රට සම්පූර්ණයෙන් වසා දැමීමේ තීරණයක් නැහැ – රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන

රට සම්පූර්ණයෙන් වසා දැමීමේ තීරණයක් නැහැ – රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන

*********************************************

රට සම්පූර්ණයෙන් වසා දැමීමේ තීරණයක් නැහැ – රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන

(13.08.2021 – 14:36 +0530 – hirunews.lk/sinhala)

පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ සම්පූර්ණයෙන්ම රට වසා දැමීමේ තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය ඇතුළු පාර්ශව කිහිපයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

කෙසේවෙතත් ඉදිරියේදී සංචරණ සීමා දැඩි කිරීමක් සිදුවනු ඇතැයි ද ඔහු සඳහන් කළා.

වයස අවුරුදු 60 ට වැඩි සහ බෝ නොවන රෝගවලින් දීර්ඝකාලීනව පීඩා විඳින අය කෙරෙහි විශේෂ අවධානය යොමු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට දැනුම්දී තිබෙනවා.

ගත වූ දින කිහිපය තුළ සිදුව ඇති මරණ පිළිබඳ කළ විමර්ශනයන්ට අනුව ඉන් වැඩි දෙනෙක් බස්නාහිර පළාතට අයත් වන අතර ඉහළ ප්‍රතිශතයක් වයස අවුරුදු 60 ට වැඩි, එන්නත ලබා නොගත් සහ බෝ නොවන රෝගවලින් පෙළෙන අය බවටයි හඳුනාගෙන ඇත්තේ.

එම නිසා වයස අවුරුදු 60 ට වැඩි සහ බෝ නොවන රෝගවලින් දීර්ඝකාලීනව පෙළෙන අය කෙරෙහි අවධානය යොමු කර විශේෂ වැඩපිළිවෙළක් සැකසීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදීයි ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමේ දී 60 ට වැඩි සහ විවිධ ලෙඩ රෝගවලින් පෙළෙන අයට ප්‍රමුඛතාව දිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර තිබෙනවා.

වකුගඩු බද්ධ කිරීමට හෝ රුධිර කාන්දුකරණයට ලක්කර ඇති රෝගීන් හුදකලා (Isolate) කිරීමේ අවශ්‍යතාව ද ඔහු පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට රෝහල් සායනවල ලියාපදිංචි වී ඇති රෝගින්ගේ තොරතුරු ලබා ගෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ විශේෂ අවධානයට යොමු කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

බස්නාහිර පළාතේ වයස අවුරුදු 60 ට වැඩි එහෙත් විවිධ රෝග හේතුවෙන් මෙතෙක් එන්නත ගැනීමට නොපැමිණි පිරිස හඳුනාගෙන ඇති අතර ඔවුන් සියලුදෙනාට ඉදිරි දින කිහිපය තුළ එන්නත ලබාදීමට පියවර ගෙන ඇති බවයි යුද හමුදාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

එක් එන්නතක් ලබා තිබීම, රෝගයෙන් ආරක්ෂාවීමට ප්‍රමාණවත් නොවන බැවින් එන්නත් මාත්‍රා දෙකම (2) ලබාගෙන ප්‍රතිශක්තීකරණ වර්ධන කාලසීමාවට පැමිණෙන තෙක් වගකීමෙන් ක්‍රියා කළ යුතු බව කොවිඩ් කමිටුවේ සාමාජික විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දී තිබෙනවා.

ජනතාව ඒකරාශීවීම් වලක්වා ගැනීම, විශේෂ අවශ්‍යතාවක් සහ රාජකාරී සඳහා කැඳවා නැති සියලු දෙනා නිවෙස්වල රැඳී සිටීම සහ සෞඛ්‍ය උපදෙස් පිළිපඳිමින් රෝගය පැතිර යෑම වැළැක්වීමට සහායවීම ජනතාවගේ යුතුකම හා වගකීම බව ද වෛද්‍යවරු අවධාරණය කළා.

+++++++++++++++++++

(13.08.2021 – 15:17 +0530 – hirunews.lk/sinhala)

ඇමති ප්‍රසන්න රණවීර මහතාට ද කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. අප කළ විමසීමකදී අමාත්‍යවරයා සඳහන් කළේ තමා රෝහල්ගත වීමට සුදානම් වන බවයි. සිය කාර්ය මණ්ඩලයේ සහ කාර්යාලයේ කිහිපදෙනෙකු ද කොරෝනා ආසාදිතව සිටින බවයි ඔහු සඳහන් කළේ. කොවිඩ් වෛරසය ආසාදනය වීම පිළිබඳ අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමේ ද සටහනක් යොදා තිබුණා ෴

+++++++++++++++++

(13.08.2021 – 15:30 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වූ පුද්ගලයින් 2,173 දෙනෙකු අද (13) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ සමග සුවය ලැබූ සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 304,628 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.

මේ අතර, මාලිගාවත්ත වකුගඩු රෝහලෙන් ප්‍රතිකාර ලබන රුධිර කාන්දුපෙරණයට ලක්වන සහ වකුගඩු බද්ධ කළ රෝගීන් හට කොරෝනා එන්නත්වල පළමු (1) මාත්‍රාව මාලිගාවත්තේ පිහිටි වකුගඩු රෝහලට පැමිණ ලබා ගත හැකියි.

සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ හෙට (14) දිනයේදී සහ 21 වනදා සෙනසුරාදා පෙරවරු 8 සිට 10 දක්වා කාලය තුල අදාළ රෝගීන්ට පමණක් පළමු (1) මාත්‍රාව ලබා ගත හැකි බවයි ෴

+++++++++++++++++++++

(13.08.2021 – 16:15 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යාපනය වෙනුවෙන්ම වෙන් වූ රූපවාහිනී නාලිකා 20 ක් ආරම්භ කිරීමේ වැඩසටහනෙහි පළමු පියවර වශයෙන් නව රූපවාහිනී නාලිකා 6 ක් සහ ගුවන්විදුලි නාලිකාවක් එළඹෙන සතියේදී විවෘත කිරීමට බලාපොරොත්තුවන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා.

අද (13) පැවති රැස්වීමකට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඉතිහාසයේ මෙතෙක් කලක් නොපැවති ලෙස පූර්ණ කාලීන, තිරසාර නාලිකා ලෙස මෙම නාලිකා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.

ජාතික අධ්‍යාපන ආයතනයේ මැදිහත් වීමෙන් එම වැඩසටහන්වල පටිගත කිරීම් 7000 කට අධික ප්‍රමාණයක් අවසන් කර ඇතැයි ද ඔහු සඳහන් කළා.

අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාගේ සභාපතීත්වයෙන් යුත් කමිටුව රැස්වීමෙන් අනතුරුව වැඩසටහන පෙළගැස්ම සහ අදාළ විකාශන කටයුතු පිළිබඳ අවසන් තීන්දු තීරණ ගෙන විකාශන කටයුතු ඇරඹීමට පියවර ගන්නා බවයි අධ්‍යාපන අමාත්‍යවරයා කියාසිටියේ.

පාර්ලිමේන්තුවට මේ සම්බන්ධයෙන් පැහැදිළි කර දීම සඳහා ලබන බ්‍රහස්පතින්දා (19) පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදය උපයෝගී කරගන්නා බව ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළා.

සියලු ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල එන්නත්කරණය කිරීමෙන් පසු සැප්තැම්බර් මාසයේ සිට සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව පාසල් ආරම්භ කිරිමට සැලසුම් කර තිබුණ ද පවතින කොවිඩ් අර්බුදය හමුවේ එම සැලසුම ක්‍රියාත්මක කිරීම අවිනිශ්චිත බවයි අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

එබැවින් පවතින හොඳම විකල්පය (online) අධ්‍යාපනය බවට පත්ව ඇති අතර අධ්‍යාපන නාලිකා විකාශනය කිරීම සම්බන්ධ සියලු තීන්දු තීරණ ද ඉතා ඉක්මනින් ලබාගත යුතු බවයි ඔහු සඳහන් කළේ ෴

+++++++++++++++++++++

(13.08.2021 – 16:28 +0530 – hirunews.lk/sinhala)

පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ සියලුම මහජන සේවාවන් නැවත දැනුම්දෙන තෙක් අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනෙකු කොරෝනා වෛරසයට ගොදුරුවීම සහ ආශ්‍රිතයන් වීම හේතුවෙන්.

මෙම තත්වය හමුවේ අභ්‍යන්තර කාර්ය මණ්ඩලය සීමා කිරීමට සිදුව ඇති බැවින් ලබන සඳුදා (16) සිට ප්‍රධාන කාර්යාලය සහ සියලු පළාත් කාර්යාල නැවත දැනුම්දෙන තෙක් මහජනතාව සඳහා විවෘත නොකිරීමට තීරණය කර තිබෙනවා.

කෙසේවෙතත් ඉදිරි දිනවල ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා දින හෝ වේලාවන් වෙන්කර ගත් සියලුම ඉල්ලුම්කරුවන් සඳහා අදාළ හැඳුනුම්පත් එදිනම හෝ ඊට පෙර සකස් කර තැපැල් මගින් ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන් වෙත කඩිනමින් යොමු කරනු ඇති.

මේ දක්වා ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා දෙපාර්තමේන්තුව වෙත ඉල්ලුම්පත් යොමු කළ ඉල්ලුම්කරුවන් සඳහා ද ජාතික හැඳුනුම්පත් කඩිනමින් සකස් කර තැපැල් මගින් යොමු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

එමෙන්ම විභාග කටයුතු, සම්මුඛ පරීක්ෂණ කටයුතු, විදෙස් ගමන් බලපත් ලබාගැනීම වැනි හදිසි හා අත්‍යවශ්‍ය කටයුතු සඳහා ජාතික හැඳුනුම්පත කඩිනමින් ලබා ගැනීමට අවශ්‍ය ඉල්ලුම්කරුවන්ට තම හදිසි අවශ්‍යතාව රජයේ වැඩකරන දිනවල රාජකාරී වේලාවන් තුල ලබාදී ඇති දුරකථන අංක ඔස්සේ දෙපාර්තමේන්තුවට දැනුම්දිය හැකි අතර එම ඉල්ලුම්කරුවන් සඳහා ද කඩිනමින් හැඳුනුම්පත් නිකුත් කිරීමට විශේෂ වැඩපිළිවෙලක් යොදා තිබෙනවා.

මීට අමතරව ජාතික හඳුනුම්පත් සම්බන්ධයෙන් මහජනතාව වෙත ලබාදෙන අනෙක් සේවාවන් පිළිබඳ වැඩිදුර විමසීම් ලබාදී ඇති දුරකථන අංක ඔස්සේ සහ info@drp.lk යන විද්‍යුත් ලිපිනය හරහා ද ලබාගත හැකියි.

ප්‍රධාන කාර්යාලය – 011 522 6126 / 011 522 6100
දකුණු පළාත් කාර්යාලය – 091 222 8348
වයඹ පළාත් කාර්යාලය – 037 222 4337
නැගෙනහිර පළාත් කාර්යාලය – 065 222 9449
උතුරු පළාත් කාර්යාලය – 024 222 7201

++++++++++++++++++

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට පළාත් සංචරණයට දැඩි සීමා – පොදු ප්‍රවාහනයත් නවතී

(13.08.2021 – 16:45 +0530 – hirunews.lk/sinhala)

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර පොදු ප්‍රවාහනය මුළුමනින්ම නතර කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ සැප්තැම්බර් 15 වැනිදායින් පසු මහජනතාවට එන්නත්කරණ කාඩ්පත නොමැතිව පොදු ස්ථානවලට ඇතුළු වීම සම්පූර්ණයෙන්ම තහනම් වන බවයි.

මීට අමතරව, දැනට ක්‍රියාත්මක වන සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉතා දැඩිව ක්‍රියාත්මක කරන බව යුද හමුදාපතිවරයා අවධාරණය කළා.

පළාත් අතර ගමන් කිරීමට අවසර හිමියන්නේ සෞඛ්‍ය, වරාය, ගුවන්තොටුපල ඇතුලු අත්‍යවශ්‍ය සේවාවල සහ කෘෂි කර්මාන්ත සේවාවන්වල නිරතවන මෙන්ම ආයෝජන මණ්ඩලය විසින් අනුමත ඇඟලුම් කම්හල්වල රැකියාවල නිරත පිරිස්වලට පමණයි.

රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ දෙකෙහිම කාර්ය මණ්ඩලය සේවයට කැඳවීමේදී අවශ්‍යතාව අනුව අදාළ පළාතෙන් පිට පදිංචි සේවකයන් කැඳවීමේ බලය ආයතන ප්‍රධානියාට පැවරෙනවා.

පෞද්ගලික ව්‍යාපාරික ආයතනවල කාර්ය මණ්ඩලය සේවයට කැඳවිය යුත්තේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව සේවා ස්ථානයේ ඉඩ ප්‍රමාණය ද සැලකිල්ලට ගනිමින්.

කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම (2) ලබාගත් බවට සහතිකයක් නොමැතිව පොදු ස්ථානවලට පිවිසීමට සැප්තැම්බර් මස 15 වනදාට පසු කිසිවෙකුටත් අවසර නොලැබෙන බවයි හමුදාපතිවරයා අවධාරණය කළේ.

මේ අතර පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ සම්පූර්ණයෙන්ම රට වසා දැමීමේ තීරණයක් ගෙන නොමැති බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ.

ඔහු මේ බව සඳහන් කළේ කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය ඇතුළු පාර්ශව කිහිපයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

කෙසේවෙතත් ඉදිරියේදී සංචරණ සීමා දැඩි කිරීමක් සිදුවනු ඇතැයි ද ඔහු සඳහන් කළා.

මේ අතර, වයස අවුරුදු 60 ට වැඩි සහ බෝ නොවන රෝගවලින් දීර්ඝ කාලීනව පීඩා විඳින අය කෙරෙහි විශේෂ අවධානය යොමු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරින්ට දැනුම්දී තිබෙනවා.

ඒ කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදීයි.

ගත වූ දින කිහිපය තුල සිදුව ඇති මරණ පිළිබඳ කළ විමර්ශනයන්ට අනුව ඉන් වැඩි දෙනෙකු බස්නාහිර පළාතට අයත් වන අතර, ඔවුන්ගෙන් ඉහළ ප්‍රතිශතයක් අවුරුදු 60 ට වැඩි, එන්නත් ලබා නොගත් හා බෝ නොවන රෝග වලින් පෙලෙන අය බව හඳුනාගෙන තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ එම නිසා වයස අවුරුදු 60 ට වැඩි සහ බෝ නොවන රෝග වලින් දීර්ඝ කාලීනව පෙලෙන අය කෙරෙහි අවධානය යොමුකර විශේෂ වැඩපිළිවෙලක් සැකසීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළ බවයි.

ජනතා ඒකරාශිවීම් වළක්වා ගැනීම, විශේෂ අවශ්‍යතාවක් හා රාජකාරි සඳහා කැඳවා නැති සියලුදෙනා නිවෙස්වල රැදී සිටීම මෙන්ම, සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් රෝගය පැතිර යාම වැළැක්වීමට සහය වීම ජනතාවගේ යුතුකම හා වගකීම බව වෛද්‍යවරුන් මෙහිදී අවධාරණය කර තිබෙනවා.

@@@ කොවිඩ් නොවන පුවත් @@@

(13.08.2021 – 14:54 +0530 – hirunews.lk/sinhala)

ගෝලීය උණුසුම වළක්වා ගැනීමේ වැඩපිළිවෙලට දායක වීම සඳහා ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් සඳහා අවශ්‍ය සහය තම රජය මගින් ලබාදීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති සන්තුෂ් වූන්ජින් ජියොන්ග් පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (13) පෙරවරුවේ මුණ ගැසෙමින්.

දේශගුණ විපර්යාස වළක්වා ගැනීම සඳහා කොරියානු රජය විසින් මේ වසරේ ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට යෝජිත සමුළුවට සහභාගි වීම සඳහා පරිසර අමාත්‍යවරයා වෙත මෙහිදී ඇරයුමක්ද සිදුකර තිබෙනවා.

ගෝලීය දේශගුණ විපර්යාස වළක්වා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිර්දේශ කරන ලද වැඩපිළිවෙල අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති පිළිබඳව මෙහිදී අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිවරයා වෙත පැහැදිලි කළ බවයි පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ ෴

******************************************

(13.08.2021 – 15:05 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් සාධාරණය ඉටුවී නොමැති බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ මීට වසර දෙකකට (2) පෙර පාස්කු ඉරිදා වේ සිදු වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයාගෙන් සිදු කළ ඉල්ලීමට පවා යහපත් ප්‍රතිචාරයක් නොලැබුණ බවයි.

එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ පාස්කු ප්‍රහාරය සිදු වූ සමයේ පැවති රජය සහ පාස්කු ප්‍රහාරය දඩමීමා කරගෙන බලයට පැමිණි රජයත් එය සිදු කළ උන් සොයා නීතිය ඉදිරියට පමුණුවා ඔවුන්ට දඬුවම් කිරීමට උත්සුක නොවන බවටයි.

ඔවුන් සෑම විටම මෙම තත්ත්වය ප්‍රයෝජනයට ගෙන ඒ හරහා බාල දේශපාලනයක යෙදෙන බව කාදිනල් හිමිපාණන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත්.

දිගින් දිගටම බලධාරීන් වෙතින් සිදු කෙරෙන මෙම මගහැරීම් වලට විරෝධය දැක්වීමක් ලෙස ලබන විසි එක් වනදා සෙනසුරාදා (21) සියලු කතෝලික, ක්‍රිස්තියානි දේවස්ථානවල සහ නිවෙස් වල කළු කොඩි ඔසවා විරෝධතාවක් දියත් කරන බව මෙම ලිපියේ වැඩිදුරටත් සඳහන්.

කාදිනල් හිමිපාණන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ පවතින කොවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන් විරෝධතා ව්‍යාපාර උද්ඝෝෂණ ආදිය සිදු කිරීමට බාධා පැමිණෙන හෙයින් මෙම ක්‍රියා මාර්ගය කෙරෙහි යොමු වූ බවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණය ඉල්ලන සියලු දෙනා හට ජාති ආගම් භේදයෙන් තොරව මෙම විරෝධතා ව්‍යාපාරයට එක්විය හැකි බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන්. කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *