දේශීය කිරිපිටි මිලත් ඉහළට – ගෑස් මිලේ තීරණය සඳුඳා (11)

දේශීය කිරිපිටි මිලත් ඉහළට – ගෑස් මිලේ තීරණය සඳුඳා (11)

*********************************************

දේශීය කිරිපිටි මිලත් ඉහළට – ගෑස් මිලේ තීරණය සඳුඳා (11)

(09.10.2021 – 13:03 +0530 – hirunews.lk/sinhala)

ආනයනික කිරිපිටි, ලාෆ්ස් ගෑස් සහ තිරිඟු පිටි මිල වැඩිවීම සඳුඳා (11) සිට ක්‍රියාත්මක කිරීමට එම සමාගම් තීරණය කර තිබෙනවා.

ඒ අනුව කිරිපිටි ආනයනකරුවන්ගේ තමන්ගේ නිෂ්පාදන අලෙවි කරන මිල ගණන් මේ වනවිටත් ප්‍රකාශයට පත්කර අවසන්.

ඒ අනුව කිරිපිටි කිලෝග්‍රෑමයක මිල අද (09) සිට රුපියල් 250 කින් ඉහළ නැංවෙන අතර, කිරිපිටි කිලෝවක නව මිල වන්නේ රුපියල් 1195 ක්.

ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 100 කින් ඉහළ නැංවෙන අතර, එහි නව මිල රුපියල් 480 ක් බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මහතා සඳහන් කළා.

මේ අතර, දේශීය කිරිපිටි නිෂ්පාදකයින්ගෙන් ද මිල වැඩි කිරීමේ අවශ්‍යතාවයක් ඇත්දැයි අප විමසා සිටියා.

ඊට ප්‍රතිචාර දක්වමින් මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා කියා සිටියේ දේශීය කිරිපිටි නිෂ්පාදන පිරිවැය ද ඉහළ ගොස් ඇති බැවින් මිල ඉහළ නැංවීමේ අවශ්‍යතාවක් පවතින බවයි.

කෙසේ වෙතත්, මෙතෙක් එම මිල ගණන් පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැති බවයි ඔහු සඳහන් කළේ.

ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතාගෙන් ගෑස් මිල ගණන් සම්බන්ධයෙන් අප විමසීමක් කළා.

එහිදී ඔහු කියා සිටියේ අද (09) දිනයේ සමාගමේ අභ්‍යන්තර සාකච්ඡා කිහිපයක් පවත්වා අවසන් මිල ගණන් තීරණය කරන බවයි.

එම මිල ගණන් සඳුඳා (11) සිට ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් කළා.

එමෙන්ම, තිරිඟු‍ පිටි මිල ඉහළ දැමීම ලබන සඳුදා (11) ප්‍රකාශයට පත් කරන බවයි ප්‍රීමා සමාගම සඳහන් කළේ.

ඒ අනුව තිරිඟු පිටි කිලෝවක් රුපියල් 15 ත්, 20 ත් අතර මිලකින් ඉහළ නැංවීමට දැනට එම සමාගම තීරණය කර තිබෙනවා.

මීට පෙර පාරිභෝගික අධිකාරිය සමඟ පැවති සාකච්ඡාවේදී තිරිඟු පිටි කිලෝවක් රුපියල් 10 කින් මිල වැඩි කිරීමටයි එකඟතාවය පළ කර තිබුණේ.

මේ අතර, පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ගෙන් කිරිපිටි, ගෑස්, සිමෙන්ති සහ තිරිඟු පිටි නව මිල ගණන් සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කළා.

එහිදී ඔහු කියා සිටියේ එම සමාගම් ඊයේ (08) දිනයේ තමන් හමුවී මිල ගණන් වැඩිවීමේ යෝජනා ඉදිරිපත් කළ බවයි.

කෙසේ වෙතත්, ඔවුන්ගේ යෝජනාවලට එකඟතාවය පළ නොකළ අතර, ඊට අඩු මිල සීමාවන් ඉදිරිපත් කිරීමටයි දෙපාර්ශවය එකඟ වී ඇත්තේ.

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් සඳහා පැවති උපරිම මිල සීමාවන් ඉවත් කරමින් රජය ගැසට් නිවේදනයක් නිකුත් කළා.

ඒ, මිල වැඩිවීම් ලබා නොදුන් පසුබිමක බොහෝ භාණ්ඩ හිඟවීමේ ප්‍රවණතාවයක් වෙළඳපොල තුළ උද්ගත වූ තත්ත්වයක් තුළයි.

ඒ අනුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් අනතුරුව නිෂ්පාදන සමාගම්වලට මිල ගණන් තීරණය කිරීමේ හැකියාව පවතිනවා.

වරායෙන් නිදහස් කරන ලද ආනයනික කිරිපිටි සඳුදා (11) සිට වෙළඳපොළට නිකුත් කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එහි සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මහතා කියා සිටියේ මේ වනවිට අදාළ කිරිපිටි තොග ඇසුරුම් කරමින් සිටින බවයි ෴

******************************************

සැප්තැම්බරයේ මෙරට සංචාරක ආගමනය ඉහළ යයි

(09.10.2021 – 09:18 +0530 – hirunews.lk/sinhala)

පසුගිය සැප්තැම්බර් මාසයේ දිවයිනට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව 13,547 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අගෝස්තු මාසයේදී දිවයිනට පැමිණියේ සංචාරකයින් 5,040 ක් පමණයි.

විශේෂයෙන් සාර්ක් කලාපයේ සංචාරකයින් සඳහා පැනවුණු සීමාවන් ඉවත් කිරීම සංචාරක ආගමනය ඉහළ යෑමට හේතු වී ඇති බව සඳහන්.

ඒ අනුව සැප්තැම්බරයේ ඉන්දියානු සංචාරකයින් 8,528 ක් සහ පාකිස්තාන සංචාරකයින් 1,225 ක් දිවයිනට පැමිණ තිබෙනවා.

මේ වසරේ සැප්තැම්බරය දක්වා දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 37,924 ක්.

එහෙත් එය පසුගිය වසරේ වාර්තා වූ 57,311 ක් වන සංචාරකයින්ට සාපේක්ෂව 92.5% ක පහත වැටීමක් ලෙස සැලකිය යුතුයි ෴

******************************************

පිහිනුම් තටාකයක දිය නෑමට ගිය දැරියක් ජීවිතක්ෂයට

(09.10.2021 – 09:32 +0530 – hirunews.lk/sinhala)

පාසිකුඩා ප්‍රදේශයේ හෝටලයක පිහිනුම් තටාකයක දිය නෑමට ගිය කුඩා දැරියක් දියේ ගිලී මිය යාමේ පුවතක් වාර්තා වනවා.

ඊයේ (08) පස්වරුවේ මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ රඹුක්වැල්ල, අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 06 හැවිරිදි දැරියක්.

දැරියගේ මෘත ශරීරය මේ වනවිට වාලච්චේන රෝහලේ තැන්පත්කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කල්කුඩා පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා ෴

******************************************

රුපියල් කෝටි තුනකට (3) වැඩි ගජමුතු 04 ක් අලෙවි කිරීමට ගිය තැත වැරදුණු හැටි

(09.10.2021 – 09:55 +0530 – hirunews.lk/sinhala)

නිධානයකින් ලබාගත් බවට විශ්වාස කෙරෙන ගජමුතු 04 ක් අලෙවි කිරීමට යාමේ දී පුද්ගලයින් තිදෙනෙකු (3) වව්නියාව ප්‍රදේශයේ දී ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර, එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 29, 30, 53 යන වයසේ පසුවන්නන්.

ඔවුන් අකුරණ, මහව, නිකවැරටිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

වව්නියාව ප්‍රදේශයේ අවන්හලක රථ ගාලක් තුළ දී මෙම වැටලීම සිදු කර ඇති අතර, සැකකරුවන් විසින් මෙලෙස අලෙවි කිරීමට උත්සාහ කර ඇත්තේ, රුපියල් කෝටි තුනකට (3) අධික වටිනාකමකින් යුත් ගජමුතු 04 ක් බවටයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා වව්නියාව පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

******************************************

පර්වතයකින් ඇද වැටී දෙදෙනෙකු (2) ජිවිතක්ෂයට

(09.10.2021 – 10:02 +0530 – hirunews.lk/sinhala)

හාලිඇල – ජගුල්ල ප්‍රදේශයේ දිය ඇල්ලක් අසල පර්වතයකින් ඇද වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ අසල සංවර්ධන ව්‍යාපෘතියක සේවයේ කළ කොන්ත්‍රාත් සමාගමක රියදුරෙකු සහ තවත් සේවකයෙකු මෙම අනතුරට ලක්වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මොවුන් තවත් දෙදෙනෙකු (2) සමඟ මත්පැන් පානය කර පර්වතය අසලට ගොස් ඇති අතර, එම අවස්ථාවේදී ඉන් ඇද වැටී ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ෴

******************************************

මත් වී රිලා ඇල්ල බලන්න ගිය තරුණයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

(09.10.2021 – 11:30 +0530 – hirunews.lk/sinhala)

හාලිඇල, රිලා ඇල්ල නැරඹීමට ගිය තරුණයන් දෙදෙනෙකු (2) එම ඇල්ලෙන් පහළට ඇද වැටී දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (08) රාත්‍රියේ තරුණයන් සිව්දෙනෙකු (4) රිලා ඇල්ල අසල මත්පැන් සාදයක් පවත්වා ඇති අතර එහි සිටි තරුණයින් දෙදෙනෙකු (2) බීමතින් ඇල්ල නැරඹීමට ඒ අසලට ම ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ජල පහරට හසුව ඔවුන් දෙදෙනා (2) අඩි 200 ක් පමණ පහළට ඇද වැටී දියේ ගිලී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

දියේ ගිලී සිටි තරුණයින් දෙදෙනා (2) ප්‍රදේශවාසීන් විසින් ගොඩ ගෙන සුවසැරිය ගිලන් රථයකින් රෝහල් ගත කිරීමට කටයුතුකර ඇති නමුත් ඒ වනවිටත් ඔවුන් දෙදෙනා (2) මියගොස් සිට ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 26 සහ 36 ක වීරකැටිය සහ දෙහිඅත්තකණ්ඩිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක් (2).

ඔවුන් බදුල්ල – මහනුවර මාර්ගයේ සංවර්ධන කටයුතු වල නිරත කොන්ත්‍රාත් සමාගමක සේවකයන් දෙදෙනෙකු (2) බවයි පොලීසිය සඳහන් කළේ.

මිය ගිය පුද්ගලයන් දෙදෙනාගේ (2) මෘත දේහ බදුල්ල රෝහල වෙත රැගෙන ඒමෙන් පසු කොරෝනා පරීක්ෂණ වලට ද ලක් කර තිබෙනවා.

එම වාර්තා ලැබීමෙන් අනතුරුව හෙට (10) දිනයේදී පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් මිය ගිය සේවකයන් දෙදෙනා (2) සමග මත්පැන් පානය කල සෙසු සේවකයන්ගෙන් ද ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කළා ෴

******************************************

මාකඳුරේ මධූෂ්ගේ ගෝලයෙකු වූ ‘පොඩි පැටී’ අල්ලයි

(09.10.2021 – 12:30 +0530 – hirunews.lk/sinhala)

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝමාල් රංගජීව ඇතුළු පොලිස් නිලධාරීන්ට පිළියන්දල දී වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ ‘මාකඳුරේ මධූෂ්’ගේ ප්‍රධාන ගෝලයෙකු වන ‘පොඩි පැටී’ නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සන්තකයේ තිබී ආයුධ කිහිපයක් ද සොයා ගැනුණු බවයි කළුතර අපරාධ කොට්ඨාසය පැවසුවේ ෴

******************************************

වර්ජනයට මාස 03 යි – අගමැති සහ ගුරු සංගම් අතර තීරණාත්මක සාකච්ඡාවක් අනිද්දා (11)

(09.10.2021 – 12:49 +0530 – hirunews.lk/sinhala)

වැටුප් විෂමතා ඇතුලු ඉල්ලීම් මුල් කර ගනිමින් ගුරුවිදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කර ඇති මෙම වර්ජනයට අදට (09) දින 90 ක් ගතවනවා.

මේ අතර, ඔන්ලයින් ගුරු වර්ජනයේ නිරත ගුරු විදුහල්පති වෘත්තීය සමිති සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් අනිද්දා (11) පෙරවරු 11 ට පැවැත්වීමට නියමිතයි.

එම රැස්වීමේදී තම ගැටලුවලට විසඳුමක් ලැබේයැයි අපේක්ෂා කරන බව ලංකා ගුරු සංගමය සඳහන් කළා.

ලබන 21 වනදිනට පෙර තම ගැටලුවට නිසි විසඳුමක් නොලැබුණහොත් වෙනත් ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වීමට සිදුවන බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ෴

******************************************

පනතක් සම්මත නොකර පළාත් සභා ඡන්දය පැවැත්විය නොහැකි බව නීතිපති දැනුම් දෙයි

(09.10.2021 – 12:52 +0530 – hirunews.lk/sinhala)

පනතක් සම්මත නොකර, කුමන ක්‍රමයකට හෝ පළාත් සභා ඡන්දය පැවැත්විය නොහැකි බවට නීතිපතිවරයා විසින් දැනුම් දී තිබෙනවා.

ඊයේ (08) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති විශේෂ කාරක සභා රැස්වීමේදී එහි සභාපති අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඒ බව හෙළිදරව් කළා.

දීර්ඝ කාලයක් තිස්සේ මහජන නියෝජිතයන් නොමැතිව ක්‍රියාත්මක වන පළාත් සභා සඳහා ඡන්දයක් පැවැත්වීම අවශ්‍යතාවක්.

එහෙත් මෙම නීතිමය තත්ත්වය ඊට බාධාවක් බවයි, සභාපතිවරයා එහිදී කාරක සභා සාමාජිකයන් වෙත පෙන්වා දී ඇත්තේ ෴

******************************************

‘පැන්ඩෝරා පත්‍රිකා’ පිළිබඳ පක්ෂ විපක්ෂ අදහස්

(09.10.2021 – 13:27 +0530 – hirunews.lk/sinhala)

පැන්ඩෝරා පත්‍රිකාවලින් හෙළි වූ ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ අදහස් පළවුණා.

******************************************

රජයේ තීරණ නිසා ගොවීන් හා නිලධාරීන් අතර ගැටුම් – නාමල් කරුණාරත්න

(09.10.2021 – 13:46 +0530 – hirunews.lk/sinhala)

රජයේ තීරණ හේතුවෙන් කන්න රැස්වීම්වල දී ගොවීන් හා රජයේ නිලධාරීන් අතර ගැටුම් ඇතිවන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පවසනවා.

මේ අතර වගාවන් සඳහා අවශ්‍ය කෘෂි රසායන ද්‍රව්‍ය හා පොහොර නොමැතිව ප්‍රදේශ රැසක ගොවීන් තවදුරටත් පීඩාවට පත්ව සිටිනවා.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

කොවිඩ් සුව වූ ගැබිනි මව්වරුන්ට වෛද්‍ය විශේෂඥයින් ගෙන් දැනුම් දීමක්

(09.10.2021 – 13:01 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු 20 ට වැඩි සියලු‍ දෙනාට ම තෙවැනි (3) මාත්‍රාවක් ලෙස ෆයිසර් එන්නත ලබාදීම සඳහා අනුමැතිය හිමි වූ බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

මේ අතර, නියමු ව්‍යාපෘතියක් ලෙස ලබන 15 වැනි දා සිට කොළඹ දිස්ත්‍රික්කයේ පාසැල් කිහිපයකදී දරුවන් එන්නත් කිරීම සිදු කරන බව ළමා රෝග විශේෂඥයින්ගේ විද්වත් සංගමය සඳහන් කළා.

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ගෙවුණු දිනයේදී පළමු (1) සහ දෙවැනි (2) මාත්‍රා වශයෙන් ලබා දුන් එන්නත් මාත්‍රා ගණන 1,41,149 ක්. ඒ අනුව පුද්ගලයින් 15,502 ක් පළමු (1) මාත්‍රාවත්, පුද්ගලයින් 1,25,647 ක් දෙවැනි (1) මාත්‍රාවත් ලබා ගෙන තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කියා සිටියේ තෙවැනි (3) මාත්‍රාවක් ලෙස අවුරුදු 20 ට වැඩි සියලු දෙනාට ෆයිසර් එන්නත් ලබාදීම සඳහා මාත්‍රා මිලියන 14.5 ක් ඇණවුම් කර ඇති බවයි.

අවුරුදු 18 ත් 19 ත් අතර පාසැල් සිසුන් එන්නත් කිරීමේ නියමු ව්‍යාපෘතිය ලබන 15 වැනි දා කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ වීමට නියමිතයි.

මේ අතර, කොරෝනා ආසාදනය වූ ගර්භනී මව්වරුන් හට පසු රෝගී තත්ත්වයන් වාර්තා වන බව කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා පවසනවා.

ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් 746 දෙනෙකු හඳුනාගත් අතර, ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,24,937 ක් දක්වා ඉහළ ගියා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *