අන්තර් පළාත් සංචරණ සීමා 31 වනදායින් පසු ඉවතට – ජනපතිගෙන් පොලිස්පතිටත් උපදෙසක්

අන්තර් පළාත් සංචරණ සීමා 31 වනදායින් පසු ඉවතට – ජනපතිගෙන් පොලිස්පතිටත් උපදෙසක්

*********************************************

අන්තර් පළාත් සංචරණ සීමා 31 වනදායින් පසු ඉවතට – ජනපතිගෙන් පොලිස්පතිටත් උපදෙසක්

(29.10.2021 – 14:52 +0530 – hirunews.lk/sinhala)

දැනට ක්‍රියාත්මක අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝම්බර් 31 දින අළුයම 04:00 න් පසුව ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

නව සාමාන්‍යකරණය යටතේ ජන ජීවිතය අඩාල නොවී පවත්වාගෙන යාම අරමුණු කර ගනිමින් එම තීරණයට එළැඹී බවයි අද (29) පෙරවරුවේ කොවිඩ් මර්ධන කමිටුව සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ.

කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් දරුවන්ගේ අධ්‍යාපනය බරපතල ලෙස අඩාල වී ඇති බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කර සියලු පාසල්වල අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පංති ඇරඹීමට සෞඛ්‍ය නිර්දේශ මේ වන විට ලබාදී තිබෙන බව ද මෙහිදී අනාවරණය කෙරුණා.

ඒ පිළිබඳ විදුහල්පතිවරුන් දැණුවත් කර පාසල් ආරම්භ කිරීමේ කටයුතු කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

විශ්වවිද්‍යාල පළමු (1) වසර සිසුන් සඳහා අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම පිළිබඳ කඩිනමින් සොයා බලන ලෙස ද ඔහු සෞඛ්‍ය සහ අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

පොදු ස්ථාන, වෙළඳ සැල්, ආපන ශාල ඇතුළු ජනතාව ගැවසෙන ස්ථානවලට ඇතුළුවීමේ දී එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට ඇති හැකියාව පිළිබඳ වහාම සොයා බැලීමට ද තීරණය වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

එන්නත ලබා නොගන්නා පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කොරෝනා නීති ප්‍රකාරව ප්‍රතිපාදන ඇති බව පෙන්වා දුන් සෞඛ්‍ය බලධාරීන් ඒ පිළිබඳ නීතිපති උපදෙස් ඉල්ලා ඇති බව ද සඳහන් කළා.

පාසල් දරුවන් එන්නත්කරණය සඳහා ගෙන යන වැඩපිළිවෙලේ ප්‍රගතිය ද ජනාධිපතිවරයාගේ අධීක්ෂණයට ලක්ව තිබෙනවා.

කොවිඩ් මරණ අනුපාතය සහ ආසාධිතයින් අඩු කර ගැනීමට එන්නත්කරණ වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත්ව ක්‍රියාවට නැංවිමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී ඇත්තේ දුෂ්කර ප්‍රදේශවල එන්නත්කරණයට ජංගම රථ යොදවමින් සියලු ජනතාවට එන්නත ලබා ගැනීමේ අවස්ථාව සලසා දෙන ලෙසටයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්, ග්‍රාම සේවා නිලධාරීන් සහ ප්‍රාදේශීය දේශපාලන අධිකාරියේ ද සහාය ඒ සඳහා ලබා ගන්නා ලෙස දැනුම් දී තිබෙනවා.

එන්නත්කරණය පිළිබඳ විවිධ කණ්ඩායම් ගෙන යන අසත්‍ය ප්‍රචාර පිළිබඳ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරු ජනාධිපතිතුමා වෙත කරුණු හෙළි කළ අතර එන්නත්කරණය පිළිබඳ ජනතාව තුළ අනවශ්‍ය බිය ගැන්වීම් ඇති කිරීමට උත්සාහ කරන සමාජ මාධ්‍ය ඇතුළු විවිධ සංවිධානගත කණ්ඩායම් පිළිබඳ වහාම සොයා බලන ලෙසටයි ද ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත්තේ.

පවතින තත්ත්වය පාලනය කරමින් රට සාමාන්‍යකරණයට ගෙන ඒමේ ක්‍රියාවලියේ දී පළාත් සහ දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන් වැඩි වගකීමක් ගත යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම සියලු අංශ සම්බන්ධීකරණය කරමින් කොවිඩ් මර්දන වැඩපිළිවෙළ තවදුරටත් සාර්ථක කර ගැනීමට කැපවන ලෙසට ද ඔවුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

කොරෝනා හමුවේ අභියෝගයට ලක්වූ ආර්ථිකය යලි පණ ගැන්වීමේ ප්‍රමුඛ අංශය ලෙස සංචාරක කර්මාන්තය හඳුනාගෙන ඇති අතර ඊට අදාළ නව තීරණ රැසකට කඩිනමින් එළැඹීමේ අවශ්‍යතාවය සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් පෙන්වා දෙනු ලැබුවා.

සෞඛ්‍ය විශේෂඥ උපදෙස්වලට යටත්ව සංචාරක කර්මාන්තය ඉහළට ගැනීමට වඩාත් උනන්දුවෙන් සියලු දෙනා සහයෝගය දිය යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ.

ඉදිරියේ දී මෙරට පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ක්‍රීඩා තරඟාවලි මෙරටට පැමිණ නැරඹීමේ අවස්ථාව විදේශ ප්‍රේක්ෂකයින්ට ලබාදීම කෙරෙහි ද දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

ඔවුන් ජීව බුබුළ තුළ රඳවා ගනිමින් පහසුකම් සැපයීමේ හැකියාව ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දුන්නේ.

ඉදිරියේ දී මෙරට පැවැත්වෙන LPL තරගාවලිය ඇතුළු තවත් බොහෝ තරග නැරඹීමට ප්‍රේක්ෂකයින්ට මෙරටට පැමිණීමට අවස්ථාව සළසා දෙන ලෙස දෙස්, විදෙස් තරග සංවිධායකවරුන්ගෙන් ඉල්ලීම් රැසක් ලැබී ඇති අතර, එය සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට සහ විදේශ විනිමය ඉහළ නංවා ගැනීමට සුවිශේෂී අවස්ථාවක් බවත් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දී තිබෙනවා ෴

++++++++++++++++++

තවත් ආසාදිතයින් 302 ක් සුව අතට

(29.10.2021 – 14:59 +0530 – hirunews.lk/sinhala)

නව්‍ය කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයින් 302 කු අද (29) දිනයේදී සුවය ලබා තිබෙනවා.

ඒ සමග මෙරට කොරෝනා වෛරසය ආසාදිතව සුවය ලද මුළු සංඛ්‍යාව 5,12,165 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ.

වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ තවත් 12,999 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි ෴

++++++++++++++++++

ශ්‍රී ලාංකිකයින්ට බ්‍රිතාන්‍යයට යාමට අවසර හිමි වේ

(29.10.2021 – 16:49 +0530 – hirunews.lk/sinhala)

පූර්ණ එන්නත්කරණයට ලක් වූ ශ්‍රී ලාංකිකයින්ට බ්‍රිතාන්‍යයට ඇතුළු වීමට අවසර ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, මෙම අවසරය නොවැම්බර් මස පළමුවැනිදා (01) සිට බලපැවැත්වෙන බවයි ෴

+++++++++++++++++++

ලබන ( නොවැම්බර් ) මස මුල සිට අන්තර් පළාත් දුම්රිය ධාවනයට තීරණයක්

(29.10.2021 – 16:57 +0530 – hirunews.lk/sinhala)

නව්‍ය කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ, අන්තර් පළාත් දුම්රිය ධාවනය ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේ, එළැඹෙන නොවැම්බර් මස පළමු වැනිදා (01) සිට මෙය ක්‍රියාත්මක වන බවයි.

දුම්රිය ධාවනය බස්නාහිර පළාත තුළ පමණක් පසුගිය 25 වනදා සිට ආරම්භ කෙරුණා. ඒ අනුව ක්‍රියාත්මක වූ ගමන්වාර සංඛ්‍යාව 133 ක්. කෙසේවෙතත් එහිදී දුම්රියේ ගමන් කිරීමට අවස්ථාව හිමිවූයේ වාර ප්‍රවේශපත්‍ර හිමි අයට පමණයි ෴

++++++++++++++++++

සමස්ත ජනගහනයෙන් 70% ක් එන්නත්කරණය කර අවසන් – සෞඛ්‍ය ඇමති

(29.10.2021 – 17:55 +0530 – hirunews.lk/sinhala)

මෙරට සමස්ත ජනගහනයෙන් 70% ක් එන්නත්කරණයට ලක් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා යුරෝපානු සංගමයේ නිලධාරීන් පිරිසක් හමුවේ අද (29) ප්‍රකාශ කළා.

එමෙන්ම අවුරුදු 30 ඉක්මවූ ජනගහනය මුළුමනින්ම පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ.

ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනෙනේ යුරෝපානු සංගමයේ තානාපති ඩෙනී චයිබි ඇතුළු පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍යවරයා හමු වූ අතර, එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්බන්ධීකරණයෙන් යුරෝපානු සංගමය මගින් මෙරට සෞඛ්‍ය පද්ධතිය සඳහා යුරෝ මිලියන 02 ක් පමණ වටිනා සෞඛ්‍ය උපකරණ ලබාදීම සිදු කෙරුණු අතර, පල්ස් ඔක්සිමීටර, ඊසිජී යන්ත්‍ර, ඔක්සිජන් රෙගියුලේටර්ස්, රෝහල් ඇඳන් ද ඒ අතර වනවා.

යුරෝපානු ආයෝජන බැංකුව හරහා කොවිඩ් වසංගතය පාලනය සඳහා යුරෝ මිලියන 100 ක විශේෂ සහන ක්‍රමයක ණය ආධාරයක් ලබාදීම පිළිබඳව ද මෙහිදී ශ්‍රී ලංකාවේ යුරෝපානු සංගමයේ තානාපතිවරයා සාකච්ඡා කළා.

එන්නත්කරණයෙන් ලොව ඉහළ මට්ටමක සිටින ශ්‍රී ලංකාවේ අවුරුදු 20-29 තරුණ ජනගහනයෙන් 60% ට ආසන්න ප්‍රමාණයක් මේ වන විට එන්නත්කරණයට ලක් කර ඇතැයි ද අවුරුදු 15-19 පාසල් මට්ටමේ ළමුන් 32% එන්නත්කරණයට ලක්කර ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

බූස්ටර් එන්නතක් මෙරට ජනතාවට ලබාදීම ආරම්භ කෙරෙන බවත්, එහිදී සෞඛ්‍ය,ආරක්ෂක හා සංචාරක ක්ෂේත්‍රයේ නියැලෙන්නන් ඇතුළු ඉදිරි පෙළ පිරිස් සඳහා ප්‍රමුඛතාවය ලබා දෙන බවත් රඹුක්වැල්ල මහතා කීය. එම වැඩපිළිවෙෙළ ආරම්භ කිරීම සඳහා මිලියනයක එන්නත් තොගයක් තිබෙන බවත් සෑම සතියකම ලක්ෂ 04 ක එන්නත් ප්‍රමාණයක් මෙරටට ලැබෙන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

විවිධ ආගමික මෙන්ම සම්ප්‍රදායික මත නිසාවෙන් එන්නත්කරණයට යොමු නොවූ පිරිස් ඒ සඳහා යොමු කරවීමට එවැන්නන් සොයා ගෙයින් ගෙට ගොස් එන්නත්කරණයට යොමු කෙරෙන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එන්නත්කරණය හා කොවිඩ් පාලනය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය උපරිම වැඩපිළිවෙලක් ගෙන යන බවත්, අන් සියල්ල ජනතාව සතු වගකීම බවත් ඒ මහතා ප්‍රකාශ කළා.

ප්‍රංශය, ජර්මනිය,ඉන්දියාව වැනි රටවල පිරිස් ඔවුන්ගේ විවාහ මංගල්‍ය උත්සව මෙරටදී පැවැත්වීම සඳහා සැලැසුම් කර ඇතැයි ද ඒ සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව සලකා බලමින් සිටින බවයි, අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

එන්නත්කරණ කාඩ්පත මෙරට අනිවාර්ය කිරීම ගැන සාකච්ඡා කෙරෙමින් පවතින බවත් තරුණ පිරිස් එන්නත්කරණයට යොමු කිරීමට එය ඉතා වැදගත් වනු ඇති බවත් හෙතෙම පැවසුවා.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ යුරෝපානු සංගම් තානාපති ඩෙනී චයිබි විසින් ප්‍රකාශ කළේ, මේ වන විට යුරෝපයේ සංචරණ සීමා මෙන්ම සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් වෙමින් පවතින බවයි.

එමෙන්ම එන්නත්කරණ කාඩ්පත එහි අනිවාර්ය කර ඇතැයි ද, විශේෂයෙන් පොදු ස්ථාන කරා ඇතුල්වීමේදී එම කාඩ්පත පරීක්ෂා කෙරෙන බව ද තානාපතිවරයා ප්‍රකාශ කළා.

මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මහජන සෞඛ්‍ය පරිපාලන නිලධාරී වෛද්‍ය ඔලීවියා නිවරස් හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන නිලධාරීන් එක්ව සිටියා ෴

++++++++++++++++++

තවත් කොරෝනා ආසාදිතයන් 415 ක්

(29.10.2021 – 18:01 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 415 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 5,39,275 ක් ලෙසටයි.

මෙරටින් හඳුනාගත් ආසාදිතයන්ගෙන් 12,999 ක් මේවන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 5,12,165 ක්. මෙරටින් කොරෝනා මරණ 13,696 ක් ද වාර්තාවී තිබෙනවා ෴

++++++++++++++++++

තවත් කොරෝනා මරණ 10 ක්

(29.10.2021 – 19:17 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා මරණ 10 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 13,706 ක් ලෙසටයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (28) තහවුරු කළ මෙම මරණ අතර කාන්තාවන් 3 ක් සහ පිරිමින් 7 ක් වනවා.

අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ කිසිදු මරණයක් ඊයේ (28) තහවුරු වී නැහැ.

අවුරුදු 30 ත් 59 ත් අතර වයස් කාණ්ඩයේ මරණ 5 ක් වාර්තාවී ඇති අතර ඒ පිරිමි දෙදෙනෙකු (2) සහ කාන්තාවන් 3 දෙනෙකු වශයෙන්.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ පිරිමි 5 ක් ඊයේ (28) තහවුරු කළ මරණ 10 අතර වනවා.

මේ අතර ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 5,39,275 ක් වාර්තාවී ඇති අතර ඉන් 13,414 ක් නිවෙස්වල හෝ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 5,12,165 ක් ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

අතුරුදන්වූ පොලිස් නිලධාරියෙකුගේ සිරුර ගම්පොළ රෝහලේ ජල ටැංකියක – ආමර්වීදියේ ඝාතනයටත් 3 දෙනෙකු අල්ලයි

(29.10.2021 – 19:01 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතව සිටියදී අතුරුදන් වූ කොත්මලේ පොලීසියේ සැරයන්වරයාගේ සිරුර ගම්පොළ මූලික රෝහලේ ජල ටැංකියක් තුළ තිබි අද (29) සොයා ගත්තා.

අඩි 40 ක් පමණ උසකින් පිහිටා ඇති ටැංකියේ ජලයෙන් දුගඳක් හැමීම හේතුවෙන් සිදුකළ පරීක්ෂාවකදියි සිරුර සොයාගෙන තිබුණේ.

මියගිය පොලිස් නිලධාරියා – පූඩලුඔය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 57 ක් වන තුන්දරු පියෙක්.

ඔහු මීට දින 50 කට පමණ පෙර කොරෝනා ආසාදිතව ගම්පොල රෝහලේ සිටියදී අතුරුදන් වු බවට වාර්තා වු අතර, සිරුර ඥාතීන් විසින් අද (29) හඳුනා ගත්තා.

මේ අතර, මරදාන – ආමර්වීදියේ කාමරයකදී 40 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර සිරුර පෑලියගොඩ ප්‍රදේශයේ දමා ගිය සිද්ධිය සම්බන්ධයෙන් එහි ප්‍රධාන සැකකරු ඇතුලු 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පෑලියගොඩ පොලිස් අපරාධ විමර්ශන ඒකකය විසින්.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ – අලුත්කඩේ ප්‍රදේශයේ පදිංචි 60, 49 සහ 43 යන වයස්වල පසුවන සැකකරුවන් පිරිසක්.

පොලීසිය සඳහන් කළේ පසුගිය 26 වනදා සිදුවූ ඝාතනයට අදාළ තවත් සැකකරුවන් තුන් දෙනෙකු (3) අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

පරීක්ෂණවලදී හෙලි වී ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත කණ්ඩායමක සාමාජිකයන් කිහිපදෙනෙකු අතර ඇතිවූ මුදල් ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බවයි.

හවුලේ සිදු කර ගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරම් වලට අදාළ මුදල්, ඝාතනයට ලක්වූ පුද්ගලයා විසින් පැහැර ගැනීම හේතුවෙන් කණ්ඩායමේ සෙසු සාමාජිකයන් ඔහු සමග උරන වී සිටි බව පොලීස් විමර්ශන වලින් අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව, ඔවුන් මියගිය පුද්ගලයා සමග ආමර්වීදිය ප්‍රදේශයේ කාමරයකට ගොස් මත්පැන් පානය කර පසුව ඔහුට පහර දී ඝාතනය කර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

සිරුර රැගෙන ගිය මෝටර් රථයද මේ වන විට පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් පුද්ගලයන් අද (29) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

******************************************

සිරකාරියන්ට තහනම් භාණ්ඩ දුන් බෝගම්බර දොස්තර අත්අඩංගුවට

(29.10.2021 – 19:28 +0530 – hirunews.lk/sinhala)

ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණෙන කාන්තා රැඳවියන්ට ජංගම දුරකථන හා ඊට අදාළ උපකරණ ලබා දී මුදල් ලබා ගැනීමේ චෝදනාවට බෝගම්බර බන්ධනාගාර රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා බන්ධනාගාර නිලධාරින් විසින් අද (29) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව කළ ප්‍රශ්න කිරීම්වලදී මීට පෙර අවස්ථාවල ජංගම දුරකථන රැඳවියන්ට මුදලට විකිණූ බවට වෛද්‍යවරයා විසින් පිළිගෙන ඇති අතර, මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ.

මොහු විසින් ජංගම දුරකථන හා ඊට අදාළ උපාංග ලබා දී සිය ගිණුමට මුදල් බැර කරගෙන ඇති බවට ද විමර්ශනවලදී කරුණු අනාවරණ වී තිබෙනවා ෴

******************************************

මෙරටට යූරෝ මිලියන 2 ක්

(29.10.2021 – 19:55 +0530 – hirunews.lk/sinhala)

යුරෝපා සංගමය විසින් මෙරටට තවත් යූරෝ මිලියන 2 ක ප්‍රදානයක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

පවතින වසංගත තත්වය කළමණාකරනය කර ගැනිමට වෙනුවෙන් මෙම ප්‍රධානය සිදු කෙරෙන බවයි යුරෝපා සංගමය පවසන්නේ ෴

******************************************

විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් මහනුවර නගරයේ උද්ඝෝෂණයක්

(29.10.2021 – 22:46 +0530 – hirunews.lk/sinhala)

ජීවන වියදම ඉහළයාම, පොහොර අර්බුදය ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් සමඟි ජන බලවේගය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් අද (29) මහනුවර නගරයේදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා.

මේ අතර විපක්ෂ නායකවරයා අද (29) මල්වතු අස්ගිරි නාහිමිවරුන් ද බැහැදැක ආශිර්වාද ලබාගත්තා.

******************************************

ගම්පහ සෞඛ්‍ය කාර්යාලයේ සේවකයෙකුට මරණ තර්ජන

(29.10.2021 – 23:02 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් මර්දන රාජකාරී සඳහා බව හඟවමින් ගම්පහ සෞඛ්‍ය සේවකයින් හෝටලයක නඩත්තු කටයුතු සඳහා යෙදවු සිද්ධිය පිළිබඳව කණ්ඩායම් 03 ක් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

‘හිරු සී.අයි.ඒ.’ කළ අනාවරණයට අනුව අදාළ පරීක්ෂණ ආරම්භ කර ඇති පසුබිමක එම පරීක්ෂණවලට සහය නොදෙන ලෙසට ගම්පහ සෞඛ්‍ය කාර්යාලයේ සේවකයෙකුට මරණ තර්ජන එල්ල වී තිබෙනවා.

අද (29) ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය ඒ පිළිබඳවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *