සංචාරකයින් සඳහා වන නව මාර්ගෝපදේශ මාලාව අමනෝඥ ක්‍රියාවක් – රවි කුමුදේශ්

සංචාරකයින් සඳහා වන නව මාර්ගෝපදේශ මාලාව අමනෝඥ ක්‍රියාවක් – රවි කුමුදේශ්

*********************************************

සංචාරකයින් සඳහා වන නව මාර්ගෝපදේශ මාලාව අමනෝඥ ක්‍රියාවක් – රවි කුමුදේශ්

(29.09.2021 – 15:30 +0530 – hirunews.lk/sinhala)

ගුවන් තොටුපලින් මෙරටට ඇතුළුවන දෙස් විදෙස් ගුවන් මගීන් PCR පරීක්ෂාවකට ලක් නොකරමින්, රටට ඇතුළු කිරීම කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති අවිචාරවත් තීන්දුවක් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වරයාගේ මෙම තීන්දුව ඔහු විසින් ගනු ලැබූවක්ද, එසේත් නැත්නම් කිසිවෙකු විසින් හෝ ඔහුගේ බෙල්ලට පිහියක් තබා සිදු කරනු ලැබූවක්ද යන්න සැක සහිත බවත් පවසන සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපතිවරයා ඉල්ලා සිටින්නේ රටම අවධානමේ හෙලමින් මෙම තීරණය ගැනීම සඳහා තාක්ෂණික උපදෙස් දුන් කණ්ඩායම වහාම රටට හෙලි කරන ලෙසයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ රෝගය වැලදීම හෝ බෝවීම වලක්වන කිසිදු කොවිඩ් එන්නතක් මෙතෙක් සොයාගෙන නොමැති පසුබිමක් යටතේ එන්නතකරණය කල අය ‘කොවිඩ් නොමැති අය’ ලෙස සලකා ගෙන ඇති මෙම තීරණය විශාල අමනෝඥ එකක් බවයි.

එන්නත නිපදවන ලද සමාගමකට පවා නොමැති විශ්වාසයක්, අපේ රටේ මාර්ගෝපදේශ හදන ඊනියා විශේෂඥයින්ට ලැබී ඇත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් ඔහු ප්‍රශ්න කරනවා.

PCR පරීක්ෂාවක සංවේදීතාවය 70% ක ප්‍රතිශතයක පවතින අතර දින දෙක තුනක (2-3) ගුවන් කාලයක් යනු ආසාධිත තත්වය ඉතා පහසුවෙන් වෙනස් විය හැකි කාල පරාසයක් බව රවි කුමුදේශ් මහතා පෙන්වා දෙනවා.

එමෙන්ම ඉන්දියාව, පාකිස්ථානය මෙන්ම ශ්‍රී ලංකාව තුලද ව්‍යාජ ලෙස සකස් කෙරෙන් PCR වාර්ථා පවතින තත්වයක් යටතේ වෙනත් රටක සිදු කල PCR පරීක්ෂාවක් පිළිබදව 100% විශ්වාස කරමින්, රටේ මහ ජනතාව අනතුරේ හෙලීම සදහා සෞඛ්‍ය බලධාරීන් මාර්ගෝපදේශ සැකසීම ඉතා ලජ්ජාසහගත කරුණක් බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ ෴

++++++++++++++++++

අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට රැකියා සඳහා ලෙබනනට ඇතුළුවීමට අවසර

(29.09.2021 – 15:55 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට රැකියා සඳහා ලෙබනනට ඇතුළුවීමට යළි අවසර ලබාදී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළා.

මේ වන විට ලෙබනන් රාජ්‍යයේ කොරෝනා වසංගතය පාලනය කර ඇති බැවින් අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට මෙලෙස රැකියා සඳහා අවස්ථාව ලබාදී ඇති බවයි එම කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

කොරෝනා සීග්‍ර ව්‍යාප්තිය හේතුවෙන් මේ වසරේ මාර්තු සිට බල පැවැත්වෙන පරිදි වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට ලෙබනනයේ රැකියා සඳහා ඇතුළුවීම තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.

කෙසේ වෙතත්, අදාළ පුද්ගලයින් ලෙබනයට ඇතුළුවීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන ලද ඕනෑම එන්නතක මාත්‍රා දෙකම (2) ලබාගෙන තිබීම අනිවාර්ය බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළා ෴

++++++++++++++++

තවත් කොරෝනා ආසාදිතයින් 770 ක් සුවය ලබයි

(29.09.2021 – 16:07 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 770 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

ඒ අනුව සමස්ත සුවය ලැබූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 4,56,857 ක්.

තවදුරටත් පුද්ගලයින් 45,881 දෙනෙකු රෝහල්ගතව සහ නිවෙස් තුළ ප්‍රතිකාර ලබනවා ෴

+++++++++++++++++

නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝම්බර් පළමුවනදා ඉවත් කෙරේ

(29.09.2021 – 16:08 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇදිරිනීතිය ඔක්තෝම්බර් මස 01 වන දා අලුයම 4 ට ඉවත් කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා විසින් ඊට අදාළ උපදෙස් ලබාදී ඇති අතර නව සෞඛ්‍ය මාර්ගෝපදේශ පසුව දැනුම් දෙන බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ.

මේ අතර සිසුන් 200 ට අඩු දකුණු පළාතේ පාසල් එළඹෙන ඔක්තෝම්බර් මස 15 වන දා සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් රංජිත් යාපා මහතා පවසනවා.

ඒ සඳහා දැනටමත් ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

දෙව් මැදුරකට ප්‍රහාරයක් එල්ල වන බවට පැතිර ගිය පුවත පිළිබඳ අගරදගුරු මැදුරේ අදහස

(29.09.2021 – 14:49 +0530 – hirunews.lk/sinhala)

ජාඇල – බෝපිටිය ශාන්ත නිකොලා දෙව් මැදුරට බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට නාවික හමුදාව විසින් ලබාදුන් තොරතුරක් පිළිබදව පැහැදිලි කිරීම සඳහා කොළඹ අගරදගුරු මැදුරේ අද (29) විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වුණා.

බෝපිටිය ශාන්ත නිකොලා දේවස්ථානයට බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට නාවික හමුදාව නිලධාරීන් සිදුකළ දැනුම් දීමක් සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති හරහා අනාවරණය කළේ ඊයේ (28) දිනයේයි.

මේ, අගරදගුරු නිවසේ අද (29) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වූ ආචාර්ය සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන්.

ලැබුණු ආරක්ෂක තොරතුර අතිශයින් බැරෑරුම් සහ වැදගත් – සිරිල් ගාමිණි පියතුමන්

(29.09.2021 – 19:30 +0530 – hirunews.lk/sinhala)

මෙරට දේවස්ථානවලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ලැබුණු ආරක්ෂක තොරතුර අතිශයින් බැරෑරුම් සහ වැදගත් තොරතුරක් බවත් ඒ පිළිබදව අවදානය යොමු කළ යුතු බව කොළඹ අගරදගුරු මැදුරේ අද (29) පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කෙරුණා.

ජාඇල – බෝපිටිය ශාන්ත නිකොලා දේවස්ථානයට බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට නාවික හමුදා නිලධාරීන් සිදුකළ දැනුම් දීමක් සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති හරහා අනාවරණය කළේ ඊයේ (28) දිනයේයි.

පසුව මේ පිළිබදව දැනුවත් කිරීම සඳහා අගරදගුරු නිවසේ අද (29) විශේෂ මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.

එම මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වූ ජාතික කතෝලික ජන සන්නිවේදන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ආචාර්ය සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමන් විසිනුයි මෙම කරුණු අවධාරණය කළේ.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කුරුණෑගල ඊයේ (28) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් සඳහන් කළේ පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු වන සහරාන් හෂීම්ගේ ජංගම දුරකතනයේ ‘මදර්බෝඩ්’ එක අතුරුදන්ව ඇති බවයි.

ප්‍රදේශ කිහිපයක අද (29) උදෑසන සිට නාවික හමුදාව, යුද හමුදාව සහ පොලීසිය එක්ව විශේෂ වාහන සෝදිසි කිරීමක් ද සිදුකළා.

කෙසේ වෙතත් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙරට දේවස්ථානවලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත අදාළ බලධාරීන් විසින් විශ්ලේෂණය හෝ තහවුරු නොකරන ලද තොරතුරක් බවයි.

මේ පිළිබදව කලබල වීමට හේතුවක් නොමැති බව ද ආරක්ෂක ලේකම්වරයා එමගින් දක්වා තිබෙනවා.

******************************************

යාල වනෝද්‍යානයේ භූමි ප්‍රමාණයක් හෙළි පෙහෙලි කිරීම ගැන බලධාරින්ගේ අවධානය

(29.09.2021 – 14:56 +0530 – hirunews.lk/sinhala)

යාල ජාතික වනෝද්‍යානයට ආසන්න, වන සංරක්ෂණ ප්‍රේරක කළාපයේ විශාල භූමි ප්‍රමාණයක් හෙළි පෙහෙලි කරමින් ව්‍යාපාරිකයෙක් විසින් හෝටලයක් ඉදිකරනු ලබන බව හිරු ප්‍රවෘත්ති ඔස්සේ අනාවරණය කිරීමත් සමග රාජ්‍ය නිලධාරීන්ගේ අවධානය ඒ වෙත යොමුව තිබෙනවා.

අදාළ ප්‍රදේශය හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයාගේ නිරීක්ෂණයට ලක්වුණේ ඒ අනුවයි.

******************************************

තර්ජනයක්ව සිටි වන අලියෙක් හොරොව්පතාන අලි සුරැකුම් මධ්‍යාස්ථානය වෙත මුදා හරී

(29.09.2021 – 14:59 +0530 – hirunews.lk/sinhala)

මිහින්තලය ගම්මාන රැසකට තර්ජනයක් ව සිටි වන අලියෙකු දින 04 ක මෙහෙයුමකින් පසු අල්ලා හොරොව්පතාන අලි සුරකුම් මධ්‍යාස්ථානය වෙත මුදා හැරීමට අනුරාධපුර වනජීවි නිලධාරීන් සමත් වුණා.

******************************************

මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කිරීම ගැන මහජන ආරක්ෂක ඇමති පොලීසියෙන් කරුණු විමසයි

(29.09.2021 – 16:28 +0530 – hirunews.lk/sinhala)

පුවත්පත් කතුවරුන් ඇතුළු මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න නොකරන ලෙස දැනුම්දී තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊට අදාළව ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර, පොලිස්පතිවරයා වෙත උපදෙස් දී තිබෙනවා.

සුදුලූණු වංචාව සම්බන්ධයෙන් කරුණු වාර්තා කළ මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ප්‍රශ්න කිරීම සදහා කැඳවා ඇති බවට මීට පෙර තොරතුරු අනාවරණ වී තිබුණා.

මේ පිළිබදව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට ඊයේ (28) එක්වෙමින් ප්‍රකාශ කළේ මාධ්‍යවේදීන් ප්‍රශ්න කිරීම සඳහා නොකැදවන ලෙසට අග්‍රාමාත්‍යවරයා ද උපදෙස් ලබාදී ඇති බවයි.

කෙසේ වෙතත්, මාධ්‍ය ආයතන කිහිපයකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගොස් තිබූ අතර ඒ අනුවයි මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස විෂය භාර අමාත්‍යවරයා, පොලිස්පතිවරයාට දැනුම් දී ඇත්තේ.

******************************************

සී.අයි.ඩී. භාරයෙන් නිදහස් කෙරුනු අලින්ගේ ලියාපදිංචිය අභියාචනාධිකරණ නියෝගයකින් නවතී

(29.09.2021 – 16:43 +0530 – hirunews.lk/sinhala)

නීති විරෝධී වීම හේතුවෙන් හා ලියාපදිංචිය සම්බන්ධයෙන් පිළිගත හැකි ලිපි ලේඛණ ඉදිරිපත් කිරීමට නොහැකි වීම හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන සිටි හීලෑ අලි ඇතුන් 15 දෙනා අදාල හිමිකරුවන් වෙත ලියාපදිංචි කිරීම වහාම අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය අද (29) නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි මෙම අලි ඇතුන් ලියාපදිංචියට ඉඩකඩ සැලසෙන සේ වනජීවී රාජ්‍ය අමාත්‍යවරයා විසින් 2021 අංක 1 දරණ ගැසට් නිවේදනය මගින් අලි ඇතුන් ලියාපදිංචිය විධිමත් කිරීම සඳහා අවශ්‍ය වන නව නීති රෙගුලාසි ගණනාවක්ම පනවා තිබුණා.

මතභේදයට තුඩු දුන් මෙම අලි ඇතුන් 15 දෙනා කොළඹ සහ මාතලේ මහේස්ත්‍රාත් අධිකරණ හරහා නැවත ඔවුන්ගේ මුල් අයිතිකරුවන් බව පැවසෙන අයවලුන් වෙත නිදහස් කෙරෙන නියෝග නිකුත් කෙරුනේ වන ජීවී රාජ්‍ය අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද 2021 අංක 1 දරන ගැසට් නිවේදනයේ රෙගුලාසිවලට අනුකූලව යි.

මෙම නියෝගයන්ට එදිරිව ‘පරිසර යුක්ති කේන්ද්‍රය’ හා තවත් සිවිල් සංවිධාන කිහිපයක් කොළඹ අභියාචනාධිකරණය ඉදිරියේ නඩු අංකය : සීඒ/ඩබ්ලිව්ආර්ටී/423/21 යටතේ 20.09. 2021 දින නඩුවක් ගොනු කලා.

එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරේ පින්නවල සහ උඩවලව අලි අනාථාගාර වල සිටි මෙම අලි ඇතුන් අතරින් සුජීවා අලි පැටවා සහ අලි මව ආපසු භාර නොදෙන ලෙසත් අධිකරණය තවදුරටත් නියෝග කළා.

කෙසේ වෙතත් අභියාචනාධිකරණය ඉදිරියේ ගොනු කෙරුණු මෙම නඩු කටයුත්තට මෙම අලින්ගේ භාරකාරීත්වය ඉල්ලා සිටි පාර්ශව වලට ද මැදිහත් වීමට ඉල්ලා සිටි අතර මෙම මැදිහත්වීම් වලට විරෝධතා ඇත්නම් ලබන නඩු දිනයේදී (ඔක්තෝබර් 13) ඒවා ලිඛිත දේශන ලෙස ඉදිරිපත් කරන ලෙසත් විනිසුරුවරු නියෝග කළා.

‘පරිසර යුක්ති කේන්ද්‍රය’ වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ රවීන්ද්‍රනාත් දාබාරේ පෙනී සිටි අතර දිලේනා පත්‍රගොඩ, හේමන්ත විතානගේ, පංචාලි පනාපිටිය, මහේෂි නානායක්කාර සහ විශාඛා තිලකරත්න යන නීතිඥයින් සිවිල් සංවිධාන වෙනුවෙන් පෙනී සිටියා.

******************************************

‘එපික් ලංකා’ සමාගමේ දත්ත ක්‍රියාකරු ලබන මස 06 වනදා දක්වා රිමාන්ඩ්

(29.09.2021 – 16:48 +0530 – hirunews.lk/sinhala)

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත ගබඩාව මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම දත්ත ගබඩාව පවත්වාගෙන ගිය පෞද්ගලික ආයතනයේ (එපික් ලංකා) පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයා ලබන මස 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු අද (29) දහවල් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *