භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවමින් ගැසට් නිවේදනයක්

භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවමින් ගැසට් නිවේදනයක්

*********************************************

භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවමින් ගැසට් නිවේදනයක්

(13.08.2021 – 21:26 +0530 – hirunews.lk/sinhala)

විශේෂ වෙළෙඳ භාණ්ඩ මත බදු පනවමින් මීට පෙර නිකුත් කර තිබූ ගැසට් නිවේදන අවලංගු කරමින් නව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම ගැසට් නිවේදනය අනුව හාල්මැස්සන් හා කරවල කිලෝග්‍රෑමයක් මත පැනවෙන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 100 ක්.

විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතේ බලතල ප්‍රකාරව පෙර පැවති ගැසට් නිවේදන අවලංගු කරමින් මුදල් අමාත්‍යවරයා විසින් මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරමින් බදු පැනවීම සිදුකර තිබෙනවා.

උළුහාල් ඇට කිලෝග්‍රෑමයක් මත පැනවෙන බද්ද රුපියල් 50 ක් වනවා.

කුරක්කන් පිටි කිලෝ ග්‍රෑමයක් මත රුපියල් 150 ක බද්දක් පැනවෙන අතර අබ ඇට කිලෝග්‍රෑමයක් මත පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 62 ක්.

ශුද්ධ සෝඩියම් ක්ලෝරයිඩ් හෝ ලුණු කිලෝ ග්‍රෑමයක් මත රුපියල් 40 ක බද්දක් පනවා තිබෙනවා.

වෙඬරු මෙන්ම කිරිවලින් නිෂ්පාදිත තැවරුම් කිලෝවක් සඳහා පැනවෙන බද්ද රුපියල් 880 ක්.

අගෝස්තු මස 12 වනදා සිට වසරක කාලයක් සඳහා මෙම බදු නියෝග ක්‍රියාත්මක බව අදාල ගැසට් නිවේදනයේ සඳහන්.

******************************************

(14.08.2021 – 08:09 +0530 – hirunews.lk/sinhala)

ළමා නඩු කටයුතු අවසන් වීමට දීර්ඝ කාලයක් ගත වීමේ ගැටලුව අවම කිරීම සඳහා වන උපදෙස් කිහිපයක් ඉදිරිපත් කරමින් අධිකරණ සේවා කොමිසන් සභාව සියලු මහාධිකරණ විනිසුරුවරුන් වෙත චක්‍ර ලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ ජාතික ළමාරක්ෂක අධිකාරිය කළ ඉල්ලීමකට අනුවයි.

එමෙන්ම රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ අවම වයස් සීමාව වයස අවුරුදු 17 සිට අවුරුදු 18 දක්වා ඉහළ නැංවීමට ද පියවර ගෙන තිබෙනවා ෴

******************************************

(14.08.2021 – 09:00 +0530 – hirunews.lk/sinhala)

ගුරු වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන ගුරු වෘත්තීය සමිති අද (14) අන්තර්ජාල පෙත්සමක් අත්සන් කිරීමට නියමිතයි. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ එම පෙත්සමට සහාය දැක්වීමට ඕනෑම පුද්ගලයෙකුට හැකියාව පවතින බවයි.

මේ අතර ගුරු, විදුහල්පති වැටුප් ගැටලු‍ව සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව ඊයේ (13) ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය හමු වී සාකච්ඡාවක නිරත වුණා.

එමෙන්ම ලබන අඟහරුවාදා (17) සහ බදාදා (18) දිනයන්හි තවත් ගුරු වෘත්තීය සමිති 10 ක් හමු වී සාකච්ඡා කරන බවයි එම කමිටුවේ සාමාජික අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේ.

මේ අතර ගුරු වෘත්තීය සමිති සඳහන් කළේ ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (14) 33 වන දිනටත් ක්‍රියාත්මක බවයි ෴

******************************************

(14.08.2021 – 09:45 +0530 – hirunews.lk/sinhala)

කැලණි පාලමේ සිදු කෙරෙන සංවර්ධන කටයුත්තක් හේතුවෙන් ඒ ඔස්සේ කොළඹට ඇතුළුවීමේ මාර්ගය තාවකාලිකව වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අද (14) අලුයම 05:00 සිට සඳුදා (16) අලුයම 05:00 දක්වා බේස්ලයින් මාර්ගයේ කැලණිතිස්ස වටරවුමේ සිට ඔරුගොඩවත්ත මංසන්ධිය දක්වා වූ කොළඹට ඇතුළුවීමේ මාර්ගය මෙලෙස වසා දැමෙනු ඇති.

මෙම මාර්ගය වසා තැබෙන කාලය තුළ දී කොළඹ පිටකොටුවට පැමිණෙන වාහන කැළණිතිස්ස වටරවුම හරහා ඉඟුරුකඩේ හන්දියට පිවිස සිරිමාවෝ බණ්ඩාරණායක මාවත, ආමර් වීදිය බාබර් හන්දියෙන් මහා විද්‍යාල මාවත ඔස්සේ පිටකොටුවට පිවිසිය යුතුයි.

ආමර් වීදීය, පංචිකාවත්ත වටරවුම, මරදාන හරහා ගමන් මඟ භාවිතා කර පිටකොටුවට සහ බොරැල්ලටත් ගමන් කළ හැකි බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරනවා.

එමෙන්ම දෙමටගොඩ දෙසට ගමන් කළ යුතු රථ වාහන ප්‍රදීපා මාවත, සද්ධර්ම මාවත හරහා පැමිණ නැවත බේස්ලයින් මාවතට පිවිස දෙමටගොඩ දෙසට ගමන් කළ හැකියි.

කෙසේවෙතත් කොළඹින් පිටවන වාහන සඳහා ඔරුගොඩවත්ත මංසන්ධියේ සිට කැළණිතිස්ස වටරවුම දක්වා වූ මාර්ගය තවදුරටත් ගමනා ගමනයට විවෘතව පවතිනවා ෴

@@@@@ කොවිඩ් පුවත් @@@@@

(13.08.2021 – 21:13 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොරෝනා වෛස් ආසාදිත තවත් මරණ 155 ක් ඊයේ (12) දින තහවුරු කර තිබෙනවා.

ඒ අතර පිරිමි පුද්ගලයන් 85 ක් සහ කාන්තාවන් 70 ක් වනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 5775 ක් ලෙසටයි.

වයස අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ කාන්තාවන් 3 ක් ද ඊයේ (12) තහවුරු කළ මරණ 155 ට අයත්.

අවුරුදු 30 ත් 59 ත් අතර වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයන් 27 ක් සහ කාන්තාවන් 14 ක් ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ මරණ අතර වනවා.

අවුරුදු 60 සහ ඊට වැඩි පිරිමි 58 ක් සහ කාන්තාවන් 53 ක් ද මෙම මරණවලට අයත්.

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 760 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව අද (13) දිනයේ හමුවූ ආසාදිතයන් සංඛ්‍යාව 3142 ක්. ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 348,270ක් හමුවී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ෴

++++++++++++++++++

(14.08.2021 – 07:09 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණ සීමා දැඩි කිරීමට රජය විසින් පියවර ගනු ලැබුවා.

ඒ මේ වන විට දිවයින පුරා පාලනයකින් තොරව පැතිර යන කොවිඩ් වසංගතය තවදුරටත් ව්‍යාප්ත වීම පාලනය කිරීමේ අරමුණෙන්.

මේ අනුව පළාත් සීමා මායිම් වල පොලිස් මුර කපොලු තර කෙරෙන අතර පොලිසියේ සහාය සඳහා යුද හමුදාව, ගුවන් හමුදාව සහ නාවික හමුදාවත් යෙදවීමට තීරණය කෙරුණා.

නව නීතිරීති අනුව පළාත් අතර සංචරණය සිදුකර හැක්කේ අත්‍යවශ්‍ය සේවාවන්හි නිරත වන කාර්‍ය මණ්ඩලවලට පමණයි.

කෙසේවෙතත් මෙම අත්‍යවශ්‍ය සේවා කාර්ය මණ්ඩල ද අවශ්‍යතාව අනුව පරීක්ෂාවට ලක් කිරීමට පොලීසියට උපදෙස් ලැබී තිබෙනවා.

නව සංචරණ නීති තර කිරීමත් සමඟ පළාත් අතර පොදු ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක කිරීමට ද වාරණ පනවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

මෙම නීතිරීති උල්ලංඝනය කරමින් පොදු ප්‍රවාහනයන්හි නිරතවන රියැදුරන් සහ කොන්දොස්තර වරුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා ෴

++++++++++++++++++++

මුහුණු ආවරණ නැතිව නිවසින් එළියට යන්න එපා! පොලිසියෙන් ඉල්ලීමක්

(14.08.2021 – 07:41 +0530 – hirunews.lk/sinhala)

අද (14) දින සිට මුහුණු ආවරණ නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා.

මේ අනුව කිසිම හේතුවක් නිසා මුහුණු ආවරණයක් නො පැලඳ නිවසෙන් එළියට නොයන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

කොවිඩ්-19 වයිරසය පෙර නොවූ විරූ පරිදි ඉතාමත් සීඝ්‍රයෙන් දිවයින පුරා පැතිර යන බවත් එය මර්දනය කිරීමට නම් මූලික සෞඛ්‍ය නීතිරීති වලට ජනතාව දැඩිව අනුගත විය යුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

2020 ඔක්තෝබර් මස 17 වන දින ප්‍රකාශයට පත් කෙරුණු මහජන ආරක්ෂාව පිළිබඳ විශේෂ ගැසට් පත්‍රයෙන් මුහුණු ආවරණ පැළඳීම පිළිබඳව වන නීතිමය තත්ත්වය පැහැදිලි කර තිබෙනවා.

නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ නිකුත් කරන ලද මෙම ගැසට් නිවේදනයට අනුව පොදු ස්ථානයක මුහුණු ආවරණ පැළඳ නොසිටින යම් තැනැත්තෙකුට එරෙහිව නිරෝධායන නීතියට අමතරව අපරාධ නීතිය යටතේ ද දඬුවම් පැමිණවිය හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

ඒ අනුව එවැනි වරදක් සිදු කරන තැනැත්තෙක් වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගැනීමට පවා නීතිමය ප්‍රතිපාදන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටින්නේ.

මෙම නීතිය යටතේ මේ වන විටත් මුහුණු ආවරණ නොමැති සහ නිසි ආකාරයෙන් මුහුණු ආවරණ පැළඳ නොසිටි පුද්ගලයෙන් පනස් තුන් දහසකට (53,000) අධික පිරිසක් පසුගිය ඔක්තෝබර් මාසයේ සිට අත්අඩංගුවට ගෙන ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියා.

මෙම නවතම තත්ත්වය සම්බන්ධයෙන් දිවයිනේ සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර ඒ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙසටත්, අවශ්‍ය නියෝග නිකුත් කර ඇති බවටයි වාර්තා වන්නේ.

මේ අනුව මුහුණු ආවරණ නොමැති සහ නිසි ආකාරයෙන් මුහුණු ආවරණ පැළඳ නොසිටින පුද්ගලයින් අරඹයා අද (14) සිට නීතිය දැඩිව ක්‍රියාත්මක වනු ඇති ෴

++++++++++++++++++++

(14.08.2021 – 08:38 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා මරණ 155 ක් ඊයේ (13) වාර්තා වීමත් සමග මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 5,775 දක්වා ඉහළ ගියා. එමෙන්ම සියය (100) ඉක්මවා කොරෝනා මරණ වාර්තා වුයේ අඛණ්ඩව 5 වන දිනටයි. මේ අතර තවත් නව ආසාදිතයින් 3,142 දෙනෙකු ද ඊයේ (13) වාර්තා වුණා. ඉන් දස දෙනෙකු (10) විදේශයන්හි සිට පැමිණි අයයි.

ඊයේ (13) වාර්තා වූ කොරෝනා මරණවලින් 111 ක්ම වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ වයස අවුරුදු 30 ත් 59 ත් අතර වයස් කාණ්ඩයට අයත් පුද්ගලයන් 41 දෙනෙකු ද ඊයේ (13) වාර්තා වූ මරණ අතර වන බවයි.

තවත් ආසාදිතයින් 3,142 දෙදෙනෙකු ඊයේ (13) වාර්තා වූ අතර ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 348,270 ක් ලෙසට යි. එසේම කොරෝනා ආසාදිතයින් 2,173 දෙනෙකු ඊයේ (13) සුවය ලබා රෝහල්වලින් පිටව ගිය අතර ඒ අනුව සුවය ලැබූ මුළු සංඛ්‍යාව දැක්වෙන්නේ 304,628 ක් ලෙසටයි.

මේ අතර බස්නාහිර පළාතේ වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින්ගෙන් කොළඹ දිස්ත්‍රික්කයේ 51% ක්, ගම්පහ 48% ක් හා කලුතර දිස්ත්‍රික්කයේ 55% ක් මේ වන විට කොරෝනා එන්නත් මාත්‍රා දෙකම (2) ලබා දී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා කියා සිටියේ හතිය පවතින රෝගීන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමුවීම වැදගත් වන බවයි. ඔක්සිමීටර භාවිතය පිළිබඳව ද ඔහු පැහැදිලි කිරීමක් කළා.

මේ අතර කොරෝනා ආසාදිතයන් වාර්තා වීම හේතුවෙන් නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලය අනිද්දා (16) සිට නැවත දැනුම් දෙනතුරු වසා දමා තිබෙනවා ෴

+++++++++++++++++++

(14.08.2021 – 09:35 +0530 – hirunews.lk/sinhala)

ගල්කිස්ස කොට්ඨාස බුද්ධි ඒකකයට ලැබුණු තොරතුරක් අනුව සෞඛ්‍ය අමාත්‍යංශයේ විමර්ශන කණ්ඩායම් ද සමඟ ඊයේ (13) සවස ලුනාව රෝහලේ සිදුකළ හදිසි පරීක්ෂාවක දී කෝවිඩ්-19 මර්දනය කිරීම සඳහා යොදා ගන්නා සයිනොෆාර්ම් එන්නත් මාත්‍රාවක් රුපියල් 2000 බැගින් වූ මුදලකට අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

පනස් හැවිරිදි (50) අදාල පුද්ගලයා ලුනාව රෝහලේ සේවය කරන සුළු සේවකයෙකු බවටයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා එන්නත් කාඩ්පත් සැකසීම සඳහා යම් යම් පුද්ගලයින් ගෙන් මුදල් ලබා ගෙන ඇති බවට තොරතුරු හෙළි වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු මොරටුව පොලිසිය වෙත භාර දුන් අතර ඔහු අද මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලිසිය හා එක් ව ගල්කිස්ස කොට්ඨාස බුද්ධි ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇති ෴

+++++++++++++++++++++

(14.08.2021 – 10:12 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොලීසිය සහ කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ ඒකාබද්ධව සිදු කරනු ලබන කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩ වැඩසටහන් දෙකක් (2) අදත් (14) කොළඹ නගරයේ ස්ථාන දෙකක (2) ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

අද (14) උදෑසන 08:00 සිට සවස 05:00 දක්වා ක්‍රියාත්මක වන මෙම මධ්‍යස්ථානවලදී මෙතෙක් කිසිදු කොවිඩ් මර්දන එන්නතක් ලබා නොගත් වයස අවුරුදු 30 ට වැඩි කොළඹ නගරයේ ජීවත්වන ඕනෑම කෙනෙකුට එන්නත්කරණය සිදු කරණ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

මෙම එන්නත් කරන කඳවුරු කොටහේන ශාන්ත ලුසියා දෙව් මැදුර පරිශ්‍රයේදී සහ මෝදර බොන්ස්ටාර් ක්‍රීඩාංගණයේදී අද (14) දිනය පුරා ක්‍රියා ක්‍රියාත්මක වනවා.

ලබන සැප්තැම්බර් මස 15 වැනිදා සිට මහජනයා ගැවසෙන පොදු ස්ථානවලට පැමිණෙන වයස අවුරුදු 30 ට වැඩි සෑම පුද්ගලයෙකුම එන්නත් කරන මාත්‍රා දෙකම (2) ලබාගෙන සිටිය යුතු බවට රජය විසින් ඊයේ (13) නිවේදනය කරනු ලැබුවා.

මෙලෙස පොදු ස්ථානවලට පැමිණෙන වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් ආරක්ෂක අංශවල පරීක්ෂාවට ලක්වන අතර හිදී එන්නත් මාත්‍රා දෙකම (2) ලබා නොගත් පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනෙනු ඇති ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *