විදේශ, අධ්‍යාපන, ප්‍රවාහන, සෞඛ්‍ය, විදුලිබල, ජනමාධ්‍ය, ‘සංවර්ධන සම්බන්ධිකරණ අධික්ෂණ’ ඇමති පුටු මාරු වුණු හැටි

විදේශ, අධ්‍යාපන, ප්‍රවාහන, සෞඛ්‍ය, විදුලිබල, ජනමාධ්‍ය, ‘සංවර්ධන සම්බන්ධිකරණ අධික්ෂණ’ ඇමති පුටු මාරු වුණු හැටි

*********************************************

විදේශ, අධ්‍යාපන, ප්‍රවාහන, සෞඛ්‍ය, විදුලිබල, ජනමාධ්‍ය, ‘සංවර්ධන සම්බන්ධිකරණ අධික්ෂණ’ ඇමති පුටු මාරු වුණු හැටි

(16.08.2021 – 12:21 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඇමැති මණ්ඩලයේ අමාත්‍යධුර 07 ක වෙනස්කම් සිදු කරනු ලැබුවා.

ඒ පහත දැක්වෙන අයුරින් :

මහාචාර්ය ජී.එල්. පීරිස් විදේශ අමාත්‍ය, දිනේෂ් ගුණවර්ධන අධ්‍යාපන අමාත්‍ය, පවිත්‍රා වන්නිආරච්චි ප්‍රවාහන අමාත්‍ය, කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍ය, ගාමිණී ලොකුගේ විදුලිබල අමාත්‍ය, ඩලස් අලහප්පෙරුම ජනමාධ්‍ය අමාත්‍ය, සහ නාමල් රාජපක්ෂ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ධුරයට අමතරව සංවර්ධන සම්බන්ධිකරණ අධික්ෂණ අමාත්‍ය වශයෙන් මෙම පත්කිරීම් සිදුකර තිබෙනවා.

******************************************

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිඳගේ සහෝදරයා ඇප මත මුදාහැරේ

(16.08.2021 – 11:16 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කරමින් සිටියදී පිළිස්සී දැරියක මියයෑමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ඔහුගේ මස්සිනා වන ‘මොහොමඩ් ෂියාබ්දීන් ඉස්මත්’ නමැත්තා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියෝග කළා.

ඒ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කළ වෙනත් තරුණියක් 2016 වසරේ දූෂණය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවට අදාළවයි.

කෙසේ වෙතත් දැරියක පිලිස්සී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මොහු තවදුරටත් මේ මස 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතව පසුවනු ඇති.

2016 වසරේ තරුණියක දූෂණය කළේ යැයි පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල හමුවේ අද (16) කැඳවූ අවස්ථාවේ සැකකරු රුපියල් ලක්ෂ පහක (5) ශරීර ඇපයක් මත මුදාහැරීමටයි නියෝග කෙරුණේ.

එමෙන්ම මොහුගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවටද නියෝග කෙරුණා.

පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී සැකකරු අධිකරණට ඉදිරිපත් කර නොතිබූ අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හේමන්ත ගමගේ අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම විමර්ශණය ආරම්භ කර තිබෙන්නේ වෙනත් අපරාධ සිද්ධියකදී වින්දිත දැරිය විසින් කරන ලද ප්‍රකාශයක් මත බව සඳහන් කළා.

ඒ අනුව මෙම අපරාධය සිදුවූ දිනය සහ පැමිණිල්ල ඉදිරිපත් වූ දිනය සම්බන්ධයෙන් මේ දක්වා නිශ්චිත කරුණු අනාවරණය වී නොමැති හෙයින් එය සුවිශේෂි කරුණක් සේ සලකා තම සේවාදායකයා ඇප මත මුදාහරින්නැයි නීතිඥවරයා ඉල්ලා සිටියා.

මෙහිදී කුරුඳුවත්ත පොලිසියේ නිළධාරීන් අධිකරණයට දන්වා සිටියේ මෙම දැරිය අතවරයට පත් වූ දිනය නිශ්චිත වශයෙන් සොයා ගැනීම සඳහා විමර්ශණ පවත්වන බවයි.

මෙම සැකකරු ඇප මත මුදා හරිනු ලැබුවවොත් විමර්ශණ කටයුතුවලට බාධා සිදුවිය හැකි බවත් මෙම සිද්ධියට එරෙහිව විශාල මහජන කැළඹීමක් පවතින හෙයින් ඇප පනත යටතේ සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසද පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පොලිසියෙන් ප්‍රශ්ණ කර සිටියේ මහජන උද්ඝෝෂණ තිබෙන බව පවසමින් සැකකරුවෙකු රක්ෂිත බන්ධගාර ගත කළ හැකි ද යන්නයි.

සැකකරුවකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි විමර්ශකයන් විසින් අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධියට අදාළව කරුණු විමර්ශණය කිරීමේදී දැරියට සිදුවූ අපරාධය පිළිබඳ නිශ්චිත කරුණු පොලිසිය විසින් ඉදිරිපත් කර නොමැති බව කියා සිටියා.

මෙම විමර්ශණ වාර්තාව පිරික්සීමේදී පළමුවන (1) අතවරය නුවරඑළිය ප්‍රදේශයේ සිදුවූ බව සඳහන් කෙරෙන අතර දෙවැන්න (2) පිළිබඳව පැහැදිලි කරුණු අනාවරණය වී නොමැති බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා මෙවැනි කරුණු පදනම් කරගෙන සැකකරුවෙකු රක්ෂිත බන්ධනාගාර ගත කරන්නේ කෙසේදැයි ප්‍රශ්ණ කළා.

මේ ආකාරයේ ඉල්ලීම් මත රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලබන සැකකරුවන් අවසානයේදී නීතිපතිවරයා නිදහස් කිරීමට තීරණය කරන බවත් එවැනි දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත වීමෙන් අනතුරුව අවසානයේ නිදහස් වන්නේ නම් එවැනි සැකකරුවෙකුට සිදුවන අගතිය සම්බන්ධයෙන් වග කියන්නේ කවුදැයි මහේස්ත්‍රාත්වරයා පොලිසියෙන් ප්‍රශ්ණ කළා.

ඒ අනුව මහජන උද්ඝෝෂණ මත සැකකරු ඇප පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි පොලිසිය විසින් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ විනිසුරුවරයා මෙම නඩුව දෙසැම්බර් මස 06 වනදා යලි කැදවීමටයි නියෝග කළේ ෴

******************************************

(16.08.2021 – 13:43 +0530 – hirunews.lk/sinhala)

මෙතෙක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ගෙන් එම වගකීම ඉවත් කර තිබෙනවා.

ඒ අනුව, නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස අද (16) දින සිට කටයුතු කරනු ලබන්නේ පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා යි.

මේ වන විට පොලිස් අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරයා ලෙසින් කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා, 2011 වසරේ සිට මේ දක්වා කාලය තුළ අවස්ථා පහකදී (5) වරින් වර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ගෙන් කළ විමසීමකදී, ඔහු කියා සිටියේ පොලිස් අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ වශයෙන් තමන් කාර්යබහුල වීම හේතුවෙන් දෙපාර්තමේන්තුවෙන් කළ ඉල්ලීමට එකඟතාව පළ කළ බවයි ෴

******************************************

(16.08.2021 – 13:49 +0530 – hirunews.lk/sinhala)

තමාව නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ස්තූතිය පළ කරන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ අද (16) දිවුරුම් දීමෙන් අනතුරුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කළා.

කොරෝනා වසංගතය හසුරුවමින් මේ දක්වා සිදුකළ විශිෂ්ඨ කාර්ය පිළිබඳව ඔහු හිටපු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට එමඟින් ස්තූතිය ද පළ කර තිබෙනවා.

කෙසේ වෙතත් කොරෝනා වසංගතය පරාජය කිරීම සඳහා සියලු පුරවැසියන්ගේ සාමූහික සමාජ වගකීම අවශ්‍ය බවයි නව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය ට්විටර් පණිවුඩයෙන් පෙන්වාදී ඇත්තේ ෴

******************************************

(16.08.2021 – 13:54 +0530 – hirunews.lk/sinhala)

කඩුවලින් පහරදී පුද්ගලයෙකුගේ අතක් සිරුරෙන් වෙන්කර, තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටි සැකකරුවන් තුන්දෙනෙකු (3) රත්ගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එසේම පහරකෑමට ලක්වූ පාර්ශවයේ එක් (1) අයෙකුද ඊයේ (15) අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

රත්ගම – සිරිකදුරවත්ත ප්‍රදේශයේදී දෙපාර්ශවයක් අතර මෙම ගැටුම පෙරේදා සිදුව ඇති අතර, අත සිරුරෙන් වෙන්වූ පුද්ගලයා මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

පහරකෑමට ලක්වූ අනෙක් පුද්ගලයා (1) මෙන්ම අත්අඩංගුවට ගත් සිව්දෙනා (4) ද එම රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කළේ ෴

@@@@@ කොවිඩ් පුවත් @@@@@

(16.08.2021 – 10:34 +0530 – hirunews.lk/sinhala)

පළාත් අතර සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක වන බැවින් අධිවේගී මාර්ගයට පිවිසෙන සෑම පිවිසුම් මාර්ගයකින් ම පළාත් අතර සංචරණය සඳහා ලබාදී ඇති බලපත්‍ර හෝ ඒ සඳහා පිළිගත් අවසර පත්‍ර පරීක්ෂාවක් සිදු කරන බව වාර්තා වනවා.

ඒ අනුව පිළිගත් අවසර පත්‍රයක් නොමැති කිසිදු වාහනයක් අධිවේගී මාර්ගයට ඇතුළත් නොකරන බවයි දක්ෂිණ අධිවේගී මාර්ග පාලන පාලනාධිකාරිය පවසන්නේ.

මේ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිත කරමින් පිට පලාත් සඳහා ගමන් කරන වාහන නිරන්තර පරික්ෂා කිරීම් සඳහා භාජනය කෙරෙන අතර අවශ්‍ය ලියකියවිලි නොමැති සියලු වාහන ආපසු හරවා යැවෙනු ඇති ෴

සබරගමුව පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අද (16) සිට සැප්තැම්බර් 15 දක්වා තාවකාලිකව අත්හිටුවයි. එම කාලයට අදාලව ඔක්තෝබර් 15 දක්වා දඩ මුදල් අය නොකෙරේ ෴

+++++++++++++++++++

(16.08.2021 – 13:15 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට මෙරට පුද්ගලයන් 1,18,79,851 දෙනෙකුට කොරෝනා එන්නතක එක් (1) මාත්‍රාවක් හෝ ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.

එමෙන්ම පූර්ණ එන්නත්කරණයට ලක් කළ සංඛ්‍යාව දැක්වෙන්නේ 46,16,266 ක් ලෙසයි.

මේ අතර ඊයේ (15) දිනයේත් පුද්ගලයින් 1,17,905 දෙනෙකුට එන්නත් ලබාදී තිබෙනවා.

එහිදී සයිනොෆාම් දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 83,518 දෙනෙකුට ලබාදී ඇති අතර, එහි පළමු (1) මාත්‍රාව ලබාදී ඇති සංඛ්‍යාව 27,016 ක්.

කොවිෂීල්ඩ් එන්නතේ පළමු (1) මාත්‍රාව ද ඊයේ (15) 2,204 දෙනෙකුට ලබාදී ඇති අතර, එහි දෙවන (2) මාත්‍රාව ලබාදී ඇති සංඛ්‍යාව 409 ක්.

ෆයිසර් එන්නතේ දෙවන (2) මාත්‍රාව ද ඊයේ (15) 4,697 කටත්, පළමු (1) මාත්‍රාව 61 දෙනෙකුටත් ලබාදී තිබෙනවා.

මේ අතර කොළඹ ජාතික රෝහලේ දියවැඩියාව හා අන්තරාසර්ග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උදිත බුලුගහපිටිය මහතා ඉල්ලා සිටින්නේ දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයන් අනිවාර්යයෙන්ම කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා දෙකම (2) ලබාගත යුතු බවයි ෴

+++++++++++++++++++

(16.08.2021 – 13:23 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක, ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට කොවිඩ්-19 ආසාදනය වී තිබෙනවා.

පාදයේ අබාධයකට ලක්ව සිටි කුසල් ජනිත් පෙරේරා නැවත සිය ක්‍රිකට් පුහුණුවීම් ආරම්භ කිරීමට පෙරාතුව සිදුකළ පීසීආර් පරීක්ෂණයකින් අනතුරුවයි, ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත්තේ.

මේ හේතුව නිසා කුසල් ජනිත් පෙරේරා හට සති දෙකක (2) කාලයක් නිරෝධායනය වීමට සිදු වන අතර ඔහුට බොහෝ විට එළඹෙන දකුණු අප්‍රිකානු සංචාරයේ තරග මඟ හැරී යාමට ඉඩ තිබෙනවා.

එක්දින තරග තුනක් (3) සහ පන්දුවාර විස්ස තරග තුනකින් (3) සමන්විත දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ආරම්භ වන්නේ සැප්තැම්බර් 02 වැනිදා යි.

ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින හා පන්දුවාර 20 තරග සියල්ල කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා ෴

+++++++++++++++++++

(16.08.2021 – 13:24 +0530 – hirunews.lk/sinhala)

ඩෙල්ටා ප්‍රභේදයේ සීග්‍ර වර්ධනය හමුවේ නිවෙස් තුළ දී වුවද මුඛ ආවරණ පැළදීම අනිවාර්ය කර ගන්නා ලෙස රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඔහු කියා සිටියේ වයිරසය ආසාදනය වීම සඳහා ගත වන්නේ තත්ත්පර 15 ක තරම් සුළු වේලාවක් බැවින් ඒ තුළින් ද ආසාදිතයෙකු බවට පත්වීමේ හැකියාවක් පවතින බවයි.

මහනුවර නගරයේ පිහිටි වැඩිහිටි නිවාසයක සිටි වැඩිහිටියන් තුන් දෙනෙකු (3) හදිසියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම සිද්ධියත් සමඟ එහි සිටි වැඩිහිටියන් 56 දෙනාට සිදුකරන ලද කොරෝනා පරීක්ෂණවලින් පසුව ඉන් 46 දෙනෙකුටම වයිරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වුණා.

එමෙන්ම මහරගම පොලීසියට අනුයුක්ත පොලිස් පරීක්ෂකවරයෙකු (1), උප පොලිස් පරීක්ෂකවරුන් සිව් දෙනෙකු (4) ඇතුළු 12 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

පවතින තත්ත්වයත් සමග හැකි සෑම අවස්ථාවකම මුඛ ආවරණ පලදින ලෙස රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ඉල්ලීමක් කරනවා.

දෛනික කොරෝනා ආසාදිතයින් වාර්තා වීමත් සමඟ සෞඛ්‍ය සේවකයින් දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් පවසනවා.

කොළඹ ජාතික රෝහලේ පමණක් සෞඛ්‍ය සේවකයින් 200 කට වැඩි පිරිසකට කොරෝනා ආසාදනය වී ඇති බවයි උන්වහන්සේ කියා සිටියේ.

මේ අතර මුව ආවරණ නොපළදින පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම අද සිට සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාශය සඳහන් කළා.

පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අම්බලන්තොට සහ ත්‍රිකුණාමළ නගරවල වෙළදසැල් ද මේ වනවිට සම්පූර්ණයෙන් වසා දමා තිබෙනවා ෴

++++++++++++++++++++++

(16.08.2021 – 14:03 +0530 – hirunews.lk/sinhala)

හෙට (17) සිට ලබන සිකුරාදා (20) දක්වා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු රැස්වීමේ ඉදිරි කටයුතු පිළිබඳ තීරණය කිරීම සඳහා පක්ෂ නායක රැස්වීමක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පැවැත්වෙනවා.

පාර්ලිමේන්තු කාර්ය මන්ඩලයේ කිහිප දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගැනුණු අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් පරීක්ෂා කිරීම සඳහා සී.සී.ටී.වී. කැමරා දර්ශනද නිරීක්ෂණය කර ඇති බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.

මේ අතර වර්තමානයේ රට තුළ පවතින කොවිඩ් තත්ත්වය සම්බන්ධයෙන් මහා සංඝරත්නය ඇතුළු දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *