ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය ලොව හොඳම සෞඛ්‍ය සේවයක් බව සුව ඇමති කියයි

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය ලොව හොඳම සෞඛ්‍ය සේවයක් බව සුව ඇමති කියයි

*********************************************

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය ලොව හොඳම සෞඛ්‍ය සේවයක් බව සුව ඇමති කියයි

(02.10.2021 – 17:40 +0530 – hirunews.lk/sinhala)

මෙරට සෞඛ්‍ය සේවාව ලොව හොඳම සෞඛ්‍ය සේවාවක් බවට පත්ව ඇති අතර දකුණු ආසියාවේ ප්‍රමුඛ දර්ශක ශ්‍රී ලංකාව ළඟා කර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුවැල්ල මහතා පවසනවා.

රටේ රෝහල්ගත ක්‍රියාවලීන්වලින් 95% ක් සහ රෝග නිවාරණ සේවාවන්ගෙන් 99% ක් රජයේ සෞඛ්‍ය පද්ධතියෙන් සිදු කිරීම ආඩම්බරයක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සම්මන්ත්‍රණ ශාලාවේ අද (02) පැවති අලුතින් බඳවා ගැනෙන සීමාවාසික වෛද්‍යවරුන් සඳහා වන යහපත් සීමාවාසිකයා පුහුණු වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළකලා.

පූර්ණ නේවාසික වෛද්‍යවරුන් සඳහා පැවැත්වෙන මෙම වැඩසටහන ‘යහපත් සීමාවාසිකයා වැඩසටහන’ ලෙසින් නම් කර ඇත.

මෙමගින් වෛද්‍යවරුන්ගේ ගුණාත්මක බව දියුණු කිරීම අපේක්ෂාවයි.

මෙහි පළමු (1) පියවර ලෙස සිංහල,දෙමළ , ඉංග්‍රීසි භාෂා පුහුණුව සති දෙකක (2) කාලයක් ලබා දෙනවා.

2013 වසරේ සිට මේ දක්වා වෛද්‍යවරුන් 4400 ට මෙලෙස දෙවන භාෂා පුහුණුව ලබා දී ඇති අතර රෝගී සත්කාරය සඳහා අත්‍යවශ්‍ය ප්‍රායෝගික සායන පුහුණු පාඨමාලාවද ලබාදීම විශේෂත්වයක්.

එමෙන්ම සායනික කුසලතා දියුණු කිරීම සඳහා වන පාඨමාලාවක්ද මෙයට ඇතුළත් වනවා.

මෙම සියලු පුහුණු වැඩසටහන් තුළ සීමාවාසික වෛද්‍යවරුන්ගේ ගුණාත්මකභාවය, මහජන සන්නිවේදනය ආදිය ප්‍රගුණ කිරීම ද සිදු කෙරෙනවා.

විශේෂයෙන්ම මෙම ගෝලීය වසංගතය ඉලක්ක කර ගනිමින් කොවිඩ් හමුවේ වෛද්‍යවරුන් කටයුතු කළ යුතු ආකාරය ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකයන් ඔස්සේ පෙන්වා දීම මෙවර පාඨමාලාව තුළින් සිදුවන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය සමගින් වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ප්‍රමුඛ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් මෙය සංවිධානය කර තිබුණා.

ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ට ජාත්‍යන්තරව ඉහළ පිළිගැනීමක් ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

2018 ලෝක බැංකු වාර්තාවට අනුව, සජීවී දරු උපත් 100,000 කට මාතෘ මරණ අනුපාතය 33.8 ක් ද, උපත් 1000 ක් සඳහා ළදරු මරණ අනුපාතය 9 ක් ද, උපතේ දී ජීවිත අපේක්ෂාව වයස අවුරුදු 75 ක් ද බවට පෙන්වා දී ඇති බවයි ඔහු කියාසිටියේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා :

“වසර එක හමාරක් (1½) පුරාවට ගෝලීය වසංගත තත්ත්වය හමුවේ දැඩි කැපවීමෙන් කටයුතු කළ ඉදිරි පෙළ සියලු සෞඛ්‍ය අංශ වෙත ජාතිය වෙනුවෙන් කෘතවේදීත්වය පිරිනමන්න කැමතියි. සමස්ත සෞඛ්‍ය සේවා පද්ධතියම වෙනුවෙන් වෛද්‍යවරයෙකු තමාගේ කාර්යභාරයෙහි නිපුණතාවයකින් යුතු අයෙක් විය යුතුයි. එම නිසා වෛද්‍යවරුන්ගේ සංවර්ධනය ඉහළ නිපුණතාවයකින් පැවතීම අත්‍යවශ්‍යයයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ එවකට සභාපති වූ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ සංකල්පයක් අනුව 2013 වසරේදී ආරම්භ කරන ලද යහපත් සීමාවාසිකයා වැඩසටහන මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයට සුවිශේෂී තත්ත්වයකි. වෛද්‍යවරයෙක් වීමේ ගමන රෝස මල් යහනාවක් නොවෙයි. කටුක ගමනකි. වෛද්‍ය ශිෂ්‍යයා දැඩි උපාධි අපේක්ෂක විෂය මාලාවක් විඳදරාගෙන ඇති අතර එය අනෙකුත් උපාධි හා සසඳන විට දෙගුණයක් පමණ වන අතර දැඩි සායනික පුහුණු ජයගෙන ඇත. සීමාවාසික පුහුණුව යනු එම දැනුම හා කුසලතා යෙදීම සහ වෘත්තිකයෙකු ලෙස වැඩ කිරීමයි.”

******************************************

රැඳවියන් බැලීමට ඥාතීන්ට යළිත් අවස්ථාව

(02.10.2021 – 17:42 +0530 – hirunews.lk/sinhala)

ලබන 04 වන සඳුදා සිට යළිත් බන්ධනාගාර රැඳවියන් බැලීම සඳහා ඥාතීන්ට අවස්ථාව හිමිවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

මෙරට කොවිඩ්-19 වසංගත තත්වය ව්‍යාප්තිය හේතුවෙනුයි පසුගිය අගෝස්තු මස 07 වනදා සිට බන්ධනාගාරගත රැදවියන්ට අමුත්තන් පෙන්වීම තාවකාලිකව නතර කිරිමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කරනු ලැබුවේ.

කෙසේවෙතත් රට තුළ පනවා තිබු සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග බන්ධනාගාර සෞඛ්‍ය සේවා විසින් ලබා දුන් නිර්දේශයන්ට අනුකූලවයි සිරකරුවන්ට නැවත අමුත්තන් පෙන්වීමේ ක්‍රියාවලිය ආරම්භ කිරිමට තීරණය කර ඇත්තේ.

කොවිඩ්-19 වසංගත තත්වය මුළුමනින්ම පහව ගොස් නොමැති බැවින් රජය විසින් ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් අමුත්තන් බැලීමේ කටයුතු සිදු කරන ලෙසට සහ හැකිතාක් දුරට E-visit ක්‍රමය හරහා අමුතන් බැලීම සිදු කරන ලෙස බන්ධනාගාර දෙපාර්තමෙන්තුව ඉල්ලා සිටිනවා.

මේ අනුව සිරකරැවන් සඳහා මාසයකට (1) එක් (1) වතාවක් ද සැකකරුවන් සදහා සතියකට එක් (1) වතාවක් ද අමුත්තන් අමුත්තන් පෙන්වීම සිදුකරන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා කියා සිටියේ ෴

******************************************

යුද හමුදා නිලධාරීන් රැගෙන ගිය බස් රථයක් අනතුරක

(02.10.2021 – 18:18 +0530 – hirunews.lk/sinhala)

යුද හමුදා නිලධාරීන් පිරිසක් රැගෙන ගිය බස් රථයක් අනතුරට ලක්වීමෙන් යුද හමුදා නිලධාරීන් හතරදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

වව්නියාව බූඔය මාර්ග බාධකය අසලදීයි අද පස්වරුවේ මෙම අනතුර සිදුවී ඇත්තේ.

තුවාල ලබා ඇත්තේ බස් රථයේ ගමන් කළ හමුදා සාමාජිකයන් හතරදෙනෙක්.

ඔවුන් ප්‍රතිකාර සඳහා වව්නියාව රෝහලට ඇතුලත් කර තිබෙනවා.

පොලිසිය සඳහන් කර ඇත්තේ අනුරාධපුරය දෙස සිට කිලිනොච්චියේ හමුදා කඳවුරකට සෙබලුන් ප්‍රවාහනය කළ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

ප්‍රදේශයේ පවතින වර්ෂාපතනයත් සමග බස් රථය මාර්ග බාධකය අසල තිබූ ලොරියක ගැටීමෙන් අනතුරට ලක්වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් මැදවච්චිය පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.

******************************************

දිවයිනේ සියලු සුරාසැල් හෙට (03) වැසේ

(02.10.2021 – 18:53 +0530 – hirunews.lk/sinhala)

හෙටට (03) යෙදී ඇති ලෝක අමද්‍යප දිනය හේතුවෙන් දිවයිනේ සියලු සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මත්පැන් සිල්ලරට විකිණීමේ සියලුම සුරාබදු බලපත්‍ර ස්ථාන වසා තැබිය යුතු බවටයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කළේ ෴

******************************************

වෙළඳ ඇමති කළකිරීමෙන්

(02.10.2021 – 19:33 +0530 – hirunews.lk/sinhala)

තමන්ට අයත් නොවන ආණ්ඩුවේ කිසිදු කටයුත්තක් සම්බන්ධයෙන් මේ මොහොතේ අදහස් පළ නොකරන බවත් සුදුලූණු වංචාවට තමාගේ නම ඈදා ගනිමින් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

කොළඹදී අද (02) මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

******************************************

කවුරු විරුද්ධ වුනත් අවශ්‍ය තීරණ ක්‍රියාත්මක කළ යුතුයි – පොදුජන පෙරමුණේ මහලේකම්

(02.10.2021 – 20:18 +0530 – hirunews.lk/sinhala)

කවුරුන් විරුද්ධ වුවද රටට අවශ්‍ය තීන්දු තීරණ ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ යුගදනවි බලාගාරයේ සැපයුම් ගිවිසුම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

******************************************

මරු කපොල්ලක් බවට පත්ව ඇති ගිනි නිවීම් භට පුහුණු මධ්‍යස්ථානය

(02.10.2021 – 20:40 +0530 – hirunews.lk/sinhala)

හදිසි ගිනි ගැනීම්වලදී මිනිස් ජීවිත සහ දේපල බේරාගැනීම සඳහා ජීවිත අවදානම පවා නොතකමින් ගිනි නිවන භට පිරිස් සිදුකරන්නේ සුළුපටු කාර්යක් නොවේ.

එම භටයන් පුහුණු කිරීමට ඇති ලංකාවේ එකම ආයතනය පිහිටි ගොඩනැගිල්ල මේ වනවිට මරු කපොල්ලක් බවටයි පත්ව තිබෙන්නේ.

අද (02) ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය ඒ පිළිබඳවයි.

වැල්ලවත්ත – රොක්සිවත්ත ප්‍රදේශය හරහා ගමන් කරන අයෙකුට එහි අක්කර ගණනක භූමියක් පුරා ස්ථාපිතව පවතින මෙම දැවැන්ත ගොඩනැගිල්ල දැකගත හැකියි.

ත්‍රිවිද හමුදාව, පොලිසිය ඇතුළු සියළු රාජ්‍ය ආයතනවල ගිනි නිවීමේ භටයන් පුහුණු කිරීම සඳහා මෙරට තුළ පවතින එකම ගිනි නිවීමේ හා ජීවිත බේරාගැනීමේ පුහුණු පාසල වන්නේ මෙයයි.

පළාත් පාලන අමාත්‍යාංශයට අයත් මෙම පුහුණු පාසල කොළඹ මහ නගර සභාව මගින් පාලනය වන අතර එය මේ වනවිට ගත වී ඇත්තේ වසර 11 ක් පමණයි.

නිසි ප්‍රමිතියකින් තොරව ඉදිකර ඇති මෙම ගිනි නිවීම් පුහුණු පාසල් ගොඩනැගිල්ලේ ගිනි නිවීමේ භටයින් පුහුණු කිරීමේදී දේශන පවත්වන රැස්වීම් ශාලාව ජලයෙන් පිරී ඇත්තේ පුහුණු පාසලේ වහලය කොටස් වශයෙන් ගැල වී සුළගට ගසා ගෙන ගොස් තිබීම හේතුවෙන්.

රුපියල් ලක්ෂ ගණනක් වටිනා වායු සමීකරණ යන්ත්‍ර, විදුලි පංකා ඇතුළු බොහෝ දෑ අමු අමුවේ විනාශ මුඛයට පත්වීමට ඉඩහැර තිබෙනවා.

වැල්ලවත්ත මුහුදු කලාපය ආශ්‍රිතව ඇති මෙම ගොඩනැගිල්ලේ ඇති යකඩ, තහඩු ආදී දෑ ගැලවී විසිවීමෙන් නිරන්තරයෙන් අපදා තත්ත්වයන්ට ලක්වීමට ප්‍රදේශවාසීන්ට සිදුව තිබෙනවා.

එපමණක් නොව ණය ආධාර මත මෙරටට ගෙන්වා ඇති රුපියල් කෝටි 50 කට අධික වටිනාකමකින් යුතු ගිනි නිවීමේ රථ හා උපකරණද මෙම භූමිය තුළ දිරාපත්වන්නේ නිසි නඩත්තුවක් සිදු නොකිරීම හේතුවෙන්.

මෙම රථ බොහොමයක් කිලෝ මීටර් 20,000 ක් වත් ධාවනය කර නොමැති බවයි ‘හිරු සී.අයි.ඒ.’ කළ ගවේෂණයේදී හෙළි වුයේ.

මේ වනතෙක් එක්වරක් හෝ ප්‍රයෝජනයට ගෙන නොමැති මෙම ට්‍රේලරය මහා පරිමාන ගින්නකදී ගිනි නිවීමේ උපකරණ හා ජීවිතාරක්ෂක උපකරණ තැන්පත් කර ඇති කන්ටේනර් බහාලුම් ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගන්නා එකක්.

නමුත් එය දැන් භාවිත කරන්නේ ගිනි නිවන හමුදා ගොඩනැගිල්ලෙන් ගැල වී විසිවෙන තහඩු ආදිය එක් රැස් කිරීමටයි.

මේ වනවිට ධාවන තත්ත්වයේ පවතින කෝටි ගණනක් වටිනා ගිනි නිවීමේ රථ ද ගාල් කර ඇත්තේ අබලන් වූ මෙම ගොඩනැගිල්ලේම වීම කණගාටුවට කරුණක්.

මේ ගිනි නිවීමේ පුහුණු පාසලේ දැක්ම ලෙස දක්වා ඇත්තේ ‘ජීවිත, දේපල සහ පරිසරයේ ආරක්ෂාව තහවුරු කිරිම සඳහා අවශ්‍ය ගිනි සහ මුදාගැනීමේ පුහුණුව ලබාදෙන ශ්‍රී ලංකාවේ අද්විතීය ආයතනය බවට පත්වීම’ යන්නයි.

රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම කෙසේ වුව ද, මෙම මරු කපොල්ල හේතුවෙන් හෙට දිනයේ ප්‍රදේශවාසියෙකුගේ හෝ නේවාසික භටයෙකුගේ ආරක්ෂාවට තර්ජනයක් වන බව නම් අමුතුවෙන් කිවයුතු නැහැ.

මෙම අනාවරණයෙන් හෝ වගකිව යුතු බලධාරීන් ගිනි නිවන භටයන්ට බලපා ඇති මෙම දැවෙන ප්‍රශ්න විසඳීමට කටයුතු කරන්නේ ද ?

‘හිරු සී.අයි.ඒ.’ ඉදිරියේදීත් මේ පිළිබඳව නිරන්තර අවධියෙන්.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

විවාහ මංගල සේවා සංගමයෙන් අනතුරු ඇඟවීමක්

(02.10.2021 – 19:30 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්තත් මාත්‍රා දෙකම (2) ලබා නොගත් පුද්ගලයින් ඉදිරියේදී විවාහ උත්සව ශාලා තුළට ඇතුලු කර ගැනීම ප්‍රතික්ෂේප කිරීමට සිදුවනු ඇති බව විවාහ මංගල සේවා සංගමය අද (02) අනතුරු ඇඟවීමක් සිදුකළා.

ලබන 16 වන දා සිට 50 ක උපරිමයකට යටත්ව විවාහ මංගල උත්සව පැවැත්වීමට සෞඛ්‍ය අංශ අවසර ලබාදීමත් සමඟ සෞඛ්‍ය මාර්ගෝපදේශ එලෙසින්ම ක්‍රියාත්මක කර එම අවස්ථාව ඉදිරියටත් රැක ගැනීමට කටයුතු කරන ලෙසයි එම සංගමය හෝටල් ඇතුළු සියළු පාර්ශවවලින් ඉල්ලා සිටියේ.

කුරුවිටදී අද මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංගමයේ සභාපති උපුල් ජයසේකර මහතා එන්නත්කරණය ප්‍රතික්ෂේප කරන වයස අවුරුදු 20 ත්, 30 ත් අතර තරුණ ප්‍රජාව වෙත දැනුම්දීමක් සිදුකළා.

මේ අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ අමුත්තන්ට බන්ධනාගාර රැඳවියන් හමුවීමට අනිද්දා (04) සිට යළි අවස්ථාව ලබාදී ඇති බවයි ෴

++++++++++++++++++

තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 256 ක්

(02.10.2021 – 20:00 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 256 ක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව අද (02) දිනයේ මෙරටින් වාර්තා වූ ආසාදිතයන් ගණන 855 ක් ෴

++++++++++++++++++

සංචරණ සීමා ලිහිල් වෙන හැටි යුද හමුදාපති කියයි

(02.10.2021 – 20:30 +0530 – hirunews.lk/sinhala)

දැනට ක්‍රියාත්මක ඇතැම් සංචරණ සීමාවන් ද ඔක්තෝබර් 16 වැනිදා සිට ලිහිල් කිරීමට බලාපොරොත්තුවන බව කොවිඩ් මර්දන කමිටුවේ සභාපති යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ජනතාව පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි අයුරින් පිළිපදිමින් කටයුතු කළ හොත් දෙසැම්බර් මාසයවන විට කොවිඩ් අවදානම මෙරටින් තුරන් කළ හැකි බවද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.

මේ අතර මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,000 ඉක්මවා ගිය අතර අද (02) දිනයේ මෙතෙක් මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 855 ක්.

මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන ශක්තිමත් කිරීමේ අරමුණින් කොවැක්ස් පහසුකම යටතේ අමෙරිකානු රජයේ පරිත්‍යාගයක් ලෙස ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 4 ක් ඊයේ (01) මෙරටට රැගෙන එනු ලැබුවා.

කොවැක්ස් පහසුකම යටතේ ෆයිසර්ල මොඩර්නා සහ ඇස්ට්‍රාසෙනෙකා යන එන්නත් මාත්‍රා ලක්ෂ 42 ක් මේ වන විට අමෙරිකානු රජය මඟින් මෙරටට ලබා දී තිබෙනවා.

මෙම අවස්ථාවට එක් වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ ශ්‍රී ලංකාව ලොව සාර්ථකව එන්නත්කරණය සිදුකරන පළමු රටවල් 10 ට ඇතුළත්ව තිබීම කොවිඩ් මර්දනයේ සාර්ථක පියවරක් බවයි.

මේ අතර අවුරුදු 12 – 19 ත් අතර විශේෂ අවශ්‍යතා සහිත දරුවන් එන්නත්කරණයට ලක්කිරීමේ වැඩසටහන අද (02) දිනයේත් දිවයින පුරා ක්‍රියාත්මක වුණා.

මේ අතර වැලිමඩ – මාලිගාතැන්න ප්‍රදේශයේ අද (02) පැවති එන්නත්කරණ වැඩසටහනක් අතරතුර උණුසුම් තත්ත්වයක් හටගත්තා.

නිසි සෞඛ්‍ය ක්‍රමවේදයකට අනුව මෙම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක නොවූ බවටයි ජනතාව චෝදනා කළේ.

මේ අතර ඊයේ (01) රට විවෘත කිරීමත් සමඟ ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කටයුතු කිරීම යහපත් මට්ටමක පැවතීමත් විශේෂත්වයක්.

කෙසේ වෙතත් නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කළත් පුද්ගලික බස් රථ ධාවනයට එක්වීමේ යම් අඩුවක් දක්නට ලැබනෙ බව ප්‍රවාහන රාජජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

මේ අතර පාසල් ආරම්භ කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මහරගම මාදිවෙල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අදහස් පළ කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *