කළුගල්, වැලි, පස්, බොරළු හා මැටි කැණීම, ප්‍රවාහනය සහ වෙළඳාම සම්බන්ධ බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳ නව චක්‍රලේඛයක්

කළුගල්, වැලි, පස්, බොරළු හා මැටි කැණීම, ප්‍රවාහනය සහ වෙළඳාම සම්බන්ධ බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳ නව චක්‍රලේඛයක්

*********************************************

කළුගල්, වැලි, පස්, බොරළු හා මැටි කැණීම, ප්‍රවාහනය සහ වෙළඳාම සම්බන්ධ බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳ නව චක්‍රලේඛයක්

(14.10.2021 – 16:44 +0530 – hirunews.lk/sinhala)

කළුගල්, වැලි, පස්, බොරළු හා මැටි කැණීම, ප්‍රවාහනය සහ වෙළඳාම සම්බන්ධ බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳ නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

සංවර්ධන ප්‍රමුඛතාවයන්, පෞද්ගලික ව්‍යවසායන්, කුඩා ස්වයං රැකියා සහ පාරම්පරික වෘත්තීන්හි නියැලෙන්නන්ගේ ආර්ථික ජීවනෝපාය අවශ්‍යතා වෙනුවෙන් භූ සම්පත් යොදාගැනීම සහ ඒවා ලබාගැනීමේ මූලාශ්‍ර හා ක්‍රමවේදයන් අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කර තිබුණා.

භූ සම්පත් කැණීම, ප්‍රවාහනය සහ වෙළඳාම සඳහා පැවති ක්‍රියාවලිය තුළ මහජනතාව, පෞද්ගලික ආයතන මෙන්ම ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතන ද මුහුණ දුන් අසීරුතා මඟහරවා පරිසරය සුරකින පරිදි බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියක් හඳුන්වා දීම එම බලකායේ වගකීම වුණා.

එම ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් සකස් කළ නව ක්‍රමවේද පිළිබඳ උපදෙස් අඩංගු ‘ඉදිකිරීම් කර්මාන්ත සඳහා භාවිතා කරන ඛනිජ කැණීම්, ප්‍රවාහනය සහ වෙළඳාම පිළිබඳ කාර්ය සංග්‍රහය’ට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර ඒ අනුව අදාළ සියලුම ආයතන ප්‍රධානීන් කළුගල්, වැලි, පස්, බොරළු හා මැටි කැණීම, ප්‍රවාහනය සහ වෙළඳාම ක්‍රමවත් කිරීම සඳහා අවශ්‍ය පියවර නොපමාව ගත යුතු බවයි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර නව චක්‍රලේඛය මගින් නියෝග කර ඇත්තේ.

භූ සම්පත් කැණීම් කළ හැකි ස්ථාන පිළිබඳ කල් ඇතිව හඳුනාගැනීම, ඒවා සිතියම් ගත කිරීම, එම භූ සම්පත් අයත්වන ආයතන හඳුනාගැනීම හා අවශ්‍ය නිශ්කාශන සහතික ලබාගැනීම වැනි කාර්යයන් ඒකීය ආයතන ව්‍යුහයක් තුළ ක්‍රියාත්මක විය යුතු බව භූ සම්පත් පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය යෝජනා කර තිබෙනවා.

අදාළ වන සියලුම ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතන මෙතෙක් හුදෙකලාව ක්‍රියාත්මක කරනු ලැබූ ක්‍රමවේද වෙනුවට ඒකීය ක්‍රමවේදයක් තුළ කටයුතු කිරීම සඳහා අවශ්‍ය පරිපාලන ව්‍යුහයක් ගොඩනැගීම හෝ ප්‍රතිසංස්කරණය කිරීම හෝ කළ යුතුයි.

කාර්ය සංග්‍රහයේ පරිච්ඡේදවල සඳහන් උපදෙස් අනුව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් මෙතෙක් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධව ක්‍රියාත්මක කරනු ලැබූ වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම ප්‍රතිසංවිධානය කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බව චක්‍රලේඛය මගින් දැනුම් දී තිබෙනවා.

අනවශ්‍ය ලෙස සේවාලාභීන් ආයතන කිහිපයකින් නිශ්කාශන ලබාගැනීම වැළැක්වීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පියවර ගත යුතුයි.

එමෙන්ම යෝජනා කර ඇති පරිදි දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම නිලධාරීන් හා වෙනත් නිලධාරීන් වෙත අවශ්‍ය බලතල පවරා දීමටත් ඔවුන්ට අවශ්‍ය නීතිමය ලියවිලි ලබාදීමටත් පියවර ගත යුතු බව චක්‍රලේඛයෙන් අවධාරණය කරනවා.

ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් නිර්දේශ කර ඇති නියමිත කාලසීමාව තුළ අදාළ නිශ්කාශන හෝ පරිසර සහතික ලබාදීමට පියවර ගත යුතු අතර ඇතැම් විට දැනට පවතින රෙගුලාසි, ගැසට් නිවේදන, චක්‍රලේඛ සංශෝධනය කිරීමට ඉඩ ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ඊට අවශ්‍ය අනුමැතිය අමාත්‍ය මණ්ඩලය විසින් ලබාදී ඇති බැවින් එවැනි සංශෝධන ඇත්නම් ඒවා නොපමාව සම්පූර්ණ කිරීමට අදාළ ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතන ප්‍රධානීන් ක්‍රියා කළ යුතුයි.

කැණීම් බලපත්‍රයක් නිකුත් කිරීමට පෙර අදාළ සියලුම රාජ්‍ය ආයතන වෙනුවෙන් ගාස්තු අයකිරීම භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් සිදුකරන අතර එම මුදල් පරිසර අමාත්‍යාංශය යටතේ ඇති අනුමත අය ශීර්ෂයක් වෙත බැර කළ යුතු වනවා.

ඉදිකිරීම් කර්මාන්ත සඳහා භාවිතා කරන ඛනිජ කැණීම්, ප්‍රවාහනය සහ වෙළඳාම පිළිබඳ කාර්ය සංග්‍රහය මගින් නියම කර ඇති ගාස්තු හැර, මීට අදාළව මුදල් අමාත්‍යාංශයේ ලේකම්ගේ එකඟතාවයක් නොමැතිව වෙනත් ගාස්තු පැනවීම හෝ ගාස්තු සංශෝධනය නොකළ යුතු බව චක්‍රලේඛයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

භූ සම්පත් කැණීම් කිරීමේදී පාරිසරික ගැටලු පැනනැගීමත් ඒ මත මහජන විරෝධතා මතුවීමත් ඒවාට අවශ්‍ය විසඳුම් ලබාදීමේදී ආයතන අතර සම්බන්ධීකරණයේ දුර්වලතා පවතින බව ජනාධිපති කාර්ය සාධක බලකාය අධ්‍යයනය කර ඇති අතර නිර්දේශ ක්‍රියාත්මක කිරීමටත් මහජන විරෝධතා කළමනාකරණය කිරීමටත් සියලුම ආයතන ඒකාබද්ධ ප්‍රයත්නයක නියැලිය යුතු අතර දිස්ත්‍රික් හා ජාතික වශයෙන් පිහිටවා ඇති අධීක්ෂණ කමිටු නොපමාව රැස්වී අවශ්‍ය තීරණ ගත යුතුයි.

අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇති ක්‍රමවේද සඳහා උපරිම සහයෝගයක් සියලුම ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතනවලින් ලබාගැනීම සඳහා අවශ්‍ය අඛණ්ඩ වැඩපිළිවෙළක් හා අධීක්ෂණයක් පරිසර අමාත්‍යාංශය සිදුකළ යුතු වනවා.

එහිදී යම් ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතනයක් අවශ්‍ය සහයෝගය ලබා නොදෙන්නේ නම් ඒ පිළිබඳ පූර්ණ වාර්තාවක් තමා වෙත සැපයීමට ක්‍රියා කළ යුතු බවටයි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර චක්‍රලේඛය මගින් වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.

චක්‍රලේඛය : [පිටුව 1][පිටුව 2][පිටුව 3]

******************************************

මහ කන්නයේ වී ගොවිතැන කාබනික පොහොර යොදාගෙන සිදුකිරීම සඳහා එකඟතාවක්

(14.10.2021 – 17:40 +0530 – hirunews.lk/sinhala)

කොන්දේසි 4 ක් ඉටුකිරීමේ පොරොන්දුව මත මහ කන්නයේ වී ගොවිතැන කාබනික පොහොර යොදාගෙන සිදුකිරීම සඳහා රජය සහ ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බලමණඩලය අතර එකඟතාවක් ඇතිකරගත් බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ලබාදෙන ලෙස ඉල්ලමින් ප්‍රදේශ රැසක ගොවීන් අදත් (14) උද්ඝෝෂණවල නිරත වුණා.

මහ කන්නය සඳහා අවශ්‍ය කාබනික පොහොර බෙදාහැරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ රජයේ සමාගම් විසින් ආනයනය කළ පොටෑසියම් ක්ලෝරයිඩ් පොහොර රැගත් ‘වෙගොරාස්’ නම් නෞකාවක් කොළඹ වරාය වෙත ඊයේ (13) ළඟා වී තිබුණා.

ලිතුවේනියාවේ සිට මෙම නෞකාව රැගෙනවිත් තිබූ පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 30,000 ක්.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතා හිරු ප්‍රවෘත්ති වෙත සඳහන් කළේ අම්පාර, මඩකලපුව, අනුරාධපුර, කුරුණෑගල, පුත්තලම, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ගොවිජන මධ්‍යස්ථාන වෙත මෙම පොහොර තොග ඊයේ (13) රාත්‍රීයේ සිටම බෙදාහැරි බවයි.

කවුඩුල්ල, මින්නේරිය, පොළොන්නරුව, ඇතුළු ගොවිජනපද රැසක ගොවීන් මින්නේරිය නගර මධ්‍යයේදී උද්ඝෝෂණයක නිරතවුණේ පොහොර අර්බුදයට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින්.

මේ හේතුවෙන් හබරණ – පොළොන්නරුව මාර්ගයේ ගමනාගමනයට පැය 4 කට ආසන්න කාලයක් බාධා එල්ල වුණා.

මේ අතර හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මගින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ප්‍රධාන ලේකම් ටී.බි. සරත්ට වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, ජනතාවගේ ගමනාගමනයට බාධා නොවන අයුරින් කටයුතු කරන ලෙසට දක්වමින්.

මේ අතර, මෙවර මහ කන්නයේ වී ගොවිතැන කාබනික පොහොර යොදා සිදුකිරීම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලය හා රජය අතර එකඟතාවකට පැමිණ තිබෙනවා.

ඒ අදාළ බල මණ්ඩල නියෝජිතයින් සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතා අතර පැවති රැස්වීමකින් අනතුරුවයි.

ඒ අනුව මහ කන්නයේ වී ගොවිතැන සාර්ථක කර ගැනීම සඳහා කොන්දේසි 04 ක් රජය විසින් ඉටුකර දිය යුතු බව සඳහන් කරමින් බලමණ්ඩල සාමාජිකයින් කෘෂිකර්ම අමාත්‍යවරයා වෙත සංදේශයක් භාරදී තිබෙනවා.

අදාළ සංදේශයේ සඳහන් කරුණු සම්බන්ධයෙන් අමාත්‍යවරයා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුරකථනයෙන් දැනුවත් කිරීමෙන් පසු ඒ සඳහා ජනාධිපතිවරයාගේ එකඟතාව පළවූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කළා.

ගොවි සංවිධාන බලමණ්ඩලය ඉදිරිපත් කර තිබූ කොන්දේසි අතර, කාබනික පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා නියමිත කාලයට ලබාදීම, එම පොහොරවල වගකීම රජය විසින් භාරගත යුතු බව, පොහොර භාවිතයෙන් වගාකරන වී වගාවේ අස්වැන්න අඩුවිමක් හෝ වෙනත් හානියක් සිදුවුවහොත් එහි වගකීම රජය භාරගෙන සිදුවන හානි සඳහා වන්දි ගෙවීමට රජය එකඟ වීම යන කරුණු ඇතුළත්.

ඊට අමතරව දැනට වෙළෙඳපොළේ ඇති කෘමිනාශක, වල් නාශක අධික මිලට විකිණීම පාලනය කර සහතික මිලකට ඒවා මිලදී ගැනීමට ගොවියාට අවස්ථාව ලබාදිය යුතු බවද අදාළ කොන්දේසිවලට ඇතුළත් වී තිබෙනවා.

******************************************

කොළඹ මහල් ගොඩනැගිල්ලකින් ජීව උණ්ඩ තොගයක් හමු වෙයි

(14.10.2021 – 17:55 +0530 – hirunews.lk/sinhala)

කොළඹ බ්‍රිස්ටල් වීදියේ 5 මහල් ගොඩනැගිල්ලක වැසිකිළියක සඟවා තිබූ ජීව උණ්ඩ 205 ක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ කොළඹ කොටුව පොලීසියේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව එම උණ්ඩ තොගය සොයාගෙන ඇති බවයි.

එම උණ්ඩ අතර T56 ජීව උණ්ඩ 176 ක් සහ 9 mm ජීව උණ්ඩ 29 ක් හමු වී තිබෙනවා.

එම ගොඩනැගිල්ලේ සේවය කරන සනීපාරක්ෂක සේවකයෙකු විසින් මෙම උණ්ඩ තොගය දැක ඇති බවද වාර්තා වනවා.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් පරීක්ෂණ සඳහා සහාය ලබාදෙන බවද අප වාර්තාකරු සඳහන් කළා ෴

******************************************

මාර්ගගත පරිගණක ක්‍රීඩා ගැන දැනුවත් කරමින් විදුලි සංදේශ නියාමන කොමිසමට ලිපියක්

(14.10.2021 – 19:21 +0530 – hirunews.lk/sinhala)

මාර්ගගත පරිගණක ක්‍රීඩා නිසා දැරුවන් විනාශයට ලක්වන බවත් ඊට මැදිහත්වන ලෙසත් ඉල්ලමින් ‘ලක්මව දියණියෝ ජාතික සංවිධානය’ අද (14) විදුලි සංදේශ නියාමන කොමිසම වෙත ලිපියක් භාර දුන්නා.

ඒ එම සංවිධානයේ ජාතික සංවිධායිකා ප්‍රියාංගා කොතලාවල මහත්මිය ඇතුලු පිරිසක් විසින් ෴

******************************************

තුනෙන් දෙකක් මුලින් දෙන්න – ගුරු සංගම් අඩියක් පසුපසට

(14.10.2021 – 19:37 +0530 – hirunews.lk/sinhala)

වැටුප් විෂමතා ඉවත් කිරීමට යෝජිත අදියර තුනෙන් (3) දෙකක් (2) ලබන වසරේ සිට ලබාදීමට කටයුතු කරන්නේනම් ඒ පිළිබඳව සලකා බැලීමට සූදානම් බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ අද (14) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර පාසල් ආරම්භ කිරීමේදී ගුරුවරුන්ට බාධා කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර ප්‍රකාශ කලා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ අද (14) පැවැති උත්සවයකට එක්වෙමින්.

******************************************

යුනිලිවර් සමාගමෙන් රේගුවට බිලියන ගණනක පොල්ලක් – සමාගම බේරා ගැනීමට දැඩි බලපෑම් !

(14.10.2021 – 07:28 +0530 – lankaleadnews.com)

******************************************

මහ මග ගිනිගත් ත්‍රී රෝද රථයේ ගින්න නිවූ දෙවියා (14.10.2021)

******************************************

තෙල් ටැංකි ගැන ගම්මන්පිල ඇමතිතුමා කියන්නේ ඇත්තක්, එහෙත් ඊට වඩා ඇත්තක් තියෙනවා – ජාතික සංවිධාන කියයි

(14.10.2021 – 08:36 +0530 – lankaleadnews.com)

වර්ණ මාධ්‍ය චැනලයට අදහස් දක්වමින් ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය පිළිබඳව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් කරනු ලබන පැහැදිලි කිරීම සත්‍යයක් වුවත් ඊට වඩා තවත් සත්‍යයක් තිබෙන බව ය.

2003 රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් පවරා දීමේ අවබෝධතා ගිවිසුමක් මගින් මෙම ටැංකි සංකීරණයේ භුක්තිය ඉන්දියාවට භාර දී ඇතත් එම අවද අවබෝධතා ගිවිසුමේ අඩංගු පරිදි මාස හයක ඇතුළත බදු ගිවිසුමක් අත්සන් කර නොමැති බව ඔහු සඳහන් කරයි.

එම නිසා ඉන්දියාවට නීත්‍යානුකූල බදු අයිතියක් නොමැති බවත් ඒ අනුව දැනට ඉන්දියාව භාවිතා නොකරන ටැංකි 85 ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් සංවර්ධනය කිරීමට නීතිමය බාධාවක් නොමැති බව ඔහු සඳහන් කරයි.

******************************************

අමුතු තාලේ කොරෝනා රාජකාරිය – ගම්පහ සෞඛ්‍ය ලොක්කෙකුගේ බාල වැඩ (14.10.2021)

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

තවත් කොරෝනා ආසාදිතයින් 527 ක්

(14.10.2021 – 17:50 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 527 ක් මෙරටින් හමු වී තිබෙනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 5,29,608 ක් ෴

ඊයේ (13) දිනයේදී තවත් කොරෝනා ආසාදිත මරණ 21 ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා මරණ ගණන 13,429 ක් වනවා ෴

තවත් කොරෝනා ආසාදිතයින් 146 ක් මෙරටින් හමු වී තිබෙනවා. අද (14) දිනයේ හමු වූ මුළු කොරෝනා ආසාදිතයින් ගණන 673 ක් වනවා. ඒ අනුව මෙරටින් හමු වූ මුළු කොරෝනා ආසාදිතයින් ගණන 5,29,755 ක් ෴

++++++++++++++++++

කොවිඩ් මර්දන වැඩපිළිවෙල ගැන සෞඛ්‍ය ඇමතිගෙන් යුනිසෙෆ් නියෝජිතයාට පැහැදිළි කිරීමක්

(14.10.2021 – 17:45 +0530 – hirunews.lk/sinhala)

ගෝලීය කොවිඩ් වසංගතය හමුවේ ලොව ඇතැම් දියුණු රටවල වයස්ගත පුරවැසියන් සඳහා ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කරන විට මෙරට එවැනි වයස්ගත පුරවැසියන් සඳහා ඉහළ අවධානයක් ලබා දුන් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.

ඇතැම් රටවල් ක්‍රියාත්මක කළ එවැනි වැඩපිළිවෙලවල් හේතුවෙන් එම රටවල අවුරුදු 60 ඉක්ම වූ පිරිස්හි මරණ සංඛ්‍යාව ඉහළ ගිය බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් මෙරට ක්‍රියාත්මක කළ වැඩපිළිවෙල හේතුවෙන් කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කරගත හැකි වූ බව ඔහු සඳහන් කළා.

යුනිසෙෆ් සංවිධානයේ මෙරට නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් අද (14) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී හමු වූ අවස්ථාවේදීයි අමාත්‍යවරයා මේ බව කියාසිටියේ.

මෙරට ක්‍රියාත්මක කළ ගෘහස්ථ කොවිඩ් ප්‍රතිකාර වැඩපිළිවෙල රටෙහි කොවිඩ් පාලනයට වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබාදුන් අතර එමගින් රෝහල්හි අනවශ්‍ය තදබදය වැළකී රෝගීන් අපහසුතාවයෙන් මුදා ගැනීමට හැකි වූ බව ද කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළා.

ගෘහස්ථව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන්ගෙන් 1.4% ක පමණ අවම පිරිසක් පමණක් රෝහල් කරා යොමු කළ බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

මේ වන විට කොවිඩ් පාලනයේ සාර්ථක අදියරකට ශ්‍රී ලංකාව පැමිණ ඇති අතර ඒ සඳහා ජාතික හා ජාත්‍යන්තරික වශයෙන් බොහෝ සහයෝගයක් ලැබුණු බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

එමෙන්ම කොවිඩ් පාලනය කෙරෙන අතරතුර රෝගීන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යය ද වඩාත් ඉහළ නැංවීමට හැකිව තිබෙනවා.

ඒ සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ සිට පහළ දක්වා සැමගේ කැප කිරීම ද කෙහෙලිය රඹුක්වැල්ල මහතා අගය කළා.

ලෝක ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල වූ කොවිඩ් වසංගතය තුළ කුඩා ආර්ථිකයක් පවතින ශ්‍රී ලංකාවට එල්ල වූ බලපෑම ප්‍රබල වන අතර, ඒ හැර අනෙකුත් බලපෑම්වලට සාර්ථකව මුහුණ දීමට රටට හැකි වී ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

මෙහිදී අදහස් දැක්වූ යුනිසෙෆ් සංවිධානයේ මෙරට නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් සඳහන් කළේ ඉතා ඉහළ සංවිධානයකින් මෙන්ම කළමණාකරණයකින් යුතුව ශ්‍රී ලංකාවේ කොවිඩ් පාලනය මේ වන විට සිදු කර ඇති බවයි.

එම සාර්ථකත්වයට ප්‍රසාදය හිමි වන අතර එන්නත්කරණයේ සාර්ථකත්වය මේ වන විට ශ්‍රී ලංකාව ඔප්පු කර ඇතැයි ද ඒ වෙනුවෙන් බොහෝ කැප කිරීම් කර ඇතැයිද ඔහු ප්‍රකාශ කළා.

සාර්ථක කොවිඩ් පාලනය මෙන්ම ඉදිරියේදී මෙරට දරුවන්ගේ පෝෂණ තත්ත්වයන් පිළබඳව තවදුරටත් අවධානය යොමු කිරීම වැදගත් වනු ඇති බවයි යුනිසෙෆ් නියෝජිතවරයා වැඩිදුරටත් කියාසිටියේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *