SLIIT : මහ දවාලේ රාජ්‍ය දේපළ කොල්ලකෑමක් ගැන කෝප් කමිටු සභාපතිගෙන් අනාවරණයක්

SLIIT : මහ දවාලේ රාජ්‍ය දේපළ කොල්ලකෑමක් ගැන කෝප් කමිටු සභාපතිගෙන් අනාවරණයක්

*********************************************

SLIIT : මහ දවාලේ රාජ්‍ය දේපළ කොල්ලකෑමක් ගැන කෝප් කමිටු සභාපතිගෙන් අනාවරණයක්

(23.10.2021 – 13:50 +0530 – hirunews.lk/sinhala)

මාලඹේ පිහිටි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණික විශ්වවිද්‍යාලය (SLIIT) පෞද්ගලික අංශයට ලබාදීම මහ දවාලේ රාජ්‍ය දේපළ කොල්ලකෑමක් බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසනවා.

කෝප් කමිටු වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තුවේ ඊයේ (22) පැවති කල් තැබීමේ විවාදයට සහභාගී වෙමින් කෝප් කමිටුවේ සභාපතිවරයා මේබව සඳහන් කළා.

******************************************

තරුණයින් දෙදෙනෙකුට (2) පහරදුන් පොලිස් නිලධාරියා අත්අඩංගුවට

(23.10.2021 – 13:17 +0530 – hirunews.lk/sinhala)

තරුණයින් දෙදෙනෙකුට (2) අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්, එරාවුර් පොලීසියේ රථවාහන අංශයේ අදාළ නිලධාරියා අද (23) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ ඔහු අද (23) මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

එසේම, එම පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට පියවර ගත් බවයි මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා කියා සිටියේ.

එරාවුර් පොලීසියේ රථවාහන අංශයේ නිලධාරියෙකු විසින් තරුණයන් දෙදෙනෙකුට (2) අමානුෂික ලෙස පහරදෙන වීඩියෝ පටයක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

ඒ පිළිබඳව සිදුකළ විමර්ශනයකට අදාළවයි අදාළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේ ෴

******************************************

පාම් ඔයිල් (කටුපොල් තෙල්) කර්මාන්තයෙන් මෙරට ආර්ථිකයට ලබාගත හැකි ප්‍රතිලාභ ගැන සාකච්ඡාවක්

(23.10.2021 – 13:26 +0530 – hirunews.lk/sinhala)

පාම් ඔයිල් කර්මාන්තයෙන් මෙරට ආර්ථිකයට ලබාගත හැකි ප්‍රතිලාභ පිළිබඳව ශ්‍රී ලංකාවේ මැලේසියානු තානාපති ටෑන්ග් යෑන්ග් තායි, ශ්‍රී ලංකා පාම් ඔයිල් කර්මාන්ත සම්මේලනයේ නියෝජිතයන් සමඟ සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

ලොව දෙවන (2) විශාලතම පාම් ඔයිල් නිෂ්පාදකයා වන මැලේසියාවේ තිරසාර ඔයිල් පාම් වගාවේ (කටුපොල් වගාව) අත්දැකීම් ශ්‍රී ලංකාවට ලබාදිය හැකි බවයි එහිදි ඔහු අවධාරණය කර ඇත්තේ.

ඝර්ම කලාපීය දේශගුණයක වැවෙන පාම් ඔයිල් වගාව මගින් මෙරට ග්‍රාමීය විරැකියාවට විසඳුමක් ලැබෙන අතර, එම ජන ප්‍රජාවේ ජීවන තත්වය ඉහළ නැංවීමට ද හැකිවනු ඇති බවද මැලේසියානු තානාපතිවරයා පෙන්වාදී තිබෙනවා.

මැලේසියානු පාම් ඔයිල් වගාව සඳහා ශ්‍රම හිඟයක් පවතින අතර, ඒ සඳහා විදේශීය ශ්‍රමිකයන් යොදාගනු ලබනවා.

ඒ සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ද අවස්ථාවක් පවතින අතර, ඔවුන්ට ඉහළ ආදායමක් ලැබිය හැකි බවයි තානාපති ටෑන්ග් යෑන්ග් තායි, පවසා ඇත්තේ.

විසි වසරකට පමණ පෙර මෙරට ආරම්භ කෙරුණු පාම් ඔයිල් වගාවට මැලේසියානු උපදේශකයින්ගෙන් ලැබුණු දායකත්වය පිළිබඳව ශ්‍රී ලංකා පාම් ඔයිල් කර්මාන්ත සම්මේලනය එහිදී ස්තුතිය පළ කර තිබෙනවා ෴

******************************************

පොහොර ඉල්ලා අදත් (23) විරෝධතා

(23.10.2021 – 13:26 +0530 – hirunews.lk/sinhala)

සිය වගා බිම් සඳහා පොහොර ලබාදෙන ලෙස ඉල්ලා දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගොවීන් අදත් (23) විරෝධතාවල නිරත වුණා.

ඒ අනුව ගාල්ල – හල්විටිගල ප්‍රදේශයේ තේ වගාකරුවන් ද සිය වගාබිම් සඳහා පොහොර නොමැති බව පවසමින් අද (23) විරෝධතාවයේ නිරත වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම ඇළහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නිකපිටිය ප්‍රදේශයේ ගොවීන් වගා කටයුතු ආරම්භ කළ ද, ප්‍රමිතියෙන් යුත් පොහොර නොමැතිවීම හේතුවෙන් එම වගාවන් නිසරු වී ඇති බවට එම ගොවීන් චෝදනා කළා.

මේ අතර, මැදිරිගිරිය – දියසෙන්පුර ප්‍රදේශයේ ගොවීන් කාබනික පොහොර භාවිතා කරමින් සාර්ථක ලෙස කහ වගාවන් සිදු කර තිබෙනවා.

එමෙන්ම මහවැලි බී කලාපයේ කාබනික පොහොර භාවිතය සම්බන්ධයෙන් ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) සිදු කෙරුණා.

******************************************

බැක්ටීරියා සහිත කාබනික පොහොර රැගත් නෞකාවට බාධා

(23.10.2021 – 13:38 +0530 – hirunews.lk/sinhala)

චීනයේ සිට පැමිණෙන හානිකර බැක්ටීරියා සහිත කාබනික පොහොර රැගත් නෞකාව කොළඹ වරාය පරිශ්‍රයට ඇතුළු වීම වළක්වන ලෙස සියලු අංශවලට නියෝග කළ බව කොළඹ වරාය පාලකවරයා හෙවත් ‘හාබර් මාස්ටර්’ ප්‍රකාශ කළා.

හානිකර බැක්ටීරියා සහිත කාබනික පොහොර රැගත් ‘හිපෝ ස්ප්‍රිට්’ නම් නෞකාව පසුගිය 14 වනදා මලක්කා මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව පැවති බවයි නාවික දත්ත වලින් පෙන්නුම් කර ඇත්තේ.

කෙසේ වෙතත්, මේ වනවිට එම නෞකාව ස්ථානගතව පවතින ස්ථානය හඳුනා ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බව ‘හාබර් මාස්ටර්’ හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළා.

හානිකර බැක්ටීරියා සහිත කාබනික පොහොර රැගත් නෞකාවක් මෙරටට පැමිණෙන බවට මේ දක්වා කිසිදු පාර්ශවයක් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා ෴

******************************************

අනවසරෙන් වැලි ගොඩ දැමූ පිරිසක් පැන්නූ අරලගංවිල ගොවියෝ

(23.10.2021 – 13:59 +0530 – hirunews.lk/sinhala)

අරලගංවිල ප්‍රදේශයේ බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් වැලි ගොඩ දමමින් සිටි පිරිසක් පලවා හැරීමට ප්‍රදේශයේ ගොවි සංවිධාන නියෝජිතයින් සහ ගොවීන් පිරිසක් කටයුතු කළා.

ගොවි සංවිධාන සහ මහා සංඝරත්නය පෙන්වා දුන්නේ රොන්මඩ ඉවතවත් කරන මුවාවෙන් හම්බන්තොට ප්‍රදේශයේ සිට පැමිණි මහා පරිමාණ ව්‍යාපාරිකයෙකු විසින් මෙම වැලි ගොඩ දැමීම සිදුකරන බවයි.

******************************************

එක් දිනයක් හෝ භාවිත නොකර විනාශයට පත්වන ගොඩනැගිල්ල

(23.10.2021 – 14:08 +0530 – hirunews.lk/sinhala)

ජනතාවට සේවා සැපයීමේ අරමුණින් ඉඳිකළ ගොඩනැගිල්ලක් එක් (1) දිනයක් හෝ භාවිත නොකර විනාශයට පත්වන පුවතක් අපට වාර්තා වුණා. මෙය පිහිටා ඇත්තේ බණ්ඩාරවෙල ඇල්ල ප්‍රදේශයේයි.

******************************************

භාණ්ඩ මිල ඉහළ යෑමෙන් කිරි ගොවියා අපහසුතාවට

(23.10.2021 – 14:55 +0530 – hirunews.lk/sinhala)

භාණ්ඩ මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හමුවේ තම කර්මාන්තය නිසි ලෙස පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව, කිරි ගොවීන් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ, පවතින තත්ත්වය හමුවේ සෙසු ගොවීන් මෙන් විරෝධතාවල නිරත වීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි.

******************************************

සිංගප්පූරුව ශ්‍රී ලාංකිකයන්ට යළි විවෘත වෙයි

(23.10.2021 – 15:11 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක සංචාරකයන්ට ලබන 27 වනදා සිට සිංගප්පූරුවට ඇතුළු වීමට හෝ ඒ හරහා ගමන් කිරීමට අවසර හිමිවනවා.

ඒ එරට රජය විසින් කොරෝනා වයිරස් නිරෝධායන සීමාවන් තවදුරටත් ලිහිල් කිරීමත් සමගයි.

අවසන් දින 14 තුල බංග්ලාදේශය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව යන රටවල රැදී සිටි පුද්ගලයන්ට සිංගප්පූරුවට ඇතුළු වීමට මෙතෙක් අවසර හිමිවූයේ නැහැ.

එහෙත් එම රටවල සංචාරකයන්ට 04 වන කාණ්ඩයේ සීමාවන් යටතේ සිංගප්පූරුවට ඇතුළු වීමට 27 වනදා සිට හැකිවනවා.

04 වන කාණ්ඩයේ සීමාවන් යටතේ ඔවුන් එරට රජය විසින් විශේෂයෙන් සකස් කළ පහසුකම් වල දින 10 ක් රැදී සිටිය යුතු බවයි විදෙස් වාර්තා සදඟන් කළේ.

සිංගප්පූරු වැසියන්ට ඒ සඳහා විකල්ප, නවාතැන් පහසුකම් සපයා ගත හැකියි ෴

******************************************

හානිකර පොහොර ගෙන ආ සමාගමට එරෙහි ව වාරණ නියෝගයක්

(23.10.2021 – 15:17 +0530 – hirunews.lk/sinhala)

බැක්ටීරියා අඩංගු කාබනික පොහොර මෙරටට ගෙන ආ චීන සමාගමට, එහි දේශීය නියෝජිතයාට සහ මහජන බැංකුවට එරෙහිව කොළඹ වානිජ මහාධිකරණයෙන් වාරණ නියෝගයක් කර තිබෙනවා.

ඒ ලංකා පොහොර සමාගම කළ ඉල්ලීමකට අනුවයි.

ඒ අනුව අදාළ සමාගම් වෙනුවෙන් විවෘත කරන ලද ණයවර ලිපි සඳහා මහජන බැංකුවට කිසිදු ගෙවීමක් සිදු කිරීමට හැකිවන්නේ නැහැ.

චීන සමාගමට සහ දේශීය නියෝජිතයාට ඒ යටතේ ගෙවීම් ලබා ගැනීම ද මෙමගින් අත්හිටුවා තිබෙනවා ෴

******************************************

ආණ්ඩු පක්ෂයේ විශේෂ කණ්ඩායම් රැස්වීමක් හෙට

(23.10.2021 – 15:54 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් හෙට (24) පස්වරු 06:00 ට පැවැත්වීමට නියමිතයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ දී එම රැස්වීම පැවැත්වෙන බවයි ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

අයවැය ඇතුළු කරුණු කිහිපයක් පිලිබඳව එම රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා ෴

******************************************

හබරණ – ත්‍රිකුණාමලය මාර්ගයේ මාරක අනතුරින් දෙදෙනෙකු (2) මරුට

(23.10.2021 – 17:37 +0530 – hirunews.lk/sinhala)

හබරණ – ත්‍රිකුණාමලය මාර්ගයේ, ගල්ඔය තලපත්කන්ද ප්‍රදේශයේ දී මෝටර් රථයක් සහ ත්‍රීරෝද රථයක් ගැටී සිදු වූ අනතුරකින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා ෴

******************************************

ඉන්ධන නොමැති බවට අදත් (23) ජනතාවගෙන් චෝදනා

(23.10.2021 – 18:51 +0530 – hirunews.lk/sinhala)

ලංකා අයි.ඕ.සී සමාගම ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ රට පුරා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් රැසක ඇති වූ ඉන්ධන හිඟය අද (23) දිනයේත් දක්නට ලැබුණා.

ඒ අනුව, පිරවුම්හල් අසල දිගු පෝලිම් පැවති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ඇතැම් පිරවුම්හල්වල පෙට්‍රල් නොමැති බවට පුවරු ප්‍රදර්ශනය කර තිබූ අයුරු ද දක්නට ලැබුණා ෴

******************************************

බැක්ටීරියා සහිත කාබනික පොහොර නැව කොළඹ වරායට ?

(23.10.2021 – 18:56 +0530 – hirunews.lk/sinhala)

බැක්ටීරියා අඩංගු කාබනික පොහොර මෙරටට ගෙන ආ චීන සමාගමට, එහි දේශීය නියෝජිතයාට සහ මහජන බැංකුවට එරෙහිව කොළඹ වානිජ මහාධිකරණයෙන් වාරණ නියෝගයක් කර තිබෙනවා.

ඒ ලංකා පොහොර සමාගම කළ ඉල්ලීමකට අනුවයි.

ඒ අනුව අදාළ සමාගම් වෙනුවෙන් විවෘත කරන ලද ණයවර ලිපි සඳහා මහජන බැංකුවට කිසිදු ගෙවීමක් සිදු කිරීමට හැකිවන්නේ නැහැ.

එසේම, ‘කුවින්ග්ඩාඕ සීවින් බයෝටෙක් ගෘප් කම්පැනි’ නම් චීන සමාගමට සහ දේශීය නියෝජිතයාට ඒ යටතේ ගෙවීම් ලබා ගැනීම ද මෙමගින් අත්හිටුවා තිබෙනවා.

ගිවිසුම යටතේ චීන සමාගම විසින් ජීවානුහරණය කළ කාබනික පොහොර ලංකාවට නැව්ගත කිරීමට අවශ්‍ය වුව ද එම තොගයේ ක්ෂුද්‍රජීවින් අඩංගු විය හැකි බව නැව් උපදෙස් වලදී සමාගම පිළිගෙන ඇති බව අධිකරණය වෙත මෙහිදී වාර්තා කර තිබෙනවා.

ජාතික ශාක නිරෝධායන සේවය විසින් ඔවුන් වෙත යවන ලද නියැදිය පරීක්ෂා කර ඇති අතර ඇතැම් හානිකර බැක්ටීරියා ඇතුලු ජීවින් එහි සිටින බවට තහවුරු කර ඇති බව සඳහන්.

මෙම තොගය කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලද රුපියල් බිලියනයකට වඩා වැඩි වටිනාකමකින් යුත් ටෙන්ඩර් ක්‍රියාවලියකින් ලබා ගත් නැව්ගත කිරීමක කොටසක්.

මේ අතර, හානිකර බැක්ටීරියා සහිත කාබනික පොහොර රැගත් චීන නෞකාව කොළඹ වරාය පරිශ්‍රයට ඇතුළු වීම වළක්වන ලෙස සියලු අංශවලට නියෝග කළ බව කොළඹ වරාය පාලක කපිතාන් නිර්මාල් ද සිල්වා මහතා ප්‍රකාශ කළා.

හානිකර බැක්ටීරියා සහිත කාබනික පොහොර රැගත් ‘හිපෝ ස්ප්‍රිට්’ නම් නෞකාව පසුගිය 14 වනදා මලක්කා මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව පැවති බවයි නාවික දත්ත වලින් පෙන්නුම් කර ඇත්තේ.

කෙසේ වෙතත්, මේ වනවිට එම නෞකාව ස්ථානගතව පවතින ස්ථානය හඳුනා ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බව වරාය පාලකවරයා හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළා.

හානිකර බැක්ටීරියා සහිත කාබනික පොහොර රැගත් නෞකාවක් මෙරටට පැමිණෙන බවට මේ දක්වා කිසිදු පාර්ශවයක් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර, ‘ඉන්දියානු පොහොරවලට ගෙවන්න කෝටි 29 ක් පුද්ගලික ගිණුමකට – ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර බලපෑම් කරලා’ යන මැයෙන් සති අන්ත පුවත්පතක පළ කර ඇති වාර්තාව සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ප්‍රකාශ කරනවා.

එය අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රවෘත්තියක් බව එය තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ජනාධිපති ලේකම්වරයා ප්‍රකාශ කළේ යැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

එහි වැඩිදුරටත් දැක්වුණේ අදාළ පුවත්පත් වාර්තාව සම්බන්ධයෙන් සියලු පාර්ශව කැඳවා විධිමත් පරීක්ෂණයක් වහාම පවත්ව ලෙස ජනාධිපති ලේකම්වරයා, පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *