බිත්තියක ගඩොල් සිරුර මතට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

බිත්තියක ගඩොල් සිරුර මතට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

*********************************************

බිත්තියක ගඩොල් සිරුර මතට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

(31.08.2021 – 16:32 +0530 – hirunews.lk/sinhala)

අනාරක්ෂිත අයුරින් සකස් කර තිබූ බිත්තියක සිමෙන්ති ගඩොල් කිහිපයක් සිරුර මතට පෙරළීමෙන් තුවාල ලබා රෝහල් ගතකර සිටි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වවුනියාව, පෙරියකට්ටු ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු එකහාමාරක (1½) දරුවෙකුයි ඊයේ (30) සවස මෙලෙස ජීවිතක්ෂයට පතව ඇත්තේ.

මිදුලේ සිටි දරුවා මතට කුකුල් කූඩුවක් සෑදීමට අසුරා තිබූ ගඩොල් බිත්තියේ ගඩොල් කිහිපයක් වැටී ඇති බවයි නිවැසියන් පොලිසියට පවසා ඇත්තේ.

අනතුරුව තුවාල ලැබූ දරුවා වවුනියාව රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී දරුවා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

දරුවාගේ මළ සිරුර සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ වවුනියාව රෝහලේ දී සිදු කිරීමට නියමිතව තිබූ අතර වවුනියාව, පූවරසන්කුලම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා ෴

******************************************

(31.08.2021 – 17:01 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත, ඉසුරුපුර පාලම අසල දී පෙරලී යාමෙන් අද (31) දහවල් අනතුරක් සිදුව තිබෙනවා.

මාතර පිහිටි ඛණිජ තෙල් සංස්ථා ගබඩාවේ සිට මත්තල දක්වා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.

බවුසරයේ ඉදිරිපස රෝදයක් පුපුරා යාමෙන් රියදුරුට රථය පාලනය කරගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරෙන් පසු අවට ප්‍රදේශවාසීන් පැමිණ බවුසරයෙන් පිටතට ගලායන ඉන්ධන රැස්කර ගැනීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුව වෙනත් බවුසරයක් ගෙන්වා ඉතිරිව තිබූ ඉන්ධන පුරවාගෙන රැගෙන යෑමටයි කටයුතු කර ඇත්තේ.

අනතුරින් කිසිවෙකුත් තුවාල ලබා නොමැති අතර අධිවේගි මාර්ගයේ යකඩ වැටට අලාභ හානි සිදුව තිබෙනවා.

++++++++++

(31.08.2021 – 19:13 +0530 – sinhala.adaderana.lk)

ඉන්ධන පිරවූ බවුසරයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත ඉසුරුපුර ප්‍රදේයේදී අද (31) පෙරවරුවේ අනතුරට ලක්වී තිබුණි.

ඉන්ධන බවුසරයේ ටැංකියෙන් කාන්දු වන තෙල් එක්රැස් කරගැනීම සඳහා ප්‍රදේහවාසීන් කටයුතු කර තිබුණේ පවතින නිරෝධායන ඇඳිරිනීතිය ද නොතකමිනි.

මේ අතර සිදුවීම වාර්තා කිරීම සඳහා එහි ගිය ‘අද දෙරණ’ වාර්තාකරුට අධිවේගී මාර්ග නිලධාරීන් විසින් බාධා එල්ලකර තිබුණි.

******************************************

(31.08.2021 – 18:05 +0530 – hirunews.lk/sinhala)

මාලදිවයිනට ආසන්න ගැඹුරු මුහුදේ දී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින් ගෙන ආ යාත්‍රාවෙන් මුහුදට විසි කරන ලද බවට සැක කෙරෙන හෙරොයින් අඩංගු බෑගයක් අහුංගල්ල වෙරළට ගොඩගසා තිබියදී අද (31) සොයාගෙන තිබෙනවා.

හිරු වාර්තාකරු සඳහන් කළේ අහුංගල්ල – එගොඩමුල්ල වෙරළ තීරයට මෙම හෙරොයින් අඩංගු බෑගය ගොඩගසා තිබූ බවයි.

අදාළ බෑගයෙහි හෙරොයින් කිලෝවක් (1) පමණ අඩංගු බවට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකරන ලද පරීක්ෂාවකදී අනාවරණ වී තිබෙනවා.

නාවික හමුදාව විසින් අද (31) අලුයම හෙරොයින් කිලෝග්‍රෑම් 290 ක් සමඟ සැකකරුවන් පස්දෙනෙකු (5) ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගනු ලැබුවා ෴

******************************************

(31.08.2021 – 18:36 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරයා විසින් පත්කරන ලද අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් එම්.එස්.පී. නිවුන්හැල්ල මහතා සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතර සාකච්ඡාවක් අද (31) පවත්වා තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති මෙම විශේෂ සාකච්ඡාව සඳහා පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්න්ත අලගියවන්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කළේ රටේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟය සහ එවැනි හිඟයක් මවාපෑමට ජාවාරම්කරුවන් ක්‍රියා කිරීම හා ඊට එරෙහිව ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහි දී සාකච්ඡා වූ බවයි ෴

******************************************

(31.08.2021 – 19:44 +0530 – hirunews.lk/sinhala)

සීනි ගබඩා කර ඇති ස්ථානවල සහ වෙළදපළේ පවතින සීනි පිළිබඳව සමීක්ෂණයක් සිදුකිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර තිබෙනවා.

ඒ අනුව තම අධිකාරියේ ලියාපදිංචි කර ඇති සියළුම සීනි ගබඩාවල පවතින සීනි තොග සම්බන්ධයෙන් මෙහිදී තොරතුරු රැස් කරන බවයි එම අධිකාරියේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ වනවිට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ලියාපදිංචි නොකර සීනි ගබඩා කර ඇති ස්ථාන සොයා විශේෂ මෙහෙයුමක් ද ආරම්භ කර තිබෙනවා.

ඒ, සීනි තොග සඟවා වැඩි මිලට අලෙවි කරන බවට ලද තොරතුරුවලට අනුවයි.

පසුගිය දින කිහිපයේ සිදුකළ එවැනි වැටලීම්වලදී සීනි මෙට්‍රික් ටොන් 12,255 ක් සොයා ගෙන තිබෙනවා.

මේ අතර දුඹුරු සීනි කිලෝවක් රුපියල් 130 කට ලබාගැනීම සඳහා ඇතැම් ප්‍රදේශවල සතොස අලෙවිසැල් ඉදිරිපිට අද (31) දිනයේත් පෝලිම් දක්නට ලැබුණා.

එමෙන්ම වෙළඳපළේ මේ වන විට කිරිපිටි හිඟයක් ද පවතින අතර කූඨ උපක්‍රම භාවිතා කරමින් ජනතාවට කිරිපිටි අලෙවි කිරීමේ ජාවාරමක් ද මේ වන විට ක්‍රියාත්මකයි.

අයිස් ක්‍රීම් සකස් කිරීම සඳහා යොදා ගන්නා කිරිපිටි, පැකට් කොට අලෙවි කිරීමේ ස්ථානයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අද (31) වටලනු ලැබුවා.

වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි මෙම ස්ථානයේ තිබූ කිරිපිටි අයිස්ක්‍රීම් සකස් කිරීම සඳහා මෙරටට ගෙන්වා ඇත්තේ නවසීලන්තයෙන්.

එහෙත් පවතින කිරිපිටි හිඟයත් සමග ඒවා පාරිභෝජනයට ගන්නා කිරිපිටි ලෙස සකස් කර අලෙවි කිරීමට එහි හිමිකරුවන් පියවර ගෙන තිබුණා.

එමෙන්ම පිටකොටුව ප්‍රදේශයෙන් ද අද (31) එවැනිම ජාවාරමක් අනාවරණ කර ගත්තේ ‘හිරු සී.අයි.ඒ.’ සිදුකළ විමර්ශනයකදියි.

මේ අතර ලියාපදිංචි නොවී පවත්වාගෙන ගිය උතුරුමැද සහ නැගෙනහිර ප්‍රදේශවල පිහිටි වී ගබඩා 72 කට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මුද්‍රා තබා තිබෙනවා.

++++++++++

******************************************

‘හිරු CIA’ කොටුකරගත් පිටකොටුවේ කිරිපිටි මාෆියාව

(31.08.2021 – 20:16 +0530 – hirunews.lk/sinhala)

කිරිපිටි මේ දිනවල වෙළඳ පොළේ ජනප්‍රිය මාතෘකාවක් වී ඇත්තේ පවතින කිරිපිටි හිඟයත් සමඟයි.

බොහෝ දෙනා එම තත්ත්වයෙන් පීඩා විඳින අතරතුර කූට වෙළෙඳුන් එම අවස්ථාවෙන් පවා ප්‍රයෝජන ගැනීමට පෙළඹීම අවාසනාවන්ත තත්ත්වයක්.

අද (31) ‘හිරු සී.අයි.ඒ.’ හෙළිදරව්ව කිරිපිටි හිඟය දඩමීමා කරගත් එම ජාවාරම පිළිබඳවයි.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

(31.08.2021 – 17:39 +0530 – hirunews.lk/sinhala)

තැපැල් හා උප තැපැල් කාර්යාල වසා තිබීම හේතුවෙන් අගෝස්තු මාසයට අදාලව ගෙවීමට ඉතිරිව ඇති ගොවි විශ්‍රාම වැටුප් සහ අනෙකුත් මහජන දීමනා සහ සැප්තැම්බර් මාසයට ආදාළ මහජන දීමනා ද සැප්තැම්බර් 01 සහ 02 යන දිනයන් වලදී ගෙවීමට කටයුතු කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසනවා.

ඒ අනුව අදාල දීමනා ලාභීන් නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් අදාල දින දෙක (2) තුල තැපැල් සහ උප තැපැල් කාර්යාල වෙත පැමිණ එම දීමනා ලබා ගන්නා ලෙසයි තැපැල්පතිවරයා දැනුම් දෙන්නේ ෴

+++++++++++++++++++

(31.08.2021 – 17:52 +0530 – hirunews.lk/sinhala)

තවත් කොවිඩ් ආසාදිතයින් 2,340 ක් අද (31) දිනයේදී මෙරටින් හඳුනා ගෙන තිබෙනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 4,38,421 ක් ලෙසයි.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 2,164 දෙනෙකු අද (31) දිනයේදී සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.

එමෙන්ම, මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 8,991 ක් ෴

+++++++++++++++++++

(31.08.2021 – 19:17 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව අද (31) 9,000 සීමාව ඉක්මවා ගියා.

ඒ අද (31) දිනයේ වාර්තා වූ කොවිඩ් අසාදිත මරණ 194 ත් සමඟයි.

ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 9,185 ක් ලෙසයි.

+++++++++++++++++

(31.08.2021 – 19:52 +0530 – hirunews.lk/sinhala)

යූ ටියුබ් නාලිකාවක් සමඟ පැවති සංවාදයක දී කොරෝනා පරීක්ෂණ සම්බන්ධයෙන් සිදුකළ විග්‍රහයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා අද (31) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා තිබූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට එම ප්‍රකාශය ලබාදීම සඳහා තව දින 14 ක කාලයක් ලබාදී තිබෙනවා.

අද (31) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබුණත් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ ඉල්ලීමකට අනුවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම කාලය ලබාදී ඇත්තේ.

අදාළ ප්‍රකාශය පිළිබදව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත විජේවන්ත මහතා සහ ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම පැමිණිල්ල ගොනු කර තිබුණා.

මේ අතර, දොඩන්දූව – රෝහණ බාලිකා විද්‍යාලයේ පැවති එන්නත් ලබාදීමේ වැඩසටහනේ දී එම එන්නත්කරණ වැඩසටහන විවේචනය කරමින් සමාජ මාධ්‍යය වෙත ප්‍රකාශයක් ලබාදුන් පුද්ගලයාගෙන් පොලීසිය ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.

සිදුකළ දැනුම්දීමකට අනුව අද (31) ඔහු ගාල්ල පොලීසියට පැමිණ මෙම ප්‍රකාශය ලබාදුන් බවයි අප වාර්තාකරු කියා සිටියේ.

පසුගිය 27 වනදා හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් දොඩන්දූව – රෝහණ බාලිකා විද්‍යාලයේදී සයිනොෆාම් එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබාදීම සිදුකළා.

කෙසේ වෙතත්, එහිදී හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ ජනතාවට අමතරව රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ පිරිස් ද එම ස්ථානයට පැමිණීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හට ගත් අතර එහිදීයි මෙම පුද්ගලයා අදාළ ප්‍රකාශය සිදුකර තිබුණේ ෴

++++++++++++++++++

(31.08.2021 – 20:05 +0530 – hirunews.lk/sinhala)

එක්සත් රාජධානියේ ඖෂධ නියාමන අනුමැතිය ලද ‘රීජන් කොව්’ නැමති ඖෂධය මෙරටට ගෙන්වීමට අවසර ලබාදුන් බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

මේ අතර, අද (31) දිනයේ මේ දක්වා අලුතින් කොරෝනා ආසාදිතයින් 2340 ක් සොයා ගැනුණා.

‘රීජන් කොව්’ ඖෂධය මෙරට භාවිතයට ගන්නා ලෙස වෛද්‍ය විශේෂඥයින් කළ ඉල්ලීම බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ඊයේ (30) ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.

එමෙන්ම, විපක්ෂ නායකවරයා කොළඹ අද (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මේ වන විට ඖෂධ ගැටළුව උග්‍රවීමෙන් ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බවයි.

‘රීජන් කොව්’ ඖෂධය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා තැබූ ට්විටර් පණිවුඩයට කොළඹ අද (31) පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පිළිතුරු ලබාදුන්නා.

එහිදී අමාත්‍යවරයා සදහන් කළේ ‘රීජන් කොව්’ ඖෂධය ගෙන්වීමට අවසර ලබාදුන් බවයි.

මේ අතර ඔක්සිජන් නොමැතිව කිසිදු රෝගියෙකුට ජීවිතයෙන් වන්දි ගෙවීමට ඉඩ නොදෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා ජර්මානු කර්මාන්ත හා වාණිජ අංශයේ නියෝජිතයින් සමග සූම් තාක්ෂණය ඔස්සේ ඊයේ (30) පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ දෛනික ඔක්සිජන් අවශ්‍යතාව ඉහළ ගොස් ඇති නමුත් අවශ්‍ය ඔක්සිජන් ලබා ගැනීමට දැනටමත් පියවර ගෙන ඇති බවයි.

අද (31) දිනයේ මේ දක්වා අලුතින් ආසාදිතයින් 2340 දෙනෙකු හදුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 4,36,421 ක් දක්වා ඉහළ ගියා.

කොළඹ අද (31) පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ පැවති තත්වයට සාපේක්ෂව මේ වනවිට කොරෝනා වෛරසයේ බලපෑම විශාල වෙනසකට ලක්ව නොමැති බවයි.

ඇතැම් දේශපාලනඥයින් විවිධ මත ප්‍රකාශ කිරීම ද වෛරසය පාලනය කිරීමට බාධාවක් වී ඇති බව අද (31) පැවති මාධ්‍ය හමුවකදී රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රජා සෞඛ්‍ය ලේකම් වෛද්‍ය සේනක ගමගේ මහතා ප්‍රකාශ කළා.

වෛරස ව්‍යප්තිය හේතුවෙන් ඇතැම් දෙමාපියන් විවිධ විටමින් වර්ග දරුවන්ට ලබාදීම අහිතකර විය හැකි බවයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා ප්‍රකාශ කළේ.

එමෙන්ම, පොලිස්පති ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ බිරිඳ සහ එකම පුත්‍රයා කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

බිරිඳ මීට සතියකට පමණ පෙර මිය ගොස් ඇති අතර 26 හැවිරිදි නීති ශිෂ්‍යයෙකු වන පුත්‍රයා මිය ගොස් ඇත්තේ ඊයේ (30) දිනයේදියි.

මේ අතර, දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම සඳහා හෙට (01) සහ අනිද්දා (02) දින දෙකේ විවෘතව තැබීමට පියවර ගෙන ඇති බවයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *