පුත්තලමේ හෙක්ටයාර 100 ක වනාන්තරයක් හෙළිපෙහෙළි කරයි

පුත්තලමේ හෙක්ටයාර 100 ක වනාන්තරයක් හෙළිපෙහෙළි කරයි

*********************************************

පුත්තලමේ හෙක්ටයාර 100 ක වනාන්තරයක් හෙළිපෙහෙළි කරයි

(30.08.2021 – 13:13 +0530 – hirunews.lk/sinhala)

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රක්ෂිත වනාන්තර පද්ධතියට අයත් පුත්තලම සහ කරුවලගස්වැව ප්‍රදේශයේ පිහිටි කැලෑ හෙක්ටයාර 100 ක් පමණ සම්පූර්ණයෙන් කපා දමා ඇති බවට පරිසරවේදීන් චෝදනා කරනවා.

ඔවුන් පවසන්නේ නැවත වගාවක් සිදුකරන මුවාවෙන් මෙම හානිය සිදුකර ඇති බවයි.

බුරුත, කළුවර, කොහොඹ, වීර ඇතුළු ශාඛ වර්ග රැසක් කපා දමා ඇතැම් ශාක කොටස් ගිනි තබා ඩෝසර් කර ඇති බව පරිසරවේදීන් පෙන්වා දෙනවා.

මේ පිළිබඳ ව පුත්තලම දිසා වන නිලධාරී සරත් කුමාර මහතා ගෙන් අප කළ විමසීමක දී ඔහු ප්‍රකාශ කළේ, නැවත වන වගාවක් ලෙස කොහොඹ සිටුවීමේ අරමුණින් එය සිදු කළ බවයි.

එසේම, වනජීවී රැකවරණ හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මඟින් එහි මෙහෙයවීම් කටයුතු සිදු කරන බව ද ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත් මේ සඳහා පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් ගෙන නොමැති බවයි අප කළ සොයාබැලීමක දී අනාවරණ වුණේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පරිසරවේදී නීතීඥ ජගත් ගුණවර්ධන මහතා කියා සිටියේ, හෙක්ටයාරයකට වැඩි වනාන්තර හෙළිපෙහෙළි කරන්නේ නම් අනිවාර්යයෙන් පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් ලබාගත යුතු බවයි ෴

******************************************

(30.08.2021 – 13:41 +0530 – hirunews.lk/sinhala)

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ස්වයංක්‍රීය දත්ත ගබඩාව අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන්නැ යි ඉල්ලා සමඟි ජන බලවේගය අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා ෴

******************************************

(30.08.2021 – 14:07 +0530 – hirunews.lk/sinhala)

ඇෆ්ගනිස්ථානයේ සිටි ශ්‍රී ලාංකිකයින් 66 දෙනෙකු මේ වනවිටත් එරටින් ඉවත් කරගෙන ඇති අතර, තවත් හත්දෙනෙකු (7) ඉවත් කරගැනීමට ඉතිරි ව සිටින බව විදේශ අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය කියා සිටියේ, එරට රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් 21 දෙනෙකු මෙරටට පැමිණීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.

එසේම, ඇෆ්ගනිස්ථානයේ සිට පැමිණෙන මඟීන් සඳහා ආරක්ෂාව ලබාදෙන බව ද විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා ෴

******************************************

(30.08.2021 – 16:08 +0530 – hirunews.lk/sinhala)

හිෂාලිනී ජූඩ් දැරිය පිළිස්සී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිඳ සහ ඇගේ පියාට ඇප ලබාදෙන ලෙසට කළ ඉල්ලීමක් යළිත් වරක් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මීට පෙරද අවස්ථා දෙකකදී (2) ඔවුන්ට ඇප ලබාදෙන ලෙසට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමටයි අධිකරණය පියවර ගත්තේ.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිඳට සහ ඇගේ පියාට ඇප ලබාදෙන ලෙසට සැකකරුවන්ගේ නීතීඥවරුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්දා ජයසූරියගෙන් ඉල්ලා සිටියේ ඊට අදාළ නඩුව අද (30) කැඳවූ අවස්ථාවේදියි.

සැකකරුවන් අද (30) අධිකරණයට රැගෙනවිත් නොතිබුණු අතර ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සේවාදායිකාවගේ දරුවන් රැකබලාගැනීම සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බවයි.

එබැවින් මොවුන්ට ඇප ලබාදෙන ලෙසට ඉල්ලීමක් කළා.

කෙසේ වෙතත්, අධිකරණයට කරුණු දක්වමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළේ රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ විසින් අධිකරණයට සත්‍ය කරුණු වසන් කරන අතර ඇයගේ දරුවන් මන්ත්‍රීවරයාගේ තවත් සොහොයුරෙකු විසින් රැකබලා ගන්නා බවයි.

එබැවින් ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරන ලෙසට ඔහු අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

එමෙන්ම පුද්ගලයෙකු මියගොස් සිටි ආකාරය දැක්වෙන ඡායාරූපයක් ද පසුගියදා අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, ඒ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් අද (30) සිද්ධිය වූ ප්‍රදේශයට පිටත්ව ගොස් තිබෙනවා.

අදාළ ප්‍රදේශයෙහි රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට ප්‍රබල දේශපාලන සම්බන්ධයක් පවතින බවයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කියා සිටියේ.

මෙම කරුණු මත මොවුන්ට ඇප ලබාදුනහොත් සාක්ෂිකරුවන්ට බලපෑමක් එල්ලවිය හැකි බවයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට දැනුම් දුන්නේ.

ඒ අනුව කරුණු සළකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය ඔවුන්ට ඇප ලබා නොදීමටත්, තවදුරටත් ලබන මස 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයේ තබන ලෙසත් නියෝග කළා ෴

******************************************

ටෝකියෝ මෙල්ල කළ ලංකාවේ හෙල්ල

(30.08.2021 – 16:17 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර කාගම උපන් හේරත් මුදියාන්සේලාගේ දිනේෂ් ප්‍රියන්ත හේරත් හරියට ම මීට සතියකට පෙර ජපානයේ ටෝකියෝ නුවරට ගොඩ බසින්නේ එක සිතුවිල්ලක් පමණක් සිත්හි දරා ගනිමින්.

ඒ පදක්කමක්, පදක්කමක්, පදක්කමක් යන්න පමණ යි.

දිනේශ්ගේ නම ඉදිරියේ ඒ වනවිටත් රියෝ ඔලිම්පික් උළෙලේ දී මෙම ඉසව්වෙන් දිනාගත් ලෝකඩ පදක්කමක් ලියැවී තිබුණා.

නව දෙනෙකුගෙන් (9) සමන්විත ශ්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායමට නායකත්වය දෙමින් දිනේෂ් ප්‍රියන්ත හේරත් අගෝස්තු 30 වැනි දින ටෝකියෝ පිටියේ දී හෙල්ල අතට ගන්නේ සිය පදක්කම් පිපාසාව සංසිඳුවා ගන්නා අරමුණෙන්.

ඔහු සමඟ ම 2016 පැරාලිම්පික් උළෙලේ රන් පදක්කම දිනාගත් ඉන්දීය ක්‍රීඩකයා වන දේවේන්ද්‍ර ජජාරියා ද මේ පදක්කමට ඉව අල්ලමින් සිටියා.

සිය පළමු (1) උත්සාහය තුළදී ම මීටර 62.58 ක දුරක් හෙල්ල විසි කළ දිනේෂ් සිය ඉසව්වේ ස්ථාවරය තහවුරු කරගත්තා.

සිය තෙවැනි (3) උත්සාහය සඳහා හෙල්ල අතට ගත් දිනේෂ්ගේ අතින් ගුවනට නික්මුණු හෙල්ල ගුවනේ පාවී ගොස් ටෝකියෝ පැරාලිම්පික් පිටිය සිප ගනිද්දී එහි මීටර 67.79 ක දුරක් සනිටුහන් වී තිබුණා.

ඒ මෙරට ක්‍රීඩා ඉතිහාසයේ නව පරිච්ඡේදයක් රන් අකුරින් දිනේෂ් ප්‍රියන්ත හේරත් වෙනුවෙන් ලියා වෙන් කරමින්.

එතෙක් මෙතෙක් මෙරට ක්‍රීඩා ඉතිහාසයේ වාර්තා වූ විශිෂ්ටතම ජාත්‍යන්තර පදක්කම දිනේෂ් වෙනුවෙන් වෙන් වුණේ ලෝක වාර්තාවක් ද සමඟින් වීම තවත් විශේෂත්වයක්.

රන් පදක්කම ගෙල පළඳන්නට පෙරුම් පුරාගෙන ටෝකියෝ නුවරට පිවිසි දිනේෂ්ගේ ආසන්නතම ප්‍රතිවාදියා වන ඉන්දීය ක්‍රීඩක දේවේන්ද්‍ර ජජාරියාට අවසානයේ සිදු වූයේ රිදී පදක්කමෙන් සෑහීමකට පත්වන්නට යි.

මේ ඉසව්වේ තුන්වන (3) ස්ථානය තවත් ඉන්දීය ක්‍රීඩකයකු වන එස්.එස්. ගුර්ජාර් සතු කර ගත්තා.

ශ්‍රී ලංකා යුද හමුදාවේ තුන්වන (3) ගජබා රෙජිමේන්තුවේ සැරයන්වරයකු වන දිනේෂ් හෙල්ල විසිකිරීමේ ක්‍රීඩාවට යොමුවන්නේ යුද බිමේ දී ආබාධයකට ලක්වීමෙන් අනතුරුව යි.

මීට වසර 13 කට පෙර කිලිනොච්චි සටන් පෙරමුනේ දී දිනේෂ්ගේ වම් අතට එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් එල්ල කළ ටී 56 උණ්ඩ තුනක් (3) ඇතුළු වනවා.

ඒ වනවිට යන්තම් දිනේෂ්ගේ වයස අවුරුදු 22 පසු කළා පමණ යි.

2008 දෙසැම්බර් 16 දින මානුෂීය මෙහෙයුමේ අවසාන අදියරේ දී ලද තුවාල සහිත ව ලබා රාගම රණවිරු සෙවණට පැමිණෙන දිනේෂ් එහි දී වසර ගණනාවක දීර්ඝ පුනරුත්ථාපන ක්‍රියාවලියකට එක් වෙනවා.

මෙම අනපේක්ෂිත සිදු වීම දිනේෂ් ප්‍රියන්ත හේරත්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය බව එදින දිනේෂ්වත් සිතන්නට නැතුව ඇති.

එය ඔහුගේ ජීවිතයේ අඩක් අහිමි වූ වසර වූ නමුත් එය ඔහුට නව බලාපොරොත්තුවක් හා සම්පූර්ණයෙන් ම වෙනස් ජීවිතයක් ගෙන ඒවි යැ යි ඔහු සිහිනෙන්වත් නො සිතන්නට ඇති.

ඔහුගේ ජීවිතයේ තවත් නව පරිච්ඡේදයක් ආරම්භ කිරීම සඳහා විශ්වාසය තහවුරු කර ගනිමින් කෝප්‍රල් දිනේෂ් ප්‍රියන්ත රාගම රණවිරු සෙවණෙන් බැහැර වන්නේ වෛද්‍ය හේතු මත යුද හමුදාවෙන් විශ්‍රාම ගනිමින්.

රාගම රණවිරු සෙවණ දියත් කරන යුද්ධයේ දී ආබාධයන්ට ලක් වූ සෙබළුන් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ 2012 වසරේ දී ගජබා රෙජිමේන්තුවේ ඉහළ නිලධාරීන් දිනේෂ්ට ක්‍රීඩා කිරීමට දිරිමත් කරනවා.

මේ ආරෝහ පරිනාහ යෞවනයා හෙල්ල විසිකිරීමේ ක්‍රීඩාවට සුදුසු විය හැකි බවට තීරණය කරන්නෙත් ගජබා රෙජිමේන්තුවේ ක්‍රීඩාව භාර නිලධාරීන් විසින්ම යි.

වයස අවුරුදු 26 දී තමන් කිසි දිනක නියැලී නො සිටි ක්‍රීඩාවක අත්පොත් තබන දිනේෂ් අද වන විට මෙරට ක්‍රීඩා පුරාවෘත්තයක් බවට පත් වී අවසන්.

දිනේෂ්ගේ ඇති ආබාධය අනුව ඔහු වර්ග කෙරෙන්නේ ‘එෆ් 46’ කාණ්ඩය යටතේ යි.

මෙම වර්ග කිරීමට අයත් වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ වැලමිටට පහළින් හෝ ඉහළින් එක් අතක අස්ථීන් කපා ඉවත් කිරීම්, අස්ථීන් ක්‍රියා නො කිරීම හෝ වෙනත් ආබාධ පවතිනවා.

මෙම කාණ්ඩය යටතේ 2012 වසරේ පටන් විවිධ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා සඳහා එක්වන දිනේෂ් 2016 වසරේ රියෝ පැරාලිම්පික් උළෙලට සහභාගී වන්නේ දැඩි පදක්කම් බලාපොරොත්තුවක් සහිතව යි.

2016 සැප්තැම්බර් 13 වැනි දින රියෝ පැරාලිම්පික් ආබාධිත ‘එෆ් 46’ කාණ්ඩය යටතේ අවසන් වටයේ තරග වදින ඔහු මීටර් 58.23 දුර ප්‍රමාණයක් හෙල්ල විසිකරමින් පැරාලිම්පික් ලෝකඩ පදක්කම දිනාගන්නවා.

ඒ පැරාලිම්පික් පදක්කමක් දිනාගත් දෙවැනි (2) ශ්‍රී ලාංකිකයා බවට පත්වෙමින්.

මීට පෙර 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මීටර් 400 ‘ටී 46’ ඉසව්ව සඳහා එක්වූ ප්‍රදීප් සංජය ලෝකඩ පදක්කමක් දිනා තිබුණා.

මෙම ජයග්‍රහණයෙන් අනතුරුව දිනේෂ්ගේ දක්ෂතා දිනෙන් දින ඔපමට්ටම් වෙනවා.

2016 රියෝ පදක්කමෙන් අනතුරුව එක්සත් රාජධානියේ පැවති ලෝක පැරා මළල ක්‍රීඩා තරගාවලියේදී දිනේෂ්ගේ අතින් ගිලිහෙන හෙල්ල නවතින්නේ මීටර් 57.93 ක දුරක් වාර්තා කරමින්.

ඒ එම ඉසව්වේ රිදී පදක්කම ඔහුගේ ගෙලට දමමින්.

එමෙන්ම 2018 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කම ගෙල පැළඳගැනීම සඳහා ‘එෆ් 46’ කාණ්ඩයේ මීටර් 61.84 ක දුරක් හෙල්ල විසිකරන්නටත් ඔහු සමත් වන්නේ නව තරග වාර්තාවක් මෙන්ම තමන් සතුව ඇති එම ඉසව්වේ ජාතික වාර්තාව ද අලුත් කරමින්.

1986 ජූලි 15 දින අනුරාධපුර කාගමදී වයි.එම්. කමලාවතී මහත්මිය සහ එච්.එම්. ලොකුබණ්ඩා මහතාට දාව හේරත් මුදියාන්සේලාගේ දිනේෂ් ප්‍රියන්ත හේරත් උපත ලබන්නේ පවුලේ දෙවැනි (2) දරුවා ලෙසින්.

කාගම ධාතුසේන මහා විද්‍යාලයට ඇතුළත් වී සිප්සතර හදාරන සමයේ පවා සෑ ම ළමයෙක් ම මෙන් ක්‍රිකට් ක්‍රීඩාවට ඇල්මක් දැක් වූ නමුත් එතැනින් එහාට සිදුකළ ක්‍රීඩාවක් නො වීය.

යම්තම් දිනේෂ්ට වයස අවුරුදු 12 වන විට ඔහුගේ පියා මෙලොව හැර යන්නේ මවට දහසකුත් එකක් පබරපතළ ප්‍රශ්න රැසක් පමණක් ම ඉතිරි කර තබමින්.

මේ නිසා ම පාසල් යන අතරවාරයේදීත් දිනේෂ්ට ගෙදර ආර්ථිකය සවිමත් කිරීමේ වගකීමක් පැවරුණා.

මේ නිසා ම කුඩා කාලයේ දී ඔහු විඳ දරාගත් දුෂ්කරතා වචනයෙන් විස්තර කිරීම අපහසු කාරණයක්

ඔහු සිය මවගේ ගොවිපොළ වැඩවලට උදව් කළ අතර ජීවත් වීම සඳහා වෙහෙස මහන්සි වී වැඩ කිරීම ඔහුගේ ජීවිතයේ අනිවාර්ය අංගයක් වුණා.

2004 මාර්තු 18 දින සාලියපුර ගජබා රෙජිමේන්තුවේ පැවති යුද හමුදාවට ආධුනික සෙබළුන් බඳවා ගැනීම සඳහා වන දීර්ඝ පෝලිමට දිනේෂ් ප්‍රියන්ත එක් වන්නේ ඒ වන විටත් සිය පවුල වෙලාගත් ආර්ථික ප්‍රශ්නවලට යම් තරමක හෝ ශක්තියක් ලබා දීමේ අරමුණෙන්.

එහිදී යුද හමුදා ගජබා රෙජිමේන්තුවේ තුන්වෙනි (3) බලකායට එක් වන අපගේ කතා නායකයා මානුෂීය මෙහෙයුමේ යුද පෙරමුණේ 2008 වසරේ යුද පෙරමුණේද දී තුවාල ලබන තෙක් අඛණ්ඩ ව සටන් වදිනවා.

“ක්‍රීඩාව මගේ ජීවිතයට බොහෝ වටිනාකම් එකතු කළා. තුවාල ලැබීමෙන් පසු මට ජීවිතයේ නව මානයක් පෙන්නුම් කළේ ක්‍රීඩාවයි. ඔලිම්පික් පදක්කම්ලාභී ක්‍රීඩකයෙකු වීමට මට මාවත විවර කළේත් මේ ක්‍රීඩාවම යි. ඔලිම්පික් රන් පදක්කම මගේ ප්‍රධාන සිහිනයයි. මෙය මාගේ පෞද්ගලික ජයග්‍රහණයක් පමණක් ම නො වේ. මෙය ශ්‍රී ලංකාවේ පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සතු ශක්තිය ලොවට කියාපාන අවස්ථාවක්. මේක සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේ ම ඓතිහාසික ජයග්‍රහණයක්. මට මේ හැඟීම විස්තර කරන්න වචන නැහැ. මම දිනාගත් රන් පදක්කමේ වැඩි ගෞරව මගේ බිරිඳට හිමිවිය යුතුයි” ජයග්‍රහණයෙන් අනතුරුව ශ්‍රී ලංකා ධජය සිප ගනිමින් 35 හැවිරිදි මේ උත්සාහවන්ත ක්‍රීඩකයා කියා සිටියා.

හේරත් මුදියාන්සේලාගේ දිනේෂ් ප්‍රියන්ත හේරත් පසුපස ලියැවී ඇත්තේ ධෛර්යය, ශක්තිය සහ අධිෂ්ඨානය පිළිබඳ අපූරු කතන්දරයක්.

ඔබට කැමැත්ත ශක්තිය තිබේ නම් ඔබේ ආබාධ ඒ සඳහා නිදහසට කරුණක් නො විය යුතු බව ඉස්මතු කරන කතාවක්.

ඔබ වෙහෙස මහන්සි වී වැඩ කිරීමට, අධිෂ්ඨානශීලී ව කැපවීමට කැමති නම් එය නව ආරම්භයන් සඳහා සෑම විට ම කදිම තෝතැන්නක් සකසන බවට සපථ කරණ කතාවක්.

ජීවිතයේ දහසකුත් එකක් බාධක කම්කටොලු මැදහත් සිතින් විඳගත් අභියෝගවලට අභියෝග කරන්නේ කෙසේදැයි අපට පසක් කර දුන් ඔබට අපගේ ශීර්ෂ ප්‍රණාමය.

පැරාලිම්පික් උළෙලේ දී ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්

(30.08.2021 – 16:44 +0530 – hirunews.lk/sinhala)

ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන පැරා ඔලිම්පික් තරගාවලියේ ‘එෆ් – 64’ කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට දුලාන් කොඩිතුවක්කු අද (30) පස්වරුවේ සමත් වුණා.

ඒ, මීටර් 65.61 ක දුරක් හෙල්ල විසි කරමින්.

එය ඔහුගේ පෞද්ගලික හොදම දක්ෂතාවය ද වනවා.

මීටර් 68.08 ක් දුරට හෙල්ල විසි කරමින් එම ඉසව්වේ නව ලෝක වාර්තාවක් පිහිට වූ ඉන්දියාවේ සුමිත් රන් පදක්කම දිනා ගනු ලැබූ අතර, ඕස්ට්‍රේලියාවේ මයිකල් බැරියන් එහි රිදී පදක්කම දිනා ගනු ලැබුවා.

ඒ අනුව 2020 පැරාලිම්පික් උළෙලේ දී පදක්කම් 02 ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව මේ වනවිට සමත්ව තිබෙනවා.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

(30.08.2021 – 13:31 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ටියුඩර් ගුණසේකර කොරෝනා ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මිය යන විට 86 වන වියේ පසු වූ ඔහු, 1977 දිවංගත ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන රජයේ ගම්පහ දිසා අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.

මේ අතර, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ද පසුගියදා කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැණුනු අතර, හිටපු අමාත්‍යවරයෙකු වූ මංගල සමරවීර ද පසුගිය දා ජීවිතක්ෂයට පත්වූයේ කොරෝනා ආසාදනය වීමෙන් ෴

+++++++++++++++++

(30.08.2021 – 14:57 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබා සුවය ලැබූ තවත් 14,394 දෙනෙකු අද (30) දිනයේ රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

වසංගත රෝග විද්‍යා ඒකකයට සදහන් කළේ ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 3,71,992 ක් බවයි.

තවදුරටත් පුද්ගලයින් 50,752 ක් රෝහල්ගතව සහ නිවෙස් වල ප්‍රතිකාර ලබනවා ෴

+++++++++++++++++++

(30.08.2021 – 15:08 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වී සිටි කාන්තාවක් රැගෙන යමින් තිබූ සුවසැරිය ගිලන් රථයක් කෑගල්ල – අවිස්සාවේල්ල මාර්ගයේ දෙහිඕවිට – ඊරියගොල්ල ප්‍රදේශයේ දී අනතුරට ලක්වී තිබෙනවා.

අදාළ කාන්තාව දැරියගල සිට අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන යමින් සිටියදියි අද (30) අලුයම මෙම අනතුර සිදුවී ඇත්තේ.

ගිලන් රථයට ඊට විරුද්ධ දෙසින් පැමිණි ලොරි රථය නිසි ලෙස ඉඩ නොදීම නිසා ගිලන් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් විදුලි පහන් කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් අනතුරෙන් කිසිවෙකුටත් හානි සිදුව නැහැ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *