රටේ ණය වගේ තුන් ගුණයක ධනස්කන්ධයක් මන්නාරම් මුහුදේ – බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල

රටේ ණය වගේ තුන් ගුණයක ධනස්කන්ධයක් මන්නාරම් මුහුදේ – බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල

*********************************************

රටේ ණය වගේ තුන් ගුණයක ධනස්කන්ධයක් මන්නාරම් මුහුදේ – බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල

(07.09.2021 – 18:49 +0530 – hirunews.lk/sinhala)

මන්නාරම් ද්‍රෝණියේ සැඟවී ඇති වටිනා තෙල් සහ ගෑස් සම්පත තුළින් රටේ ණය මෙන් තුන් (3) ගුණයක ආදායමක් ඉපදිය හැකි බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේදී අද (07) පැවති බලශක්ති අමාත්‍යංශ උපදේශක කාරක සභාවේදීයි.

ඇමරිකානු ඩොලර් බිලියන 267 ක් වටිනා එම තෙල් සහ ගෑස් සම්පත හරියාකාරව කළමනාකරණය කරගතහොත් එම ආදායමෙන්ම පමණක් රටේ සමස්ත ණය ගෙවා දමා ඉදිරි ආර්ථිකය සවිමත් කළ හැකි බව ඔහු පවසනවා.

මෙම තෙල් සහ ගෑස් කැණීම් සිදු කරන ආයෝජකයන්ට 50% ක් ලබා දුන්නද රජයට අමෙරිකානු ඩොලර් බිලියන 133.5 ක් හිමිවන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

එම මුදල පමනක් රටේ සමස්ත ණය වටිනාකම වන ඇමරිකානු ඩොලර් බිලියන 47 මෙන් තුන් (3) ගුණයකට ආසන්න බවත් අමාත්‍යවරයා පැවසුවා.

එමෙන්ම මන්නාරම් ද්‍රෝණියේ ඇති ගෑස්වලින් පමණක් නොරොච්චෝලේ බලාගාරය වසර 120 ක් ක්‍රියා කළ හැකි බවත් එහි ඇති තෙල්වලින් පමණක් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසර 143 ක් ක්‍රියාත්මක කළ හැකි බවත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මෙහිදී කියා සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ මෙරට ඛනිජ තෙල් ගවේශනය සදහා පසුගිය කාලයේ ලොව දැවැන්ත සමාගම් විවිධ හේතුන් මත ඉදිරිපත් නොවූ බවයි.

“මීට පෙර මේ සම්බන්ධව තීන්දු තීරණ ගැනීමට සිටි නිලධාරීන්ට විෂය සම්බන්ධව තිබු අවබෝධය අඩු නිසා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය පිහිටුවීම හරහා විෂය සම්බන්ධ ප්‍රවීණයන්ට මෙම කාර්ය භාර දීමට අපි කටයුතු කළා. එසේම බලපත්‍ර නිකුත් කිරීමේ නියාමන බලය සම්පූර්ණයෙන්ම අමාත්‍යවරයා වෙත කේන්ද්‍රගතව පැවති බැවින් අමාත්‍යවරයා වෙනස් වීමේදී සියලු කටයුතු අඩාල වීම ඉතිහාසයේ සිදුව තිබුණා. මේ නිසා අමාත්‍යවරයා සතුව තිබු සියලු බලතල මෙම අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පවරා එතෙක් පැවති සාම්ප්‍රදායික කැණීම් සිතියම වෙනුවට නවීන සිතියමක් ගවේශන කටයුතු සදහා සකස් කළා” යනුවෙන්ද අමාත්‍යවරයා පැවසුවා.

එසේම ඩොලර් බිලියන ගණනක් ආ‍යෝජනය කෙරෙන මෙම විශාල කර්මාන්තයට ශක්තිමත් නීති රාමුවක් හදුන්වා දීමත්, අමාත්‍යවරයාට උපදෙස් ලබා දීමට විශේෂ කමිටුවක් පත් කිරීමත් මෙම පනත හරහා සිදුවන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

සාමාන්‍යයෙන් ලෝක සම්මතය අනුව තෙල් හා ගෑස් ගවේශනයේදී ළිං 7 ක් කැණිමේදී එකක් සාර්ථක වීම සිදුවන බවත් නෝර්වේ රජයට පළමු සාර්ථක වීම සදහා ළිං 31 ක් කැණීමට සිදුවූ බවත් පැවසූ අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ කැණීම් කරන ලද ළිං 4 අතුරින් 3 කම සාර්ථක වීම ඉතා යහපත් තත්ත්වයක් බවයි.

******************************************

පන්නිපිටියෙ අලි රොෂාන්ගේ අලියාත් නිදහස් කරන්න කියලා

(07.09.2021 – 17:49 +0530 – hirunews.lk/sinhala)

අලියෙකු ලඟ තබාගෙන ඇතිදඩි කිරීමට පිළිගත හැකි නීත්‍යානුකූල බලපත්‍ර ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම, අනන්‍යතාව තහවුරු කිරීමට නොහැකි වීම සහ අනෙක් නෛතික කරුණු හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අවස්ථා ගණනාවක දී සිය භාරයට ගත් අලි ඇතුන් 13 දෙනකු නිදහස් කර මුල් අයිතිකරුවන්ට භාර දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව නිසි ලියාපදිංචි ලේඛන නොමැතිවීම හේතුවෙන් අවස්ථා ගණනාවකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අනෙකුත් බලලත් අධිකාරින් විසින් අත්අඩංගුවට ගෙන සිය භාරයට පවරා ගත් අලි ඇතුන් මෙලෙස නිදහස් කෙරෙනු ඇති.

මෙලෙස නිදහස් කෙරෙන ලයිස්තුවේ මහත් ආන්දෝලනයට ලක්වූ කොළඹ 7 ශ්‍රී සම්බෝධි විහාරයට අයත් බව පැවසුනු අලි පැටවුන් දෙදෙනා (2) සහ පන්නිපිටිය අලි රොෂාන් හෙවත් එස්.එන්. රොෂාන්ට අයත් අලි පැටවා ද නිදහස් කරන ලෙස මෙම නියෝගයේ සඳහන්.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කරනු ලද සම්පූර්න නියෝගය පහතින් :

******************************************

(07.09.2021 – 18:00 +0530 – hirunews.lk/sinhala)

මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වුවොත් පුරප්පාඩු වන මන්ත්‍රීධූරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා නැවතත් පත්කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වූ ජයන්ත කැටගොඩ මහතා එම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වූයේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුව තුළට පිවිසීමට අවශ්‍ය ඉඩකඩ සලසා දීම සඳහායි.

කෙසේ වෙතත් මේ වන විට මුදල් රාජ්‍ය අමාත්‍ය ධූරය දරන අජිත් නිවාඩ් කබ්රාල් මහතා ද එම ධූරයෙන් සහ මන්ත්‍රී ධූරයෙන්ද ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවට වන වාර්තා පල වනවා.

ඒ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධූරය භාර ගන්නා ලෙස රජයේ ඉහළ පාර්ශව විසින් කෙරුණු ඉල්ලීමක් මතයි.

මේ වන විට ශ්‍රී ලංකා මහ බැංකුවේ මහබැංකු අධිපති ධූරය දරන ආචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ තනතුරකට පත් වීමට නියමිත බවටත් වාර්ථා වනවා.

කෙසේ වෙතත් පලවන වාර්තා සම්බන්ධයෙන් අප මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ගෙන් විමසා සිටි විට ඔහු කියා සිටියේ තමන් සම්බන්ධයෙන් පළ වන එම වාර්ථා දෙකම (2) ප්‍රතික්ෂේප නොකරන බවයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය දරන සමයේදීත් මහබැංකු අධිපති ලෙස කටයුතු කළා.

එම කාලසීමාව තුළදී මෙරට ආර්ථිකයට ඩොලර් මිලියන 6.6 පාඩුවක් සිදුකල ‘ග්‍රීක බැඳුම්කර’ සිද්ධිය සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාව වෙනුවෙන් ඇති කරගත් මතභේදාත්මක ‘හෙජින් ගිවිසුම’ සම්බන්ධයෙන් දැඩි කතා බහට ලක් වූ චරිතයක්.

******************************************

(07.09.2021 – 20:36 +0530 – hirunews.lk/sinhala)

මහජන ආරක්ෂක ආඥා පනතේ 5 වන වගන්තිය ප්‍රකාරව දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදීමේ පූර්ණ බලතල අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට පවතින බව ජනාධිපති ලේකම්වරයා ප්‍රකාශ කළා.

වී, සහල්, සීනි ඇතුලු අනෙකුත් පාරිභෝගික ද්‍රව්‍ය බෙදාහැරීම සඳහායි ජනාධිපතිවරයා විසින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට බලය පවරා ඇත්තේ.

අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන බවට නිසැකවම වග බලාගැනීමට මහජන ආරක්ෂක ආඥා පනතේ 5 වන වගන්තිය ප්‍රකාරව පත්කල නිසි බලධරයන්, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් ලබා දෙන විධානයන් පිලිපැදීම අවස්ථානෝචිත පරිදි සිදු කල යුතු කාර්යයක් වන බවයි ජනාධිපති ලේකම්වරයා සඳහන් කරන්නේ.

ඒ අනුව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබාදිය නොහැකි බවට විපක්ෂය පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශ වැරදි සහගත බවද ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේ යැයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අගෝස්තු 30 වැනිදා නිකුත් කළ මහජන ආරක්ෂක ආඥා පනතේ පස්වන වගන්තිය යටතේ වන රෙගුලාසි ඊයේ පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

අදාළ ගැසට් නිවේදනය මගින් සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග සැඟවීම, බෙදාහැරීම අඩපණ කිරීම, අධික මිල ගණන් අය කිරීම සහ පාරිභෝගිකයින් අපහසුතාවයට පත්වන වෙළඳපල අක්‍රමිකතා ඇති කිරීම වැළැක්වීම අරමුණු කරන බව එම ගැසට් නිවේදනයේ අවධාරණය කර තිබෙනවා.

ඊට අදාළ නියෝග මගින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු හෝ සහකාර කොමසාරිස්වරයෙකු වෙතද කාර්යයන් පැවරිය හැකියි.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ලබාදෙන සෑම විධානයක්ම අවස්ථාවට උචිත පරිදි පිළිපැදීම අදාළ නිලධාරීන්ගේ කාර්යයයි.

පෞද්ගලික ආහාර ගබඩා පරිශ්‍ර, වී ගබඩා සහල් මෝල් යනාදී ස්ථානවල තිබෙන අත්‍යවශ්‍ය ආහාර තොග නිසි පරිදි ජනතාව වෙත ලබාදීමට අදාළ රාජ්‍ය මැදිහත්වීම සම්බන්ධයෙන්ද ගැසට් නිවේදනයේ වැඩිදුරටත් කරුණු දැක්වෙනවා.

ඒ අනුව නිකුත් කර ඇති නියෝග යටතේ වරදක් සිදුකළ බවට සඳහන් වන අවස්ථාවකදී අදාළ ප්‍රදේශයේ පොලිස් අධිකාරීවරයා විසින් එම පරිශ්‍රය තම සන්තකයට ගෙන එම ස්ථානය ආරක්ෂා කළ යුතුයි.

එහි හිමිකරුට පරිශ්‍රය නිදහස් කර ගැනීම සඳහා අභියාචනාධිකරණය වෙත යෑමටද අවස්ථාව මෙම රෙගුලාසිවලින් ලබාදී තිබෙනවා.

අත්‍යවශ්‍ය සැපයීම් සහ සේවා පවත්වාගෙන යෑමේදී අදාළ ද්‍රව්‍ය ප්‍රවාහනය කරන වාහන අධිග්‍රහණය කිරීම යෝග්‍ය යැයි නිසි බලධරයෙකුට අදහස් වුවහොත් ඒ සඳහාද අවසර හිමිවන අතර, රජයේ සහතික මිලට හෝ රේගුවේ සඳහන් මිල පදනම් කරගෙන එම තොග පාරිභෝගික ජනතාවට සාධාරණව ලබාදිය යුතුයි.

මෙම නියෝග යම් තැනැත්තෙකු විසින් කඩ කරන හෝ පැහැර හරින අවස්ථාවක ඔහු නඩු විභාගයකින් වරදකරු වුවහොත් අධිකරණ දඬුවමට අමතරව අදාළ තැනැත්තාගේ චංචල හෝ නිශ්චල සියලු දේපළ බැඳීම්වලින් නිදහස්ව රාජසන්තක කරනු ලබන බවද එම නියෝගවල දැක්වෙනවා.

මේ අතර පිටකොටුව අවට සහල් ගබඩා වල සඟවා තිබු සහ වැඩි මිළට අලෙවි කළ සහල් කිලෝ ග්‍රෑමි 14,000 ක් පාලන මිලට එම වෙළදුන්ගෙන් මිළදි ගෙන සතොසට ලබා දිමට අද (07) කටයුතු කෙරුණා.

******************************************

(07.09.2021 – 20:40 +0530 – hirunews.lk/sinhala)

හික්කඩුව පතන ප්‍රදේශයේ පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයකදී ගෙළ වැලලාගෙන දිවි හානිකරගත් ළමයාගේ මරණය වැළැක්වීමට උත්සාහ නොකිරිම සහ ගෙල වැලලා ගෙන දිවි හානි කර ගැනීමට බලපෑම් කිරිම සම්බන්ධයෙන් එහි සිටි 16 හැවිරිදි තවත් ළමයෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඔහු ලබන 13 වැනිදා දක්වා කිතුලම්පිටිය පරිවාස නිවාසයේ රඳවා තැබීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ.

සැකකාර ළමයා මානසික වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගන්නා ලෙසටද අධිකරණය වැඩිදුරටත් නියෝග කර තිබෙනවා.

පසුගිය සතියේ සැකකාර ළමයා සමඟ එකම කාමරයේ සිටි 14 හැවිරිදි ළමයෙකු එම කාමරයේම ගෙළ වැළලාගෙන සියදිවි නසාගෙන තිබුණා.

සැකකාර ළමයා මියගිය ළමයාට පහරදීම් සිදුකර ඇති බවද සී.සී.ටී.වී. දර්ශනවලින් පැහැදිලි වී තිබෙනවා.

මියගිය ළමයා අපස්මාර රෝගය සඳහාත් සැකකාර ළමයා මානසික රෝගයක් සඳහාත් ඖෂධ ලබාගන්නා බව අනාවරණ වී ඇතැයි පොලිසිය අධිකරණයට දන්වා තිබුණා ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

(07.09.2021 – 18:56 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (06) සිදුවූ තවත් කොරෝනා මරණ 184 ක් අද (07) දිනයේ වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙරට සිදුවූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 10,504 ක් ලෙසයි.

මරණ පිළිබඳව විස්තර පහතින් :

අද (07) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 1,137 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව අද (07) දිනට මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2960 ක්.

එසේම ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ද ඒ අනුව 4,71,859 ක් දක්වා ඉහලගොස් තිබෙනවා.

මෙරට රෝහල්ගතව හෝ නිවෙස්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව මේ වනවිට 73,261 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *