බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

*********************************************

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

(16.08.2021 – 15:32 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාත තුල ලියාපදිංචිව ඇති වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඒ කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන්.

ඒ අනුව පසුගිය 12 වනදා (2021-08-12) සිට ලබන 31 වනදා (2021-08-31) දක්වා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවන අතර මෙම කාලය තුල කල් ඉකුත්වන ආදායම් බලපත්‍ර නැවත ලබාගැනීමේදී සැප්තැම්බර් මස 30 වනදා (2021-09-30) දක්වා දඩ මුදල් අය නොකෙරෙන බවයි බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය සඳහන් කළේ.

http://www.motortraffic.wp.gov.lk යන වෙබ් අඩවියට පිවිසීම මගින් මාර්ගගත (online) ක්‍රමය යටතේ ආදායම් බලපත්‍ර ලබාගැනීමට ද හැකියාව පවතිනවා ෴

++++++++++++++++++++

(16.08.2021 – 15:02 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තිය සලකා බණ්ඩාරවෙල නගරයේ වෙළදසැල් සහ ආයතන අද (16) රාත්‍රී 10 සිට වසා දැමීමට බණ්ඩාරවෙල එක්සත් ව්‍යාපාරික සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව යළි නගරයේ වෙළදසැල් විවෘත වන්නේ මේ මස 23 වනදායි.

මේ අතර, පවතින කොරෝනා අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් බදුල්ල නගරයේ සියළුම වෙළදසැල් 18 වන දා සිට මේ මස 25 වන දා දක්වා වසා දැමීමට ද අද (16) පැවති සාකච්ඡාවකදී තීරණය වී තිබෙනවා ෴

+++++++++++++++++

(16.08.2021 – 15:05 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයින් සඳහා ලබාදීමට අවශ්‍ය අතිරේක ඔක්සිජන් ප්‍රමාණය රැගෙන ඒම සඳහා අද (16) දින ඉන්දියාවේ චෙන්නායි නුවර බලා නෞකාවක් පිටත්ව ගොස් තිබෙනවා.

නාවික හමුදාවට අයත් ‘ශක්ති නෞකාව’ මෙලෙස ත්‍රිකුණාමල වරායෙන් පිටත්ව යන බවයි නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ ෴

++++++++++++++++

(16.08.2021 – 15:48 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 2325 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 312,057 ක් ලෙසටයි.

ශ්‍රී ලංකාවෙන් මේවන විට කොරෝනා ආසාදිතයන් 358,608 ක් වාර්තාවී ඇති අතර 40,455 ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 6096 ක් ෴

+++++++++++++++++

(16.08.2021 – 16:15 +0530 – hirunews.lk/sinhala)

මෙම සතියේ පාර්ලිමේන්තුව රැස්වීම හෙට (17) දිනයේ පමණක් පැවැත්වීමට අද (16) පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වූ බව, සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

පවතින කොවිඩ් තත්ත්වය මත අද (16) හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවූයේ ද සභානායකවරයාගේ ඉල්ලීම මතයි.

ඒ අනුව හෙට, ‘2019 කොරෝනා වයිරස් රෝගය (කොවිඩ් 19) (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පත’ සම්මත කර ගැනීම සඳහා දෙවනවර (2) කියවීම අවස්ථාව සහ නියෝග 4 ක් සම්මත කරගැනීමට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඉන්පසු ලබන සැප්තැම්බර් 06 වනදා සඳුදා දක්වා පාර්ලිමේන්තුව කල් තැබීමට තීරණය වූ බවයි, සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ.

සැප්තැම්බර් 06 වන දා විශේෂ පාර්ලිමේන්තු දිනයක් බව ද සභානායවරයා ප්‍රකාශ කළා.

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය කාලයේ පාර්ලිමේන්තුව නියමිත ලෙස රැස්වීමට නොහැකි වීම හේතුවෙන්, ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු දීමට නොහැකි වූ ප්‍රශ්න සඳහා අවස්ථාව ලබාදීමට, 2021 සැප්තැම්බර් 06 සහ සැප්තැම්බර් 27, විශේෂ පාර්ලිමේන්තු දින ලෙස ප්‍රකාශයට පත් කිරීමට 2021.08.05 රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කෙරුණා.

පිළිතුරු ලබාදීමට නොහැකිවූ කාලීන වැදගත්කමකින් යුතු ප්‍රශ්නවලට ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු ලබාදිය යුතු නිසා රජයේ සහ සභානායකවරයාගේ අදහස අනුව විශේෂ පාර්ලිමේන්තු දින 2 ක් ලබාදීමට යෝජනා වී තිබුණා.

2021.08.05 පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව වෙත සභානායකවරයා එම යෝජනාව ඉදිරිපත් කළ අතර, කාරක සභාවේ සිටි ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ සාමාජිකයෝ එකඟ වූ බවයි සභානායක කාර්යාලය නිවේදනය කළේ.

ඒ අනුව 2021 සැප්තැම්බර් 06 සහ 27, විශේෂ පාර්ලිමේන්තු දින ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණය වී තිබෙනවා.

එම දින තුළ, මෙලෙස පිළිතුරු ලබා නොදුන් ප්‍රශ්නවලට පමණක්, ඉඩ ලබාදීමටත් තීරණය වූ බවයි සභානායක, දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියාසිටියේ ෴

+++++++++++++++++++

(16.08.2021 – 16:21 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර තුළ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා නව පියවර ගණනාවක් ගෙන ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් පාලන චන්දන ඒකනායක මහතා පවසනවා.

මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ බන්ධනාගාර තුළ පවතින අධික තදබදය අවම කර ගැනීම සඳහා බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් නීතිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කර ඇති බවයි.

එම ඉල්ලීමට අනුව නීතිපතිවරයා පොලිස්පතිවරයාට විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

එම චක්‍රලේඛයේ සඳහන් වන්නේ අත්‍යාවශ්‍යම කරුණක් හැරුණුකොට අධිකරණයට ඉදිරිපත් කරන පුද්ගලයන් රිමාන්ඩ් බන්ධනාගාර ගත නොකරන ලෙසයි.

ඇප ලබාදීමට හැකි සෑම අවස්ථාවකදීම ඇප ලබා දෙන ලෙසත් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින රැඳවියන්ටත් ඇප ලබා දීමට කටයුතු කරන ලෙසත් එම චක්‍රලේඛයෙන් දන්වා තිබෙනවා.

මීට අමතරව බන්ධනාගාර තුළ කොවිඩ්-19 රෝගය පැතිරයාම වැළැක්වීම සඳහා තවත් පියවර ගණනාවක් ගෙන ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

ඒ අනුව මේ වන විට බන්ධනාගාර රැඳවියන් 14,000 ට ආසන්න ප්‍රමාණයකට සයිනොෆාර්ම් එන්නත ලබාදී තිබෙනවා.

එමෙන්ම අමුත්තන්ට රැඳවියන් බැලීමට තවදුරටත් නොහැකි අතර බන්ධනාගාර ආපනශාලාවට මුදල් බැර කළ විට රැඳවියන්ට අවශ්‍ය ආහාරපාන ලබා දීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙනවා.

නීතිඥවරුන්ට ද බන්ධනාගාර රැඳවියන් මුණගැසීමට තවදුරටත් අවසර නොලැබෙන අතර ලිපි ලේඛන පමණක් බන්ධනාගාර කොමසාරිස් වරයාගේ අවසරය මත ලබා ගත හැකියි.

නව වැඩ වැඩපිළිවෙළ යටතේ සෑම බන්ධනාගාර රැඳවියෙකුටම සතියකට වතාවක් සිය නිවැසියන්ට කතා කිරීම් සඳහා දුරකථන පහසුකම් සලසා දී ඇති අතර කොවිඩ් ආසාදනයට ලක්වන රැඳවියන් අඹේපුස්ස, අඟුණකොළපැලැස්ස, වටරැක, පල්ලෙකැලේ, අයියකච්චි යන එළිමහන් බන්ධනාගාර නිරෝධායන මධ්‍යස්ථාන වෙත යැවීමටත් කටයුතු සලසා තිබෙනවා ෴

++++++++++++++++++

(16.08.2021 – 17:11 +0530 – hirunews.lk/sinhala)

ගැබිණි මව්වරුන් 2,800 කට පමණ මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මහත්මිය ප්‍රකාශ කළා.

එමෙන්ම වයිරසය ආසාදනය වීමෙන් ගැබිණි මව්වරුන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ.

බස්නාහිර පළාතේ පමණක් ගැබිණි මව්වරුන් 1,819 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙනවා ෴

+++++++++++++++++++++

(16.08.2021 – 17:25 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වයිරසය පැතිර යාමත් සමග කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ඇතුළු සියළු දිස්ත්‍රික් හා උප කම්කරු කාර්යාලයන් හි කටයුතු සීමා කර තිබෙනවා.

ඒ අනුව සේවක අර්ථසාධක අරමුදල්, ප්‍රතිලාභ අයදුම්පත් භාර ගැනීම ලබන 20 වනදා තෙක් තාවකාලිකව අත්හිටුවා ඇති බවයි කම්කරු දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

@@@ කොවිඩ් නොවන පුවත් @@@

(16.08.2021 – 14:05 +0530 – hirunews.lk/sinhala)

වගාවට අවශ්‍ය පොහොර නිසි කලට නොලැබීමෙන් ප්‍රදේශ කිහිපයක ගොවීන් තවමත් පීඩාවට පත්ව සිටිනවා.

පොළොන්නරුව – ඇළහැර ගොවි ජනපදයේ ගොවීන් මෙවර යල කන්නයේ ගොඩ භෝග ලෙස බහුලව වගා කර ඇත්තේ ලොකු ළූණු යි.

ඉන් ජයසිරිපුර, ගඟේ යාය ගම්මානවල ලොකු ළූණු ගොවීන් මේ දිනවල පැතිරයන දිලීර රෝගයක් හේතුවෙන් දැඩි පීඩාවකට පත්ව සිටිනවා.

ඔවුන් පවසන්නේ මෙම දිලීර රෝගය හේතුවෙන් ලොකු ළූණු පැළය විනාශ වී යන බවයි.

******************************************

සමුද්‍රිය මාර්ගයේ ඉදිකිරීම් අවසන් අදියරේ

(16.08.2021 – 16:08 +0530 – hirunews.lk/sinhala)

ගාලු පාරේ රථ වාහන තදබදය අවම කිරීම සඳහා විකල්පයන් ලෙස හඳුනා ගත් මාර්ගවල ඉදිකිරීම් කටයුතු අවසන් අදියරේ පවතින බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.

ඒ අනුව සමුද්‍රීය මාර්ගයේ නව කොටස් දෙකක් (2) වන කොල්ලුපිටියේ සිට ස්ටවුට් පෙදෙස දක්වා මාර්ග කොටසත්, වැල්ලවත්තේ සිට දෙහිවල දුම්රිය ස්ථානය දක්වා මාර්ග කොටසේත් ඉදිකිරීම් අවසන් අදියරේ පවතින බවයි අද (16) පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අමාත්‍යවරයා සඳහන් කළේ.

මංතීරු 4 ක් සහිත කොල්ලුපිටියේ සිට ස්ටවුට් පෙදෙස දක්වා මීටර් 600 ක මාර්ග කොටස සඳහා රුපියල් මිලියන 220 ක් වැය කර ඇති අතර, වැල්ලවත්තේ සිට දෙහිවල දුම්රිය ස්ථානය දක්වා කිලෝමීටර් 1.2 ක කොටසට වැය කර ඇති මුදල රුපියල් මිලියන 420 ක් ෴

******************************************

(16.08.2021 – 16:38 +0530 – hirunews.lk/sinhala)

තමා ධීවර අමාත්‍යවරයාව සිටි සමයේ ආරම්භ කළ ධීවර ගම්මාන වැඩිදියුණු කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිවාස භාර රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යවරයා සමග අද (16) පැවති සාකච්ඡාවකදීයි අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ මහින්ද රාජපක්ෂ මහතා ධීවර අමාත්‍යවරයාව සිටි සමයේ දිවයින පුරා ඇති මුහුදුබඩ ප්‍රදේශ හා වැව් ආශ්‍රිතව ධීවර ගම්මාන 60 කට වැඩි ප්‍රමාණයක් ඉදිකර ඇති බවයි.

එම ධීවර ගම්මාන වැඩිදියුණු කිරීම, සංවර්ධනය කිරීම, නඩත්තු කිරීම හා එම ගම්මානවල ජීවත්වන ජනතාවට සහන සැලසීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතු බවටයි අග්‍රාමාත්‍යවරයා රාජ්‍ය අමාත්‍යවරයාට උපදෙස් ලබාදී ඇත්තේ.

එම ධීවර ජනතාවට සහන සැලසීම සඳහා 2022 අයවැය වෙනුවෙන් ඉදිරිපත් කිරීමට යෝජනාවලියක් සකස් කරන ලෙසට ද අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

එමෙන්ම ධීවර ගම්මාන ආශ්‍රිතව නව නිවාස ව්‍යාපෘති ආරම්භ කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලා කටයුතු කරන ලෙසටයි රාජ්‍ය අමාතවරයාට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ උපදෙස් ලබාදී ඇත්තේ ෴

******************************************

ඇෆ්ගනිස්ථානයෙන් පිටත්වන ගුවන්යානයක රෝදයක එල්ලී යාමට ගිය දෙදෙනෙකු (2) මරුට

(16.08.2021 – 17:07 +0530 – hirunews.lk/sinhala)

ඇෆ්ගනිස්ථානයෙන් පිටව යන ගුවන්නායක එල්ලී යාමට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනෙකු (2) ඉන් ඇද වැටී මියගොස් තිබෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවක දැක්වෙන්නේ පුද්ගලයන් දෙදෙනෙකු (2) ගමන් කරමින් තිබෙන ගුවන්යානයකින් ඇද වැටෙන ආකාරයයි.

තලේබාන් කැරළිකරුවන් කාබුල් අගනුවර බලය තහවුරු කර ගැනීමත් සමග රටින් පිටව යාමට ජනතාව උත්සාහ කරමින් සිටිනවා.

මේ අතර ඇෆ්ගනිස්ථාන ජනාධිපති මන්දරයේ බලය අත්පත් කරගත් පසු ඇෆ්ගනිස්ථානය තුළ පැවති යුද්ධය අවසන් කළ බව තලේබාන් සංවිධානය අද (16) පෙරවරුවේ ප්‍රකාශයට පත් කළා.

මේ අතර ජගත් ආරක්ෂක මණ්ඩලයේ විශේෂ රැස්වීමක්ද අද (16) කැඳවා ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ තත්ත්වය සාකච්ඡා කිරීම සඳහායි.

කලක් රුසියානු ආධිපත්‍යයටත් පසුව අමෙරිකාව ඇතුළු බටහිර සන්ධානයේ සන්නද්ධ බලයත් යටපත් කිරීමට නොහැකිව වසර 20 ක් පුරා පැවති ඇෆ්ගනිස්ථාන තලේබාන් යුද ගැටුම්වල අවසානය ඊයේ (15) සනිටුහන් වුණා.

ඒ තලේබාන් සටන්කාමීන් ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරට කඩා වැදීමත් සමඟයි.

තලේබාන් කැරළි කරුවන්ගේ ආක්‍රමණ හමුවේ ඇෆ්ගනිස්ථාන ජනාධිපති අෆ්රාෂ් ගානී සහ උප ජනාධිපතිවරයා ඇතුළු පිරිසක් ඊයේ (15) තජිකිස්ථානයට පලා ගියා.

ගෙවුණු සති දෙකක (2) කාලය තුළදී පළාත් 36 කින් 26 ක් තමා වෙත නතු කර ගැනීමට තලේබාන් සටන්කරුවන්ට හැකි වුණා.

මේවන විට එරට ජනාධිපති මන්දිරය තලේබාන් හමුදාවේ යටතට පත්ව තිබෙනවා.

මේ වන විට අමෙරිකාව ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පිහිටි තානාපති කාර්යාලයේ අමෙරිකානු ධජය පහත හෙළා සියලු කාර්ය මණ්ඩල ගුවන් තොටුපොළ වෙත යොමු කර තිබෙනවා.

කාබුල් නගරයේ හමීඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් ගමන් පාලනයද අමෙරිකානු හමුදා යටතට පත්කරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

මේ අතර ඇෆ්ගනිස්ථානයේ නව පාලනය සම්බන්ධයෙන් තලේබාන් සංවිධානය කරුණු කිහිපයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ විදෙස් මාධ්‍ය නියෝජිතයින් ඔවුන්ගේ පාලන කටයුත පිළිබඳව කළ විමසීමකදීයි.

කෙසේ වෙතත් නව රජයේ සැකසුම හෝ සංයුතිය පිළිබඳව ප්‍රකාශ කිරීමට තවමත් වේලාසන වැඩි බවයි ඔවුන් පවසා ඇත්තේ.

කෙසේ වෙතත් ශරියා නීතිය තුළ කාන්තාවන්ගේ සහ සුළු ජාතීන්ගේ අයිතියට සහ ප්‍රකාශනයේ නිදහසට තම සංවිධානය ගරු කරන බව ඔවුන් එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

විදෙස් රටවල් සමඟ සාමකාමී සබඳතා පැවැත්වීමේ අවශ්‍යතාවක් පවතින බවත් තලේබාන් සංවිධානය වැඩිදුරටත් ප්‍රකාශ කළ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

******************************************

(16.08.2021 – 17:27 +0530 – hirunews.lk/sinhala)

තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (16) දහවල් එල්ලවූ බඹර ප්‍රහාරයකින් කාන්තාවන් අටදෙනෙකු (8) දික්ඔය මුලික රෝහලට ඇතුළත් කෙරුණා.

හැටන් පොලිස් වසමට අයත් ඇන්ෆීල්ඩ් වතුයායේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකටයි මෙම බඹර ප්‍රහාරය එල්ලවී ඇත්තේ.

කෙසේ වෙතත්, ඔවුන්ගේ තත්වය බරපතල නොවන බව රෝහල් ප්‍රකාශකයෙකු කියා සිටියා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *