මහබැංකු අධිපති ධුරය මෙරට පුද්ගල ධුරාවලියේ පස්වන (5) තැනට

මහබැංකු අධිපති ධුරය මෙරට පුද්ගල ධුරාවලියේ පස්වන (5) තැනට

*********************************************

මහබැංකු අධිපති ධුරය මෙරට පුද්ගල ධුරාවලියේ පස්වන (5) තැනට

(26.10.2021 – 18:30 +0530 – hirunews.lk/sinhala)

මෙරට මහබැංකු අධිපති තනතුර ලංකාවේ පුද්ගල ධුරාවලියේ පස්වන (5) ස්ථානයේ තබා කටයුතු කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මේ වනවිට පුද්ගල ධුරාවලියේ පස්වන (5) ස්ථානයේ ලා සැලකෙන විපක්ෂ නායක ධුරය, කැබිනට් අමාත්‍ය ධුර, ෆීල්ඩ් මාෂල් ධුරය හා සම තත්ත්වයෙහිලා මහ බැංකු අධිපති ධුරයත් සැලකෙනු ඇති.

මහ බැංකු අධිපති ධුරය අජිත් නිවාඩ් කබ්‍රාල් වෙත පැවරීමේදී ඔහු විසින් එම තනතුරට අදාළව කැබිනට් පත්‍රයෙහි බලතල ඉල්ලා සිටි බවට මීට පෙර වාර්තා ද පළ වුණා.

මෙරට පුද්ගල ධුරාවලියේ පළමු ස්ථානය ජනාධිපතිවරයාට පිරිනැමෙන අතර, දෙවැනි ස්ථානය අග්‍රාමාත්‍යවරයාට හිමි වනවා.

එම ධුරාවලියේ සිව්වන ස්ථානය හිමිවන්නේ, මෙරට අගවිනිසුරුවරයා වෙතයි.

Table of Precedence :
[Page 1] – [Page 2][Page 3][Page 4]

******************************************

චින්දාඕ චීන සමාගමට එරෙහිව තවත් වාරණ නියෝගයක්

(26.10.2021 – 18:58 +0530 – hirunews.lk/sinhala)

සී/ස ලංකා පොහොර සමාගම විසින් චින්දාඕ චීන සමාගමට, එහි දේශීය නියෝජිතයාට සහ මහජන බැංකුවට එරෙහිව කොළඹ වාණිජ අධිකරණයෙන් අද (26) තවත් වාරණ නියෝගයක් ලබාගෙන තිබෙනවා.

චින්දාඕ සීවින් බයෝටෙක් ගෘප් කම්පැනි වෙනුවෙන් විවෘත කරන ලද ණයවර ලිපියක් යටතේ මහජන බැංකුව විසින් කිසිදු ගෙවීමක් කළ නොහැකි වන ලෙස අදාළ වාරණ නියෝගය නිකුත් කෙරුණා.

චීන සමාගමට සහ එහි දේශීය නියෝජිතයාට ණයවර ලිපිය යටතේ කිසිදු ගෙවීමක් ලබා ගැනීමට ද අවහිර වන පරිදි වාණිජ මහාධිකරණය අංක 02 හි විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා විසින් කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ ඉල්ලීමක් මත මෙම වාරණ නියෝගය නිකුත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

පසුගිය සිකුරාදා කොළඹ වාණිජ මහාධිකරණය අංක 03 හි විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් ද චීන සමාගමට සහ දේශීය නියෝජිතයාට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කළා.

ආචාර්ය චාරුක ඒකනායක, රජයේ අධිනීතිඥ ශෙහාන් සොයිසා, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විශ්නේෂ්වරන්, අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ සුසන්ත බාලපටබැඳි යන පිරිස් පැමිණිලිකාර සමාගම වෙනුවෙන් මෙහිදී පෙනී සිටියා.

ගිවිසුම යටතේ, චීන සමාගම විසින් ජීවානුහරණය කළ කාබනික පොහොර ලංකාවට නැව්ගත කිරීමට අවශ්‍ය වුව ද, එම තොගයේ ක්ෂුද්‍රජීවීන් අඩංගු විය හැකි බවට තිබූ නාවුක උපදෙස්වලදී එම සමාගම ඒ බව පිළිගෙන ඇති වග ද, අධිකරණයට මෙහිදී දන්වා තිබෙනවා.

ජාතික ශාක නිරෝධායන සේවය විසින් ඔවුන් වෙත යවන ලද නියැදිය පරීක්‍ෂා කර ඇති අතර, ඇතැම් හානිකර බැක්ටීරියා ඇතුළු ජීවීන් එහි සිටින බවට තහවුරු කර තිබෙන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මෙම තොගය, කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලද රුපියල් බිලියනයකට වඩා වැඩි වටිනාකමකින් යුත් ටෙන්ඩර් ක්‍රියාවලියකින් ලබාගත් නැව්ගත කිරීමක කොටසක් බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

******************************************

අදානි යළි ඉන්දියාවට

(26.10.2021 – 19:52 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින ඉන්දියාවේ අදානි සමාගමේ සභාපති ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි අද (26) පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා.

අරලියගහ මන්දිරයේදී මෙම හමුව සිදුව ඇති බවයි වාර්තාවන්නේ.

පෞද්ගලික සංචාරයක් වුවද ගෞතම් අදානිගේ මෙරට සංචාරයේදී කොළඹ වරායේ බටහිර ජැටියේ සංවර්ධන කටයුතු මෙන්ම බලශක්ති ක්‍ෂේත්‍රයේ ආයෝජනය පිළිබඳවද අවධානය යොමුවී තිබෙනවා.

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ සංවර්ධන කටයුතුවල ආයෝජකයාද වන ගෞතම් අදානි ඇතුලු දසදෙනෙකු (10) ගෙන් යුත් කණ්ඩායමක් පෞද්ගලික සංචාරයක් සඳහා පෙරේදා (24) රාත්‍රියේ දිවයිනට පැමිණියා.

ඊයේ (25) පෙරවරුවේ ගෞතම් අදානි ඇතුලු පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී ඇති අතර, පසුව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක ආයෝජනය කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයාබැලීම සඳහා මන්නාරම බලා පිටත්ව ගොස් තිබුණා.

ඇමරිකානු ඩොලර් මිලියන 700 ක ආයෝජනයක් සහිත කොළඹ වරායේ බටහිර පර්යන්ත ව්‍යාපෘතිය සඳහා පසුගිය සැප්තැම්බර් 30 වනදා ගිවිසුම් අත්සන් තැබුණු අතර, එහි සියයට 51 ක කොටස් හිමිකාරීත්වයක් දරන්නේ ඉන්දියාවේ අදානි සමාගමයි.

ව්‍යාපාරික ගෞතම් අදානි ඇතුලු පිරිස අද (26) පස්වරු 04:30 ට පමණ යළි පිටත්ව ගිය බව හිරු ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළා.

මේ අතර ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ඇලයිනා බී ටෙප්ලිට්ස් පවසන්නේ කොළඹ වරායේ සංවර්ධනයට පෞද්ගලික ආයෝජකයන්ගේ විවිධත්වය ශ්‍රී ලාංකික ජනතාවගේ යහපතට හේතුවන බවයි.

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ සංවර්ධනය ඉන්දියාවේ අදානි සමූහය ඇතුලු පාර්ශවයන්ට පැවරීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඇය මේ බව කියා සිටියා.

******************************************

පොහොර ඉල්ලා ගොවීන් අදත් උපවාසයේ

(26.10.2021 – 19:55 +0530 – hirunews.lk/sinhala)

පොහොර ලබාදෙන ලෙස ඉල්ලා පොළොන්නරුව – බකමූණ ප්‍රදේශයේ ගොවි සංවිධාන 41 ක නියෝජිතයින්, ආරම්භ කළ අඛණ්ඩ උපවාසය අද (26) තුන්වන (3) දිනටත් ක්‍රියාත්මකයි.

මේ අතර මාදුරුඔය සහ පිඹුරත්තෑව ජලාශවලින් මෙවර මහ කන්නය සඳහා මහවැලි බී කලාපයට ජලය නිකුත් කිරීම ඊයේ (25) සිදුවුණා.

කෙසේ වෙතත්, ජලය නිකුත් කිරීම සම්බන්ධයෙන් මහවැලි බී කලාපයේ ගොවීන්ගෙන් එල්ල වන්නේ දැඩි විරෝධයක්.

මේ අතර, ගලහ – උඩදෙල්තොට ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි එම්.එම්. සුබසිංහ තරුණයා සාර්ථකව කාබනික පොහොර නිෂ්පාදනය කිරීම ආරම්භ කර තිබෙනවා.

ඔහු මේ වන විට මසකට කාබනික පොහොර කිලෝග්‍රෑම් 1000 ක් පමණ නිෂ්පාදනය කරනු ලබන අතර ප්‍රදේශයේ ගොවි ජනතාවගෙන් ද ඒ සඳහා හොඳ ඉල්ලු‍මක් ඇති බවයි හිරු ප්‍රවෘත්ති අංශයට පැවසුවේ.

******************************************

සැලකිය යුතු ලෙස ගුරුවරුන් මෙන්ම සිසුන් ද පාසල් වෙත පැමිණෙයි

(26.10.2021 – 20:08 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ සියලු පාසල්වල ප්‍රාථමික අංශ අද (26) දෙවන (2) දිනටත් විවෘත කෙරුණු අතර, සැලකිය යුතු ලෙස ගුරුවරුන් මෙන්ම සිසුන් ද පාසල් වෙත පැමිණ තිබූ බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

එසේම සෙනසුරාදා දිනයන්හිදී පාසල් පැවැත්වීම, අමතර පැය ගණනක් එක් කරමින් විෂය කරුණු ආවරණය කිරීම වැනි විකල්ප ක්‍රමවේද පිළිබඳව ද අවධානය යොමුව ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ.

එසේම සෑම සිසුවෙකුම ලබන වසරේ තමාට හිමි ඊළඟ ශ්‍රේණියට උසස් කෙරෙන අතර අතපසු වූ විෂය කරුණු අදාළ ක්‍රමවේද ඔස්සේ ආවරණය කෙරෙනු ඇති.

මේ අතර, කොවිඩ් මර්දන එන්නත් දෙකම (2) ලබාගෙන සති දෙකක් (2) ගත වී ඇති සිසුන්ගේ සහභාගීත්වයෙන් විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට උපකුලපතිවරුන්ට අද (26) සිට බලය පවරා ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

එසේම කොරෝනා තත්වය නිසා සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 27 ක ආදායමක් අහිමිවී ඇති බව රජයේ ගිණුම් කාරක සභාවේදී අනාවරණ වුණා.

අද (26) දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයන් 400 ක් වාර්තාවී ඇති අතර, සුවය ලැබූ සංඛ්‍යාව 300 ක් ෴

******************************************

යුගදනවි පැවරීමට එරෙහිව ජ.වි.පෙ ත් උසාවි යයි

(26.10.2021 – 20:11 +0530 – hirunews.lk/sinhala)

යුගදනවි බලාගාරයේ කොටසක් ඇමරිකානු සමාගමකට ලබා දීමට අදාළ ගිවිසුම සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සහ දේශිය සම්පත් විකිණීමට එරෙහි වරාය, තෙල් සහ විදුලි වෘත්තීය සමිති සන්ධානය අතර සාකච්ඡාවක් අද (26) පස්වරුව් පැවැත්වුණා.

ඒ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදීයි.

එම සාකච්ඡාවට ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, ලංකා සමසමාජ පක්ෂයේ ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ යන මහත්වරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඇතුලු පිරිසක් එක්ව සිටියා.

මේ අතර කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ රජය සතු සියයට 40 ක කොටස් ඇමරිකානු සමාගමකට ලබාදීම සඳහා අත්සන් කළා යැයි කියන ගිවිසුම බල රහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණද අද (26) අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළා.

අමාත්‍ය මණ්ඩලය, මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ඇතුළු පාර්ශවයන් 43 ක් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

******************************************

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුට ස්ථාන මාරුවක්

(26.10.2021 – 22:04 +0530 – hirunews.lk/sinhala)

අද (26) උදෑසන බීමතින් සිවිල් පුද්ගලයකුට පහර දුන් බවට චෝදනා එල්ල වූ සබරගමු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් වෛද්‍ය හා සුබසාධන ඒකකයට මාරුකර තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා රත්නපුර කිරිඇල්ල මාර්ගයේදී මෙම සිවිල් පුද්ගලයාට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස සංසරණය වුණා.

මේ සම්බන්ධයෙන් අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ගෙන් සිදුකල විමසීමකදී ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරියාගේ අපකීර්තිමත් හැසිරීම කිසිසේත් අනුමත නොකරන බවයි.

මෙම සිද්ධියට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මෑතකදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස්වීම් ලැබූවෙක්.

******************************************

ඉතාලියේ වෙරෝනාව කම්පා කල බාලවයස්කාර ඝාතනය

(26.10.2021 – 22:33 +0530 – hirunews.lk/sinhala)

ඉතාලියේ වෙරෝනා හි මාමා බැම්බිනෝ ප්‍රදේශයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික මවක් ඇයගේ එකොළොස් (11) හැවිරිදි සහ තුන් (3) හැවිරිදි වයස් වල පසුවන ගැහැනු ළමයි දෙදෙනෙකු (2) ඝාතනය කර එම ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව වාර්තා වනවා.

ඝාතනයට ලක් වූ කුඩා දරුවන් දෙදෙනාගේ (2) මළ සිරුරු ඔවුන්ගේ ඇඳන් මත තිබියදී සොයාගෙන ඇත්තේ නිවසේ සිටි වෙනත් තැනැත්තෙකු විසින් බවයි වෙරෝනා පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ වන විට සිද්ධියට සැක කරන කාන්තාව ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඇය යම්කිසි මානසික ව්‍යාධියකින් පෙලෙන්නේදැයි යන්න සම්බන්ධයෙන්ද ඉතාලි පොලීසියේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වෙරෝනා මූලස්ථාන පොලිසියේ ජංගම දුරකථන කණ්ඩායම විසින් විමර්ශන සිදු කරන අතර සිද්ධිය වූ ස්ථානයට පොලිසිය සහ ගිනි නිවන හමුදාවට අමතරව පලාතේ නගරාධිපති ෆෙඩ්‍රිකෝ ස්බෝරිනා සහ සමාජ කටයුතු පිළිබඳ මන්ත්‍රී ඩනියෙලා මල්ලාරේද පැමිණ සිටියා ෴

******************************************

අවු 2 ළමයාටත් ඉංග්‍රීසි කතාව පුරුදු කරන ක්‍රමය – දුෂ්කර, ඉංග්‍රීසි අකුරක් බැරි ළමයින්ට උගන්වපු ටීචර් (27.10.2021)

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

නොවැම්බර් පළමු වැනිදා (01) සිට මෙරට ජනතාවට බූස්ටර් එන්නත

(26.10.2021 – 18:44 +0530 – hirunews.lk/sinhala)

එළැඹෙන නොවැම්බර් මස 01 වැනිදා සිට මෙරට පුරවැසියන්ට බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීම ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

අද (26) සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම එන්නත්කරණ වැඩසටහන යටතේ කොවිඩ් මර්දනයේ ඉදිරිපෙළ පිරිස් සඳහා එය මූලිකව ලබාදීමට සැලසුම් කර ඇති බවයි.

මෙම වැඩපිළිවෙළ ආරම්භ කිරීමට අවශ්‍ය මිලියන දෙකක (2) එන්නත් තොගයක් මේ වනවිට තිබෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඉදිරි එන්නත්කරණ කටයුතු සඳහා තවත් මිලියන 14½ ක එන්නත් තොග මේ වනවිටත් ඇණවුම් කර ඇති අතර, එම එන්නත් ක්‍රමානුකූලව මෙරටට ගෙන ඒමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *