වරාය, ඉන්ධන, තැපැල් ප්‍රවාහනය ඇතුළු ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ගැසට් නිවේදනයක්

වරාය, ඉන්ධන, තැපැල් ප්‍රවාහනය ඇතුළු ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ගැසට් නිවේදනයක්

*********************************************

වරාය, ඉන්ධන, තැපැල් ප්‍රවාහනය ඇතුළු ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ගැසට් නිවේදනයක්

(30.10.2021 – 06:19 +0530 – hirunews.lk/sinhala)

වරාය, ඉන්ධන, තැපැල් ප්‍රවාහන සහ රජයේ බැංකු ඇතුළු ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ අණ පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් ඊයේ (29) දිනයේ නිකුත් කළ එම නිවේදනයට අනුව ජන ජීවිතයට අත්‍යවශ්‍ය අදාළ සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම එහි අරමුණයි.

ඒ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොරෝනා නිවරණය සම්බන්ධයෙන් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්හි සඳහන් වන කරුණු ද සැළකිල්ලට ගෙන තිබෙනවා.

ඒ අනුව එම සේවාවන්ට අදාළ රාජ්‍ය සංස්ථා, රජයේ දෙපාර්තමේන්තු, පළාත්පාලන ආයතන සහ රාජ්‍ය බැංකු ආදිය අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්වනු ඇති.

වරාය අධිකාරියට අදාළ සේවාවන් හා නැව්වලින් ඉන්ධන බැහැර කිරීම, ප්‍රවාහනය, ගොඩබෑමට අදාළ සියලුම සේවාවන්, පෙට්‍රෝලියම් නිෂ්පාදන හා ද්‍රව වායු ඇතුලු සියලුම ඉන්ධන සැපයුම් හා බෙදාහැරීමේ කටයුතු, දුම්රිය භාණ්ඩ ප්‍රවාහන කටයුතු සහ ගමනාගමන මණ්ඩලය මගින් සිදුකරන පොදු ප්‍රවාහන සේවාවන් ද මෙලෙස අත්‍යවශ්‍ය සේවාවන්ට ඇතුළත් කර තිබෙනවා.

• ගැසට් පත්‍රය : [පිටුව 1][පිටුව 2]

******************************************

සීනි ආනයනකරුවන් තවදුරටත් ඩොලර් අපේක්ෂාවෙන් – බහාලුම් 200 ක් තවමත් වරායේ

(30.10.2021 – 07:50 +0530 – hirunews.lk/sinhala)

වෙළඳපොළේ පවතින සීනි අර්බුදය නිමා කිරිම සඳහා අවශ්‍ය ඩොලර් විනිමය තවමත් ලැබී නොමැති බව සීනි ආනයනකරුවන් පවසනවා.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ එම ගැටලුව විසඳීමට මහ බැංකුවේ මැදිහත් වීම අපේක්ෂා කරන බවයි.

මේ වනවිටත් කොළඹ වරාය තුළ මුදා නොගත් සීනි බහලුම් 200 ක් පමණ පවතිනවා.

සීනි ආනයනය කිරිමට අවශ්‍ය ඩොලර් මිලියන 18 ක මුදලක් ආනයනකරුවන් මීට පෙර රජයෙන් ඉල්ලා තිබුණා.

අවම වශයෙන් මාසයක් සඳහා අවශ්‍ය කරන සීනි මෙට්‍රික් ටොන් 30,000 ක් ආනයනය කිරිමට ඔවුන් මෙම මුදල ඉල්ලා සිටි බව සඳහන්.

කෙසේ නමුත් රජය විසින් සුදු සීනි සඳහා රුපියල් 122 කත්, දුඹුරු සීනි සඳහා 125 කත් පාලන මිලක් ද පනවා තිබියදී ඇතැම් වෙළඳුන් එම මිල ඉක්මවමින් සීනි අලෙවි කරනු ලබනවා ෴

******************************************

පිටව යන ඇමරිකානු තානාපතිනිය ශ්‍රී ලංකාව අගයයි

(30.10.2021 – 08:05 +0530 – hirunews.lk/sinhala)

මුළුමනින්ම එකඟතාවක් නොමැති කරුණුවලදී ද්විපාර්ශ්වික සබඳතා යහපත් දිශාවකට යොමුකර පවත්වා ගත යුතු බව මෙරට ඇමරිකානු තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් ප්‍රකාශ කළා.

මෙරට තානාපතිධූරයෙන් සමුගැනීමට පෙර විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඇය සඳහන් කළේ රාජ්‍යතාන්ත්‍රික භාවයේ මූලික අර්ථය ඕනෑම අභියෝගයක් හමුවේ එකිනෙකා සමග එක්ව කටයුතු කිරීම බවයි.

උපුටා ගැනීම :

“ශ්‍රී ලංකාව ඇත්තෙන්ම අද්විතීය රටක්. තානාපතිවරිය ලෙස මෙරට සේවය කරන්න ලැබීම මට ලැබුණු ගෞරවයක්. ඇමරිකා එක්සත් ජනපද රජය මෙරට සමග ළගින්ම වැඩකර තිබෙනවා. ගතවූ විසි වසරේ එක්සත් ජනපදයෙන් ශ්‍රී ලංකාවට ලබා දුන් ආධාර ප්‍රමාණය ඩොලර් බිලියනය ඉක්මවනවා. කොරෝනා අවස්ථාවේ දී අපි ත්‍යාගශීලී හවුල්කරුවෙකු ලෙස වැඩ කළා. කොරෝනාවට එරෙහි සටනේ දී එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට ආධාර ලෙස ඩොලර් මිලියන 18 ක් සහ නොමිලේ එන්නත් මිලියන 2.4 ක් පමණ ලබා දුන්නා.

පොදු අරමුණු සහ ආයෝජන තිබුණත් අපි එකඟ නොවන සමහර අවස්ථා තිබෙනවා. නමුත් රාජ්‍යතාන්ත්‍රික භාවයේ මූලික අර්ථය ඕනෑම අභියෝගයක් හමුවේ එකිනෙකා සමග දිගින් දිගටම කතා කරමින් එක්ව වැඩ කිරීමයි.

විවෘත සන්නිවේදනයත්, අපි මුලු මුනින්ම එකඟනොවන අංශ සම්බන්ධයෙන් වැඩ කිරීමත් හරහා අපේ ද්විපාර්ශ්වීය සබඳතා හොඳ දිශාවකට යොමු කර අපි පවත්වා ගත යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදී අප දෙරටේ හවුල්කාරීත්වය අනාගතය දක්වා විහිදේවී.

මගේ මිදුලේ ඇසෙන සුන්දර නිල් මැග්පි කුරුළු ගී රාවයේ සිට කොත්තු රොටී වලින් හමනා සුවඳ දක්වාත්, යාපනයේ රසබර ප්‍රනීත ව්‍යාංජනවල සිට සීගිරි බිතු සිතුවම් දක්වාත්, නුවර එළියේ තේ වතුවල සිට ගාල්ලේ වෙරළ තීරය දක්වාත් වූ සෑම දෙයකින්ම ශ්‍රී ලංකාව මගේ සිත් ඇඳ බැඳගත්තා. විශේෂයෙන් ආගන්තුක සත්කාරයට ලැදි මෙරට ජනතාවගේ සිනහව ඇතුලු මට මතක් වෙන බොහෝ දේ තියනවා.

අප දෙරට අතර සම්බන්ධතාවයට ජීවය දෙන්නේ ව්‍යාපාරවල, රජයේ, සිවිල් සමාජයේ සහ එදිනෙදා ජීවිතයේ දී ජනතාව අතර තිබෙන ඒ සම්බන්ධතාවයයි. පාස්කු ප්‍රහාරය සහ කොරෝනා වැනි අපට තදින්ම දැනුනු බොහෝ දුෂ්කර අවස්ථා වලදී අපට පිහිටට ආවේ ඒ සම්බන්ධතාවයයි. ශ්‍රී ලාංකික ජනතාවගේ උණුසුමත්, ත්‍යාගශීලීත්වයත් වෙනුවෙන් මා ස්තූති කරනවා. මට එය කවදාවත් අමතක නොවේවි. බොහොම ස්තූතියි.”

******************************************

දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව සහභාගී වීමට ජනපති දිවයිනෙන් පිටව යයි

(30.10.2021 – 08:58 +0530 – hirunews.lk/sinhala)

ස්කොට්ලන්තයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (30) අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

දේශගුණික විපර්යාස සහ ඊට මුහුණ දෙමින් කටයුතු කිරීමට රටවල් සැලසුම් කරන ආකාරය පිළිබඳ සාකච්ඡා කෙරෙන මෙම සමුළුව හෙට (31) සිට නොවැම්බර් 12 දක්වා පැවැත්වෙනවා.

නොවැම්බර් 01 සහ 02 යන දෙදින එහි ලෝක නායකයන්ගේ සමුළුව සඳහා වෙන්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

‘දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනේ තීරණාත්මක අවස්ථාව’ ලෙස පැවැත්වෙන මෙම සමුළුවට ලොව පුරා රටවල් 197 ක රාජ්‍ය නායකයන්, රාජ්‍ය නියෝජිතයන්, විද්වත්හු, ව්‍යාපාරිකයන් ඇතුළු ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන විසිපන්දහසක (25,000) පමණ පිරිසක් සහභාගී වනවා.

ජනාධිපතිවරයා සමඟ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ සහ පරිසර අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරු ද මෙම සංචාරයට එක්වෙනවා.

******************************************

ලිංගික අල්ලස් ලබාගැනීමට යාමේදී අත්අඩංගුවට ගත් වනාතවිල්ලුව පොලිස් බල්ලා රිමාන්ඩ්

(30.10.2021 – 09:36 +0530 – hirunews.lk/sinhala)

ලිංගික අල්ලස් ලබාගැනීමට යාමේදී අත්අඩංගුවට ගත් වනාතවිල්ලුව OIC රිමාන්ඩ්

උපකාර කිරීමට බව පවසා පැමිණිලිකාර කාන්තාවකගෙන් රුපියල් ලක්ෂයක මුදල් සහ ලිංගික අල්ලස් ලබාගැනීමට තැත් කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් වනාතවිල්ලුව පොලිසියේ ස්ථානාධිපතිවරයා ලබන මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඔහු පුත්තලම දිසා විනිසුරු අසේල ද සිල්වා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අදාළ කාන්තාව කළ පැමිණිල්ලක් අනුව පසුගිය 28 වනදා පස්වරුවේ පුත්තලම ප්‍රදේශයේ ලැගුම්හලකදී අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගනු ලැබුවා ෴

******************************************

විදෙස් තරුණියන් යොදවා සිදුකරගෙන ගිය ගණිකා ජාවාරමක් වටලයි

(30.10.2021 – 10:03 +0530 – hirunews.lk/sinhala)

ගල්කිස්ස, සේරම් මාවත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමණාකරු සමඟ විදෙස් ජාතික කාන්තාවන් පස් දෙනෙකු (5) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වලාන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (29) පස්වරුවේ මෙම වැටලීම සිදුකළ බවයි පොලිසිය පැවසුවේ.

පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේ අත්අඩංගුවට ගැනුණු සැකකරු සහ සැකකාරියන් 51, 35, 31, සහ 28 යන වයස්වල පසුවන අය බවයි.

සැකකරු කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අත්අඩංගුවට ගැනුණු සැකකාරියන් ඉන්දුනීසියානු ජාතික කාන්තාවන් බවයි වාර්තා වන්නේ.

මොවුන් අද (30) දිනයේ දී ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා ෴

******************************************

‘අයිස්’ මත්ද්‍රව්‍ය සමඟ පොලිස් කොස්තාපල්වරයෙක් STF අත්අඩංගුවට

(30.10.2021 – 10:32 +0530 – hirunews.lk/sinhala)

‘අයිස්’ මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පොලිස් කොස්තාපල්වරයෙකු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රාජගිරිය – පොල්වත්ත ප්‍රදේශයේ ඊයේ (29) සිදුකළ වැටලීමකදී කේරළ ගංජා සමඟ 42 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහුගේ ජංගම දුරකථනයේ සටහන්ව තිබූ ඇමතුමක් පරීක්ෂා කිරීමේ දී සැකකරු විසින් සිදුකරන ලද ප්‍රකාශයකට අනුව එම මත්ද්‍රව්‍ය වැලිකඩ පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරියෙකු බවට තොරතුරු අනාවරණ වූ බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

119 හදිසි ඇමතුම් අංශයට අනුයුක්ත පොලිස් නිලධාරියෙකු බව හඳුනාගෙන ඇති මොහු පසුව අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබෙනවා.

නිල ඇඳුමින් සැරසී සිටි මෙම පොලිස් නිලධාරියා සන්තකයේ තිබී ‘අයිස්’ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 ක් පමණ සොයාගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන සඳහා වැලිකඩ පොලිස් ස්ථානයට භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රකාශ කළේ ෴

******************************************

අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ දේහයට අගමැතිගෙන් අවසන් ගෞරව

(30.10.2021 – 11:33 +0530 – hirunews.lk/sinhala)

අපවත් වී වදාළ කැළණිය විශ්වවිද්‍යාලයේ කුලපති, සියම් මහ නිකායේ මල්වතු විහාර පාර්ශවයේ, කොළඹ – හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති, අතිපූජ්‍ය ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ දේහයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අවසන් ගෞරව පුදකර තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ උන්වහන්සේගේ දේහය තැන්පත් කර ඇති පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙණට අද (30) පෙරවරුවේ පැමිණි අග්‍රාමාත්‍යවරයා මෙලෙස අවසන් ගෞරව දැක්වූ බවයි.

අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව නිදහස් චතුරස්‍රයේදී හෙට (31) පැවැත්වෙන අතර, ඒ වෙනුවෙන් හෙට (31) ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණා.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

සඳුදා (01) සිට සියලු මගීන්ට දුම්රියේ ගමන් කිරීමට අවසර

(30.10.2021 – 07:46 +0530 – hirunews.lk/sinhala)

මෙරට සමස්ත ජනගහනයෙන් සියයට 70 ක් එන්නත්කරණයට ලක් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, යුරෝපා සංගමයේ නිලධාරීන් පිරිසක් හමුවෙමින් ප්‍රකාශ කර තිබෙනවා.

එසේම වයස අවුරුදු 30 ඉක්මවූ ජනගහණය මුළුමනින්ම පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බවයි අමාත්‍යවරයා එහිදී පෙන්වා දී ඇත්තේ.

ශ්‍රී ලංකාව හා මාලදිවයිනේ යුරෝපා සංගම් තානාපති ඩෙනී චයිබී ඇතුලු පිරිසක් ඊයේ (29) සෞඛ්‍ය අමාත්‍යංශයේදී හමුවෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

කොරෝනා වසංගතය පාලනයට යුරෝපා ආයෝජන බැංකුව හරහා යුරෝ මිලියන 100 ක විශේෂ සහන ණය ආධාරයක් ලබා දීම පිළිබඳවද මෙහිදී යුරෝපා සංගම් තානාපතිවරයා සාකච්ඡා කර ඇති බව සඳහන්.

මේ අතර ඊයේ වාර්තා වූ නව ආසාදිතයන් 556 සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 5,39,416 ක් දක්වා ඉහළ ගියා.

තවත් කොරෝනා මරණ 10 ක් ඊයේ (30) වාර්තා වූ අතර මේ වන විට මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 13,706 ක් ලෙසින්.

එමෙන්ම මාස කිහිපයක් තිස්සේ ක්‍රියාත්මක වූ පළාත් සංචරණ සීමා හෙට (31) අලුයම 4 ට අවසන් කිරීමත් සමග අනිද්දා (01) සිට පළාත් අතර බස් රථ මෙන්ම දුම්රියද ධාවනය කිරීමට නියමිතයි.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා හිරු ප්‍රවෘත්ති අංශයට පැවසුවේ බස් රථ ධාවනයේදී ආසනගත මගීන් පමණක් රැගෙන යා යුතු බවයි.

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා, දුම්රිය ධාවනය සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කළා.

එහිදී ඔහු කියා සිටියේ අනිද්දා (01) සිට සියලු මගීන්ට දුම්රියේ ගමන් කිරීමේ හැකියාව පවතින බවයි.

මීට පෙර දුම්රියෙන් ගමන් කිරීම සඳහා අවසර හිමිව තිබුණේ වාර ප්‍රවේශපත් හිමි මගීන්ට පමණයි ෴

+++++++++++++++++

ඉදිරි සතියෙන් පසු සෙසු ශ්‍රේණි සඳහාත් පාසල් ඇරඹෙන ලකුණු

(30.10.2021 – 07:59 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි සතියෙන් පසු පාසල් වල සෙසු ශ්‍රේණි ද විවෘත කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (29) මහනුවරදී මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමේන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශ කළා ෴

++++++++++++++++

මානසික රෝග සායනවලට එන දරුවන් 20% කින් ඉහළ යයි

(30.10.2021 – 07:20 +0530 – hirunews.lk/sinhala)

මානසික ව්‍යාකූලතාවන්ට ලක්වීම හේතුවෙන් සායන වෙත පැමිණෙන ළමා හා යොවුන් දරුවන් ප්‍රමාණය පසුගිය වසර දෙක (2) තුළ සියයට 20 කින් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

කොළඹ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකදී කැළණි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, රාගම ශික්ෂණ රෝහලේ ළමා හා නව යොවුන් සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා සඳහන් කළේ ඩිජිටල් තිරවලට ඇබ්බැහිවීමේ මානසික තත්වය නව යොවුන් දරුවන් සහ තරුණයන් අතර බහුලව දක්නට ලැබෙන බවයි.

මෙරට කොරෝනා එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයන් 1,38,004 දෙනෙකුට ඊයේ (29) දිනයේ දී එන්නත් ලබාදී තිබෙනවා.

ඒ අනුව ෆයිසර් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයන් 88,083 දෙනෙකුට සහ එහි දෙවන (2) මාත්‍රාව ලබාදුන් සංඛ්‍යාව 882 ක්.

වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේ මීට අමතරව සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව ඊයේ (29) දිනයේදී 3248 දෙනෙකුට ලබාදී ඇති අතර, දෙවන (2) මාත්‍රාව 37612 දෙනෙකුට ලබා දී ඇති බවයි.

කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාවද ඊයේ (29) දිනයේ 4527 දෙනෙකුට ලබාදී ඇති අතර, මොඩර්නා එන්නතේ දෙවන (2) මාත්‍රාව 3599 දෙනෙකුට ලබාදී තිබෙනවා.

ඊට අමතරව රුසියානු ස්පුට්නික් කොරෝනා එන්නතේ දෙවන (2) මාත්‍රාවද ඊයේ (29) පුද්ගලයන් 51දෙනෙකුට ලබාදුන් බවයි වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *