මෙරට ඩෙල්ටා වයිරසයේ විකෘති ප්‍රභේද 3 ක්

මෙරට ඩෙල්ටා වයිරසයේ විකෘති ප්‍රභේද 3 ක්

*********************************************

මෙරට ඩෙල්ටා වයිරසයේ විකෘති ප්‍රභේද 3 ක්

(17.08.2021 – 14:11 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ පැතිර යන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ විකෘති ප්‍රභේද තුනක් (3) මේ වනවිට හඳුනාගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ මෙරට කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් අද (17) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින්. කෙසේ වෙතත් මෙරට සක්‍රීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 40,000 ඉක්මවා තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේ එස්.ඒ. 222 වී, එස්.ඒ. 701 එස් සහ එස්.ඒ. 1078 එස් (SA222V, SA701S, SA1078S) වන ජාන කේතයන්ගේ වෙනසක් මෙරට ඩෙල්ටා ප්‍රභේදය තුළින් දැකිය හැකි බවයි.

කෙසේ වෙතත් කුමන ප්‍රභේදය රට තුළට පැමිණියද පවතින තත්වය හමුවේ ඊට මුහුණ දිය යුතු බවයි කොළඹ අද (17) පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ ෴

+++++++++++++++++++

වෛද්‍ය උපදෙස් මත පමණක් කුඩා ළමයින්ට ප්‍රතිකාර කරන්න – සෞඛ්‍ය අංශ අවධාරණය කරයි

(17.08.2021 – 13:22 +0530 – hirunews.lk/sinhala)

නිවෙස් තුළ කොරෝනා ආසාදිතයන් රඳවා ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය යටතේ කුඩා ළමයින් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී දැඩි අවධානයක් යොමු කළ යුතු බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ළමයින් පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අනිවාර්යයෙන් කළ යුතු බවයි ෴

+++++++++++++++++++

(17.08.2021 – 13:36 +0530 – hirunews.lk/sinhala)

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් 50 ක්ද මේ වනවිට වසා දමා ඇත්තේ එහි වෙළඳුන්ට සහ සේවකයින්ට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමඟයි.

ආර්ථික මධ්‍යස්ථානයට අද (17) වෙළඳුන්ගේ සහ ගොවීන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණු බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.

කෙසේ වෙතත් ආර්ථික මධ්‍යස්ථානය වෙත පැමිණි ඇතැම් පුද්ගලයින් සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් එකම දුම්වැටිය කිහිප දෙනෙකු අතර බෙදා ගන්නා ආකාරයද දක්නට ලැබුණා.

මේ අතර හැටන් – දික්ඔය නගර සභාවේ සේවකයින් 11 දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයන් 50 දෙනෙකුට පමණ සිදුකළ කොරෝනා පරීක්ෂාවකින් 26 දෙනෙකුම ආසාදිතයන් බවට හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ගතවූ පැය 24 තුළ ගාල්ල – කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන ආ රෝගීන්ගෙන් 117 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වී තිබෙනවා.

ඉන් 16 දෙනෙකු ළමයින් වනවා.

මෙම සියලු ආසාදිතයින් අක්මීමන ප්‍රදේශයේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමටයි පියවර ගෙන තිබෙනවා.

මේ අතර කරාපිටිය ශික්ෂණ රෝහලේ හෙද හෙදියන් කොරෝනා පරීක්ෂණ සිදුකිරීමෙන් බැහැරවීම සහ රෝගීන්ගෙන් රෝහල පිරී පැවතීම හේතුවෙන් මේ වනවිට දැඩි අවදානම් තත්වයක්ද මතුව ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් කරාපිටිය ශික්ෂණ රෝහලේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය උදාර සම්පත් ගාල්ලගේ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙලෙස කරුණු පැහැදිලි කළා.

කොරෝනා වෛරසය වැඩි වශයෙන් ව්‍යාප්ත වන මොහොතක කුඩා දරුවන් පිළිබඳව වැඩි අවධානයක් යොමුකරන ලෙසටයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේ.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් නිරෝධායනයට ලක්වූ පිරිසක් සිටි ලග්ගල – වැල්ලවල ප්‍රදේශයේ වෙළඳසැලක ඊයේ (16) රාත්‍රියේ හටගත් ගින්න නිවීම සඳහා ගිය පුද්ගලයෙකු ගිනි නිවීම සඳහා පැමිණි රථයට යටවී මියයාමේ අවාසනාවන්ත පුවතක්ද වාර්තාවුණා.

සිද්ධියෙන් මියගියේ ලග්ගල ප්‍රදේශයේම පදිංචි 48 හැවිරිදි අයෙක්.

@@@ කොවිඩ් නොවන පුවත් @@@

(17.08.2021 – 13:42 +0530 – hirunews.lk/sinhala)

මෙම ඡායාරූපය පසුගිය දින දෙක (2) තුල අන්තර්ජාලය තුල ඉහළින්ම සංසරණය වූ ඡායාරූපයක්.

ඇමරිකාවේ ආරක්‍ෂක ප්‍රවෘත්ති වෙබ් අඩවිය වන ඩිෆෙන්ස් වන් defense one වෙබ් අඩවියට අනුව මේ ඡායාරූපය පසුපස ඇති කතාව අනුවේදනීය එකක්.

මේ ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනගරය තාලිබාන්වරුන් අතට පත්වීමෙන් පසුව ඉන් පලා යාමට දැඩි උත්සාහයක යෙදී සිටි ඇෆ්ගන් ජාතිකයින් සිය ගණනක් එක්සත් ජනපද මිලිටරි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක පොදි ගැසී සිටි අයුරුයි.

මෙම වෙබ් අඩවිය විසින් ලබා ගත් පින්තූරයේ දැක්වෙන්නේ එවැනි ගුවන් යානයක රැගෙන ගිය වැඩිම පුද්ගලයින් සංඛ්‍යාව මෙය බවයි.

දැවැන්ත යුධ උපකරන, භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වන සී -17 ග්ලෝබ්මාස්ටර් III ගුවන් යානයක් තුල මෙලෙස පොදි ගැසී ගමන් ගත් ඇෆ්ගන් වැසියන් සංඛ්‍යාව 640 ක්.

මෙම ගුවන් යානයට එතරම් විශාල බරක් පැටවීමට කිසිසේත් අදහස් නොකළ නමුත් කලබලයට පත් වූ ඇෆ්ගනිස්ථානුවන් සී-17 යානයේ අර්ධ විවෘත බෑවුම දිගේ ඒ තුලට වැළ නොකැඩී ඇදී ආ බව යානයේ ප්‍රධාන නියමුවා පවසා තිබෙනවා.

මෙම ගුවන් යානයේ හමුදා සෙබලුන් 400 ක් පමන රැගෙන යා හැකි අතර මෙලෙස ගොඩවූ මගීන් කාන්තාවන් සහ ළමයින් කාබුල් සිට කටාර් දක්වා ආරක්ෂිතව රැගෙන ගිය බව සඳහන්.

දශක තුනකට ආසන්න කාලයක් එක්සත් ජනපද යුධ සේවාවන්ට සේවය සපයන මෙම යානාව ඩෙලවෙයාර් හි ඩෝවර් ගුවන් හමුදා කඳවුරේ පිහිටි 436 වන ගුවන් බළ ඇනියට අයත් යානාවක්.

******************************************

(17.08.2021 – 13:57 +0530 – hirunews.lk/sinhala)

මෑතකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මුදල් පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය කථානායකවරයාට දැනුම්දී තිබෙනවා.

අද (17) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඒ බව දැනුම් දෙනු ලැබුවා.

අදාළ වගන්ති සංශෝධනයට ලක් කරන්නේ නම් සරල බහුතරයකින් මෙම කෙටුම්පත සම්මත කළ හැකි බවයි ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇත්තේ.

මේ අතර, කොවිඩ්-19, තාවකාලික විධි විධාන පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා දෙවන (2) වර කියවීමේ විවාදය මේ වන විට ආරම්භ වී තිබෙනවා ෴

******************************************

(17.08.2021 – 14:03 +0530 – hirunews.lk/sinhala)

ආනයනික කිරිපිටි මත පැවති බදු ඉවත් කිරීම හරහා දේශීය කිරි ගොවි ව්‍යාපාරය කඩා වැටීමකට ලක්ව ඇති බව ජාතික කිරිගොවි ව්‍යාපාරය පවසනවා. එහි ජාතික සංවිධායක චම්ලි ජයරත්න මහතා මේ බව කියා සිටියේ හලාවතදී ඊයේ (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ෴

******************************************

(17.08.2021 – 14:17 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව – මනම්පිටිය – මහවැව ප්‍රදේශයේ කුඹුරක මිය ගොස් සිටි වන අලියෙකුගේ මල සිරුරක් හමුවී තිබෙනවා.

වැලිකන්ද වනජීවි කාර්යාලය සඳහන් කළේ විදුලිසැර වැදී මෙම වන අලියා මිය යන්නට ඇති බවට සැක කෙරෙන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කුඹුරේ වගා කටයුතු සිදුකළ 47 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවුරුදු 30 ත් 35 ත් අතර වයසේ පසුවන මිය ගිය වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ගිරිතලේ වනජීවි පශු වෛද්‍ය ඒකකය මගින් සිදුකිරීමට නියමිතයි.

******************************************

බල්ලන් මැරූ බල්ලන් කථාකරයි

(17.08.2021 – 14:26 +0530 – hirunews.lk/sinhala)

= අපි බල්ලො මැරුවෙ නෑ – BMICH කළමනාකාරීත්වය චෝදනා ප්‍රතික්ෂේප කරයි =

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සැරිසරන අයාලේ යන සුනඛයින්ට වස දී මරා දැමීමට එම පරිශ්‍ර පරිපාලනය කටයුතු කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ‘අසත්‍ය ප්‍රකාශ’ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍ර කළමනාකාරිත්වය ප්‍රතික්ෂේප කරනවා.

මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ මෙම ප්‍රකාශයන් සම්පූර්ණයෙන්ම ‍සත්‍යයෙන් තොර බවයි.

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය තුල විශාල වශයෙන් ගැවසෙන අයාලේ යන සුනඛයින් එහි ගනුදෙනුකරුවන්ට, අමුත්තන්ට සහ කාර්ය මණ්ඩලයට ගැටළු රාශියක් ඇති කරන බව එම නිවේදනයේ සඳහන්.

එම නිවේදනයේ දැක්වෙන්නේ බණ්ඩාරනායක පරිශ්‍රය තුල අවස්ථා 4 ක් හෝ 5 කදී මෙම සුනඛයින් විසින් ප්‍රහාර එල්ල කර ඇති බවයි.

එක් අවස්ථාවක මෙම සුනඛයින් ජලභීතිකා එන්නත් ලබා දීමට පැමිණි කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට ද පහර දුන් බව එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම පරිශ්‍රයේ පැවැත්වෙන විවිධ පන්තිවලට සහභාගී වන සිසුන්ගේ දෙමාපියන්ගෙන් ද මේ සම්බන්ධයෙන් පැමිණිලි රාශියක් ලැබී ඇති බවයි මෙම නිවේදනයේ දැක්වෙන්නේ.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ සිය සංකීර්ණයෙන් හමු වූ සුනඛයින් එන්නත් හා වන්ධ්‍යාකරණය කිරීම මෙන්ම බලු පැටවුන් රැගෙන යාම සඳහා එම්බාර්ක් ස්වේච්ඡා සංවිධානය සමඟ වැඩසටහනක් ද ආරම්භ කළ බවයි.

පරිශ්‍රයේ පාලනාධිකාරිය අයාලේ යන සුනඛයන් පලවා හැරීමට අකමැති වූවද දිනෙන් දින සුනඛයින්ගේ සංඛ්‍යාව වැඩි වීම හේතුවෙන් මෙම සතුන් වෙනත් ස්ථානයකට ගෙන යාම හැර විකල්පයක් නොතිබු බව ද එම නිවේදනයේ තවදුරටත් දැක්වෙනවා.

එමෙන්ම අයාලේ යන සුනඛයින් පෝෂණය කිරීම සඳහා වෙහෙසෙන කන්ඩායමක් යැයි කියා ගන්නා කිහිප දෙනෙක් ඔවුන්ගේ බොරු සහ වගකීම් විරහිත මඩ ප්‍රචාරය සඳහා වෙනත් තැනක ගත් ඡායාරූප භාවිතා කරමින් මෙම චෝදනාව නගන බවයි බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ප්‍රධාන විධායක නිලධාරි සුනිල් දිසානායක පවසන්නේ.

කෙසේ වෙතත්, බලහත්කාරයෙන් පරිශ්‍රයට ඇතුළු ව එහි සිටින අයාලේ යන සුනඛයින් පෝෂණය කිරීමට තරම් ඔවුන් සැබෑ සුනඛ ප්‍රේමවන්තයින් නම් කල යුතුව ඇත්තේ EMBARK ව්‍යාපාරය සිදු කළ ආකාරය මෙම සුනඛයින් රැගෙන ගොස් හදා වඩා ගැනීම බව ඔහු නිකුත් කල නිවේදනයේ සදහන් ෴

******************************************

(17.08.2021 – 14:31 +0530 – hirunews.lk/sinhala)

බණ්ඩාරවෙල නගරයේ සිල්ලර වෙළෙඳ සංකීර්ණය ආසන්නයේ මාර්ගය අවහිර වන සේ අනවසරයෙන් එළවළු වෙළදාමේ යෙදුණු පුද්ගලයෙකු ඉවත් කිරීමට නගර සභා සේවකයින් සහ පොලීසිය පැමිණි අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් හටගත්තා.

පොලසිය සඳහන් කළේ අනතුරුව එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවයි.

බණ්ඩාරවෙල නගරයේ සිල්ලර වෙළෙඳ සංකීර්ණය ආසන්නයේ මාර්ගය අවහිර කරමින් මෙම පුද්ගලයා එළවළු වෙළෙදාමේ යෙදී සිට තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ ඔහු වෙළෙදාමේ යෙදී සිටියේ ඊට අවසර නොලත් ස්ථානයක බැවින් ගමනාගමන කටයුතුවලටද බාධා ඇති වූ බවයි.

මේ පිළිබඳ ප්‍රදේශවාසීන් විසින් බලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව එම ස්ථානයට නගර සභා සේවකයින් සහ පොලීසිය පැමිණියා.

අනවසර එළවළු වෙළෙදාමේ යෙදුණු පුද්ගලයා ඉන් ඉවත් කිරීමට යාමේදී ඔහු මෙලෙස කලහකාරී ලෙස හැසිරුණා.

******************************************

(17.08.2021 – 14:36 +0530 – hirunews.lk/sinhala)

මේ දිනවල වෙළඳසැළේ පවතින ගෑස් හිඟය සාමාන්‍ය තත්ත්වයට පත්වීමට තවත් සතියක් පමණ ගතවන බව පාරිභෝගික සේවා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

ඊයේ (16) රාත්‍රි විකාශය වූ ‘හිරු ටී.වී සලකුණ’ සංවාදාත්මක වැඩසටහනට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

ආනයනික වියදම් සැලකිල්ලට ගනිමින් ගෑස් මිල ඉහළ නැංවීමට ගෑස් සමාගම් අවස්ථා කිහිපයකදී අවසර ඉල්ලා සිටියද රජයෙන් ඊට අවසර හිමි වූයේ නැහැ.

ඒ අනුව ලාෆ් ගෑස් සමාගම මීට සති කිහිපයකට පෙර ගැස් ආනයනය අත්හිටුවීමට තීරණය කළා.

වෙළඳ පොළ තුළ ගෑස් හිඟයක් මතු වූයේ ඒ අනුවයි.

ලිට්‍රෝ ගෑස් සමාගම හරහා ඕනෑම වර්ණයක ගෑස් සිලින්ඩරයක් සඳහා ගෑස් නිකුත් කරන බව ප්‍රකාශ කළද එම තීරණය ක්‍රියාවට නැංවූයේ නැහැ.

ඒ අනුව වෙළඳ පොළ තුළ පසුගිය දින කිහිපය තුළ උග්‍ර ගෑස් අර්බුදයක් ඇති වුණා.

මේ සම්බන්ධයෙන් ඊයේ (16) පැවති ‘සලකුණ’ දේශපාලන සංවාද වැඩසටහනේදී විෂය භාර අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගෙන් ප්‍රශ්න කෙරුණා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *