ජනාධිපති ගෝඨාභය විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි

ජනාධිපති ගෝඨාභය විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි

*********************************************

ජනාධිපති ගෝඨාභය විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි

(20.08.2021 – 06:21 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක ප්‍රකාශ කළා.

ජාතික පුවත්පත් කිහිපයක් ජනාධිපතිවරයා අද (20) රාත්‍රියේ ජාතිය ඇමතීමට නියමිත බවට පළ කර තිබූ වාර්තා සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදියි ඔහු මේ බව කියා සිටියේ.

රට පුරා ව්‍යාප්තව ඇති කොරෝනා තත්වය පිළිබඳවත් රටේ ආර්ථික තත්වය පිළිබඳව සහ රට වසා තැබීමට ඇති අපහසුතා පිළිබඳවත් ජනාධිපතිවරයා ජාතිය අමතමින් රට හමුවේ කරුණු පැහැදිළි කරනු ඇති බව ජාතික පුවත්පත් වාර්තාවල දැක්වුණා.

මේ අතර ජනාධිපතිවරයා හෙට (21) මහනුවරට ගොස් මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැක රටේ තත්වය සම්බන්ධයෙන් දැනුවත් කරනු ඇති බවද එම වාර්තාවල සඳහන් වුණා.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක සඳහන් කළේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සිදුකරන දිනය සහ වේලාව මාධ්‍ය මඟින් දැනුම්දීමට කටයුතු කරන බවයි ෴

+++++++++++++++++++

(20.08.2021 – 07:23 +0530 – hirunews.lk/sinhala)

පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට නගර රැසක් වසා දැමීමට වෙළද සංගම් ස්වේච්ඡාවෙන් තීරණය කර ඇති අතර, අදත් (20) ප්‍රධාන නගර තුනක (3) වෙළදසැල් වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මාතර – ඌරුබොක්ක, කිලිනොච්චිය සහ හික්කඩුව යන නගර මෙලෙස වසා දැමෙනු ඇති.

ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව සහ මොණරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර යන නගර හෙට (21) සිට වසා දැමීමට වෙළද සංගම් තීරණය කර තිබෙනවා.

එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොළ නගරය අනිද්දා (22) සිට වසා තැබෙන බවයි වාර්තා වන්නේ.

මෙලෙස වෙළද සංගම් විසින් නගරවල පිහිටි සිය වෙළදසැල් වසා දැමීමට කටයුතු කළ ද ඖෂධ අලෙවිසැල්, ඉන්ධන පිරවුම් ඇතුළු අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යන ආයතන වසා දැමීමක් සිදුවන්නේ නැහැ.

මේ අතර, අද (20) දිනය අවසන්වීමට පෙර විද්‍යාත්මක රට වසා දැමීමක් සිදුනොකරන්නේ නම් එළඹෙන සඳුදා (23) සිට ස්වයං වසා දැමීමකට යොමුවීමට කටයුතු කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් ප්‍රකාශ කළා.

පවතින තත්ත්වය හමුවේ කඩිනමින් රට වසා දැමීම කළ යුතු බවයි ඔවුන් පවසන්නේ ෴

+++++++++++++++++++

ඉන්දියාවේ සිට සායනික ඔක්සිජන් රැගත් ශ්‍රි ලංකා නාවික හමුදාවට අයත් ‘ශක්ති’ නෞකාව සහ ඉන්දීය ‍නාවික හමුදාවට අයත් ‘ශක්ති’ නෞකාව මෙරට බලා පිටත් වේ

(20.08.2021 – news.navy.lk)

ඉන්දීය රජයෙන් ඇණවුම් කරන ලද සායනික ඔක්සිජන් තොගයක් මෙරටට රැගෙන ඒම සඳහා 2021 අගෝස්තු 17 දින ත්‍රිකුණාමලය වරායෙන් පිටත් වූ ‘ශක්ති’ නෞකාව අගෝස්තු 18 පස්වරුවේ ඉන්දියාවේ චෙන්නායි වරායට ලඟා වූ අතර, එම සායනික ඔක්සිජන් තොගය රැගත් ‘ශක්ති’ නෞකාව අද අළුයම (2021 අගෝස්තු 20) චෙන්නායි වරායෙන් ශ්‍රී ලංකාව බලා පිටත් විය.

එමෙන්ම, තවත් සායනික ඔක්සිජන් තොගයක් රැගත් ඉන්දීය නාවික හමුදාවට අයත් සංග්‍රාමික යුද්ධෝපකරණ සහ සැපයුම් ප්‍රවාහනය සඳහා යෝදාගනුලබන ‘ශක්ති’ නම් නෞකාවක්ද ඉන්දියාවේ විශාඛාපට්නම් වරායෙන් ඊයේ රාත්‍රියේ (2021 අගෝස්තු 19) ශ්‍රී ලංකාව බලා පිටත් වූ අතර, ඔක්සිජන් රැගත් මෙම නෞකාවන් 2021 අගෝස්තු මස 22 වන දින සවස සහ 23 උදෑසන කොළඹ වරායට සේන්දු වීමට නියමිතය.

ඉන්දීය රජයෙන් ඇනවුම් කරන ලද සායනික ඔක්සිජන් නාවික හමුදාව මඟින් මෙරටට රැගෙන ඒමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා සහයෝගය ලබා දෙන ලෙස නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් ඉන්දීය නාවික හමුදාධිපති අද්මිරාල් කරම්බීර් සිං සමඟ සෘජුවම සිදු කළ සාකච්ඡාවක ප්‍රතිපලයක් වශයෙන්, දෙරටේ නාවික හමුදාවන් අතර ඇති සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කරමින් මෙලෙස ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ශක්ති’ නෞකාව ද මෙරටට සායනික ඔක්සිජන් රැගෙන ඒම සඳහා එක්විය.

තවද, මෙම සේවාව අවශ්‍යතාවය අනුව අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය දායකත්වය ඉදිරියටත් නොපමාව ලබා දිමට නාවික හමුදාව නිරන්තර සුදානමින් සිටි.

+ [ සේයාරූ ]

++++++++++++++++++++++

(20.08.2021 – 08:07 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව දිනෙන් දින අලුත් කරමින් ඊයේ (19) වාර්තා කළ නව මරණ 186 ක් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 6,790 දක්වා ඉහළ ගියා.

ඊයේ (19) හඳුනාගැනුණු ආසාදිතයින් සංඛ්‍යාව 3,806 ක්.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා (18) සිදු වූ බවට ඊයේ (19) තහවුරු කරන ලද නව මරණ 186 ට අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් 147 දෙනෙකු ඇතුළත්.

අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 35 දෙනෙකු ද මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපර්තමේන්තුව සඳහන් කළේ.

ඊයේ (19) දිනයේ මෙරටින් ආසාදිතයන් 3,806 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 372,079 ක් දක්වා ඉහළ ගියා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඊයේ (19) වාර්තා වූ නව ආසාදිතයන්ගෙන් 3,793 දෙනෙකු ‘අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ’ ආශ්‍රිතයන් වන අතර, විදේශයන්හි සිට පැමිණි 13 දෙනෙකු ද ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බවයි.

මේ අතර දෙහිවල සත්වෝද්‍යානයේ කොවිඩ් ආසාදනය වීමෙන් අසාධ්‍ය තත්වයට පත් ව සිටි ‘තෝර්’ නමැති සිංහයා සම්පූර්ණයෙන් ම සුවය ලබා ඇති බව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක ප්‍රකාශ කළා.

එමෙන්ම කොවිඩ් ආසාදනය වී ඇති බවට හඳුනාගැනුණු කොටියාගේ තත්ත්වය ද සාමාන්‍ය අතට හැරී ඇතැ යි ඔහු කියා සිටියා ෴

++++++++++++++++++

(20.08.2021 – 08:24 +0530 – hirunews.lk/sinhala)

මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ (19) පුද්ගලයින් 213,737 දෙනෙකුට එන්නත් ලබා දී තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ, ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 27,371 දෙනෙකුට සහ දෙවන (2) මාත්‍රාව 107,930 දෙනෙකුට ලබා දී ඇති බවයි.

එමෙන්ම ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයන් 2,519 කට සහ දෙවන (2) මාත්‍රාව 511 කට ලබා දී තිබෙනවා.

මොඩර්නා එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 480 දෙනෙකුට සහ දෙවන (2) මාත්‍රාව 71,314 දෙනෙකුට ලබා දී ඇති බවටයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව 1,392 කට ඊයේ (19) ලබාදී ඇති අතර, දෙවන (2) මාත්‍රාව 2,205 කට ලබාදී තිබෙනවා ෴

+++++++++++++++++

අද (20) දිනයේ එන්නත්කරණය සිදුකරන ස්ථාන මෙන්න

(20.08.2021 – 10:04 +0530 – hirunews.lk/sinhala)

අද (20) දිනයේත් දිවයිනේ ස්ථාන කිහිපයක දී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙනවා.

@@@ කොවිඩ් නොවන පුවත් @@@

(20.08.2021 – 06:50 +0530 – hirunews.lk/sinhala)

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් දෙහිවල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් නීති විරෝධී ලෙස තීරු බදු රහිත ව මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වැටලීමේ දී එලෙස ගෙන් වූ දුම්වැටි පනස්හතර දහසක් (54,000) සොයා ගැනීමට හැකි වූ බවයි එම බලකාය සඳහන් කළේ.

පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත දෙහිවල පොලිස් වසමේ ඩඩ්ලි සේනානායක මාවත ප්‍රදේශයේ දී ඊයේ (19) මෙම වැටලීම සිදුකර තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු 54 හැවිරිදි වියේ පසුවන අයෙක් වන අතර මෙලෙස සොයාගත් දුම්වැටිවල වටිනාකම රුපියල් 35,10,000 ක් පමණ වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු සහ දුම්වැටි තොගය දෙහිවල පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ ෴

******************************************

(20.08.2021 – 07:12 +0530 – hirunews.lk/sinhala)

අන්තර්ජාලය ඔස්සේ ණය කාඩ්පත් හරහා සිදුකරන විදෙස්ගත ගෙවීම් නවතා දැමීමට ඇතැම් වාණිජ බැංකු විසින් මේ වන විට කටයුතු කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

විශේෂයෙන් අන්තර්ජාලය ඔස්සේ ක්‍රෙඩිට් කාඩ්පත් මගින් භාණ්ඩ ඇණවුම් සඳහා සිදුකරන ගෙවීම් මෙලෙස නවතා ඇති බවටයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් මහබැංකුව වෙත ද තොරතුරු වාර්තා වී ඇති බැවින් ඒ ඔස්සේ සොයා බැලීමක් සිදුකිරීමට ද මේ වනවිට කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත්, ණය කාඩ්පත් හරහා අන්තර්ජාල ගෙවීම් සිදුකිරීමේ දී මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් මහබැංකුව විසින් ඊයේ (19) සූම් තාක්ෂණය ඔස්සේ කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් විසින් ඒ පිළිබද ව විමසා සිටියා.

ඊට මහබැංකුවේ නියෝජ්‍ය අධිපතිනි ටී.එම්.ජේ.වයි.ජී. ප්‍රනාන්දු මහතා සඳහන් කළේ වාණිජ මට්ටමින් ණය කාඩ්පත් හරහා සිදුකරන ගෙවීම් පමණක් නවතා දමා ඇති බවයි.

මේ අතර, රටේ පවතින ඩොලර් හිඟයට පිළියම් සෙවීමේ අරමුණෙන් රජය පොලී අනුපාත ඉහළ දැමීමට පියවර ගෙන ඇතැ යි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, ඩොලර් හිඟයට ඒ හරහා විසදුම් ලබා ගැනීමට නො හැකි බවයි ඔහු කියා සිටියේ.

එසේම උද්ධමනය ඉහළ යෑම නිසා භාණ්ඩ හා සේවා රැසක මිල ගණන් ද ඉහළ ගොස් ඇති බවත් තවදුරටත් එලෙස ඉහළ යනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළා ෴

******************************************

(20.08.2021 – 07:28 +0530 – hirunews.lk/sinhala)

ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් දෘශ්‍යාබාධිත සිසු සිසුවියන්ගේ අධ්‍යාපනික උපකරණවල මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැ යි ශ්‍රී ලංකා ජාතික දෘශ්‍යාබාධිත සම්මේලනය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් ප්‍රසන්න වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේ මහනුවර දී ඊයේ (19) මාධ්‍ය හමුවක් කැඳවමින්.

එමෙන්ම කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ අධ්‍යාපනික උපකරණ ලබා ගැනීමේ ගැටලුකාරී තත්ත්වයකට ද ඔවුන් මුහුණ දී සිටිනවා ෴

******************************************

(20.08.2021 – 07:53 +0530 – hirunews.lk/sinhala)

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනි ගැනීමෙන් විපතට පත් වූ ධීවර ජනතාවට කඩිනමින් සහන සලසන ලෙස සමස්ත ලංකා පොදු ධීවර සංගමය ඉල්ලීමක් කරනවා.

ඒ ගාල්ලේ ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ එහි දී අදහස් දැක්වූ එහි ජාතික සංවිධායක රත්න ගමගේ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් විරෝධතා දැක්වීම් සිදු නො කළ ද අවශ්‍ය පරිදි ඉදිරියේ දී විරෝධතා සිදුකරන බවයි ෴

******************************************

(20.08.2021 – 07:56 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල තවමත් ගෑස් නොමැති බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා.

කෙසේ වෙතත්, වෙළද අමාත්‍යාංශය ප්‍රකාශ කළේ වෙළදපළේ පැවති ගෑස් හිඟය මේ වන විට අවසන් වී ඇති බවයි.

ලාෆ් ගෑස් සමාගමේ ගැටලුව විසඳීම සහ ලිට්රෝ ගෑස් සමාගම විසින් වෙළදපළට අවශ්‍ය පරිදි ගෑස් නිකුත් කළ බවට වෙළඳ අමාත්‍යාංශය පසුගියදා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් තවමත් දිවයිනේ ප්‍රදේශ රැසක ගෑස් හිඟයක් පවතින බවට යි පාරිභෝගිකයින් චෝදනා කරන්නේ.

ඇතැම් ගෑස් නියෝජිතයින් සීමාසහිත ව ගෑස් සිලින්ඩර් නිකුත් කරන බවට ද වාර්තා වනවා ෴

******************************************

(20.08.2021 – 08:57 +0530 – hirunews.lk/sinhala)

වැලිගම, වලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට යාබද ඉඩමක ගසක් මුල සඟවා තිබූ පිස්තෝල 05 ක්, මැගසින් 05 ක් සහ ජීව උණ්ඩ 10 ක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් ඊයේ (19) සොයාගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ගාල්ල ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව සිදුකළ සෝදිසි මෙහෙයුමකදි යි මෙම ගිනි අවි ඇතුළු උණ්ඩ සොයාගැනීමට හැකි ව ඇත්තේ.

මේ සම්බන්ධයෙන් කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, මෙම ගිනි අවි සහ උණ්ඩ පාතාලයට අලෙවි කිරීමට සඟවා තැබුවේ ද එසේත් නැති නම් වෙනත් කිසියම් අපරාධයක් සිදුකිරීම සඳහා සඟවා තැබුවේ ද යන්න පිළිබඳ ව පරීක්ෂණ පවත්වනවා.

******************************************

(20.08.2021 – 09:00 +0530 – hirunews.lk/sinhala)

රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරනවා.

ඒ, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්.

කිසියම් ලෙසකින් ඉන්ධන හිඟයක් පවතින්නේ නම් තමා ඒ පිළිබඳ ව ජනතාව දැනුවත් කරන බව ද ඔහු ට්විටර් සටහනක් යොමු කරමින් ප්‍රකාශ කළා.

මීට පෙර ඉන්ධන මිල ඉහළ ගිය අවස්ථාවලදී ද තමා ඒ පිළිබඳ ව ඍජුව ම ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

රට තුළ ඉන්ධන හිඟයක් ඇති වීමේ අවදානමක් ඇති බවත්, මේ වන විට ඩීසල් සංචිත දින 11 කට සහ පෙට්‍රල් සංචිත දින 10 කට පමණක් ප්‍රමාණවත් බවත් ඛනිජ තෙල් ජාතික සේවක සංගමයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා ඊයේ (19) සිදුකළ ප්‍රකාශයෙන් අනතුරුව යි අමාත්‍යවරයා මෙම ට්විටර් පණිවුඩය නිකුත් කර තිබුණේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *