නව අමාත්‍යවරුන් වැඩ අරඹයි

නව අමාත්‍යවරුන් වැඩ අරඹයි

*********************************************

නව අමාත්‍යවරුන් වැඩ අරඹයි

(16.08.2021 – 20:06 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තමන් ඉවත් කෙරුණේ බලාපොරොත්තු නොවූ මොහොතක බව ප්‍රවාහන අමාත්‍යවරිය ලෙස අද (16) දිවුරුම් දුන් හිටපු සෞඛ්‍ය ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළා.

අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් අද (16) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ සිදුවුණා. ඒ අනුව අමාත්‍යවරුන් 06 දෙනෙකුගේ අමාත්‍ය ධූර වෙනස් කෙරුණු අතර නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාට තවත් අමාත්‍යාංශයක් හිමි වුණා.

ඒ අනුව පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රවාහන අමාත්‍යවරිය ලෙසත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා.

එමෙන්ම මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා නව විදේශ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර, අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ දිනේෂ් ගුණවර්ධන මහතායි.

මීට අමතරව විදුලිබල අමාත්‍යවරයා ලෙස ගාමිණී ලොකුගේ දිවුරුම් දුන් අතර, නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ඩලස් අලහප්පෙරුම මහතා දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

එමෙන්ම, නාමල් රාජපක්ෂ මහතා මෙතෙක් පැවති තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ධුරයට අමතරව සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ අමාත්‍යවරයා ලෙස ජනාධීපතිවරයා ඉදිරියේ පෙරවරුවේ දිවුරුම් දී තිබෙනවා.

මේ අතර හිටපු සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කොවිඩ් වසංගතය හමුවේ සෞඛ්‍ය සේවාව ශක්තිමත්ව පවත්වාගෙන යෑමට තමාට ලබාදුන් සහයෝගය වෙනුවෙන් සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට සිය කෘතඥතාව පළ කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයට සමුදුන්නා.

ඇය පැරණි අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයට සමුදී යමින් සිටියදී අමාත්‍යවරියට එම පරිශ්‍රය තුළදී නව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා හමුවුණා. එහිදී දෙදෙනා සුබ පැතුම් එක්කරගෙන තිබෙනවා.

පසුව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩ භාරගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවක් කැඳවමින් වත්මන් කොරෝනා තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිළි කර සිටියා.

මේ අතර, අධ්‍යාපන අමාත්‍ය ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව හිටපු විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් බැහැ දැකීමට පැමිණියා.

නව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ද අද සිය ධුරයේ වැඩ භාරගනු ලැබුවා.

******************************************

(16.08.2021 – 20:10 +0530 – hirunews.lk/sinhala)

ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සමාගම විසින් නවතාවයෙන් යුතු සිමෙන්ති නිෂ්පාදන රැසක් වෙළදපළට නිකුත් කර තිබෙනවා.

ඊට උද්‍යාන, නිවාස, ගෙවතු අලංකරණ කට්ටල, මලපවාහන ටැංකි, ඇවිදීමේ මංතීරු මෙන්ම අත්වැටවල් ද අයත් බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සදහන් කළේ.

මේවා නාවල – කිරිමණ්ඩල මාවතේ පිහිටි එම සමාගමේ ප්‍රධාන කර්මාන්තශාලාවේදී සහ ශාඛා කර්මාන්තශාලාවලදී ඉතා අඩු මිලට මිලදී ගත හැකි බව එම අමාත්‍යාංශය සඳහන් කළා ෴

******************************************

(17.08.2021 – 07:36 +0530 – hirunews.lk/sinhala)

ගුරු වැටුප් විෂමතා ගැටලු‍ව සම්බන්ධයෙන් ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් සහ මේ පිළිබඳව සොයා බැලීමට පත් කළ අමාත්‍ය අනුකමිටුව අතර අද (17) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ජාව කල්දමා තිබෙනවා. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් කියා සිටියේ අද (17) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම සාකච්ඡාව හෙට (18) දක්වා කල් දමා ඇති බවයි.

මේ අතර සිය ගැටළුවලට මෙතෙක් විසඳුම් ලබා නොදීමට විරෝධය පළ කරමින් සයිබර් අවකාශයේ විරෝධතා ව්‍යාපාරයක් ද අද (17) පවත්වන බවයි ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය කියා සිටියේ.

වැටුප් ගැටළුව මුල්කරගනිමින් ගුරුවරුන් ආරම්භ කර ඇති ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට (17) දින 37 ක් ගතවනවා ෴

******************************************

බල්ලන් මැරූ බල්ලන් ගැන කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක්

(17.08.2021 – 07:41 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දීර්ඝ කාලයක් ජීවත්ව සිටි සුනඛයින් 15 දෙනෙකු පමණ වස එන්නත් කර මරා දමා ඇතැයි චෝදනා කරමින් සත්ත්ව අවිහිංසාවාදී සංවිධානයක් කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ, සත්ත්ව පනත යටතේයි.

එම සංවිධානය ප්‍රකාශ කළේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රධානියෙකු විසින් රුපියල් 140,000 ක කොන්ත්‍රාත්තුවක් මත එම සුනඛයින්ට වස එන්නත් කර මරා දමා ඇති බවයි.

එසේම අදාළ සුනඛයින් පිරිස සත්ත්ව අවිහිංසාවාදී සංවිධාන විසින් වන්ද්‍යාකරණයට හා එන්නත්කරණයට ලක් කර තිබූ බව ද සදහන්. එසේ තිබියදීත් එම සුනඛයින් පිරිස ඝාතනය කර ඇති බවට යි සත්ත්ව අවිහිංසාවාදී සංවිධාන ප්‍රකාශ කරන්නේ ෴

******************************************

(17.08.2021 – 07:53 +0530 – hirunews.lk/sinhala)

යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක තුන ප්‍රදේශයේ දී ඇතෙකුට වෙඩි තබා දළ සහ වලිගය කපාගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එක් අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, වනජීවි දෙපාර්තමේන්තුව හා කතරගම පොලීසිය එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකින් අනතුරුවයි.

පොලීසිය සදහන් කළේ ඇතාට වෙඩි තැබීම සඳහා උපයෝගී කර ගත් ගිනි අවියෙහි හිමිකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. අත්අඩංගුවට ගත් සැකකරු ගෝතමීගම ප්‍රදේශයේම පදිංචි අයෙකු වනවා.

සැකකරු ඇතාට වෙඩි තැබීම සඳහා ගිනි අවිය පමණක් ලබා දී ඇති බවටයි වාර්තා වන්නේ. සිද්ධියට අදාළව තවත් සැකකරුවන් සිටින්නේ ද යන්න සම්බන්ධයෙන් මේ වන විටත් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

සෙල්ලකතරගම – ගෝතමීගම – යාල විදුලි වැට සම්බන්ධ වන ස්ථානය ආසන්නයේ දී යි පසුගිය 14 වන දා මෙම ඇතාට කිසියම් පිරිසක් විසින් වෙඩි තබා තිබුණේ.

වෙඩි තැබීමෙන් අනතුරුව ඇතාගේ දළ සහ වලිගය කපාගෙන ගොස් තිබූ අතර, හිසට මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව මූලික පරීක්ෂණවල දී අනාවරණ වී තිබෙනවා.

ඇතාගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ ද ඡායාරූප සංසරණය වන අතර පරිසරවේදීන් ද ඒ පිළිබදව විවිධ අදහස් දක්වා තිබෙනවා ෴

******************************************

‘සීනි, කිරි පිටි බදු සහන, පීසීආර් මිල, හෝටල් වල මගුල්…’ මේවායින් කියන්නේ මේ ආණ්ඩුව ගජ මිතුරන්ට හොඳට සලකනවා කියන එකයි! – ජාතික සංවිධාන එකමුතුව

(17.08.2021 – 07:09 +0530 – lankaleadnews.com)

පීසීආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා ඉහළ ගාස්තු අය කිරීම සම්බන්ධව ‘ලංකා ලීඩ්’ වෙබ් අඩවිය ජාතික සංවිධාන එකමුතුවේ මතය විමසන ලද්දේය.

එහිදී අදහස් දක්වමින් ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බංඩාර මහතා :

“පීසීආර් පරීක්ෂණයක වියදම රුපියල් 2500 යි. රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක වියදම රුපියල් 1000 යි. ඒ අනුව ලාභයකුත් තියාගෙන පීසීආර් පරීක්ෂණයක් රුපියල් 3000 ටත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් රුපියල් 1500 කටත් කරන්න පුළුවන්. එහෙම කරන එක පුද්ගලික රෝහල් අංශයේ සමාජ වගකීමක්. නමුත් ආණ්ඩුවට හිතවත් පුද්ගලික රෝහල් හිමියන්ට ඕනෑ විදියට තමයි මිල නියම කරන්නේ. තවත් බොහෝ දේවල් එහෙමම තමයි.

රෙදි කඩ කාරයින්ව සතුටු කරන්න අවුරුදු පොකුර හැදුවා. හෝටල් කාරයින්ව සතුටු කරන්න හෝටල්, ස්පා විතරක් නෙවෙයි හෝටල් වල මගුල් උත්සව වලටත් ඉඩ දුන්නා. ඊට සමාන්තරව හජ්ජි පොකුරකුත් හැදුවා. ඊට පෙර සීනි වෙළෙන්දන් සතුටු කරන්න වසරකට රුපියල් මිලියන 25,000 ක් රජයට පාඩු කරගෙන එයාලට බදු සහන දුන්නා. මහජනයාට ලැබුණේ මිල අඩුවීම වෙනුවට මිල වැඩිවීමක්. දැන් කිරිපිටි ආනයනයකරුවන්ට බදු සහන දෙනවා. මේ මගින් මේ රටේ මහජනයාට සිදුවන පාඩුව වසරකට රුපියල් මිලියන 10,000 ක් පමණ වෙනවා.

මේ වගේ ජාතික අපරාධ සම්බන්ධයෙන් ආණ්ඩුව නෑසු කන්ව සිටියොත් ආණ්ඩුව දැඩි මහජන අප්‍රසාදයකට ලක් වෙනවා.” යනුවෙන් පැවසුවේය ෴

@@@@@ කොවිඩ් පුවත් @@@@@

(16.08.2021 – 20:24 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 986 දෙනෙකු හඳූනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 362,022 ක් ලෙසටයි ෴

++++++++++++++++

(16.08.2021 – 20:36 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිත මරණ සංඛ්‍යාව 6,263 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද (16) දිනයේ තවත් මරණ 167 ක් වාර්තා වීමත් සමගයි.

එය මෙතෙක් දිනකදී තහවුරු කරනු ලැබූ වැඩිම මරණ සංඛ්‍යාව වනවා.

+++++++++++++++++++

(16.08.2021 – 23:24 +0530 – hirunews.lk/sinhala)

රට තුළ පවතින වත්මන් කොවිඩ් තත්ත්වය සම්බන්ධයෙන් මහා සංඝරත්නය ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස් පළ කළා.

+++++++++++++++++++

(17.08.2021 – 07:24 +0530 – hirunews.lk/sinhala)

මෙරට තුළ ශීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ හොංකොං රාජ්‍යය එරටට ඇතුළු වන රටවල් 16 ක සංචාරකයින් සඳහා දැඩි සීමා පනවා තිබෙනවා.

ඒ එරට තුළ මතුවිය හැකි කොරෝනා ඩෙල්ටා ප්‍රභේදයේ වෛරස ව්‍යාප්තියක් පිළිබඳ අවදානම පහකරගැනීම සඳහා යි.

මේ අනුව ශ්‍රී ලංකාව මැදි අවදානම් තත්ත්වයේ සිට දැඩි අවදානම් තත්ත්වය දක්වා ශ්‍රේණිගත කර ඇති අතර එරට සංචාරකයින්ට ද ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ දී මෙම සීමාවන් අදාල වනු ඇති.

මෙම නව නිර්ණායක අනුව හොංකොං රාජ්‍යය නම් කර ඇති රටවල් 16 න් එරටට ඇතුළු වන සංචාරකයින් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටිය යුතු වන අතර දින 21 ක නිරෝධායන කාලයකට ද යටත් විය යුතු වනවා.

එම රටවල් 16 වන්නේ මහා බ්‍රිතාන්‍යය, බංගලාදේශය, කාම්බෝජය, ප්‍රංශය, ග්‍රීසිය, ඉරානය, මැලේසියාව, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය, ස්විස්ටර්ලන්තය, ටැන්සානියාව, තායිලන්තය, තුර්කිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඇමරිකා එක්සත් ජනපදයයි.

මේ අතර ඕස්ට්‍රේලියාව පහල අවදානම් මට්ටමේ සිට මැදි අවදානම් මට්ටම දක්වා ශ්‍රේණිගත කිරීමක් ද සිදු කර තිබෙනවා.

මෙම නව සංචාරක උපදෙස් සිකුරාදා සිට ක්‍රියාත්මක වන බවයි මැකාවු පෝස්ට් පුවත්පත වාර්තා කරන්නේ ෴

++++++++++++++++++

(17.08.2021 – 08:09 +0530 – hirunews.lk/sinhala)

ගර්භනී මව්වරුන්ට එන්නත් ලබා ගැනීම සඳහා වෙනමම එන්නත්කරණ මධ්‍යස්ථාන ආරම්භ කළ යුතු බව පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසනවා. එහි සභාපතිනී දේවිකා කොඩිතුවක්කු මහත්මිය ප්‍රකාශ කළේ මේ වන විට පවතින එන්නත්කරණ මධ්‍යස්ථානවලට ගර්භනී මව්වරුන් පැමිණීම හරහා ඔවුන්ට වෛරසය ආසාදනය වීමට ද ඉඩ පවතින බවයි.

ගර්භනී මව්වරුන් මෙන්ම කිරිදෙන මව්වරුන් ද කඩිනමින් එන්නත් ලබා ගත යුතු බවයි පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනී දේවිකා කොඩිතුවක්කු මහත්මිය කියා සිටියේ.

මේ අතර ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ලේකම් විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට මහතා කියා සිටියේ ස්පුට්නික්-වී එන්නත හැර සෙසු එන්නත් ගර්භනී මව්වරුන් සඳහා ලබාදීමට මේ වන විටත් අනුමැතිය හිමිව ඇති බවයි ෴

++++++++++++++++++

(17.08.2021 – 08:15 +0530 – hirunews.lk/sinhala)

මෙම සතියේ පාර්ලිමේන්තුව රැස්වීම අද (17) දිනයට පමණක් සීමා වී ඇති අතර ඒ අනුව පෙරවරු 10 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. පෙරවරු 11 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර, 11 සිට පස්වරු 04:30 දක්වා කොරෝනා වෛරස් රෝගය පිළිබඳ තාවකාලික විධි විධාන පනත් කෙටුම්පත, නිෂ්පාදන බදු පනත යටතේ නියමයන් ද්විත්වයක් සහ රේගු ආඥා පනත යටතේ යෝජනා ද්විත්වයක් විවාදයට ගනු ඇති.

පස්වරු 04:30 සිට 04:50 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය ලබා දී ඇති අතර අනතුරුව පස්වරු 05:30 දක්වා ආණ්ඩු පක්ෂයෙන් ගෙන එන යෝජනාව අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතයි.

මේ අතර අමාත්‍ය මණ්ඩල රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණය ඔස්සේ අද (17) පස්වරුවේ පැවැත්වෙන බව රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා. සාමාන්‍යයෙන් ඊයේ (16) අමාත්‍ය මණ්ඩල හමුව පැවැත්වෙන නමුත් එය එදින පැවැත්වූයේ නැහැ ෴

+++++++++++++++++

(17.08.2021 – 08:25 +0530 – hirunews.lk/sinhala)

මෙරට දෛනිකව සිදුවන කොරෝනා මරණවල ඉහළම අගය ඊයේ (16) දිනයේදීත් වාර්තා වුණා. එම මරණ සංඛ්‍යාව 167 ක්. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ද 6,263 දක්වා ඉහළ ගියා.

වාර්තා වූ කොරෝනා මරණ 167 න් 130 ක් ම වයස අවුරුදු 60 ට වැඩි අයයි. ඉන් 80 දෙනෙකු ම පිරිමි පුද්ගලයින් වන අතර, 50 දෙනෙකු කාන්තාවන් වනවා. මීට අමතරව වයස අවුරුදු 30 ත්, 59 ත් අතර වයස් සීමාවෙහි පුද්ගලයින් 36 දෙනෙකු ද කොරෝනා ආසාදනය වීමෙන් මිය ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

දැනට වාර්තා වී ඇති සමස්ත කොරෝනා මරණ 6,263 න් පිරිමි පුද්ගලයින් 3,624 ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මීට අමතරව කාන්තාවන් 2,639 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්වී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

එමෙන්ම, තවත් කොරෝනා ආසාදිතයින් 3,466 ක් වාර්තා වීමත් සමඟ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ද 362,074 දක්වා ඉහළ ගියා. ඒ අනුව තවදුරටත් ආසාදිතයින් 43,921 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ මුළු සංඛ්‍යාව 312,057 ක්.

මේ අතර දැනට කොරෝනා ආසාදිතයින් වාර්තා වීම වැඩි වීමත් සමඟ ආසාදිතයින් නිවෙස් තුළ ප්‍රතිකාර කිරීමේ රජය විසින් ආරම්භ කළ ක්‍රමවේදයෙහි යම් යම් අඩුපාඩු පවතින බවත්, ඒවා විධිමත් ලෙස සකස් කළ යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා ප්‍රකාශ කළා.

මේ අතර, පවතින තත්ත්වයත් සමඟ දැනට ස්ථීර හා තාවකාලික පදනමින් සේවයේ යෙදී සිටින හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සේවා කාලය මේ වසරේ දෙසැම්බර් 31 වන දා දක්වා දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව අගෝස්තු මස 01 වන දින සිට මේ වසරේ දෙසැම්බර් 31 වන දා දක්වා වයස අවුරුදු 70 සම්පූර්ණ වූ හෝ සම්පූර්ණ වීමට නියමිත හදිසි මරණ පරීක්ෂකවරුන්, මාර්තු 31 වන දිනෙන් පසු මුල් පත්වීම් කාලසීමාව හෝ සේවා දීර්ඝය අවසන් වී ඇති නමුත් සේවා දීර්ඝ කිරීම මෙතෙක් ලැබී නොමැති හදිසි මරණ පරීක්ෂකවරුන් ද ඊට අයත්. එමෙන්ම, මේ වසරේ අවසන් වීමට ප්‍රථම දිනක දී මුල් පත්වීම් කාලසීමාව හෝ සේවා දීර්ඝය අවසන් වීමට නියමිත හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ ද සේවා කාලය ඒ අනුව දීර්ඝ වනු ඇති. කෙසේ වෙතත්, විනය හේතුන් හෝ වෙනත් හේතූන් මත සේවා දීර්ඝ ලබා නොදෙන බවට ලිඛිතව අධිකරණ අමාත්‍යාංශය විසින් දැනුම් දී ඇති හදිසි මරණ පරීක්ෂකවරුන් සම්බන්ධයෙන් මෙම සේවා දීර්ඝ කිරීම අදාළ නොවන බව ද අධිකරණ අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

මේ අතර, මුහුණු ආවරණ හා සායනික අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය මාර්ගෝපදේශ ලබා දී තිබුණත් ඇතැම් පුද්ගලයින් ඒවා නොසලකා කටයුතු කිරීම හේතුවෙන් සෞඛ්‍යමය සහ පාරිසරික වශයෙන් එල්ල වී ඇති බලපෑම වැඩි බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

වැල්ලවත්ත මුහුදු වෙරළට මෙන්ම අවට සාගරය අපවිත්‍ර වන අයුරින් කිසියම් අයෙකු, පිරිසක් හෝ ආයතනයක් සායනික අපද්‍රව්‍ය වැල්ලවත්ත වෙරළ තීරයට මුදා හැර ඇති බවත් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට දැනටමත් පියවර ගෙන ඇති බවයි බත්තරමුල්ලේ ඊයේ (16) පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මීට අමතරව ප්ලාස්ටික්වලින් නිෂ්පාදිත විෂබීජනාශක කුඩා බහාලුම් පරිසරයට මේ වන විට වැඩි වශයෙන් මුදා හැරුණු බවට ද ඔහු එහි දී කියා සිටියා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *