පොලිසිය හම්බන්තොට නගරාධිපති සොයයි

පොලිසිය හම්බන්තොට නගරාධිපති සොයයි

*********************************************

පොලිසිය හම්බන්තොට නගරාධිපති සොයයි

(16.09.2021 – 08:12 +0530 – hirunews.lk/sinhala)

බම්බලපිටිය – කොතලාවල ඇවනිව් ප්‍රදේශයේ ඉඩමකට කඩාවැදී එහි ආරක්ෂාවට සිටි පුද්ගලයින් දෙදෙනෙකුට (2) පහරදීමේ සිද්ධියට හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලීසිය ප්‍රකාශ කළා.

File Photo

නගරාධිපතිවරයා සිය මෝටර් රථයෙන් තනිවම එම ස්ථානයට පැමිණ මෙම පහරදීම සිදුකර ඇත්තේ පසුගිය 14 වනදා රාත්‍රියේයි.

සිද්ධිය සම්බන්ධයෙන් පහරකෑමට ලක්වූ ඉඩමේ ආරක්ෂාවට සිටි පුද්ගලයින් දෙදෙනා (2) බම්බලපිටිය පොලීසියට පැමිණිල්ලක්ද කර තිබුණා.

පහරකෑමට ලක්වූ දෙදෙනා ගෙන් එක් (1) අයෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දුට මීට පෙර හම්බන්තොට මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කරනු ලැබුවේ 2014 වසරේ අප්‍රේල් 17 වනදායි.

ඒ, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හම්බන්තොට වරාය සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක නිරතව සිටියදී ගල්මුල් වලින් පහරදීම සහ සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා තර්ජනය කිරීම සම්බන්ධයෙන්.

කෙසේ වෙතත් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වූ හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු ඇප මත මුදා හැරුණේ ඔහු විසින් ඉදිරිපත් කළ අභියාචනයක් සළකා බැලීමෙන් අනතුරුවයි ෴

***************************************

(16.09.2021 – 07:37 +0530 – hirunews.lk/sinhala)

නීති විරෝධී ලෙස මෙරටට ගෙන් වූ කොල්ලු ඇතුළු ආහාර තොගයක් ඉකුත් 14 වැනි දා රේගුව විසින් පරීක්ෂා කර තිබෙනවා.

ශ්‍රී ලංකා රේගුවට පැමිණි බහාලුමක් පරික්ෂා කිරීමේදීයි මෙම ආහාර තොගය සොයාගෙන ඇත්තේ.

ව්‍යාජ රේගු සටහන්කරයක් හරහා මෙම ආහාර ගෙන්වා ඇති බව වාර්තා වෙනවා.

රේගු සටහන්කරයේ කොල්ලු කිලෝග්‍රෑම් 23,150 ක් ලෙස සටහන් කර තිබුණ ද එහි තිබී ඇත්තේ කොල්ලු කිලෝග්‍රෑම් 1800 ක්.

ඊට අමතර ව ආනයන සීමා පනවා ඇති වියළි ඉඟුරු, උඳු සහ තල් සූකිරි තොගයක් ද මෙම බහාලුමේ තිබී සොයාගෙන තිබෙනවා.

මෙම භාණ්ඩ තොගයේ වෙළඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ හැට හතරකට (64,17,467) වැඩි මුදලක් ලෙසටයි ගණන් බලා ඇත්තේ.

මෙම නීති විරෝධී ආනයනය සාර්ථක වුණා නම්, මෙරටට අහිමි වීමට තිබූ අදායම ලක්ෂ 18 කට ආසන්නයි.

සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ශ්‍රී ලංකා රේගුව විසින් පවත්වන අතර, විමර්ශනය අවසානයේ භාණ්ඩ රාජසන්තක කෙරෙනු ඇති ෴

******************************************

(16.09.2021 – 08:26 +0530 – hirunews.lk/sinhala)

රුපියල් 60,000 පමණ වටිනා ‘ඩොබර්මන්’ (Doberman) වර්ගයේ සුනඛයෙකු සොරාගෙන අලෙවි කිරීමට අන්තර්ජාලයේ දැන්වීම් පළ කිරීමේ සිද්ධියක් ගාල්ල – තෙලිකඩ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

සැකකරු සුනඛයෙකු අලෙවි කිරීමට ඇති බවට අන්තර්ජාලයේ පළ කළ දැන්වීමක් දුටු සුනඛයාගේ සැබෑ හිමිකරුවන් පොලිසියට ඒ පිළිබඳව පැමිණිලි කිරීමත් සමඟයි මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව විමර්ශන ආරම්භ කළ තෙලිකඩ පොලිසිය සිද්ධියට සම්බන්ධ සැකකරු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මොහුට කුකුළන් හතරදෙනෙකු (4) සොරකම් කිරීම සම්බන්ධයෙන් ද චෝදනා පවතින බවයි වාර්තා වෙන්නේ.

ඊයේ (15) එම සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ රුපියල් ලක්ෂ දෙකක (2) ශරීර ඇපයක් මත මුදාහැරීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ නියෝග කළා.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇප මත මුදාහරිනු ලැබුවේ ගාල්ල – රෙජ්පුර ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අයෙක් ෴

******************************************

(16.09.2021 – 08:33 +0530 – hirunews.lk/sinhala)

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට නීත්‍යනුකූල ලෙස සිවිල් සිසුන් බඳවා ගැනීම වහා අත්හිටුවන ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඉල්ලීමක් කරනවා.

පළමු උපාධි පාඨමාලා රැසක් සඳහා සිසුන් බඳවා ගැනීමට අදාළ දැන්වීම් මෑත දින කිහිපය පුරා පුවත්පත්වල සහ සමාජ මාධ්‍යයේ පළ කර ඇති බවයි එම සම්මේලනය පෙන්වා දෙන්නේ.

දැනට රජයේ විශ්වවිද්‍යාලවල ජීව විද්‍යාව හා සම්බන්ධ විවිධ පාඨමාලාවල අධ්‍යයනයන් හි නිරත සිසුන් 100 දෙනෙකු පමණ කොතලාවල වෛද්‍ය පීඨය වෙත යොමු කරමින් එම විශ්වවිද්‍යාලයේ නීත්‍යනුකූල නොවෙන ක්‍රියාකාරිත්වයට රජය ද ආධාර අනුබල දෙමින් සිටින බව එහි සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක චෝදනා කළා ෴

******************************************

(16.09.2021 – 08:43 +0530 – hirunews.lk/sinhala)

ටයිම්ස් උසස් අධ්‍යාපන ශ්‍රේණිගතකිරීම්වලට අනුව පේරාදෙණි විශ්වවිද්‍යාලය අඛණ්ඩ ව තුන්වැනි (3) වරටත් ලොව හොඳ ම විශ්වවිද්‍යාල 500 අතරට පැමිණ තිබෙනවා.

2022 ශ්‍රේණිගතකිරීම්වල දී රටවල් 100 කට ආසන්න සංඛ්‍යාවකින් විශ්වවිද්‍යාල 1600 ක් මෙම ශ්‍රේණි ගතකිරීම්වලට ඇතුළත් කර තිබුණා.

ශ්‍රී ලංකාවේ අංක එකේ (1) විශ්වවිද්‍යාලය බවට පත් ව ඇත්තේ ද පේරාදෙණි සරසවිය යි ෴

******************************************

(16.09.2021 – 08:47 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව තුළ හා අවට සිදුවන භූ කම්පන මැනීමට පස්වන (5) භූ කම්පන මධ්‍යස්ථානය බස්නාහිර පළාත තුළ ස්ථාපිත කිරීමට මූලික කටයුතු යොදා ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

පසුගිය දා ශ්‍රී ලංකාව තුළ සහ අවට ස්ථාන කිහිපයක භූ කම්පන සිදුව ඇති බවට තොරතුරු වාර්තා වුණා ෴

******************************************

(16.09.2021 – 09:09 +0530 – hirunews.lk/sinhala)

ශාකමය ආහාර පරිභෝජන රටාව තුළින් බෝවන සහ බෝ නො වෙන රෝගවලින් ආරක්ෂා විය හැකි බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ, මාංශමය ජීවන රටාව බොහෝ ලෙඩ රෝගවලට හේතු වී ඇති බවයි.

පාරම්පරික දේශීය ශාකමය ආහාර හා කැඳ වර්ග පරිභෝජනයට ගන්නා දරුවන් අතර ඉහළ ප්‍රතිශක්තිකරණයක් පවතින අතර, ඔවුන් නිදන්ගත රෝගවලට ගොදුරුවීම ද ඉතා අවම බව පර්යේෂණවලින් ද තහවුරු වී ඇති බවයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ මහතා සඳහන් කළේ.

******************************************

(16.09.2021 – 09:22 +0530 – hirunews.lk/sinhala)

ලක්සල විදේශිය අලෙවි නියෝජිත ප්‍රදර්ශනාගාරයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි විවෘත කිරීම සඳහා වන ව්‍යාපාරික ගිවිසුමට අත්සන් තැබීම ඊයේ (15) සිදු කෙරුණා.

ඒ බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්.

දේශිය හස්ත කර්මාන්ත නිර්මාණ ශිල්පීන්ගේ සාම්ප්‍රදායික නිෂ්පාදන සඳහා විදේශීය වෙළඳපොල හඳුන්වාදීම හා කොවිඩ්-19 තත්වය මත විදේශීය සංචාරකයන් මෙරටට නොපැමිණීමෙන් 90% කින් පමණ පහළ ගොස් හානි වූ ලක්සල අලෙවි ආදායම නව ව්‍යාපාරික සැලැස්ම යටතේ පූර්ණය කරගැනීම මෙම ව්‍යාපාරික ගිවිසුමේ මූලික අරමුණයි ෴

(14.09.2021 – sinhala.newsslbc.lk)

ලක්සල ප්‍රදර්ශනාගාරයක් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ඩුබායි හි විවෘත කිරිමට නියමිතයි. දේශිය හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිෂ්පාදන සදහා ලෝක වෙළෙඳපලේ ඉඩක් වෙන් කර ගැනිම මෙහි අපේක්ෂාවයි.

නව ව්‍යාපාරික සැලැස්ම යටතේ ලක්සල ආදායම ඉහළ යනු ඇත සංචාරක කර්මාන්ත බිඳ වැටීම නිසා ලක්සල ආදායම සියයට 90 කින් පමණ පහළ ගොස් තිබෙ. සාලා ග්ලෝබල් පුද්ගලික සමාගම ලක්සල සන්නාමය යටතේ මෙරට නිෂ්පාදන ඩුබායි හිදි අලෙවි කිරිමට නියමිතයි.

මේ වසර අවසන් විමට පෙර තවත් ප්‍රදර්ශනාගාර කිහිපයක් බ්‍රිතාන්‍ය, චීනය, ජපානය සහ කැනඩාවේ විවෘත කෙරේ ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

(16.09.2021 – 07:46 +0530 – hirunews.lk/sinhala)

මුලතිව් කෝකිලායි ප්‍රදේශයේදී කොවිඩ් මෘත දේහයක් රැගෙන ගිය කුඩා ලොරි රථයක් මාර්ගය හරහා පෙරලී යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මුලතිව් සිට ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ආදාහනාගාරයක් වෙත අදාළ මෘත දේහය රැගෙන යමින් සිටියදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

අනතුරින් තුවාල ලැබූ ලොරි රථ රියැදුරා මුලතිව් රෝහලට ඇතුලත් කර තිබෙනවා.

පසුව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන්, ප්‍රදේශවාසීන්, පොලිස් නිළධාරීන් පැමිණ සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් කොවිඩ් මෘත දේහය රැගෙන ගිය වාහනය නැවත යථා තත්වයට පත්කොට ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව වෙනත් රියදුරෙකු යොදවා අදාළ මෘත දේහය සහිත ලොරි රථය අදාළ ආදාහනාගාරය් වෙත යවා තිබෙනවා.

අදාළ මල සිරුර මුලතිව් රෝහලේ සිට ආදාහනය කිරීම සඳහා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ආදාහානාගාරයක් වෙත රැඟෙන යමින් සිටියදීයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.

මුලතිව් සහ කිලිනොච්චිය දිස්ත්‍රික්ක වෙත විදුලි බලයෙන් මෘත දේහ අදාහනය කරන ආදාහනාගාර නොමැති වීමෙන් කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයන්ගේ මෘත දේහ වවුනියාව, යාපනය හෝ ත්‍රිකුණාමලය දක්වා රැගෙන යාමට ප්‍රදේශවාසීන්ට සිදුවීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව මහත් අපහසුතාවන්ට පත් වෙන බවයි මුලතිව් ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පැවසූවේ.

+++++++++++++++++++++

(16.09.2021 – 09:00 +0530 – hirunews.lk/sinhala)

කටුගස්තොට රෝහලේ සේවය කරමින් සිටි වෛද්‍යවරයෙකු කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටිය දී පේරදෙණිය ශික්ෂණ රෝහලේ දී ඊයේ (15) මියගියා.

මාවිල්මඩ ප්‍රදේශයේ පදිංචි මෙම වෛද්‍යවරයා කොවිඩ් ආසාදිතව පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත්තේ පසුගිය මස 18 වැනිදායි.

එමෙන්ම වයස අවුරුදු 15 ත් 19 ත් අතර ළමයින් සහ වයස අවුරුදු 12 ත් 19 ත් අතර නිධන්ගත රෝගවලින් පෙළෙන ළමයින් එන්නත්කරණයට ලක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය අතර ඊයේ (15) පැවති සාකච්ඡාවේ දී තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් එම තීරණය ලබන සිකුරාදා (17) ජාතික බෝවන රෝග පිළිබඳ උපදේශක කමිටුවට ඉදිරිපත් කර අවසන් අනුමැතිය ලබාගැනීමට නියමිත බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය නලින්ද හේරත් මහතා සඳහන් කළේ.

එසේ ම ඊයේ (15) නව ආසාදිතයන් 2,314 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4,96,423 ක් දක්වා ඉහළ ගියා.

ඊයෙ (15) සිදු වූ නව මරණ 132 ක් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වුණේ 11,699 ක් ලෙසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ නව ආසාදිතයින් සියලු දෙනා අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වෙන බවයි.

ඒ අනුව මෙරට සක්‍රිය ආසාදිතයින් සංඛ්‍යාව 57,470 ක් වෙන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව 4,27,254 ක්.

එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් පෙරේදා (14) සිදු වූ බවට ඊයේ (15) තහවුරු කරනු ලැබූ කොරෝනා මරණ 132 න් 101 ක් ම අවුරුදු 60 ඉක්ම වූ පුද්ගලයින් වෙනවා ෴

+++++++++++++++++

(16.09.2021 – 09:03 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – නෙළුව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහරදීමට තැත් කිරීම සහ ඔහුගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ පසුව ඔහු අධිකරණයට ඉදිරිපත් කර ලබන 22 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි ෴

+++++++++++++++++

(16.09.2021 – 09:19 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 965 දෙනෙකු අද (16) උදෑසන 6 න් අවසන් වූ පැය 24 ක කාලසීමාව තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 73,078 ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මේ අතර බස්නාහිර පළාත තුළ ස්ථාපිත කර ඇති පොලිස් මාර්ග බාධක 13 ක දී ඒ හරහා ගමන් කිරීමට තැත්කළ පුද්ගලයින් 308 දෙනෙකු සහ වාහන 197 ක් නැවත හරවා යවා තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *