නිවෙස්වල ඔක්සිජන් ගබඩා කරගන්න එපා

නිවෙස්වල ඔක්සිජන් ගබඩා කරගන්න එපා

*********************************************

නිවෙස්වල ඔක්සිජන් ගබඩා කරගන්න එපා

(25.08.2021 – 20:01 +0530 – sinhala.adaderana.lk)

ජනතාව හිතුමතේ ඔක්සිජන් සිලින්ඩර ගබඩාකර ගැනීම වැරදි ක්‍රියාවක් බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඔක්සිජන් වැඩිපුර ලබාදීමෙන් ද නියුමෝනියා තත්ත්වයක් ඇතිවිය හැකි බවය.

මේ අතර කොවිඩ් ආසාදිත ගැබිනි කාන්තාවකගේ මියගිය මාස 5 ක කලලය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂාවකදී එම කලලය කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබේ.

ඇය 36 හැවිරිදි කාන්තාවකි.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ ගම්පොල, උඩ පළාත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී එම්.ෆාහිම් මහතා ප්‍රකාශ කළේ ගැබිනි මව්වරුන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවය.

“මව් කුසේදීම නැතිවෙච්ච සති 20 ක වගේ දරුවෙක්. කොරෝනා වයිරසය නිසා. යම් අපහසුතාවයක් සමග තමයි ඒ මව රෝහලට ඇතුළත් කළේ. ඒ ගැබිනි මවටත් කොරෝනා ආසාදනය වී තිබෙනවා කියලා රෝහල්ගත වුණාට පසුව තමයි දැනගත්තේ. ඊට පස්සේ තිබුණු තත්ත්වය මත ඒ මව දරු ප්‍රසූතිය සිදුකළා. එතකොට දරුවට සති 20 යි. මියගිය දරුවෙක් තමයි ඒ මව ප්‍රසූත කළේ. ඒ දරුවා සම්බන්ධයෙන් කළ පරීක්ෂණයේදී අපිට අනාවරණය වුණා ඒ දරුවටත් කොවිඩ් වයිරසය ආසාදනය වී තිබෙන බව.”

මේ අතර කොවිඩ් ආසාදිතව මියගිය කාන්තාවකගේ මෘතදේහයක් රාගම ශික්ෂණ රෝහලේදී මාරුවී ඇතැයි කියන සිද්ධියක් ‘අද දෙරණ’ ට වාර්තා විය.

ජාඇළ, සුදුවැල්ල ප්‍රදේශයේ නිවසක පසුගියදා 75 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබූ අතර රාගම ශික්ෂණ රෝහලේදී මෘතදේහයට සිදුකළ PCR පරීක්ෂණයේදී ඇය කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබුණි.

පසුව මියගිය කාන්තාවගේ ඥාතීන් විසින් ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීම සඳහා ජාඇළ පොදු සුසාන භුමියට ගිය අවස්ථාවේ රාගම රෝහලෙන් ඔවුන්ට ඇමතුමක් ලබාදී තිබුණි.

මෘත දේහය මාරු වී ඇති බවත්, එය කඩිනමින් රෝහලට රැගෙන එන්නැයි එහිදී පවසා තිබේ.

ඒ අනුව ඥාතීන් විසින් එම දේහය යළි රෝහලට රැගෙන ගොස් තිබුණි.

කෙසේවෙතත් රෝහලේදී සිදුකළ පරීක්ෂාවේදී අනාවරණය වී තිබුණේ මෘතදේහය මාරුවීමක් සිදුවී නොමැති බවය.

ඒ අනුව මියගිය කාන්තාවගේ දේහය යළිත් ජාඇළ සුසාන භූමියට ගෙනගොස් ආදාහනය කිරීමට ඥාතීන්ට සිදුවී තිබුණි.

++++++++++++++++

අසරණ පවුල්වලට රුපියල් කෝටි දෙකහමාරක් (2½) බෙදාදුන් හිතහොඳ මිනිසා

(25.08.2021 – 19:29 +0530 – sinhala.adaderana.lk)

කැලණිය ප්‍රදේශයේ සී. මංජුල පෙරේරා නම් ව්‍යාපාරික මහත්මයෙකු නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් අසරණ වී සිටින පවුල් වෙත රුපියල් කෝටි දෙකහමාරක් (2½) බෙදාදීමට කටයුතු කර තිබිණි.

එම බෙදාදීම සිදුකර තිබුණේ රුපියල් 1,000 බැගින්ය.

ඒ හුනුපිටිය නාහේන ප්‍රදේශයේදීය.

+++++++++++++++++++

සංචරණ සීමා තවත් දැඩි කළ යුතුයි – GMOA

(25.08.2021 – 17:36 +0530 – sinhala.adaderana.lk)

මේ වනවිට රජය පනවා ඇති සංචරණ සීමාවලට ජනතාව නිවැරදිව අනුගත නොවුනොත් එම සංචරණ සීමා දීර්ඝ කිරීමට සිදුවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා ඒ බව සඳහන් කළේ අද (25) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

“මේ දාලා තියෙන ලොක්ඩවුන් එක හරියටම ක්‍රියාත්මක කිරීම සඳහා ජනතාව සහයෝගය ලබාදිය යුතුයි. එහෙම නැති වුණොත් මේ දාපු ලොක්ඩවුන් එක එක්කො දීර්ඝ කරන්න වෙයි. නැත්නම් ආයේ මාසෙකින් ලොක්ඩවුන් කරන්න වෙයි. එතකොට මේක අරිනවා.. වහනවා. මේ ආකාරයට ගමන් කරන්න බෑ. ඒක රජයටත් ජනතාවටත් අපහසුවක්. ඒ නිසා මේ සංචරණ සීමාවලට අනුගතවෙන අය වගේම ක්‍රියාත්මක කරන අයත් ඒක හරියටම කරන්න ඕනේ.”

+++++++++++++++++++

කොවිඩ් පාලනයේ නොකළ යුතු ‘ගොං කම්’ වලට මුළු සමාජයම වන්දි ගෙවමින් සිටිනවා – ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බන්ඩාර

(25.08.2021 – 22:32 +0530 – lankaleadnews.com)

රංගිරි රූපවාහිනී නාලිකාව සමඟ සංවාදයකට එක්වූ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බන්ඩාර මහතා පවසා සිටින්නේ ශ්‍රී ලංකාවේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමට පළමු (1) රැල්ල තුළ ඉතා විශිෂ්ඨ මැදිහත් වීමක් කළ සෞඛ්‍යය අංශ මෙවර ‘ගොං කම්’ රාශියක් සිදුකළ බවයි.

එහිදී ඔහු පෙන්වා දෙන්නේ ඉතා දියුණු රාජ්‍යය යාන්ත්‍රණයක් තිබෙන ශ්‍රී ලංකාවේ කුඩාම පරිපාලනය ඒකකය වන ග්‍රාම සේවා වසමකට රාජ්‍යය නිළධාරින් පස් දෙනෙකු (5) සිටින බවත් එම නිලධාරින් සහ ආගමික සහ වෙනත් ප්‍රභූවරුන් යොදා ගනිමින් කොවිඩ් වසංගතය පාලනය කිරීමට මහජන සහභාගිත්වය මැනවින් කළ හැකිව තිබුණු බවයි.

චක්‍ර ලේඛ මගින් වෛද්‍යවරුන්ට කොරෝනා මර්ධනයට අදාල දීමනා ලබා ගැනීමට ඉඩ සලසා දීමත්, විනෝදාස්වාද කර්මාන්තයේ නියැලෙන අයවළුන් විසින් ඉල්ලූ, වසංගත රෝගයක් පැතිරෙන අවස්ථාවක ගෝචර නොවන සමහර ඉල්ලීම් වලට ඉඩ දීමත් සමාජය තුළ බරපතල තත්වයක් නිර්මාණය කළ බවයි.

ගුරුවරුන් පාරට බැස්සවීමට එවැනි ‘ගොං කම්’ මනා පිටිවහලක් වූ බව වෛද්‍යවරයා එම සාකච්ඡාව තුළ අවධාරණය කළේය.

සාකච්ඡාවේ වීඩියෝව පහතින් :

++++++++++++++++

කොරෝනා රෝගියෙකුට සාර්ථක සැක්කමක්

(25.08.2021 – 17:25 +0530 – lankadeepa.lk)

හෘදයාබාධයකට ලක්වී අසාධ්‍ය තත්වයෙන් කොළඹ ජාතික රෝහලලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කෙරුණු කොවිඩ් රෝගියකු ‘ස්ටෙන්ත්’ සැත්කමකින් ඔහුගේ දිවි බේරා ගන්නට හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් සමත් විය.

මේ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතාගෙන් අප විමසා සිටි අතර ඔහු පැවසුවේ එම හෘදයාබාධය කොවිඩ් රෝග තත්වය නිසා ඇති වුවක් බවයි.

වයස අවුරුදු හතලිස් එකක් (41) පමණ වියැති මෙම රෝගියා දෙදරු පියෙකි. පැය දෙකකට (2) ආසන්න කාලයක් මෙම සැත්කම සිදු කළේය.

සැත්කම පිළිඹඳව වැඩි දුරටත් අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා මෙසේ පැවසීය :

“හෘදයාබාධයට ලක්වූ බව කියන රෝගියා රෝහලට ඇතුලත් කරනවිට අසාධ්‍ය තත්වයෙන් පසු වුණා ඔහු රෝහල් ගත කිරීමේදි කරනු ලැබු ‘රැපිඩ් ඇන්ටිජන්’ පරික්ෂණයෙන් රෝගියා කොවිඩ් ආසාධිතයකු බව තහවුරු වුණා.

ඔහුගේ හෘදයේ ප්‍රධාන නාල තුනෙන් (3) වම් කෝෂිකාවට රුධිරය සපයන ප්‍රධානම නාලයේ ආරම්භක ස්ථානයේ විශාල රුධිර කැටියක් නිසා අවහිරවීමක් ඇති බව අප කල මුලික පරික්ෂාවෙදි හෙලි වුණා.

ඒ වන විට රෝගියා පසු වුනේ හදිසි සැත්කමක් කල යුතු තරම් අවධානමක.

එම අවහිර වීම කෙටි කාලයකදී යථා තත්වයට පත් නොකලහොත් ඔහුගේ ජීවිතය අවසන් වන්නට තිබුණා.

ඔහු කොවිඩ් ආසාධිත තත්වයේ පසු වු නිසා සැත්කම කරනවා නම් යම් අවධානමක් අපට තිබෙනවා. එය එහෙම වුණත් වෛද්‍යවකුගේ වගකීම තමයි රෝගියකුගේ ජීවිතය බේරා ගැනීම. ඒ වෙනුවෙන් අප ක්‍රියාත්මක විය යුතුව තිබුනා.

ඇත්තෙන්ම stent දැමීමක් කියන්නේ අපේ ‘කැත්ලැබ්’වල අප වැඩි වශයෙන් කරන සැත්කමක් මෙහි විශේෂත්වය වුනේ අප මෙය සිදු කලේ කොවිඩ් රෝගියකුට වීමයි.

සැත්කම සිදුකර රෝගියාගේ ජීවිතය බේරා ගන්න මම තීරණය කළා. එහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි මගේ කණ්ඩායම මට හොඳ සහයක් ලබා දුන්නා.

වෙනදා අප අඳින ශල්‍යාගාර ඇඳුම වෙනුවට මුලු සිරුරම වැසියන පරිදි අඳින කොවිඩ් ආරක්ෂිත ඇඟලුමකින් සැරසී සියුම් ලෙස සැත්කමෙහි නිරත වීම අපට යම් අභියෝගයක්.

නමුත් අප කොවිඩ් අවධානම මදකට අමතක කර හෘද රෝගියා බේරා ගැණිමේ සැත්කම සාරථකව නිම කලා.

විශේෂයෙන් මෙහිදී සඳහන් කල යුතුයි මෙම හෘදයාබාධය කොවිඩ් රෝගයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස ඇති වුවක් බව පැහැදිළි වු කාරණයක්.

එම රෝගියා කොලෙස්ටරෝල්, දියවැඩියා, අධික රුධිර පීඩනයට ගොදුරුව සිට හෘදයාබාදයකට ලක් වු අයෙක් නොවෙයි. විවිධ කරුණු කාරනා පිළිඹඳව අවධානය යොමු කිරීමේදී හෙළිවන කරුණ නම් එය කොවිඩ් සංකුලතාවයක්.

සැත්කමෙන් පසුව කොවිඩ් රෝගියාගේ හෘදයාබාධය පහව ගොස් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයෙන් ජාතික රෝහලේ කොරෝනා රෝගින්ට ප්‍රතිකාර සලසන්න වෙන් වු විශේෂිත ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

මා සමග මෙම සැත්කමට ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරි වෛද්‍යවරුන් වන වෛද්‍ය රසික සෝවිස්, වෛද්‍ය සජීව් ෂෙල්වචුමාර් සහ වෛද්‍ය විශ්ව ජයසිංහ, හෙද නිලධාරී ප්‍රසාද් පෙරේරා, හෘද තන්තු රේඛන ශිල්පී නිලන්ත පෙරමුණ, විකිරණ ශිල්පී උපාලි අබේවර්ධන ඇතුලු කණ්ඩායමක් මා සමග මේ සැත්කමට සම්බන්ධ වුණා.”

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

භූමිතෙල් ලීටර් 13,000 ක් මහ පාරේ

(25.08.2021 – 18:01 +0530 – lankadeepa.lk)

භූමිතෙල් ප්‍රවාහනය කරන බෘෂර් රථයක් මාතර අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ ගුණරතන විද්‍යාලය අසළදී මාර්ගය හරහා පෙරලිමට ලක් වීමෙන් එහි ප්‍රවාහනය කළ භූමිතෙන් ලීටර් 13,200 ක් පමණ ප්‍රමාණයක් මාර්ගය දිගේ ගලා ගිය බව ප්‍රදේශාවසිහු පවසති.

ඇතැම් පිරිස් භාජන රැගෙන විත් ඒවා එකතු කළහ.

මාතර අකුරැස්ස මාර්ගය ඔස්සේ බෘෂර් රථය ධාවනය වෙමින් තිබියදී පාලටුව ගුණරත්න විද්‍යාලය අසලදී බෘෂර් රථයේ පිටුපස වමි පැත්තෙ රෝද දෙක (2) පුපුරා යාම හේතුවෙන් අනතුර සිදුවී ඇති බව පොලිසිය කියයි

මෙහි භූමිතෙල් ලීටර් දහතුන් දහස් දෙසියක් (13,200) ප්‍රවාහනය කල බව සදහන්. කෙසේ නමුත් බෘෂර් රථය අනතුරට පත්වීමෙන් අනතුරුව ප්‍රදේශවාසීන් පැමිණ ඉන්ධන රැස් කරන ආකාරය දක්නට ලැබිණි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *