ඉතාලියේදී අගමැති මහින්දට එරෙහිව ලාංකිකයන්ගේ විරෝධතා

ඉතාලියේදී අගමැති මහින්දට එරෙහිව ලාංකිකයන්ගේ විරෝධතා

*********************************************

ඉතාලියේදී අගමැති මහින්දට එරෙහිව ලාංකිකයන්ගේ විරෝධතා

(12.09.2021 – 23:28 +0530 – truenews.lk)

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉතාලි සංචාරය අතරතුරදී එරට ශ්‍රී ලාංකිකයන් විසින් විරෝධතාවයක් අද (12) දිනයේ දී පවත්වා තිබේ.

ඉතාලියේ බොලොඤ්ඤා නගරයේ දී මෙම විරෝධතාවය පවත්වා ඇත්තේ අග්‍රාමාත්‍යවරයා ‘G20 අන්තර් ආගමික සමුළුවේ’ දේශනයක් පැවැත්වීමට සහභාගි වෙමින් සිටින අතරතුරදීය.

විරෝධතාකරුවන් ඉල්ලා සිටියේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් සම්බන්ධයෙන් සත්‍ය සොයා හෙළි කරන ලෙසයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍යය හෙලි කර සාධාරණය ඉටු කිරීමට වත්මන් රජය කටයුතු නොකරන්නේ නම් ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලය තෙක්ම මෙම ප්‍රශ්නය රැගෙන යන බවද විරෝධතාකරුවන් කියා සිටියහ.

+++++++++

From : https://www.facebook.com/PresidentRajapaksa

G20 රාජ්‍ය නායක සමුළුව ලබන ඔක්තෝබර් මස 30-31 දෙදින ඉතාලියේ රෝම අගනුවර දී පැවැත්වීමට නියමිත අතර ඊට සමඟාමීව ඉතාලියේ බොලොඤ්ඤා නුවර ‘G20 අන්තර් ආගමික සමුළුව’ (G20 Interfaith Forum) පැවැත්වෙයි. ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ‘G20 අන්තර් ආගමික සමුළුවේ’ ආරම්භක දින (12.09.2021) පළමු සැසි වාරය අමතමින් කළ සම්පූර්ණ කතාව :

‘සංස්කෘතීන් අතර සාමය, ආගම් අතර අවබෝධය’ යන තේමාවෙන් ඓතිහාසික බොලොඤ්ඤා නගරයේ පැවැත්වෙන ඉතා කාලෝචිත G20 අන්තර් ආගමික සමුළුව ඇමතීමට ලැබීම සතුටකි.

මෙම සමුළුවට සහභාගී වන ලෙස ආරාධනා කිරීම පිළිබඳව ඉතාලි සංවිධායක කමිටුවේ සභාපති මහාචාර්ය ඇල්බටෝ මෙලොනි ඇතුළු සංවිධායක කමිටුවට මම ස්තූතිවන්ත වෙමි. විශේෂයෙන් මගේ රට වන ශ්‍රී ලංකාවටත් දකුණු ආසියාවේ භූගෝලීය කලාපයටත් මෙම සංසදයේ තේමාව අදාළ වීම නිසා මෙම අවස්ථාව වඩාත් අගය කරමි.

අපේ කලාපයේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ ජනවාර්ගික, ආගමික හා සංස්කෘතික විවිධත්වයයි. අපේ රටවල විවිධ ආගම් අදහන සහ විවිධ සංස්කෘතීන්ගෙන් පෝෂණය වූ විවිධ ජනවාර්ගික පසුබිම් සහිත ජනතාව ජීවත්වෙති. මෙම වෙනස්කම් සමග නැගී සිටිමින්, විවිධ ජනකොටස් එක්සේසත් කරමින්, පරිණත ජාතිකත්වයක් පිළිබඳ හැඟීමක් ගොඩනැගීමේ අභියෝගයට අපි ප්‍රතිචාර දක්වා ඇත්තෙමු.

ආර්ථික, දේශපාලන හා සමාජීය අරමුණු සාක්‍ෂාත් කර ගැනීමේ දී බොහෝ සෙයින් අපගේ අනාගතය රඳා පවතිනුයේ එක් ජාතියක් වශයෙන් සිදුවන එකමුතුකම හා සහජීවනය මතය. අන්තවාදී මතවාද සහ ඒ හා බැඳුණු ප්‍රචණ්ඩත්වය අපේ යුගයේ ඇති බරපතලම අභියෝගයයි. හරියට ම මීට විසි වසරකට පෙර සිදුවූ 9/11 ත්‍රස්ත ප්‍රහාරයේ ඛේදජනක සිදුවීම අප මෙහි දී සිහිපත් කළ යුතුය. ඊට ගොදුරු වූ පවුල් වෙනුවෙන් සමස්ත මානව වර්ගයා ලෙස අප ඔවුන් සමඟ ශෝකය බෙදාගත යුතුය.

වැරදිකරුවන් හා ඔවුන්ගේ ප්‍රකාශිත අරමුණු කුමක් වුවත් මෙම සිදුවීම සියලු ම ආකාරයේ ත්‍රස්තවාදී ක්‍රියාවන්ට එරෙහිවීමේ අවශ්‍යතාව සිහිගන්වයි. කලාව සහ බුද්ධිමය ක්‍රියාකාරකම්වලට සෑම අතින්ම කීර්තියක් දිනාගනිමින් ලෝක මට්ටමේ සංස්කෘතික නායකත්වයක් දරන ඓතිහාසික බොලොඤ්ඤා නගරය මෙවැනි සුවිශේෂී තේමාවක් යටතේ සමුළුවක් පැවැත්වීමට කදිමට ගැලපෙයි.

සිත් ඇඳගන්නා සුළු මෙම නගරය ඉතාලි පුනරුදය සහ ශිෂ්ටාචාරයේ වර්ධනය විදහාපානවා මෙන්ම ලොව දියුණුවට බලපෑ එකල ඉතාලි ස්වාමිවරුන්ගේ විශිෂ්ට දක්ෂතාවන් සහ නිර්මාණාත්මකභාවය ද පිළිඹිබු කරයි.

අපේ කාලයේ සංස්කෘතීන් තුළ සාමය හා සමගිය උදෙසා වැදගත් කාර්යභාරයක් ඉටුකරන අංශ කෙරෙහි ඔබ දැඩි අවධානයක් යොමු කර ඇති බව ඉතා පැහැදිලි ලෙස සකස් කළ මෙහි සම්මන්ත්‍රණ ලේඛනවලින් මා නිරීක්ෂණය කළා.

අධ්‍යාපනය මෙම ක්ෂේත්‍රයන්ගෙන් වැදගත්ම ක්ෂේත්‍රය ලෙස හඳුනා ගැනීමට මා කිසිසේත්ම පැකිළෙන්නේ නැහැ. තරුණ මනස සිත් ඇදගන්නා සුළු වන අතර නිවැරදි ආකල්ප හා සාරධර්ම වර්ධනය කර ගැනීමට වැඩි ම අවස්ථාවක් ඇත්තේ ළමා වියේදී ය. පැහැදිලිව ම, විවිධ ආගම්වල හරය තුළ විවිධ වෙනස්කම් ඇතත්, සෑම ආගමකටම පොදු වූ විශ්වාසයන් හා එම විශ්වාසයන්හි හරයක් ද ඇත.

ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ සහ අධ්‍යාපනඥයන්ගේ යුතුකම විය යුත්තේ අපේ පාසල් හා විශ්වවිද්‍යාල විෂය මාලාව සහ ඉගැන්වීමේ ක්‍රමවේදයන් තුළින් වෙනස්කම් ඉස්මතු කරන කරුණුවලට වඩා එකඟතාව තිබෙන සෑම ආගමකටම පොදු කරුණු පිළිබඳ අවධාරණය කිරීමයි.

අපේ අධ්‍යාපන ආයතනවල තරුණයින්ට පවුරුවලට වඩා පාලම් තැනීමට සහ ජීවිතය පුරා පවතින මිත්‍රත්වයන් ඇති කර ගැනීමට සුවිශේෂී අවස්ථාවක් තිබේ. ශ්‍රී ලංකා රජය දැන් ප්‍රමුඛතාව දෙමින් සිටින්නේ අධ්‍යාපනයේ අන්තර්ගතය නවීන අවශ්‍යතාවන්ට අනුකූලව ප්‍රතිසංස්කරණය කිරීමට සහ අපගේ තරුණයින් තෘප්තිමත් ජීවනෝපාය මාර්ගයක් සඳහා සන්නද්ධ කිරීමටයි.

මේ මොහොතේ ලෝකය අත්විඳින බරපතල සෞඛ්‍ය අර්බුදය, අප සියලු දෙනා එක්සත් කිරීමට උපකාරී වී ඇත.

කොවිඩ්-19 අර්බුදය විවිධ ආගම්, ජාතීන් සහ ශිෂ්ටාචාර අතර වෙනස්කම් නොපෙන්වන අතර සමස්ත මානව වර්ගයාට මාරාන්තික පහරක් එල්ල කරයි. වසංගතයෙන් බේරී නැවත අපේ ජීවිතය ආරම්භ කිරීමට නම් ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කළ යුතුය.
නූතන වෛද්‍ය විද්‍යාව මඟින් ලබා ගත හැකි එන්නත් සහ අනෙකුත් ආරක්‍ෂාව ලොව පුරා තිබිය යුතු අතර ජාත්‍යන්තර සංවිධාන සහ ශක්තිමත් ආර්ථිකයක් පවතින රටවලින් ආධාර ලබා ගැනීමට ධනවත් නොවන රටවල් සඳහා විශේෂ විධිවිධාන යෙදිය යුතුය. මෙය යම් පිරිසක් පමණක් නොව සියලු දෙනා ම ජයගත යුතු සටනකි.

වයිරසය හේතුවෙන් රටවල් සිය දේශසීමා තාවකාලිකව වසා දැමීම සුදුසු වුවත්, හුදෙකලා වීම ඊට පිළිතුර නොවේ. අප ජීවත් වන ලෝකයේ එක් යථාර්ථයක් නම් රටවල්වල මායිම් හරහා භාණ්ඩ, සේවා සහ මිනිසුන්ගේ නිදහස් සංචලනයයි. යහපත් ජීවිතයක් සෙවීම වෙනුවෙන් සිදුවන සංක්‍රමණයට අද පවතින වාතාවරණය අභියෝගයක් වන නමුත් සාධාරණ පදනමක් මත රැකියා ලබා ගැනීමේ අවස්ථා නිදහස්ව තිබිය යුතුයි.

මෙය ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ ගරුත්වය කෙරෙහි විශේෂ වැදගත්කමක් ඇති ක්ෂේත්‍රයකි. සමාජයක සදාචාරාත්මක ගුණය තක්සේරු කළ යුත්තේ එහි වඩාත් අවදානමට ලක්විය හැකි සාමාජිකයින් කෙරෙහි දක්වන කරුණාව සහ දයානුකම්පාවෙන් බව ගෞතම බුදුරජාණන් වහන්සේ සිය අවසාන දේශනාව වන ‘මහා පරිනිබ්බාන සූත්‍රයේ’ දී දේශනා කළහ.

නිවසේ දී, රැකියා කරන ස්ථානවල සහ සමාජය තුළ සූරාකෑමට සහ විවිධාකාර වෙනස්කම්වලට එරෙහිව කාන්තාවන්ගේ හා ළමයින්ගේ ආරක්‍ෂාව කෙරෙහි අපේ රජය දැඩි අවධානයකින් පසුවේ. විවාහය, භාරකාරත්වය සහ උරුමය සම්බන්ධ යල්පැනගිය නීති දැනට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් යාවත්කාලීන කරමින් පවතී. අපේ ආකල්පය මිනිස් ජාවාරම මුළුමනින් ම බැහැර කිරීමයි.

දේශගුණික විපර්යාස සහ අනෙකුත් පාරිසරික ගැටලු අපගේ මනසෙහි ඉදිරියෙන්ම ඇත. මානව සංවර්ධනය සඳහා සමබර ප්‍රවිෂ්ටයක් අනුගමනය කිරීමට ශ්‍රී ලංකාව උපරිම උත්සාහයක් දරයි. වේගයෙන් වර්ධනය වන ජනගහනයට සහය දැක්වීම සඳහා ආර්ථික ගැටලු පිළිබඳ ප්‍රගතිය අවශ්‍ය වුවද පවතින පරිසරය තුළ මෙය කළ නොහැක.

අපේ රටට බුදු දහමේ වටිනා දායාදය රැගෙන පැමිණි ඉන්දියාවේ ධර්මාශෝක අධිරාජ්‍යයාගේ පුත් මිහිඳු මහරහතන් වහන්සේ, දේවානම්පියතිස්ස රජු අමතා “රජතුමනි, ඔබ අපේ භූමියේ කඳුකරය, වනාන්තර, ගංගා සහ ඇළ දොළ, සතුන් හා වෘක්ෂලතාවල පරම හිමිකරු නොව තාවකාලික භාරකරු පමණයි. මෙම වත්කම් ඔබේ මුතුන් මිත්තන්ගෙන් ඔබට උරුම වූ පරිද්දෙන් අනාගත පරපුරට පැවරීමට ඔබ බැඳී සිටිනවා” යැයි පවසා තිබේ. අපේ සංස්කෘතිය හා බැඳී පවතින මෙම වදන් පරිසරය කෙරෙහි අපගේ අඛණ්ඩ ප්‍රතිපත්තිය මනාව අර්ථ දක්වයි.

සංහිඳියාව අපේ කාලයේ තීරණාත්මක අවශ්‍යතාවකි. ගැටුම් සහ උත්සන්න වන කලබලකාරී ස්වභාවයන් අප වටා බොහෝ ලෙස දක්නට ලැබේ. සාමය සහ ස්ථාවරත්වය ඇති වන්නේ අප සමඟ දැඩි ලෙස එකඟ නොවන අය ඇතුළුව අපේ රටවල ජීවත් වන සියලු දෙනා සමඟ පවත්නා යහපත් සබඳතාවලිනි.

මෙතැනදීත්, අපේ ආගම අපට උගන්වන්නේ ‘වෛරය ජයගන්නේ වෛරයෙන් නොව ආදරය තුළින් පමණක්’ බවයි. අතීතයෙන් හිමි වූ දුක්ගැනවිලි මත වාසය කරනවාට වඩා, අප වර්තමානය කෙරෙහි අවධානය යොමු කළ යුතු අතර, අපේ මතයට වඩා වෙනස් දෘෂ්ටිකෝණයන් සමඟ එකඟතාවක අවශ්‍යතාව, සහෝදරත්වයේ සහ අවබෝධාත්මක සම්බන්ධතා ගොඩනගා ගතහොත් අප සැවොම බලා සිටින ආශ්වාදජනක නව මායිම වෙත ළඟා විය හැකියි.

යුරෝපයේ පැරණිතම ඉගෙනුම් මධ්‍යස්ථානය වන බොලොඤ්ඤාහි පැවැත්වෙන මෙම ප්‍රබෝධමත් සමුළුව ඊට වටිනා දායකත්වයක් සපයයි. අවුරුදු හතක් පුරා අඛණ්ඩව පැවැත්වෙන G20 අන්තර් ආගමික සමුළුව, අන්තර් සංස්කෘතික සංවාදය සඳහා ද දුර්ලභ අවස්ථාවකි.

මෙම වටිනා සමුළුව ආරම්භක සැසිය ඇමතීමට ආරාධනා කරමින් ඔබ මා වෙත දැක්වූ ගෞරවය කෘතඥපූර්වකව සිහිපත් කරමි. මහාචාර්ය මෙලොනි සහ ඔහුගේ සංවිධායක මඩුල්ලට හදවතින් ම ස්තූතිවන්ත වන අතර ඔබ කරන මේ වටිනා සාකච්ඡාව සාර්ථක වේවා! යැයි සුබ ප්‍රාර්ථනා කරමි.

තෙරුවන් සරණයි!

******************************************

(13.09.2021 – 10:08 +0530 – hirunews.lk/sinhala)

තියුණු ආයුධයකින් පහර දී සිදු කළ මනුෂ්‍ය ඝාතනයක් පිළිබඳ පුවතක් ඊයේ (12) දින මහියංගනය – මොරකැටිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

තුවාල ලැබූ පුද්ගලයා දඹාන රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව යි මිය ගොස් තිබෙන්නේ.

මරණකරු වයස අවුරුදු 59 ක මොරකැටිය වේවැත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධ ව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන මහියංගන පොලිසිය පැවසුවේ, එළවළු වෙළඳාම් සිදු කළ දෙපාර්ශවයක් අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදු වී ඇති බවයි.

මේ අතර, බලංගොඩ ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී මිය ගිය වයස අවුරුදු 59 ක් පුද්ගලයෙක් පිළිබඳව ද වාර්තා වෙන අතර, ඝාතනයට සම්බන්ධය සැකකරු මේ වෙනවිටත් අත් අඩංගුවට ගෙන තිබෙනවා ෴

******************************************

(13.09.2021 – 11:46 +0530 – hirunews.lk/sinhala)

මුදල්, ප්‍රාග්ධන වෙළඳපොළ, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය අමාත්‍ය ධුරයෙන් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් අද (13) ඉල්ලා අස් වුණා.

ඒ අනුව ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා පත්කිරීමට යි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත්තේ.

රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා වෙත භාරදුන්නේ අද (13) පෙරවරුවේ යි.

මහ බැංකුවේ අධිපති ලෙස කටයුතු කරන මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා හෙට (14) එම ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත අතර, නව අධිපති ධුරයේ අජිත් නිවාඩ් කබ්රාල් මහතා එළඹෙන බ්‍රහස්පතින්දා (16) රාජකාරි ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.

මීට පෙර 2006 වසරේ ජූලි 01 වැනි දා සිට 2015 වසරේ ජනවාරි 09 වැනි දා තෙක් ඔහු මහ බැංකු අධිපති ධුරයේ කටයුතු කරනු ලැබුවා.

******************************************

(13.09.2021 – 12:46 +0530 – hirunews.lk/sinhala)

බෙන්තොට පොලිසියේ උප පොලිස් පරික්ෂකවරයෙකු රථ වාහන අංශය තුළ මියගොස් සිටිය දී අද (13) උදෑසන සොයාගත් බව ඇල්පිටිය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ, බලපිටිය පාතේගම කප්පින වලව්ව පාර පදිංචි 58 හැවිරිදි උප පොලිස් පරික්ෂකවරයෙක්.

මියගිය උප පොලිස් පරික්ෂකවරයා ඊයේ (12) රාත්‍රී ජංගම මුර සංචාරයේ ගොස් රාජකාරි අවසන් වීමෙන් පසු පොලිස් ස්ථානයට පැමිණ රථ වාහන අංශයේ මේසයට හිස තබාගෙන නිදා සිට ඇති අතර, බොහෝ වේලාවක් ඔහු එසේ නිසොල්මන්ව සිටීම නිසා අනෙක් නිලධාරින් පැමිණ බලනවිට ඔහු මියගොස් ඇති බව දැනගෙන උසස් නිලධාරින් දැනුවත් කර තිබෙනවා.

බලපිටිය මහේස්ත්‍රාත්වරයා ගොස් මුලික පරික්ෂණ පැවැත්විමෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විම සඳහා මළ සිරුර රෝහලට ගෙන යාමට නියමිත ව ඇති බවයි වාර්තා වෙන්නේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *