සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් ජනතාවට දැනුම්දීමක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් ජනතාවට දැනුම්දීමක්

*********************************************

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් ජනතාවට දැනුම්දීමක්

(22.08.2021 – 10:58 +0530 – hirunews.lk/sinhala)

එන්නත් මාත්‍රා තේරීමකින් තොරව ලැබෙන ඕනෑම එන්නතක් ලබාගැනීමට කටයුතු කරන ලෙසට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

එමෙන්ම වයස අවුරුදු 60 ට වැඩි පුරවැසියන් හැකි ඉක්මනින් තමාට ආසන්නතම එන්නත් මධ්‍යස්ථානයෙන් එන්නත් ලබාගන්නා ලෙසටයි ඔහු දැනුම්දෙන්නේ.

මේවන විට වාර්තා වී ඇති කොරෝනා වයිරස් ආසාදිත මරණවලින් සියයට 70 ක් 80 ක් පමණ කිසිදු එන්නතක් ලබා නොගත් අය බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියාසිටියා.

++++++++++++++++++++++

(22.08.2021 – 10:40 +0530 – hirunews.lk/sinhala)

ඔක්සිජන් ටොන් 100 ක් රැගත් ඉන්දියාවේ ‘ශක්ති’ නෞකාව අද (22) කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පස්වරු 2 ට පමණ එම නෞකාව කොළඹ වරායට ළඟාවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, ඔක්සිජන් රැගෙන ඒම සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය නාවික හමුදාවට අයත් ‘ශක්ති’ නෞකාව ද හෙට (23) කොළඹට ළඟාවීමට නියමිතයි ෴

+++++++++++++++++++++

(22.08.2021 – 10:36 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන ඇදිරි නීතිය පවතින කාලවකවානුවේ ලබන 24 සහ 25 දිවයිනේ සියළු ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කියා සිටියේ තොග වෙළදාම සඳහා පමණක් මෙලෙස ආර්ථික මධ්‍යස්ථාන විවෘත වන බවයි ෴

+++++++++++++++++++++

(22.08.2021 – 11:03 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන ඇඳිරිනීතිය පවතින කාලසීමාව තුළ යුධ හමුදාව මගින් සිදුකරනු ලබන එන්නත්කරණ ක්‍රියාවලිය අද (22) දිනයේත් සිදු කෙරෙනවා.

ඒ අනුව මට්ටක්කුලිය, පාගොඩ, කළුතර හා බියගම ප්‍රදේශවලදී යුදහමුදා ජංගම රථ මගින් සයිනොෆාම් සහ ඇස්ට්‍රාසෙනෙකා එන්නවල පළමු (1) සහ දෙවන (2) මාත්‍රා ලබාදෙන බවයි හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

එසේම සයිනොෆාම් එන්නතේ දෙවන (2) මාත්‍රාව කොළඹ – විහාරමහා දේවි උද්‍යාන පරිශ්‍රය, සුගතදාස ක්‍රීඩාංගනය හා වේරහැර යුද හමුදා වෛද්‍ය බලකා මධ්‍යස්ථානයේදී ලබාගත හැකියි.

මීට අමතරව නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු (1) සහ දෙවන (2) මාත්‍රාද අද (22) ලබාගැනීමේ හැකියාව පවතිනවා ෴

++++++++++++++++++++++

කොළඹ දිස්ත්‍රික්කය තුළ රුපියල් 2,000 දීමනාව ලබාදීම ගැන දැනුම්දීමක්

(22.08.2021 – 10:46 +0530 – sinhala.adaderana.lk)

නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින් සඳහා රුපියල් 2,000 ක දීමනාව ලබාදීම එලඹෙන සතියේ සිට ආරම්භ කරන බවද කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවසීය.

එම දීමනාව ලබාදීම සඳහා මූලික වටයේදී 250,000 කට අධික පිරිසක් හඳුනාගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

ප්‍රාදේශීය ලේකම්වරු 13 දෙනා, සියලුම ග්‍රාම නිලධාරීවරුන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන්ගේ මාර්ගයෙන් එම දීමනාව ලබාදීමට කටයුතු කරන බවද කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර නිවෙස්වලට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සඳහා අවස්ථාව පවතින්නේ කොවිඩ් මර්දන එන්නත්කරණයට ලක්වූ ජංගම වෙළෙඳුන්ට පමණක් බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසයි.

එමෙන්ම ජංගම වෙළෙඳුන්ගෙන් භාණ්ඩ මිලදී ගැනීමේදී සිදුවන අපහසුතාවයන් පිළිබඳව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට, ග්‍රාම නිලධාරීවරයාට හෝ පාරිභෝගික කටයුතු අධිකාරියට දැනුම්දීමේ හැකියාව ඇති බවද ඔහු පැවසීය.

පසුගිය අවස්ථාවන්ට වඩා මෙවර දැඩි සුපරීක්ෂණයක් යටතේ එම කටයුතු අධීක්ෂණය කරන බවත් පාරිභෝගික කටයුතු අධිකාරියත් සමග අවශ්‍ය අවස්ථාවලදී වැටලීම් සිදුකරන බවත් ඔහු සඳහන් කළේය ෴

+++++++++++++++++++

(22.08.2021 – 13:16 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලසීමාව තුළ පොලිස් ස්ථාන මගින් ඇඳිරි නීති බලපත්‍ර නිකුත් නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ මාලාවට අනුව අත්‍යාවශ්‍ය සේවාවල පුද්ගලයින්ට සිය හැදුනුම්පත හෝ ආයතන ප්‍රධානියා විසින් නිකුත් කරනු ලැබූ ලිපියක්, පරීක්ෂා කිරීම්වල නිරත පොලිස් නිලධාරීන්ට පෙන්වීම ප්‍රමාණවත් බවයි.

++++++++++++++++++

(22.08.2021 – 13:20 +0530 – hirunews.lk/sinhala)

කොළඹ දිස්ත්‍රික්කයේ ජංගම වෙළදාම සඳහා ඉඩ ලබාදෙන්නේ එන්නත්කරණයට ලක්වූවන්ට පමණක් බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා ප්‍රකාශ කළා.

මෙම කාලසීමාවේ ජීවනෝපාය අහිමි වන කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් සඳහා රුපියල් 2000 ක දීමනාව ලබාදීමට මිලියන 467 ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ලබාදී ඇති බවයි දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ.

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවත් අද (22) දිනයේ බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් තොරව විහාරස්ථාන තුළ ආගමික වතාවත් සිදුකරමින් පවතිනවා.

මේ අතර, මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර ද ජන සහභාගීත්වයෙන් තොරව අද (22) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි ෴

+++++++++++++++++++

(22.08.2021 – 13:40 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය පරාජය කළ හැක්කේ විද්‍යාත්මක විසඳුමකින් මිස මිත්‍යාවන් පසුපස යාමෙන් නොවන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා, මාතර ඊයේ (21) පැවති උත්සවයකදී සඳහන් කළේ කොරෝනා මර්දනය කළ හැක්කේ එන්නත්කරණය වැනි විද්‍යාත්මක විසඳුමකින් මිස මිත්‍යාවන් පසුපස යාමෙන් නොවන බවයි.

පැණි බීමෙන් හෝ මුට්ටි ගංඟාවලට දැමීමෙන් ඊට විසදුම් සෙවිය නොහැකි බව ද අමාත්‍යවරයා කියා සිටියා.

මේ අතර පසුගිය දින හයේදී මෙරටින් කොරෝනා මරණ දහසක් වාර්තාවී තිබෙනවා.

ඊයේ (21) දිනයේදී අලුතින් මරණ 198 ක් වාර්තා වීමත් සමග මෙරට කොරෝනා මරණ හත්දහසේ (7000) සීමාව ඉක්මවා ගියා.

මේ වනවිට මෙරටින් වාර්තාවී ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 7,183 ක්.

ගතවූ දින 30 ක පමණ කාලය තුළ පමණක් සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 3,000 ක් පමණ වනවා.

කොරෝනා මෘතදේහ හේතුවෙන් ආදාහනාගාරද මේ වනවිට පත්ව ඇත්තේ දැඩි කාර්යබහුල තත්වයකටයි.

බේරුවල ප්‍රාදේශීය සභාව මගින් ක්‍රියාත්මක අලුත්ගම සහ පොතුවිල ආදාහනාගාර දිවා රාත්‍රී දෙකෙහිම ක්‍රියාත්මක කිරීමට සිදුව ඇත්තේ මෙවන් තත්වයක් තුළයි.

කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් කිහිපයක කොරෝනා මෘතදේහ ගොඩගැසීමේ සිදුවීම් ගැන සොයා බැලීමට සහකාර පොලිස් අධිකාරීවරයෙකුගෙන් යුතු කණ්ඩායමක් පත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සදහන් කළා.

++++++++++++++++

(22.08.2021 – 14:02 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව තුළ වයස අවුරුදු 60 ඉක්මවූ ගම්පහ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් සඳහා එන්නත්කරණ කටයුතු වෙනුවෙන් මධ්‍යස්ථාන 45 ක් විවෘත කර ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළා.

ඔවුන් එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත රැගෙන යාම වෙනුවෙන්ද විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි.

එමෙන්ම ජංගම සේවා මගින්ද එන්නත්කරණ කටයුතු සිදුකරන බවයි වාර්තාවන්නේ.

මේ අතර ජීවනෝපාය අහිමිවූ ගම්පහ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් වෙනුවෙන් සඳුදා සිට රුපියල් 2,000 ක දීමනාව ලබාදීමට නියමිත අතර, ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 48 ක් ෴

@@@ කොවිඩ් නොවන පුවත් @@@

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි (22)

(22.08.2021 – 06:30 +0530 – sinhala.adaderana.lk)

නිකිණි පුර පසළොස්වක පෝය දිනය අදට (22) යෙදී තිබේ.

ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම, ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියන්ගේ රහත් වීම, භික්ෂූන් වහන්සේ පසුවස් සමාදන්වීම ඇතුළු වැදගත් සිදුවීම් රැසක් සිදුවූ පොහොය දිනයක් ලෙස මෙම පුන් පොහොය දිනය සැලකේ.

මේ අතර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද (22) රාත්‍රියේ විථී සංචාරය කිරීමට නියමිතය.

නිරෝධායන ඇඳිරිනීතිය පැවැතිය ද පෙරහැර පැවැත්වීමට විශේෂ අවසරයක් ලබාදී ඇත.

******************************************

ඇෆ්ගනිස්තානයේ සිටින ශ්‍රී ලාංකිකයින් ගැන රජයෙන් නිවේදනයක්

(21.08.2021 – 22:56 +0530 – sinhala.adaderana.lk)

ඇෆ්ගනිස්තානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්‍ෂාව හා සුරක්ෂිතභාවය සහ ඔවුන් ආරක්‍ෂිත ස්ථානයක් කරා ගෙනයාම හෝ යළි මෙරටට ගෙනඒම කෙරෙහි මූලික අවධානය යොමු වී ඇති බව විදේශ අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම විදේශ අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ඇෆ්ගනිස්තානයේ පවතින තත්ත්වය පිළිබඳව රජය දැඩි අවධානයෙන් පසුවන බවය.

ඇෆ්ගනිස්තානයේ ශ්‍රී ලාංකිකයින් 86 ක් සිටි බවත් ඉන් 46 දෙනෙකු මේ වන විටත් ඉවත් කරගෙන ඇති බවත්
තවත් ලාංකිකයින් 20 දෙනෙකු මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බවත් විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර 20 දෙනෙකු ඇෆ්ගනිස්තානයේ රැඳී සිටිමට කැමැත්ත පළකර ඇති බව එම අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනයේ දැක්වේ.

ඇෆ්ගනිස්තානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා සහාය ලබාදෙන ලෙස විදේශ අමාත්‍යාංශය අමෙරිකාව, බ්‍රිතාන්‍ය, ඉන්දියාව සහ පාකිස්තානය යන රටවලින් මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ද ඉල්ලීමක් කර ඇති බව ද විදේශ අමාත්‍යාංශය පවසයි.

අදාළ රටවල තානාපතිවරුන් සමග පැවැති සාකච්ඡාවක දී විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා විසින් මෙම ඉල්ලීම සිදුකළ බව එම අමාත්‍යාංශය සදහන් කළේය.

විදේශ අමාත්‍යාංශය විසින් නිකුත්කළ නිවේදනය පහතින් :

= උපුටාගැනීම =

“ඇෆ්ගනිස්තානයේ පවතින තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි අවධානයෙන් පසුවන අතර, එහි ප්‍රවණතා පිළිබඳව සමීපව නිරීක්ෂණය කරමින් සිටී. ඇෆ්ගනිස්තානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්‍ෂාව හා සුරක්ෂිතභාවය සහ ඔවුන් ආරක්‍ෂිත ස්ථානයක් කරා ගෙනයාම හෝ නැවත ශ්‍රී ලංකාව වෙත ගෙන ඒම කෙරෙහි අපගේ මූලික අවධානය යොමු වී ඇත.

ඔවුන් එසේ කිරීමට අපේක්ෂා කරන්නේ නම්, ඇෆ්ගනිස්තානයේ සිටින ශ්‍රී ලාංකිකයින් ඉවත් කර ගැනීමට සහාය ලබා දෙන ලෙස විදේශ අමාත්‍යාංශය විසින් ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉන්දියාව, පාකිස්තානය යන රටවල රජයන්ගෙන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබේ.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා අදාළ රටවල තානාපතිවරුන් සමඟ පැවති සාකච්ඡාවල දී ඇෆ්ගනිස්තානයේ සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම සඳහා සහය ලබා දෙන ලෙස ඉල්ලා ඇත.

මේ සඳහා අවශ්‍ය ඕනෑම පහසුකමක් ලබාදීම සඳහා ශ්‍රී ලංකා රජය සූදානමින් සිටී. ඇෆ්ගනිස්තානයේ සිටින මුළු ශ්‍රී ලාංකිකයින් අසූ හය (86) දෙනා අතුරින්, හතලිස් හය (46) දෙනෙකු මේ වන විටත් ඉවත්කර ගෙන ඇත.

අද වන විට, ඇෆ්ගනිස්තානයෙන් ශ්‍රී ලාංකිකයින් විසි (20) දෙනෙකු ආපසු පැමිණීමට අපේක්ෂා කරන අතර, ඔවුන් ඉවත්කර ගැනීම සඳහා විදේශ අමාත්‍යාංශය කටයුතු සම්පාදනය කරමින් සිටී.

මේ අතර, ශ්‍රී ලාංකිකයින් විසි (20) දෙනෙකු ඇෆ්ගනිස්තානයේම රැඳී සිටීම සඳහා කැමැත්ත පළකොට ඇත.

තලෙබාන් සංවිධානය විසින් පොදු සමාවක් ලබා දී ඇති බවත්, කිසිදු විදේශිකයෙකුට හානියක් නොකරන බවට ප්‍රතිඥා දී ඇති බවත්, එම කැපවීමට අඛණ්ඩව ගෞරව කරන ලෙස තලෙබාන් සංවිධානයෙන් ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා රජය සතුටින් සඳහන් කරයි.

ඉස්ලාමීය සම්ප්‍රදාය අනුගමනය කරමින් ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට රැකියා කළ හැකි අතර, ගැහැණු ළමයින්ට පාසල් යා හැකි බවට තලෙබාන් සංවිධානය විසින් ලබා දුන් ප්‍රතිඥා පිළිබඳව ද ශ්‍රී ලංකා රජය සතුටු වේ.

රට ඉදිරියට ගෙන යාම සඳහා සර්ව පාක්‍ෂික යාන්ත්‍රණයක් ස්ථාපිත කරන බවට තලෙබාන් සංවිධානය කළ ප්‍රකාශය පිළිබඳව ද ශ්‍රී ලංකා රජය අවධානය යොමු කරයි.

දැන් තලෙබාන් සංවිධානය බලයේ සිටින බැවින්, නීතිය හා සාමය ස්ථාවර කරන ලෙසත් ඇෆ්ගනිස්තානයේ සියලු ජනතාවගේ ආරක්ෂාව, සුරක්ෂිතභාවය සහ ගෞරවය ආරක්‍ෂා කරන ලෙසත් ශ්‍රී ලංකා රජය ඉල්ලීමක් කරයි.

සමස්ත දකුණු ආසියානු කලාපයම අස්ථාවර කිරීමේ බලපෑමක් ඇති කළ හැකි මහා ජන සංක්‍රමණ, අන්තවාදී ආගමික කොටස් විසින් එහි ආරක්ෂිත ස්ථානයක් සාදා ගැනීමට උත්සාහ දැරීම සහ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම වැඩිදියුණුවීම පිළිබඳව ශ්‍රී ලංකා රජය අවධානයෙන් පසුවෙයි.

රජය මෙම තත්ත්වය දෛනිකව හොඳින් නිරීක්ෂණය කරමින් සිටී.

සාර්ක් සංවිධානයේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාව, මේ සම්බන්ධයෙන් සිදුකරන ඕනෑම කලාපීය ප්‍රයත්නයකට සහාය වීම සඳහා සිය කාර්‍ය භාරය ඉටු කිරීමට සූදානමින් සිටී.”

= උපුටාගැනීම අවසන් =

******************************************

(22.08.2021 – 13:02 +0530 – hirunews.lk/sinhala)

මුව ආවරණ අලෙවිකරන මුවාවෙන් සපුගස්කන්ද ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කළ වයස අවුරුදු 25 ක තරුණියන් දෙදෙනෙකු (2) ඇතුලු 15 දෙනෙකු සපුගස්කන්ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී ඔවුන් සතුව තිබී රුපියල් ලක්ෂ 50 කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය සහ ඒවා විකිණීමෙන් ඉපයූ තවත් රුපියල් ලක්ෂ 7 ක පමණ මුදලක්ද පොලිස් භාරයට ගැනුනා.

******************************************

(22.08.2021 – 14:31 +0530 – hirunews.lk/sinhala)

බොහෝ සංවර්ධන ව්‍යාපෘති කඩිමුඩියේ ආරම්භ කළත් ඒවායේ අවසානයක් දැකිය නොහැකිවීම අද ඊයේ සිදුවන්නක් නොවේ.

ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කරළීම වෙනුවෙන් බලධාරීන් සිදුකළ එවන් නිෂ්ඵල ක්‍රියාවක් අපට වාර්තා වුනේ පොලොන්නරුව වැලිකන්ද ප්‍රදේශයෙන්.

******************************************

පිය සෙනෙහසට කව් ගී ලියවුණා මදී – නිකිණි පෝදා සුදම් සභාව – උතුම් පිය සෙනෙහසට උපහාරයක් වේවා ! (22.08.2021)

පූජ්‍යපාද දොඩම්පහල රාහුල හිමි සහ අත්තනායක එම් හේරත් මැතිඳුන්ගේ සහභාගිත්වයෙන් හරින්ද්‍ර ජයලාල්ගේ මෙහෙයවීමෙන් රැස්වෙන පෝදා සුදම් සභාව.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *