ප්‍රහාරය හෙළා දැකීමට පෙර ‘වහබ්වාදය ප්‍රතික්ෂේප කරනවා’ යැයි ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්න – බොදු බලෙන් උලමා ඇතුළු මුස්ලිම් සංවිධානවලට අභියෝග

ප්‍රහාරය හෙළා දැකීමට පෙර ‘වහබ්වාදය ප්‍රතික්ෂේප කරනවා’ යැයි ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්න – බොදු බලෙන් උලමා ඇතුළු මුස්ලිම් සංවිධානවලට අභියෝග

*********************************************

ප්‍රහාරය හෙළා දැකීමට පෙර ‘වහබ්වාදය ප්‍රතික්ෂේප කරනවා’ යැයි ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්න – බොදු බලෙන් උලමා ඇතුළු මුස්ලිම් සංවිධානවලට අභියෝග

(04.09.2021 – colombotoday.com)

බොදු බල සේනා සංවිධානය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ‘සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය’ ඇතුළු මුස්ලිම් සංවිධාන 22 කට විශේෂ අභියෝගයක් ලබාදී තිබෙනවා.

අදාළ මාධ්‍ය නිවේදනය :

2021 සැප්තැම්බර් 04
මාධ්‍ය නිවේදනය

= ශ්‍රී ලාංකික ඉස්ලාමීය රාජ්‍ය (IS) අන්තවාදියෙකු විසින් නවසීලන්තයේදී එල්ලකළ ත්‍රස්ත ප්‍රහාරය =

මීට වසර 10 කට පමණ ඉහතදී ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් නවසීලන්තයේ වාසය කරමින් සිටි මුස්ලිම් ජාතිකයෙකු විසින් ඊයේ (02) දින පිහියක් යොදාගෙන අහිංසක සිවිල් වැසියන් ඉලක්ක කර ඉස්ලාම් ආගමේ නාමයෙන් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.

වසර ගණනාවක සිට බොදු බල සේනා සංවිධානය පෙන්වා දුන් අනතුරු යථාර්තයක් බවට පත්කරමින් ආගමේ නාමයෙන් 2019 අප්‍රේල් 21 දින එල්ලවූ මෙවැනිම ම්ලේච්ඡ ප්‍රහාරයක අද්දැකීම අපේ රටට ද ඇත. එයින් පාඩමක් ජාතියක් ලෙස ඉගෙන ගත්තා ද යන ප්‍රශ්නය අද වන විට අප හමුවේ මතුව ඇත. ආගමේ නාමයෙන් සහරාන් ඇතුළු කල්ලිය එල්ල කල පාස්කු ප්‍රහාරය දේශපාලනීකරණය කර එහෙට මෙහෙට දෝලනය කිරීම තුලින් සිදුවන්නේ අපේ රට තවදුරටත් අනතුරේ හෙළීමකි.

‘පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු ජවනිකාව’ කරලියට ගෙන දේශපාලන වාසි ගන්නට උත්සහ කරන්නන්ට ඕක්ලන්ඩ් නගරයේ ප්‍රහාරකයාගේ මහ මොලකරු සෙවිය හැකිද? සත්‍යවශයෙන්ම නොහැකිය. ඒ වෙන කාරණයක් නිසා නොව ආගමික මුලධර්මයකින් ගොඩනැගෙන ත්‍රස්තවාදය සඳහා මෙහෙයවීමක් අවශ්‍ය නොවන බැවිනි. ආගමික ඉගැන්වීමකින් ඔලුව අවුල් කරගන්නා ලබ්ධිකයෙක්ට ඕනෑම අවස්ථාවක ත්‍රස්තවාදියෙකු වී හුදකලා ප්‍රහාර එල්ල කිරීමට අවස්ථාව ඇත. එවැනි ‘වහබ්වාදී ප්‍රහාර’ සිය ගණනක් ලොවපුරා එල්ල වී ඇත.

‘අහමඩ් ආදිල් මොහොමඩ් සම්සුදීන්’ නමින් දැනට හඳුනාගෙන ඇති පුදගලයා ප්‍රහාරය එල්ලකරන අවස්ථාව වනවිට ද නවසීලන්ත බුද්ධි අංශ ඔහු පසුපස සිට ඇත. නමුත් ඔහු ප්‍රහාරය එල්ලකරන තෙක් බලාසිටීමට එරට ආරක්ෂක අංශවලට සිදුවී ඇත. මෙවැනි තත්වයක් ශ්‍රී ලංකාවේ ඇති වුවානම් ජිවිත පරිත්‍යාගයෙන් සේවය කරන ආරක්ෂක අංශ වෙත අවස්ථාවාදී දේශපාලකයන් ඇඟිල්ල දිගු කරනු ඇත. ‘අහමඩ් ආදිල් මොහොමඩ් සම්සුදීන්’ 2017 වසරේදී නවසීලන්ත පොලීසියේ අත්අඩංගුවට ගෙන ඇත. ෆේස්බුක් ගිණුම් දෙකක් ඔස්සේ ඉස්ලාම් ආගමික ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීම පිලිබඳ චෝදනා සහ තවත් චෝදනා කිහිපයක් යටතේ ඕක්ලන්ඩ් මහාධිකරණයේ නඩු පවරා විභාග කෙරිණි. නමුත් මානව හිමිකම් ක්‍රියාකාරීන් ඇතුළු පිරිස් අහමඩ් ආදිල් මොහොමඩ් සම්සුදීන් ගේ භාෂණයේ නිදහස වෙනුවෙන් පෙනී සිට ඇත. ඒ හේතුව මත නවසීලන්ත ආරක්ෂක අංශ ත්‍රස්තවාදීයා පසුපස ලුහුබැඳිම පමණක් සිදුකිරීම සහ ආරක්ෂක අංශවලට ක්‍රියාත්මක වීමට ත්‍රස්ත ප්‍රහාරය එල්ලකරන තුරු රැදී සිටීමට සිදුව ඇත.

මෙය අපේ රට තරයේ අවදානයට ගත යුතු තත්වයකි. ඉස්ලාම් අන්තවාදය ප්‍රවර්ධනය කරන්නන් අත්අඩංගුවට ගත් පසු පසුගිය කාලයේ දේශීය සහ විදේශීය මානව හිමිකම් සංවිධාන දැඩි ලෙස ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන ආකාරයක් දක්නට ලැබුණි. විශේෂයෙන්ම නීතිඥ හිජාස් හිස්බුල්ලා සහ කවියෙකු යැයි හඳුන්වන හනාෆ් ජාසිම් නැමැත්තා නිදහස් කරන ලෙස බලපෑම් එල්ල විය. අන්තවාදී ත්‍රස්ත තර්ජන පිළිබඳව අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ ඉදිරියේදී අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් පිළිබඳව තීරණ ගැනීමේදී, කිසිදු බාහිර බලවේගයක බලපෑමට හසු නොවී ආරක්ෂක අංශ විසින් සිදුකරන පරීක්ෂණවල ප්‍රගතිය මත ම පමණක් කටයුතු කිරීමට ප්‍රවේසම් වන ලෙස අපි රජයට අවධාරණය කර සිටිමු.

ආගමික ත්‍රස්තවාදය ප්‍රහාරයට කලින් හඳුනාගැනීමේ ගැටළුව සමස්ත ලෝකයම මුහුණපාන ගැටළුවක් බවට දැන් පත්ව ඇත. ඒ ආගමික ත්‍රස්තවාදියා ක්‍රියාත්මක වීමට පෙර විවිධ ස්වරුපයෙන් සිට ක්‍රියාත්මක වීමයි. ඒ බව නවසීලන්ත ප්‍රහාරය හෙලා දකිමින් ඊයේ (02) දින ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක මුස්ලිම් සංවිධාන නිකුත්කළ ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයෙන් මනාවට පැහැදිලි වෙයි. සහරාන් ජීවත් වූවානම් ඔහුත් නිසැකවම මෙම ප්‍රහාරය හෙලාදැක නිවේදනයක් නිකුත් කිරීමට ඉඩ තිබුණි.

ශ්‍රී ලංකාව මුස්ලිම් රාජ්‍යයක් බවට පත්කළ යුතුබවට ‘කිලාෆත්’ සංකල්පය 1950 දශකයේදී හඳුන්වාදුන්, 1990 දශකයේදී ඇෆ්ගනිස්ථානයේ පැවති යුද්ධයට පවා සිය සාමාජිකයන් යැවූ, මරාගෙන මැරෙන ප්‍රහාර සාධාරණිකරණය කර සඟරා නිකුත්කළ ‘ජමාතේ ඉස්ලාම් සංවිධානය’ සමග ‘වහාබි’ සහ ‘සලෆි’ මතවාදවලින් පෝෂණය වන තවත් සංවිධාන 21 ක් එකට එකතුවී මෙම නිවේදනය නිකුත් කිරීමෙන් මෙතෙක් අන්තවාදය නැමති හෙළුව වසාගෙන සිටි සුදු පිරුවට ගැලවී ගොස් සමස්ත ලෝකයටම ශ්‍රී ලංකාවේ අන්තවාදීන්ගේ හෙළුව නිරාවරණය වී ඇත. ජමාතේ ඉස්ලාම් නායකයා ලෙස වසර 25 ක් රටතුල අන්තවාදී බීජ වැපිරූ ‘හජ්ජුල් අක්බාර්’ මේ වනවිට අත්අඩංගුවේ පසුවෙන්නේ ද ඒ අන්තවාදී ක්‍රියා නිසාය. ඒකාබද්ධ නිවේදනය සඳහා වෙනදා මෙන්ම මෙරට අහිංසක මුස්ලිම් ජනතාව ‘වහබ්වාදයේ’ ගිල්ලවීමට නායකත්වය දෙන ‘සමස්ත ලංකා උලමා සභාව’ නායකත්වය දී තිබීම විශේෂයකි. එමෙන්ම මෙතෙක් ‘සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය’ සමග කටයුතු කල ‘සුෆි තාරිකා සභාව’ එයින් ගැලවී ගොස් තිබීම ඉතාමත්ම හොඳ පුර්වාදර්ශයකි. මුස්ලිම් සමාජය ‘වහබ්වාදය’ සහ ‘සලෆිවවාදය’ යන රකුසන්ගෙන් බේරා ගැනීමට ‘සුෆි තාරිකා’ සභාවට හැකි වේවායි අපි ඔවුන්ට සුභ පතමු.

බොදු බල සේනා අභියෝගය

ඉස්ලාම් ආගම යනු ම්ලේච්ච ත්‍රස්ත ආගමක් බවට ලෝකයා හැඳින්වීමට පාදක වුනු ප්‍රභලම මතවාද ලෙස ‘වහබ්වාදය සහ සලෆිවාදය’ හැඳින්වේ. මෙම ඒකාබද්ධ ප්‍රකශය නිකුත්කළ සංවිධාන 22 ක එවැනි ප්‍රකශ නිකුත් කිරීමට පෙර ‘වහබ්වාදය සහ සලෆිවාදය ප්‍රතික්ෂේප කරනවා’ යැයි ප්‍රසිද්ධ ප්‍රකාශයක් හැකිනම් සිදුකරන ලෙසට බොදු බල සේනා සංවිධානය අභියෝග කර සිටිමු.

ඉස්ලාම් අන්තවාදයට තිත තැබීමට …

ඉස්ලාම් ආගමේ නාමයෙන් සිදුවෙන ප්‍රහාර නැවැත්වීමට නම්,

  • වහබ්වාදය
  • සලෆිවාදය
  • ඉහ්වාන් මතවාදය
  • ජමාතේ ඉස්ලාම් මතවාදය

මෙම මතවාද සහිත සංවිධාන / රාජ්‍ය නොවන ආයතන / සුභසාධන ආයතන / අධ්‍යාපනික ආයතන තහනම් කළ යුතු අතර නව සංවිධාන ක්‍රියාත්මක කිරීම ද තහනම් කල යුතුය.

එමෙන්ම මෙම මතවාද සහිත මුද්‍රිත ප්‍රකාශන / ශ්‍රව්‍ය දෘශ්‍ය ප්‍රකාශන, මෙරටට ගෙන ඒම / නිෂ්පාදනය කිරීම / මුද්‍රණය කිරීම තහනම් කළ යුතුය.

මෙම මතවාදයන්ට අදාළ දේශනා, පොත්පත් අන්තර්ජාලය ඔස්සේ පරිශීලනය කිරීම තහනම් කිරීමට කටයුතු කල යුතුය.

ඉස්ලාම් අන්තවාදයට තිත තැබීම සඳහා ඉහත සඳහන් ක්‍රියාමාර්ග ගන්නා තෙක් නවසීලන්ත ඕක්ලන්ඩ් ප්‍රහාරය වැනි හුදකලා ප්‍රහාර ද ශ්‍රී ලංකාවේ පාස්කු දින ප්‍රහාරය වැනි සැලසුම් ගත කණ්ඩායම් විසින් ආගමේ නාමයෙන් සිදුකරන ප්‍රහාරයන් ද වැලක්වීමට නොහැකිවනු ඇත.

තෙරුවන් සරණයි.

රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි

******************************************

රුපියල් මිලියන 3100 (කෝටි 310) කට අධික වටිනාකමින් යුත් තවත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් විදේශීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට

(04.09.2021 – 17:05 +0530 – news.navy.lk)

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය හා අනෙකුත් බුද්ධි අංශ සමඟ එක්ව ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ඡාත්‍යන්තර මුහුදේ සිදුකළ සාර්ථක මෙහෙයුමකින් අත්අඩංගුවට ගන්නා ලද දළ වීථි වටිනාකම රුපියල් මිලියන 3100 (රුපියල් කෝටි 310) කට අධික හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 336 කට අධික තොගයක් (ඇසුරුම් බර සහිතව) රැගත් විදේශීය ධීවර යාත්‍රාවක් සහ විදේශීය ජාතික සැකකරුවන් 07 දෙනෙකු අද (2021 සැප්තැම්බර් 04) උදෑසන කොළඹ වරාය වෙත රැගෙන එන ලද අතර, එලෙස රැගෙන එන ලද මත්ද්‍රව්‍ය තොගය නිරීක්‍ෂණය කිරීමට ආරක්‍ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා සහභාගී විය.

මෙයට පෙර, ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය, රාඡ්‍ය බුද්ධි සේවය සමඟ එක්ව සිදුකළ ඒකාබද්ධ බුද්ධි මෙහෙයුමකින් ලද තොරතුරුද මත, ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 290 ග්‍රෑම් 200 ක පමණ තොගයක් රැගත් බහුදින ධීවර යාත්‍රාවක්, සැකකරුවන් 05 දෙනෙකු සමඟ අත්අඩංගුවට ගැනීමට සමත් විය.

ඒ අනුව, එම මෙහෙයුමේදී ලබා ගන්නා ලද තොරතුරු හා ශ්‍රී ලංකා පොලීසිය වෙත ලැබුණු තවත් බුද්ධි තොරතුරු පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ශ්‍රීලංනානෞ ගජබාහු සහ සමුදුර යන ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවන් ජාත්‍යන්තර මුහුදේ තවත් විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී. එහිදී, ගොඩබිම සිට මුහුදු සැතපුම් 740 ක පමණ (කිලෝමීටර 1370 ක් පමණ) දුරින් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු විදේශීය ධීවර යාත්‍රාවක් ශ්‍රීලංනානෞ සමුදුර නෞකාව මඟින් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලද අතර, එම පරීක්‍ෂාවේදී යාත්‍රාවේ සූක්‍ෂම ලෙස සඟවා ප්‍රවාහනය කරමින් තිබූ පාර්සල් 301 ක අසුරන ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 336 ග්‍රෑම් 300 ක පමණ (ඇසුරුම් බර සහිතව) ප්‍රමාණයක් සොයා ගැනීමට නාවික හමුදාව සමත් විය. අනතුරුව, එම විදේශීය බහුදින ධීවර යාත්‍රාව සමඟ එහි සිටි විදේශීය ජාතික සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලද අතර, එලෙස අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් මත්ද්‍රව්‍ය රැගත් විදේශීය ධීවර යාත්‍රාව සහ සැකකරුවන් අද (2021 සැප්තැම්බර් 04) උදෑසන ශ්‍රීලංනානෞ සමුදුර නෞකාවේ ආරක්ෂාව යටතේ කොළඹ වරාය වෙත රැගෙන ඒමට නාවික හමුදාව විසින් කටයුතු‍ කෙරිණි.

මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් විසින් බහුදින ධීවර කටයුතු සිදුකරන මුවාවෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදවනු ලබන ධිවර යාත්‍රාවන් වෙත ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය හුවමාරු කර ගොඩබිම වෙත රැගෙන ඒම සඳහා මෙම මත්ද්‍රව්‍ය රැගත් විදේශීය ධීවර යාත්‍රාව ජාත්‍යන්තර මුහුදේ ස්ථානගතකර තැබීමට ජාවාරම් කරුවන් විසින් සැළසුම්කරන්නට ඇතැයි සැකකරන අතර, මෙ‍ම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 3100 (රුපියල් කෝටි 310) කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් සිදුකළ මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගන්නා ලද විදේශ ජාතික සැකකරුවන්ගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර නොමැති අතර, මෙලෙස අත් අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් සහ යාත්‍රාව සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ සහ ඉදිරි නීතිමය කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදු කිරීමට නියමිතව ඇත.

මෙම මත්ද්‍රව්‍ය තොගය නිරීක්‍ෂණය කිරීම සඳහා කොළඹ වරාය වෙත පැමිණි ආරක්‍ෂක ලේකම්, ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා, මේ දිනවල පවතින මුහුදේ දැඩි රළු ස්වාභාවය හමුවේ වුවද දීර්ඝ කාලයක් සෝදිසි මෙහෙයුම් සිදුකරමින් මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලද ශ්‍රීලංනානෞ සමුදුර නෞකාවේ අණදෙන නිලධාරී ඇතුළු නැව් මුළුව වෙත සිය කෘතඥතාවය පිරිනමමින්, රටේ අනාගත පරපුර විනාශ කර දමන මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා නාවික හමුදාව සිදුකරන මෙම සුවිශේෂී කාර්යභාරය සම්බන්ධයෙන් නාවික හමුදාධිපති ඇතුළු සමස්ථ නාවික හමුදාව වෙත අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ප්‍රමුඛ රජය වෙනුවෙන් සිය ස්තූතිය ඵල කරන බව ප්‍රකාශ කර සිටින ලදී. තවද, මෙම මෙහෙයුම සඳහා සෑම අතින්ම සහයෝගය දැක්වූ ශ්‍රී ලංකා පොලීසියේ පොලිස්පති ඇතුළු පොලිස් නිලධාරීන් වෙතත්, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් වෙතත් ආරක්‍ෂක ලේකම් විසින් මෙහිදී සිය ස්තූතිය පල කර සිටින ලදී.

පවත්නා වසංගත තත්වය හමුවේ වුවද අඛණ්ඩව මෙහෙයුම් සිදුකරමින් මත්ද්‍රව්‍ය මෙරටින් පිටුදැකීමේ ජාතික අභිලාෂය ශාක්ෂාත් කරගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මෙරට නීතිය බලාත්මක කිරීමේ ආයතනයන් හා එක්ව දේශයේ ප්‍රථම ආරක්‍ෂක වළල්ල ලෙස නාවික හමුදාවේ සම්පත් උපරිම කාර්යක්ෂමතාවයෙන් සහ ඵලදායිතාවයෙන් යුතුව යොදවමින් මෙවැනි සාර්ථක මෙහෙයුම් ඉදිරියටත් අඛණ්ඩව සිදු කිරීමට සූදානමින් සිටියි.

++++++++++++

(04.09.2021 – 11:42 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවට දකුණු මුහුදු ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් විදේශීය ධීවර යාත්‍රාවෙහි හෙරොයින් කිලෝග්‍රෑම් 301 ක් තිබී ඇති බවට මේ වන විට අනාවරණ වී තිබෙනවා.

අදාළ හෙරොයින් තොගය රැගත් ඉරානයට අයත් බව කියන විදේශීය ධීවර යාත්‍රාව මේ වන විට කොළඹ වරායට රැගෙනවිත් ඇති බව යි නාවික හමුදා මාධ්‍ය අංශය සදහන් කළේ.

නාවික හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් මෙම විදේශීය යාත්‍රාව ශ්‍රී ලංකාවට දකුණින් වූ ජාත්‍යන්තර මුහුදු කලාපයේ දී අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය දින කිහිපය තුළ සිදුකරන ලද විශේෂ මෙහෙයුමකින් අනතුරුව යි.

අත් අඩංගුවට ගත් සැකකරුවන් 7 දෙනාගෙන් 4 දෙනෙකු ම පාකිස්තාන ජාතිකයින් වෙනවා.

ඉදිරි විමර්ශන සඳහා එම පුද්ගලයින් සහ හෙරොයින් තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කළ බව යි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා සඳහන් කළේ.

මේ අතර පසුගිය 31 වනදා ද ශ්‍රී ලංකාවට දකුණින් වූ මුහුදු තීරයේ දී රුපියල් කෝටි 290 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 290 ක් සමඟින් සැකකරුවන් පස් දෙනෙකු (5) අත්අඩංගුවට ගත්තා.

පසුව අනාවරණ වූයේ, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජියෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ද වන දැනට ඩුබායි හි සැඟ ව සිටින ‘කොස්ගොඩ සුජී’ නැමැත්තා මෙම මත්ද්‍රව්‍ය ජවාරම පිටුපස සිටින බවට යි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, බහුදින ධීවර කටයුතු සිදුකරන මුවාවෙන්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදවනු ලබන ධීවර යාත්‍රාවන් වෙත, ගොඩබිම වෙත රැගෙන ඒම සඳහා, ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය ලබාදීම සඳහා, මෙම විදේශීය ධීවර යාත්‍රාව මෙලෙස ස්ථාන ගත කරන්නට ඇතැයි නාවික හමුදාව සැක කරනවා ෴

******************************************

(04.09.2021 – 15:24 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති කාලසීමාවේදී පාසලකට ඇතුලුවී එහි පරිගණක සහ විදුලි උපකරණ සොරකම් කළ දෙදෙනෙකු (2) පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කාත්තන්කුඩි – ආර්යන්පති ප්‍රදේශයේ පාසලකට ඇතුලුවී එහි තිබූ පරිගණකයක්, රූපවාහිනී යන්ත්‍රයක් ඇතුලු තවත් වටිනා විද්‍යුත් උපකරණ මෙලෙස සොරාගෙන ඇති බව සඳහන්.

විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුවයි ඔවුන් අද (04) උදෑසන අත්අඩංගුවට ගෙන ඇත්තේ ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

විෂබීජ සියයට අනූ නවයක් (99%) විනාශ කරන මුව ආවරණයක් පේරාදෙණිය සරසවියෙන්

(04.09.2021 – 15:09 +0530 – hirunews.lk/sinhala)

විෂබීජවලින් සියයට 99.9 ක ආරක්ෂාවක් ලැබෙන නව මුව ආවරණයක් නිර්මාණය කිරීමට පේරදෙණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමක් සමත් වී තිබෙනවා.

කොවිඩ් තත්ත්වය හමුවේ බිඳ වැටී ඇති ලංකාවේ අපනයන කර්මාන්තය නගා සිටුවීමට මෙය ඵලදායී ලෙස භාවිත කළ හැකි බව යි, මුව ආවරණය නිර්මානය කළ පර්යේෂක මණ්ඩලය සඳහන් කරන්නේ.

‘රෙස්පිරෝන් නැනෝ ඒ.වී. 99’ යන මෙම මුව ආවරණය, විදේශීය මට්ටමෙන් යහපත් ප්‍රතිචාර හා පැසසුම් ලැබුණු නිර්මාණයක් බව යි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති එම්.ඩී. ළමාවංශ මහතා පවසන්නේ.

+++++++++++++++

(04.09.2021 – 15:09 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වයිරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 2310 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව සටහන් වන්නේ 3,82,476 ක් ලෙසටයි.

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 4,56,126 ක් හඳුනාගෙන තිබෙනවා.

ඉන් මේවන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 63,844 ක්.

මෙරටින් කොරෝනා ආසාදිත මරණ 9806 ක් ද වාර්තාවුණා ෴

+++++++++++++++

(04.09.2021 – 15:20 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 4,725 දෙනෙකු වාර්තාවී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

අගෝස්තු 28 වනදා සිට 31 වනදා දක්වා කාලය තුළ මෙම ආසාදිතයන් වාර්තාවී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 4,56,126 දක්වා ඉහළ යනු ඇති ෴

+++++++++++++++

(04.09.2021 – 16:02 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 10 ක සංචාරකයින්ට පනවා තිබූ තහනම අනිද්දා (06) සිට ඉවත් කිරීමට පිලිපීනය පියවර ගෙන තිබෙනවා.

ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් පසුගිය අප්‍රේල් මාසයේ සිට මෙම සංචාරක තහනම පිලිපීනය විසින් පනවනු ලැබුවේ ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්ථානය, නේපාලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, තායිලන්තය, ඕමානය, මැලේසියාව සහ ඉන්දුනීසියාව යන රටවලටයි.

සංචාරක තහනම ඉවත් කළද, අදාළ රටවලින් පැමිණෙන සංචාරකයන් සති දෙකක (2) කාලයක් අනිවාර්යයෙන් නිරෝධායනයට ලක් විය යුතු බව පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටරෙට්ගේ ප්‍රකාශක හැරී රොක් සඳහන් කළා ෴

++++++++++++++++++

(04.09.2021 – 18:09 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 2,640 ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන දැක්වෙන්නෙ 4,58,766 ක් ලෙසයි.

මේ අතර, කොරෝනා වයිරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 2310 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව සටහන් වන්නේ 382,476 ක් ලෙසටයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *