනෝ නයිට්‍රජන් පොහොර තොගය දිවයිනට

(04.11.2021 – 06:28 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව විසින් මිලදී ගත් ඉන්දියාවේ නිෂ්පාදිත නැනෝ නයිට්‍රජන් දියර පොහොර රැගෙන ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකක් (2) අද (04) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

මින් පළමු යානය වූ ඉන්දීය ගුවන් හමුදාවට අයත් අයි.එෆ්.සී. 8 – ඩී – 21 දරණ භාණ්ඩ ප්‍රවාහනය යානයෙන් නැනෝ නයිට්‍රජන් දියර පොහොර කිලෝග්‍රෑම් 44,730 ක් මෙරටට රැගෙන විත් තිබෙනවා.

අනෙක් යානය වන අයි.එෆ්.සී. 8 – ඊ – 21 දරණ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය නැනෝ නයිට්‍රජන් පොහොර කිලෝග්‍රෑම් 44,773 ක් රැගෙන එනු ලැබුවා.

මෙම පොහොර තොගය ලොරි රථ මගින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන යාමට නියමිතයි.

මීට පෙර පසුගිය මස 20 වැනිදා නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂයක් (1,00,000) මෙරටට රැගෙන එනු ලැබුවා ෴

******************************************

අත්‍යවශ්‍ය ආහාර පිළිබඳ ගැසට්ටුවක් නිකුත් කෙරෙයි

(04.11.2021 – 06:57 +0530 – hirunews.lk/sinhala)

ආනයනික සහල් සඳහා මෙතෙක් පනවා තිබූ බදු සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව ආනයනික සහල් කිලෝග්‍රෑමයක් සදහා පැවති රුපියල් 65 ක් වන විශේෂ වෙළද භාණ්ඩ බද්ද ශත 25 ක් දක්වා අඩු කර ඇති බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ.

මෙම සංශෝධනය පෙරේදා (02) සිට ක්‍රියාත්මක වන පරිදි මාස 6 ක කාලයක් සදහා වලංගු වනවා.

මේ අතර, අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක් සදහා පනවා තිබූ උපරිම සිල්ලර මිල සීමා ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පරිප්පු, සීනි, වියළි හාල් මැස්සන්, මුං ඇට, අර්තාපල්, ලොකුලූණු, ටින් මාළු, කඩල, තිරිගු පිටි, යොදය සහිතකිරිපිටි, කරවල, පොල්, කුකුළු මස් සහ බඩ ඉරිගු වල සිල්ලර මිලයි මෙලෙස නව ගැසට් පත්‍රය මගින් ඉවත් කර ඇත්තේ.

මීට පෙර 2017 වසරේ පනවන ලද ගැසට් නිවේදනයකට අනුව මයිසූර් පරිප්පු කිලෝවක් සදහා රුපියල් 159 ක්, ආනයනික වියළි හාල් මැස්සන් කිලෝවක් සදහා රුපියල් 490 ක්, මුං ඇට කිලෝවක් සඳහා රුපියල් 205 ක් සහ අර්තාපල් කිලෝවක් සඳහා රුපියල් 115 ක්, සුදු සීනි කිලෝවක් සඳහා රුපියල් 122 ක්, දුඹුරු සීනි කිලෝවක් සදහා රුපියල් 125 ක් ලෙස මීට පෙර ගැසට් පත්‍ර මගින් උපරිම මිල සීමාවක් නියම කර තිබුණා.

මීට අමතරව කඩල කිලෝග්‍රෑම් එකක් සදහා රුපියල් 260 ක්, වියළි මිරිස් කිලෝග්‍රෑම් එකක් සදහා රුපියල් 385 ක්, කට්ටා කරවල කිලෝග්‍රෑම් එකක් සදහා රුපියල් 1100 ක්, සාලයා කරවල කිලෝග්‍රෑම් එකක් සදහා රුපියල් 425 ක්, සස්ටජන් ග්‍රෑම් 400 යේ පැකට්ටුවක් සදහා 1500 ක් සහ උම්බලකඩ කිලෝග්‍රෑමයක් සදහා රුපියල් 1500 ක් ව පැවති උපරිම මිල සීමාව ද නව ගැසට් පත්‍රය මගින් ඉවත් කර තිබෙනවා.

ඊයේ (03) දින සිට ක්‍රියාත්මක වන පරිදි පාරිභෝගික අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා විසිනුයි මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ.

මේ අතර, සතොසෙන් සහල් සහ සීනි පමණක් මිලදී ගැනීමට අවස්ථාව අද (04) සිට හිමි නොවන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

ඒ අනුව, සහල් සහ සීනි වලට අමතරව, තවත් භාණ්ඩ 05 ක් මිලදී ගත යුතු බවයි ඊයේ (03) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේ.

******************************************

කුලී හෝ බදු නිවැසියන්ට ඡන්ද නාම ලේඛන, දේපළ අයිතිය වෙනුවෙන් ඉදිරිපත් කළ නොහැකි බව, මැතිවරණ කොමිසම කියයි

(04.11.2021 – 07:34 +0530 – hirunews.lk/sinhala)

කුලී නිවැසියන් හෝ බදු නිවැසියන් ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචි කිරීම, දේපල අයිතිය හෝ ස්ථිර පදිංචිය තහවුරු කර ගැනීමේ සාධකයක් නොවන බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරනවා.

එම කොමිසම පවසන්නේ කුලී හෝ බදු නිවැසියන් මෙන්ම, අනවසර පදිංචිකරුවන්ට ද අදාළ සුදුසුකම් සම්පූර්ණ කරන්නේ නම් තමන් පදිංචි ලිපිනයේ ඡන්දහිමියෙකු ලෙස ලියාපදිංචි විය හැකි බවයි.

ඒ සඳහා දේපල හිමිකරුගේ කැමැත්ත හෝ එකඟතාව අවශ්‍ය වන්නේ නැහැ.

කෙසේ වෙතත්, එම ලියාපදිංචි කිරීම පුරවැසියන්ගේ ඡන්ද බලය තහවුරු කිරීම සඳහා පමණක්ම වන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා.

ඒ අනුව, අදාල ලියාපදිංචිය, දේපල අයිතිය හෝ ස්ථිර පදිංචිය තහවුරු කර ගැනීම සඳහා යොදා ගත නොහැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

අදාළ ගැටලු හේතුවෙන් මෙතෙක් ඡන්ද හිමියන් ලෙස ලියාපදිංචි වීමට නො හැකි වූ තැනැත්තන්ට නොවැම්බර් 17 වනදාට පෙර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත අදාළ ඉල්ලීම් ඉදිරිපත් කළ හැකියි.

+ https://elections.gov.lk/

******************************************

යුගදනවි ගිවිසුම ගැන, වෘත්තීය සමිති හෙට (05) තීරණාත්මක සාකච්ඡාවක

(04.11.2021 – 07:53 +0530 – hirunews.lk/sinhala)

යුගදනවි බලාගාරයේ රජය සතු 40% ක කොටස් ඇමෙරිකානු සමාගමකට පවරාදීමේ ගිවිසුම අහෝසි කරන ලෙස ඉල්ලා ක්‍රියාත්මක වෘත්තීය ක්‍රියාමාර්ගය ඉදිරියට ක්‍රියාත්මක කිරීමට, අදාළ වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශවල වෘත්තීය සමිතිවල සහය ලබාගැනීමට හෙට (05) විශේෂ සාකච්ඡාවක්ද කැඳවා ඇති බවයි.

කෙසේ වෙතත්, යුගදනවි ගිවිසුම අත්සන් කළේ එහි මූලික කරුණු සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු ඊයේ (03) ප්‍රකාශ කළේ ෴

******************************************

වැලිගම හෝටලයක ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් (?) 3 දෙනෙකුට තුවාල

(04.11.2021 – 08:21 +0530 – hirunews.lk/sinhala)

වැලිගම – කප්පරතොට – ඇවරියවත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලයක අද (04) උදෑසන ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් (?) 3 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

වැලිගම පොලීසිය සදහන් කළේ, සිද්ධියෙන් තුවාල ලැබූවන් මාතර මහරෝහල වෙත ඇතුළත් කර ඇති බවයි.

මොවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළේ.

වැලිගම හෝටලයේ පිපිරීමට මුල් වූ හේතුව හෙළි වේ

(04.11.2021 – 18:52 +0530 – hirunews.lk/sinhala)

වැලිගම පොලිස් වසමේ කප්පරතොට – ඇවරිවත්ත ප්‍රදේශයේ පිහිටි කුඩා හෝටලයක අද (04) පෙරවරුවේ කිසියම් පිපිරීමක් සිදු වුණා.

එම පිපිරීම් ස්ථානය රජයේ රස පරීක්ෂකවරයා විසින් පරීක්ෂා කර, මූලික පරීක්ෂණය පැවැත්වූ අතර, එතුළින් අනාවරණය වී ඇත්තේ, මෙම පිපිරීමට මූලික හේතුව, ගෑස් කාන්දුවක් බවයි.

එනම්, නිවෙස්වල ආහාර පිසීමට උපයෝගී කර ගන්නා ද්‍රව පෙට්‍රෝලියම් වායුව හෙවත් එල්.පී. ගෑස් කාන්දුවක් ඇතිවීමෙන් මෙම පිපිරීම සිදුව ඇති බවයි මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ.

ඒ අනුව පොලීසිය පවසන්නේ, මෙම සිදුවීම කිසිදු අධි බලැති පුපුරණ ද්‍රව්‍යයක් හෝ වෙනත් කිසියම් දෙයකින් සිදු වූ සිදු වීමක් නොවන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරනවා ෴

******************************************

ජනපති දිවයිනට

(04.11.2021 – 09:28 +0530 – hirunews.lk/sinhala)

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ හි පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ ජගත් සමුළුවට සහභාගි වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (04) පෙරවරුවේ යළි දිවයිනට පැමිණියා.

එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ජනාධිපතිවරයා ඇතුළු පිරිස පෙරවරු 08:30 ට පමණ ශ්‍රී ලංකාවට පැමිණි බවයි හිරු ගුවන් තොටුපළ වාර්තාකරු සදහන් කළේ.

දේශගුණික විපර්යාස පිළිබඳ ජගත් සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපතිවරයා ස්කොට්ලන්තය බලා පිටත්ව ගියේ පසුගිය 30 වන දා යි ෴

******************************************

මහනුවර බලාගිය දුම්රියක් කාර්මික දෝෂයකට ලක් වේ

(04.11.2021 – 09:58 +0530 – hirunews.lk/sinhala)

කොළඹ කොටුවේ සිට මහනුවර බලා අද (04) උදෑසන ධාවනය වෙමින් තිබූ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය අලව්වේදී කාර්මික දෝෂයකට ලක්ව තිබෙනවා.

මේ වන විට දුම්රිය පොල්ගහවෙල දුම්රිය ස්ථානය වෙත රැගෙන යමින් පවතින බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

උදෑසන 7 ට මෙම දුම්රිය කොළඹ කොටුවෙන් පිටත් වූ අතර තිරිංග පද්ධතියේ ඇති වූ ගැටලුවක් මෙම දෝෂයට හේතු වී ඇති බව දුම්රිය පාලක මැදිරිය කියා සිටියා ෴

******************************************

වේලාව වෙන් කර ගැනීමකින් තොරව මෝටර් රථ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමෙන් වළකින ලෙස ඉල්ලීමක්

(04.11.2021 – 11:07 +0530 – hirunews.lk/sinhala)

වේලාව වෙන් කර ගැනීමකින් තොරව මෝටර් රථ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමෙන් වලකින ලෙස මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා ඉල්ලා සිටිනවා.

මෝටර් රථ දෙපාර්තමේන්තුව මගින් දුරකථන අංකයක් හඳුන්වා දී ඇති අතර, එයට ඇමතුමක් ලබා දීමෙන් වේලාවක් වෙන්කර ගත හැකි බවයි ඔහු සඳහන් කරන්නේ.

දැනට කිසිදු තදබදයක් නැති බවත් අද දිනයේ දී ඇමතුමක් දුන් විට හෙට හෝ අනිද්දා දිනයක් වෙන් කරවා ගත හැකි බවත් ඔහු සඳහන් කරන්වා.

එබැවින් කිසිසේත්ම තැරැව්කරුවන්ට හසු නොවන ලෙස ජනරාල්වරයා ප්‍රකාශ කරනවා ෴

******************************************

ඇල්ල – නමුණුකුල මාර්ගය තවදුරටත් වසා දමයි

(04.11.2021 – 11:12 +0530 – hirunews.lk/sinhala)

පවතින අධික වර්ෂාවත් සමග ඇල්ල සිට නමුණුකුල හරහා පස්සර මාර්ගය තවදුරටත් වසා දමා තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියා සිටියේ, ගල් පෙරලීමේ අවදානමක් මත අදාළ මාර්ගය මෙලෙස තාවකාලිකව වසා දමා ඇති බවයි ෴

******************************************

ජංගම දුරකතන කොල්ල කෑ තුන් දෙනෙකු (3) අත්අඩංගුවට

(04.11.2021 – 11:15 +0530 – hirunews.lk/sinhala)

තියුණු ආයුධ පෙන්වා වෙළදසල්වලින් සහ මාර්ගවල ගමන් ගන්නා පුද්ගලයින්ගෙන් මුදල් සහ ජංගම දුරකතන කොල්ල කෑ තුන් දෙනෙකු (3) කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරක් මත සී.සී.ටී.වී. කැමරා නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව සැකකරුවන් හඳුනාගෙන ඊයේ (03) අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් පිංවත්ත සහ වාද්දූව ප්‍රදේශවල පදිංචිකරුවන්.

සැකකරුවන් මෙලෙස කොල්ලකෑම්වල නිරත වී ඇත්තේ හෙරොයින් මිලදී ගැනීම සඳහා බවයි වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ෴

******************************************

අදත් (04) පළාත් කිහිපයකට වැසි

(04.11.2021 – 13:00 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර දිස්ත්‍රික්වලට අද (04) දිනයේත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂිකා ශිරෝමනී ජයවර්ධන මහත්මිය කියා සිටියේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි.

මේ අතර අධික වර්ෂාව හේතුවෙන් උල්හිටිය – රත්කිඳ ජලාශයේ වාන්දොරටු 7 ම ඊයේ (03) විවෘත කළ බව එහි නේවාසික කාර්මික නිලධාරිවරයා ප්‍රකාශ කළා.

එසේම, ඉහළ කොත්මලේ ඇල්ජින් ඔය ඊයේ (03) පස්වරුවේ පිටාර ගැලීමෙන් නිවාස 25 කට ආසන්න සංඛ්‍යාවක් ජලයෙන් යට වී තිබූ බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

නුවරඑළිය කොත්මලේ ගඟ පිටාර ගැලීමෙන් ඒ අවට කම්කරු නිවාස 25 ක් යට වී තිබුණා.

එමෙන්ම, පවතින අධික වර්ෂාවත් සමග ඇල්ල සිට නමුණුකුල හරහා පස්සර මාර්ගය තවදුරටත් වසා දමා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසනවා.

ඔහු කියා සිටියේ ගල් පෙරලීමේ අවදානමක් මත අදාළ මාර්ගය තාවකාලිකව වසා දමා ඇති බවයි.

******************************************

අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරී හිමිගෙන් විශේෂ ප්‍රකාශයක්

(04.11.2021 – 13:03 +0530 – hirunews.lk/sinhala)

දේශපාලනඥයින් තම පැවැත්ම වෙනුවෙන් සෑමදාම පෙනී සිටි බව අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා.

ජාතික හා ආගමික සංහිදියාව සඳහා වන එකමුතුවේ සමාරම්භක අවස්ථාවට ඊයේ (03) එක්වෙමිනුයි උන්වහන්සේ මේ බව කියා සිටියේ.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

එන්නත් දෙකම (2) ගත් 714 ක් කොවිඩ් නිසා මිය ගොස් ඇත

(04.11.2021 – 07:47 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් ඊයේ (03) කොරෝනා ආසාදිතයින් 581 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,42,793 ක් දක්වා ඉහළ ගියා.

ඊයේ (03) හඳුනා ගැණුනු සියළු ආසාදිතයින් අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

ඒ අනුව මෙරට සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 15,122 ක්.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා (02) සිදු වූ බවට ඊයේ (03) තහවුරු කළ මරණ 21 ක් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 13,791 ක් දක්වා ඉහළ ගියා.

මේ අතර, කොළඹ ජාතික රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආශා සමරනායක මහත්මිය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (03) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ කොරෝනා හේතුවෙන් මියගිය පුද්ගලයින් 11,609 දෙනෙකු අතරින් 714 දෙනෙකු එන්නත් මාත්‍රා දෙකම (2) ලබාගත් පුද්ගලයින් බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *