ලංගමයේ අන්තර් පළාත් බස් හෙට (05) සිට පළාත් තුල ධාවනයට

ලංගමයේ අන්තර් පළාත් බස් හෙට (05) සිට පළාත් තුල ධාවනයට

*********************************************

ලංගමයේ අන්තර් පළාත් බස් හෙට (05) සිට පළාත් තුල ධාවනයට

(04.10.2021 – 20:32 +0530 – hirunews.lk/sinhala)

අන්තර් පළාත් ධාවනයේ යොදවන ශ්‍රී ලංගම බස් රථ හෙට (05) සිට පළාත් තුළ ධාවනය සඳහා කටයුතු කරන බව බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

මේ අතර, නිවසේ සිට ප්‍රතිකාර ලබා ගන්නා කොරෝනා ආසාදිතයින්ගේ ගැටලු‍වලට පිළිතුරු ලබාදීම සඳහා 1390 සේවාව සෘජු දුරකථන අංකයක් බවට පත්කර තිබෙනවා.

අද (04) දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් පන්සිය හැත්තෑ දෙදෙනෙකු (572) වාර්තා වී තිබෙනවා. ඒ සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,21,004 ක් දක්වා ඉහළ ගියා.

එසේම, ඊයේ (03) සිදුවූ කොරෝනා ආසාදිත පුද්ගල මරණ 43 ක් අද (04) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 13,102 ක්.

මේ අතර, දුර ගමන් සේවා බස් රථ අපේක්ෂාවෙන් පැමිණි මගීන් බස් රථ නොමැති කමින් පීඩාවට පත්ව සිටින ආකාරය ප්‍රදේශ කිහිපයකදී දක්නට ලැබුණා.

බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කියා සිටියේ අද (04) පෞද්ගලික බස් රථ ධාවනය ප්‍රශස්ත මට්ටමක නොපැවති බවයි.

මේ අතර විදේශගතව සිට පැමිණෙන්නන්ට ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී පී.සී.ආර්. පරීක්ෂණ සිදු නොකිරීම හේතුවෙන් තමන් ඇතුළු ප්‍රංශයේ සිට පැමිණි පිරිසක් අපහසුතාවයට පත්ව ඇති බවට ටානියා ක්‍රිස්ටීන් නැමති කාන්තාව චෝදනා කරනවා.

ඇය පවසන්නේ ඒ හේතුවෙන් පී.සී.ආර්. පරීක්ෂණය කිරීම සඳහා තමන්ට හෝටල් නිරෝධායනයට යොමු වීමට සිදුවූ බවයි.

දිගින් දිගටම හිරු ප්‍රවෘත්ති කළ අනාවරණයෙන් පසු විදේශගතව සිට පැමිණෙන්නන්ට ගුවන් තොටුපොළේදී පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීම ආරම්භ කළ අතර කෙසේ වෙතත් එය පසුව නවතා දැමුණා.

ඒ පූර්ණ එන්නත්කරණයට ලක්වූ දේශීය හෝ විදේශීය ගුවන් මගියෙකුට ගුවන් ගත වීමේදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකින් ආසාදිතයෙකු නොවන බව තහවුරු වී ඇත්නම් මෙරටදී යළි පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු නොකර පිටව යාමේ අවසරය ලබාදීමත් සමඟයි.

******************************************

යාපනය පොලිස් නිලධාරින්ගේ රාජකාරිවලට බාධා කළ වලිකාමම් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ඇතුළු 3 ක් අත්අඩංගුවට

(04.10.2021 – 19:40 +0530 – hirunews.lk/sinhala)

යාපනය – ඌරණී ප්‍රදේශයේ මාර්ග ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වලිකාමම් නැගෙනහිර ප්‍රාදේශිය සභාවේ ඊ.පී.ඩී.පී. පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ඇතුලු 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කලේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගැනීමට යාමේදී ඊට බාධා කිරීම හේතුවෙන් තවත් සැකකරුවෙකු (1) අත්අඩංගුවට ගත් බවයි.

යාපනය – ඌරණී මාර්ගයේ ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව යතුරුපැදියක් ධාවනය කිරීමට අදාළව පොලීසිය දඩ පත්‍රයක් ලබා දීමට උත්සහ කිරීමේදී අදාළ සැකකරු සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් ඇතිව තිබුණේ ඊයේ (03) රාත්‍රියේදීයි.

ඉන් අනතුරුව ඔහුගේ සහයකයින් පිරිසක්ද එම ස්ථානයට පැමිණ පොලීසියට පහර දීමට උත්සහ කිරීමත් සමග තවදුරටත් නොසන්සුන් තත්වයක් ඇති වුනා. පොලීසිය සඳහන් කළේ එම තත්වය පාලනය කිරීම සඳහා අහසට වෙඩි තැබීමට පොලිස් නිලධාරීන්ට සිදුවූ බවයි.

සිද්ධියට සම්බන්ධ සෙසු පුද්ගලයන් සොයා විමර්ශන ආරම්භ කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

******************************************

පැන්ඩොරා පත්‍රිකා ඔස්සේ හෙළි වූ ලොවක් කැළඹු රහසිගත ගනුදෙනු

(04.10.2021 – 20:00 +0530 – hirunews.lk/sinhala)

ලොව ධනවත්ම සහ බලවත්ම පුද්ගලයින් ඇතුළු ප්‍රබලයින් රැසකගේ රහසිගත ගනුදෙනු සහ සැඟවුණු වත්කම් සම්බන්ධයෙන් සිදුකෙරුණු හෙළිදරව්වක් පිළිබඳ සමස්ත ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

පැන්ඩොරා පත්‍රිකා ලෙස නම්කර තිබෙන මෙම ලේඛන ප්‍රකාශයට පත්කර ඇත්තේ වොෂිංටන් නුවර පිහිටි ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය විසින්.

ලොව පුරා රටවල් 117 ක ජනමාධ්‍යවේදීන් 600 දෙනෙකුගේ සහභාගිත්වයෙන් එක්රැස් කළ දත්ත මිලියන 11.9 ක රහසිගත තොරතුරු මාස 18 ක් විශ්ලේෂණය කර පැන්ඩොරා පත්‍රිකා ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

අමෙරිකාවේ වොෂිංටන් නුවර පිහිටි ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය පෙන්වා දෙන්නේ මෙම රහසිගත ලේඛණ අතර ලොව බිලියනපතියන් 100 දෙනෙකුගේ මෙන්ම ලෝක නායකයින් 30 දෙනෙකුගේ රහසිගත ලේඛන සහ සැඟවූ මූල්‍ය වත්කම් සම්බන්ධයෙන් තොරතුරු පවතින බවයි.

හිටපු රාජ්‍ය සේවකයින් මෙන්ම වර්තමානයේ බලයේ නිරත දේශපාලනඥයින් සහ රාජ්‍ය සේවකයින්ගේ සහ ඔවුන්ගේ සමීපතමයන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන්ද මෙම දත්ත ගොනුවේ තොරතුරු පවතිනවා.

මෙම තොරතුරු ගොණු අතර ලිපි ලේඛන 6,406,119 ක්, ඡායාරූප 2,937,513 ක්, විද්‍යුත් ලිපි 1,205,716 ක්, හඬපට සහ වීඩියෝ ඇතුළු අනාවරණයන් 886,923 ක් ඇතුළත්.

ජෝර්දානයේ දෙවන අබ්දුල්ලා රජු, චෙක් ජනරජයේ අග්‍රාමාත්‍ය ඇන්ඩ්‍රේ බාබීස්, බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් සහ ඔහුගේ බිරිඳ බහරේනයේ හිටපු අමාත්‍යවරයෙක් සමඟ ගතකළ රහසිගත ජීවිතය සහ ඔවුන්ගේ රහසිගත ගනුදෙනු, යුක්‍රේන ජනාධිපති ස්ලිකෙන්සි, කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යාටා, මෙන්ම වියට්නාමය, සිංගප්පූරුව, බහමාස්, සීෂෙල්ස් ඇතුළු රටවල් 90 ක ප්‍රබලයින්, බලවතුන්, දේශපාලනඥයින්, නීති සම්පාදකයින්, ක්‍රිකට් ක්‍රීඩකයින්, මාධ්‍ය ආයතන ප්‍රධානීන්, නළු නිළියන් සහ පරිපාලන කටයුතුවලට අදාළ රහස්‍ය තොරතුරු මෙම ලේඛනවල ඇතුළත්.

පාකිස්ථාන වැසියන් 700 දෙනෙකු සම්බන්ධයෙන් ද පැන්ඩොරා පත්‍රිකා මගින් අනාවරණ කරනවා.

ඒ අතර, අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ රජයේ හමුදා ප්‍රධානීන් ඇතුළු හිතවතුන් රහසිගතව රටින් පිටත සමාගම් සතු ගිණුම් ඔස්සේ සිදුකළ මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත්.

එවන් පසුබිමක පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිවේදනය කරන්නේ පැන්ඩොරා පත්‍රිකා මඟින් අනාවරණ කරන පාකිස්ථාන වැසියන් සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණ අරඹන බවයි.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සතු දේපළක ගෘහ සේවයේ නිරත කාන්තාවකට ජනාධිපතිවරයාට දාව බිහිවූ වයස අවුරුදු 17 ක දියණියක් ද සිටින බවත්, මෙම පත්‍රිකා අනාවරණ කරනවා.

ගෘහ සේවයේ නිරතව සිටි වෙට්ලානා රිවනෝගි නම් අදාළ කාන්තාව මේ වනවිට බිලියනපතිනියක්.

ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් ද බදු පැහැර හැරීමේ චේතනාවෙන් රටින් පිටත සමාගම් සතු ගිණුම් ඔස්සේ රහසිගත ගනුදෙනු පවත්වාගෙන ගොස් තිබෙනවා.

මේ අතර, ප්‍රකෝටිපති ඉන්දීය ව්‍යාපාරික අනිල් අම්බානි 2007 – 2010 අතර කාලසීමාවේ රටින් පිටත සමාගම් 18 ක් ඔස්සේ බ්‍රිතාන්‍යය, අමෙරිකාව සහ සයිප්‍රසයේ රහසිගතව සිදුකළ ගනුදෙනු රැසක් සම්බන්ධයෙන් ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර, ශ්‍රී ලංකාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන නිරූපමා රාජපක්ෂ සම්බන්ධයෙන් ද පැන්ඩොරා පත්‍රිකාවල සඳහන්.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ලොව ප්‍රබලයින් සහ ධනවතුන් බොහෝදෙනෙක් රටින් පිටත සමාගම් සතු ගිණුම් නොහොත් අක්වෙරළ සමාගම් හරහා ආයෝජන පවත්වාගෙන ගොස් ඇත්තේ අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ බවයි.

මෙලෙස රහසත්‍ය තොරතුරු අනාවරණ වන පසුබිමක ජෝර්දානය ICIJ වෙබ් අඩවිය එරට තුළ අවහිර කර තිබෙනවා.

මීට පෙරද 2016 වසරේදී පැනමා පත්‍රිකා සහ පැරඩයිස් පත්‍රිකා ලෙස අවස්ථාවන් දෙකකදී (2) මෙන්ම ජුලියන් අසාන්ගේ ගේ විකිලික්ස් වෙබ් අඩවියෙන්ද ලොව ප්‍රබලයන්ගේ රහසිගත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වුණා.

2021 වසරේදී නිකුත් වූ මෙම පැන්ඩොරා පත්‍රිකා හැඳින්වෙන්නේ ගවේෂණාත්මක මාධ්‍යකරණයේ සාමූහික ප්‍රයත්නයකින් අනාවරණ කළ ලෝක ඉතිහාසයේ විශාලතම රහස්‍ය ලේඛන සහ තොරතුරු ගොණුව ලෙසයි.

‘පැනඩෝරා’ හෙලිදරවුව ගැන ගම්මන්පිල පරීක්‍ෂණයක් ඉල්ලයි…

(04.10.2021 – 22:22 +0530 – lankacnews.com)

ලෝකය පුරා ආන්දෝලනයක් ඇති කර ඇති තිබෙන පැනඩෝරා පත්‍රිකා සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අදහස් පළ කරයි.

ඔහු පවසන්නේ එම පත්‍රිකාවන්හි යම්කිසි දේශපාලනඥයින් ගැන විස්තර තිබේ නම් ඔවුන්ගේ දේපළ පිළිබඳ උපයා ගත් ආකාරය පිළිබඳව අල්ලස් හා දුෂණ කොමිසන් සභාව අනිවාර්යෙන්ම සොයා බැලිය යුතු බවයි.

තමන් දන්නා තරමින් ව්‍යාපාරික පවුලකට සම්බන්ද විශ්‍රාමික දේශපාලනඥයකුගේ නමක් එහි ඇති බව පැවසුනද ඒ හැරුණු විට එහි වෙනත් දේශපාලනයන්ගේ නම් නැතැයිද අමාත්‍යවරයා පැවසීය.

කෙසේ වෙතත් මේ ගැන කතා කිරීමට වඩා වැදගත් වන්නේ ඔවුන් අයුතු ලෙස දේපල උපයාගත්තේදැයි වහාම සොයා බැලීම බවද ඔහු පැවසීය.

බලශක්ති අමාත්‍යංශයේදි පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය ෴

******************************************

ප්‍රජාතන්ත්‍රවාදයෙන් ප්‍රශ්නවලට විසඳුම් දෙන බව ජනපති යුරෝපා සංගම් නියෝජිතයන්ට කියයි

(04.10.2021 – 20:26 +0530 – hirunews.lk/sinhala)

ඉතිහාසයේ කිසිදු කාල පරිච්ඡේදයක ඒකාධිපති හෝ ඒකාධිකාරී රාජ්‍යයක් නොවූ, කලාපයේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුලින්ම ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

දිවයිනට පැමිණි යුරෝපා සංගමයේ නියෝජිත පිරිස සමග මිරිහානේ පිහිටි සිය පෞද්ගලික නිවසේ අද (04) පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කල බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් මෙහිදී යුරෝපා සංගම් නියෝජිතයන් විශේෂ අවධානය යොමු කර ඇති අතර කාලය මූලික කරගත් විසඳුමක අවශ්‍යතාව පෙන්වා දී තිබෙනවා.

සංචාරයේදී අධ්‍යයනය කළ කරුණු පදනම් කර ගනිමින් යුරෝපා කොමිසමට සහ යුරෝපා පාර්ලිමේන්තුවට විධිමත් වාර්තාවක් ලබා දීමට ඉඩ ප්‍රස්තාව හිමිවන බවයි යුරෝපා දූත පිරිස මෙහිදී පෙන්වා දී ඇත්තේ.

එසේම ශ්‍රී ලංකාව වෙනුවෙන් තම සහය ලබා දෙන බවද ඔවුන් එහිදී සඳහන් කර තිබෙනවා.

අවශ්‍ය කමිටු පත් කර ඒවායේ වාර්තා අනුව අධිකරණ අමාත්‍යවරයාටත්, නීතිපතිවරයාටත් උපදෙස් ලබා දී ඇති අතර, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇති සංශෝධනය කල යුතු වගන්ති සංශෝධනයට කඩිනම් පියවර ගන්නා බව මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කල බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

එලෙසම වර්තමාන ලෝකයේ මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඇති එකඟතා අනුව කටයුතු කරන බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබෙනවා.

******************************************

ඩොලර් කෝටි තුනක් (3) බේරාගන්නට ඩොලර් කෝටි එකසිය තිහක් (130) උකසට තබන පාලකයෝ

(04.10.2021 – 20:48 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව ඩොලර් මිලියන තිහක් (30) ආරක්ෂා කරගැනීම සඳහා ඩොලර් බිලියන 1.3 ක් ආදායම් ගෙන එන කර්මාන්තයක් බරපතල අනතුරක හෙළා ඇති බව වැවිලි සේවා සමූහයේ සභාපති රොෂාන් රාජදුරෙයි මහතා පවසනවා.

ඔහු මේ බව පවසා සිටියේ ලංකා වැවිලි සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේදීයි.

ශ්‍රී ලංකාව තේ කර්මාන්තය වෙනුවෙන් වාර්ෂිකව පොහොර සහ පලිබෝධ නාශක සඳහා ඩොලර් මිලියන 30 ක් වැය කරන අතර ශ්‍රී ලංකාව තේ අපනයනයෙන් දළ වශයෙන් උපයාගන්නා අවම විදේශ විනිමය ප්‍රමානය ඩොලර් බිලියන 1.3 ක් බවයි ඔහු පෙන්වා දුන්නේ.

විශේෂයෙන් තේ කර්මාන්තය පොහොර සඳහා වැය කරන පිරිවැය තේ වලින් ලැබෙන මුළු ආදායමෙන් සියයට දෙකක් (2%) පමණක් බව වැවිලි සේවා සමූහයේ සභාපතිවරයා පවසනවා.

ශ්‍රී ලංකාව 2019 වසරේදී තේ අපනයනයෙන් ඩොලර් බිලියන 1.43 ක විදෙස් විනිමයක් උපයා ගත් අතර 2020 වසරේදී කොවිඩ්-19 වසංගතය තත්ත්වය හමුවේ පවා ඩොලර් බිලියන 1.24 ක විදෙස් විනිමය ප්‍රමානයක් උපයා ගන්නට සමත් වුනා.

එමෙන්ම 2021 වසරේ මුල් මාස හත (7) තුළදී ලද හොඳ වර්ෂාපතනය මධ්‍යයේ 2020 වසරේ වසංගතයට ගොදුරු වූ කාලයට සාපේක්‍ෂව, සියයට 9 ක වර්ධනයක් පෙන්නුම් කරමින් තේ වලින් ලබාගෙන ඇති විදෙස් විනිමය ප්‍රමානය ඩොලර් මිලියන 766 ක්.

කෙසේ වෙතත් රජය විසින් ගන්නා ලද රසායනික පොහොර සහ කෘෂි රසායන තහනම හේතුවෙන් 2022 දී මෙරට තේ අපනයනයෙන් ලැබෙන ආදායම සියයට 40 කින් පමණ පහත වැටිය හැකි බවටයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකාව රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය සඳහා වසරකට ඩොලර් මිලියන 300 ත් 400 ත් අතර මුදලක් වැය කරනවා.

මෙම කෘෂි රසායනික ද්‍රව්‍ය මඟින් බෝ නොවන රෝග ව්‍යාප්තිය දැඩි වන බවත් මෙරට ගොවි බිම් වල පස නිසරු වෙන බවත් පවසමින් ශ්‍රී ලංකාව රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය තහනම් කිරීමට පෙළඹුනා.

2004/2005 දී මැතිවරණ වේදිකාවේ දුන් පොරොන්දුවක කොටසක් ලෙස වී වගාව සඳහා පොහොර සහනාධාර ලබා දීමට පටන් ගත් අතර පසුව එය ක්‍රමයෙන් සෙසු භෝග දක්වාත් ව්‍යාප්ත වුනා.

ගොවීන්ට නොමිලේ සහ සහනාධාර යටතේ ලබා දුන් මෙම ලාභදායී බාල පොහොර ගොවීන් අධික ලෙස භාවිතා කිරීමට හුරුවූ අතර පාලනයකින් තොරව සිදුවූ මෙම දීර්ඝකාලීන ක්‍රියාවලිය හේතුවෙන් මෙම අර්බුදය උද්ගත වූ බවයි විශේෂඥයින් පවසන්නේ ෴

******************************************

බිඳ වැටී තිබූ ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යය යළි යථා තත්ත්වයට

(05.10.2021 – 06:19 +0530 – hirunews.lk/sinhala)

පැය 06 කට ආසන්න කාලයක් අක්‍රීය වී තිබූ ෆේස්බුක්, වට්ස්ඇප්, ඉන්ස්ටග්‍රෑම් යන සමාජ මාධ්‍ය දැන් යළි සක්‍රීය වී ඇති බව එම මාධ්‍යයන් හිමි ෆේස්බුක් ආයතනය ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (04) රාත්‍රි 09:30 සිට පමණ මෙම සමාජ මාධ්‍ය වෙත අන්තර්ජාලය හෝ ස්මාර්ට් ජංගම දුරකතන යෙදවුම් ඔස්සේ පිවිසිය නො හැකි වුණා.

සමාජ මාධ්‍යය බිඳ වැටීම් පිළිබඳ ග්‍රාහක දත්තවලට අනුව මෙය මෙතෙක් ලොව සිදු වූ විශාලතම බිඳ වැටීමයි.

එහි දී ලොව පුරා සමාජ මාධ්‍ය වෙත පිවිසීමේ ගැටලු බිලියන 10.9 ක් වාර්තා වී තිබෙනවා.

මේ ආකාරයේ බිඳ වැටීමකට ෆේස්බුක් ආයතනය මීට පෙර වාර්තා වූයේ 2019 වසරේදී යි.

කෙසේ නමුත්, ශ්‍රී ලංකා වේලාවෙන් අද (05) අලුයම 03:30 ට පමණ ෆේස්බුක්, වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය වෙත පිවිසීමට පරිශීලකයින්ට හැකි වී තිබෙනවා.

එමෙන්ම, මෙලෙස සමාජ මාධ්‍යයේ බිඳ වැටීමට නිල වශයෙන් මෙතෙක් හේතු දක්වා නැහැ.

අන්තර්ජාල විශේෂඥයින් සැක කරන්නේ, ෆේස්බුක් වෙබ් අඩවිවල නාමකරන පද්ධතියේ ගැටලුවක් ඊට හේතුවිය හැකි බවයි.

මේ අතර, මෙම සමාජ මාධ්‍යවල බිඳ වැටීම හේතුවෙන් ෆේස්බුක් ආයතනයේ හිමිකරු වන මාර්ක් සකබර්ග්ට ඩොලර් බිලියන 06 ක පමණ පාඩුවක් සිදු ව ඇති බව වාර්තා වනවා.

ඒ, පැය කිහිපයක් තුළ ෆේස්බුක් කොටස් අගය 5% කින් පමණ පහත වැටීමෙන්.

එමෙන්ම, ඒ සමඟම මාර්ක් සකබර්ග්ගේ වත්කම ඩොලර් බිලියන 121.6 දක්වා පහත වැටී ඇත්තේ, ඔහු බ්ලූම්බර්ග් ප්‍රකෝටිපති දර්ශකයේ බිල් ගේට්ස්ට වඩා පහළින් අංක පහේ (5) ස්ථානයට පත් කරමින් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *