තෝරා ගත් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නව සීමා

තෝරා ගත් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නව සීමා

*********************************************

තෝරා ගත් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නව සීමා

(09.09.2021 – 16:53 +0530 – hirunews.lk/sinhala)

අත්‍යවශ්‍ය හෝ හදිසි නොවන භාණ්ඩ 623 ක් ආනයනය කිරීම සඳහා වාණිජ බැංකු මගින් ණයවර ලිපි සහ ප්‍රතිග්‍රහණය මත ලියවිලි නිකුත් කිරීමේදී සියයට සියයක (100%) ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් වහාම ක්‍රියාත්මක වන පරිදි පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.

ඊයේ (08) පැවති මහ බැංකු මූල්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම තීරණයට එළඹුණු බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

අධික ආනයන අධෛර්යමත් කිරීම මගින් විනිමය අනුපාතිකයේ ස්ථාවරභාවය සහ විදේශ මුදල් වෙළඳපොල ද්‍රවශීලතාව රැකගැනීම මෙහි අරමුණ බව මහබැංකුව සඳහන් කළා.

මේ යටතේ ජංගම දුරකථන, විදුලි පංකා, රූපවාහිනී, ශීතකරණ, රෙදිපිලි හා උපාංග, වායු සමීකරණ, චොකලට්, ඇපල්, මිදි, දොඩම්, මෝල්ට්, චීස්, බටර් වැනි භාණ්ඩ 623 ක් අත්‍යවශ්‍ය හෝ හදිසි නොවන භාණ්ඩ ලෙස මහබැංකුව මගින් දක්වා තිබෙනවා.

එමෙන්ම මෙම නව කොන්දේසි යටතේ හදිසි නොවන සහ අත්‍යවශ්‍ය නොවන ස්වභාවයේ තෝරාගත් භාණ්ඩ ආනයනය කිරීම සඳහා ණය පහසුකම් ලබාදීමෙන් වළකින් ලෙසත් ශ්‍රී ලංකා මහබැංකුව විසින් සියලු බලපත්‍ර ලාභී වාණිජ බැංකුවලට සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවට කෝන්දේසි පනවා තිබෙනවා.

මෙම කොන්දේසි පැනවීමේ මූලික පරමාර්ථය වන්නේ හදිසි නොවන සහ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය අධෛර්යමත් කිරීම හරහා විදේශ විනිමය අනුපාතිකය ස්ථාවරව තබා ගැනීමයි.

මෙම ලැයිස්තුගත භාණ්ඩ ආනයනලය සඳහා 2019 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් මිලියන 1057.9 ක් වැයවී ඇති අතර 2020 වසරේදී ඒ සඳහා වැයකර ඇති ඇමරිකානු ඩොලර් මිලියන ප්‍රමාණය 871.2 ක්.

එමෙන්ම මෙම වසරේ ජුලි අග භාගය දක්වා මෙම තෝරාගත් භාණ්ඩ ආනනයක සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 753.4 ක් වැයකර තිබෙනවා.

සම්පුර්ණ ලිපිය (pdf)

+ ————–

මේ අතර, කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින ණය ගනුදෙනුකරුවන්ට මින් පෙර ලබා දී තිබූ ණය සහනය දෙසැම්බර් මස 31 වනදා දක්වා දීර්ඝ කිරීමට සලකා බලන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකු වෙතින් ඉල්ලීමක් කරනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ විශේෂිත බැංකු වෙත දැනුම් දී තිබෙන්නේ ණය සහනය දීර්ඝ කිරීමෙන් ගනුදෙනුකරුවන්ට ලබන වසරේ ජනවාරි මාසයේ සිට ණය ගෙවීම් ක්‍රමානුකූලව සිදුකරගෙන යෑමට සහන කාලය උපකාරී වනු ඇති බවයි.

ණය සහනය සඳහා සුදුසකම් ලැබූ ගනුදෙනුකරුවන්ට මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුවේ ක්ෂණික දුරකත ඇමතුම් අංක 1935 ඔස්සේ සම්බන්ධ වීමෙන් ලබා ගත හැකියි.

මහ බැංකුව බලපත්‍රලාභී බැංකු වෙත දැනුම් දී ඇත්තේ දැනට පවතින සංචරණ සීමා හේතුවෙන් ගනුදෙනුකරුවන් විසින් ණය ආපසු ගෙවීමේ දිනය උපරිම දින 15 ක් දක්වා කල් දැමීමට කරන ඕනෑම ඉල්ලීමක් සලකා බලන ලෙසයි.

එවැනි ප්‍රමාදයන් සඳහා බලපත්‍රලාභී බැංකු විසින් කිසිදු අමතර පොලියක් හෝ වෙනත් ගාස්තු අය නොකළ යුතු බවද මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එම නිවේදනය (pdf)

******************************************

(09.09.2021 – 13:08 +0530 – hirunews.lk/sinhala)

පසුගියදා බේරුවල මුහුදු තීරයේදී රුපියල් කෝටි 300 කට අධික වටිනාකමකින් යුත් මත්කුඩු තොගයක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු ලෙස ‘බොබ් මාලි’ යන අන්වර්ථ නාමය සහිත ‘චමින්ද තාබෲ’ නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් ඇල්පිටිය ප්‍රදේශයේදී මොහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය අගෝස්තු 31 වැනිදා රාජ්‍ය බුද්ධි අංශය, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදුකළ වැටලීමකදී රුපියල් කෝටි 300 කට අධික මත්ද්‍රව්‍ය තොගය සමඟ සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

එම සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු ලෙස ‘බොබ් මාලි’ හෙවත් ‘චමින්ද තාබෲ’ නැමැත්තා හඳුනාගෙන තිබුණා.

******************************************

(09.09.2021 – 13:59 +0530 – hirunews.lk/sinhala)

එළවළු අස්වනු සඳහා නිසි මිලක් නොමැතිවීමෙන් සහ අලෙවි කිරීමේ නිසි වැඩපිළිවෙළක් නොමැතිවීමෙන් තඹුත්තේගම එළවලු ගොවීන් මේ වන විට දැඩි දුෂ්කරතාවට පත්ව සිටිනවා.

ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තම අස්වනු සඳහා නිසි මිලක් ලබාදීමට කඩිනමින් කටයුතු කළ යුතු බවයි.

තඹුත්තේගම කලුන්දෑගම ප්‍රදේශයේ බණ්ඩක්කා සහ කැකිරි වගා කර ඇති ආකාරයයි මේ.

නමුත් මෙම අස්වනු සඳහා නිසි මිලක් නොමැතිවීමෙන් හා විකුණාගැනීමට නිසි වැඩපිළිවෙලක් නොමැතිවීමෙන් එම එළවලු ගොවීන් මේ වන විට දැඩි දුෂ්කරතාවට පත්ව සිටිනවා.

ගොවීන් පවසන්නේ පොහොර හා කෘෂි රසායන ද්‍රව්‍ය හිඟය මධ්‍යයේ ණය වී විශාල මුදලක් වැය කර දහසකුත් එකක් බලාපොරොත්තු තබා ගනිමින් සිදුකළ වගාවන්ගේ අස්වනු සඳහා ආර්ථික මධ්‍යස්ථාවලින් නිසි මිලක් නොලැබීමෙන් ඔවුන් මේ වන විට පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකට බවයි.

******************************************

(09.09.2021 – 14:08 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා පිහිටි ඓතිහාසික වැව් ඇතුළු මහා පරිමාණ වාර්මාර්ග සංවර්ධනය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමේ දී, ඒවා වාරිමාර්ග අමාත්‍යාංශයේ අනුමැතියට ලක් විය යුතු බව වාර්මාර්ග අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ඒ සඳහා පාර්ශව කිහිපයකින් යුත් කමිටුවක නිර්දේශ ලබාගත යුතු බවයි වාරිමාර්ග අමාත්‍යාංශය විසින් වාරිමාර්ග දෙපාර්තමේන්තු හා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරුන්ට දන්වා සිටින්නේ.

මෙම කමිටුවට අදාළ බල ප්‍රදේශවල ආගමික, සංස්කෘතික, ගොවි, ධීවර, පුරාවිද්‍යා, පරිසර, වන සංරක්ෂණ, වනජීවී හා දිස්ත්‍රික් සංවර්ධන කමිටුව යන ක්ෂේත්‍රයන් ඇතුළත් ෴

******************************************

(09.09.2021 – 14:12 +0530 – hirunews.lk/sinhala)

ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් ඉඩම් කොටස් 200 කට අධික ප්‍රමාණයක් අයථා ලෙස බදු දීම සහ අනවසරයෙන් අල්ලා ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂා කොට වාර්තාවක් ලබාදීම සඳහා කමිටුවක් පත්කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

ඉඩම් අක්කර ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් නීත්‍යනුකූල නො වන ආකාරයෙන් මෙලෙස බැහැර කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ අද (09) පැවති සාකච්ඡාවක දී අනාවරණ වී ඇත්තේ.

එසේම, අදාළ ඉඩම්වලින් රුපියල් 40,000 කට අඩු මුදලක් බදු ලෙස හිමිවන බවත්, එබැවින් රජයට හිමිවිය යුතු අති විශාල මුදලක් අහිමිව යන බවත්, එම සාකච්ඡාවේ දී හෙලි වී තිබෙනවා.

ඒ අනුව යි මේ සම්බන්ධයෙන් පරීක්ෂා කොට මාසයක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා පූර්ණ බලැති කමිටුවක් පත් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත්තේ ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

අවුරුදු 60 ඉක්මවූවන්ට 03 වන මාත්‍රාවත් දෙන්න – ෆයිසර් දරුවන්ට වෙන් කරන්න යෝජනා

(09.09.2021 – 12:59 +0530 – hirunews.lk/sinhala)

සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම (2) ලබාගත් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට තුන්වන (3) මාත්‍රාවක් ලෙස ඇස්ට්‍රාසෙනෙකා, ෆයිසර් හෝ මොඩර්නා ලබාදිය යුතු බවට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය යෝජනා කරනවා.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයින්ට වූවද ඇතැම්විට කොරෝනා ආසාදනය වී ඉන් සුළුතරයකට බරපතල රෝගබාධ ඇති වීමේ සම්භාවිතාවක් ඇති බව වෛද්‍ය විද්‍යාත්මක අධ්‍යනවලින් හෙලි වී ඇති බවයි.

ඔවුන් පෙන්වා දෙන්නේ බහරේන්හි කළ පර්යේෂණයකට අනුව වයස අවුරුදු 50 ට වැඩි පුද්ගලයින්ට සයිනොෆාම් එන්නත ලබාදුන් විට එන්නත් නොකළ අයට සාපේක්ෂව මරණ සහ දරුණු රෝග ඇති වීම අවම වූ නමුත්, ෆයිසර්, මොඩර්නා, ස්පුට්නික් සහ ඇස්ට්‍රාසෙනෙකා එන්නත්වලට සාපේක්ෂව මරණ අනුපාතය හා රෝහල් ගත වීම තරමක් ඉහළ බවයි.

එබැවින් සයිනොෆාම් එන්නතේ මාත්‍රා දෙකම (2) ලබාගත් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට සහ දුර්වල ප්‍රතිශක්තීකරණ පද්ධතියක් ඇති පුද්ගලයින්ට තුන්වන (3) මාත්‍රාවක් ලෙස ඇස්ට්‍රාසෙනෙකා, ෆයිසර් හෝ මොඩර්නා එන්නත් ලබා දීමට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය යෝජනා කරනවා.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (08) පස්වරැවේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සමඟ සාකච්ඡාවක නිරත වුණා.

එහිදී ඔවුන් ඉල්ලා ඇත්තේ වයස අවුරුදු 12 ත් – 18 ත් අතර වයස් කාණ්ඩයට ෆයිසර් එන්නත ලබා දෙන ලෙසයි.

මේ අතර ගැබ් ගැනීම වසරකින් ප්‍රමාද කරන ලෙස ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය ඊයේ (08) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඉල්ලීමක් කළා.

කෙසේ වෙතත් එය සෞඛ්‍ය අමාත්‍යංශයේ මතය නොවන බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද (09) සඳහන් කළේ.

මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ ගෙවුණු දිනයේදී පළමු (1) සහ දෙවැනි (2) මාත්‍රා වශයෙන් ලබා දුන් එන්නත් මාත්‍රා ප්‍රමාණය 4,29,099 ක්.

ඒ අනුව පළමු (1) මාත්‍රාව වශයෙන් එන්නත් මාත්‍රා 1,68,095 ක් ලබා දී ඇති අතර දෙවැනි (2) මාත්‍රාව වශයෙන් ලබාදුන් එන්නත් මාත්‍රා ප්‍රමාණය 2,61,004 ක්.

ඒ අනුව දෙවැනි (2) මාත්‍රාව ලබා ගෙන ඇති පුද්ගලයින් සංඛයාව 99,94,589 ක්.

ගෙවුණු දිනයේ ආසාදිතයින් 2,917 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 02 දෙනෙක් විදේශගතව සිට පැමිණි පුද්ගලයින්.

ඒ සමඟ මෙරට සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 74,122 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වන්නේ 4,74,780 ක් ලෙසයි.

පසුගිය 07 වැනිදා සිදුවූ කොරෝනා මරණ 185 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (08) තහවුරු කළා.

ඒ සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 10,689 ක් දක්වා ඉහළ ගියා.

එසේම කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා අඩු පිරිවැයක පරික්ෂණ කට්ටලයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කණ්ඩායමක් විසින් නිර්මාණය කර තිබෙනවා.

ඒ අනුව රුපියල් 1500 ක පමණ මුදලකින් කොරෝනා පරීක්ෂණ සිදු කර ගත හැකියි.

මේ සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය ද ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

(09.09.2021 – 12:38 +0530 – hirunews.lk/sinhala)

සීග්‍ර සම්ප්‍රේෂණයක් සහිත ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය පූර්ණ එන්නත්කරණය ලද පුද්ගලයෙකුට වූවද ආසාදනය වීමේ හැකියාවක් පවතින බව ලොව පුරා විද්‍යාඥයින් රැසක් මේ වනවිට අනාවරණය කරගෙන අවසන්.

ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය මුල්වරට පසුගිය 2020 වසර අගභාගයේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් සොයා ගැනුණා.

ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳව සිදුකළ නවතම පර්යේෂණාත්මක අධ්‍යයනයක තොරතුරු ‘නේචර්’ සඟරාවේ පළකර තිබෙනවා.

එමඟින් ඩෙල්ටා ප්‍රභේදයට මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මග හැරීමේ හැකියාව නැවතත් අවධාරණය කරනු ලැබුවා.

එහි දැක්වෙන පරිදි චීනයේ වූහාන් නුවරින් සොයාගත් ප්‍රථම කොරෝනා ප්‍රභේදයට සාපේක්ෂව ඩෙල්ටා ප්‍රභේදය, එන්නත්කරණයෙන් ඇතිවන ප්‍රතිදේහවලට දක්වන්නේ අට (8) ගුණයකින් අඩු සංවේදීතාවක්.

එම වාර්තාව උපුටා දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේ ඩෙල්ටා කොරෝනා ප්‍රභේදයට එලෙස ප්‍රතිශක්තිකරණ පද්ධතිය මග හැරීමේ ඉහළ හැකියාවක් පවතින බවයි.

එබැවින් එන්නත්කරණයෙන් පසුවද කොරෝනා ආසාදනය වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමේ වැදගත්කම ඔහු පෙන්වා දෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *