මළවුන් ගෙනුත් ගසා කන අලුත් ම ජාවාරමක්

මළවුන් ගෙනුත් ගසා කන අලුත් ම ජාවාරමක්

*********************************************

මළවුන් ගෙනුත් ගසා කන අලුත් ම ජාවාරමක්

(09.09.2021 – 21:11 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වසංගතයෙන් පීඩා විඳින ජනතාව සහ සෞඛ්‍ය අංශ යා කරන පාලමක් වන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්.

එහෙත් ඇතැම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කොවිඩ් මරණ ආදාහනයේදී කූට ලෙස මුදල් උපයන බවට චෝදනා එල්ලවනවා.

මේ ඒ පිළිබඳ හිරු ප්‍රවෘත්ති සිදුකරන හෙළිදරව්වක්.

කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය දිවයින පුරා පැතිර යාමත් සමග කොවිඩ් ආසාදිතව සිදුවන මරණ සංඛ්‍යාවද කැපී පෙනෙන ලෙස ඉහළ ගියා.

කොවිඩ් මරණ පිළිබඳ දත්ත අනුව අදවන විට කොවිඩ් ආසාදිතව සිදුවන දෛනික පුද්ගල මරණ ගණන 150 ත් 200 ත් අතර වනවා.

මෙම වයිරසයේ ප්‍රබලත්වය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූල කොවිඩ් ආසාදිත පුද්ගලයෙකුගේ මෘත දේහයක් කඩිනමින් ආදාහනය කළ යුතුයි.

එම කටයුතු වඩාත් පහසුවෙන් හා අඩු වියදමකින් සිදුකර ගැනීමට අවශ්‍ය නිදර්ශකද හඳුන්වාදීමට විවිධ ආයතන පසුගිය කාලය පුරා පියවර ගෙන තිබුණා.

දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව හඳුන්වාදුන් කාඩ් බෝඩ් මිනී පෙට්ටියට ඒ අතරින් එකක්.

කෙසේ වෙතත් ලැබෙන ඕනෑම අවස්ථාවකින් තම මඩිය තරකර ගැනීමට පමණක් කටයුතු කරන කූට ජාවාරම්කරුවන්ට කොවිඩ් ආසාදිව සිදුවන මරණද ඉල්ලමක් බවට පත්වී ඇති බව අපට වාර්තා වුණා.

මෙහි ඇති ඛේදජනකම සිදුවීම වන්නේ මහජනතාවගේ සෞඛ්‍යයේ සමීප ආරක්ෂකයා ලෙස කටයුතු කරන හෙවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අතරින් ඇතැමුන් මෙම කූට ජාවාරම් සිදුකරන බවට චෝදනා එල්ලවීමයි.

කොවිඩ් වසංගතයත් සමග මහජන සෞඛ්‍ය පරීක්ෂක භූමිකාවට සමාජය තුළ ඉහළ අවධානයක් මෙන්ම ප්‍රසාදයක්ද හිමිවුණා.

ඒ, කොවිඩ් වයිරසය මර්දනය කිරීම උදෙසා ඔවුන් ජනතාවට ඉතාමත් සමීපව කටයුතු කිරීම හේතුවෙන්.

කෙසේ වෙතත් කොවිඩ් මරණ ආශ්‍රිත කටයුතුවලදී ඔවුන්ට මේ එල්ලවන චෝදනාව එතරම් සුළුපටු නැහැ.

කොවිඩ් වසංගතය හමුවේ සංචරණ සීමා හා සෞඛ්‍ය මාර්ගෝපදේශ ආදී කරුණු හේතුවෙන් රටේ ආර්ථිකය මෙන්ම සාමාන්‍ය ජනතාවගේ ආර්ථික සවියද ඉතා පහළ මට්ටමකට පත්ව ඇති බව නොරහසක්.

එවන් පසුබිමක කොවිඩ් මාරයාට බිලිවන පුද්ගලයෙකුට සිය පවුල හැරදා අවසන් ගමන් යන්නට සිදුව ඇත්තේ කූට වංචාවකටද හසුව වීම කනගාටුවට කරුණක්.

මාරාන්තික වසංගතයක් හමුවේ එයින් ජනතාව මුදාගැනීමේ වගකීම හිමි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මළවුන්ගෙනුත් ගසා කෑම වසංගතය තුරන් කිරීමට වඩා මනුෂ්‍යත්වය මරාදැමීමක් නොවන්නේ ද ?

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

සම්මත මෙහෙයුම් පටිපාටියෙන් බැහැරව කිසිදු වාහන එකලස් කිරීමකට ඉඩ දෙන්නේ නැහැ – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

(10.09.2021 – 05:48 +0530 – lankaleadnews.com)

ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, වාහන එකලස් කිරීමේ හා වාහන අමතර උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියක් (Standard Operating Procedures) හෙවත් එම කර්මාන්ත ක්ෂේත්‍රයේ විශ්වාසයෙන් යුතුව ආයෝජනය කළ හැකි නිශ්චිත රාජ්‍ය ප්‍රතිපත්තිමය රාමුවක් කර්මාන්ත අමාත්‍යාංශය මගින් සකස් කර දී ඇති බවත් ඉන් බැහැරව ශ්‍රී ලංකාව තුළ කිසිදු වාහන එකලස් කිරීමේ කටයුත්තකට ඉඩ නොතබන බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කළේය.

තම මගපෙන්වීම යටතේ කර්මාන්ත අමාත්‍යාංශය විසින් මුදල් අමාත්‍යාංශය හා එහි අදාළ දෙපාර්තමේන්තු, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, අපනයන හා ආනයන පාලක දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය ආයතන ද මොරටුව විශ්ව විද්‍යාලයේ අදාල විෂය ප්‍රවීණයන් ද ශ්‍රී ලංකාවේ මෝටර් රථ උපාංග නිෂ්පාදකයන්ගේ සංගමය (SLACMA) හා ශ්‍රී ලංකාවේ මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තකරුවන්ගේ සංගමය (SLAAA) සම්බන්ධ කරගනිමින් සැකසූ මෙම සම්මත මෙහෙයුම් පටිපාටියට, කැබිනට් අනුමැතිය 2021.01.11 දින ලැබුණු බවත් එය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021.03.15 වැනිදා ජනගත කිරීම සිදුකර ඇති බවත් අමාත්‍යවරයා සිහිපත් කළේය.

ඒ නිසා වාහන නිෂ්පාදනයට හෝ එකලස් කිරීමට අදාළ වෙනත් කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිරීමේ කිසිදු අවශ්‍යතාවක් පැන නොනගින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

මේ වන විට සම්මත මෙහෙයුම් පටිපාටියට(SOP) අනුකූලව ශ්‍රී ලංකාව තුළ වාහන එකලස් කිරීමේ කර්මාන්තයෙහි ආයතන 11 ක් නිරතව සිටින බවත් ඔවුනට දේශීය එකතු කිරීම්වලට අමතරව අවශ්‍ය අනෙකුත් උපාංග ගෙන්වීම සදහා මුදල් අමාත්‍යාංශය විසින් 2021.04.05 දින අංක 2222/03 දරන ගැසට් නිවේදනය නිකුත් කරමින් අවශ්‍ය පහසුකම් සපයා ඇති බවත් මෙම වාහන එකලස් කිරීමේ කටයුතු ඉහත කී රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගෙන් සැදුම්ලත් කමිටුවක නිසි අධීක්ෂණය යටතේ සිදුවන බවත් විමල් වීරවංශ මහතා සඳහන් කළේය.

මෙම ආයතන 11 විසින් මෝටර් සයිකල්, මෝටර් රථ මෙන්ම ලොරි රථ වැනි වාණිජ වාහන එකලස් කිරීමේ කටයුතු දැනටමත් සිදු කරන බවත් සම්මත මෙහෙයුම් පටිපාටියට අනුව ඔවුන් වාහන එකලස් කිරීමේදී එකතු කරනු ලබන දේශීය උපාංග ප්‍රමාණය අනුව 20% සිට ඉහළට බදු සහන ලැබෙන බව පැවසූ අමාත්‍යවරයා, වාහන එකලස් කිරීමේ දී දේශීය උපාංග යොදා ගැනීමේ ප්‍රතිශතය ඉහළ යන විට ලැබෙන බදු සහන ද ඉහළ යන බැවින් ඉදිරියේදී මෙම නිශ්චිත රාජ්‍ය ප්‍රතිපත්තිය බල ගැන්වීමෙන් ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ වාහන නිපදවෙනු ඇතැයි ද විශ්වාසය පළ කළේය ෴

******************************************

අපිට නාමල් එක්ක වැඩ කරන්න බෑ – ආණ්ඩු පක්ෂ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් තීරණය කරයි

(09.09.2021 – 20:24 +0530 – lankaleadnews.com)

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා යටතේ අධීක්ෂණ මන්ත්‍රී ධූර බාර නොගැනීමට ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම තීන්දු කර ඇති බව වාර්තා වේ.

මන්ත්‍රීවරුන් 7 දෙනෙක් පමණ ප්‍රමාණයක් මේ වන විට මෙම තීරණය ගෙන ඇති අතර එය තවත් ඉහළ යා හැකි බවයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් වාර්තා කරන්නේ.

ඒ අනුව අදාළ අධීක්ෂණ මන්ත්‍රී ධූර ප්‍රතික්ෂේප කිරීමට ඔවුන් සැලසුම් කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් ෴

******************************************

මව මරා දමලයි පැටව් අල්ලන්නෙ – මිනිස්සු තිරිසනුන් වූ අලි ජාවාරම

(10.09.2021 – 00:48 +0530 – truenews.lk)

මේ වන විට බොහෝ නිලධාරීන් සිය ධූර වලින් ඉවත් වෙමින් සිටිති. මේ වන විට කතාබහට ලක් වන්නේ සත්වඋද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙන් ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය ඉල්ලා අස්වීමයි. තමන්ගේ ඉල්ලා අස්වීම ගැන ඇය පවසන්නේ පෞද්ගලික හේතුවක් බවය. ධූරවලින් ඉවත්වන බොහෝමයක් දෙනාගේ පොදු නිර්ණායකයක් බවට ‘පුද්ගලික කාරණාවක්’ යන වචනය දැක්විය හැකිය. නිල වශයෙන් මෙය වලංගු වුවත් මෙකි වචනයෙන් කියවෙන, මෙන්ම නොකියවෙන දේද බොහෝමයකි. කෙසේ වෙතත් ඇය නැවත TNL නාලිකාවේ පරිපාලන කටයුතු වලට මැදිහත්වීමට තීරණය කර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස ඇය වෙත කර තිබු නියෝගයක් සම්බන්ධයෙන් කනස්සල්ලට පත්ව ඇය සිය ධුරයෙන් ඉවත්ව ඇති බව ද පැවසේ. එම නියෝගය වන්නේ පසුගිය කාලයේ සිදු කළ විමර්ශනවලින් පසුව අධිකරණයේ නඩු පවරා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව භාරයේ නඩු භාණ්ඩ ලෙස රඳවා සිටින හීලෑ අලි, ඇතුන් 13 දෙනෙකු මුල් හිමිකරුවන්ට මුදා හැරීමට කරනු ලැබූ නියෝගයයි.

අධිකරණයේ තීරණය ලැබෙන තෙක් මෙම හීලෑ අලි ඇත්තු නඩු භාණ්ඩ ලෙස ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව භාරයේ ඇති පින්නවල හා උඩවලව අලි සංරක්ෂණ මධ්‍යස්ථානවල රඳවා සිටියෝය.

පසුගිය දා අධිකරණයට කරුණු වාර්තා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශයේ අංක එක ස්ථානාධිපතිවරයා මෙම අලි ඇතුන් අතරින් 13 දෙනෙකු මුදා හරින්නැයි ඉල්ලා තිබේ. මෙම ඉල්ලීම නීතිපතිවරයාගේ උපදෙස් හා වනජීවි අමාත්‍යවරයා අගෝස්තු 19 වැනි දා නිකුත් කළ ගැසට් නිවේදනයක් මත පදනම්ව සිදුකර ඇත.

එම ගැසට් නිවේදනය මගින් හීලෑ අලි, ඇතුන් ලියාපදිංචි කිරීම විධිමත් කිරීමට පියවර ගෙන ඇති බවත් මාස 03 ක් අතුළත ලියාපදිංචි කිරීමට නියමකර ඇති බවත් එහිදී අධිකරණය හමුවේ කරුණු දක්වා තිබේ. මෙම ලිපියේ වැදගත්ම කරුණ වන්නේ ‘N.G රාජපක්ෂ’ යනුවෙන් සඳහන් පුද්ගලයාය. අනන්‍යතාවය හෝ සන්නසක් මගින් පවරා දුන් අලි පැටවෙකු යලි එම පුද්ගලයාටම භාර දෙන්නේ ඇයිදැයි යන්න ඉහත කී ලිපියේ සඳහන් නොවේ.

කෙසේ නමුත් එවක ආරක්ෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ සන්තකයේ නීත්‍යානුකූලව සිටි බව පැවසුනු අලි පැටව් දෙදෙනෙකු (2) ඔහු සිය කැමැත්තෙන් පින්නවල අලි අනාථාගාරයට භාර දී ඇතැයි එවක සංචාරක නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පැවසූ බව ඇතැම් මාධ්‍ය 2015 ජනවාරි වාර්තා කර තිබිණි.

ගෝඨාභය රාජපක්ෂ සන්තකයේ සිටි ‘චරිත’ නම් ඇත් පැටවා පින්නවල අලි අනාථාගාරයෙන් නීත්‍යානුකූලව ලබාගෙන ඇති බවත් 2015 ට පෙර ජනාධිපති ධුරය හෙබවූ මහින්ද රාජපක්ෂ සන්නසක් මගින් ‘චාරිකා’ නම් පැටවා ද ඔහුට පවරා ඇති බවත් එම මාධ්‍ය වාර්තාවල දැක්විණි. තමන්ට අලි පැටවුන් නඩත්තු කිරීමට නොහැකි බැවින් යළි රජයට භාර දෙන බව ගෝඨාභය රාජපක්ෂ එවක පැවසූ බව නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක උපුටා දක්වමින් එම වාර්තා පල වී තිබිණි.

කෙසේ වෙතත් අධිකරණ නියෝගයට අනුව වසර 06 ක පමණ කාලයක සිට උඩවලව අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ රඳවා සිටි අලි තුන්දෙනකු (3) පෙරේදා (07) සහ ඊයේ (08) මුල් අයිතිකරුවන්ට ලබා දුන්නේය. පින්නවල අලි සංරක්ෂණාගාරයේ 2015 වසරේ සිට රඳවාගෙන සිටි අලි 4 දෙනෙකු ද පෙරේදා (07) පස්වරුවේ මුල් අයිතිකරුවන් වෙත භාර දුන් අතර රාත්‍රී 11:00 පමණ වන තෙක් එම කටයුතු සිදු වූ බව වාර්තාවේ.

තත්වය මෙසේ වෙද්දී ව්‍යජ ලේඛන භාවිතා කරමින් නීතිවිරෝධී ලෙස ලඟ තබා ගැනීමේ චෝදනා මත වනජීවී භාරයට ගත් අලි පැටවුන් එම චෝදනා ලත් පුද්ගලයන්ටම යළි ලබා දීමේ තීන්දුවට එරෙහි වන්නැයි පරිසරවේදීහු ‘හදවතක් සහ හෘද සාක්ෂියක් සහිත’ ජනතාවගෙන් ඉල්ලා සිටිති. ඔවුන් එසේ ඉල්ලා සිටියේ නීතිවිරෝධී ලෙස අලිපැටවුන් ලඟ තබා ගත් බවට චෝදනා ලත් පුද්ගලයන්ටම එම පැටවුන් යළි ලබා දෙන ලෙස අධිකරණය නියෝග කිරීමත් සමගය.

එහිදී අදහස් දක්වමින් පරිසර නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු සහ නීතිඥවරයෙකු වන ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා පැවසුවේ “විය යුතුව තිබුණේ නඩුවේ දෝෂයක් තිබුණේ නම් නඩුව අහලා ඉවර කරලා, එහෙම නැති නම් නඩුවට විරෝධතාවක් ඉදිරිපත් කරලා, එමගින් නඩුව නිෂ්ප්‍රභ වුණා නම් ඊට පස්සේ එන තීන්දුව අනුව කටයුතු කරන එක. මේ ආකාරයෙන් නඩු ඉවත් කරගෙන කරන දේවල් අපි දකිනවා අධිකරණ ක්‍රියාමාර්ගයට අයුතු බලපෑමක්, නැති නම් අතරමග අත්හිටුවීමක් විදිහට.” යනුවෙනි.

“අපරාධ නඩු විධාන සංග්‍රහයේ 393 වගන්තිය යටතේ නීතිපතිවරයා තමයි රජය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා වෙන්නේ. එතකොට ඒ අය පැමිණිල්ල තවදුරටත් නොගෙන යන්න ඉල්ලීම් කළ විට අධිකරණයට එයින් එහාට යන්න පුළුවන් කමක් නැහැ. අධිකරණය කෙරෙහි පවතින විශ්වාසය පිළිබඳ මට ගැටළුවක් නැහැ. නමුත් එයින් ඔබ්බට ගිය විට මෙහි වගඋත්තර පාර්ශවයන් සහ මේ සඳහා මැදිහත් වුණු රජයේ පාර්ශවයන් විසින් මේ කළ දේ ඉතාම නරක පූර්වාදර්ශයක්. මේවයේ බලපෑම එන්නේ අනාගතයේදී.” යනුවෙන් ද ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා වැඩි දුරටත් මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

දශක කීපයක් පුරා පැවති අලි පැටව් ජාවාරම නැවත්වීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනෙකු සහ පරිසර සංරක්ෂණවේදීන් පසුගිය කාලය පුරා දැඩි කැපවීමකින් කටයුතු කළ බව ඉහත කී අධිකරණ නියෝගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පරිසරවේදී නයනක රන්වැල්ල මහතා පවසයි.

“අලි පැටවුන් අල්ලා ගැනීමේදී භාවිත කරන ක්‍රම පිළිබඳ විශ්‍රාමික විනිසුරු නිමල් එඩ්වර්ඩ් දිසානායක කමිටු වාර්තාවේ සඳහන් වෙනවා. එහි පළමු කාරණාව තමයි මව් ඇතින්නට වෙඩි තබා ඇය මරා දැමීමෙන් පසුව මේ අලි පැටව් ගෙනාවා කියන දේ. දෙවෙනි එක මව් ඇතින්න නිර්වින්දනය කරලා මේ පැටව් රැගෙන ආවා කියන කාරණය. තෙවෙනි දේ තමයි මේ පැටවුන් නිර්වින්දනය කර අල්ලා ගත්තා කියන කාරණය. සිව් වෙනි කාරණය, එය ඉතාම ශෝක ජනක තත්ත්වයක් : උඩවලව ඇත් අතුරු සෙවනෙන් යලි කැලයට මුදා හැරපු අලි පැටව් අල්ලා ගැනීමෙන්. අවසන් කාරණය, වනජීවී නිලධාරීන් දැන හෝ නොදැන ඇත් අතුරු සෙවනට එන අලි පැටවුන් වංචනික ලෙස පුද්ගලික හිමිකරුවන්ට ලබා දීම.” යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසුවේය.

එමෙන්ම මේ ගැන අදහස් දක්වන බොහෝමයක් දෙනා අතරින් කියවෙන්නේ මෙය නීතියේ ආධිපත්‍ය බිඳ වැටීමේ අවදානමක් බවය. අලි පැටවුන් නිදහස් කරදීමට ගත් ක්‍රියාමාර්ගය හමුවේ නීතියේ ආධිපත්‍ය බිඳ වැටීමේ අවදානමක් පවතින බව පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති නීතීඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා පවසයි.

“නඩුවක, නඩු භාණ්ඩයක් මේ විදිහට නිදහස් කරන තත්ත්වයක් ඇති වුණොත් එහෙම කවුරු හරි මූලික අයිතිවාසිකම් නඩුකරයක් පවරලා කිව්වොත්, ‘අහවල් නඩුවේ, නඩු භාණ්ඩයක් වුණු අලි ටික නිදහස් කරලා තියනවා, ඒ නිසා මගේ නඩුවේ නඩු භාණ්ඩ තමයි හෙරොයින්, ඒකත් නිදහස් කරන්න’ කියලා අධිකරණයෙන් ඉල්ලීමක් කරන්න පුළුවන්. නිදහස් නොකළොත් වෙන්නේ මොකක්ද? ඒ මනුස්සයගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා. නීතියේ එක්කෙනෙකුට එක විදිහකටත්, තව කෙනෙකුට තව විදිහකටත් සලකන්න බැහැනේ.”

මේ අතර ඉහත කී ක්‍රියාමාර්ගයට එරෙහිව සියලු පරිසර සහ සත්ව සුබසාධන සංවිධාන සමග තමන් වහන්සේ සිට ගන්නා බව මාධ්‍ය සාකච්ඡාවට එක් වූ ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමි පැවසූහ. “මේ සතුන්ට සිදුවන අසාධාරණය සම්බන්ධයෙන් ගත හැකි, ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්න අපි සූදානම්. මේ අහිංසක සත්තුන්ගේ ජීවිත බේරා ගන්න, එපමණක් නොවෙයි මේ සත්ව පරම්පරාවේම යහපත පිණිස, මේ නීතිය අවභාවිත කරමින් සිදු කරන අයතා, අසාධාරණ, අයුක්ති සහගත අධාර්මික ක්‍රියා වලට එරෙහිව අපි ක්‍රියාත්මක වෙනවා.” යනුවෙන් ‘ජස්ටිස් ෆො ඇනිමල්ස්’ (Justice for Animals) සංවිධානයේ සභාපති ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමි වැඩිදුරටත් සඳහන් කළහ ෴

++++++++

හොරකම් කළ අලි පැටවුන් නිසා සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉල්ලා අස් වෙයි

(10.09.2021 – 07:37 +0530 – lankaleadnews.com)

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය සිය තනතුරින් ඉල්ලා අස්වන බව ජනාධිපතිවරයාට ලිපියකින් දැනුම්දී ඇතැයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක පවසයි.

පෞද්ගලික හේතු මත තමා එම තනතුරින් ඉල්ලා අස්වන බව පවසා ඇති ඇය තනතුරින් මීට පෙරද ඉල්ලා අස්වීමට උත්සාහ දරා තිබිණ. එහෙත් ජනාධිපතිවරයා ඒ අවස්ථාවේදී එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. ඇය ජනාධිපතිවරයා වෙත පක්ෂපාති තැනැත්තියක බව ඇගේ සමාජ මාධ්‍ය ගිනුමේ ප්‍රකාශ අනුව පැහැදිලි වේ. නමුත් මේ වන විට පරිසරවේදින් හා බොහෝ දෙනාගේ විරෝධයට හේතු වී ඇති අලි පැටවුන් සම්බන්ධ ආණ්ඩුවේ අත්තනෝමතික පියවර ඇගේ මෙම හදිසි ඉල්ලා අස්වීමට සම්බන්ධ බව නිරීක්ෂකයන්ගේ මතයයි.

අලි පැටවුන් සොරකම් කර නීති විරෝධී ලෙස ළඟ ලබා ගත් බවට චෝදනා ලැබුවන්ටම එම අලි පැටවුන් නිදහස් කර ලබාදෙන ලෙස පසුගියදා අධිකරණ නියෝගයක් ලබා දී ඇත. මෙම නියෝගයට පදනම් වන නීතිමය තත්වයක් නොමැති වුවද අගමැති මහින්ද රාජපක්ෂගේ සහ වනජීවි ඇමති සී.බී. රත්නායකගේ මැදිහත්වීමෙන් නිකුත් කර ඇති ගැසට් නිවේදනයක් මීට ආවරණය සපයා ඇත.

අධිකරණ නියෝගය අනුව අලි පැටවුන් ඔවුන් සොරකම් කර ලඟ තබා ගෙන සිටි බවට චෝදනා ලැබුවන්ට නැවත භාරදීමට පියවර ගැණිනි. එම ප්‍රශ්නගත අලිපැටවුන් 14 දෙනාගේ භාරකාරීත්වයන් පැරණි හිමිකරුවන්ට ම ලබාදීම සඳහා ලියාපදිංචි කරන ලෙස දන්වමින් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට ද අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර ඇත. මේ තත්වය තුළ එවැනි පියවරක් ගැනීම ප්‍රතික්ෂේප කරමින් ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය ඉල්ලා අස්වීම භාරදුන් බවට ඇතැම් මූලාශ්‍ර පෙන්වා දෙයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *