ප්‍රවීණ සංගීතඥ ජිප්සීස් නායක සුනිල් පෙරේරා දිවි ගමනට සමුදෙයි
*********************************************
ප්‍රවීණ සංගීතඥ ජිප්සීස් නායක සුනිල් පෙරේරා දිවි ගමනට සමුදෙයි
(06.09.2021 – 05:36 +0530 – hirunews.lk/sinhala)
= ‘සුනිල් පෙරේරා 1952-2021’ කණ්ඩායම් සංගීතයේ අනභිභවනීය නියමුවාණෙනි ඔබට සුභ ගමන් =
‘අයිවෝ සිල්වෙස්ටර් සුනිල් පෙරේරා’ මෙලොව එළිය දකින්නේ 1952 වසරේ සැප්තැම්බර් 14 වන දින මොරටුවේදි යි.
හිටපු යුධ හමුදා නිලධාරියෙකු සහ රජයේ තැපැල් දෙපාර්තමේන්තුවේ ලිපිකරුවකු වන ඇන්ටන් පෙරේරා සුනිල් පෙරේරාගේ පියාණන් වූ අතර ඩොරීන් පෙරේරා ඔහුගේ මව යි.
සොයුරු සොයුරියන් දහ දෙනකු (10) ගෙන් යුත් පවුලක දෙවැනියා (2) ලෙස උපත ලබන සුනිල් පාසලේ හතර (4) වෙනි පන්තිය දක්වා අධ්‍යාපනය ලබන්නේ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන්.
ඉන් අන්තුරු ව ඔහු උසස් අධ්‍යාපනය සඳහා කොළඹ ශාන්ත පීතර විද්‍යාලයට ඇතුළත් වෙනවා.
කුඩා කල සිට සංගීතයට ඇලුම් කරන සුනිල් ගිටාර් වාදනය ආරම්භ කරන්නේ වයස අවුරුදු එකොළහේදි (11) යි.
ඔහු ප්‍රවීණ ගිටාර් වාදකයින් වන වින්සන් ජයවර්ධන සහ ජෝර්ජ් ෆර්ඩිනැන්ඩු යටතේ සිය හැකියාවන් ඔපමට්ටම් කර ගන්නවා.
1969 වර්ෂයේ දී පාසලෙන් ඉවත් වූ සැනින් සිය පියාණන් ආරම්භ කළේ ‘ජිප්සීස්’ සංගීත කණ්ඩායම හරහා කණ්ඩායම් සංගීතයට යොමු වෙනවා. ගායකයෙකු, වාදකයෙකු, ගීත රචකයෙකු සහ සංගීතඥයෙකු ලෙස පසු ව ඔහු ප්‍රකට වුණා.
ඔහු නව ආරකින් මෙරට සංගීත ක්ෂේත්රය ආක්රමනය කිරීමට පටන් ගන්නේ සිය සොයුරු පියල්, නිහාල්, ලාල්, නිමල් සහ සිය ඥාති සහෝදරයන් කීපදෙනෙක් සමඟ සංගීත ක්ෂේත්රයට පිවිසීමත් සමඟ යි.
එතෙක් යල් පැනගිය, සාම්ප්‍රදායික ගමන් මඟක යමින් තිබූ මෙරට කන්ඩායම් සංගීතය ජිප්සීස් සංගීත කණ්ඩායමේ ආගමනයත් සමග උඩුයටිකුරු වෙනවා.
මෙරට සුවහසක් සංගීත රසිකයන් අතර අදටත් එක සේ අතිශය ජනප්‍රිය වේග රිද්ම ගීත රැසක් සුනිල් පෙරේරාගේ ගැඹුරු හඬින් සංගීත රසිකයින්ට පිරිනැමුණා.
ලිඳ ළඟ සංගමය, කුරුමිට්ටෝ, අම්මා අම්මා, තාත්ත මට ඇනපු ටොක්ක, අංකල් ජොන්සන්, මල්ලිකා, ලුණු දෙහි, ජිප්සීස් සංගීත කණ්ඩායමේ මුල් කාලයේ දී අතිශය ජනප්‍රිය වූ සංගීත නිර්මාණ යි.
1970 දශකයේ සුනිල් පෙරේරා සිය සොහොයුරු පියල් සමඟ නිර්මාණය කළ ‘ලිඳ ළඟ සංගමය’, ‘අම්මා අම්මා මේ මට’ ඉතා ජනප්‍රිය වූ අතර, අසූව දශකයේ දී ඉදිරිපත් කළ කුරුමිට්ටෝ එවකට අතිශය ජනප්‍රිය වූ කැසට් පටයක්.
ඊට අමතර ව 1977 වසරේ ඉදිරිපත් කළ ‘කැඩපතකින්’ සහ ‘නෝනේ මගේ සුදු නෝනේ’, 1987 වසරේ ඉදිරිපත් කළ ‘ලුණු දෙහි‘, 1989 වසරේ ඉදිරිපත් කළ ‘ඕයේ ඔජායේ’ මෙන්ම, 1997 වසරේ නිර්මාණය කළ ‘පිටි කොටපන් නෝනේ’ මෙන්ම ‘සිංඤෝරේ‘ මෙරට කණ්ඩායම් සංගීතයේ සදාතනික සිහිවටන බවට පත් වී අවසන්.
සංගීත ක්ෂේත්රයේ කෙලින් කතා කරන කලාකරුවෙකු ලෙස ප්‍රකට සුනිල් අයියා මෙරට සමාජයේ දුර්වල තැන් සිය සංගීතය හරහා නිර්දය විවේචනයට ලක් කළේ කිසිදු බිය සැකයකින් තොරව යි.
එමෙන්ම සුනිල් පෙරේරා නම් වූ මෙම විශිෂ්ට ගායකයා මෙරට වෙනත් කිසිදු සංගීතඥයකු නො කළ තරමට ම මෙරට දේශපාලනය ද සංගීතය හරහා නිර්දය ලෙස විවේචනය කළා.
ඔහුගේ ‘එතුමා’ ගීතය එයට කදිම නිදර්ශනයක්.
එමෙන්ම ජිප්සීස් සංගීත කණ්ඩායම ගායනය කළ ‘අයි ඩෝන්ට් නෝ වයි’ ගීතය මෙරට සමාජයේ අඩුලුහුඬුකම් දැඩි ලෙස විවේචනය කළ ගීතයක් වුණා.
සුනිල් පෙරේරාගේ සංගීත භාවිතය කෙතරම් දැඩි වී ද යත් ඔහුගේ ගීත බොහොමයක් මුල් කාලයේ රාජ්‍ය මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම තහනම් කර තිබුණා.
සිය අසහාය ගායනයට අමතර ව සුනිල් පෙරේරා සංගීත කණ්ඩායම් කළමනාකරණය පිළිබඳවත් අලුත් පාඩමක් මෙරට සංගීත කණ්ඩායම් වෙත කියා දුන් සංගීත ශිල්පියෙක්.
සිය සංගීත කණ්ඩායම ක්ෂේත්රයේ ඉහළින් ම රඳවා තබා ගැනීම සඳහා සිදු කළ යුතු නව අත්හදාබැලීම්, කණ්ඩායම් කළමනාකරණය, නව තාක්ෂණය සමඟ මුසු වීම ආදී කාරණා පිළිබඳ සුනිල් පෙරේරා සිටියේ මනා අවදියකින් සහ අවබෝධයකින්.
මේ නිසාම 70 දශකයෙන් ඇරඹෙන ජිප්සීස් සංගීත කණ්ඩායම අද දක්වාත් සැලකෙන්නේ මෙරට වැඩි ම මුදලක් අය කරන සංගීත කණ්ඩායම ලෙසට යි.
ඔහු සිය සංගීත කණ්ඩායම ක්ෂේත්රයේ හිනිපෙත්තේ තබා ගැනීම සඳහා එයට මනා නායකත්වයක් දුන්නේ අනෙකුත් සංගීත කණ්ඩායම් වලට ද පරමාදර්ශයක් වෙමින්.
ඔහුගේ රටාව අනුගමනය කරමින් ඉන්පසුව බිහිවන සන්ෆ්ලවර්ස්, මේරියන්ස් ආදී සංගීත කණ්ඩායම් කලින් කලට මෙරට සංගීතයේ රැලි නිර්මාණය කළ ද සුනිල් පෙරේරා ගේ අසහාය නායකත්වයෙන් හෙබි ජිප්සීස් සංගීත කණ්ඩායම අභිබවා යන්නට ඒ කිසිවකුටත් හැකි වුණේ නැහැ.
පසුකාලීන ව ගීතයෙන් පමණක් නොව සිය මතවාදයෙන් ද සමාජ අසාධාරණයන්ට එරෙහි ව නැගී සිටි සුනිල් පෙරේරා බොහෝ විට පවතින දේශපාලන නායකත්වයන් සහ ක්‍රමවේද දැඩි ලෙස විවේචනය කළේ කිසිදු බියකින් තොරව යි.
1983 දී ගීතා කුලතුංග සමග විවාහ වන සුනිල් පෙරේරා සජිත්, ගයාන්, රෙහානා සහ මනිෂා යන දරුවන් සිව් (4) දෙනාගේ ආදරණීය පියා යි.
සිය පියාගේ අඩි පාරේ යමින් සංගීත ක්ෂේත්රයට එක් වූ ගයාන් Daddy නමින් සංගීත කණ්ඩායමක් බිහිකරමින් ජනප්‍රිය ගීත ගණනාවක් නිර්මාණය කළා.
අගෝස්තු මස පස්වන දා (05) කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගැනෙන සුනිල් පෙරේරා සහ බිරිඳ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණා.
එහිදී අසනීප තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරෙන සුනිල් පෙරේරා සති තුනකට (3) ආසන්න කාලයක් ප්‍රතිකාර ලැබීමෙන් අනතුරු ව සුවය ලබා නිවසට පැමිණෙනවා.
දින කිහිපයක් නිවසේ විවේක සුවයෙන් ගත කරන සුනිල් පෙරේරාගේ පෙනහලුවල මතු වෙන අසාත්මිකතාවක් හේතුවෙන් නැවත රෝහල් ගත කරන්නේ පසුගිය තුන් වන දා (03) සවස්වරුවේදි යි.
එහි දී මතු වූ සංකූලතා බරපතල වීම හේතුවෙන් ඔහු නැවතත් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරෙනවා.
වරක් කොරෝනා මාරයා පැරද වූ සුනිල් පෙරේරා මෙවර නියුමෝනියා (Pneumonia) තත්ත්වය උග්‍ර වීම හේතුවෙන් අද අලුයම් කාලයේ සදහට ම දෙනෙත් වසා ගන්නේ, මෙරට සංගීත ක්ෂේත්රයට කිසිදා පිරිමැසිය නො හැකි බරපතළ හිඩසක් ඉතිරි කරමින්.
‘නොකා නොබී ලෝභකමට වස්තු සොයන්නේ මැරුණු දාට coffin එකේ අපි නිදියන්නේ’ ජීවිතේ යථාර්ථය සංගීතය තුළින් ප්‍රකට කළ ගායකයා, වාදකයා, ගීත රචකයා සහ සංගීතඥයා මේ සියල්ලට ම ඉහළින් කෙලින් කතා කරන හිත හොඳ මිනිසා සිය හැට නව වැනි ජන්ම දිනයට හරියට ම දින 8 ක් ඉතිරි ව තිබිය දී අද මෙරට සංගීත ක්ෂේත්රයට අහිමි වී අවසන්.
ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පිළිබඳව පසු ව ප්‍රකාශයක් සිදුකරන බව යි අභාවප්‍රාප්ත සංගීතඥ සුනිල් පෙරේරාගේ සොහොයුරු පියල් පෙරේරා සඳහන් කළේ.
කණ්ඩායම් සංගීතයේ අනභිභවනීය නියමුවාණෙනි ඔබට සුභ ගමන්.
ඒ සම්බන්ධ ව සිය නිල ෆේස්බුක් ගිණුම්වල සටහනක් තබමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, තම ශෝකය සුනිල් පෙරේරා වෙනුවෙන් පළ කර තිබුණා.
- [ https://cdn.hirunews.lk/Data/news_uploads/202109/281497_1.jpg ]
- [ https://cdn.hirunews.lk/Data/news_uploads/202109/281497_2.jpg ]
• meemessasinhalasongs.com : Gypsies (mp3)
ජිප්සීස් නායක සුනිල් පෙරේරාගේ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී
(06.09.2021 – 19:37 +0530 – hirunews.lk/sinhala)
අභාවප්‍රාප්ත ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක ප්‍රවීණ සංගීතවේදී සුනිල් පෙරේරාගේ දේහය පිළීබඳ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා.
ඒ, නිරෝධායන නීතිවලට අනුකූලවයි.
යල් පැනගිය සාම්ප්‍රදායික සංගීත කලාවට ඔහුගේ ගැඹුරු හඬ නවමු අත්දැකීමක් වී තිබුණා.
මෙරට කණ්ඩායම් සංගීතයේ ප්‍රමිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන්ද සුනිල් අයියා දැක්වූ දායකත්වය සංගීතයට හිතැති සැවොම දන්නා කරුණක්.
ලොවටම සාමය ප්‍රාර්ථනා කළ කලාකරුවෙකු වූ ඔහු අද නික්ම යන්නේ මෙරට සංගීත ක්ෂේත්රය සහ එහි අනාගතය වෙනුවෙන් මහා මෙහෙවරක් සිදුකිරීමෙන් අනතුරුවයි.
++++++++++++++++
(06.09.2021 – 07:20 +0530 – hirunews.lk/sinhala)
කොළඹ දිස්ත්‍රික්කයේ ආර්ථික මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගනිමින් අද (06) සිට නිවසට ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.
කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා ප්‍රකාශ කළේ, සහන මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීමට කටයුතු කරන බව යි.
අද (06) දිනයේ දී කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි ආර්ථික මධ්‍යස්ථාන විවෘත ව පවතිනවා ෴
+++++++++++++++
(06.09.2021 – 07:29 +0530 – hirunews.lk/sinhala)
තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක (1,00,000) තොගයක් අද (06) අලුයම දිවයිනට රැගෙනවිත් තිබෙනවා.
කටාර් ගුවන් සේවයට අයත් යානයකින් අලුයම 01:45 ට දෝහා සිට මෙම එන්නත් තොගය රැගෙන එනු ලැබූ බව යි.
ගුවන් තොටුපොළ හිරු වාර්තාකරු සඳහන් කළේ.
මේ අතර, ඊයේ (05) දිනයේ දී පුද්ගලයින් 58,994 දෙනෙකුට කොරෝනා එන්නත් ලබා දී තිබෙනවා.
ඒ අනුව සයිනොෆාම් එන්නතේ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 25,838 දෙනෙකුට සහ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 3,136 දෙනෙකුට ලබා දී ඇති බව යි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ.
එසේම, ඊයේ (05) දිනයේ දී ෆයිසර් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 20,284 දෙනෙකුට ලබා දී තිබෙනවා.
+++++++++++++++
(06.09.2021 – 07:33 +0530 – hirunews.lk/sinhala)
මේ අතර කොළඹ, ගම්පහ, කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල අවුරුදු 20 ත් 29 ත් අතර වයස්වල පසුවන තරුණ තරුණියන්ට කොරෝනා මර්දන එන්නත් ලබාදීම අද (06) ආරම්භ කෙරෙනවා.
ඒ අනුව සයිනොෆාම් එන්නත, එම දිස්ත්‍රික්කවල දැනට එන්නත්කරණය සිදු කෙරෙන ස්ථානවලදී ම ලබාදෙනු ඇති.
මෙම වැඩසටහන යටතේ එන්නත් ලබාදීම සිදු කරන්නේ අදාළ දිස්ත්‍රික්කවල පදිංචිකරුවන්ට පමණ යි.
කොළඹ දිස්ත්‍රික්කයේ දැනට එන්නත් ලබාදෙන මධ්‍යස්ථානවලට අමතර ව විහාරමහා දේවි උද්‍යානය, දියත උයන, පනාගොඩ යුද හමුදා කඳවුර සහ වේරහැර යුද හමුදා වෛද්‍ය බලකා මූලස්ථානයේ දී මෙම පිරිස සඳහා එන්නත් ලබාදීමට සැලසුම් කර තිබෙනවා.
එසේම කොළඹ නගර සීමාවේ වාසය කරන අදාළ වයස් කාණ්ඩවල තරුණ තරුණියන්ට එන්නත් ලබාගැනීම සඳහා මධ්‍යස්ථාන කිහිපයක් ස්ථාපිත කර තිබෙනවා.
++++++++++++++++
(06.09.2021 – 07:38 +0530 – hirunews.lk/sinhala)
සයිනොෆාම් එන්නත මඟින් ඉතා හොඳ ප්‍රතිශක්තියක් ජනනය වන වයස අවුරුදු 20 ත් 30 ත් අතර කණ්ඩායමට, ෆයිසර් එන්නත ලබාදීම ඉතා අවිධිමත් මෙන්ම විද්‍යාත්මක දත්ත අභිබවා යාමක් බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.
හම්බන්තොට ප්‍රදේශයේ වයස 20 ත් 30 ත් අතර පුද්ගලයින් සඳහා ෆයිසර් එන්නත ලබාදීමට යෝජනා කරමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ ලිපියට ප්‍රතිචාර ලෙස මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය මේ බව සඳහන් කළා.
එන්නත්කරණ ක්‍රියාවලිය පිළිබඳ තීරණ ගන්නන් විසින් ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ වන රෝග පිළිබඳ විශේෂඥ කමිටුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ඇති ව ඉදිරිපත් කර ඇති උපදෙස් මාලාව පිළිපැදීම අත්‍යවශ්‍ය බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය එමඟින් අවධාරණය කර තිබෙනවා.
දැනුම් සම්භාරයක් ඇති එම කමිටුව මඟින් ලබාදුන් උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක නො කිරීම නිසා වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ගේ මරණ සංඛ්‍යාව දැනටමත් වැඩි වී ඇති බවයි එම සංගමය සිය නිවේදනයෙන් පෙන්වා දී ඇත්තේ.
ඊට හේතු වූයේ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට එන්නත ලබාදීමට ප්‍රමුඛතාව නො දී අවුරුදු 30 ත් 60 ත් අතර කණ්ඩායමට එන්නත ලබාදීමෙන් අවදානම් පුද්ගලයින්ට එන්නත ලබාදීම ප්‍රමාද වීම බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ අදහස යි.
එබැවින් මේ අවස්ථාවේ සිදුකළ යුත්තේ ප්‍රතිශක්තිකරණය අඩු සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙක (2) ලබාගත් පුද්ගලයින්ට තුන්වන (3) මාත්‍රාව ලෙස ෆයිසර්, ඇස්ට්‍රාසෙනෙකා හෝ මොඩර්නා එන්නත් ලබාදීම බවයි විශේෂඥ වෛද්‍යවරුන් අදාළ නිවේදනයෙන් පෙන්වා දී ඇත්තේ ෴
(06.09.2021 – 08:53 +0530 – hirunews.lk/sinhala)
කෝවිඩ්-19 රෝග මර්දනයට රජය ගන්නා ක්‍රියාමාර්ග සාධනීය නැති බව සඳහන් කර හා අනාගතයේ සිදුවන ව්‍යසනයන්ට වග කිව නො හැකි බව පවසමින්, විශේෂඥ වෛද්‍යවරයෙක් කෝවිඩ්-19 රෝග මර්දන තාක්ෂණික කමිටුවෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
කෝවිඩ්-19 වයිරසය ආසාදිත වූවන් සඳහා ප්‍රතිකාර කරනු ලබන වෛද්‍යවරුන්ගේ ලැයිස්තුවේ ඉදිරියෙන් ම සිටින මෙම වෛද්‍යවරයා පවසා ඇත්තේ, රජය කෝවිඩ්-19 වයිරස පාලනය සඳහා ගනු ලබන තීරණ සාධනීය ඒවා නො වන බව යි.
රට වසා දැමීමේ තීරණය මෙන්ම එන්නත්කරණ ක්‍රියාවලිය ද තාක්ෂණික කමිටුව දුන් උපදෙස් අනුව සිදු නො කළ බවත් ඒවා ප්‍රතිඵල රහිත බවත් ඔහු සඳහන් කරනවා.
උද්ගත ව ඇති තත්ත්වය යටතේ තවදුරටත් කෝවිඩ්-19 මර්දනය හා පාලනය කිරීමේ තාක්ෂණික කමිටුවේ රැඳී සිටීමේ කිසිදු ප්‍රතිඵලයක් ඇති වන බව තමන්ට නො හැඟෙන බව යි මෙම විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරන්නේ.
එබැවින් අනාගතයේ මතු විය හැකි දුර්විපාකවලට තමන්ට ද කොටස්කරුවකු විය නො හැකි බව ඔහු සඳහන් කළා.
අප සමඟ අදහස් දැක් වූ මෙම විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියේ, මේ වනවිටත් සිය තීරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සහ අදාළ බලධාරීන් දැනුවත් කර ඇති බව යි ෴
++++++++++++++++
(06.09.2021 – 09:12 +0530 – hirunews.lk/sinhala)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල අද (06) විශාල ලෙස පහත වැටී ඇති බව වාර්තා වෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ, ආර්ථික මධ්‍යස්ථානය වෙත වෙළඳුන්ගේ සහ ගොවීන්ගේ පැමිණීමේ අඩුවක් ද නිරීක්ෂණය වන බව යි ෴
@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@
(06.09.2021 – 07:12 +0530 – hirunews.lk/sinhala)
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සහ ආහාර සැඟවීම වැළැක්වීම සඳහා ජනාධිපතිවරයා විසින් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කෙරුණු හදිසි නීති රෙගුලාසි, අද (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.
ඊට අදාළ විවාදය උදෑසන 10:30 ට ආරම්භ වන අතර, පස්වරු 04:30 ට ඒ පිළිබඳ ඡන්ද විමසීමක් ද පැවැත්වෙනු ඇති.
කෙසේ වෙතත්, එම රෙගුලාසිවලට එරෙහි ව ඡන්දය භාවිත කිරීමට ජාතික ජනබලවේගය සහ සමඟි ජන බලවේගය තීරණය කර තිබෙනවා.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ සමඟි ජන බලවේගය ද පසුගිය දා ගැසට් මඟින් ප්‍රකාශයට පත් කෙරුණු හදිසි නීති රෙගුලාසිවලට එරෙහි ව ඡන්දය ප්‍රකාශ කරන බව යි.
දෙමළ ජාතික සන්ධානය ඡන්ද විමසීමේ දී ගනු ලබන තීරණය මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති අතර, අද (06) දිනයේ රැස් වී ඒ සම්බන්ධයෙන් තීරණය කරන බව යි එම සන්ධානය නියෝජනය කරන ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරයෙකු හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ.
මේ අතර, පාරිභෝගික අධිකාරිය විසින් වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන්නන්ට එරෙහි ව පනවා ඇති දඩ මුදල සංශෝධනයට අදාළ යෝජනාව ද අද (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.
උපරිම සිල්ලර මිලක් නියම කර ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ වැඩි මිලට අලෙවි කරන වෙළඳුන්ගෙන් මෙතෙක් අය කළ රුපියල් 1000 ක් ව තිබූ දඩය රුපියල් ලක්ෂය (1,00,000) දක්වා වැඩි කෙරුණු අතර, ඊට ගැලපෙන පරිදි සෙසු දඩ මුදල් ඉහළ නංවමින් පසුගියදා ගැසට් නිවේදනයක් ද නිකුත් කෙරුණා.
එමෙන්ම, සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට අද (06) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී කොරෝනා පරීක්ෂාවක් සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා. ඊට පාර්ලිමේන්තු සේවකයින්ට සහ පාර්ලිමේන්තු සැසිවාරය ආවරණය කරන මාධ්‍යවේදීන්ට ද සහභාගි විය හැකි බවයි පාර්ලිමේන්තුවේ ප්‍රධාන වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ෴
******************************************
(06.09.2021 – 09:23 +0530 – hirunews.lk/sinhala)
තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයට අයත් කලවැල්ගල ප්‍රදේශයේ දී විදුලි සැර වැදීමකින් වන අලියෙකු මියගොස් තිබෙනවා.
අනවසර විදුලි රැහැනක පැටලී මෙම වන අලියා මියගොස් ඇති අතර, මියගිය වන අලියා වයස අවුරුදු දහ අටත් විස්සත් (18-20) අතර වයසක පසු වන බව යි වනජීවි නිලධාරීන් පැවසුවේ.
එම වන අලියා ඉතාමත් ම යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් ජීවත් වූ වන අලියෙකු බවත් විදුලි රැහැන් සවි කළ පුද්ගලයා මේ වනවිට හදුනාගෙන ඇති බවත් වනජීවි නිලධාරින් වැඩි දුරටත් සදහන් කළා.
මෙම ප්‍රදේශය ආශ්රිත ව වන අලි තර්ජනය උග්‍ර ලෙස පවතින අතර, එම නිසා වන අලි ජීවිත මෙන්ම මිනිස් ජීවිත රැසක් ද මේ වනවිට විනාශ වී තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල මූලස්ථාන පොලිසිය සහ ගල්කොටුකන්ද වනජීවි කාර්යාලයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ඇති ෴
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴