හිරු අනාවරණ කළ, හලාවතදී හොර පාරෙන් දරුවන්ට එන්නත් දුන් සිද්ධියට වෛද්‍යවරයෙකු ඇතුළු දෙදෙනෙකුට ස්ථාන මාරු

හිරු අනාවරණ කළ, හලාවතදී හොර පාරෙන් දරුවන්ට එන්නත් දුන් සිද්ධියට වෛද්‍යවරයෙකු ඇතුළු දෙදෙනෙකුට ස්ථාන මාරු

*********************************************

හිරු අනාවරණ කළ, හලාවතදී හොර පාරෙන් දරුවන්ට එන්නත් දුන් සිද්ධියට වෛද්‍යවරයෙකු ඇතුළු දෙදෙනෙකුට ස්ථාන මාරු

(26.08.2021 – 16:49 +0530 – hirunews.lk/sinhala)

නීති විරෝධි අයුරින් වයස් සීමාව නොතකමින් දරුවන් පිරිසකට ෆයිසර් එන්නත ලබා දුන් එන්නත් මධ්‍යස්ථානයක් පිළිබඳව අද (26) දහවල් හිරු ප්‍රවෘත්ති කළ අනාවරණයෙන් පසු එම මධ්‍යස්ථානයේ සිටි නිළධාරින් දෙදෙනෙකුට (2) වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවිම් ලබා දි තිබෙනවා.

හලාවත – කොක්කාවිල රජයේ විද්‍යාලයේ දී කුඩා දරුවන්ට ෆයිසර් එන්නත් ලබා දුන්නේ ඊයේ (25) දිනයේදියි.

හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් මෙම එන්නත්කරණ මධ්‍යස්ථානය ක්‍රියාත්මක කළ අතර දිගු පෝලිම්වල රැදී සිටි ප්‍රදේශවාසින් චෝදනා කළේ එන්නත්කරණ මධ්‍යස්ථානය නිසි ක්‍රමවේදයකට අනුව ක්‍රියාත්මක නොවන බවයි.

ප්‍රදේශවාසීන්ගේ විරෝධය මධ්‍යයේ ඉදිරිපස ගේට්ටුවෙන් ඇතැම් පිරිස් මධ්‍යස්ථානයට ඇතුල්වද්දී තවත් පිරිසක් පිටුපස පිහිටි වැටකින් රිංගා, පාසල් යන වයසේ දරුවන් කිහිපදෙනෙකු ද සමඟ එම ස්ථානයට පැමිණෙමින් සිටියේ නිලධාරීනියකගේ ද සහය ඇතුවයි.

වයස අවුරුදු 18 ට අඩු දරුවන් සඳහා කිසිදු කොවිඩ් මර්දන එන්නතක් ලබාදීමට මෙතෙක් මෙරට සෞඛ්‍ය බලධාරීන් අවසර ලබා දී නැති පසුබිමක මෙම මධ්‍යස්ථානයේ නිලධාරීන් ‍මෙලෙස ක්‍රියාකරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් එන්නත්කරණ මධ්‍යස්ථානය භාර වෛද්‍යවරයාගෙන් හිරු වාර්තාකරු ප්‍රශ්න කළා.

පසුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසිමකදී පුත්තලම දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය කියා සිටියේ මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

එමෙන්ම, සිද්ධියට සම්බන්ධ අදාළ එන්නත්කරණ මධ්‍යස්ථානයේ වෛද්‍යවරයෙකුට සහ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදුන් බව ඇය වැඩිදුරටත් සඳහන් කළා.

එසේම, වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් පත්කරනු ලබන කමිටුවක් මගින් නිලධාරීන් ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට ද නියමිතයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනයෙන් හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කළා.

එහි සභාපති මහාචාර්ය ශ්‍යාමන් රජීන්ද්‍රජිත් මහතා පැවසුවේ වයස අවුරුදු 18 ට අඩු ළමුන් සඳහා එන්නත්කරණය සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ වසංගත රෝග විද්‍යාංශය සමඟ තවමත් ප්‍රාථමික අවධියේ සාකච්ඡාවක් පවතින බවයි.

එමෙනම්, මෙරට තුළ දරුවන්ට එන්නත්කරණය සිදුකරන්නේනම්, ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ අධීක්ෂණය යටතේ එය සිදුකළ යුතු බව ඔවුන්ගේ මතයයි.

එමෙන්ම, ෆයිසර් එන්නත ලබාදුන් මෙම එන්නත්කරණ මධ්‍යස්ථානයෙන් එන්නත් ලබා ගැනීම සඳහා දිවයිනේ විවිධ පළාත්වලින්ද පිරිස් පැමිණ සිටි ආකාරය ද දක්නට ලැබුණු බව හිරු වාර්තාකරු සඳහන් කළා.

අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා ද පසුගියදා අවුරුදු 12 පහළ ළමයින්ට ඉදිරියේදි එන්නත් ලබා දිමට කටයුතු කරන බව ප්‍රකාශ කළා.

+++++++++++++++++

(26.08.2021 – 18:05 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන නොවැම්බර් මාසයේ අවසානයට පෙර මෙරට අවුරුදු 18 ට වැඩි සියලුදෙනා පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

සැප්තැම්බර් මාසයේ මැද භාගය වන විට අවුරුදු 30 ට වැඩි සියලු පුරවැසියන්ගේ එන්නත්කරණය අවසන් කිරීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ කියුබා තානාපති අන්ද්‍රේස් ගරීඩෝ අද (26) පෙරවරුවේ හමුවූ අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළකළා.

මෙරට පුරවැසියන් පූර්ණ එන්නත්කරණයකින් පසු තුන්වන (3) එන්නතක් පිළිබඳව ද අවධානය යොමු කරන බවයි කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියුබානු තානාපතිවරයා හමුවේ කියාසිටියේ.

ලොව ඉතා ඉහළ මට්ටමක පවතින කියුබා සෞඛ්‍ය සේවාවේ අත්දැකීම්, දැනුම සහ තාක්ෂණය මෙරටට ලබාදීමේ හුවමාරු වැඩසටහනක් සඳහා ද අවස්ථාව ලබාදෙන ලෙසටයි අමාත්‍යවරයා තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මෙහිදී අදහස් දැක්වූ කියුබානු තානාපති ඇන්ඩ්‍රීස් මාර්කෙලෝ ප්‍රකාශ කළේ මෙම වසර අවසාන වනවිට කියුබානු සියලු පුරවැසියන් එන්නත්කරණයට ලක්කර අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි.

මේ වන විට එරට 100% ක් භාවිතයට ගෙන ඇත්තේ කියුබානු නිෂ්පාදිත එන්නත් වන අතර, ඉදිරියේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියෙන් අනතුරුව වෙනත් රටවලටද කියුබානු එන්නත් ලබාදීමට බලාපොරොත්තු වන බව තානාපතිවරයා සඳහන් කර තිබෙනවා.

කියුබාවේ විදේශ විනිමය අතුරින් වෛද්‍ය උපකරණ, සෞඛ්‍ය සේවාවන් ඉහළ විනිමයක් ලබා දෙන බවයි තානාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ.

මේ අතර එන්නත්කරණයෙන් පමණක් ගෝලීය ව්‍යසනය මැඩලීම කළ නොහැකි අතර ඒ සඳහා නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ උපරිමයෙන් පිළිපැදීම අත්‍යවශ්‍ය බව ද අමාත්‍යවරයා හා තානාපතිවරයා අතර අදහස් හුවමාරු වී තිබෙනවා ෴

++++++++++++++++++

(26.08.2021 – 18:22 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 3522 ක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 411,290 ක් ලෙසටයි.

ආසාදිතයන් 48,751 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන අතර සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 3,51,069 ක්.

මෙරටින් කොරෝනා ආසාදිත මරණ 7948 ක් ද වාර්තාවී තිබෙනවා ෴

++++++++++++++++++

‘ටොසී’ ඖෂධය අනිද්දා (28) දිවයිනට

(26.08.2021 – 19:24 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් තත්ත්වය උත්සන්න වූ රෝගීන්ට ලබාදෙන දැනට රටතුළ දැඩි හිඟයක් පවතින බවට වාර්තා වන ‘ටොසී’ යන කෙටි නාමයෙන් හඳුන්වන ඖෂධයෙන් තොගයක්, ලබන සෙනසුරාදා (28) සිංගප්පූරුවෙන් දිවයිනට රැගෙන එන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළා.

ටොසී ඖෂධය මෙරටට ලබා දෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද ඊයේ (25) ඉන්දීය මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කළා.

මේ අතර, ලබන නොවැම්බර් අවසානයට පෙර අවුරුදු 18 න් ඉහළ සියලු පුරවැසියන්ට පුර්ණ එන්නත්කරණයට ලක් කිරිමට හැකි වනු ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති ඇන්ද්‍රේස් මාර්කෙලෝ අද (26) හමුවූ අවස්ථාවේදීයි.

සැප්තැම්බර් මැද වන විට අවුරුදු 30 ට වැඩි සියලු‍ පුරවැසියන්ගේ එන්නත්කරණය අවසන් කිරීමට සැලැසුම් කර ඇතිද අමාත්‍යවරයා එහිදි සඳහන් කළා.

මෙරට පුරවැසියන් පූර්ණ එන්නත්කරණයකින් පසු තුන්වන (3) එන්නතක් පිළිබඳව ද අවධානය යොමු කෙරෙන බවයි ඔහු කියුබානු තානාපතිවරයාට ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර, කොවිඩ් ආසාදිතව ජීවිතක්ෂයට පත්වූ කාන්තාවකගේ මෘත දේහයක් රාගම ශික්ෂණ රෝහලේදී මාරු වීමේ පුවතක් වාර්තා වනවා.

ජා-ඇල – සුදුවැල්ල ප්‍රදේශයේ නිවසකදී 75 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර රාගම ශික්ෂණ රෝහලට දේහය භාර දීමෙන් පසු කළ කොරෝනා පරික්ෂාවේදී ඇයට වෛරසය ආසාදනය වී පැවති බවට තහවුරු වී තිබුණා.

පසුව ඇගේ ඥාතීන් අවසන් කටයුතු සිදුකිරීම සඳහා ජා-ඇල පොදු සුසාන භූමියට ගිය අවස්ථාවේදී රෝහල් බලධාරීන්ගෙන් ඇමතුමක් ලැබී ඇත්තේ ඇගේ දේහය මාරු වී ඇති බවටයි.

මේ අතර, වෙනත් රෝග තත්ත්වයක් නිසා ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයකුගේ දේහයක් කොවිඩ් ආසාදිත මෘත දේහයක් සමඟ මාරු වී ආදාහනය කළ පුවතක් මුලතිව් – දිස්ත්‍රික් රෝහලෙන් ද වාර්තා වුණා.

මේ අතර, තවත් කොරෝනා ආසාදිතයන් 2,139 ක් අද (26) සුවය ලබා රෝහල් වලින් පිටව ගියා.

ඒ අනුව, සුවය ලැබූ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 3,51,069 ක් දක්වා ඉහළ ගිය බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

(26.08.2021 – 17:01 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි ඇතිවිය හැකියි.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති වනවා.

ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්වලත් සවස 2 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්වලත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40 ක් 50 ක් පමණ දක්වා වැඩි වීමේ හැකියාව පවතිනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි ජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙන්නේ ෴

******************************************

(26.08.2021 – 19:05 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව පරාක්‍රම සමූද්‍රයේ රළපනාව පිහිටි ප්‍රදේශයේ ගල් ඉවත් කර නව ශරීර සුවතා ඇවිදින මං තීරුවක් ඉදිකිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බවට ප්‍රදේශයේ ගොවි සංවිධාන චෝදනා කරනවා.

එම නියෝජිතයින් කියා සිටියේ පසුගිය රජය මගින් ඉදි කරන ලද ඇවිදින මංතීරු 2 ක් පරාක්‍රම සමූද්‍රය ආශ්‍රිතව තිබියදී මෙලෙස නව මංතීරුවක් ඉදි කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්තී අංශය පරාක්‍රම සමූද්‍රය භාර පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රධාන වාරි ඉංජිනේරු අසේල උදයංග මහතා ගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ අදාල ව්‍යාපෘතිය මගින් පරාක්‍රම සමූද්‍රයට හෝ පාරිසරික පද්ධතියට කිසිදු හානියක් සිදු නොවන බවයි.

කිලෝමීටර 1 යි මීටර 750 ක දිගකින් යුත් මෙම නව ඇවිදින මංතීරුව ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 35 ක පමණ මුදලක් වැය වන අතර ඊට අදාල ප්‍රතිපාදන නාගරික සංවර්ධන අධිකාරිය මගින් ලබා දී තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය මෙම වසර තුල අවසන් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

******************************************

ඖෂධ අධිකාරියේ දත්ත ගබඩාව අතුරුදන් වීම තවමත් අභිරහසක් – අංශ කිහිපයක් ගැන රහස් පොලීසියේ අවධානය

(26.08.2021 – 19:12 +0530 – hirunews.lk/sinhala)

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ස්වයංක්‍රීය ක්ලවුඩ් දත්ත ගබඩාව අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ මොරටුව විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ කණ්ඩායමකගේ ද සහයෝගය ඇතිවයි.

මේ අතර, අදාල දත්ත පද්ධතිය මෙහෙයවු පෞද්ගලික සමාගමට එරෙහිව නඩු පැවරිමට එම අධිකාරිය තීරණය කර තිබෙනවා.

මීට දින කිහිපයකට ඉහතදි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත ගබඩාවේ දත්ත ගොනු මැකී යාමේ සිදුවීම පිළිබද අප ඊයේ (25) හිරු ප්‍රවෘත්ති තුලින් අනාවරණ කළා.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවෙන් මේ වනවිට සම්පූර්ණයෙන් අතුරුදන්ව ඇත්තේ, ඖෂධ නියෝජිත ආයතන පිළිබඳ දත්ත, ඖෂධයක් ලියාපදිංචි කිරීමේ දත්ත, ඖෂධ නිෂ්පාදනාගාර පිළිබඳ දත්ත සහ ඖෂධ සාම්පල් පරීක්ෂා කිරීමේ බලපත්‍ර පිළිබඳ තොරතුරු ඇතුළත් ස්වයංක්‍රීය දත්ත ගොනු ලක්ෂ 11 ක පමණ ප්‍රමාණයක්.

අප කළ සොයා බැලීමකදී හෙළිවුණේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය සතුව මෙතෙක් අතිරේක දත්ත සංචිතයක් (බැකප්) ද නොමැති බවයි.

මේ වනවිටත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය අදාල පෞද්ගලික ආයතනය සමග දත්ත පද්ධතිය පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් 2018 වසරේදී ගිවිසුම් ගතවී තිබෙන අතර ‘ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය’ (ICTA) මගින් එහි ව්‍යාපෘති කළමණාකරණය භාරව කටයුතු කර තිබීමද විශේෂත්වයක්.

ඒ අනුව, එම දත්ත පද්ධතිය මෙහෙයවු පෞද්ගලික සමාගමට එරෙහිව නඩු පැවරිමටද තීරණය කර ඇතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත විජේවන්ත මහතා සඳහන් කළා.

******************************************

(26.08.2021 – 19:28 +0530 – hirunews.lk/sinhala)

සීනි මිල සීඝ්‍රයෙන් ඉහළ යාම සහ ඊට විසඳුම් සෙවීම සඳහා මුදල් අමාත්‍යාංශය හා වෙළඳ අමාත්‍යාංශය අතර හෙට (27) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

මේ වනවිට වෙළඳපොලේ සීනි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 210 කට ආසන්න අගයක් ගන්නා බවයි වෙළඳපොල ආරංචි මාර්ග අනාවරණ කළේ.

සූම් තාක්ෂණය ඔස්සේ අද (26) ජිවන වියදම් කමිටුව රැස්වූ අවස්ථාවේදී ද මේ සම්බන්ධයෙන් අවධානය යොමුවූ බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *