කතෝලික පාසල් ද ඇතුලුව සියලු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි ලබන 25 ඇරඹෙයි

කතෝලික පාසල් ද ඇතුලුව සියලු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි ලබන 25 ඇරඹෙයි

*********************************************

කතෝලික පාසල් ද ඇතුලුව සියලු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි ලබන 25 ඇරඹෙයි

(22.10.2021 – 17:33 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ සියලුම පාසල් වල ප්‍රාථමික අංශ ලබන සඳුදා (25) සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසනවා.

ඊට අදාළ නිර්දේශ ද මේ වනවිට කොවිඩ් මර්දන කමිටුව විසින් ලබා දී ඇති බවයි ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් මාස 6 කට වැඩි කාලයක් දිවයිනේ සියලු පාසල් වසා තැබුණු අතර ඊයේ (21) සිසුන් 200 ට අඩු පාසල් විවෘත කිරීමට පියවර ගැණුනා.

එමෙන්ම පාසල් විවෘත කිරීමට රජය ගත් තීරණයට සමගාමීව දිවයිනේ සියලුම කතෝලික පාසල්වල ප්‍රාථමික අංශ ද ලබන 25 වනදා සඳුදා විවෘත කෙරෙන බවයි අගරදගුරු කාර්යාලය නිවේදනය කළේ.

මේ අතර කොවිඩ් මර්දන විශේෂ කමිටුව ද තීරණය කර ඇත්තේ අධ්‍යාපන සහ සෞඛ්‍ය අංශ එක්ව සාකච්ඡා කර සියලු පාසල්වල ප්‍රාථමික අංශ සහ 11, 13 ශ්‍රේණි ආරම්භ කිරීමටයි.

උපකාරක පන්ති ඇරඹීමට ඇති හැකියාව පිලිබඳව ද අද (22) පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී අවධානය යොමුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.

සුදුසුකම් සපුරන සියලු දරුවන්ට දෙසතියක් ඇතුළත එන්නත් ලබාදී අවසන් කිරීමට ද මෙහිදී තීරණය කෙරුණා.

මේ අතර ජනතා ඉල්ලීම් සැලකිල්ලට ගෙන දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා නොවැම්බර් 01 වන දා සිට ඉවත් කිරීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු කෙරුණා.

මුව ආවරණ පැළදීම, අත් සේදීම, දුරස්ථභාවය තබා ගැනීම ඇතුළු සෞඛ්‍ය නිර්දේශ පිළිපැදිමට ජනතාව අඛණ්ඩව දැනුවත් කිරීම සහ ප්‍රතිශක්තීකරණය සඳහා දේශීය ඖෂධ සහ කැඳ වර්ග භාවිතයට ජනතාව පෙළඹවීම කළ යුතු බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.

පාසල්වල අනෙකුත් ශ්‍රේණි ආරම්භ කරනු ලබන දින පිළිබඳ පසුව දැනුම්දෙන අතර කොවිඩ් 19 වසංගත තත්වය තුළ සියලු සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කර බාධාවකින් තොරව පවත්වා ගැනීමට සියලුදෙනාගේ දායකත්වය අපේක්ෂා කරන බවයි අධ්‍යාපන ලේකම්වරයා කියාසිටියේ.

මේ අතර, රාජ්‍ය දේපල වලට හානි සිදු කිරීම යටතේ වැලිමඩ – මාලිගාතැන්න විද්‍යාලයේ ගේට්ටුවේ ඉබි යතුරු කඩා දමා පාසල විවෘත කිරීමට කටයුතු කළ ගුරුවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මේ බව කියා සිටියේ කොළඹ අද (22) පැවති මාධ්‍ය හමුවකදීයි.

අද (22) පැවති මාධ්‍ය හමුවකදී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ප්‍රකාශ කළේ 25 වනදා පාසල් ආරම්භ කිරීමෙන් පසු පාසල් පැමිණ උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වන බවයි.

කෙසේ වෙතත්, යළි පාසල් පැමිණීම වෘත්තීය සටන පාවාදීමක් ලෙසයි ඔවුන් ඔන්ලයින් වර්ජනයට එක්ව සිටින අධ්‍යාපන වෘත්තීකයන්ගේ සංගමයේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමියන් කොළඹ අද (22) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.

මේ අතර, කතෝලික පාසල් වල ප්‍රාථමික අංශය ද ලබන සඳුදා (25) සිට ආරම්භ වනවා.

+ [ මාධ්‍ය නිවේදනය ]

++++++++++++++++++++

තවත් කොරෝනා වයිරස් ආසාදිතයන් 448 ක් හමුවෙයි

(22.10.2021 – 17:50 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 448 ක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 5,34,871 ක් ලෙසටයි.

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයන්ගෙන් 1,81,21 ක් රෝහල්ගතව හෝ නිවෙස්වල ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 5,02,740 ක්.

මෙරටින් කොරෝනා ආසාදිත මරණ 13,562 ක් ද වාර්තාවී තිබෙනවා ෴

+++++++++++++++++

හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය සඳුදා (25) යළි ඇරඹෙයි

(22.10.2021 – 18:42 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ලබන සඳුදා (25) සිට යළි ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව දිනයක් හා වේලාවක් වෙන්කර ගන්නා ඉල්ලුම්කරුවන් සඳහා එම සේවාව ලබාගැනීමේ අවස්ථාව හිමි වනවා.

දෙපාර්තමේන්තු පරිශ්‍රය වෙත එකවර විශාල සේවාලාභීන් ප්‍රමාණයක් රැස්වීමේ අවදානම් තත්වය පිළිබඳ සලකා සීමිත සේවාලාභීන් පිරිසකට බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් සහ ගාල්ල දකුණු පළාත් කාර්යාලයෙන් එක්දින සේවාව යටතේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමටයි කටයුතු සූදානම් කර ඇත්තේ.

එක්දින සේවය මගින් ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට අපේක්ෂා කරන සේවාලාභීන් තම ඉල්ලුම්පත ග්‍රාම නිලධාරී මගින් සහතික කර අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිහිටි හැඳුනුම්පත් ශාඛා කාර්යාලය වෙත යොමු විය යුතුයි.

එහිදී තමන්ට පැමිණිය හැකි පහසු දිනයක් හා වේලාවක් වෙන්කර ගත යුතු වනවා. නියමිත දිනයේදී නියමිත වේලාවට දෙපාර්තමේන්තුව වෙත පැමිණිය යුතු බවයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

එසේ පැමිණීමට අපොහොසත් වන්නේ නම් නැවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යොමු වී වෙනත් දිනයක් ලබාගත යුතුයි.

මේවන විට සාමාන්‍ය සේවය යටතේ ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා අංක වෙන්කර ගත් ඉල්ලුම්කරුවන්ට ද නියමිත දිනයේදී දෙපාර්තමේන්තුව වෙත පැමිණ තම ජාතික හැඳූනුම්පත් ලබාගැනීම සඳහා පහසුකම් සලසා තිබෙනවා.

තවදුරටත් සාමාන්‍ය සේවය යටතේ යොමු කරන ඉල්ලුම්පත් ග්‍රාම නිලධාරී මගින් දෙපාර්තමේනතුව වෙත යොමු කළ හැකි අතර ඊට අදාළ හැඳුනුම්පත් ද අවම කාලයක් තුල කඩිනමින් නිකුත් කිරීමටයි කටයුතු සැලසුම් කර ඇත්තේ.

දෙපාර්තමේන්තු පරිශ්‍රයට පැමිණෙන සියලුම ඉල්ලුම්කරුවන් සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් නිසි ලෙස පිළිපැදිය යුතු බව ද පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අවධාරණය කළා ෴

+++++++++++++++

කරාපිටියේදී මියගිය කොරෝනා ආසාදිතයෙකුට කළු දිලීර

(22.10.2021 – 18:56 +0530 – hirunews.lk/sinhala)

මේ අතර, කරාපිටිය ශික්ෂණ රෝහලේදී කොරෝනා ආසාදනය වී මියගිය පුද්ගලයෙකුට ‘කළු දිලීර රෝගය’ හෙවත් ‘මියුකෝමයිකෝසිස්’ වැළැඳී ඇති බව තහවුරු වී ඇතැයි එම රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසනවා.

පසුගිය සැප්තැම්බර් මස 29 වැනිදා ජීවිතක්ෂයට පත්ව ඇති 56 හැවිරිදි මෙම පුද්ගලයා ඇල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ පදිංචිකරුවෙක්.

මියයෑමෙන් අනතුරුව ඔහුගෙන් ලබාගත් සාම්පල වැඩිදුර පර්යේෂණ සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකර ඇති අතර, එහි වාර්තාවලට අනුවයි මේ බව තහවුරු වී ඇත්තේ.

දැනට පනවා ඇති පළාත් සංචරණ සීමා ඔක්තෝම්බර් 31 වනදා අලුයම හතරෙන් (4) පසු ඉවත් කිරීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (22) රැස්වූ කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා එහිදී කියා සිටියේ නොවැම්බර් මාසයේදී වර්ධක එන්නත් ලබාදීමට අවශ්‍ය කරන ෆයිසර් එන්නත් තොග දිවයිනට ලැබීමට නියමිත බවයි.

මේ අතර, ඉස්ලාම් භක්තිකයින්ට සිය දේවස්ථාන තුල සිකුරාදා යාච්ඤා මෙහෙයන් සිදුකිරීම සඳහා අවසර ලබාදෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශය නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා. 50 දෙනෙකුට උපරිම වශයෙන් එය සීමා විය යුතුයි.

අද (22) දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 448 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, අද (22) සුවය ලැබූ සංඛ්‍යාව 276ක්.

කොවිඩ් වසංගතය හේතුවෙන් දිවයින පුරා පාසල් තාවකාලිකව වසා දමා තිබූ අතර, ඊයේ (21) දිනයේදී එම පාසල් සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ විවෘත කෙරුණා. පාසල් විවෘත කළ දෙවන දිනය වන අද (22) දිනයේදී දිවයින පුරා සිසුන්ගේ පැමිණීමේ ප්‍රතිශතය 16% ක් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ. එමෙන්ම ගුරුවරුන්ගේ පැමිණීම ද 25% ක ප්‍රතිශතයක් ගන්නා බව ද වාර්තා වනවා ෴

++++++++++++++++

තවත් කොරෝනා මරණ 12 ක්

(22.10.2021 – 19:06 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරසය ආසාදිත මරණ 12 ක් වාර්තාවී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (21) තහවුරු කළ මෙම මරණ 12 ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 13,574 ක් ලෙසටයි.

ඊයේ (21) තහවුරු කළ මෙම මරණ අතර කාන්තාවන් 5 ක් සහ පිරිමින් 7 ක් වනවා.

අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ කිසිදු මරණයක් ඊයේ (21) තහවුරු කර නැහැ.

අවුරුදු 30 ත් 59 ත් අතර වයස් කාණ්ඩයේ මරණ 4 ක් වනවා.

ඒ පිරිමි පුද්ගලයන් 3 ක් සහ එක් (1) කාන්තාවක් වශයෙන්. අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 8 ක් තහවුරු කර ඇති අතර ඒ පිරිමි 4 ක් සහ කාන්තාවන් 4 ක් වශයෙන්.

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා වෛරස් ආසාදිතයන් 5,34,871 ක් හඳුනාගෙන ඇති අතර ඉන් 18,569 ක් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යායව 5,02,740 ක් ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වයිරස් ආසාදිතයන් 104 ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව අද (22) දිනයේ මෙරටින් හමුවූ ආසාදිතයන් සංඛ්‍යාව 552 ක් ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

ශ්‍රී ලංකාව සහ බහරේන් අතර දේශපාලන උපදේශන සැසි පැවැත්වේ

(22.10.2021 – 18:41 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව සහ බහරේනය අතර පළමු දේශපාලන උපදේශන සැසිය සූම් තාක්ෂණය ඔස්සේ ඊයේ දින පැවැත්වුණා.

ඒ විදේශ ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ සහ බහරේන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් ආචාර්ය ෂෙයික් අබ්දුල්ලා බින් අහමඩ් අලි කලීෆාගේ ප්‍රධානත්වයෙන්.

දෙරට අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට සහ පොදු අවශ්‍යතා සම්බන්ධයෙන් වන කලාපීය හා ජාත්‍යන්තර කරුණු පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමේ අරමුණින් යුත් දේශපාලන උපදේශන පිළිබඳ අවබෝධතා ගිවිසුම සඳහා 2009 වර්ෂයේදී දෙරට අත්සන් තැබුණා.

දෙරට අතර පවත්නා සබඳතා නව සහයෝගිතා සහිත අංශ ඔස්සේ තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව නියෝජිත පිරිස මෙහිදී සාකච්ඡා කළා.

මෙම සාකච්ඡාවේ දී දෙරටෙහි අන්‍යෝන්‍ය වාසි සඳහා වෙළෙඳාම, ආයෝජනය, මිනිස් බලය, අධ්‍යාපනය, සංස්කෘතිය, සංචාරක ව්‍යාපාරය, සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය, නිපුණතා සංවර්ධනය සහ වෘත්තීය පුහුණුව යනාදී අංශ ඇතුළු අංශ කිහිපයක් කෙරෙහි අවධානය යොමු කෙරුණා.

එමෙන්ම හඳුනාගත් අංශවල පවතින මෙවැනි සහයෝගීතා විධිමත් කිරීම සඳහා නව ද්විපාර්ශ්වික ගිවිසුම්වලට එළඹීමට මෙන්ම අත්සන් කළ ගිවිසුම් නැවත සලකා බැලීමටයි මෙම හමුවේදී තීරණය කෙරුණේ.

බහරේනයේ වෙසෙන ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් බහරේනය සඳහා ලබාදෙන දායකත්වයත්, ඔවුන්ට නොමිලයේ එන්නත් ලබාදීමට මෙන්ම ඔවුන්ගේ සුබසිද්ධිය තහවුරු කිරීම සඳහා බහරේනය ඉටු කරන කැපවීම පිළිබඳවත් බහරේන නියෝජිත පිරිස මෙහිදී විස්තර කරනු ලැබුවා.

බහරේනයේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට නොමිලයේ එන්නත් ලබාදීම සඳහා පහසුකම් සැලසීම ඇගයූ විදේශ ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ බහරේන් රජයට සිය ස්තුතිය පළ කළ අතර, ශ්‍රී ලාංකිකයන් සඳහා බහරේනය තුළ පවත්නා රැකියා අවස්ථා ගවේෂණය කිරීමට උනන්දු වන බව ද ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාව සහ බහරේනය අතර දෙවන දේශපාලන උපදේශන සැසිය 2022 වර්ෂයේ කොළඹ දී පැවැත්වීමට නියමිතයි.

මෙම අවස්ථාවට නවදිල්ලියේ වෙසෙන බහරේන් රාජධානියේ ශ්‍රී ලංකා තානාපති අබ්දුල්රහ්මාන් අල්-කවූඩ්, අප්‍රිකානු-ආසියානු කටයුතු අංශයේ ප්‍රධානී තානාපති ෆාතිමා අබ්දුල්ලා අල්-ධාන් ඇතුළු බහරේන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සහ විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියා ෴

******************************************

ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවන බව සංස්ථාවත් කියයි – අදත් (22) පිරවුම්හල් අසල දිගු පෝලිම්

(22.10.2021 – 18:49 +0530 – hirunews.lk/sinhala)

ලංකා අයි.ඕ.සී. සමාගම ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ තමන්ට ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රුපියල් 5 ක මිල වැඩිවීමක් තම සංස්ථාවට ප්‍රමාණවත් නොවන බවයි.

මේ අතර, ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා අයි.ඕ.සී. පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ නැංවීමත් සමඟ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසළ අද (22) දිනයේ දිගු පෝලිම් දක්නට ලැබුණා.

ඇතැම් පිරවුම්හල්වල පෙට්‍රල් නොමැති බවට පුවරු ප්‍රදර්ශනය කර තිබූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 05 කින් ද, ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 05 කින් ද ලංකා අයි.ඕ.සී සමාගම ඊයේ (21) ඉහළ දමනු ලැබුවා.

මේ අතර, අයි.ඕ.සී. මිලට සමගාමීව සිපෙට්කෝ මිල ද වැඩි වීමක් සිදුනොකළ හොත් ඉන්ධන බෙදා හැරීම අත්හිටුවමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණ වන බව ලංකා අයි.ඕ.සී බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති, කෝසල විදානාරච්චි මහතා හිරු ප්‍රවෘත්ති අංශය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළා.

******************************************

අරලගංවිල නීති විරෝධී වැලි ගොඩ දැමීමක් ගැන පොලිස් විමර්ශන

(22.10.2021 – 18:53 +0530 – hirunews.lk/sinhala)

අරලගංවිල – කුඩා ඔය අමුණේ නීති විරෝධී ලෙස වැලි ගොඩ දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ වැලි පටවා තිබූ ට්‍රැක්ටර් රථ 3 ක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඒවායේ රියදුරන් සහ තවත් ට්‍රැක්ටර් 2 ක් පලා ගොස් ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.

හම්බන්තොට ප්‍රදේශයේ ව්‍යපාරිකයෙකු විසින් බැකෝ යන්ත්‍ර ද යොදා ගනිමින් අද (22) එම ස්ථානයේ වැලි ගොඩ දමමින් සිටි අවස්ථාවේදී උණුසුම් තත්වයක් ඇති වුණේ ප්‍රදේශවාසීන්, ගොවි සංවිධාන සහ මහා සංඝරත්නය එම ස්ථානයට පැමිණ විරෝධය පල කිරීමත් සමගයි.

ඔවුන් සඳහන් කළේ අදාළ ඔයේ රොන් මඩ ඉවත් කිරීමට මහවැලි අධිකාරිය මගින් තමන්ට අවසර ලබාදී ඇති බව පවසමින් අදාළ ව්‍යාපාරිකයන් එහි වැලි ගොඩදැමීම සිදුකරන බවයි.

එම ස්ථානයේ වැලි ගොඩ දැමීම හේතුවෙන් කුඩා ඔය අමුණට, ගං ඉවුරට, වාරි මාර්ග පද්ධතියට මෙන්ම පාලමටද හානි සිදුවන බව ද එහිදී ඔවුන් පෙන්වා දුන්නා.

විරෝධය හමුවේ වැලි ගොඩ දමමින් සිටි පිරිස එම ස්ථානයෙන් පලා ගොස් තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *