පිළියන්දල ළමා ගම්මානයක දරුවන් 40 දෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි

පිළියන්දල ළමා ගම්මානයක දරුවන් 40 දෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි

*********************************************

පිළියන්දල ළමා ගම්මානයක දරුවන් 40 දෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි

(16.08.2021 – 19:52 +0530 – hirunews.lk/sinhala)

පිළියන්දල එස්.ඕ.එස්. ළමා ගම්මානයේ 48 දෙනෙකුටද කොරෝනා ආසාදනය වී තිබෙනවා. ඉන් 40 දෙනෙකු ළමයින් වන අතර ඒ හේතුවෙන් ගම්මානයට අමුත්තන් පිවිසීම තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.

මේ අතර, කොළඹ ඉසිපතන විද්‍යාලයේ 18 හැවිරිදි පාසල් සිසුවෙකුද කොවිඩ් ආසාදිතව මියගොස් තිබෙනවා.

පසුගිය 10 වනදා සිසුවාට කොරෝනා ආසාදිත බවට හඳුනාගැනීමෙන් පසු රෝහල් ගතකර ඇත්තේ පසුගිය 14 වනදායි.

මාතර – වැලිගම කනංකේ ප්‍රදේශයේ නිවසක නිරෝධායනය වෙමින් සිටි 51 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, පැය 18 ක පමණ කාලයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු එම ස්ථානයට නොපැමිණීම හේතුවෙන් උණුසුම් තත්වයක්ද හටගත්තා.

මේ අතර මහනුවර නගරයේ පිහිටි වැඩිහිටි නිවාසයක සිටි වැඩිහිටියන් තුන් දෙනෙකු (3) හදිසියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම සිද්ධියත් සමඟ එහි සිටි වැඩිහිටියන් 56 දෙනාට සිදුකරන ලද කොරෝනා පරීක්ෂණවලින් පසුව ඉන් 46 දෙනෙකුටම වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වුණා.

එසේම ඊයේ (15) සිදුකළ කොරෝනා පරීක්ෂණයකදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු එක්දින නායක කුසල් ජනිත් පෙරේරාට ද වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුණා.

මේ අතර අද (16) දිනයේ මේ දක්වා ආසාදිතයින් 2428 දෙනෙකු වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම, තවත් කොරෝනා ආසාදිතයන් 2,325 දෙනෙකු අද (16) දිනයේ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වනවිට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 3,12,057ක් දක්වා ඉහළ යනු ඇති.

(16.08.2021 – 20:01 +0530 – hirunews.lk/sinhala)

අද (16) රාත්‍රී 10 සිට හෙට (17) අලු‍යම 4 දක්වා දිවයින පුරා ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය කඩ කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය ප්‍රකාශ කළා.

අද (16) සිට බල පැවැත්වෙන පරිදි සෑම දිනකම රාත්‍රී 10 සිට ඊට පසුදින අලුයම 4 දක්වා ඇඳිරි නීතිය පැනවීමටයි ඊයේ (15) රජය තීරණය කළේ.

ඒ අනුව පොලිස් මාර්ග බාධක යොදවා නිරෝධායන ඇදිරි නීතිය කඩ කරන්නන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

මේ අතර උතුරු මැද හා මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ දඹුල්ල පොලීසිය එක්ව දඹුල්ල නගරයේදී අද (16) පරීක්ෂාවක් සිදුකලා.

එහිදී ව්‍යාජ ලෙස සකස් කරන ලද ලිපි ලේඛන සහ බලපත්‍ර යොදාගනිමින් ධාවනයේ නිරත වූ බස් රථ 10 ක මාර්ග බලපත්‍ර ආහෝසි කිරීමට පියවර ගත් බවයි උතුරු මැද පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සදහන් කළේ.

මේ අතර දුර ගමන් සේවා සහ පළාත් අතර ධාවනය වන බස් රථ නිරෝධායන නීති උල්ලංඝණය කරමින් මගීන් ප්‍රවාහනය කරන බව පවසමින් ගාල්ල නගරයේ පෞද්ගලික බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් අද (16) පෙරවරුවේ බස් රථ ධාවනයෙන් ඉවත්ව විරෝධතාවක නිරත වුණා.

මේ අතර කොරෝනා ව්‍යාප්තිය සලකා බදුල්ල, බණ්ඩාරවෙල, අම්බලන්තොට, බෙලිඅත්ත, තංගල්ල, ඇඹිලිපිටිය, අම්පාර යන නගරවල ද වෙළදසැල් වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව බණ්ඩාරවෙල සහ අම්බලන්තොට නගරවල වෙළදසැල් අද (16) රාත්‍රියේ සිට වසා තැබෙන අතර බෙලිඅත්ත සහ තංගල්ල නගරවල වෙළදසැල් හෙට සිට වසා දැමෙනු ඇති. අනිද්දා (18) සිට ඇඹිලිපිටිය, අම්පාර සහ බදුල්ල යන නගරවල පිහිටි වෙළදසැල් වසා දැමීමටයි ඒවායේ වෙළද සංගම් තීරණය කර ඇත්තේ ෴

+++++++++++++++++++++

කොළඹට එන්න එපා – කොළඹ පුරපතිනියම කියයි

(16.08.2021 – 17:57 +0530 – hirunews.lk/sinhala)

ඉතාමත් අත්‍යවශ්‍ය කරුණකට හැර කොළඹ නගරයට පැමිණීමෙන් වළකින ලෙස කොළඹ මහ නගර සභාවේ නගරාධිපති රෝසි සේනානායක මහත්මිය පිට පළාත්වල ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

හැකිතාක් නිවෙස්වලටම වී සිටින ලෙසටයි විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නගරාධිපතිනිය ජනතාවට දැනුම් දෙන්නේ.

එම නිවේදනය මගින් ඇය පෙන්වා දෙන්නේ මේවන විට කොළඹ නගරය පුරා කොරෝනා වෛරසය ඉතා වේගයෙන් ව්‍යාප්තවී සෑම ප්‍රදේශයකින්ම ආසාදිතයන් වාර්තා වන බවයි.

කොළඹ නගරයේ ව්‍යාපාරික ස්ථානවලින් පවා ආසාදිතයන් වාර්තාවී ඇති අතර දිනකට කොරෝනා ආසාදිතයන් විශාල පිරිසක් මියයන බව ද නගරාධිපතිවරිය පෙන්වා දෙනවා.

++++++++++

කොළඹ නගරාධිපතිනි රෝසී සේනානායක

තත්වය අතිශය දරුණුයි. කොළඹට පැමිණීම සීමා කරන්න. හැකි සෑම විටම ගෙවල්වලටම වී සිටින්න – කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනි රෝසී සේනානායක

(16.08.2021 – FB: Colombo Municipal Council)

ඉතාමත් අත්‍යාවශ්‍ය කරුණකට හැර කොළඹ නගරයට පැමිණීමෙන් වළකින ලෙසත්, හැකිතාක් නිවෙස්වලටම වී සිටින ලෙසත් කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනි රෝසී සේනානායක මහත්මිය කොළඹ පදිංචි ජනතාවගෙන් සහ දෛනිකව කොළඹට පැමිණෙන පිට පළාත්වල ජනතාවගෙන් ඉල්ලා සිටියි.

විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නගරාධිපතිනිය මේ බව ප්‍රකාශ කර තිබේ.

ඇය පවසන්නේ මේ වන විට කොළඹ නගරය පුරා කොරෝනා වෛසරය ඉතාමත් වේගයෙන් ව්‍යාප්ත වී සෑම ප්‍රදේශයකින්ම ආසාදිතයන් වාර්තාවන බවයි. කොළඹ නගරයේ ව්‍යාපාරික ස්ථානවලින් පවා කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇති අතර, දිනකට කොරෝනා ආසාදිතයන් ඉතාමත් විශාල පිරිසක් මියයන බව ද ඇය පෙන්වා දෙයි.

නගරාධිපතිනී රෝසී සේනානායක මහත්මිය වැඩිදුරටත් මෙසේද කීවාය :

“අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත කොරෝනා මර්ධන කමිටුව ප්‍රධානව සෞඛ්‍ය අංශයේ සෑම දෙනෙක්ම දැන් වසරකට වැඩි කාලයක් පුරා කොරෝනා මර්ධනයට ඉතාමත් විශාල මෙහෙවරක නියැලී සිටිනවා. නමුත් මේ වන විට අපි ගමන් කරමින් සිටින්නේ ඉතිහාසයේ කවදාවත් නොදැකපු නොසිතපු තරම් භයානක තත්වයකට. දිනෙන් දින රට පුරාම, විශේෂයෙන් ම කොළඹ නගරයෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවත් සිදුවන මරණ සංඛ්‍යාවත් වැඩි වෙමින් පවතිනවා. දැනට මාස කිහිපයකට පෙර දිනකට වාර්තා වූ මරණ සංඛ්‍යාවට වඩා වැඩි මරණ සංඛ්‍යාවක් දැන් පැයකදී සිදුවන බව පෙනෙන්නට තිබෙනවා. මෙය ඉතාමත් දරුණු තත්වයක්. මෙය පාලනය කරන්න පුළුවන් වන්නේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීමෙන් පමණක් බව සෞඛ්‍ය අංශ දිගින් දිගටම පවසනවා. ඒ නිසා මම කොළඹ පදිංචි සියලුම දෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා නිවෙස්වලටම වී සිටින්න. ඒ වගේම කොළඹ නගරයට දිනකට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත පිරිසගෙන් ඉල්ලා සිටිනවා අත්‍යාවශ්‍ය කාරණයකට හැර කොළඹට එන්න එපා. ඔබ කොළඹට එනවා කියන්නේ දැඩි ජීවිත අවධානමකට ලක්වීමක්. ඒ නිසා කොළඹට එන්න පෙර එක්වරක්, දෙවරක් නොවෙයි කිහිප වරක්ම හිතන්න මා මේ සඳහා යා යූතුම ද? මට මේ කාර්යය කර ගැනීමට වෙනත් ක්‍රමයක් නැද්ද ? මම කොළඹට ගියොත් දරුවන්ට, මාගේ අම්මා තාත්තාට කෙරෝනා බෝවිය හැකියි නේද ? යන කරුණු නැවත නැවතත් හිතන්න. ඔබේ සේවා ස්ථානය තිබෙන්නේ කොළඹ නම් සේවා ස්ථානයේ ප්‍රධානියා සමඟ සාකච්ඡා කරන්න. නිවසේ සිට වැඩ කිරිමට කටයුතු යොදා ගන්න.”

මේ අතර රෝසී සේනානායක මහත්මිය පවසන්නේ කොළඹ නගර සීමාවේ සෑම ප්‍රදේශයකින්ම කොරෝනා ආසාදිතයන් වාර්තාවී ඇති අතර, ව්‍යාපාරික හා සේවා ස්ථාන රැසක ද ආසාදිතයන් වාර්තා වී ඇති බවයි.

අත්‍යාවශ්‍ය සේවාවන් සහ සැපයුම් අඛණ්ඩව පවත්වගෙන යාමේ අවශ්‍යතාව හේතුවෙන් රට විවෘතව තබා පළාත් අතර දැඩි සංචරණ සීමා පනවා ඇති නමුත් දිස්ත්‍රික්කය තුළ සහ නගර සභා බල ප්‍රදේශයේ සංචරණ සීමා නැතැයි සිතා නිවසින් බැහැරව ගමන් කිරීම නොකරන ලෙස ද ඇය පදිංචිකරුවන්ගෙන් සහ කොළඹට පැමිණෙන සියලු දෙනාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

මේ වන විට වෛද්‍ය විශේෂඥයින් පවසනවා දැනට ශ්‍රි ලංකාවේ පැතිරයන කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය තත්පර 15 ක් වැනි ඉතාමත් කෙටි කාලයකදී පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට බොවෙන්න පුළුවන් කියා. මුල් අවසථාවේ තිබූ වයිරස ප්‍රභේදය ආසාදනය වීමට විනාඩි 10 ක් පමණ ගියා. එයින්ම පැහැදිලි වෙනවා මේ වන විට අපි කොතරම් භයානක අවස්ථාවකට එළැඹිලා සිටිනවාද කියා. මේ නිසා මම ඉතාමත් ඕනෑකමින් කාරුණිකව සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ කොහේවත් යන්න එපා. කොළඹ තත්වය ඉතාමත් දරුණුයි. අපේ කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව දැන් වසරතට වඩා වැඩි කාලයක් පැය 24 ම වෙහෙසෙමින් මේ වසංගතය පාලනය කිරීමට කටයුතු කරනවා. අපේ සෞඛ්‍ය අංශ වලට ඊට ශක්තිය තිබෙනවා. නමුත් අවශ්‍ය වන්නේ ඔබේ සහයෝගය. මේ දරුණු වසංගතය පාලනය කිරිමටනම් සෞඛ්‍ය අංශ කොතරම් වෙහෙස වුවත් ඔබ සෞඛ්‍ය උපදෙස් පිළිපදින්නේ නැතිනම් එය පාලනය කළ නොහැකියි. නිවසේ හොදින් නීරෝගීව සිටින ඔබ ගෙදරින් එළියට බහිනවා කියන්නේ, නැතිනම් වෙනත් ස්ථානයක සිට කොළඹ නගරයට පැමිණෙනවා කියන්නේ ඔබ බොහෝ විට කොරෝනා වෛරසය සමඟ නැවත නිවසට යනවා කියන එකයි.

කොළඹ නගරයෙන් කොරෝනා ආසාදිතයන් විශාල වශයෙන් වාර්තා විම හේතුවෙන් මේ වන විට අති විශාල පිරිසක් නිරෝධායනය සඳහා යොමු කිරීමට සිදුව ඇති බවද නගරාධිපතිනිය පෙන්වා දෙයි. රෝහල්ගත කිරීමට සිදුවන ආසාදිතයන් අතරින් වැඩි පිරිසක් දරුණු රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් ඔවුන්ට ශ්වසන ආධාරක ලබා දීමට ද සිදුව ඇති බව ඇය පෙන්වා දෙයි.

මේ වනවිට රෝහල්වල මෙන්ම නිවෙස්වල ද කොරෝනා ආසාදිතව මියයන සංඛ්‍යාව, වෙන කවරදාටත් වඩා ඉහල ගොස් ඇත. මෙම භයානක තත්වය තේරුම්ගෙන තමන්ගේ ජීවිතයත් තම ආදරණීයයන්ගේ ජීවිතයත් ආරක්ෂා කර ගැනීම සඳහා නිවසේම රැදි සිටින ලෙස ඇය අවධාරණය කරන්නනේ තවදුරටත් වසංගතය පාලනය කිරීමට ජනතා සහයෝගය දැඩිව අවශ්‍ය බව පවසමිනි.

එමෙන්ම මෙතෙක් කෙරෝනා මර්ධන එන්නත ලබා නොගත් කවරෙතු හෝ සිටින්නේ නම් හැකි ඉක්මනින් එන්නත ලබා ගන්නා ලෙසත් එන්නත ලබා ගත් පමණීන් කොරෝනා වලින් සුරක්ෂිත වේ යැයි නොසිතා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසත් නගරාධිපතිනිය පවසයි.

ඇය පහත සඳහන් කරුණූ කෙරෙහි සියලු දෙනාගේ අවධානය යොමුකර තිබේ.

• අත්‍යවශ්‍ය කරුණකට හැර නිවසින් බැහැරව නොයන්න. නිවසින් බැහැරව යන්නනේ නම් සෑම විටම හොදින් ගැලපෙන මුඛ ආවරණයක් හෝ ආවරණ දෙකක් පැළද සිටින්න. කිසිදු අවස්ථාවක එම මුඛ ආවරණය ඉවත් නොකරන්න. (ඩෙල්ටා ප්‍රභේදය ශරීරගත වීමට තත්පර 05 ක කාලයක් ප්‍රමාණවත්ය.)
• සෑම අවස්ථාවකදීම සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යන්න.
• ඔබට යම් සේවාවක් ලබා ගැනීමට අවශ්‍යනම් එය හැකිතාක් ඔන්ලයින් ක්‍රමයට ලබා ගැනිමට උත්සහ ගන්න. (කොළඹ නගර සභාවට අදාළ බොහෝ සේවා ඔන්ලයින් ක්‍රමයට ලබා ගැනීමට හැකියාව සළසා ඇත.)
• අත්‍යාවශ්‍ය කරුණකට ඔබ නිවසින් බැහැරව යන්නේ නම් නිවසින් පිටත ගත කරන කාලය හැකිතාක් අවම කරන්න.
• කිසිදු අමුත්තෙකුට අත්‍යාවශ්‍ය අවස්ථාවකදී හැර ඔබේ නිවසට පැමිණීමට ඉඩ නොදෙන්න.
• රජය විසින්, අත්‍යාවශ්‍ය සේවාවන් සීමිත ප්‍රමාණයක් පවත්වාගෙන යාමට අවසර ලබා දී ඇති බව ඔබ දන්නා කරුණකි. මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන වෙනත් කිසිදු කාර්යයක නියැළීමෙන් වළකින ලෙස ද ඉල්ලා සිටිමි.
• ආපනශාලා, හෝටල්, වෙළදසැල් සහ සුපිරි වෙළදසැල් ඇතුළු ව්‍යාපාරික ස්ථාන සහ ඒවායේ ඉඩ පහසුකම් පිළිබඳව සැළකිලිමත් වන්න. එම ස්ථාන සියල්ලේම සමාජ දුරස්ථභාවය ගැන සැළකිලිමත්වීම, පැමිණෙන අයගේ තොරතුරු තබා ගැනිම සහ ඔවුන්ගේ උෂ්ණත්වය පරීක්ෂා කිරිම අත්‍යාවශ්‍යම වන අතර සෑම විටම දෑත් පිරිසිදුකර මුඛ ආවරණ සහිතව පැමිණෙන අය පමණක් එම ස්ථානයන්ට ඇතුළුකරගැනීමට වගබලා ගත යුතුය. එක් අයෙකු හෝ මේ පියවර අනුගමනය නොකළහොත් හෝ නොසළකා හැරියහොත් සමාජ වගකිම පැහැර හරිනවා පමණක් නොව තවත් කිහිප දෙනෙකුගේ ජීවිතද අවදානමේ දමනු ඇත.
• සෑම අවස්ථාවකදිම ඔබේ රැකියාව කරගෙන යාමද නිවසේ සිටිමින් සිදු කරන්නේනම් එය වඩාත් සුදුසු වනු ඇත. නමුත් ඔබ කාර්යාලයට හෝ සේවා ස්ථානයට යාම අත්‍යාවශ්‍ය නම් ඒ සඳහා සෙඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සුරක්ෂිතව ගමන් කරන ලෙසත් ඉල්ලා සිටින අතර ඔබේ සේවා ස්ථානයේ සේවක සේවිකාවන් හැකිතාක් නිවසේ සිට සේවය කරන ලෙස දිරිමත් කරන්න යැයිද ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරමින් සේවා මුර ක්‍රමයට අවම සේවක සේවිකාවන් පිරිසක් සේවයට කැඳවන ලෙසත් ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටිමි.
• මෙම වසංගත කාලයේදී රැකියාවට යාමට නොහැකි වුවහොත් තම රැකියාව අහිමිවී යනු ඇතැයි සිතමින් ඇතැම් සේවක සේවිකාවන් අනවශ්‍ය අවදානම් දැරිමට කටයුතු කරන බව අපට නිරීක්ෂණය වී තිබේ. මේනිසා ඔවුන්ට එවැනි හැගීමක් ඇති නොවන ආකාරයෙන් ඔවුන්ගේ සේවා පරිසරය සුරක්ෂිත කිරීම සේවා යෝජකයන්ගේ වගකීම වන බවද මේ අවස්ථාවේ සිහිපත් කරන්නෙමු.

නැවත වරක් මම කොළඹ පදිංචි සහ කොළඹට පැමිණෙන ඔබ සැමගෙනුත් ව්‍යාපාරික ආයතනවලිනුත් ඉල්ලා සිටින්නේ දැනට පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස පිළිපදින ලෙසයි. මේ සඳහා කළ යුතු වන්නේ සෞඛය අමාත්‍යංශයෙන් නිකුත් කර ඇති නිල මාර්ගෝපදේශ පදනමක් ලෙස ගෙන තමන්ගේ සහ තම සමීපතමයන්ගේ ආරක්ෂාව සහතික කරලීම සදහා සඳහා ඊටත් වඩා දැඩි ආරක්ෂිත ක්‍රම ඔබ සැම විසින් අනුගමනය කළ යුතු බවයි.අපි මීට පෙර කිසිදු දිනක අත් නොදටු අතිශය භයංකාර අත්දැකීමක් වෙත ගමන් කරමින් සිටින්නෙමු. තත්වය තවදුරටත් දරුණු වීමට කිසිසේත්ම ඉඩදිය නොහැක. දැනටමත් එය අප දැඩි අපහසුතාවයකට පත් කර ඇතත් මෙය තාවකාලික ගැටලුවක් බවත් සාමුහිකව එකාවන්ව දැඩි සෞඛ්‍ය මාර්ගොපදේශ පිළිපදිමින් මේ භියකරු අවස්ථාව පරාජය කිරිමට වගකිමෙන් හා පරාර්ථකාමීව කටයුතු කරමු.

මාධ්‍ය ඒකකය
කොළඹ මහ නගර සභාව

++++++++++++++++++++

(16.08.2021 – 18:40 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 2428 දෙනෙකු හඳූනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 361,036 ක් ලෙසටයි ෴

++++++++++++++++++++

(16.08.2021 – 19:33 +0530 – hirunews.lk/sinhala)

පවතින කොවිඩ් වසංගතය හමුවේ හදිසි මරණ පරීක්ෂක වරුන්ගේ කාලය දීර්ඝ කර තිබෙනවා.

@@@ කොවිඩ් නොවන පුවත් @@@

(16.08.2021 – 19:24 +0530 – hirunews.lk/sinhala)

1992.08.02 දින උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස ශ්‍රී ලංකා පොලිස් සේවයට එක් වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තල්දූව මහතා එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවන්ට එක්ව ලයිබීරියානු රාජ්‍යයේ ද සේවය කර ඇති නිලධාරියෙක්.

එමෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පොලිස් අපරාධ කොට්ඨාශය, පොලිස් ත්‍රස්ත මර්ධන විමර්ශන කොට්ඨාසය, බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය ආදී ඒකක වලට ද සහකාර පොලිස් අධිකාරීවරයෙකු සහ පොලිස් අධිකාරීවරයෙකු වශයෙන් සිය සේවය ලබා දී තිබෙනවා.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයකු වන ජේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාණිජ විද්‍යා විශේෂ උපාධිධාරියෙක් ෴

******************************************

තලෙයිබාන් සටන්කාමීන් චීනය විසින් පිළිගැනේ

(16.08.2021 – 19:46 +0530 – hirunews.lk/sinhala)

තලෙයිබාන් සටන්කාමීන්ගේ පාලනයට නතු වූ ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර සිටි ශ්‍රී ලාංකිකයින්ගෙන් 8 දෙනෙකු බ්‍රිතාන්‍යයට සහ කටාර් රාජ්‍යය වෙත රැගෙන ගොස් තිබෙනවා.

විදේශ අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු කියා සිටියේ තවත් ශ්‍රී ලාංකිකයින් 43 දෙනෙකු එරට රැදී සිටින අතර ඔවුන් කඩිනමින් ගෙන්වා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවයි.

කාබුල් අගනුවර පාලනය තලෙයිබාන් සටන්කාමීන් විසින් ඊයේ (15) සියතට ගැනීමෙන් පසුව එරට වැසියන් මේ වන විට ඇෆ්ගනිස්ථානයෙන් පිටවීමට උත්සාහ කරමින් පවතිනවා.

මේ හේතුවෙන් හමීඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දැඩි තදබදයක් හටගෙන ඇති අතර, එහි ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා ගුවන් තොටුපළේ පාලනය පමණක් පවතින ඇමරිකානු හමුදා අද (16) එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් පුද්ගලයින් 5 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වුණා.

එවන් පසුබිමක ගුවන් ගත කළ යානයක අනාරක්ෂිතව ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු (2) ඉන් ඇද වැටෙන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් ද මේ වන විට සමාජ මාධ්‍යයේ සැරිසරනවා.

මේ අතර, තලෙයිබාන් සංවිධානය සමග මිත්‍ර සබදතා වර්ධනය කර ගැනීමට සූදානම් බවට චීන රජය ප්‍රකාශ කර ඇතැයි ප්‍රංශ පුවත් සේවය වාර්තා කළා.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක හුවා චුනින් උපුටා දක්වමින් එම පුවත් සේවය සඳහන් කළේ ඇෆ්ගනිස්ථාන ජනතාවගේ ඉරණම ස්වාධීනව නිර්ණය කිරීමට ඇති අයිතිය චීනය පිළිගන්නා බවයි.

මේ අතර, විදෙස් රටවල් සමඟ සාමකාමී සබදතා පැවැත්වීමේ අවශ්‍යතාවක් පවතින බව තලෙයිබාන් සංවිධානය ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය අනාවරණ කළා.

කෙසේ වෙතත්, නව රජයේ සැකසුම හෝ සංයුතිය පිළිබදව ප්‍රකාශ කිරීම, තවමත් කල් වැඩි බවයි ඔවුන් පවසා ඇත්තේ.

තලෙයිබාන් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක සුලේ ෂයින් මෙරට පුවත්පතක් සමග සිදුකළ සාකච්ඡාවකදී සඳහන් කර ඇත්තේ තම සංවිධානය යනු ස්වාධීන සංවිධානයක් බවයි. එල්.ටී.ටී.ඊ. වැනි ත්‍රස්ත සංවිධාන සමග කිසිදු සබදතාවක් තම සංවිධානයට නොමැති බව ඔහු එහිදී සදහන් කර තිබෙනවා.

තලෙයිබාන් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් දක්වා ඇත්තේ තලෙයිබාන් නායකත්වය යටතේ ඇෆ්ගනිස්ථානයේ බෞද්ධ ස්ථානවලට නැවත කිසිදු තර්ජනයක් එල්ල නොකරන බවයි.

කෙසේ වෙතත්, ලොව විශාලතම බෞද්ධ ප්‍රතිමාව වන ඇෆ්ගනිස්ථානයේ බාමියන් ප්‍රතිමාව 2001 වසරේදී තලෙයිබාන් සංවිධානය විසින් විනාශ කරනු ලැබුවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *