වයස 20-30 ත් අතර පිරිසට එන්නත ලබාදීම ගැන අනුරාධපුර දිස්ත්‍රික් රජයේ වෛද්‍යවරුන්ගෙන් චෝදනා

වයස 20-30 ත් අතර පිරිසට එන්නත ලබාදීම ගැන අනුරාධපුර දිස්ත්‍රික් රජයේ වෛද්‍යවරුන්ගෙන් චෝදනා

*********************************************

වයස 20-30 ත් අතර පිරිසට එන්නත ලබාදීම ගැන අනුරාධපුර දිස්ත්‍රික් රජයේ වෛද්‍යවරුන්ගෙන් චෝදනා

(03.09.2021 – 20:09 +0530 – hirunews.lk/sinhala)

පාසල් ළමයින් සඳහා ලබාදීමට සුදුසුම එන්නත ෆයිසර් එන්නත බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු විශේෂඥයින් යෝජනා කර ඇති බැවින් වෙනත් වයස් කාණ්ඩවල පුද්ගලයින් සඳහා එම එන්නත ලබාදීම සිදු නොකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.

මේ අතර, එම සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික් ශාඛාවේ නියෝජිතයින් පිරිසක් අද (03) මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ තම දිස්ත්‍රික්කය තුළ කිසිදු එන්නතක් නොලැබුණු වැඩිහිටි ජනතාව ලක්ෂ දෙකක් (2,00,000) පමණ සිටින අවස්ථාවක වයස අවුරුදු 20 ත්, 30 ත් අතර පිරිස එන්නත්කරණයට ලක් කිරීම අසාධාරණ බවයි.

ෆයිසර් එන්නත් මිලියන 4 ක් පමණ ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට ලැබෙන බවට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළ බැවින් ඒවා මෙරට වයස අවුරුදු 12 ත් 18 ත් අතර සිසුන් සඳහා ලබාදෙන ලෙසටයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ.

එහි සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කොළඹ අද (03) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ එවැනි තත්ත්වයක් තිබියදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ සයිනොෆාම් ලබාදිය හැකි වයස්වල පසුවන්නන්ට ෆයිසර් එන්නත ලබාදී ඇති බවයි.

එසේම ස්පුට්නික්-වී එන්නතේ පළමු (1) මාත්‍රාව ලද තම දිස්ත්‍රික්කයේ විශාල සංඛ්‍යාවකට එහි දෙවන (2) මාත්‍රාව මෙතෙක් ලැබී නොමැති බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළා.

එසේම වයස 18 ට අඩු පුද්ගලයින් එන්නත්කරණයට යොමු කිරීම සඳහා ලියාපදිංචි වීමට අවශ්‍ය බව සඳහන් වන විද්‍යුත් ෆෝරමයක් මේ දිනවල සැරි සරන බැවින් එය වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ එකක් නොවන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ප්‍රකාශ කළා.

අද (03) දිනයේ මේ දක්වා අලුතින් ආසාදිතයින් 2,780 ක් වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

++++++++++++++++

(03.09.2021 – 20:25 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් අද (03) තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 864 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව අද (03) දිනයේ මෙරටින් හමුවූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3644 ක්.

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා වෛරස් ආසාදිතයන් 4,51,401 ක් හඳුනාගෙන තිබෙනවා.

ඉන් 60,767 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන අතර සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 3,80,166 ක්.

මෙරටින් කොරෝනා වෛරසය ආසාදිත මරණ 9604 ක් ද වාර්තාවී තිබෙනවා ෴

++++++++++++++++

(03.09.2021 – 20:35 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදිත තවත් මරණ 202 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (02) තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 9806 ක් ලෙසටයි.

මෙම මරණ අතර කාන්තාවන් 89 ක් සහ පිරිමින් 113 ක් වනවා.

වයස අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ මරණ 5 ක් වන අතර ඒ කාන්තාවන් 3 ක් සහ පිරිමි දෙදෙනෙකු (2) වශයෙන්.

අවුරුදු 30 ත් 59 ත් අතර මරණ 42 ක් වනවා. ඒ පිරිමි 24 ක් සහ කාන්තාවන් 18 ක් වශයෙන්.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ පිරිමින් 87 ක් සහ කාන්තාවන් 68 ක් ඊයේ (02) තහවුරු කළ මරණ 202 ට අයත්.

මේ අතර මෙරටින් අද (03) දිනයේ ආසාදිතයන් 3644 ක් වාර්තා වී තිබෙනවා.

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා හඳුනාගෙන ඇති කොරෝනා වයිරස් ආසාදිතයන් සංඛ්‍යාව 4,51,401 ක්.

ඉන් 60,767 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන අතර සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 3,80,166 ක් ෴

+++++++++++++++++

තව මාසයකින් රටටම වෙන්න යන දේ – වසංගතේට කරලක් හදපු කරාපිටියේ ඩොක්ටර් මරාදැමීමේ කුමන්ත්‍රණයක් ! (03.09.2021)

https://www.youtube.com/watch?v=hRNB7GJzNA4

+++++++++++++++++++

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

(03.09.2021 – 20:48 +0530 – hirunews.lk/sinhala)

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාව මැකීයාම සම්බන්ධයෙන් අප හිරු ප්‍රවෘත්ති ඔස්සේ පසුගිය දින කිහිපයේම රට හමුවේ කරුණු අනාවරණ කළා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු විමසා බැලීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් අද (03) එම අධිකාරිය වෙත පැමිණියා.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම එහිදී එම අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත විජේවන්ත මහතා හමුවී සාකච්ඡාවකද නිරත වුණා.

******************************************

(03.09.2021 – 22:43 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන පාලනය කිරීමට ජාත්‍යන්තර ණය ලබාදෙන කිසිම පාර්ශ්වයකට නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ණය සම්බන්ධව විවිධ පාර්ශ්ව ජාත්‍යන්තරය තුළ ගෙන යන අසත්‍ය ප්‍රචාර සම්බන්ධව අදහස් පළ කරමින් අද (03) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සදහන් කළේ ශ්‍රී ලංකාව චීනයේ ණය උගුලක සිරවී ඇතැයි ඇතැම් පාර්ශ්ව නඟන චෝදනා පදනම් විරහිත බවයි.

******************************************

අම්මයි තාත්තයි ඉතාලියේ : පුතා සේසතම විකුණා අන්තර් ජාල ක්‍රීඩාවේ

(03.09.2021 – 20:48 +0530 – lankadeepa.lk)

අන්තර් ජාල ‘ගේම්’ වලට ඇබ්බැවි නිවසේ ලක්ෂ ගනනක රන්බඩු හා යතුරු පැදියක් රහසේ විකුණා දමමින් මෙම ක්‍රීඩාවේ නිරත වු සිද්දියක් සම්බන්ධව සැකකාර 18 හැවිරිදි සිසුවකු අද (03) දින අත් අඩංගුවට ගත් බව මාරවිල පොලිසිය පවසයි.

අත් අඩංගුවට ගෙන ඇත්තේ මාරවිල කටුනේරිය ප්‍රදේශයේ පදිංචි අපොස උසස් පෙල හදාරණ සිසුවකු බව කියයි.

මෙම සිද්දිය අනාවරණය වි ඇත්තේ අදාල මාරවිල කටුනේරිය ප්‍රදේශයෙන් වන අතර මව සහ පියා ඉතාලියේ රැකියාවට ගොස් සිටින අතර සියා හා මිත්තනියගේ රැකවරණය යටතේ ජිවත් වන බව මූලික පරික්ෂණවලින් අනාවරණය වි ඇත.

එම යුවළගේ එකම පුත්‍රයා මෙසේ මෙසේ අන්තර් ජලය හාරහා මුදලට ‘ගේම්’ ගැසිමේ ක්‍රීඩාවට ඇබ්බැහි වි ඇති බව පොලිසිය පවසයි.

අදාල දරුවා මේ වන විට අපොස උසස් පෙළ විභාගයට පෙනි සිටිම සදහා ඔහුගේ පරිඝණකයෙන් අධ්‍යන කටයුතු සිදුකරන අතර තුර ක්‍රීඩාවට හුරුව ඇති බව පැවසෙයි.

එය අනාවරණ වි ඇත්තේ මෙම සිසුවාගේ නිවසේ තිබු ලක්ෂ ගණනක් වටිනා යතුරු පැදිය එකවර අතුරුදහන් විමත් සමග බව කියයි.

මෙම යතුරු පැදිය නිවසේ ගරාජයේ තිබියදි අතුරුදහන් විමේන් පසු සිසුවාගේ මිත්තනිය හා සියා මාරවිල පොලිසියට පැමිණිලි කර ඇති අතර එම සිද්දිය පිළිබදව මාරවිල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ධම්මික විජේසිංහ මහතා ඇතුළු නිළධාරින් පිරිසක් පුළුල් පරික්ෂණ ආරම්භ කර තිබේ.

පොලිස් කණ්ඩායම් අනාවරණය කර ගෙන තිබුණේ මෙම සිසුවා එක්වරකට විශාල මුදලක් වැය කරමින් මෙම අන්තර් ජාල ගේම් වලට ඇබ්බැහි වි ඇති බවත් පලමුව නිවසේ තිබු සිසුවාගේ ලක්ෂ 4 කට ආසන්න යතුරු පැදිය එක් ලක්ෂ පනස් දහසකට (1,50,000) විකුණා දමා ඇති බවයි.

කෙසේ නමුත් පොලිසිය දිගින් දිගටම කල විමර්ශන වලින් පසුව අනාවරණය වි ඇත්තේ මෙම සිසුවා තම මවගේ හා මිත්තනියගේ ලක්ෂ පහකට (5,00,000) වැඩි වටිනාකමින් යුත් රන් ආභරණද සොරකම් කර එයින් ලැබුන මුදලින් ‘ඉන්ටනෙට් ගේම්’ ක්‍රීඩාවේ නිරත වි ඇති බව පොලිසිය අනාවරණය කර ගෙන ඇත ෴

******************************************

ඉල්ලූ පරිප්පු ප්‍රමාණය නොදුන්නාට සතොස ශාඛා කළමණාකරුට නාගරික මන්ත්‍රී පහරදෙයි

(03.09.2021 – 20:18 +0530 – sinhala.adaderana.lk)

හැටන් සතොස ශාඛාවේ කළමණාකරුට හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්‍රී ශෂි රත්නායක විසින් පහරදුන් බවට කළමනාකරු විසින් සතොස ඉහළ කලමණාකාරිත්වයට පැමිණිලි කර තිබේ.

නාගරික මන්ත්‍රී සැප්තැම්බර් 01 වනදා පස්වරු 2 ට පමණ තම ශාඛාව වෙත පැමිණ රතු පරිප්පු කිලෝ දෙකක් (2) ඉල්ලා තිබුණි.

නමුත් එම ශාඛාවට උපදෙස් දී ඇත්තේ එක් අයෙකුට කිලෝවක් (1) පමණක් විකුණන ලෙස බවත් ඒ බව නාගරික මන්ත්‍රීට පැවසූ විට ඔහු තමාට බැනවැදී පහරදුන් බව එම නිලධාරියා පැවසීය.

එම සිදුවීම එහි CCTV කැමරාවක සටහන් වී තිබුණි.

******************************************

‘සන්ෂයින් සුද්දා’ ඝාතනය – දුරකථන ඇමතුමෙන් ආ තර්ජනය

(03.09.2021 – 19:42 +0530 – sinhala.adaderana.lk)

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ‘හෙට්ටිහේවගේ අමිල ප්‍රසන්න’ හෙවත් ‘සන්ෂයින් සුද්දා’ අද (03) දහවල් වෙඩිතබා ඝාතනය කර තිබුණි.‍

පොලිසිය පැවසුවේ සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටින අතරතුර කිසියම් පිරිසක් ඔහුට මාතර කොටවිල ප්‍රදේශයේදී වෙඩි තබා ඇති බවය.

‘හෙට්ටිහේවගේ අමිල ප්‍රසන්න’ හෙවත් ‘සන්ෂයින් සුද්දා’ සහ ඔහු සබඳතා පැවැත්වූ බව කියන කාන්තාවක් පදිංචිව සිට ඇත්තේ මිරිස්ස ප්‍රදේශයේ පිහිටි ඔහුට අයත් හෝටලයක ය.

අද (03) දින එම කාන්තාවගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇයට අවශ්‍ය ආහාර රැගෙන ඒම සඳහා ඔහු ඇයගේ වරකාපිටිය නිවසට ගොස් තිබුණි.

නැවත එම නිවසෙන් පිටත්ව සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටින අතරතුර මාතර, කොටවිල වරකාපිටිය මහා විද්‍යාලය අසලදී ඔහු මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණි.

පොලීසිය සඳහන් කළේ එම පාසල ආසන්නයේ ඇති කැළෑබද ප්‍රදේශයක සිට කිසියම් පුද්ගලයෙකු ‘අමිල ප්‍රසන්න’ට වෙඩි තබා ඇති බවය.

‘සන්ෂයින් සුද්දා’ සබඳතා පැවැත්වූ කාන්තාවට මීට සතියකට පමණ පෙර ඇමතුමක් දී ඔහුව මරාදමන බවට කිසියම් අයකු කළ තර්ජනයක් ඇතුළත් හඬපටයක්ද ඇය විසින් මේ වන විට පොලිසියට ඉදිරිපත්කර තිබේ.

මාතර, මිරිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 29 හැවිරිදි ‘අමිල ප්‍රසන්න’ හෙවත් ‘සන්ෂයින් සුද්දා’ දකුණු පළාතේ සිදුකළ මත්ද්‍රව්‍ය ජාවාරම් රැසකට සම්බන්ධ වී සිට ඇතැයි පොලිසිය පවසයි.

සැකකරුට එරෙහිව මේ වනවිටත් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ මෙන්ම ඩුබායි හි අධිකරණයකද නඩු විභාග වෙමින් තිබේ.

මීට පෙර ඉකුත් මැයි 30 වනදා මිරිස්ස වරාය මාර්ගයේදී ‘සන්ෂයින් සුද්දා’ හට චින්තක නොහොත් ‘හරක් කටා’ නැමැති පාතාල සාමාජිකයාගේ යැයි සැකකෙරෙන සගයින් දෙදෙනෙකු (2) විසින් වෙඩි තබනු ලැබීය.

නමුත් එම අවස්ථාවේදී ඔහු අසල තිබු නිවසකට ගොස් සිය ජීවිතය බේරා ගන්නා ආකාරය සීසීටීවී කැමරාවක සටහන්ව තිබුණි.

‘සන්ෂයින් සුද්දා’ගේ ඝාතනය පිළිබඳ කොටවිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *