එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් ගැන ඉන්දියාවෙන් හෙළිදරව්වක්

එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් ගැන ඉන්දියාවෙන් හෙළිදරව්වක්

*********************************************

එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් ගැන ඉන්දියාවෙන් හෙළිදරව්වක්

(05.10.2021 – 12:51 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසරේ දී ඉන්දියාවේ ලක්ෂද්වීප් දිවයින ආසන්නයෙන් ඉන්දීය වෙරළාරක්ෂක භාරයට ගැණුනු අවිආයුධ සහ මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් යාත්‍රාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තමිල්නාඩු ජාතිකයින් දෙදෙනා (2) එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරින් බව හෙළි වී ඇතැ යි ඉන්දීය ජාතික ආරක්ෂක ආයතනය පවසනවා.

පසුගිය වසරේ මාර්තු 18 වනදා මත්ද්‍රව්‍ය විශාල තොගයක් මෙන්ම ඒ.කේ. 47 වර්ගයේ ගිනි අවි 5 ක් සහ උණ්ඩ දහසක් (1000) සමග රවිහන්සි නමැති යාත්‍රාව සහ ශ්‍රී ලාංකිකයන් 6 දෙනෙකු ද අත්අඩංගුවට ගැණුනා.

පසුව අදාළ පරීක්ෂණ ඉන්දීය ජාතික ආරක්ෂක ආයතනය වෙත පැවරුණා.

ඔවුන් සිදු කරන ලද විමර්ශනවලට අනුව යි ‘සුරේෂ් රාජ්’ සහ ‘සෞන්දර්රාජන්’ නමැති තමිල්නාඩු ජාතිකයින් දෙදෙනා (2) අත්අඩංගුවට ගැනුණේ.

ඉන්දීය ජාතික ආරක්ෂක ආයතනය කොචී අධිකරණය වෙත වාර්තා කර ඇත්තේ මොවුන් දෙදෙනා (2) තමිල්නාඩුවේ සහ වෙනත් විදේශ රටවල එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරින් සමඟ එක්ව කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇති බවයි.

ඒ සඳහා ඩිජිටල් සාක්ෂි එක්රැස් කරගෙන ඇති බව ද ඔවුන් කොචීහි විශේෂ අධිකරණයට දැනුම් දී තිබෙනවා.

සැකකරුවන් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවල දී මෙම කරුණු අනාවරණ වී ඇති බව සඳහන්.

ඒ අනුව අරමුදල් රැස්කිරීම මෙන්ම අනාගත සැලසුම් පිළිබඳව ද ඔවුන් කරුණු හෙළි කල බව ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය අධිකරණයට ප්‍රකාශ කළා ෴

******************************************

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින් ගම්මන්පිලගේ නිවසට

(05.10.2021 – 13:00 +0530 – hirunews.lk/sinhala)

මතභේදයට තුඩු දී ඇති කෙරවලපිටිය යුගදනවි බලාගාර ගිවිසුම සහ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවේ පක්ෂ නායකයින් හෙට (06) යළිත් වරක් රැස්වීමට නියමිතයි.

ඒ, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ නිවසේදී යි.

මීට පෙර විමල් වීරවංශ අමාත්‍යවරයාගේ නිවසේ පැවති සාකච්ඡාවේදී අවධානයට ගැනුණු කරුණු සහ අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේදී පැමිණි එකඟතාවයන් පිළිබඳව මෙහිදී යළි සාකච්ඡා කිරීමටයි නියමිතව ඇත්තේ.

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ ස්වභාවික ගෑස් නල පද්ධතිය සහ ගබඩා සංකීර්ණය ඉදිකිරීම ටෙන්ඩර් කැඳවීමකින් තොරව අමෙරිකාවේ ‘නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම’ට ලබා දීම සම්බන්ධයෙන් මේ වනවිටත් පවතින්නේ දැඩි කතාබහක්.

අදාළ ගනුදෙනුව පිළිබඳ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නියෝජිතයන් පසුගියදා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී රැස්වී සාකච්ඡාවක නිරත වුණා.

පසුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද හමුවී සාකච්ඡා කළ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින් ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසුණා.

කෙරවලපිටිය එල්.එන්.ජී. හෙවත් ද්‍රව ස්වභාවික වායු බලාගාර සංකීර්ණයේ ආයෝජනය සම්බන්ධයෙන් ලක් රජය සමඟ අවසන් ගිවිසුමකට එළැඹුණු බව අමෙරිකා එක්සත් ජනපදයේ ‘නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම’ පසුගියදා නිවේදනය කළා.

එහි නිල වෙබ් අඩවියට නිකුත් කර ඇති නිවේදනයක දැක්වුණේ, කෙරවලපිටිය එල්.එන්.ජී. අංගනය, යුගදනවි බලාගාරයේ ආයෝජනය සහ මෙරට බලාගාරවලට ගෑස් සැපයීම අදාළ ගිවිසුමට ඇතුළත් වන බවයි ෴

මේ අතර, වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස් පළ කළා :

******************************************

සිමෙන්ති හිඟයෙන් කර්මාන්තකරුවන් පිරිසක් අසීරුතාවක

(05.10.2021 – 13:06 +0530 – hirunews.lk/sinhala)

රට තුළ පවතින සිමෙන්ති හිඟය හේතුවෙන් ඒ ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලා පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙනවා.

ක්ෂේත්‍ර කිහිපයක පිරිසකට රැකියා සම්බන්ධයෙන්ද මතුව ඇත්තේ අවදානම් තත්ත්වයක්.

නිවාස ඉදිකිරීම, ගෘහ අලංකරණ නිර්මාණ හා ඉදිකිරීම් ක්ෂේත්‍රවල රඳා පැවැත්ම තීරණය වන්නේ සිමෙන්ති සැපයුම මතයි.

කෙසේ වෙතත්, රටටම බලපා ඇති සිමෙන්ති හිඟයට විසඳුම් නොලැබීමෙන් ඉහත නිෂ්පාදනයන් සියල්ල බිඳ වැටීමේ තත්ත්වයක් මතුව තිබෙනවා.

මෙම තත්ත්වය නිසා සිය කර්මාන්ත ශාලා වසා දැමීමට සිදුවන තත්ත්වයක් උද්ගතව ඇති බවයි පොලොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ, මැදිරිගිරිය, බකමූණ සහ ඇලහැර ප්‍රදේශවල නිෂ්පාදකයින් පවසන්නේ.

දිනකට සිමෙන්ති මිටි 25 ක් පමණ අවශ්‍ය වූවද මේ වනවිට කර්මාන්ත ශාලාවලට ලැබෙන්නේ සිමෙන්ති මිටි 05 ක් පමණක් බවයි නිෂ්පාදකයින් පෙන්වා දෙන්නේ.

******************************************

අඹන්පොළ ග්‍රාම නිලධාරි ඝාතන අභිරහස ගල්ගමුව දුම්රිය ස්ථානයෙන් විසඳේ

(05.10.2021 – 13:09 +0530 – hirunews.lk/sinhala)

අඹන්පොල දකුණ ග්‍රාම නිලධාරි කපිල සපුකුමාරගේ ඝාතනය සම්බන්ධයෙන් ගල්ගමුව දුම්රිය ස්ථානයේ, පුහුණුවන – දුම්රිය ස්ථානාධිපති මෙහෙයුම් තනතුරේ කටයුතු කරන 27 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය ප්‍රකාශ කළේ, ඔහු විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත මෙම ඝාතනය සිදුව ඇති බවයි.

ඝාතනය සිදුකළ සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් දෙකක් (2) මේ වනවිට විමර්ශන ක්‍රියාත්මක කරනවා.

අඹන්පොල දකුණ ග්‍රාම නිලධාරිවරයා ලෙස කටයුතු කළ 52 හැවිරිදි කපිල සපුකුමාර ඊයේ (04) ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැස්වීමකට යමින් සිටියදී තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබුණේ වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින්.

පසුව පොලීසිය අදාළ වෑන් රථය සොයා ගත් අතර, එය කුලී පදනම මත ගල්ගමුවේ අයෙකු විසින් ලබාගෙන තිබූ බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වුණා.

ඒ අනුව සිදුකළ විමර්ශන මතයි ඉඩම් ආරවුලක් මුල්කරගෙන මෙම ඝාතනය සිදුව ඇති බවට කරුණු හෙළි කරගෙන ඇත්තේ.

ඉඩමක් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී අත්අඩංගුවට ගෙන ඇති සැකකරුට අගතියක් වන අයුරින් ග්‍රාම නිලධාරිවරයා රාජකාරි සිදුකළ බව කියන සිද්ධියකට අදාළව ඔහු විසින් මෙම කොන්ත්‍රාත්තුව ලබාදී ඇති අතර, ඒ අනුව, ඝාතනය සිදුව ඇති බව දැනට අනාවරණ වී තිබෙනවා.

කෙසේ වෙතත්, සැකකරු සඳහන් කර ඇත්තේ ග්‍රාම නිලධාරිවරයා බිය ගැන්වීමට මිස තමන් ඔහු ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුව ලබා නොදුන් බවයි.

එහෙත්, ඝාතකයන් පැමිණි වෑන් රථයේ සැකකාර දුම්රිය ස්ථාන නිලධාරියා ද සිට ඇති බවට පොලීසිය සැක කරනවා ෴

******************************************

ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම්

(05.10.2021 – 13:38 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල, කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට අදාළව නායයාම් පිළිබඳ විමසිලිමත් වීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළේ හෙට (06) මධ්‍යහ්න 12 දක්වා මෙම අනතුරු ඇගවීම ක්‍රියාත්මක බවයි.

මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඉදිරි පැය 24 තුළ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි ෴

******************************************

චමින්ද විජේසිරි හා මහින්දානන්ද පාර්ලිමේන්තුවේ දී උණුසුම් වෙයි

(05.10.2021 – 13:50 +0530 – hirunews.lk/sinhala)

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය සම්බන්ධ ව පාර්ලිමේන්තුවේ දී අදත් (05) වාද විවාද ඇතින් වුණා.

******************************************

NMRA දත්ත වලට ඇත්තටම මොකද උනේ – මේ වෙන්නේ මහාපරිමාණ Data වංචාවක් – අපේ දත්ත වලට ආරක්ෂාවක් නෑ (05.10.2021)

පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන, චමුදිත සමරවික්‍රම සමග

******************************************

නව ඛනිජ තෙල් සම්පත් පනත ඔක්තෝම්බර් 06 වැනි දා පාර්ලිමේන්තුවට

(05.10.2021 – 14:07 +0530 – hirunews.lk/sinhala)

හෙට (06) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව ඛනිජ තෙල් සම්පත් පනත සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරුන් දැනුම්වත් කිරීමේ ආණ්ඩු පක්ෂ කමිටු රැස්වීමක් ඊයේ (04) පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණා.

එහි දී බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් මෙම පනතෙහි ඇති වැදගත්කම සහ විධිවිධානයන් සම්බන්ධයෙන් ආණ්ඩුපක්ෂ මැති ඇමැතිවරුන් දැනුවත් කිරීම ද සිදු කළා.

ශ්‍රී ලංකාව සතු තෙල් සහ ගෑස් නිධි භාවිතා කරමින් ඛනිජ තෙල් සහ ගෑස් නිෂ්පාදනය මෙරට තුල ආරම්භ කිරීම සඳහා අවශ්‍ය නෛතික පසුබිම සහ නියාමන යාන්ත්‍රණය සැකසීම සහ එමගින් ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ දැවැන්ත ආයෝජකයන් මෙරට ඛනිජ තෙල් ගවේෂණ සඳහා ආකර්ෂණය කර ගැනීමයි මෙම නව පනතේ බලාපොරොත්තුව ෴

******************************************

පොහොර හිඟය නිසා ගොවීන් අපහසුතාවක

(05.10.2021 – 14:19 +0530 – hirunews.lk/sinhala)

වගාවන්ට අවශ්‍ය පොහොර නිසි කලට නො ලැබීම හේතුවෙන් වගාවන් ගොවිබිම් තුළම විනාශ වීම හේතුවෙන් ඇතැම් ගොවීන් සිය වගාවන්ට ගිනි තබා විනාශ කිරීමට ද පෙළඹී තිබෙනවා.

ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ, මේ සම්බන්ධයෙන් සොයා බලා විනාශ වූ වගාවන් සඳහා වන්දි මුදලක් හෝ ලබාදීමට කටයුතු කරන ලෙසයි.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

කොරෝනා අතරේ ඩෙංගු අවදානමත් වැඩි වේ

(05.10.2021 – 13:04 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා අසාදනය වීමෙන් පසු ඇතැම් පුද්ගලයින්ට විශාද තත්ත්වයන් ඇතිවිය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.

මේ අතර, කොරෝනා ව්‍යාප්තිය සමඟ ඩෙංගු රෝගයද ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බවටයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවන්නේ.

ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් 786 දෙනෙකු මෙරටින් වාර්තා වුණා.

ඒ සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,21,218 ක් දක්වා ඉහළ ගියා.

පසුගිය 03 වැනිදා සිදු වූ කොරෝනා මරණ 43 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (04) තහවුරු කළ අතර ඒ සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 13,102 ක් ලෙසයි.

එමෙන්ම, විරෝධතා සඳහා ජනතාව ඒකරාශීවීම තවදුරටත් අවදානම් බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ.

මේ අතර, කොරෝනා ආසාදනය වූවන් අතරින් ඇතැම් පුද්ගලයින්ට විශාදය වැනි රෝග තත්ත්වයන් ඇතිවිය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මනෝ වෛද්‍ය විශේෂඥ සජීවන අමරසිංහ මහතා සඳහන් කළා.

කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ගෙවුණු දිනයේදී පළමු (1) සහ දෙවැනි (2) මාත්‍රා වශයෙන් ලබා දුන් එන්නත් මාත්‍රා ගණන 82,721 ක්.

ඒ අනුව පුද්ගලයින් 18,247 ක් පළමු (1) මාත්‍රාවත්, පුද්ගලයින් 64,474 ක් දෙවැනි (2) මාත්‍රාවත් ලබා ගෙන තිබෙනවා.

නිදන්ගත රෝගවලන් පෙළෙන සහ විශේෂ අවශ්‍යතා සහිත වයස අවුරුදු 12 ට වැඩි දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීම අදත් (05) දිවයින පුරා ක්‍රියාත්මකයි.

එසේම අන්තර් පළාත් ධාවනයේ යෙදවූ ශ්‍රී ලංගම බස් රථ අද (05) සිට පළාත් තුළ ධාවනය සඳහා එක්කර තිබුණා.

මේ අතර ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ දැඩි අවදානමක්ද මේ වනවිට පවතින බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියා ෴

+++++++++++++++++

ළමයින් 200 ට අඩු පළාත් සභා පාසල්වල ප්‍රාථමික අංශය ඔක්තෝම්බර් 21 ඇරඹේ

(05.10.2021 – 13:31 +0530 – hirunews.lk/sinhala)

පළාත් සභා යටතේ පාලනය වන ළමයින් 200 ට අඩු ප්‍රාථමික පාසල් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත් ව යළි විවෘත කිරීමට පළාත් ආණ්ඩුකාරවරුන් තීරණය කර තිබෙනවා.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව ආණ්ඩුකාරවරුන් තීරණය කර ඇත්තේ මේ මස 21 වනදා එම පාසල් යළි විවෘත කිරීමට යි.

මීට පෙර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පාසල් විවෘත කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ අධ්‍යාපන අමාත්‍යාංශයට ලබාදුන්නා ෴

+++++++++++++++++++

කොවිඩ් ආසාදනයෙන් පසු ඇතැමුන්ට විශාදය

(05.10.2021 – 13:55 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ආසාදනයෙන් පසු ඇතැම් පිරිසකට විශාදය ඇතිවිය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙනවා.

මේ අතර කොවිඩ් ව්‍යාප්තියට අමතරව ඩෙංගු රෝගයද ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *