විදුලි වෘත්තීය සමිති වැඩ වර්ජනයේ තීන්දුව හෙට (03)

විදුලි වෘත්තීය සමිති වැඩ වර්ජනයේ තීන්දුව හෙට (03)

*********************************************

විදුලි වෘත්තීය සමිති වැඩ වර්ජනයේ තීන්දුව හෙට (03)

(02.11.2021 – 08:19 +0530 – hirunews.lk/sinhala)

හෙට (03) සහ අනිද්දා (04) රටේ ජනතාවට අඳුරේ සිටීමට සිදුවිය හැකි බවට පසුගිය දා ප්‍රකාශ කළ විදුලි වෘත්තීය සමිති වැඩ වර්ජනයකට යෑම පිළිබඳ තීන්දුව හෙට (03) දැනුම් දෙන බව ප්‍රකාශ කළා.

යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට විකිණීම සම්බන්ධ සිදුවීමට විරුද්ධවයි විදුලි වෘත්තීය සමිති මෙම වැඩ වර්ජනය පිළිබඳ සාකච්ඡාවකට එළඹුණේ ෴

******************************************

ව්‍යාජ ලෙස වාහන අංක තහඩු සකසන ලද ස්ථානයක් වටලයි

(02.11.2021 – 06:16 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ වාහන අංක තහඩු සකසන ලද ස්ථානයක් වටලා එක් (1) සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත කිලිනොච්චිය කනගපුරම් ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

එහි දී ව්‍යාජ ලෙස සකසන ලද ඉදිරිපස අංක තහඩු 15 ක්, පසුපස අංක තහඩු 28 ක් සහ රාජ්‍ය ලාංඡන සහිත ස්ටිකර් 363 ක් ද සොයා ගැනීමට හැකිව තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු 46 හැවිරිදි උදයනගර් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු අද (02) කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

******************************************

මාරක රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට

(02.11.2021 – 06:23 +0530 – hirunews.lk/sinhala)

අයිත්තමලය – වව්නතිව් ප්‍රධාන මාර්ගයේ කුඩාකෝවිල ප්‍රදේශයේදී අයිත්තමලය දෙස සිට වව්නතිව් දෙසට ධාවනය වූ යතුරු පැදියක පැදිකරුට වේගය පාලනය කරගත නොහැකිව ගොස් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී අනතුරක් සිදු වී තිබෙනවා.

අනතුරින් යතුරුපැදිකරු හා පසු පැදිකරු බරපතළ තුවාල ලබා මඩකලපුව රෝහලට ඇතුළත් කිරීමේදී, යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අයිත්තමලය පොලීසිය පවසන්නේ.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 29 හැවිරිදි පෝරතිව්, කලවංචිකුඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, මෘත ශරීරය මඩකලපුව මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අයිත්තමලය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනවා ෴

******************************************

මන්නාරමේ පහත් බිම් රැසක් ජලයෙන් යට වෙයි

(02.11.2021 – 06:28 +0530 – hirunews.lk/sinhala)

පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන්, මන්නාරම දිස්ත්‍රික්කයේ පහත්බිම් රැසක් ජලයෙන් යට වී ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසූවේ, වෙරළබඩ පහත්බිම් රැසක් එලෙස ජලයෙන් යට වී ඇති අතර, ඇතැම් ස්ථානවල නිවාස තුළට ද ජලය ගලාගෙන විත් ඇති බවයි.

මන්නාරම දිස්ත්‍රික්කයේ මාන්තෙයි බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හා මන්නාරම නගර සභා බල ප්‍රදේශයේ පහත්බිම් රැසක් එලෙස ජලයෙන් යට වී ඇති බව ද දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා.

ජල ගැලීම්වලින් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහන සේවාවන් සපයමින් සිටින බවද අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.

******************************************

සතුන්ට බැඳි තුවක්කුවක් පත්තු වී පුද්ගලයෙකු මරුට

(02.11.2021 – 07:08 +0530 – hirunews.lk/sinhala)

තිරප්පන පොලිස් වසමේ උට්ටිමඩුව ප්‍රදේශයේ දී පුද්ගලයෙකු විසින් බඳින ලද තුවක්කුවක් පත්තු වී පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

අදාළ අනතුර සිදුවීමෙන් පසු එම පුද්ගලයා ව පයිරිමඩු රෝහලට ඇතුළත් කර ඇති අතර, එහි දී ඔහු මිය ගිය බවයි වාර්තා වෙන්නේ.

මෙසේ මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 70 ක උට්ටිමඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

කැති මිටක් කපා ගැනීම සඳහා සියඹලා වැව කැලෑ ප්‍රදේශයට ගිය අවස්ථාවේ දී මෙසේ එම පුද්ගලයා අනතුරකට මුහුණ පා තිබෙනවා.

තිරප්පනේ පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවෙනු ඇති ෴

******************************************

සහල්වලට පාලන මිලක් කඩිනමින් පවනවන්නැ යි මධ්‍ය පරිමාණ මෝල් හිමියෝ කියති

(02.11.2021 – 07:59 +0530 – hirunews.lk/sinhala)

සහල්වලට පාලන මිලක් පැනවීමට කඩිනමින් කටයුතු නොකළ හොත් සහල් මෝල් දහසක් (1000) වැසී යා හැකි බව සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් පවසනවා.

ඒ පොළොන්නරුවේදී ඊයේ (01) මාධ්‍ය හමුවක් කැඳවමින්.

මේ අතර, සීනි ආනයනය කිරීම සඳහා අවශ්‍ය ඩොලර් ලබා ගැනීම පිළිබද විශේෂ සාකච්ඡාවක් අද (02) පස්වරුවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ සීනි ආනයනකරුවන් අතර පැවැත්වෙනවා.

ඊට විෂයභාර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ද එක් වීමට නියමිතයි ෴

******************************************

අයි.ඕ.සී. ය රුපියල් මිලියන 268 ක ලාභ ලබයි

(02.11.2021 – 08:00 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ දෙවන (2) කාර්තුවේදී ලංකා අයි.ඕ.සී. සමාගම රුපියල් මිලියන 268 ක මෙහෙයුම් ලාභයක් වාර්තා කර තිබෙනවා.

ඒ, පසුගිය වසරේ ලැබූ රුපියල් මිලියන 146 ක පාඩුව අභිබවමින්.

සමාගමේ බදු ගෙවීමට පෙර ලාභය රුපියල් මිලියන 313 ක් වන අතර ශුද්ධ ලාභය රුපියල් මිලියන 281.5 ක්.

කොරෝනා වසංගතය සහ ලෝක වෙළදපළේ ඉන්ධන මිල ඉහළ මට්ටමක පවතිද්දී මෙලෙස ලාභ වාර්තා කිරීම කැපී පෙනෙන ජයග්‍රහණයක් බවයි ලංකා අයි.ඕ.සී කලමනාකරණ අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා සදහන් කළේ ෴

******************************************

තවත් නැනෝ දියර පොහොර තොගයක් දිවයිනට

(02.11.2021 – 08:05 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන නැනෝ නයිට්‍රජන් දියර පොහොර තවත් තොගයක් අද (02) මෙරටට ලැබීමට නියමිතයි.

ඒ අනුව අදාළ පොහොර තොගය ගුවන් යානා 4 කින් මෙරටට රැගෙන එන බවයි වාර්තා වන්නේ.

මෙලෙස ලංකාවට රැගෙන එන්නේ නැනෝ නයිට්‍රජන් දියර පොහොර තොගයේ දෙවන (2) කොටසයි.

මේ අතර, පොහොර ගැටලුවට විසදුම් ඉල්ලා ගොවීන් පිරිසක් බකමූණ නගරයේ ආරම්භ කළ උපවාසය අද (02) දස (10) වන දිනටත් ක්‍රියාත්මකයි.

ඔවුන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ, මෙම උපවාසය ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබදව අද (02) පෙරවරුවේ තීරණයකට එළඹෙන බවයි.

මෙවන් පසුබිමක වී ඇතුළු අත්‍යවශ්‍ය භෝග සඳහා අවශ්‍ය පොහොර හා අදාළ පළිභෝධනාශක ආනයනය කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබෙනවා.

ආරංචි මාර්ග අනාවරණ කළේ, ඊට අදාළ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මේ දිනවල අමාත්‍යාංශ මට්ටමින් සාකච්ඡා සිදු කෙරෙමින් පවතින බවයි.

මේ අතර, කාබනික පොහොර යොදා වී ගොවිතැන් කිරීම, අත්හදා බැලීමක් බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා කියා සිටියේ අනුරාධපුරයේ දී ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ෴

******************************************

රසායනික පොහොර සීමා කිරීම හරිත කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් ගත් පියවරක් – ජනපති

(02.11.2021 – 08:09 +0530 – hirunews.lk/sinhala)

මුල්බැස ගත් කණ්ඩායම්, ශ්‍රී ලංකාවේ රසායනික පොහොර, පලිබෝධ නාශක සහ වල්නාශක ආනයනය සීමා කිරීමට ගත් තීරණයට විරුද්ධ වුව ද එය අනාගතයේදී සෞඛ්‍ය සම්පන්න සහ වඩා තිරසර හරිත කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් ගත් පියවරක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

එතුළින් නවෝත්පාදන සහ ආයෝජන අවස්ථා නිර්මාණය කරනු ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගොහිදී ඊයේ (01) ආරම්භ කෙරුණු එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුව අමතමින්.

දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනේ තීරණාත්මක අවස්ථාව ලෙස පැවැත්වෙන මෙම සමුළුවට ලොව පුරා රටවල් 197 ක රාජ්‍ය නායකයන්, රාජ්‍ය නියෝජිතයන්, විද්වතුන් සහ ව්‍යාපාරිකයන් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරන විසි පන්දාහක (25,000) පමණ පිරිසක් එක්ව සිටිනවා.

ලොව විශාලතම හරිතාගාර වායු විමෝචනය කරන්නන් විසින් ඔවුන්ගේ කාර්යභාරය ඉටු කිරීම මෙන්ම සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට දේශගුණික අභියෝග ජය ගැනීමට සහය වීම අත්‍යවශ්‍ය බව අවධාරණය කළ ජනාධිපතිවරයා මෙම අර්බුදයෙන් මිදීමට සහ පෘථිවියේ පැවැත්මට මනා සහයෝගීතාවයෙන් එක්ව වැඩ කරන්නැයි සියලු ජාතීන්ගෙන් ඉල්ලා සිටියා.

නව ගල් අගුරු බලය නැති කිරීම සඳහා වූ ගෝලීය බලශක්ති සම්මුතියේ සම ප්‍රමුඛයෙකු වීම පිළිබඳ ශ්‍රී ලංකාව ආඩම්බර වන බවයි ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ.

ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය වසර 2050 වනවිට කාබන් ශූන්‍යත්වයක් ළගා කර ගැනීම සඳහා විමෝචනය අවම කිරීමයි.

2030 වන විට අපගේ කාබන් වෙන් කිරීමේ ධාරිතාවය සියයට 7 කින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමට අපේක්ෂා කරන අතර පොසිල ඉන්ධන භාවිතය ක්‍රමානුකූලව තුරන් කිරීමට පියවර ගනිමින් සිටින බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළා.

******************************************

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක්

(02.11.2021 – 08:35 +0530 – hirunews.lk/sinhala)

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ලෝක නායක සමුළුවේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් සිදු වී තිබෙනවා.

එහිදී ඔවුන් සුහද පිළිසඳරක නිරත වූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ග්ලාස්ගෝ නුවර දී හමුවීම සතුට දනවන්නක් පසුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ.

ලොව පුරා රටවල් 197 ක රාජ්‍ය නායකයන්, රාජ්‍ය නියෝජිතයන්, විද්වතුන්, ව්‍යාපාරිකයන් ඇතුළු ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන 25,000 ක් පමණ ග්ලාස්ගෝ සමුළුවට එක්ව සිටිනවා.

එය අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සදහන් කළේ වසර 2070 වන විට කාබන් ශූන්‍යත්වය ළඟා කර ගැනීමට අපේක්ෂා කරන බවයි.

ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය වසර 2050 වන විට කාබන් ශූන්‍යත්වය ළගා කර ගන්නා බවට ප්‍රතිඥා දුන් අතර චීනය කාබන් ශූන්‍යත්වය ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ 2060 වසරේදියි.

ශ්‍රී ලංකාව වසර 2050 වන විට එම ඉලක්කය සපුරා ගැනීමට සැලසුම් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ග්ලාස්ගෝ සමුළුවේදී ප්‍රකාශ කළා ෴

******************************************

මාර්ග සංවර්ධන අධිකාරියට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

(02.11.2021 – 08:10 +0530 – hirunews.lk/sinhala)

පුද්ගලයින් 14 දෙනෙකුට ජීවිත අහිමි කරමින් පස්සර – ලුණුගල මාර්ගයේ පසුගිය මාර්තු මස 20 වන දා සිදු වූ බස් රථ අනතුරෙන් මව සහ පියා අහිමි වූ දරුවන් තුන්දෙනෙකු (3) සිය මිත්තණිය සහ මුත්තණුවන් මාර්ගයෙන් මාර්ග සංවර්ධන අධිකාරියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ස්වකීය රාජකාරිය ඉටු කිරීමට අපොහොසත්වීම රිය අනතුරට හේතුව බවයි පෙත්සම්කරුවන් පෙන්වා දී ඇත්තේ.

අදාළ අනතුර සිදු වූ ස්ථානයේ මාර්ගයට ගලක් පතිත වී තිබීම හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා ඇති වී තිබූ බවත් ඒ හේතුවෙන් එම ස්ථානයේ රිය අනතුරක් සිදුවීමට ඉතා ඉහළ සම්භාවිතාවක් පැවති බවත් පෙත්සම්කරුවන් කියා සිටියා.

ගල ඉවත් නොකිරීමත් නිසි ආරක්ෂක උපාය මාර්ග අනුගමනය නොකිරීමටත් මාර්ග සංවර්ධන අධිකාරිය අපොහොසත් වී ඇති බව ද පෙත්සමේ දැක්වෙනවා.

මිත්තණිය සහ මුත්තණුවන් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙලෙස මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත්තේ වයස අවුරුදු 9, 8 සහ 4 යන වයස්වල පසුවන දරුවන් තිදෙනෙක් (3).

******************************************

රිය අනතුරු සිදු කර පුද්ගලයින් බිය වද්දා කප්පම් ගන්නා ජාවාරමක් ගැන තොරතුරු

(02.11.2021 – 08:15 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක රිය අනතුරු සිදු කොට එම පුද්ගලයින් බිය ගන්වා කප්පම් ලබා ගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා. ඊට අදාළව පොලිසියට පැමිණිලි ද ලැබී ඇති බවයි වාර්තා වන්නේ. එබැවින් ගම්පහ පොලීසියේ ප්‍රජා පොලිස් ඒකකය ඒ පිළිබදව ජනතාව දැනුවත් කර තිබෙනවා ෴

******************************************

ශ්‍රී ලංකාවට විදෙස් සංචාරකයින් පැමිණීමේ වර්ධනයක්

(02.11.2021 – 09:31 +0530 – hirunews.lk/sinhala)

පසුගිය ඔක්තෝම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට විදෙස් සංචාරකයින් 22,771 දෙනෙකු පැමිණ තිබෙනවා.

එය සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට 68 ක වර්ධනයක් බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.

එමෙන්ම, පසුගිය පළමු මාස 10 තුළ දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ද 60,000 ඉක්මවා ගොස් තිබෙනවා.

විදෙස් සංචාරකයින් සඳහා මෙරට විවෘත කෙරුණේ පසුගිය ජනවාරි 21 වන දායි.

ජනවාරි සිට ඔක්තෝම්බර් දක්වා කාලය සැලකූ විට ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් පිරිසක් එනම් සංචාරකයින් 18,466 පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්. එක්සත් රාජධානිය, ජර්මනිය, කසක්ස්ථානය සහ යුක්රේනය ඊළඟට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි රටවල් ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාමක් ගැන වෛද්‍ය සංගමයෙන් අනතුරු ඇඟවීමක්

(02.11.2021 – 08:20 +0530 – hirunews.lk/sinhala)

පොදු ප්‍රවාහනයේ මගීන් සීමාව ඉක්මවා රැගෙන යාම හේතුවෙන් කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.

එසේම ඊයේ (01) දිනයේත් කොරෝනා ආසාදිතයින් 566 ක් සහ මරණ 17 ක් ද වාර්තා වූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

ගෙවුණු දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ 17 ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 13,760 දක්වා ඉහළ ගියා.

කොරෝනා ආසාදිතයින් 566 ක් ද ඊයේ (01) දිනයේ වාර්තා වූ අතර, මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ඒ අනුව දැක්වුණේ පන්ලක්ෂ 41,639 ක් ලෙසටයි.

මේ අතර, කොරෝනා ආසාදිතයින් 500 ඉක්මවා දෛනිකව වාර්තා වන බැවින්, සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකළහොත් වසංගත තත්ත්වය යළි ඉහළ යා හැකි බව සෞඛ්‍ය අංශ දිගින් දිගටම අනතුරු ඇගවීම් සිදු කරනවා.

කොළඹ ඊයේ (01) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය කියා සිටියේ, ගොවීන් ඇතුළු ඇතැම් පාර්ශ්ව සිදු කරන විරෝධතා හරහා කොරෝනා වෛරසය යළි ව්‍යාප්ත විය හැකි බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *