පුත්තලම සෙල්ලකන්දල් ප්‍රදේශයේ ගොවීන් ජලය නොමැතිව දැඩි අසීරුතාවක

පුත්තලම සෙල්ලකන්දල් ප්‍රදේශයේ ගොවීන් ජලය නොමැතිව දැඩි අසීරුතාවක

*********************************************

පුත්තලම සෙල්ලකන්දල් ප්‍රදේශයේ ගොවීන් ජලය නොමැතිව දැඩි අසීරුතාවක

(25.08.2021 – 15:10 +0530 – hirunews.lk/sinhala)

පුත්තලම සෙල්ලකන්දල් ප්‍රදේශයේ ගොවීන් මෙවර යල කන්නය සඳහා වගා කළ කුඹුරුවලට ජලය ලබාගැනීමට නිසි ක්‍රමවේදයක් නොමැතිකමින් දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා.

ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර තම කුඹුරු ආරක්ෂා කරගැනීමට නිසි ක්‍රමවේදයක් සකසා දෙන ලෙසයි.

පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වගා කෙරෙන කුඹුරුවලට ජලය ලබා ගන්නා සිරන්දිඅඩිය සෙල්ලකන්දල් වැවයි මේ.

මෙවර යල කන්නය සඳහා එම ප්‍රදේශයේ ගොවීන් කුඹුරු අක්කර 100 කට ආසන්න ප්‍රමාණයක වගා කර ඇත්තේ දේශීය වී වර්ගයක් වන සුවඳැල්.

නමුත් පීදෙන ගොයමට අවශ්‍ය ජලය නොමැතිකමින් ගොවීන් පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකටයි.

******************************************

(25.08.2021 – 15:39 +0530 – hirunews.lk/sinhala)

1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළක්වීමේ පනතේ 13 වන වගන්තිය අනුව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උපදේශක මණ්ඩලයක් පත් කර ඇතැයි ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ හරිගුප්ත රෝහණධීර මහතා පවසනවා.

හිටපු අගවිනිසුරු අශෝක ද සිල්වා මහතාගේ සභාපතිත්ව‍යෙන් යුත් මෙම උපදේශක මණ්ඩලයේ සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ඒ.ඒ. ආර් හෙයියන්තුඩුව සහ විශ්‍රාමලත් සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් යන මහත්වරු පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් සිරදඬුවම් විදින සහ රැඳවුම් නියෝග මත අත්අඩංගුවේ පසුවන පුද්ගලයන් පිළිබඳව සොයා බැලීම, නිදහස් කිරීම, ඇප ලබාදීම ඇතුළු ඉදිරි තීරණ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට නිර්දේශ සහ උපදෙස් ලබාදීම මෙම මණ්ඩලයෙන් අපේක්ෂා කෙරෙනවා.

දීර්ඝ කාලයක සිට උපදේශක මණ්ඩලයක් පත් කර නොතිබීම හේතුවෙන් මෙතෙක් සිරගතව සිටින පිරිසට තමන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරිමට අවස්ථාවක් නොතිබූ අතර මෙම උපදේශක මණ්ඩලය පත් කිරීමත් සමග එම සිරකරුවන්ට ඔවුන්ට ඇති ගැටලු ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවන බවයි හරිගුප්ත රෝහනධීර මහතා ප්‍රකාශ කළේ ෴

******************************************

(25.08.2021 – 16:03 +0530 – hirunews.lk/sinhala)

ඇෆ්ගනිස්ථානයේ ගැටුම් හමුවේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 19 දෙනෙකු අද (25) දිවයිනට පැමිණ තිබෙනවා.

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය තහවුරු කර ගන්නා අවස්ථාව වන විට එහි ශ්‍රී ලාංකිකයන් 92 ක් සිට ඇති බවයි මේවන විට අනාවරණ වී ඇත්තේ.

කෙසේවෙතත් ඉන් 26 දෙනෙකු ඇෆ්ගනිස්ථානයේ සිටීමට කැමැත්ත පළකර තිබෙනවා.

ඔවුන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම විවිධ රාජ්‍ය නොවන සංවිධානවල කටයුතු කරන අය බව සඳහන්.

මේ අතර තවත් ශ්‍රී ලාංකිකයන් 6 දෙනෙකු හෙට (26) දිනයේදී ඉන්දීය ගුවන්යානයකින් මෙරටට පැමිණීමට නියමිත බව ද වාර්තා වනවා.

******************************************

සාස්තරකාරියක් හෝටලයකට ගෙන්වා ගෙන ‘දේවාල වල් ගුරෙකු’ කළ අමුතු වැඩේ

(25.08.2021 – am.lk ඇසුරෙන්)

සාස්තර කියනු ලබන කාන්තාවක් රවට්ටාගෙන හෝටල් කාමරයකට බලහත්කාරයෙන් රැගෙන ගොස් ලිංගික අතවර කළ බව කියන සාස්තර හා ගුරුකම්කරන ‘දේවාල වල් ගුරෙකු’ ඊයේ (24) අත්අඩංගුවට ගත්බව ගාල්ල පොලිසියේ කොට්ඨාශ හා ළමා කාන්තා කාර්යංශය පවසනවා.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 32 හැවිරිදි වියේ පසුවන කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි විවාහකයෙක්.

මොහු පුද පුජා පැවැත්විම සදහා හික්කඩුව සිනිගම දේවාලයට පැමිණෙන අයෙක්. අතවරයට ලක්වු සාස්තරකාරියද සීනිගම දේවාලයට පුද ජුජා පැවැත්විම සදහා පැමිණ තිබෙනවා. ඇය 30 හැවිරිදිවියේ පසුවන දෙදරුමවක්.

දේවාලයට පැමිණි දිනයකදි සාස්තරකාරිය ‘දේවාල වල් ගුරා’ගේ කාර් රථය අසලට ගොස් ඇති අතර එහිදි සැකකරු ඇයට බීම වීදුරුවක් ලබාදී තිබෙනවා. පසුව ඇය සිහිසුන්ව ඇති අතර සිහිය ලැබෙන විට ඇය පාළු නිවසක සිට තිබෙනවා. ඇය ත්‍රිරෝද රථයකින් යලි නිවසට පැමිණ තිබෙනවා.

දින 10 කට පමණ පසු ‘දේවාල වල් ගුරා’ සාස්තරකාරියට දුරකථනයෙන් කතා කොට ‘වට්ස්ඇප්’ අංකයක් ඉල්ලාගෙන තිබෙනවා. පසුව ‘මැඩම්ගේ සෙල්ලම් පෙන්වන්නම්’ කියා නිරුවත් ජායාරූප පෙන්වා ඇති අතර “දැන් ඉතින් මම කියන විදියට වැඩකරන්න” ලෙස පවසා තිබෙනවා.

පසුව සැකකරු විසින් ඇයට තර්ජනය කොට බිය වද්දා, මෙකි සාස්තරකාරිය තම ගුරුකම් සදහා ප්‍රචාරක කටයුතු සදහා යොදා ගනුලැබ තිබෙනවා.

මෙම ‘දේවාල වල් ගුරා’ගෙන් ගුරුකම් කරවා ගෙන ප්‍රතිකාර ගත් නිසා තමන්ට දැන් දරුවකු ලැබෙන්නට සිටින බවට සාස්තරකාරිය ලවා කියවාගෙන සැකකරු විසින් විඩියෝගත කොට තිබෙනවා.

තර්ජනය කිරිම් හමුවේ බියට පත් සාස්තරකාරිය සිය උදරයට කොට්ටයක් බැඳගෙන දරුවකු ලැබිමට සිටින අයුරින් විඩියෝවේ පෙනීසිට තිබෙනවා. මේ අයුරින් සැකකාර ‘දේවාල වල් ගුරා’ විසින් තම ගුරුකම්වල ප්‍රචාරක කටයුතු සදහා මෙකී කාන්තාව යොදා ගෙන තිබෙනවා.

ගාල්ල පොලිසියේ කොට්ඨාශ හා ළමා කාන්තා කාර්යංශට සාස්තරකාරිය විසින් කරනු ලැබු පැමිණිල්ලකට අනුව මෙකි සිද්ධිය පිළිබද විමර්ශනය කොට ලිංගික අතවර කිරිම හා පහරදිම බිය ගැන්විම යන චෝදනාව යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

******************************************

පරිසරය වනසන දේශපාලන හයිය

(25.08.2021 – 12:46 +0530 – sinhala.adaderana.lk)

දේශපාලන බලය යොදාගෙන හංවැල්ල, තුංතාන ප්‍රදේශයේ වගුරුබිමක් නීතිවිරෝධී අයුරින් ගොඩ කරන බවට ‘අද දෙරණ උකුස්සා’ට තොරතුරක් ලැබුණි.

උකුස්සාගේ අද (25) අනාවරණය ඒ පිළිබඳවය.

අක්කර දෙකකට (2) අධික මෙම වගුරුබිම පිහිටා ඇත්තේ හයිලෙවල් මාර්ගයට මුහුණලා හංවැල්ල තුංතාන ප්‍රදේශයේය.

ඒ අනුව ‘අද දෙරණ උකුස්සා’ට තොරතුරු අනාවරණ වුණේ මෙම ඉඩමට ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලකයෙකු විසින් නීතිවිරෝධී අයුරින් පස් පුරවන බවටය.

ඩෝසරයක් මගින් එහි පස් පුරවමින් සිටින අයුරු ද උකුස්සාට දැකගත හැකිවිය.

මෙහි නීතිවිරෝධී කටයුත්තක් සිදුවෙන බව තහවුරු කරගත් උකුස්සා අනතුරුව ඒ පිළිබඳව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාවේ විශේෂ බලාත්මක ඒකකයේ වැටලීම් අංශය දැනුවත් කළේය.

ඒ අනුව ක්‍රියාත්මක වූ නිලධාරීන් එම ස්ථානය වටලනු ලැබීය.

එහිදී ඔවුන් සිදුකළ සොයා බැලීමේදී අනාවරණ වුණේ පර්චර් 39 ක් ගොඩ කිරීම සඳහා අදාළ දේශපාලනඥයා විසින් ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාවෙන් අවසර ඉල්ලා තිබුණද එම අවසරය ලැබීමටත් ප්‍රථම අක්කර දෙකක (2) පමණ ඉඩමක් ගොඩකරන බවටය.

අනතුරුව මෙම ගොඩකිරීම සිදුකරන සීතාවක ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයා අදාළ නිලධාරීන් මගින් දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගත්තේය.

ඔහු එලෙස මෙම වගුරුබිම ගොඩකර නොමැති බව පැවසූවද ඇස් පෙනෙන ඕනෑම පුද්ගලයෙකුට මෙහි සිදුවී ඇත්තේ කුමක්ද පිළිබඳව මනාව පැහැදිලි වන්නේය.

කෙසේවෙතත් අදාළ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයා එම ස්ථානයට පැමිණියේ නැත.

පසුව පාදුක්ක පොලීසියේ නිලධාරීන් විසින් අදාළ ස්ථානයේ සේවය කළ පුද්ගලයන් සහ යන්ත්‍රසූත්‍ර සිය භාරයට ගනු ලැබීය.

දේශපාලන හයියෙන් සිදුවන මෙවැනි තවත් නීතිවිරෝධී ක්‍රියා ඉදිරියේදීත් රට හමුවේ අනාවරණ කිරීමට ‘අද දෙරණ උකුස්සා’ අවධානයෙන්.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

(25.08.2021 – 15:46 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන ලබන සෙනසුරාදා (28) සහ ඉරිදා (29) යන දින දෙකේ (2) තොග වෙළඳාම සඳහා විවෘත කෙරෙන බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් එම කටයුතු සිදුකළ යුතු බවයි ඔහු අවධාරණය කළේ.

දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන අද (25) දිනයේදී ද විවෘතව තැබෙනවා ෴

+++++++++++++++++++

(25.08.2021 – 15:24 +0530 – hirunews.lk/sinhala)

මෙරට ඔක්සිජන් අවශ්‍යතාවය වෙනුවෙන් ඉන්දියාවේ ප්‍රමුඛ අවධානයක් මේ මොහොතේ යොමුකරන ලෙස ශ්‍රී ලංකා ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ ගෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉල්ලීමක් කර තිබෙනවා.

ඉන්දියාවේ නිෂ්පාදිත ජංගම ඔක්සිජන් ඒකක මෙරටට ලබාදීම කෙරෙහි ද අවධානය යොමුකරන ලෙසයි අමාත්‍යවරයා ඉල්ලා ඇත්තේ.

කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් පසු ඉන්දීය මහකොමසාරිස්වරයා සමග පළමු නිල හමුව අද (25) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිදුව තිබෙනවා.

මීට අමතරව, ප්‍රතිශක්තීකරණ ඖෂධයක් වන ‘ටොසී’ නමැති ඖෂධය මෙරටට ලබාදීම කෙරෙහි ද ඉන්දියාවේ අවධානය යොමුකරන ලෙස අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයාගෙන් ඉල්ලා තිබෙනවා ෴

+++++++++++++++++++

(25.08.2021 – 15:57 +0530 – hirunews.lk/sinhala)

වත්මන් කොවිඩ්-19 තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් සහ මහා සංඝරත්නය විවිධ අදහස් පළකළා.

++++++++++++++++++++

(25.08.2021 – 16:31 +0530 – hirunews.lk/sinhala)

හිඟුරක්ගොඩ පොලිස් වසමට අයත් කවුඩුල්ල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට “කොරෝනාවෙන් නිවන් සුව ලැබේවා” යනුවෙන් සඳහන් කල පුවරුවක් සහිත මල්වඩමක් කිසිවෙකු විසින් තබා ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නිවෙස් හිමියා හිඟුරක්ගොඩ පොලීසිය දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

+++++++++++++++++

බලංගොඩ අවුරුදු 3½ ක දැරියක් හිටිහැටියේ ඇදවැටී මිය යයි

(25.08.2021 – 09:31 +0530 – mawbima.lk)

බලංගොඩ, මාරතැන්න ප්‍රදේශයේ අවුරුදු 3 මාස 7 වයසැති කුඩා දැරියක නිවෙසේ සෙල්ලම් කරමින් සිටියදී හිටි හැටියේ ඇද වැටී මරණයට පත් වී ඇත. මෙසේ මියගිය වික්නේෂ්වරන් චාරුක්ෂා නමැති ගැහැනු දරුවාගේ මරණය සම්බන්ධයෙන් පැවති මරණ පරීක්ෂණය බලංගොඩ මූලික රෝහලේදී පෙරේදා (අගෝස්තු 23) බලංගොඩ හදිසි මරණ පරීක්ෂක පත්මේන්ද්‍ර විජේතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

එහිදී සාක්ෂි දුන් මෙම දරුවාගේ පියා වූ පෙරුමාල් වානිස්සි නමැති අය මෙසේ පැවසීය.

“සිද්ධිය වූ දින දරුවා මිදුලේ සෙල්ලම් කරමින් සිටියා. හිටි හැටියේ ම දරුවා ඇද වැටුණා. දරුවා ළඟට ගොස් ඔසවාගෙන කතා කළත් කතා කළේ නැහැ. බෙල්ල පැත්තකට හැරී තිබුණා. කටින් සෙම ටිකක් ආවා. මම හිතුවා ළමයාට ෆිට් එක හැදිලා කියලා. ළඟ ම තිබෙන මාරතැන්න රෝහලට රැගෙන ගියා. එහිදී දරුවා මිය ගොස් ඇතැයි වෛද්‍යවරුන් පැවසුවා.”

මේ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය බළන්ගොඩ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය එච්.කේ.ආර්. සංජීව මහතා විසින් සිදුකර ඇති අතර මෙය කොවිඩ් රෝගය වැළඳීමෙන් සිදු වූ මරණයක් බවට තහවුරු කළේය

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *