නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් වෙයි – නිවසින් බැහැරව යා හැක්කේ එක් (1) අයෙකුට පමණයි

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් වෙයි – නිවසින් බැහැරව යා හැක්කේ එක් (1) අයෙකුට පමණයි

*********************************************

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් වෙයි – නිවසින් බැහැරව යා හැක්කේ එක් (1) අයෙකුට පමණයි

(18.08.2021 – 16:27 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

ඒ යටතේ පසුගිය 13 වනදා යාවත්කාලීන කෙරුණු මාර්ගෝපදේශ සීමාවන්ට අමතරව නව වාරණ කිහිපයක් පැනවී තිබෙනවා.

නව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව එක් (1) නිවසකින් පිටවිය හැක්කේ එක් (1) පුද්ගලයෙකුට පමණයි.

ඒ, අත්‍යවශ්‍ය රාජකාරී සහ ඖෂධ මිලදී ගැනීම සඳහා පමණක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වන්නේ.

එමෙන්ම ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම සඳහා පමණක් විවෘත කෙරෙන අතර වැඩමුළු, සන්නාම එළිදැක්වීම්, හමු, සම්මන්ත්‍රණ ආදිය සඳහා ඉඩ සැලසෙන්නේ නැහැ.

මීට අමතරව කෘෂිකාර්මික ධීවර සහ කාර්මික අංශයේ ක්‍රියාකාරීත්වයට සිදුකළ යුත්තේ දැඩි සෞඛ්‍ය නීති රීතීන්ට අනුකූලවයි.

සුපිරි වෙළඳසැල් සඳහා ධාරිතාවයෙන් සියයට 25 කට පමණක් අවසර ලැබෙන අතර සාප්පු සංකීර්ණ අද (18) සිට වසා දැමෙනු ඇති.

මෙම මාර්ගෝපදේශවලට අනුව අද (18) සිට ලබන 31 වනදා දක්වා සියලු ම සම්භාහන මධ්‍යස්ථාන කායවර්ධන මධ්‍යස්ථාන ගෘහස්ථ ක්‍රීඩාගාර ළමා උද්‍යාන පිහිනුම් තටාක වසා දැමිය යුතුයි.

එමෙන් ම සංගීත සංදර්ශන, මුහුදු වෙරළ, ආශ්‍රිත ව පවත්වනු ලබන සාද, විනෝද සැණකෙළි ද පැවැත්වීමට අවස්ථාව හිමිවන්නේ නැහැ.

පෙරපාසල්, පාසල්, උසස් අධ්‍යාපන ආයතන සහ අමතර පන්ති නැවත දැනුම්දෙන තුරු වසා දැමීමටයි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව නිර්දේශ කර ඇත්තේ.

මීට අමතරව ආගමික ස්ථානවල ජනතාව ඒකරාශී වීමේ අවස්ථාවන්ට අවසර හිමි නොවන අතර ගෘහස්ථ සහ එළිමහන් කිසිදු සාදයකට අවසර හිමිවන්නේ නැහැ.

Restriction of Inter-provincial travel and revised permitted functions – with effect from 16-08-2021 to 31-08-2021

+++++++++++++++++++

(18.08.2021 – 20:32 +0530 – hirunews.lk/sinhala)

කුමක් සිදුවුවත් රට වසා නොදමන බවට වන මුරණ්ඩු ස්ථාවරයේ ආණ්ඩුව නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (18) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ රට වසා නොදැමීමට බලපෑ ඇති හේතු කිහිපයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය දැනුවත් කළ බවයි.

මේ අතර, කොරෝනා ව්‍යාප්තිය හමුවේ අද (18) දිනයේත් තවත් නගර කිහිපයක වෙළඳසැල් වසා දැමීමට වෙළඳ සංගම් තීරණය කළා.

ඒ අනුව ඉමදූව නගරයේ සියලුම වෙළඳසැල් හෙට (19) සිට දින 14 ක කාලයක් වසා දැමීමටයි ඉමදූව වෙළඳ සංගමය තීරණය කළේ. හික්කඩුව නගර සභාවේ අද පැවති වෙළද සංගම් රැස්වීමේදී හික්කඩුව නගරයේ පිහිටි සියළුම වෙළදසැල් හා ව්‍යාපාරික ස්ථාන ලබන 20 වන දා සිට සතියක කාලයක් වසා දැමීමටයි තීරණය කළේ.

මේ අතර, රට වසා නොදැමීමට එරෙහිව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය ඇතුළු තවත් වෘත්තීය සමිති කිහිපයක් එක්ව අද (18) රෝහල් 10 ක නිහඬ විරෝධතා පැවැත්වුණා.

++++++++++++++++++

(18.08.2021 – 20:42 +0530 – hirunews.lk/sinhala)

ආසාදිතයින් 7000 ක් පමණ මේ වන විට නිවෙස් තුළ ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ.

බස්නාහිර ඇතුළු පළාත් 4 ක ඔවුන් මෙලෙස නිවෙස් තුළ ප්‍රතිකාර ලබන බව අද (18) පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියා.

බස්නාහිර පළාතේ රෝගීන් වර්ගීකරණය කරමින් රෝහල් ගත කිරීමේ වැඩපිළිවෙළක් ද මේ වන විට ක්‍රියාත්මකයි.

මේ අතර ශ්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ගීතාල් පෙරේරා මහතා කොළඹ අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ ප්‍රමාදවී ප්‍රතිකාර ගැනීමට යොමුවීම ද රෝහල්වල ධාරිතාව ඉහළ යාමට හේතු වී ඇති බවයි.

+++++++++++++++++++++

(18.08.2021 – 20:52 +0530 – hirunews.lk/sinhala)

රෝහල් ධාරිතාව ඉක්මවා ගොස් ඇති පසුබිමක කොළඹ මහ පල්ලියේ සභාපති එම්. තවුෆික් අද නිවේදනය කළේ කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර ලබාදෙන මධ්‍යස්ථානයක් බවට එය පත් කිරීමට සූදානම් බවයි.

මේ අතර, රෝහල් ධාරිතාව ඉක්මවා ගොස් ඇති පසුබිමක කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අනුබද්ධ ශික්ෂණ රෝහලට කොවිඩ් රෝගියෙකු ඇතුළත් කිරීමට උත්සාහ කරන ගන්නා ආකාරය හිරු ප්‍රවෘත්ති තුළින් ඊයේ (17) අප අනාවරණ කළා.

කෙසේ වෙතත්, එම පුද්ගලයාගේ පවුලේ ඥාතීන් අද (18) සඳහන් කළේ 64 හැවිරිදි තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි එම රෝගියා වෙනත් රෝහලක් වෙත රැගෙන යමින් සිටියදී මියගිය බවයි.

එසේම රාගම – උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්ලාස්ටික් සැත්කම් ඒකකයේ සේවය කළ වෛද්‍යවරයකු ද කොරෝනා ආසාදනය වීමෙන් අද (18) උදෑසන ජීවිතක්ෂයට පත්වුණා.

41 වැනි වියෙහි පසුවූ අදාල වෛද්‍යවරයා කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් කිසිවක් ලබා ගෙන නොමැති බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ.

මේ අතර ඉතාලියේ සිට මෙරටට පැමිණි 27 හැවිරිදි තරුණයෙකු සහ ඔහුගේ මව කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් තිබෙනවා.

දංකොටුව ප්‍රදේශයේ පදිංචි එම තරුණයා සිය විවාහය සඳහා ඉතාලියේ සිට දිවයිනට පැමිණ ඇති අතර, ඔහු එය ප්‍රමාද කර තිබුණේ මවගේ අසනීප තත්වය හේතුවෙන්.

කෙසේ වෙතත්, කොරෝනා ආසාදනය වී සිටි මව මියගොස් සති දෙකකට (2) පමණ පසු මෙම තරුණයාට රෝග ලක්ෂණ මතු වී ඇති අතර, ඉන් අනතුරුවයි ඔහුද මියගොස් ඇත්තේ.

මේ අතර, ආසාදිතයින් බවට තහවුරු වීමෙන් අනතුරුව උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට සහ වව්නියාව – උතුර ප්‍රාදේශීය ලේකම්වරයා නිරෝධායනයට යොමු වී තිබෙනවා.

කොරෝනා ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර ලබන හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ සෞඛ්‍ය තත්වය මේ වනවිට යහපත් අතට හැරෙමින් පවතින බවයි වාර්තාවන්නේ.

මේ අතර කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහනද අද (18) දිනයේත් ප්‍රදේශ කිහිපයකම දියත් වුණා.

මේ අතර අද (18) දිනයේත් අලුතින් කොරෝනා ආසාදිතයින් 2428 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *