සටන පාවාදීමක් – විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය කියයි

සටන පාවාදීමක් – විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය කියයි

*********************************************

සටන පාවාදීමක් – විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය කියයි

(18.10.2021 – 20:39 +0530 – hirunews.lk/sinhala)

ලබන 25 වනදා වන විට ගුරු – විදුහල්පති වැඩ වර්ජනය අවසන් කරන බවට වෘත්තීය සමිති සන්ධානයක් විසින් ප්‍රකාශ කර තිබීම, එම සටන පාවා දීමක් බව ‘විදුහල්පති ශ්‍රේණීධාරීන්ගේ සංගමය’ පවසනවා.

එම සංගමයේ සභාපති නිමල් මුදුන්කොටුව සඳහන් කළේ අද (18) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගුරු – විදුහල්පති වැටුප් ගැටලුවට ලබා දෙන විසඳුම් සලකා බලා ඉදිරි තීරණ වලට එළඹෙන බවයි.

වැටුප් විෂමතා ගැටලුව මුල් කරගෙන ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ආරම්භ කල ඔන්ලයින් ඉගැන්වීම් වලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට (18) දින 99 ක් ගත වන අතර ළමුන් 200 ට අඩු පාසල් ලබන 21 වනදා සිට ආරම්භ කිරීමටයි රජය මේ වන විට සැලසුම් කර ඇත්තේ.

ඔවුන් අද (18) පෙරවරුවේ රැස්වී තීරණය කරනු ලැබුවේ ලබන 21 වනදා සහ 22 වනදා වැඩ වර්ජනයක නිරත වීමටයි.

එහෙත් 25 වනදා සඳුදා සිට සේවයට වාර්තා කරන බවද ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය කියා සිටියා.

තම සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව ‘ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි ජාතික එකමුතුව’ ප්‍රකාශ කළා.

තම සංගමයේ සාමාජිකයින් ලබන 21 වනදා සේවයට වාර්තා කරන බව ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ කියා සිටියා.

මේ අතර රජය විසින් පත්වීම් ලබා දුන් උපාධි ධාරීන්ගෙන් ගුරු සේවයට අන්තර් ග්‍රහණය කල 18,000 කට වැඩි පිරිසක් සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කරනු ඇති බව අප කළ විමසීමකදී අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කළා ෴

++++++++

******************************************

අධිකරණයට ආ ශානි අබේසේකරට විරෝධය

(18.10.2021 – 20:57 +0530 – hirunews.lk/sinhala)

අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇප මත මුදා හැර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට එරෙහි නඩුව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (18) කැඳවනු ලැබුවා.

නඩුවට සහභාගීවීම සඳහා පැමිණි ශානි අබේසේකරට එහිදී සිවිල් වැසියෙකුගෙන් විරෝධයක් එල්ල වූයේ යහපාලන රජය සමයේ බලය අයුතු ලෙස භාවිත කරමින් ඔහු තමා අත්අඩංගුවට ගත් බවට චෝදනා කරමින්.

අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමඟ හැරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට එරෙහිව ගොනු කර ඇති නඩුව අද (18) කැඳවූයේ ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඉදිරියේයි.

මේ වන විට ඇප මත මුදා හැර සිටින ශානි අබේසේකර නඩු කටයුතු අවසන්වීමෙන් පසු පිටතට පැමිණි අවස්ථාවේදී අධිකරණ සංකීර්ණය ඉදිරිපිට සිටි පුද්ගලයෙකුගෙන් ඔහුට දැඩි විරෝධයක් එල්ල වුණා.

******************************************

මෙරට නාවික ඉදිකිරීම් කර්මාන්තයට අලුත් අද්දැකීමක්

(18.10.2021 – 21:46 +0530 – hirunews.lk/sinhala)

මෙරට නාවික කර්මාන්තයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නට කොළඹ නෞකා තටාංගනය සමත් ව තිබෙනවා.

ඒ ‘ඉරාක වරාය සමාගම’ වෙනුවෙන් කොළඹ නෞකා තටාංගනය ඉදිකළ නවතම නෞකා දෙකක් (2) එරටට ප්‍රවාහනය ආරම්භ කිරීමත් සමඟයි.

මෙරට නාව්ක ක්ෂේත්‍රයේ නව පිටුවක් පෙරළමින් මෙම නව නෞකා 2 ඉරාකයේ වරාය කරා මෙරටින් නික්ම ගියේ චීනයේ සිට මෙහි පැමිණි නෞකා ප්‍රවාහන යාත්‍රාවක් වන ‘ඩෙවලොප්මන්ට් වේ’ නෞකාවට පැටවීමෙන් අනතුරුවයි.

මෙරට නිෂ්පාදනය කළ නෞකාවක් මෙලෙස ප්‍රවාහනය කෙරෙන පළමු වතාවයි මේ.

චීනයේ නිෂ්පාදිත නෞකා ප්‍රවාහන යාත්‍රාවක් වන ‘ඩෙවලොප්මන්ට් වේ’ නෞකාවට ‘අල්-ෆෝ’ සහ ‘ෂැට් අල්-අරාබි’ යන අති නවීන නෞකා 2 පටවනු ලැබුවේ පසුගිය 16 වැනිදායි.

නෞකා පැටවීමේදී අඩක් ජලයේ ගිලීයාමේ පහසුකම්වලින් සමන්විත ‘ඩෙවලොප්මන්ට් වේ’ යාත්‍රාවේ මෙම මෙහෙයුම කොළඹ නෞකා තටාංගනයටත් කොළඹ වරායටත් අලුත් අත්දැකීමක් වූ බවයි එහි ප්‍රකාශකයෙකු අප සමග කියා සිටියේ.

තවත් සතියක පමණ කාලයකින් ‘අල්-ෆෝ’ සහ ‘ෂැට් අල්-අරාබි’ යන අති නවීන නෞකා 2 සිය ගමනාන්තය වන ඉරාක වරායට සේන්දු වන බවත් එහිදී එම නෞකා ගොඩ බෑමේ මෙහෙයුම් කටයුතු සිදු කිරීම සඳහා කොළඹ නෞකා තටාංගනය සේවකයින් පනස් දෙනකු (50) පමණ එහි යාමට නියමිත බවත් එම ප්‍රකාශකයා අප සමග වැඩිදුරටත් කියා සිටියා.

ජපානයේ ටොයෝටා සුෂෝ සංස්ථාව මෙම නෞකා තැනීමේ ප්‍රධාන කොන්ත්‍රාත්තුව අත්සන් කළ අතර පසුව එය කොලඹ නැව් තටාංගන සමාගම වෙත උප කොන්ත්‍රාත් ලබා දී තිබෙනවා.

1974 දී ආරම්භ කරන ලද ‘කොළඹ ඩොක්යාර්ඩ් සමාගම’ ප්‍රධාන වශයෙන් නැව් තැනීම සහ නැව් අලුත්වැඩියා කිරීමේ කටයුතු සඳහා වසර 47 ක අද්දැකීම් ඇති දකුණු ආසියාවේ වඩාත්ම තරගකාරී හා ප්‍රමුකතම නැව් තැනීමේ හා නැව් අලුත්වැඩියා කිරීමේ ආයතනයක් ලෙස ජාත්‍යන්තර කීර්තියක් හිමිකරගත් ආයතනයක්.

නිල් පැහැති ‘ඩෙවලොප්මන්ට් වේ’ නෞකාවේ මැද කොටසට ‘අල්-ෆෝ’ සහ ‘ෂැට් අල්-අරාබි’ යන නෞකා 2 පටවනු ලැබ තිබේ.

******************************************

හොරණ – කොළඹ මාර්ගයේ කොහුවල මංසන්ධිය හරහා යන රියදුරන්ට දැනුම්දීමක්

(18.10.2021 – 22:04 +0530 – hirunews.lk/sinhala)

ලබන බ්‍රහස්පතින්දා සිට දෙසැම්බර් මස 20 වන දින දක්වා හොරණ – කොළඹ මාර්ගයේ කොහුවල මංසන්ධිය හරහා වාහන ගමනාගමනය සීමා කෙරෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීමේ කටයුතු හේතුවෙන් මෙලෙස වාහන ගමනාගමනය සීමා කෙරෙන අතර, රියදුරන්ට හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය ඉල්ලා සිටිනවා.

මේ අනුව අදාළ කාලසීමාව තුළ පොදු ප්‍රවාහන බස්රථ හැර සෙසු වාහන ගමනාගමනය කොහුවල මංසන්ධිය හරහා ගමන් කිරීම සීමා කරනු ලබනවා.

******************************************

යොහානි ජනපති හමුවෙයි

(18.10.2021 – 12:28 +0530 – sinhala.adaderana.lk)

ප්‍රති නිර්මාණය කළ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ඔස්සේ මෙරට මෙන්ම ජාත්‍යන්තරයේ ද අතිශය ජනප්‍රියත්වයට පත්වූ ගායන ශිල්පිණී යොහානි ද සිල්වා මෙනවිය ජනාධිපති ගෝඨාභය මහතා හමුව තිබේ.

ඒ ජනාධිපතිවරයාගේ නිවසේ දී ය.

එහිදී යොහානි ජනාධිපතිවරයා සහ ජනපති බිරිඳ ඉදිරියේ ‘මැණිකේ මගේ හිතේ’ඇතුළු ගීත කිහිපයක් ගායනා කළාය.

******************************************

මහින්ද රාජපක්ෂ මැතිතුමනි, කාවන්තිස්ස මහරජතුමා සඟසතු කර දුන් සේරුවිල විහාරයේ දේපල අවසතු කිරීම වහා නවත්තන්න මැදිහත් වෙන්න – පූජ්‍ය දොඩම්පහල චන්දසිරි මහනායක ස්වාමීන් වහන්සේ

(18.10.2021 – 17:47 +0530 – lankaleadnews.com)

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා
අගමැති කාර්යාලය,
කොළඹ.
ගරු අගමැතිතුමනි

සේරුවිල මංගල රජමහා විහාරය සතු ඉඩම් අවසතු කිරීම සම්බන්ධවයි.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ තෝපූර් හි පිහිටි මංගල රජමහා විහාරය සතු සාංඝික ඉඩම්, එහි මේ වෙනවිට බලහත්කාරයෙන් රැඳී සිටින භික්ෂූන් විසින් අවසතු කිරීමට සැරසෙන බවට මා වෙත කරුණු වාර්තා වී ඇත.

සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති ධූරය සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණයෙහි නඩු කිහිපයක් විභාග වෙමින් පවතී.

එවැනි පසුබිමක් තුළ මේ ආකාරයෙන් සඟසතු දේපල අවසතු කිරීමට හෝ බදු දීමට කිසිදු නෛතික බලයක් එහි බලහත්කාරයට රැඳී සිටින භික්ෂූන් වහන්සේලාට නොමැත. කාවන්තිස්ස මහරජතුමා විසින් මේ සියලු චංචල නිශ්චල දේපල චුල්ලපිණ්පාතිකතිස්ස මාහිමියන් ප්‍රධාන සංඝරත්නයට අතපැන් වත්කර සඟසතු කොට පිදු බව ධාතුන්වහන්සේ එහි පැහැදිලිව සඳහන් වී ඇත.

එහෙයින් මේ සේරුවිල මංගල රජමහා විහාරය සතු ඉඩම් අවසතු කිරීම ක්‍රම විරෝධී හා නීති විරෝධී වන බැවින් මේ පිළිබඳව සොයා බලා මා වෙත දන්වා එවන ලෙස කාරුණිකව ඉල්ලමි.

මේ වන විට සේරුවිල මංගල රජමහා විහාරය සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කීපයක් විභාග වන බැවින් විහාරස්ථානය තුළ නව ඉදිකිරීම්, භූමිය කැණීම්, හා ඉඩම් සම්බන්ධව යම් තීන්දු තීරණ ගැනීමට ප්‍රථම මා දැනුවත් කරන ලෙස ද වැඩිදුරටත් දන්වා සිටිමි.

දොඩම්පහල චන්දසිරි මහනායක ස්වාමීන් වහන්සේ
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නාහිමි

******************************************

බැසිල් නිදහස් වූ නඩුවේ අංකය ඉල්ලා වෘත්තිකයෝ නීතිපති අමතති

(18.10.2021 – 20:39 +0530 – lankaleadnews.com)

පසුගියදා කොළඹ මහාධිකරණය විසින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ දිවිනැගුම නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීම සම්බන්ධයෙන් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ නීතිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

අදාල නඩුවේ අංකය මෙන්ම, මීට සමාන නඩුවකින් ද බැසිල් රාජපක්ෂ නිදොස් වූවේ යැයි කියන බැවින් ඒ නඩුවේ ද අංක තමන් වෙත ලබාදෙන්නැයි තොරතුරු දැනගැනීමේ පණත යටතේ ලිපියක් යවමින් මෙම ලිපිය යොමුකර තිබේ ෴

******************************************

යුනිලීබර් සමාගම මහා බදු වංචාවක. නඩු දැම්මත් සතපහක් ගෙවලා නෑ.

(18.10.2021 – .com-news-lead-lanka)

‘යුනිලීබර් ශ්‍රී ලංකා’ සමාගම විසින් සිය නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 570 කට වැඩි බදු වංචාවක් සිදුකර ඇති බවත් එය යට ගැසීම සඳහා ආණ්ඩුවේ ප්‍රබලයින් ගෙන් බලපෑම් එල්ල වී ඇති බවත් රේගුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

එම ආරංචිමාර්ග සඳහන් කරන පරිදි, 2018 ඔක්තෝබර් – 2019 අප්‍රේල් කාලසීමාව තුළ යුනිලීබර් සමාගමේ සබන් නිෂ්පාදනය සඳහා අවශ්‍ය පාම් ඔයිල් ෆැටි ඇසිඩ් නමැති සංඝටකය ආනයනය කිරීමේදී රේගු දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු 25% ක බදු මුදල වංචා සහගත ලෙස ගෙවීම පැහැර හැර තිබේ.

අදාල සංඝටකය ආනයනය කිරීමේදී HS අංක 3823.19.20 යටතේ ආනයනය කළයුතු වුවත් ඒවා ආනයනය කර තිබෙන්නේ HS අංක 3823.19.90 යටතේයි. මේ හරහා අදාල බදු මුදල් නොගෙවා සිටීමට සමාගම සමත් වී ඇත.

කෙසේ නමුත් රේගු දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඇති අතර එහිදී අනාවරණය වී තිබෙන්නේ මෙම වංචනික ක්‍රියාව හරහා රුපියල් මිලියන 570 කට අධික මුදලක් යුනිලීබර් ශ්‍රී ලංකා සමාගම විසින් රේගුවට ගෙවිය යුතු බවයි.

මෙම වංචාවට අදාල දඩ මුදල ලෙස රුපියල් බිලියනයකට අධික මුදලක් ගෙවන ලෙස රේගු බළධාරීන් සමාගමට දන්වා ඇති නමුත් එම මුදල් ගෙවීම සමාගම විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඉන්පසු රේගු බළධාරීන් විසින් 2021 ජනවා‍රි මස 21 වැනිදා අභියාචනාධිකරණය හමුවේ 19/2021x අංකය යටතේ යුනිලීබර් සමාගමට එරෙහිව නඩුවක් ගොනුකර ඇත.

මෙම වංචාව සිදුව තිබෙන්නේ පසුගිය යහපාලන රජය සමයේදීය. යහපාලන රජය සමයේදී සිදු වූ වංචා දූෂණවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට පොරොන්දු‍ වෙමින් බලයට පත් වූ වත්මන් පාලකයන්ද නීතිමය පියවර ගැනීම වෙනුවට වංචනිකයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටී.

රේගු දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරීන් පවසන්නේ මෙම නඩුව සමාගමට වාසි සහගත වන පරිදි සමථයකට පත් කර ගන්නා ලෙස වත්මන් ආණ්ඩුවේ සහ පැවති ආණ්ඩුවේ ඉහළ තනතුරු දරන, දැරූ පුද්ගලයන් හරහා රේගුවට බලපෑම් එල්ලවෙමින් තිබෙන බවයි ෴

******************************************

Derana 360 – With Nagananda Kodithuwakku (18.10.2021)

ඉහත විඩියෝව අයත් යූ-ටියුබ් වෙබ් පිටුවට යන්න.
(Click on YouTube)
පාඨක භවතුන් විසින්, සාකච්ජාව මෙහෙයවූ අතිගරු නීතිඥ සංඛ උතුමාණන් වහන්සේගේ ගුණ ගායනා කරණු ලැබූ ආකාරය දැකබලා ගන්න !
පව් අනේ !
– අමරසර

+++++++++

19-10-2021
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *