ප්‍රාථමික පාසල් විවෘත කිරීමේ සැලසුමක්

ප්‍රාථමික පාසල් විවෘත කිරීමේ සැලසුමක්

*********************************************

ප්‍රාථමික පාසල් විවෘත කිරීමේ සැලසුමක්

(02.10.2021 – 13:59 +0530 – hirunews.lk/sinhala)

මේ මස අවසන් වීමට පෙර ප්‍රාථමික පාසල් විවෘත කිරීම ඉලක්කය වී ඇති බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ මාදිවෙල ග්‍රාමීය ජනතාපොළේ ඉදිකිරීම් ඊයේ (01) ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

++++++++++++++++++++

තවත් කොවිඩ් ආසාදිතයින් 561 ක් සුවය ලබයි

(02.10.2021 – 14:07 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 561 ක් සුවය ලබා අද (02) රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 4,58,646 ක් දක්වා ඉහළ ගියා.

තවදුරටත් පුද්ගලයින් 47,165 දෙනෙකු රෝහල්ගතව සහ නිවෙස් තුළ ප්‍රතිකාර ලබනවා ෴

තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 599 ක්

(02.10.2021 – 17:45 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 599 ක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 5,19,374 ක් ලෙසටයි.

හඳුනාගෙන ඇති ආසාදිතයන්ගෙන් 47,165 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන අතර සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 4,58,646 ක්.

මෙරටින් කොරෝනා වෛරසය ආසාදිත මරණ 12,964 ක් ද වාර්තා වී තිබෙනවා ෴

+++++++++++++

කොරෝනා මරණ 13,000 සීමාව ඉක්මවයි

(02.10.2021 – 18:26 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ අද (02) 13,000 සීමාව ඉක්මවා ගියා. ඒ අද (02) දිනයේ තවත් මරණ 55 ක් වාර්තා කිරීමත් සමගයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (01) තහවුරු කළ මෙම මරණ අතර කාන්තාවන් 17 ක් සහ පිරිමින් 38 ක් වනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 13,019 ක් ලෙසටයි.

වයස අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ කාන්තා මරණ 2 ක් ඊයේ (01) තහවුරු කළ මරණ 55 ට අයත්.

එමෙන්ම අවුරුදු 30 ත් 59 ත් අතර වයස් කාණ්ඩයේ මරණ 15 ක් වනවා. ඒ කාන්තාවන් 4 ක් සහ පිරිමි පුද්ගලයන් 11 ක් වශයෙන්.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ කාන්තාවන් 11 ක් සහ පිරිමින් 27 ක් ද ඊයේ (01) තහවුරු කළ මරණ 55 ට අයත්.

මේ අතර ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 5,19,374 ක් හඳුනාගෙන තිබෙනවා.

අද (02) දිනයේ මෙතෙක් හඳුනාගෙන ඇති ආසාදිතයන් ගණන 599 ක්.

හඳුනාගෙන ඇති ආසාදිතයන්ගෙන් 47,764 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන අතර සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 4,58,646 ක් ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

බිබිල – ගොඩිගමුව මාර්ගය අබලන්

(02.10.2021 – 13:39 +0530 – hirunews.lk/sinhala)

ග්‍රාමීය ආර්ථිකයටත් ජන ජීවිතයටත් එම ප්‍රදේශවල මාර්ග පද්ධතිය එකසේ වැදගත් වෙන බවට විවාදයක් නැහැ.

නමුත් බලධාරීන්ගේ හෝ නිලධාරීන්ගේ අවධානයට වසර ගණනාවක් තිස්සේ හමු නො වූ මාර්ග තවමත් මෙරට තුළ පැවතීම කනගාටුවට කරුණක්.

මේ බිබිල ප්‍රදේශයෙන් වාර්තා වෙන එවැනි මාර්ගයක්.

******************************************

මා පිය සෙනෙහස අහිමි වූ දරුවෙක්

(02.10.2021 – 13:45 +0530 – hirunews.lk/sinhala)

ළමුන්ගේ ජීවිතය මා පිය සෙනෙහසින් ආලෝකවත් වන බවට විවාදයක් නැහැ.

නමුත් ඒ සෙනෙහස විවිධ හේතු නිසා අහිමි වූ දරුවන් ඕනෑ තරම්.

පස්සර ප්‍රදේශයේ දිවි ගෙවන දරුවෙකුට පාස්කු ප්‍රහාරයෙන් මව් සෙනෙහසත්, ඉන් පසු ව පිය සෙනෙහසත් අහිමි වී ගොස් තිබෙනවා.

******************************************

දරුවෙකු යොදාගනිමින් සිදු කළ මත්කුඩු ජාවාරමක් වටලයි

(02.10.2021 – 15:04 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු තුනහමාරක (3½) දරුවෙකු යොදාගනිමින් මත්කුඩු ජාවාරමේ යෙදුණු පිරිසක් බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වේවැල්දෙණිය ප්‍රදේශයේ දී ඊයේ (01) මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඊට දරුවාගේ මව ද අයත් බවට යි වාර්තාවන්නේ.

පිරිස අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී සිදුකළ පරීක්ෂා කිරීම්වලින් පසු ව දරුවාගේ ඇඳුමේ සඟවා තිබූ මත්කුඩු ග්‍රෑම් හයක් (6) ද හමු වී තිබෙනවා ෴

******************************************

වැඩිහිටි දිනය වෙනුවෙන් දිවයිනේ ජ්‍යෙෂ්ඨතම කාන්තාව වෙනුවෙන් හරසර

(02.10.2021 – 15:33 +0530 – hirunews.lk/sinhala)

1906 ජනවාරි 11 දින උපත ලබා ඇති කහඳගමගේ ඩිංගිහාමි නමි ඇය වැලිගම වැලිපිටිය කනංකේ – කනංකේ වත්ත පෙදෙස් පදිංචිව සිටි දරුවන් දෙදෙනෙකුගේ මවක් ලෙස නිරෝගී හා සැපවත් ජීවිතයක් ගත කරන්නට වුණා.

පුතුන් දෙදෙනා (2) හා පවුලේ මුනුපුරු මිනිපිරියන් සමඟ මෙම කාන්තාව ජීවත් වෙනවා.

අද සමාජය තුළ බොහෝ පිරිසක් අවුරුදු සියකට (100) වඩා අඩු කාලයක් ආයු ලැබ සිටියත් මෙම කාන්තාව අවුරුදු එකසිය දාසයක් (116) තරම් දීර්ඝ කාලයක් නිරෝගී ආයු ලබන්නට වාසනාවන්ත වී තිබෙනවා.

එයට ගෞරවයක් වශයෙන් ඊයේ (01) දිනට යෙදී තිබු ලෝක වැඩිහිටි දිනය නිමිත්තෙන් ඇයට උපහාර පිදීමට වැලිගම ප්‍රාදේශිය සභාව පියවර ගෙන තිබුණා.

ඇයගේ සැපදුක් සොයා බලා ඇයට තව තවත් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පතමින් මහා සංඝරත්නය නිවසට වැඩමවා පිරිත් දේශනාවක් ද සිදු කළේ, ඒ නිමිත්තෙන්.

තව ද ඇයට තෑගිබෝග ලබාදෙමින් ඇය සහ පවුලේ උදවිය දිරිගැන්වීමට සමරු තිළිණයක් ලබා දීම ද මෙම වැඩසටහන යටතේ සිදු වුණා ෴

******************************************

චුලා පත්මේන්ද්‍ර CID යට

(02.10.2021 – 15:59 +0530 – hirunews.lk/sinhala)

කීර්ති රත්නායක නම් මාධ්‍යවේදියා තමන් හඳුනන්නේ කෙසේදැයි ප්‍රශ්න කිරීම සඳහා තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ බව ජනප්‍රිය නිරූපණ ශිල්පිනී චුල්පත්මේන්ද්‍ර කුමාරපතිරණ පවසනවා.

ඇය මේ බව සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

තමන් කීර්ති රත්නායක නම් මාධ්‍යවේදියාව පෞද්ගලිකව නොහඳුනන බවත් නෙළුම් පොකුණේ සිද්ධිය පිළිබඳව දැන ගැනීමට ඔහු තමන් සමග දුරකතනයෙන් කතාබහ කළ පමිණින් තමන් මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීම විහිළුවක් බවත් ඇය සඳහන් කළා.

“කීර්ති රත්නායක කියන journalist මට කතා කළා අර නෙළුම් පොකුණේ සිද්ධ වෙච්ච සිද්ධිය ගැන අහන්න. ඔහුව කොහොම ද දන්නේ කියන එක තමයි…. Journalist කෙනෙක් හැම තිස්සේ ම ඉතින් අපිට කතා කරනවා. කීර්ති රත්නායක නෙමෙයි, ඇති වෙන්න journalists ලා ඒ කාලය තුළ දී – මම හිතන්නේ internationally වුණත් journalists ලා – අපිට කතා කළා ඒ සම්බන්ධව අහන්න. ඉතින් අපිටත් ඕනේ වුණේ අපේ පැත්තේ තිබ්බ story එක එළියට… මොක ද හරි ම අඩු ප්‍රමාණයක් තමයි අපේ පැත්තෙන් තියෙන ඇත්ත එළියට දැම්මේ. එයාව කොහොම ද දන්නේ කියල අහන්න තමයි මට අද එන්න කිව්වේ. මේක විහිළුවක්. මොක ද මම කීර්ති රත්නායක කියන journalistව කළු ද සුදු ද කියලවත් දන්නේ නෑ. මොක ද අපිට කතා කළා ම media එකකින් ආ මම මේ media එකෙන් කතා කරන්නේ, අපිට දෙන්න කියලා. ඉතින් අපි දෙනවා. ආදරණීය අපේ ජනාධිපතිතුමාට අපි කියන්න ඕනේ අපිත් මහන්සි වුණා ඔබතුමාව …… පහුගිය කාලේදී අපි දැක්කා ගොඩාක් දේවල් වෙනවා. ඒගොල්ලන්ව නම් අපි දැක්කේ නෑ CID කැඳවනවා. මම සාමාන්‍ය මනුස්සයෙක්. සාමාන්‍ය ගැහැණියක්. ඉතින් අපිව මෙහෙ ම ගෙන්නනවා කියන්නේ – මාධ්‍යවේදියෙක් එක්ක කතා කරනවා කියලා – ඇත්තට ම ඒක විහිළුවක්.”

මාධ්‍යවේදියෙකු වන කීර්ති රත්නායක කොළඹ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලයට ප්‍රහාරයක් එල්ල විය හැකි යැයි පුරෝකථනයක් කරමින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්නැයි කොළඹ ඉන්දීය තානාපති කාර්යාලයට කළ අනතුරු ඇඟවීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.

******************************************

යොහානි ද සිල්වාට ඉන්දියාවේදී අනතුරක්

(02.10.2021 – 16:11 +0530 – hirunews.lk/sinhala)

සංගීත ප්‍රසංග දෙකකට (2) සහභාගිවීම සඳහා ඉන්දියාවට ගොස් සිටින යොවුන් ගායන ශිල්පිනි යොහානි ද සිල්වා මෙනවිය අනතුරකට ලක්ව තිබෙනවා.

නවදිල්ලි නුවර පැවති පළමු (1) ප්‍රසංගය අතරතුර ගිටාරයේ උඩ කොටස මුහුණේ වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, ඒ හේතුවෙන් තම ඇසට පහළ කොටසේ තැලීමකට ලක්ව ඇති බවයි ඇය සිය ට්විටර් ගිණුමට සටහනක් එක් කරමින් සඳහන් කළේ.

කෙසේ වෙතත් තමන් මෙලෙස අනතුරකට මුහුණදුන්න ද හයිද්‍රාබාද් නුවර පැවැත්වෙන අනෙක් ප්‍රසංගයට සහභාගි වන බව යොහානි ද සිල්වා මෙනවිය සඳහන් කළා.

******************************************

බීමතින් කළහකාරී ලෙස හැසිරුණු බන්ධනාගාර අධිකාරිවරයෙකු ගැන විමර්ශනයක්

(02.10.2021 – 16:24 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – උණවටුන ප්‍රදේශයේ හෝටලයක පැවති වැඩමුළුවකදී කෑගල්ල බන්ධනාගාරයේ වැඩබලන අධිකාරිවරයෙකු බීමත්ව කළහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ මැඩලීමේ කාර්යාලය විසින් පසුගිය 30 වනදා පැවැත්වූ වැඩමුළුවක් අතරතුරයි මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ ෴

******************************************

මකුළු දැල්වලට සමාන ද්‍රව්‍යයක් ප්‍රදේශ රැසකට අහසින් පතිත වී ඇති බවට තොරතුරු

(02.10.2021 – 17:07 +0530 – hirunews.lk/sinhala)

අහසේ පාවෙමින් තිබු මකුළු දැල්වලට වඩා ඝණකමකින් යුත් නූල් කොටස් වැනි යමක් බිමට පතිත වූ බවට ප්‍රදේශ කිහිපයක ජනතාව හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

අද (02) උදෑසන හිරු එළිය වැටීමත් සමඟ මෙය දැක ගත හැකි වූ බවයි ඔවුන් කියා සිටියේ.

මාතලේ – විල්ගමුව, අම්පාර – උහන, සූරියවැව, දෙහිඅත්තකණ්ඩිය සහ ලුණුගම්වෙහෙර ප්‍රදේශවලින් මෙම තත්වය වාර්තා වී තිබුණා.

අහසින් වැටුණු ආගන්තුක ද්‍රව්‍ය හඳුනා ගනී

(03.10.2021 – 13:00 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ඊයේ (02) වාර්තාවූ අහසින් කඩා වැටුණු නූල් වැනි ද්‍රව්‍යය මකුළුදැල් විශේෂයක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ මකුළු බිත්තර පුපුරා පැටවුන් එළියට පැමිණෙන්නේ මෙම කාලයේදී බැවින් මෙම නූල් වැනි ද්‍රව්‍ය මකුළු පැටවුන් එළියට ඒමේදී පිටවන මකුළුදැල් විශේෂයක් බවයි.

මාතලේ – විල්ගමුව, අම්පාර – උහන, සූරියවැව, දෙහිඅත්තකණ්ඩිය සහ ලුණුගම්වෙහෙර ප්‍රදේශවලින් මෙම තත්වය වාර්තා වී තිබුණා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *