කොරෝනා මරණ 7000 පනී – නව ආසාදිතයින් 3884 ක්

කොරෝනා මරණ 7000 පනී – නව ආසාදිතයින් 3884 ක්

*********************************************

කොරෝනා මරණ 7000 පනී – නව ආසාදිතයින් 3884 ක්

(21.08.2021 – 20:45 +0530 – hirunews.lk/sinhala)

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හත්දහසේ (7000) සීමාව පසුකර ගියා. ඒ, අලුතින් මරණ 198 ක් වාර්තාවීමත් සමඟයි.

එය මෙරට තුළ කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වූ දිනයේ සිට මේ දක්වා දිනකදී වාර්තාවූ වැඩිම මරණ සංඛ්‍යාව වනවා.

ඊයේ (20) සිදුවූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළ මෙම මරණ 198 න් 154 ක්ම අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් වනවා.

ඉතිරි 44 දෙනා අවුරුදු 30 ත් 59 ත් අතර වයස්වල පසුවන්නන්.

මියගිය 117 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර 81 දෙනා කාන්තාවන් වනවා.

ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තාවී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 7,183 ක්.

එමෙන්ම අලුතින් ආසාදිතයන් 3884 ක් හඳුනා ගැනීමත් සමඟ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 385,696 ක් දක්වා ඉහළ ගියා.

හඳුනා ගැණුනු නව ආසාදිතයින් සියළු දෙනා ‘අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ’ ආශ්‍රිතයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එච්.එම්. සෝමරත්න මහතාට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති කාලසීමාවේ අත්‍යවශ්‍ය සේවා සඳහා භාවිත කිරීමට ලබාදී ඇති අවසරය අවභාවිත නොකරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඉල්ලීමක් කරනවා.

+++++++++++++++++++

(22.08.2021 – 07:04 +0530 – hirunews.lk/sinhala)

ගතවූ පැය 24 ක කාලය තුල නිරෝධායන ඇඳිරි නීතිය කඩ කිරීම්වලට සම්බන්ධ පුද්ගලයන් 452 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා.

ඒ අනුව නිරෝධායන නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 56,294 ක්.

මේ අතර බස්නාහිර පළාතට ඇතුලුවන සහ පිටවන ස්ථාන 13 ක ස්ථාපිත කර ඇති මාර්ග බාධකවලදී ඊයේ (21) දිනය තුල පොලිසිය වාහන 639 ක් සහ පුද්ගලයන් 1128 ක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා ෴

++++++++++++++++++++

(22.08.2021 – 07:50 +0530 – hirunews.lk/sinhala)

මෙරට ජනගහණයෙන් පුද්ගලයින් එක්කෝටි විසි ලක්ෂ හැත්තෑතුන් දහස් තුන්සිය හැත්තෑ තුන් දෙනෙකුට (1,20,73,373) කවර හෝ කොරෝනා එන්නතක පළමු (1) මාත්‍රාව ලබාදී තිබෙනවා.

දෙවන (2) මාත්‍රාව ලබාදී පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇති සංඛ්‍යාව 5,514,315 ක්.

සයිනොෆාම් එන්නතේ පමණක් පළමු (1) මාත්‍රාව ලබාගත් මෙරට පුද්ගලයින් සංඛ්‍යාව කෝටියකට ආසන්න වී තිබෙනවා. එම සංඛ්‍යාව දැක්වෙන්නේ 9565,302 ක් ලෙසටයි.

මේ අතර ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන (2) මාත්‍රාව මේ වනතෙක් ලබා නොගත් පුද්ගලයින් 50,184 ක් සිටින බව වසංගත රෝග විද්‍යා අංශයේ දත්තවලට අනුව දැක්වෙනවා.

එසේම වයස අවුරුදු 12 ඉක්මවූ ළමයින්ට සහ තරුණයින්ට එන්නත් ලබාදීමට කඩිනමින් කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ.

මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 120,449 දෙනෙකුට ඊයේ (21) එන්නත් ලබා දී තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව 12,196 දෙනෙකුට සහ දෙවන (2) මාත්‍රාව 45,184 දෙනෙකුට ලබා දී ඇති බවයි.

එමෙන්ම ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු (1) මාත්‍රාව 2602 කට සහ දෙවන (2) මාත්‍රාව 1218 කට ලබා දී තිබෙනවා.

මොඩර්නා එන්නතේ දෙවන (2) මාත්‍රාව 57,608 දෙනෙකුට ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

ෆයිසර් එන්නතේ දෙවන (2) මාත්‍රාව 1579 කට ලබාදී තිබෙනවා ෴

+++++++++++++++++++

(22.08.2021 – 08:10 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන ඇදිරි නීතිය පැනවීමත් සමග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ (21) ගොඩ ගැසී තිබූ එළවළු තොගවලින් සියයට 60 ක් පමණ විකුණා ගැනීමට නොහැකි වූ බව වෙළදුන් ප්‍රකාශ කළා.

ඒ හේතුවෙන් එම එළවළු තොග ප්‍රදේශයේ ගම්මාන වෙත බෙදා හැරීමට වෙළදුන් කටයුතු කළ බවයි වාර්තා වන්නේ.

මැනිං වෙළදපළේ ද එළවළු මිලදී ගැනීම සදහා ඊයේ (21) පෙරවරුවේ ගැනුම්කරුවන් පැමිණීම අවම වුවත් දහවල් වන විට ගැනුම්කරුවන් පැමිණීම සාමාන්‍ය තත්ත්වයක පැවති බවයි මැනිං මාකට් පොදු වෙළද සමිතියේ හිටපු සභාපති ලාල් හෙට්ටිගේ මහතා සදහන් කළේ.

කෙසේ වෙතත්, තක්කාලි, වට්ටක්කා, වම්බටු වැනි එළවළු වර්ග කිහිපයක් පමණක් මේ වන විටත් ඉතිරිව පවතිනවා ෴

@@@ කොවිඩ් නොවන පුවත් @@@

(22.08.2021 – 06:49 +0530 – hirunews.lk/sinhala)

සඳුදා (23) දිනයේ සිට ඉදිරියට කිසිදු හිඟයකින් තොරව ගෑස් වෙළඳපොල තුල පවතිනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

ලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම්වල නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේබව කියාසිටියේ.

මේවන විට ලිට්රෝ සමගාම පෙර මිලටම ගෑස් අලෙවි කරන අතර ලාෆ්ස් සමාගම නව මිල යටතේ 20 වනදා සිට ගෑස් වෙළඳපොලට නිකුත් කිරීම ආරම්භ කර තිබෙනවා.

ගෑස් සමාගම් දෙක තුල නිරීක්ෂණයකට එක්වූ රාජ්‍ය අමාත්‍යවරයා එම සමාගම්වල ගබඩා කර ඇති ගෑස් සිලින්ඩර ප්‍රමාණයන් අධ්‍යයනය කිරීමෙන් අනතරුවයි සඳුදා (23) සිට හිඟයකින් තොරව ගෑස් ලබාගත හැකි බවට ප්‍රකාශ කළේ.

******************************************

විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත් ගැන මහ බැංකුවෙන් පැහැදිළි කිරීමක්

(22.08.2021 – 07:24 +0530 – hirunews.lk/sinhala)

විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත්, එනම් ණය කාඩ්පත්, හර කාඩ්පත් සහ අනෙකුත් වටිනාකම තැන්පත් කළ කාඩ්පත් භාවිතය පිළිබඳව කිසිඳු නව සීමාවක් පනවා නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

එම කාඩ්පත් හිමියන්ට තම කාඩ්පත් භාවිතා කරමින් පුද්ගලික ස්වභාවයේ ජංගම ගනුදෙනු සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයින්ට ගෙවීම් සිදු කිරීමට අවසර ලබා දී ඇති බවයි එම නිවේදනය මගින් මහජනතාවට දැනුම් දෙන්නේ.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ණය කාඩ්පත්, හර කාඩ්පත් සහ අනෙකුත් වටිනාකම තැන්පත් කළ කාඩ්පත් හිමියන් එම කාඩ්පත් භාවිතා කරමින් ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයින්ට කරන ඇතැම් විදේශ විනිමය ගෙවීම් සීමා කිරීමක්, තහනම් කිරීමක් සිදු කර ඇති බවට පණිවුඩ පැතිරයාම පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වී ඇති බවයි.

විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත්, එනම් ණය කාඩ්පත්, හර කාඩ්පත් සහ අනෙකුත් වටිනාකම තැන්පත් කළ කාඩ්පත් භාවිතය පිළිබඳව කිසිඳු නව සීමාවක් පනවා නොමැති අතර එම කාඩ්පත් හිමියන්ට තම කාඩ්පත් භාවිතා කරමින් පුද්ගලික ස්වභාවයේ ජංගම ගනුදෙනු සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයින්ට ගෙවීම් සිදු කිරීමට අවසර ලබා දී ඇති බවත් මහජනතාව වෙත දන්වා සිටි බව මහ බැංකුව ප්‍රකාශ කළා.

කෙසේවෙතත්, ඇතැම් බැංකු විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත් භාවිතා කර ගනුදෙනු සිදු කිරීමේදී එම කාඩ්පත් අනිසි ලෙස භාවිතා කිරීම වැළැක්වීම සහ එම බැංකුවල පවත්නා විදේශ විනිමය තත්ත්වය අනුව ගනුදෙනුවලට ප්‍රමුඛතාවය ලබාදීම සඳහා යම් යම් සීමාවන් හඳුන්වා දී ඇතැයි අනාවරණ වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර තිබෙනවා.

ඒ අනුව, විද්‍යුත් මුදල් මාරු කාඩ්පත් භාවිතා කරමින් නිත්‍යානුකූලව ගෙවීම් සිදු කිරීමේදී යම් දුෂ්කරතාවයකට මුහුණපෑමට සිදු වේ නම් ඊට අදාළ බැංකුව සම්බන්ධ කර ගන්නා ලෙසත් විදේශ විනිමය සකසුරුවම් ලෙස භාවිතා කරන ලෙසටයි ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

විධානයන් සහ මෙහෙයුම් උපදෙස් :

******************************************

(22.08.2021 – 07:45 +0530 – hirunews.lk/sinhala)

රට තුළ ඉන්ධන හිඟයක් මතුවීමේ අවදානමක් පවතින බවට ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඛනිජ තෙල් ජාතික සේවක සංගමයේ කැඳවුම්කරු ආනන්ද පාලිත අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (22) ඉදිරිපත් කිරීමට නියමිතයි.

අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබූ අතර, ඒ අනුව එහි නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (21) සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.

කෙසේ වෙතත් ඔහුගේ මෙම ප්‍රකාශය අසත්‍යයක් බව පෙරේදා මාධ්‍ය හමුවක් කැඳවමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා ප්‍රකාශ කළා.

එසේම පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී අදාළ ප්‍රකාශය අසත්‍යයක් බවට අනාවරණ වී ඇති බවයි.

මේ අතර ලෝක වෙළඳපලේ ඉන්ධන මිල සීග්‍රයෙන් පහළ වැටී ඇති බැවින් ඉන්ධන මිල අඩු කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය ඉල්ලීමක් කරනවා.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් එම සංවිධානය පෙන්වා දී ඇත්තේ අවසන් වරට ඉන්ධන මිල සංශෝධනය කළ ජූනි 11 වනදා බොරතෙල් බැරලයක මිල සහ මේ වනවිට පවතින මිල සංසන්දනය කිරීමේදී සියයට 12 කින් ලෝක වෙළඳපලේ ඉන්ධන මිල පහත වැටී ඇති බවයි ෴

******************************************

(22.08.2021 – 08:02 +0530 – hirunews.lk/sinhala)

මත්තේගොඩ ප්‍රදේශයේ නිවසක රඳවා සිටින සුනඛයන් සහ බළලුන් 50 දෙනෙකු පමණ බේරාගැනීම සඳහා මැදිහත් වන ලෙස සත්ව සුබසාධන සංවිධාන ඉල්ලීමක් කරනවා.

සතුන් රැකබලාගන්නා කාන්තාවන් දෙදෙනාට (2) කොරෝනා වැළඳීම හේතුවෙන් එම සතුන් ආහාර නොමැතිව මියයාමේ අවදානමක් මතුවී ඇති බවයි ‘ජස්ටිස් ෆෝ ඇනිමල් ඇන්ඩ් නේචර්’ සංවිධානයේ සභාපති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රකාශ කළේ.

සතුන්ට ආහාර ලබාදීමට සත්ව සුබසාධන සංවිධානවල සාමාජිකයින් එම ස්ථානයට ගියද නිවසේ හිමිකාරියගේ සහෝදරයෙකු ඊට බාධා කර තිබෙනවා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ඔවුන් මත්තේගොඩ පොලීසියට පැමිණිලි කර ඇති අතර, අද (22) දෙපාර්ශවයම පොලිසිය වෙත කැඳවා විමර්ශනයක් සිදුකරන බවයි එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ ෴

******************************************

(22.08.2021 – 08:44 +0530 – hirunews.lk/sinhala)

හම්බෙගමුව මයිලවල ප්‍රදේශයේදී සිදුවූ ත්‍රී රෝද රථ අනතුරකින් පිරිමි ළමුන් දෙදෙනෙකු (2) මියගොස් තිබෙනවා.

ඊයේ (21) සවස මෙම අනතුර සිදුවී ඇත්තේ වේලිඔය දෙසට ධාවනය වූ ත්‍රී රෝද රථයක් රියදුරාට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන්.

අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රී රෝද රථ රියදුරා සහ පිටුපස ගමන් කළ ළමුන් දෙදෙනෙකු (2) එහිදී බරපතල තුවාල ලැබුවා.

තුවාලකරුවන් හම්බෙගමුව රෝහලට ඇතුලත් කළ අතර ත්‍රී රෝද රථයේ පිටුපස ගමන් කළ දෙදෙනා (2) වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදීයි මියගොස් ඇත්තේ.

අවුරුදු 16 සහ 17 වයස්වල පසුවන ළමුන් දෙදෙනා (2) කොටවෙහෙරමංකඩ සහ හම්බෙගමුව ප්‍රදේශවල පදිංචිකරුවන්.

මෘත ශරීර ඇඹිලිපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර හම්බෙගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා ෴

******************************************

(22.08.2021 – 08:59 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියනයකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් තුන්දෙනෙකු (3) කුච්චවේලි ජයානගර් ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (21) දහවල් සිදු කළ විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් සතුව තිබී කේරළ ගංජා කිලෝ 3 යි ග්‍රෑම් 548 ක් සොයාගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

නිවසක සඟවා තිබූ මෙම කේරළ ගංජා අලෙවි කිරීමේ අරමුණින් තබාගන්නට ඇතැයි සැක කෙරෙනවා.

අවුරුදු 41 සහ 49 අතර වයස්වල පසුවන සැකකරුවන් කුච්චවේලි ප්‍රදේශයේම පදිංචිකරුවන්.

ඔවුන් කේරළ ගංජා තොගය සමග අධිකරණයට ඉදිරපත් කිරීම සඳහා කුච්චවේලි පොලිසියට භාරදී තිබෙනවා ෴

******************************************

(22.08.2021 – 09:39 +0530 – hirunews.lk/sinhala)

මන්නාරම ඕලුතුඩුවායි වෙරළ ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී නීති විරෝධීව මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියළි කහ කිලෝ 235 කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

නාවික හමුදාව විසිනුයි ඊයේ (21) මෙම සෝදිසිය සිදුකර ඇත්තේ.

නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් රැගෙන විත් ඇති මෙම කහ, මලු 7 ක අසුරා තිබී ඇති අතර එය ගොඩබිමට රැගෙන ඒම සඳහා යොදා ගැනීමට තිබූ බවට සැක කෙරෙන අත් කරත්තයක් ද හමුවී තිබෙනවා.

ජාවාරම්කරුවන් විසින් රට තුලට රැගෙන ඒමට නොහැකිව මෙම කහ තොගය දමා යන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.

වියළි කහ තොගය සහ අත් කරත්තය ඉදිරි විමර්ශණ සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ තබා තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *