පොහොර ගැටලුවට විසඳුම් ඉල්ලා පාර්ලිමේන්තුවේත් විරෝධතා

පොහොර ගැටලුවට විසඳුම් ඉල්ලා පාර්ලිමේන්තුවේත් විරෝධතා

*********************************************

පොහොර ගැටලුවට විසඳුම් ඉල්ලා පාර්ලිමේන්තුවේත් විරෝධතා

(22.10.2021 – 14:43 +0530 – hirunews.lk/sinhala)

පොහොර ගැටලුවට විසඳුම් ඉල්ලා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද (22) පාර්ලිමේන්තු සභා ගර්භයේ විරෝධතාවක නිරත වුණා.

එහිදී ඔවුන් විරෝධතා පුවරු රැගෙන විරෝධතා පාඨ කියමින් සිය විරෝධතාව සිදුකළ අතර කතානායකවරයා ඔවුන්ට උපදෙස් ලබාදුන්නේ තම අසුන් වෙත ගොස් විරෝධතාව සිදුකරන ලෙසටයි.

පොහොර ගැටලුව සම්බන්ධයෙන් අද (22) පාර්ලිමේන්තුවේදී උණුසුම් සංවාදයක් ද හට ගත්තා.

මේ අතර ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ආනයනය කළත් පසට යෙදිය හැකි නැනෝ නයිට්‍රජන් පොහොර නිපදවීමෙන් ශ්‍රී ලංකාවට පේට්න් අයිතිය හිමිව ඇති බව එම පර්යේෂණය සිදුකළ ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය හෙවත් ස්ලින්ටෙක් ආයතනයේ විද්‍යාඥවරියක් වන මහාචාර්ය නිල්වලා කෝට්ටේගොඩ මහත්මිය ප්‍රකාශ කළා.

ඒ අද (22) මාධ්‍ය හමුවක් කැඳවමින්. දිනකට නයිට්‍රජන් දියර පොහොර කිලෝග්‍රැම් 100 මෙරටදී නිපදවිය හැකි බවයි ඇය කියා සිටියේ.

කෙසේ වෙතත්, ස්ලින්ටෙක් ආයතනයේ විද්‍යාඥවරියක් වන මහාචාර්ය නිල්වලා කෝට්ටේගොඩ මහත්මිය ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් විසින් නිපදවන ලද පසට යෙදිය හැකි මෙම නැනෝ නයිට්‍රජන් පොහොරවල පේට්න් අයිතිය පසුව ඉන්දියාවේ පොහොර සමාගමක් වෙත අලෙවි කර තිබුණා.

ඒ රජයේ අනුමැතියට යටත්වයි.

ඇමෙරිකානු ඩොලර් මිලියන 3 කට එය අලෙවි කර ඇති අතර, එම මුදල් ස්ලින්ටෙක් ආයතනයේ සංවර්ධන කටයුතු සඳහා යොදාගෙන ගෙන තිබෙනවා.

මේ අතර, ඉන්දියාවෙන් ආනයනය කළ මෙම නැනෝ දියර පොහොර ගොවි ජනතාවට බෙදා හැරෙන්නේ ‘නයිට්‍රෝ රාජා’ යන නමින්.

ආනයනය කරන ලද නයිට්‍රෝ රාජා දියර පොහොර ලේබලයේ සඳහන් වන්නේ යූරියා කැට කිලෝ ග්‍රෑම් 45 ක උරයක බලය නැනෝ පොහොර මිලිලීටර් 500 ක බෝතලයක පවතින බවයි.

විශේෂඥයින් පෙන්වා දෙන්නේ සාම්ප්‍රධායික යූරියා කැට පසට එක් කිරීමේදී ශාකයට අවශෝෂණය කර ගැනෙන්නේ 30% ක ප්‍රමාණයක් පමණක් වන අතර සියයට 70 ක ප්‍රමාණයක් පසට එක්වන බවයි.

නමුත් මෙම නැනෝ දියර පොහොර පත්‍ර මතට ඉසීම තුළින් සියයට 95 ක් ප්‍රමාණයක් ශාක පත්‍රවල ඇති පූටිකා මගින් ශාකයට අවශෝෂණය කරගන්නා බවයි විශේෂඥයින් පවසන්නේ.

එහෙත්, පේරාදෙණිය විශ්විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය වර්ෂි දන්දෙනිය සඳහන් කරන්නේ නැනෝ පොහොර මගින් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගත නොහැකි බවයි.

මේ අතර, අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගොවින් විරෝධතා පැවැත් වු අතර, දෙහිඅත්තකණ්ඩිය හේනානිගල ප්‍රදේශයේ ආදිවාසීන් ද සිය වගාවන් සඳහා ජලය සහ පොහොර ලබාදෙන ලෙස ඉල්ලමින් විරෝධතාවයක් පවත්වනු ලැබුවා.

මේ දිඹුලාගල ප්‍රදේශයේ ගොවින් පිරිසක් සිය විරෝධතාව අතරතුරදි මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා.

මේ අතර, නැනෝ නයිට්‍රජන් දියර පොහොර මගින් අස්වැන්නේ ඵලදායිතාවය ඉහළ නංවා ගත හැකි බවයි සබරගමුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රියන්ත ඉන්ද්‍රලාල් යාපා මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

එමෙන්ම, කාබනික නයිට්‍රජන් පොහොර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් අද කහතුඩුව, පොල්ගස්ඹ්විට ප්‍රදේශයේදි අමාත්‍ය ගාමිණි ලොකුගේ ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.

******************************************

කාර්යාල සේවා වෙනුවෙන් බස් රථය බැගින් යෙදවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අවධානය

(22.10.2021 – 14:55 +0530 – hirunews.lk/sinhala)

කාර්යාල ආරම්භ කරන හා අවසන් කරන වේලාවන්වලදී නාරාහේන්පිට සහ බත්තරමුල්ල දක්වා ප්‍රදේශ කිහිපයක සිට අන්තර් පළාත් බස් රථයක් බැගින් ධාවනයට යෙදවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව, ගාල්ල, මහනුවර, කුරුණෑගල, රත්නපුර, හලාවත සහ රත්නපුර සිට මෙලෙස සාමාන්‍ය සේවා බස් රථය බැගින් යෙදවීමටයි තීරණය වී ඇත්තේ.

දැනට ජාතික ගමනාගමන කොමිෂන් සභාව මඟින් නිකුත් කර වලංගුව පවතින මඟී සේවා අවසර හිමි ධාවකයින්ට ඒ සඳහා ඉල්ලුම් කිරීමට හැකියාව පවතින බවද ජාතික ගමනාගමන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළා ෴

******************************************

2022 අයවැය විවාදය සංඥා භාෂාවෙන් ද ඉදිරිපත් කිරීමට තීරණයක්

(22.10.2021 – 15:19 +0530 – hirunews.lk/sinhala)

2022 අයවැය විවාදය සංඥා භාෂාවෙන් ද ඉදිරිපත් කිරීමට තීරණය වී තිබෙනවා.

ඒ ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන්.

එමෙන්ම නොවැම්බර් මස 08 වනදා සඳුදා සිට දෙසැම්බර් මස 10 වනදා දක්වා ඉරිදා සහ රජයේ නිවාඩු දින හැර සියලු දිනවල පාර්ලිමේන්තුව රැස්වීමට ද තීරණය කෙරුණා.

ඊට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවූ බවයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා කියාසිටියේ.

කතානායකවරයාගේ යෝජනාවකට අනුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ පිළිබඳ සලකා බැලුණු අතර ඒ අනුව අයවැය විවාදය පැවැත්වෙන කාලසීමාව තුල රූපවාහිනී සජීවී විකාශයට සමගාමීව සංඥා භාෂා කවුලුවක් විකාශය කිරීමට ද අනුමැතිය හිමිවුණා.

2022 වසර සඳහා වන අයවැය කතාව මුදල් අමාත්‍යවරයා විසින් නොවැම්බර් 12 වනදා පස්වරු 2 ට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එමෙන්ම නොවැම්බර් 08 වන සඳුදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් වන අතර එය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්ණ සඳහා වෙන් කිරීමට ද තීරණය වී තිබෙනවා.

පැවති කොවිඩ් තත්වය හේතුවෙන් පාර්ලිමේන්තු රැස්වීම් සීමා වූ බැවින් ඇසීමට නොහැකි වූ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්ණ 50 ක් සඳහා මෙදින පෙරවරු 10 සිට පස්වරු 05:30 දක්වා කාලය වෙන්කර තිබෙනවා ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

සියලු පාසල්වල ප්‍රාථමික අංශ 11 සහ 13 ශ්‍රේණි ආරම්භ කිරීමට අවධානය

(22.10.2021 – 15:26 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යාපන සහ සෞඛ්‍ය අංශ එක්ව සාකච්ඡා කර සියලු පාසල්වල ප්‍රාථමික අංශ සහ 11, 13 ශ්‍රේණි ආරම්භ කිරීමට කොවිඩ් මර්දන විශේෂ කමිටුව තීරණය කර තිබෙනවා.

උපකාරක පන්ති ඇරඹීමට ඇති හැකියාව පිලිබඳව ද අද (22) පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී අවධානය යොමුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.

සුදුසුකම් සපුරන සියලු දරුවන්ට දෙසතියක් ඇතුළත එන්නත් ලබාදී අවසන් කිරීමට ද මෙහිදී තීරණය කෙරුණා.

එමෙන්ම සෞඛ්‍ය, ආරක්ෂක, ගුවන් තොටුපොළ සහ සංචාරක ක්ෂේත්‍ර ඇතුළු ඉදිරිපෙළ රාජකාරී කටයුතුවල නිරත පිරිසට ප්‍රතිශක්ති වර්ධක තුන්වන (3) මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත නොවැම්බර් 01 වනදා සිට ලබාදීම අරඹන ලෙසටයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.

එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කරමින් සුදුසුකම් සපුරා ඇති සියලු දෙනා කඩිනමින් එන්නත් කර අවසන් කරන ලෙසට ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා.

සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල දැඩි කැපවීම හේතුවෙන් ඉතා ඉක්මණින් කොවිඩ් වසංගතය පැතිර යාම පාලනයට හැකි වූ අතර එම තත්ත්වය සැලකිල්ලට ගෙන දැනට වාර්තා වන මරණ සංඛ්‍යාව ශූන්‍ය කිරීමට සහ රෝගීන් වාර්තා වන ප්‍රදේශ පිළිබඳව අවධානය යොමුකර ව්‍යාප්තිය වැළැක්වීමට පියවර ගැනීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දුන්නා.

පළාත් ඇතුළත දුම්රිය ධාවනය ලබන සඳුදා (25) සිට ආරම්භ කෙරෙනවා.

පළාත් අතර දුම්රිය ධාවනය නොවැම්බර් 01 වන දා සිට ක්‍රියාත්මක කෙරෙන අතර දුම්රිය වාර ප්‍රවේශ පත්‍රය හිමි මගීන්ට පමණක් පළමු (1) අදියර යටතේ ගමනාගමනයට අවසර දීමටයි කොවිඩ් කමිටුව නිර්දේශ කර ඇත්තේ.

අමතර මැදිරි එක්කර දැඩි තදබදය අවම කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් දී තිබෙනවා.

එහිදී ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන්වාර 50 ක්, මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 64 ක්, උතුරු මාර්ගයේ දුම්රිය ගමන්වාර 6 ක්, පුත්තලම මාර්ගයේ දුම්රිය ගමන්වාර 18 ක් සහ කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමන්වාර 8 ක් ධාවනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

ජනතා ඉල්ලීම් සැලකිල්ලට ගෙන දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා නොවැම්බර් 01 වන දා සිට ඉවත් කිරීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු කෙරුණා.

මුව ආවරණ පැළදීම, අත් සේදීම, දුරස්ථභාවය තබා ගැනීම ඇතුළු සෞඛ්‍ය නිර්දේශ පිළිපැදිමට ජනතාව අඛණ්ඩව දැනුවත් කිරීම සහ ප්‍රතිශක්තීකරණය සඳහා දේශීය ඖෂධ සහ කැඳ වර්ග භාවිතයට ජනතාව පෙළඹවීම කළ යුතු බවයි ජනාධිපතිවරයා කියාසිටියේ ෴

******************************************

අලි ඇතුන් මුල් අයිතිකරුවන්ට දීමට විරුද්ධයි – අලි නඩුවේ මැදහත්කාර පාර්ශ්වය අධිකරණයට කියයි

(22.10.2021 – 15:54 +0530 – hirunews.lk/sinhala)

නීති විරෝධී ලෙස අලි ඇතුන් රඳවා තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුව තෙවැනි (3) දිනටත් අද (22) පෙරවරුවේ කැඳවනු ලැබුවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොලඹ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයෙහි පවත්වාගෙන යනු ලබන බී 23073/1/15 දරණ අලි ඇතුන් සම්බන්ධ නඩුවයි මෙලෙස මෝසමක් මාර්ගයෙන් මේ අයුරින් කැඳවනු ලැබුවේ.

අද (22) දින මෙම නඩුව කැඳවීමේ මූලික අරමුණ වනුයේ, අංක 148, 223, 230, 331 සහ 346 යන අලි ඇතුන් සම්බන්ධ නීතිමය කටයුතු තවදුරටත් නීතිපතිවරයා විසින් සිදු නොකරන බවට අධිකරණය වෙත දන්වා, මෙම අලි ඇතුන් පස්දෙනා (5) මුල් අයිතිකරුවන් වෙත ලබා දීමටයි.

කෙසේවෙතත්, නීතිපතිවරයා අද (22) දින අධිකරණය වෙත නොපැමිණි අතර, මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, යෝජනා භාර නොගන්නා බවත්, නිර්දේශ පමණක් ඇත්නම් ඉදිරිපත් කරන ලෙසයි.

අදාළ නඩුව සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ යෝජනා සහ නිර්දේශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවේ ඉන් අනතුරුවයි.

එහිදී ඉදිරිපත් කෙරුණු නිර්දේශ පිළිබඳ සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, නඩු කටයුතු අවසන් කර, අලි ඇතුන් මුල් අයිතිකරුවන් වෙත ලබාදෙන ලෙසයි.

එහෙත්, මෙම නඩුවේ මැදහත්කාර පාර්ශ්වය විසින් ප්‍රකාශ කළේ, මෙම අලි ඇතුන් පොදු දේපළක් වන බැවින් තම පාර්ශ්වය එම තීන්දුවට විරුද්ධ වන බවයි.

එකී මැදහත්කාර පාර්ශ්වයේ ඉල්ලීම් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අලි ඇතුන් සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් අද (22) නිකුත් නොකළ අතර, ඒ පිළිබඳව සුදුසු ඉල්ලීම් දෙසැම්බර් මස 03 වැනි දින මීළඟ නඩු වාරයේදී මැදහත්කාර පාර්ශ්වය මගින් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ද දැනුම් දුන්නා ෴

******************************************

ඉන්ධන මිලදී ගැනීමට ඕමානයෙන් ඩොලර් බිලියන 3.6 ක ණයක්

(22.10.2021 – 16:06 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිලදී ගැනීම සඳහා ඕමානයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3.6 ක ණයක් ලබාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

මේ අතර ලංකා IOC සමාගම ඉන්ධන මිල ඉහළ දමා ඇති පසුබිමක අදත් (22) දිවයින පුරා ප්‍රදේශ කිහිපයකම ඉන්ධන පිරවුම්හල් රැසක දිගු පෝලිම් දක්නට ලැබුණා.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් සහ ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් ඊයේ (21) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමීමටයි ලංකා අයි.ඕ.සී. සමාගම තීරණය කළේ.

ඒ අනුව ලංකා IOC සමාගමේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 162 ක් වන අතර, ලංකා ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 116 ක් වනවා.

කෙසේවෙතත් ඔවුන් ලංකා සුපර් ඩීසල් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල සංශෝධනය කර නැහැ.

******************************************

විල්පත්තුවේ නැවත වන වගා නියෝගයට එරෙහිව බදියුදීන්ගෙන් අභියාචනයක්

(22.10.2021 – 16:58 +0530 – hirunews.lk/sinhala)

විල්පත්තුව අභය භූමිය ආශ්‍රිත වනාන්තර වල පෞද්ගලික වියදමින් වන වගාව සිදු කරන ලෙසට අභියාචනාධිකරණය නිකුත් කල නියෝගයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ගොනු කල අභියාචනය සලකා බැලීම ලබන පෙබරවාරි 03 වනදා ආරම්භ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) දින නියම කළා.

ඒ එම අභියාචනය මුර්දු ප්‍රනාන්දු සහ එස්. තුරෙයිරාජා යන විනිසුරුවරුන් හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

අනවසරෙන් එලිපෙහෙලි කල අක්කර දහසකට (1000) අධික භූමි ප්‍රමාණයක් නැවත පෞද්ගලික වියදමින් වන වගාව සිදු කරන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කළේ පසුගිය 2020 වසරේ නොවැම්බර් 16 වනදායි ෴

******************************************

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවෙන් සමාජ සේවා විෂයට නව යෝජනා රැසක්

(22.10.2021 – 17:18 +0530 – hirunews.lk/sinhala)

සමාජ සේවා වැනි පොදු විෂයන් එක් අමාත්‍යාංශයක් යටතේ පැවතීමේ අවශ්‍යතාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් අවධාරණය කර තිබෙනවා.

සමාජ සේවා දෙපාර්තමේන්තුවේ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීම සඳහා ඊයේ (21) කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේදී‍යි මේ බව අවධාරණය කෙරුණේ.

එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේ, අමාත්‍යාංශවල විෂය පථය සැකසීමේදී ප්‍රමිතිකරණයක් පැවතීම අත්‍යවශ්‍ය බවයි.

ආබාධිත දරුවන් වෙනුවෙන් සේවය කිරීමට දිස්ත්‍රික් මට්ටමින් ආයතන පිහිටුවීම ද සිදු කළ යුතු බව රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නා.

මෙහිදී සිදු කෙරුණු සෙසු යෝජනා අතර, මතට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම, ඔවුන්ට පුහුණුව ලබාදීම හා සමාජගත කිරීමේ ක්‍රියාවලිය එක් ආයතනයකින් නියාමනය කිරීමේ යෝග්‍යතාව ද සාකච්ඡාවට ලක් කෙරුණා.

කාරක සභා සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ, දිගු කලක සිට සමාජ සේවා දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කළ යුතු බවයි.

ඉදිරියේදී සමාජ සේවා දෙපාර්තමේන්තුව , පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව සමග සම්බන්ධීකරණය වෙමින් ඒකාබද්ධව කටයුතු කිරීම වැදගත් බවයි කාරක සභා සාමාජිකයින් විසින් පෙන්වා දෙනු ලැබුවේ.

යාචකයින් වැඩිවීම ජාතික ප්‍රශ්නයක් බවත්, ඊට කඩිනම් විසඳුම් සෙවිය යුතු බවත් මෙහිදී අවධාරණය කෙරුණා.

එමෙන්ම සමාජ සේවා දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා විධිමත් ක්‍රමවේදයක් යටතේ ස්වේච්ඡා නිලධාරීන් බඳවා ගැනීමට ක්‍රියා කරන ලෙස ද පැවති කාරක සභා රැස්වීමේ දී නිර්දේශ කෙරුණා.

මෙම හමුවට මැති ඇමතිවරුන් පිරිසක් මෙන්ම, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *