මූඩීස් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකාවට හිමි වූ තැන

මූඩීස් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකාවට හිමි වූ තැන

*********************************************

මූඩීස් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකාවට හිමි වූ තැන

(28.10.2021 – 20:37 +0530 – hirunews.lk/sinhala)

මූඩීස් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනය ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම Caa2 දක්වා පහත හෙළා තිබෙනවා.

අද (28) සිදු කෙරුනු මෙම සමාලෝචනයේදී ශ්‍රී ලංකා රජයේ ස්ථානගත කිරීම Caa1 සිට Caa2 දක්වා පහත හෙලීම සඳහා නිර්දේශ කර තිබෙනවා.

ශ්‍රී ලංකා ආර්ථික තත්ත්වය පිළිබඳ මෙම සමාලෝචනය ආරම්භ කෙරුනේ 2021 ජූලි 19 දිනයි.

ඉතා අඩු විදේශ විනිමය සංචිත තත්ත්වයක් තුළ, රජයේ සැලකිය යුතු ඉදිරි පරිණතභාවයන් සපුරාලීම සඳහා යහපත් මූල්‍යකරණ ප්‍රවාහයක් නොමැතිකම, මෙම පෙරනිමි අවදානම මතු කරන බවට මූඩිස් තක්සේරුව මගින් ශ්‍රේණිගත කිරීමේදී සලකා බලා තිබෙනවා.

එමෙන්ම රටේ බාහිර ද්‍රවශීලතා අවදානම ඉතා ඉහළ මට්ටමක පැවතීමත් තවමත් රජයට සුරක්ෂිත මූල්‍ය ප්‍රවාහයක් නොමැති වීමත්, ස්වෛරී බැඳුම්කර, swap ණය සහ ද්විපාර්ශ්වික ණය වැනි කොටස් අරමුදල් මත දිගටම විශ්වාසය තැබීමත් අනතුරුදායක බවයි මෙම ශ්‍රේණිගතකරුවන් පවසන්නේ.

ශ්‍රී ලංකා රජය මුහුණ දෙන පීඩනය Caa2 ශ්‍රේණිගත කිරීමේ මට්ටමට අනුකූල වන බවට මූඩිගේ අදහස ස්ථාවර ඉදිරි දැක්මෙන් පිළිබිඹු වේ.

ශ්‍රී ලංකාවේ දේශීය සහ විදේශීය මුදල් රටා වැස්ම සම්බන්ධ වර්ගීකරණයද B1 සහ Caa1 සීමාවේ සිට B2 සහ Caa2 දක්වා පහත දමා තිබෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා මහා බැංකුව පවසන්නේ මූඩීස් ආයතනය විසින් කාලීන සහ පිළිගත් නොහැකි ශ්‍රේණිගත කිරීමේ ක්‍රියාවලියක් හරහා සිදුකර ඇති මෙම පහත හෙලීම සම්බන්ධයෙන් රජයේ කනස්සල්ල, දැඩි අප්‍රසාදය පළ කිරීමට බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම මීට මාස තුනකට (3) පෙරත් එවැනිම ආකාරයේ පහත හෙලීමක් සිදු කර නැවත වරක්, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙවැනි අතාර්කික ශ්‍රේණිගත කිරීමේ ක්‍රියාවලියක් සිදු කිරීම මූඩීස් විශ්ලේෂකයින්ගේ අවබෝධයේ ඌනතාවයක් බවද මහ බැංකුව පවසනවා ෴

******************************************

ලබන සඳුඳා (01) සිට නියමිත පරිදි බස් රථ ධාවනයේ

(28.10.2021 – 19:29 +0530 – hirunews.lk/sinhala)

ලබන සඳුදා (01) සිට නියමිත පරිදි බස් රථ කාලසටහන් ක්‍රියාත්මක කරන බව විෂය භාර රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. මහනුවර ප්‍රදේශයේදී අද (28) මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

කොරෝනා වසංගතය හේතුවෙන් අඩපණ වූ පෞද්ගලික බස් රථ සේවා ආරම්භ කිරීමට බස් රථ හිමියන්ට ලබාදිය හැකි සියලුම සහනයන් ලබාදෙන ලෙස ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ජාතික ගමනාගමන කොමිෂන් සභාවට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, ප්‍රවාහන අමාත්‍යාංශයේදී පෞද්ගලික බස් රථ හිමියන් සමඟ අද පැවති සාකච්ඡාවකින් පසුවයි.

අදාළ සාකච්ඡාවේදී පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ නියෝජිතයින් ඉල්ලා ඇත්තේ මාර්ග බලපත්‍ර ගාස්තු ගෙවීමට සහ ලීසිං ණය වාරික ගෙවීම සඳහා සහන කාලයක් ලබාදීමට මැදිහත්වන ලෙසයි.

මාර්ග බලපත්‍ර නොමැතිව කාර්යාල සේවා නමින් ධාවනය වන බස් රථ සඳහා නීතිමය පියවර ගන්නා ලෙසද ප්‍රවාහන අමාත්‍යවරිය එහිදී බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

මේ අතර පළාත් අතර සංචරණ සීමා ලබන සඳුදායි (01) පසු ඉවත්වීමත් සමඟ නියමිත කාලසටහන් වලට සියලුම බස්රථ ධාවනය වන බව විෂය භාර රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද (28) මහනුවරදී ප්‍රකාශ කළා ෴

******************************************

ඉතාලියේදී දියණියන් දෙදෙනා (2) ඝාතනය කළ ලාංකික මවගේ සිරුර ගංඟාවකින් හමුවෙයි

(28.10.2021 – 19:35 +0530 – hirunews.lk/sinhala)

සිය තුන් (3) හැවිරිදි සහ එකොළොස් (11) හැවිරිදි දියණියන් දෙදෙනා (2) ඝාතනය කර පලා ගිය මවගේ සිරුර ඉතාලියේ වෙරෝනා හි ‘අඩිගේ’ ගඟෙන් සොයාගත් බව වෙරෝනා පොලීසිය සඳහන් කරනවා.

පසුගිය අඟහරුවාදා (26) වෙරෝනා නගරයෙන් පිටත එරට රජයේ සමාජ සේවා ආයතනයක් මගින් පවත්වාගෙන යනු ලබන ගෘහාශ්‍රිත ප්‍රචණ්ඩත්වයට එරෙහි නවාතැනක තිබී ඇගේ තුන් (3) හැවිරිදි සහ 11 හැවිරිදි දියණියන් දෙදෙනාගේ (2) මළ සිරුරු හමු වුනා.

මෙම දරුවන් ඝාතනය කළ බවට සැක කෙරුණු ඔවුන්ගේ මවගේ බවට සැක කෙරෙන සිරුර බදාදා (27) සවස 3 ට පමණ වෙරෝනා අඩිගේ ගඟෙන් සොයා ගත්තා.

මළ සිරුර සොයා ගත් ස්ථානයේ සිට මීටර් 300 ක් පමණ දුරකින් ඇගේ අත් බෑගය සහ ජංගම දුරකථනය ගං ඉවුරේ තිබී හමු වී තිබෙනවා.

‘සචිත්‍රා නිනන්සලා ප්‍රනාන්දු දේවේන්ද්‍ර මහවඩුගේ’ නමැති මෙම 34 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාව සහ දරු දෙදෙනා (2) මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ සැමියාගේ ප්‍රචණ්ඩත්වයෙන් ඈත් කර තැබීම සඳහා එරට සමාජ සේවා අධිකාරිය විසින් මෙම ‘පෝර්ටෝ සැන් පැන්ක්‍රාසියෝ’ රැඳවුම් පොළේ ‍රඳවා තිබුනා.

ඊයේ (27) සිදු කරන ලද මරණ පරීක්ෂණයෙන් හෙලි වූයේ මෙම ගැහැණු දරුවන් දෙදෙනා (2) බොහෝ විට කොට්ටයක් භාවිත කර ‘ප්‍රචණ්ඩකාරී ලෙස හුස්ම හිර කර’ ඝාතනය කර ඇති බව සොයා ගැනුනා ෴

******************************************

අදත් (28) පොහොර ඉල්ලා විරෝධතා – බකමූණේ ගොවීන් 05 වන දිනටත් උපවාසයේ

(28.10.2021 – 19:41 +0530 – hirunews.lk/sinhala)

පොහොර නොමැතිවීමෙන් වගා සිදුකර ගැනීමට නොහැකිව තමන් අසීරුතාවයට පත්ව ඇති බව පවසමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල ගොවීන් අදත් (28) විරෝධතාවයේ නිරත වුණා.

හම්බන්තොට පැවති උද්ඝෝෂණයකදී විරෝධතාකරුවන් පොහොර ඉල්ලා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයාට ලිපියක්ද භාරදුන්නා.

පොහොර ලබා දෙන තුරු බකමුණ ප්‍රදේශයේ ගොවි සංවිධාන 41 ක නියෝජිතයින් ආරම්භ කළ අඛණ්ඩ උපවාසය අද (28) පස්වන (5) දිනටත් ක්‍රියාත්මක අතර පස්වරුවේ එම ස්ථානයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද පැමිණියා.

මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන්ට කාබනික පොහොර බෙදා හරිමින් සාර්ථකව පවත්වාගෙන යන අනුරාධපුර – හබරවත්ත ප්‍රදේශයේ පිහිටි කාබනික පොහොර නිෂ්පාදනාගාරයක් අද (28) උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා.

කාබනික පොහොර භාවිතයෙන් කෙසෙල්, පැපොල්, මෑ කරල්, මිරිස් ඇතුලු බෝග රැසක් අක්කර 4 ක භූමි ප්‍රමාණයක සාර්ථක වගා කර තිබෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ බඩ ඉරිඟු ගොවීන් සඳහා මීට පෙර මෙරටට ආනයනය කර තිබූ යූරියා මෙට්‍රික්ටොන් ටොන් 5,000 ක් මුදා හැරීමට පියවර ගත් බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළා.

රසායනික පොහොර ආනයනය අත්හිටුවා කාබනික වගාව මෙරට තුළ ප්‍රචලිත කිරීම රජය විසින් ආරම්භ කර ඇති පසුබිමකයි මෙලෙස යූරියා පොහොර තොගයක් අනුරාධපුර දිස්ත්‍රික්කයට ලබාදීමට පියවර ගෙන ඇත්තේ.

මේ අතර, කාබනික පොහොර යොදාගනිමින් සිදුකෙරෙන මහ කන්නයේ වී වගා කටයුතුවලට අවශ්‍ය පොහොර තොග මේ වනවිට මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවූර් පොහොර ගබඩාව වෙත ලැබී තිබෙනවා.

එම දිස්ත්‍රික්කයේ පොහොර අවශ්‍යතාව සඳහා ජෛව දියර පොහොර ලීටර 7,275 ක්, පොටෑසියම් ක්ලෝරයිඩ් මෙට්‍රික් ටොන් 612 ක් සහ නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර 3,300 ක් එහි ගබඩා කර ඇති අතර ගොවිබිම් වෙත ඒවා නිකුත් කෙරෙන්නේ ලබන සදුදා (01) සිටයි.

මේ අතර, ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා කියා සිටියේ රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර වගාව දිරිමත් කිරීමේදී ඇතැම් අමාත්‍යාංශ නිහඬ ප්‍රතිපත්තියක සිටින බවයි.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ පරිසර අමාත්‍යාංශයට අමාත්‍යවරයා විසින් චෝදනාවක් එල්ල කළා.

එසේම, වසංගතයකට මුහුණදීම සඳහා පළිබෝධනාශක සහ දිලීරනාශක තොගයක් ආනයනය කිරීමට අවධානය යොමු වී ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

මෙම මාධ්‍ය හමුවට රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂද එක්ව සිටි අතර, අමාත්‍යවරුන් දෙදෙනා (2) මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන්නා ෴

******************************************

කහවත්තෙන් හමු වූ මැණික් පොකුර ස්විස්ටර්ලන්තයට

(28.10.2021 – 19:53 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර කහවත්තෙන් හමු වූ කිලෝග්‍රෑම් 510 ක් වන ආරනූල් වර්ගයේ මැණික් ගල් පොකුර විද්‍යාගාර පරීක්ෂණ සඳහා අද (28) ස්විට්සර්ලන්තය බලා රැගෙන ගියා.

මෙම මැණික් ගල් පොකුර ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක් නැතහොත් රුපියල් කෝටි 2,000 කට අධික වටිකාමකින් යුක්ත බවටයි මූලිකව ඇස්තමේන්තු කර තිබුණේ.

******************************************

දුංගල්පිටියෙන් සැකකටයුතු මරණයක්

(29.10.2021 – 06:33 +0530 – hirunews.lk/sinhala)

දුංගල්පිටිය පොලිස් වසමේ කැපුම්ගොඩ නැංගුරම්තොටුපොළ අසල වෙරළ තීරයට සැකකටයුතු ලෙස මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් ගොඩ ගසා තිබෙනවා.

මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 30 ත් 35 ත් අතර පිරිමි පුද්ගලයෙක්.

මීගමු මහේස්ත්‍රාත්වරයාගේ මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු ව මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මීගමු රෝහලේ තබා ඇති බවයි වාර්තා වෙන්නේ.

දුංගල්පිටිය පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවෙනු ඇති ෴

******************************************

ෆේස්බුක් මව් සමාගමේ නම වෙනස් වේ

(29.10.2021 – 06:40 +0530 – hirunews.lk/sinhala)

ලොව විශාලතම සමාජ මාධ්‍යය වන ‘ෆේස්බුක්’ හි ආයතනික නාමය ‘මෙටා’ ලෙස වෙනස් කර තිබෙනවා.

ෆේස්බුක් නිර්මාතෘ මාක් සකබර්ග් ප්‍රකාශ කළේ, සිය ආයතනය මගින් සලසන පුළුල් සේවාවන් නිරූපණය කිරීම සඳහා ෆේස්බුක් මෙලෙස ප්‍රතිසන්නාමගත කළ බවයි.

කෙසේ නමුත් මෙහිදී ෆේස්බුක් සමාජ මාධ්‍ය ආයතනයට අයත් ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් සන්නාමයන් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වනු ඇති.

මව් සමාගමේ නම පමණක් මෙලෙස ඔබ්බට යන අරුත් ඇති ‘මෙටා’ ග්‍රීක වදනින් මින් ඉදිරියට හඳුන්වනු ලබනවා.

2015 වසරේදී ගූගල් සමාගමද සිය ආයතනික නාමය ‘ඇල්ෆබට්’ යනුවෙන් ප්‍රතිසන්නාම ගත කළ අතර, එය, පුළුල් භාවිතයේ යොදාගැනීමක් දක්නට ලැබුණේ නැහැ.

ෆේස්බුක් හි නව ආයතනික නාමය ‘මෙටා හෙවත් මෙටාවර්ස්’, මඟින් ඉදිරි අන්තර්ජාල ක්‍රියාකාරකම් නිරූපණය කෙරෙන බවයි මාක් සකබර්ග් වැඩිදුරටත් සඳහන් කළේ.

විශේෂයෙන් වර්චුවල් රියැලිටි තාක්ෂණය ඔස්සේ ග්‍රාහකයන්ට අන්තර්ජාල ක්‍රීඩා, කාර්යාලයීය ක්‍රියාකාරකම් මෙන්ම සන්නිවේදනය වඩාත් තාත්විකව අත්විඳීමට සැළසීම මෙටාහි ආයතනික අරමුණයි ෴

******************************************

සේවය නිමවා සිය රට බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනියට ජනපතිගේ කෘතඥතාව

(29.10.2021 – 07:01 +0530 – hirunews.lk/sinhala)

සේවය නිමවා සිය රට බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් (Alaina B. Teplitz) මහත්මිය ඊයේ (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී තිබෙනවා.

ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමට ඇලයිනා මහත්මිය දැක් වූ සහාය අගය කළ ජනාධිපතිතුමා කොවිඩ් වසංගතය මර්දනය සඳහා එන්නත්කරණය, වෛද්‍ය උපකරණ සැපයීම ඇතුළු ක්‍රියාවලියේ දී ඇමරිකානු රජය මෙරටට දැක්වූ සහාය පිළිබඳව ද කෘතඥතාව පළ කර සිටියා.

එන්නත්කරණයේ දී සහ කොවිඩ් මර්දන ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳ සතුට පළ කළ තානාපතිනිය සිය රාජකාරි පහසු කර ගැනීම සඳහා මෙරටින් ලැබුණු සහයෝගයට ජනාධිපතිතුමාට සහ රජයට ස්තූතිය පළ කළා.

ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මියගේ ඉදිරි කටයුතු වෙනුවෙන් ද ජනාධිපතිතුමා සිය සුභාශීංසන එක් කරන්නට අමතක කළේ නැහැ.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ඇමරිකානු නියෝජ්‍ය තානාපති මාර්ටින් කෙලී (Martin Kelly) සහ දේශපාලන සහ ආර්ථික උපදේශක සුසාන් වල්කේ (Susan Walke) යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා ෴

******************************************

වසරකට මෙරටින් අංශභාග රෝගීන් 60,000 ක්

(29.10.2021 – 07:41 +0530 – hirunews.lk/sinhala)

ලෝක ආඝාත දිනය අදයි.

මෙවර එය පැවැත්වෙන්නේ ‘මොහොතක පමාව, දිවියක නිමාව කර නොගනිමු’ යන්න තේමා කර ගනිමින්.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේ, මේ වන විට වසරකට ශ්‍රී ලංකාවෙන් ආඝාත හෙවත් අංශභාග රෝගීන් 60,000 ක් පමණ වාර්තා වන බවයි.

වසර 10 ක් තුළ රෝහල් ගත වන ආඝාත රෝගීන් සංඛ්‍යාව දෙගුණයකින් (2) පමණ ඉහළ ගොස් ඇති බවද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කළා.

එමෙන්ම මෙරට සිදු වන මරණවලින් 6 (?) කට ප්‍රධාන ම හේතුව වී ඇත්තේද ආඝාතයයි.

මෙරට ජනතාවගේ ආබාධිතවීම් වලට 5 වන ප්‍රධානතම හේතුව වන්නේද ආඝාත තත්ත්වයන් වීම විශේෂත්වයක්.

සෑම වසරකම ලොව ජනගහණයෙන් මිලියන 13.7 ක් ආඝාත රෝගී තත්වයට ලක්වන අතර ඉන් මිලියන 5.5 ක් මිය යනවා.

හෘදයේ සිට මොලයට රුධිරය රැගෙන යන රුධිර නාලවල අවහිර වීම මුල් කර ගනිමින් ආඝාත රෝගී තත්ත්වය ඇති වන අතර, රෝග ලක්ෂණ නිරීක්ෂණය වන මුල් අවස්ථාවේදීම හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතු බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ ෴

******************************************

නැනෝ නයිට්‍රජන් පොහොර නිෂ්පාදනයට රජයේ සහාය

(29.10.2021 – 07:44 +0530 – hirunews.lk/sinhala)

පසට යෙදිය හැකි නැනෝ නයිට්‍රජන් පොහොර සකස් කළ හැකි කර්මාන්තශාලාවක් මෙරට ස්ථාපිත කිරීම සඳහා සහාය ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා ප්‍රකාශ කළා.

ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (28) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ හිරු මාධ්‍යවේදියා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

ලොව පළමු වරට පසට යෙදිය හැකි නැනෝ නයිට්‍රජන් පොහොර නිෂ්පාදනය කරනු ලැබුවේ, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ විද්‍යාඥවරියක වන මහාචාර්ය නිල්වලා කෝට්ටේගොඩ මහත්මිය ඇතුළු විද්‍යාඥයින් කණ්ඩායමක් විසින්.

ඒ සඳහා පේටන්ට් බලපත්‍රයද හිමි වී තිබෙනවා.

මේ අතර, එක්සත් ජාතීන්ගේ කාලගුණ විපර්යාස යටතේ කෘෂිකර්මය පිළිබඳ අන්තර් සැසිවාරයකට පේරාදෙණි විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා එක්වුණා.

එහිදී ඔහු කියා සිටියේ 2030 වසර වනවිට නයිට්‍රජන් අපතේ යෑම 50% කින් අඩු කිරීමට ශ්‍රී ලංකාව සැලසුම් කර ඇති බවයි.

ඒ සඳහා දේශගුණික විපර්යාසවලට ගැලපෙන නව කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් මේ වනවිට සකස් කර ඇති අතර, එය ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද ඔහු කියා සිටියා.

ශ්‍රී ලංකාව දැනටමත් සින්තටික් පොහොර සහ කෘමිනාශක භාවිතය අවම කිරීමට කටයුතු කරමින් සිටින බව සඳහන් කළ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා එහිදී අනිවාර්යයෙන්ම අස්වනුවලට බලපෑමක් සිදු නොවීමට අවධානය යොමු කළ යුතු බවයි ප්‍රකාශ කළේ.

ඒ සඳහා 03 වන සහ 02 වන පරම්පරාවේ නයිට්‍රජන් භාවිතය එනම් නැනෝ පොහොර භාවිතය දිරිගැන්වීමට පියවර ගෙන ඇති බවද එහිදී ඔහු කියා සිටියා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *