එළඹෙන 24 වනදා සිට වයස අවුරුදු 12 ට වැඩි ළමුන්ට කොරෝනා එන්නත

එළඹෙන 24 වනදා සිට වයස අවුරුදු 12 ට වැඩි ළමුන්ට කොරෝනා එන්නත

*********************************************

එළඹෙන 24 වනදා සිට වයස අවුරුදු 12 ට වැඩි ළමුන්ට කොරෝනා එන්නත

(21.09.2021 – 17:14 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන 24 වනදා සිට වයස අවුරුදු 12 ත් 19 ත් අතර ආබාධ සහිත සහ නිදන්ගත රෝගවලින් පෙළෙන ළමුන් සඳහා ෆයිසර් එන්නත් ලබාදීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

මේ අතර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කර සිටියේ, රිජ්වේ ආර්යා ළමා රෝහලේදී එම එන්නත් ලබාදීම් කටයුතු සිදුකරන බවයි.

++++++++++++++++++

කොරෝනා ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 1,047 දෙනෙකු සුවය ලබයි

(21.09.2021 – 14:52 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 1,047 දෙනෙකු සුවය ලබා තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 4,34,140 දක්වා ඉහළ ගියා.

තවදුරටත් පුද්ගලයින් 60,698 දෙනෙකු රෝහල්ගත ව හෝ නිවෙස්වල ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ෴

++++++++++++++++++

පාසල් නැවත විවෘත කිරීමට අදාල මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට භාර දෙයි

(21.09.2021 – 17:29 +0530 – hirunews.lk/sinhala)

පාසල් නැවත විවෘත කිරීමට අදාල මාර්ගෝපදේශ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට අද (21) භාරදුන් බව, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

+++++++++++++++++++

තවත් කොරෝනා ආසාදිතයින් 918 ක්

(21.09.2021 – 18:08 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 918 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට මුළු අසාදිතයින්ගේ ගණන 5,06,927ක් දක්වා ඉහල යනු ඇති ෴

+++++++++++++++++++

තවත් කොරෝනා මරණ 66 ක්

(21.09.2021 – 18:14 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා මරණ 66 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව කොරෝනා හේතුවෙන් මෙරට මිය ගිය මුළු ගණන 12,284 ක් වනු ඇති.

++++++++++++++++++

තුන් වන (3) මාත්‍රාව වෙනුවෙන් ෆයිසර් එන්නත් මිලියන 14 ක් ඇනවුම් කෙරේ

(21.09.2021 – 19:56 +0530 – hirunews.lk/sinhala)

අවුරුදු 12 ට වැඩි දරුවන් එන්නත් කිරීම ලබන 24 වැනි සිකුරාදා සිට ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

මේ අතර 3 වන මාත්‍රාවක් ලබාදීම සඳහා අවශ්‍ය ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14 ක් ඇනවුම් කර ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අද (21) සඳහන් කළා.

වසය අවුරුදු 12 ට වැඩි දරුවන් එන්නත් කිරීමේ පළමු (1) අදියර ලෙස විශේෂ අවශ්‍යතා සහිත සහ නිදන්ගත රෝගවලින් පෙළෙන දරුවන් එන්නත් කිරීම ලබන 24 වැනි සිකුරාදා ආරම්භ කෙරෙනවා.

එසේම, පාසල් යළි විවෘත කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට අද (21) දිනයේදී භාරදුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වූ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා එන්නත්කරණ වැඩසටහන සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

කෙසේ වෙතත් තරුණ තරුණියන් එන්නත් ලබා ගැනීමේ මන්දගාමි ස්භාවයක් පෙන්නුම් කරන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.

මේ අතර මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ පැවති එන්නත්කරණ වැඩසටහනට පැමිණි තරුණයින් සයිනොෆාම් එන්නත වෙනුවට ෆයිසර් එන්නත අවශ්‍ය බව ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත්, එම එන්නත්කරණ මධ්‍යස්ථානයට පැමිණ තවත් තරුණ තරුණියන් පිරිසක් ලැබෙන පළමු කොරෝනා එන්නත ලබාගන්නා ලෙස සියලුම දෙනාගෙන් මෙලෙස ඉල්ලා සිටියා.

මේ අතර ගර්භනී කාන්තාවන්ගේ 90% කට කොවිඩ් මර්දන එන්නත ලබා දී අවසන් කර තිබෙනවා. පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලි ද සිල්වා මහත්මිය මෙලෙස ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අළුවිහාරේ මහතාටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වනවා.

අද (21) දිනයේ මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 918 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඒ සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,06,927 ක් දක්වා ඉහළ ගියා.

රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින්ගේ ඔක්සිජන් අවශ්‍යතාව පහත වැටීම නිසා ලබන සතියේ සිට ඉන්දියාවෙන් ඔක්සිජන් ආනයනය නතර කරන බවද රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

වල් බිහි වෙන දුම්රිය නිල නිවාස

(21.09.2021 – 14:34 +0530 – hirunews.lk/sinhala)

මෙරට දුම්රිය සේවය පාඩු ලබන රාජ්‍ය ආයතනයක් බවට පත් ව ඇත්තේ කලක පටන්.

එවන් පසුබිමක කෝටි ගණනක මුදලක් වැය කොට ඉදිකළ දුම්රිය නිල නිවාස රැසක් වල් බිහි වීමට ඉඩහැර ඇති පුවතක් වාර්තා වෙනවා.

******************************************

අන්තරේ කැඳවුම්කරු යළි රිමාන්ඩ්

(21.09.2021 – 14:38 +0530 – hirunews.lk/sinhala)

අත්අඩංගුවට ගෙන සිටින අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු සිවු දෙනා (4) ඔක්තෝබර් පස් වැනි දා (05) දක්වා යළි රිමාන්ඩ් කර තිබෙනවා. කඩුවෙල මහේස්ත්‍රාත් මංජුල රත්නායක නියෝග කළේ, සැකකරුවන් ලබන මස 05 වනදා දක්වා ඔවුන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි ෴

******************************************

රිෂාඩ් යළි රිමාන්ඩ්

(21.09.2021 – 14:41 +0530 – hirunews.lk/sinhala)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ලබන මස 05 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ අද (21) ලබා දුන් නියෝගයකට අනුවයි ෴

******************************************

වැලි, පස් සහ කළුගල් ප්‍රවාහන බලපත්‍ර මාර්ගගත ක්‍රමයට නිකුත් කිරීමේ වැඩපිළිවෙළක්

(21.09.2021 – 15:17 +0530 – hirunews.lk/sinhala)

වැලි, පස්, බොරලු සහ කළුගල් ප්‍රවාහනය සඳහා අවශ්‍ය බලපත්‍ර මාර්ගගත ක්‍රමයක් ඔස්සේ ලබාදීමේ වැඩපිළිවෙළක් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මඟින් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ලබන මස 30 වන දා සිට අදාළ බලපත්‍ර ඔන්ලයින් ක්‍රමය ඔස්සේ ලබාගත හැකි බවයි පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ.

සේවාවන් ලබා ගැනීම සඳහා රජයේ කාර්යාල වෙත පැමිණෙන ජනතාව අවම කිරිම සහ ප්‍රවාහන බලපත් නිකුත් කිරීමේ දී සිදුවන අක්‍රමිකතා වැළැක්වීම මෙහි අරමුණ බවයි පරිසර අමාත්‍යාශයේ අද (21) පැවැති මාධ්‍ය හමුවක දී විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මඟින් වසරකට නිකුත් කෙරෙන ප්‍රවාහන බලපත්‍ර ප්‍රමාණය ලක්ෂ 10 ඉක්මවනවා.

එමෙන්ම, මෙම වසරේ ගත වූ කාලය තුළ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් නිකුත් කර ඇති ප්‍රවාහන බලපත්‍ර ප්‍රමාණය 7,77,000 ක් ෴

******************************************

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත් කෙටුම්පත කථානායකවරයා සහතික කරයි

(21.09.2021 – 15:32 +0530 – hirunews.lk/sinhala)

‘ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා’ නමැති පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (21) සිය සහතිකය සටහන් කරනු ලැබුවා.

මුදල් අමාත්‍යවරයා විසින් 2021 වසරේ ජූලි මස 09 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පත 2021 වසරේ ජූනි මස 28 වන දින ගැසට් පත්‍රයේ පළ කෙරුණා.

ඒ අනුව 2021 අංක 19 ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත අද (21) සිට බලාත්මක වනු ඇති ෴

******************************************

සහල් පාලන මිල වැඩි වන ලකුණු

(21.09.2021 – 20:01 +0530 – hirunews.lk/sinhala)

සහල් පාලන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් වන යෝජනාවක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ඉදිරිපත්ව තිබෙනවා.

වෙළඳපොළේ පවතින සහල් හිඟයට විසඳුමක් ලෙස මෙලෙස පාලන මිළ ඉහළ නංවන ලෙසට ‘එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය’ පසුගිය දින කිහිපය තුළදිම යෝජනා කළ බවයි එම සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් සිදු කළ විමසිමකදී එහි ප්‍රකාශකයෙතු කියා සිටියේ සහල් පාලන මිළ ඉහළ දැමිම සඳහා අනුමැතියට යොමු කර ඇති අතර, ඊට මේ වනතෙක් අනුමැතිය ලැබි නොමැති බවයි.

ඊට අනුමැතිය හිමි වුවහොත්, දැනට කීරී සම්බා කිලෝග්‍රැමයක් සඳහා රුපියල් 125 ක්, සම්බා කිලෝග්‍රැමයක් සඳහා රුපියල් 103 ක්, නාඩු කිලෝග්‍රැමයක් සඳහා රුපියල් 98 ක් සහ රතු කැකුළු කිලෝග්‍රැමයක් සඳහා රුපියල් 95 ක්ව පවතින සහල් පාලන මිල යම් ප්‍රමාණයකින් ඉහළ යනු ඇති.

මේ අතර, වී සහ සහල් සඳහා පනවා ඇති පාලන මිළට එරෙහි විරෝධතා පැවැත්වෙන්නේ ඇතැම් පුද්ගලයින්ගේ මෙහෙයවිම මත බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළා.

මේ වනවිට වෙළදපොළ තුළ ඇතැම් අත්‍යවශ්‍ය භාණ්ඩවල ද යම් හිඟයක් මතුව තිබෙනවා.

පාරිභෝගිකයින් සහ වෙළෙන්දන් පවසන්නේ පිටිකිරි වලට අමතරව සහල් වර්ග කිහිපයක සහ අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයකම හිඟයක් පවතින බවයි.

මේ අතර සමාගම් කිහිපයක් සමග ගිවිසුම් වලට එළඹීමට තමන්ට බලපෑම් එල්ල වන බව පවසමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව ‘හිරු හාඩ් ටෝක්’ විශේෂාංගය සමග එක්වෙමින් පසුගියදා ප්‍රකාශ කළා.

ඒ අනුව සිය ඉල්ලා අස්විමේ ලිපිය අද (21) භාර දුන් බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා කියා සිටියේ.

මේ අතර, කිරිපිටි, සහල්, තිරිඟු‍ පිටි සහ සිමෙන්ති මිල ඉහළ යෑම සම්බන්ධයෙන් මේ සතියේදී අවසන් තීන්දුවකට එළැඹෙන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා එහිදී කියා සිටියා.

******************************************

බැසිල් නිසා උණුසුම් වූ පාර්ලිමේන්තුව

(21.09.2021 – 20:15 +0530 – hirunews.lk/sinhala)

අජිත් නිවාඩ් කබ්රාල්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ජයන්ත කැටගොඩ මහතා අද (21) දිවුරුම් දුන්නා.

ඒ අද (21) පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී.

පසුගිය සතියේ රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබුණේ මෙම සතියේ අද (21) සහ හෙට (22) දින දෙකෙහි පමණක් පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීමටයි.

ඒ අනුව අද (21) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ආරම්භ කෙරුණා.

අජිත් නිවාඩ් කබ්රාල්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයන්ත කැටගොඩ මහතා එහිදී දිවුරුම් දුන්නා.

බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා සිය ධුරයෙන් ඉල්ලා අස්වූ ජයන්ත කැටගොඩ මහතා 9 වැනි පාර්ලිමේන්තුවට යළි පිවිසෙන්නේ දෙවැනි (2) වරට වීම විශේෂත්වයක්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *