කොරෝනා වසංගත ව්‍යාප්තියේ දත්ත වෙනස් කිරීමක් සිදු වෙමින් පවතිනවා – ජානිපෙ මාධ්‍යය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්

කොරෝනා වසංගත ව්‍යාප්තියේ දත්ත වෙනස් කිරීමක් සිදු වෙමින් පවතිනවා – ජානිපෙ මාධ්‍යය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්

*********************************************

කොරෝනා වසංගත ව්‍යාප්තියේ දත්ත වෙනස් කිරීමක් සිදු වෙමින් පවතිනවා – ජානිපෙ මාධ්‍යය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්

(13.08.2021 – 12:23 +0530 – lankaleadnews.com)

ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍යය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා ජාතික නිදහස් පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍යය සාකච්ඡාවකදී පවසා සිටියේ කොරෝනා වසංගත ව්‍යාප්තියේ දත්ත වෙනස් කිරීමක් සිදු වෙමින් ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ හමුදාවේ ඉහළ නිලධාරියෙක් හා වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකු (2) මේ කටයුත්තට සම්බන්ධ වී ඇති බව පවසන මුසම්ම්මිල් මහතා යුද හමුදාපතිවරයාට අවශ්‍ය නම් මෙම පුද්ගලයන් සොයාගත හැකි බවත්ය.

(13.08.2021 – 17:27 +0530 – hirunews.lk/sinhala)

රට තුළ ශීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් -19 වසංගත ව්‍යාප්තියේ දත්ත වෙනස් කිරීමක් සිදු වන බවට ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා චෝදනා කරනවා.

ඔහු පවසන්නේ මෙම ක්‍රියාවලිය සඳහා යුද හමුදාවේ ඉහළ නිලධාරීයෙකු සහ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකු (2) සම්බන්ධ බවයි.

යුද හමුදාපතිට අවශ්‍ය නම් මෙම පුද්ගලයන් සොයාගත හැකි බවත් අවශ්‍ය නම් ඒ සඳහා සහයෝගය දිය හැකි බවත් මන්ත්‍රීවරයා කියා සිටියේ අද (13) පැවැති මාධ්‍ය හමුවකදීයි.

“මා ළඟ තියෙනවා වාර්තාවක්. මේකට අනුව 11 වැනිදා කළ සමස්ත පි.සී.ආර්. පරීක්ෂණවලින් 4175 ක් පොසිටිව් වෙලා තියෙනවා. රැපිඩ් ඇන්ඩිජන් පරික්ෂණවලින් 1239 ක් පොසිටිව් වෙලා තියෙනවා. ඉතිං මේ තොරතුරු එකතු කළාම 11 වැනිදා විතරක් 5414 ක් පොසිටිව් වෙලා. එතකොට මේකෙන් හරි පැහැදිලියි මේ දත්ත වෙනස් කිරීමේ යම් කිසි උත්සාහයක් වැඩ පිළිවෙලක් යම් කණ්ඩායමක් විසින් කර ගෙන යනවා කියලා. මේ ‘සිටුවේෂන් රිපෝට්’ හදන්නේ සීමිත පිරිසක්. ඒ වගේම මේ ලැබ් වලින් එන රිපෝට් යන්නෙත් බොහෝ ම සීමිත පිරිසක් අතරට. නමුත් මේ සිටුවේෂන් රිපෝට් ලැබ් රිපෝට් අරගෙන බැලුවොත් තේරෙයි අපි මේ ඉදිරිපත් කරන ගණන් හරි ගණන් ද කියලා. එතොකොට කවුද මේ වැරදි තොරතුරු දෙන්නේ. මොකද්ද ඒ අයගේ පරමාර්ථය. අපි දන්නවා වසංගත රෝග විද්‍යා අංශයේ ඉහළම විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙකුත් (2) මේ තොරතුරු වෙනස් කිරීමේ ක්‍රියාවට සම්බන්ධයි කියලා.

ඒ වගේම ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉහළම නිලධාරීයෙකුත් එකතු වෙලා තමයි මේ තොරතුරු වෙනස් කිරීම කරන්නේ. අපි යුධ හමුදාපතිතුමාටත් කියනවා ඕනේ නම් කවුද මේ ඉහළ නිලධාරීයා කියලා හොයලා බලන්න පුළුවන්. මොවුන්ගේ පරමාර්ථය තමයි නිසි දත්ත මත කොරෝනා මර්දන ව්‍යාපාරය ඉදිරියට යාම අකර්මණ්‍ය කිරීම. ඒ අනුව මේ තුන්කට්ටුව එක් පැත්තකින් ජනාධිපතිතුමා නොමඟ යනවා. අනෙක් පැත්තෙන් කොරෝනා මර්දන වැඩපිළිවෙල කඩාකප්පල් කරනවා. කවුරු වුවත් මේ කරන්නේ විපක්ෂයේ අවශ්‍යතාව ඉටු කිරීමක්.” මන්ත්‍රීවරයා මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කියා සිටියා ෴

+++++++++++++++++++

(13.08.2021 – 18:31 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 2382 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 347,500 ක් ලෙසටයි.

මේ අතර පසුගිය සතියට සාපේක්ෂව කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම සියයට 30 කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.

එම සංගමය පවසන්නේ පසුගිය සතියට සාපේක්ෂව කොවිඩ් මරණ වාර්තා වීම ද සියයට 48 කින් ඉහළ ගොස් ඇති බවයි.

කොරෝනා ආසාදනය වූ පුද්ගලයින් 2,173 දෙනෙකු අද පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගියා.

ඒ සමග සුවය ලැබූ සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 304,628 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.

මේ අතර පෙරේදා දින ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා නිකුත් කළ දෛනික වාර්තාවෙන් කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,827 ක් වු අතර කොළඹ වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාවේ ගම්පහ දිස්ත්‍රික් කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 35 ක් ලෙසට සටහන් වි තිබුණා.

එමෙන්ම පසුගිය 10 වනදා ගම්පහෙන් කොරෝනා ආසාදිතයන් 2,000 ක් වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා, සිය දෛනික වාර්තාවෙන් ප්‍රකාශ කළ ද, වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ වාර්තාවේ ගම්පහ ආසාදිතයන් සංඛ්‍යාව 402 ක් ලෙස සටහන් වී තිබුණා.

මේ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ දෛනිකව වාර්තා වන අසාදිතයින් සංඛ්‍යාව කොළඹ වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාවේ සටහන් නොවිම සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය නලීන් ආරියරත්න මහතාගෙන් අප විමසිමක් කළා.

එහිදි ඔහු කියා සිටියේ තමන්ට ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු කළ නොහැකි බැවින් වසංගත රෝග විද්‍යා අංශය මගින් අදාළ තොරතුරු ලබා ගන්නා ලෙසයි.

මේ අතර, තමාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ප්‍රකාශ කළා. සිය කාර්ය මණ්ඩලයේ සහ කාර්යාලයේ කිහිපදෙනෙකු ද කොරෝනා ආසාදිතව සිටින බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම හිටපු අමාත්‍ය මංගල සමරවිරට ද කොරෝනා වෛරසය ආසාදනය වි තිබෙනවා.

මේ පසුගිය සතියට සාපේක්ෂව කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා අද (13) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවා.

මේ අතර, කළුබෝවිල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ප්‍රකාශ කළේ දින කිහිපයක සිට වයෝවෘද්ධ මව්පියවරුන් කිහිපදෙනෙකු කලුබෝවිල ශික්ෂණ රෝහලේ බංකු මත තබා පිටව ගිය පිරිස් පිළිබඳ තොරතුරු වාර්තා වන බවයි.

මේ අතර රටේ වත්මන් තත්ත්වය අනුව නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලය නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා දමා තිබෙනවා.

එසේම, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා සියලු පළාත් කාර්යාලය ද ලබන සඳුදා (16) සිට නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට තීරණය කෙරුණා.

ලබන සඳුදා (16) කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට නියමිත බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. ඒ පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි.

බස්නාහිර පළාතේ වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයන්ගෙන්, කොළඹ දිස්ත්‍රික්කයේ 51% ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ 48% ක් සහ කලුතර දිස්ත්‍රික්කයේ 55% ක් කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම (2) ලබාගෙන ඇතැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා ෴

++++++++++++++++++++

(13.08.2021 – 19:14 +0530 – hirunews.lk/sinhala)

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අද ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.

ඒ කොරෝනා පාලන වගකීම, කොරෝනා පළමු රැල්ල පාලනයේදී සෞඛ්‍ය අංශවල ප්‍රධානත්වය දැරූ වෛද්‍යවරුන්ට ලබා දෙන ලෙස ඉල්ලමින්.

@@@ කොවිඩ් නොවන පුවත් @@@

(13.08.2021 – 18:17 +0530 – hirunews.lk/sinhala)

වැඩි මිලට විකිණීමේ අරමුණින් වී තොග රැස්කරන අතරමැදි ජාවාරම්කරුවන්ගේ වී තොග රජයට පවරා ගන්නා බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

යල කන්නයේ වී මිලදී ගැනීම වී අලෙවි මණ්ඩලය විසින් දැනට ආරම්භ කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

වී අලෙවි මණ්ඩලය සහ වී මෝල් හිමියන් හැර පසුකාලීනව වැඩි මිලට අලෙවි කර අයතු ලාභ ලැබීමේ අරමුණින් ජාවාරම්කරුවන් වී හෝ සහල් තොග රැස් කිරීමට වැළැක්වීමට හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්වල වී අස්වැන්න මේවන විට ලැබෙමින් පවතින අතර වී අලෙවි මණ්ඩලය එම ප්‍රදේශවල වී මිලදී ගැනීම ආරම්භ කර ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

නාඩු වී කිලෝවක් සඳහා මණ්ඩලය රුපියල් 50 ක මිලක් ගෙවන අතර සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 52 ක් ගෙවනු ලබනවා.

රජය සහ පෞද්ගලික අංශය රට පුරා තරගකාරී ලෙස සහතික මිලකට වී මිලදී ගැනීම සිදුකරන බැවින් ගොවි ජනතාවට වී අලෙවි කිරීමේදී කිසිදු ගැටලුවක් ඇති නොවන බව වෙළඳ අමාත්‍යවරයා සඳහන් කළා.

මෝල් හිමියන්ට හැර අතරමැදියන්ට සහල් තොග රැස් කර තබා ගැනීම තහනම් බවට ගැසට් නිවේදනයක් ද නිකුත්කර ඇති අතර ජාවාරම් පිටුදැකීම වෙනුවෙන් පාරිභෝගික ආරක්ෂණ පනතට සංශෝධන එක්කර තිබෙනවා.

එමෙන්ම තොග රැස්කර තබා ගැනීම සඳහාම වී මෝල් මිලට ගෙන අලුතින් ලියාපදිංචි කර ගැනීමට ඇතැම් පිරිස් උත්සාහ කරන බැවින් වී මෝල් අලුතින් ලියාපදිංචිය ද තහනම් කර තිබෙනවා.

ගොවි ජනතාවට උපරිම මිලක් ලැබෙන අතර පාරිභෝගික ජනතාව උදෙසා සාධාරණ මිලක් සහතික කෙරෙන වැඩපිළිවෙලක් රජය සැළසුම් කර ඇති බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියාසිටියේ.

මේ අතර ජනතාව පරිභෝජනය කරන සහල් කිලෝවක මිල රුපියල් සියයකට (100) වැඩියෙන් අලෙවි කිරීමට ඉඩ නොතබන බව ද අමාත්‍යවරයා අවධාරණය කළා.

වැඩි මිලට සහල් අලෙවි කිරීමේ වරදට නියම කළ හැකි දඩ මුදල රුපියල් 2500 සිට රුපියල් ලක්ෂය (100,000) දක්වා වැඩි කර ඇති අතර එකම වරද දෙවරක් සිදු කළහොත් දඩය රුපියල් ලක්ෂ දෙකක් (200,000).

සමාගම් සඳහා රුපියල් කෝටියක (10,000,000) දඩයක් ද පැනවෙන බවයි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියාසිටියේ ෴

******************************************

(13.08.2021 – 19:11 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටියදී මියගිය හිෂාලිනී ජූඩ් දැරියගේ දේහය අද (13) පස්වරුවේ යලි භූමදානය කිරීම සඳහා ඩයගම ඇගේ උපන් ගම වෙත රැගෙන ගොස් තිබෙනවා.

ඒ දේහය ඇගේ මව්පියන් වෙත යළි භාරදීමෙන් අනතුරුවයි.

එය පසුගියදා ගොඩගැනුණේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා අධිකරණය දුන් නියෝගය අනුවයි.

දෙවන (2) පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් විශේෂ වෛද්‍ය මණ්ඩලයක් ද පත් කරනු ලැබූවා.

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳව මහාචාර්ය ජීන් පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් එම වෛද්‍ය මණ්ඩලය පසුගියදා පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරනු ලැබු අතර අදාළ පරීක්ෂණ කටයුතු අවසන් වීමෙන් පසුවයි මෙලෙස දැරියගේ දේහය අද (13) යළි භූමදානය කෙරුණේ.

******************************************

(13.08.2021 – 19:23 +0530 – hirunews.lk/sinhala)

ගුරු වැටුප් ගැටලු‍වට සුබෝධනි වාර්තාවෙන් විසදුම් ගත හැකි බව අමාත්‍ය මණ්ඩල අනුකමිටුව හමුවේ ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය පවසනවා.

ගුරු විදුහල්පති වැටුප් ගැටලු‍ව සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව ඊයේ (12) රැස්වූ අවස්ථාවේදී තීරණය කළේ ගුරු විදුහල්පති වෘත්තීය සමිති අද (13) සිට වෙන් වෙන්ව මුණ ගැසී සාකච්ඡා කිරීමටයි.

ඒ අනුව, අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ කොළඹ පිහිටි නිල නිවසේදී අද (13) සාකච්ඡාව පැවැත්වුණේ ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය සමඟයි.

මේ අතර, සිය වැටුප් ගැටලු‍ව සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් අද (13) සිට ක්‍රියාත්මක කළා.

ඒ අනුව ගුරු වෘත්තීය සමිති නියෝජිතයන්, කොමියුනිස්ට් පක්ෂය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් හමුවී තිබෙනවා.

මේ අතර, වැටුප් ගැටලුවට විසදුම් ලබාදීමට කටයුතු කරගෙන යන බැවින් වර්ජනය අවසන් කරන ලෙසට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පිරිස් මහතා ගුරු වෘත්තිය සමිති වලින් යළි ඉල්ලිමක් කරනවා.

******************************************

මෙරට හයවැනි (6) විශාලම ජලාශයේ ඉදිකිරීම් ඇරඹෙයි

(13.08.2021 – 19:38 +0530 – hirunews.lk/sinhala)

දේශීය ඉංජිනේරු තාක්ෂණයෙන් ඉදිවන රජරට විශාලතම ජලාශය හා මෙරට හයවැනි (6) විශාලම ජලාශය වන පහළ මල්වතු ඔය ජලාශයේ ඉදිකිරීම් කටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

මෙරට වැඩිම වී අස්වැන්න ලබා දෙන මන්නාරම ‘සහල් නැළියේ’ අස්වැන්න තෙගුණ කිරීම හා අනුරාධපුරය, මන්නාරම හා වවුනියාව ජනතාවගේ පානීය සහ ගොවිතැන් කටයුතු සඳහා අවශ්‍ය ජලය සැපයීම වෙනුවෙන් මෙම බහුකාර්ය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වනවා.

පසුගිය මාර්තු 31 වැනි දින වාරී මාර්ග අමාත්‍යය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදි කිරීම් කටයුතු ආරම්භ වූ මෙම ජලාශයේ ඉදිකිරීම් කටයුතු රාජ්‍යය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ නිරීක්ෂණයට ලක් වුනා.

පහළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතිය රුපියල් මිලියන 22900 ක දේශීය අරමුදල් ආයෝජනය කරමින් ඉදිවන්නක්.

මේ වන විට මල්වතු ඔය හරහා තන්තිරිමලේ බෝගොඩදී පහළ මල්වතු ඔය ජලාශයේ ප්‍රධාන වේල්ලේ ඉදි කිරීම් කටයුතු සිදු කෙරෙමින් පවතින අතර, රාජ්‍යය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වූයේ එම ඉදිකිරීම් කටයුතුයි.

මෙරට දෙවන (2) විශාලතම ගංගාව වන මල් වතු ඔය හරහා මුහුදට ගලා යන ජලය භාවිත කරමින්, වාරී මාර්ග දෙපාර්තමේන්තුව විසින් අක්කර 10,000 ක වපසරියකින් ඉදිකෙරෙන මෙම ජලාශයේ ධාරිතාව අක්කර අඩි 170,000 ක්.

මේ ජලාශයේ පරිදිය කිලෝමීටර් 91 ක් වන අතර එය මැදවච්චිය, මහවිලච්චිය, මධ්‍යම නුවර ගම්පළාත හා සෙට්ටිකුලම යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල පැතිර යනවා.

මේ ජලාශය ඉදිකිරීම මඟින් ප්‍රදේශයේ පුද්ගලයන් 10,000 කට පමණ නව රැකියා අවස්ථා ද උදා වනවා.

මන්නාරම් දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 13,225 ක වගා තීව්‍රතාවය 1.2 සිට 2 දක්වා ඉහළ නැංවීම, හෙක්ටයාර 1053 වගා ප්‍රදේශ සඳහා යල මහ දෙකන්නයට වාරී පහසුකම් සැපයීම, පානීය ජල සම්පාදනය, ධාරිතාව ගිගාවොට් පැය 468 ක විදුලි බලය නිපදවීම, ජලය මත පාවෙන සූර්ය බල ශක්ති ව්‍යාපෘති හදුන්වාදීම, ගංවතුර පාලනය, සංචාරක ක්ෂ්‍රේත්‍රය දියුණු කිරීම, මිරිදිය ධිවර කර්මාන්ත සංවර්ධනය, වන වගා ඇති කිරීම පහළ මල්වතු ඔය බහුකාර්ය ව්‍යාපෘතිය හරහා ප්‍රතිලාභ ලෙස හිමි වෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *