රිෂාඩ් බදියුදීන්ට ජංගම දුරකථනය ලබාදුන් ජේලර්ට ස්ථාන මාරුවක්

රිෂාඩ් බදියුදීන්ට ජංගම දුරකථනය ලබාදුන් ජේලර්ට ස්ථාන මාරුවක්

*********************************************

රිෂාඩ් බදියුදීන්ට ජංගම දුරකථනය ලබාදුන් ජේලර්ට ස්ථාන මාරුවක්

(03.09.2021 – 15:33 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් හට ජංගම දුරකථනයක් ලබාදුන් බවට හඳුනාගත් ජේලර්වරයාට ස්ථාන මාරුවක් ලබාදීමට බන්ධනාගාර මූලස්ථානය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මැගසින් බන්ධනාගාරයේ සිට වවුනියාව බන්ධනාගාරය වෙත අදාළ ජේලර්වරයා ස්ථාන මාරු කිරීමට පියවර ගෙන ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සතුව තිබී ජංගම දුරකථනයක් සොයාගෙන තිබුණේ ඊයේ (02) දිනයේයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ මැගසින් බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා සහ තවත් ජේලර්වරයෙකු මන්ත්‍රීවරයා රඳවා සිටින සිර මැදිරිය අසළට යන විට ඔහු දුරකථනය පිටතට විසිකර ඇති බවයි.

කෙසේ වෙතත් පසුව බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් එම ජංගම දුරකථනය වැඩිදුර පරීක්ෂාව සඳහා බුද්ධි අංශය වෙත ලබාදී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා ෴

******************************************

(03.09.2021 – 14:18 +0530 – hirunews.lk/sinhala)

කැබිනට් පත්‍රිකා හරහා ගුරු – විදුහල්පතිව ගැටලුවට මීට පෙර ද විසඳුම් ලබාදීමට නොහැකි වූ බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා.

අද (03) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනු යි ඔහු මේ අදහස් පළ කළේ.

******************************************

(03.09.2021 – 14:35 +0530 – hirunews.lk/sinhala)

ලෝක පොල් දිනයට සමගාමී ව මුල් දින කවරයක් සහ විශේෂ සමරු මුද්දර 10 ක් නිකුත් කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණා.

ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය, තැපැල් දෙපාර්තමේන්තුව සමඟ එක් ව ඊයේ (02) මෙලෙස සමරු මුද්දර 10 ක් එකවර නිකුත් කෙරුණේ ඉතිහාසයේ පළමු වරට යි ෴

******************************************

(03.09.2021 – 14:50 +0530 – hirunews.lk/sinhala)

මෙරට පොලිස් සේවය පිහිටුවා අදට (03) වසර 155 ක් සපිරෙනවා. කෙසේ වෙතත් පවතින කොවිඩ් වසංගත තත්ත්වය මත පොලිස් දින සැමරුම මෙවර උත්සවාකාරයෙන් පැවැත්වීමට කටයුතු නොකළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ.

පොලිස් ස්ථාන හා පොලිස් කාර්යාල මට්ටමින් පොලිස් ධජය එසවීම පමණක් අද (03) දිනයේ සිදුකර තිබෙනවා ෴

******************************************

(03.09.2021 – 16:30 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කෙන්යානු ජනාධිපති උහුරු මුයිගයි කෙන්යාටා (Uhuru Muigai Kenyatta) අද (03) උදෑසන සුහද දුරකථන සංවාදයක නිරත වී තිබෙනවා.

නායකයන් දෙපළ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවල වර්ධනය පිළිබඳ සතුට පළ කරමින් සහයෝගීතාව තවදුරටත් තර කර ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

කොවිඩ් වසංගතය මර්දනය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන ඇති පියවර සහ එන්නත්කරණ වැඩසටහනේ සාර්ථකත්වය පිළිබඳ ජනාධිපති උහුරු කෙන්යාටා සිය ප්‍රසාදය පළ කර තිබෙනවා.

දැනටමත් ජනතාවගෙන් 70% කට එන්නත්කරණය සිදු කරමින් ක්‍රියාත්මක මෙම ක්‍රමවත් වැඩසටහන සෙසු ජාතීන්ට ආදර්ශයට ගත හැකි බවයි ඔහු සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතය පාලනය කරමින් රෝගීන් සහ මරණ සංඛ්‍යාව හොඳින් කළමනාකරණය කරගත හැකි වූ නමුත් මෙම වසර මැද භාගයේ දී නව කොවිඩ් ප්‍රභේද මතු වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නා.

ඉතිහාසයේ පටන් විවිධ අභියෝගවලට මුහුණ දී, නැගීසිටීමේ හැකියාව ශ්‍රී ලංකාවට අඛණ්ඩව ඇති බව පෙන්වා දෙමින් ජනාධිපතිවරයා කියාසිටියේ මෙම වසංගතය ද පාලනය කර සාර්ථකව නැගී සිටීමට හැකි බවයි.

නායක දෙපළ මෙහිදී ගෝලීය සහ කලාපීය කරුණු පිළිබඳව ද අදහස් හුවමාරු කර ගෙන තිබෙනවා.

හිටපු ජනාධිපති, වත්මන් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග තම සමීප සබඳතා සහිපත් කරමින් ජනාධිපති උහුරු කෙන්යාටා කියාසිටියේ දෙරටේම ජනතාවගේ යහපත උදෙසා ශ්‍රී ලංකාව සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බවයි.

නැගෙනහිර අප්‍රිකාවේ ප්‍රධානතම රටක් වන කෙන්යාව ශ්‍රී ලංකාව සමග අඛණ්ඩ මිත්‍රත්වයෙන් කටයුතු කරන රටක් වන අතර 2020 දී දෙරට අතර තානාපති සබඳතාවල පනස් (50) වසර සම්පූර්ණ වූ අතර ආර්ථික, වෙළෙඳ, ආයෝජන සහ දේශපාලන ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සහයෝගීතාව නව ඉහළ මට්ටමකට පිවිස තිබෙනවා ෴

******************************************

(03.09.2021 – 16:59 +0530 – hirunews.lk/sinhala)

චීන සංවර්ධන බැංකුවේ ප්‍රාදේශීය ශාඛා මූලස්ථානය කොළඹ වරාය නගරයේ ඉදි කරන්නේ නම් ඊට සියලු පහසුකම් සලසා දිය හැකි බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසා තිබෙනවා.

මුදල් අමාත්‍යවරයා මේ යෝජනාව සිදුකර ඇත්තේ පසුගිය දා චීන පාර්ලිමේන්තු කතානායක වරයා ඇතුලු ඉහළ දූත පිරිසක් සමග සූම් තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවක දී.

එම සාකච්ඡාවට මෙරට පාර්ලිමේන්තුවේ කතානායක වරයා ඇතුලු තවත් මැති ඇමතිවරුන් පිරිසක් එක්ව සිටියා.

එමෙන්ම මෙම සාකච්ඡාවේදී චීන ව්‍යාපාරිකයන් හට වරාය නගරයේ ආයෝජන සිදු කිරීම සඳහා දිරිමත් කරයි කරන්නයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ චීන කතානායකවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

මෙම යෝජනාවට ඉතා යහපත් ප්‍රතිචාරයක් දක්වා ඇති චීන කතානායක වරයා පවසා ඇත්තේ මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සමීප මිතුරෙකු ලෙස චීනය හැකි සෑම උපකාරයක් ම සිදුකරන බවයි.

එමෙන්ම පවතින කොරෝනා වෛරස තත්ත්වය සමනය වීමෙන් අනතුරුව දූත කණ්ඩායම් හුවමාරුවක් ද සිදු කළ යුතු බවට මෙහිදී චීන පාර්ලිමේන්තුවේ කතානායක ලී සාන් ෂූ පවසා සිටියා.

පසුගියදා ශ්‍රී ලංකා රජය මෙරට අමෙරිකානු ඩොලර් සංචිත ශක්තිමත් කර ගැනීම සඳහා චීන සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 350 ක ණය මුදලක් ද ලබා ගත්තා ෴

******************************************

පහන්තුඩාවේ අසභ්‍ය දර්ශනවල පෙනී සිටි බල්ලට සහ බැල්ලිට කොරෝනා

(03.09.2021 – 17:20 +0530 – hirunews.lk/sinhala)

= පහන්තුඩාවේ අසභ්‍ය දර්ශනවල පෙනී සිටි දෙදෙනාට කොරෝනා =

බලංගොඩ – පහන්තුඩාව දිය ඇල්ල ආසන්නයේ රූගත කළ අසභ්‍ය වීඩියෝ දර්ශනයකට පෙනී සිටීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවට සහ පිරිමියාට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු ඔවුන්ව පොලිස් ඇප මත මුදා හැරීමටයි පොලීසිය පියවර ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් නිරෝධානයට ලක්වෙමින් සිට ඇති අතර, පසුගිය මාසයේ මුල් සතියේදී ඔවුන් අදාළ දිය ඇල්ල ආසන්නයේ මෙම රූගත කිරීම සිදුකර ඇති බවට ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී තිබෙනවා.

කෙසේ වෙතත්, එය රූගත කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණයක් ක්‍රියාත්මකයි ෴

******************************************

කුඩා සිතුල්පව්වේ නිධන් හෑරූ සැකකරුවන් රිමාන්ඩ්

(03.09.2021 – 19:25 +0530 – hirunews.lk/sinhala)

කුඩා සිතුල්පව්ව චෛත්‍ය ගර්භය බිඳ නිධන් වස්තු සොරා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 7 දෙනා ලබන 07 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයයි අද (03) මෙම නියෝග ලබා දුන්නේ.

චෛත්‍යයට සිදුකර ඇති හානිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අධිකරණ නියෝගයක් අනුව පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද (03) පරීක්ෂණ සිදු කළා.

කුඩා සිතුල්පව්ව චෛත්‍යයේ නිධන් වස්තු සොරකම් කිරීම ගැන විමර්ශන තවදුරටත් සිදු කෙරෙනවා ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

(03.09.2021 – 14:56 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 1,998 දෙනෙකු සුවය ලබා තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත සුවය ලැබූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 3,80,166 ක්.

තවදුරටත් පුද්ගලයින් 57,987 දෙනෙකු රෝහල්ගතව සහ නිවෙස්වල ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ෴

++++++++++++++++++

(03.09.2021 – 15:02 +0530 – hirunews.lk/sinhala)

වරාය අධිකාරියේ කොරෝනා ආසාදනය වන සේවකයන් සඳහා අතරමැදි කොරෝනා මධ්‍යස්ථානයක් පෑලියගොඩ ප්‍රදේශයේ ස්ථාපිත කර තිබෙනවා.

ඔක්සිජන්, ඖෂධ, ප්‍රතිජීවක සහ ආහාර ඇතුලුවද අනෙකුත් සියලු පහසුකම්වලින් සමන්විතවයි මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය ඉදිකර ඇත්තේ.

එය, ඇඳන් 108 කින් සමන්විත වන අතර, දෙවන (2) අදියර යටතේ තවත් ඇඳන් 110 ක් එක් කිරීමට නියමිත බව වරාය අධිකාරිය නිවේදනය කළා ෴

++++++++++++++++++++

(03.09.2021 – 16:15 +0530 – hirunews.lk/sinhala)

වෛද්‍ය අනුමැතිය ලද වහාම පාසල් සිසුන්ටද ෆයිසර් එන්නත ලබාදීමට හැකියාව ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද (03) පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමට එක්වෙමින් ඔහු මේ සඳහන් කළා.

දැනට එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ වයස අවුරුදු 20 ත් 29 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන පුද්ගලයින්ට එන්නත්කරණය ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම අද (03) පැවති මෙම රැස්වීමේදී එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථක කරගැනීමට සහය ලබාදෙමින් සිටින සෞඛ්‍ය, ආරක්ෂක ඇතුලු සියලු පාර්ශවයන් වෙත ජනාධිපතිවරයා ප්‍රශංසාව පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

දෛනිකව 400-450 ත් අතර මධ්‍යස්ථාන සංඛ්‍යාවකදී එන්නත්කරණය සිදු කෙරෙන අතර ඒ ඒ මධ්‍යස්ථාන වෙත ලබාදෙන එන්නත් සංඛ්‍යාව සෞඛ්‍ය අංශ නිර්දේශ මත තීරණය වනවා.

එහෙත් මධ්‍යස්ථානයකදී හෝ දෙකකදී සිදුවන සංසිද්ධියක් ගෙනහැර දක්වමින් සමස්ත ක්‍රියාවලිය අක්‍රමවත් බව හුවා දැක්වීමට කෙරෙන උත්සාහය කණගාටුදායක බව පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරු මෙහිදී පෙන්වා දී තිබෙනවා.

එන්නත්කරණයෙන් අත්කරගත් සාර්ථකත්වය සමග නව සාමාන්‍යකරණ ක්‍රමවේදයට අනුගත වෙමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.

දිවයින පුරා පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය ලබන 13 වනදා අලුයම 04 දක්වා තව දුරටත් දීර්ඝ කිරීමට ද මෙම කමිටුවේදී තීරණය කෙරුණා.

පළාත් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරු සාකච්ඡාවට එක්වෙමින් කොවිඩ් මර්දනයට ගෙන ඇති පියවර පිළිබඳ කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

2020 වසරේ මාස 03 කට අධික කාලයක් රට වසා තැබීම හේතුවෙන් ඉතිහාසයේ පළමු වතාවට රටේ ආර්ථිකය සෘණ අගයක් ගනු ලැබූ අතර කුඩා ආර්ථිකයක් ඇති රටක් ලෙස යථාර්ථය අවබෝධ කර ගනිමින් ආර්ථිකය ආරක්ෂා කරගෙන ඉදිරියට යාමට සියලු පාර්ශ්වයන් වගකීමෙන් තීරණ ගතයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළා.

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුව ද එන්නත්කරණ වැඩපිළිවෙළේ සාර්ථකත්වය මත අපනයන ක්ෂේත්‍රයේ කර්මාන්ත අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකිවීම ආර්ථිකය ලද විශාල අස්වැසිල්ලක් වූ බවයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ.

ලෝකයේ බොහෝ රටවල් සංචාරක කර්මාන්තය සඳහා විවෘත කෙරෙමින් පවතින අතර ඊට සමගාමීව තීරණ ගැනීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට ඇති හැකියාව ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

කොවිඩ් මර්දන වැඩසටහනට සමගාමීව සංචාරක මෙහෙයුම් ප්‍රවර්ධනයට ගතයුතු සෞඛ්‍ය නිර්දේශ කඩිනමින් ලබාදෙන ලෙස ද ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස් දී තිබෙනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, කෙහෙළිය රඹුක්වැල්ල, ඩලස් අලහප්පෙරුම, පවිත්‍රා වන්නිආරච්චි, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, වෛද්‍ය රමේෂ් පතිරණ, නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග රාජ්‍ය අමාත්‍යවරුන් වන වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සිසිර ජයකොඩි, මහාචාර්ය චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මීන් සහ ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති සහ කොවිඩ් මර්දන විශේෂ කමිටුවේ සාමාජිකයන් සහ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන් මේ අවස්ථාවට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ෴

++++++++++++++++++

(03.09.2021 – 17:05 +0530 – hirunews.lk/sinhala)

මෙරට රැදී සිටින විදේශිකයන්ගේ වීසා කාලය යළිත් දින 30 කින් දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව සැප්තැම්බර් 07 වන දා සිට ඔක්තෝම්බර් 07 වන දා දක්වා මෙම දීර්ඝ කිරීම සිදුකර ඇති බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සදහන් කළේ ෴

+++++++++++++++++++

(03.09.2021 – 18:13 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ ඇතැම් රෝහල්වල කලක සිට ගොඩගැසී ඇති හඳුනා නොගත් මෘත දේහ සම්බන්ධයෙන් සුදුසු නීතිමය තත්ත්වය සොයා බලා එම මෘත දේහ ඉතා ඉක්මනින් රෝහල්වලින් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

අධිකරණමය ක්‍රියාමාර්ග මෙන්ම විවිධ හේතු නිසාවෙන් ඇතැම් මෘත ශරීර රෝහල් වලින් නිදහස් කිරීමට නොහැකි වී ඇති අතර, ඒ පිළිබඳ දැඩි අවධානය යොමුකරමින් ඒවා කඩිනමින් නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි මෙහිදී අමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සමඟ පැවති සාකච්ඡාවකදී ඉදිරිපත් වූ කරුණූ මත අමාත්‍යවරයා මේ පිළිබඳ සොයාබැලීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

කලක සිට ගොඩගැසී තිබූ මෘත දේහයන් ප්‍රමාණයක් දින කිහිපයකට පෙර ද රෝහල්වලින් ඉවත් කිරීමට පියවර ගැනුණු අතර එලෙස ඉතිරිව ඇති තවත් මෘත දේහයන් මේ අනුව කඩිනමින් ඉවත් කිරීමට පියවර ගැනෙනු ඇති.

මේ අතර ඇතැම් රෝහල්වල අබලන්ව ඇති මෘත ශරීරාගාර හා ශීතාගාර කඩිනමින් අළුත්වැඩියා කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව රෝහල්වල මෘත ශරීර අනවශ්‍ය ලෙස ගොඩ ගැසීම වළක්වා ගැනීමට ගත හැකි සෑම පියවරක්ම ගත යුතුව ඇති බවයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පෙන්වා දුන්නේ ෴

+++++++++++++++++

(03.09.2021 – 18:47 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 2780 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 450,537 ක් ලෙසටයි.

ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති කොරෝනා ආසාදිතයන් ගෙන් 57,987 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 3,80,166 ක්.

මෙරටින් කොරෝනා මරණ 9604 ක් ද වාර්තාවී තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *