*********************************************
තවත් කොරෝනා එන්නත් 3,60,000 ක් ඊයේ (11) දිනයේ ලබාදෙයි
(12.08.2021 – 11:31 +0530 – hirunews.lk/sinhala)
ඊයේ (11) දිනයේ දී මෙරට කොරෝනා එන්නත්කරණ වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා 3,60,693 ක් ලබා දී තිබෙනවා.
එහි දී සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව 81,000 කට ලබා දී ඇති අතර, එහි දෙවන (2) මාත්‍රාව ලබා දුන් සංඛ්‍යාව 2,28,790 ක්.
ඊට අමතර ව, කොවිෂීල්ඩ් එන්නතේ පළමු (1) මාත්‍රාව ඊයේ (11) දිනයේ දී 39,361 කට ලබා දී තිබෙනවා.
ඒ අනුව, මේ දක්වා කෙවිෂීල්ඩ් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබා දී ඇති සංඛ්‍යාව 12,22,043 ක්.
එහි දෙවන (2) මාත්‍රාව 8,68,058 දෙනෙකුට ලබා දී තිබෙනවා.
සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව 91,40,644 කට ලබා දී ඇති අතර, එහි දෙවන මාත්‍රාව ලබා දී ඇති සංඛ්‍යාව 28,84,051 ක්.
ස්පුට්නික් එන්නතේ පලමු මාත්‍රාව 1,59,081 කට ලබා දී ඇති අතර, ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් සංඛ්‍යාව 2,51,846 ක්.
එමෙන් ම, මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව ද 7,61,136 දෙනෙකුට ලබා දී තිබෙනවා.
මේ අතර, ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව, ශ්‍රි ලංකා පොලිසිය සහ කොළඹ මහනගර සභාව මඟින් කොළඹ නගරයේ සහ අනෙකුත් දිස්ත්‍රික්කවල සංවිධාන කරන කොරෝනා එන්නත්කරණ වැඩසටහන් අදත් (12) ක්‍රියාත්මකයි.
+++++++++++++++++++++++
අද (12) දිනයේත් ස්ථාන කිහිපයකම එන්නත්කරණ වැඩසටහන්
(12.08.2021 – 10:59 +0530 – hirunews.lk/sinhala)
කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (12) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන ක්‍රියාත්මක වනවා.
සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇති.
++++++++++++++++++++++
(12.08.2021 – 11:09 +0530 – hirunews.lk/sinhala)
පූර්ණ එන්නත් ලැබූ ශ්‍රී ලාංකිකයින්ට (ද්විත්ව පුරවැසියන් ඇතුළු ව) මෙරටට පැමිණීමට විදේශ අමාත්‍යාංශයේ හෝ සිවිල් ගුවන් සේවා අධිකාරියේ පූර්ව අනුමැතිය අනවශ්‍ය යි.
පැමිණීමේ දී කොරෝනා පරීක්ෂණය සිදු කෙරේ ෴
++++++++++++++++++++++
(12.08.2021 – 12:44 +0530 – hirunews.lk/sinhala)
මෙරට ඔක්සිජන් අවශ්‍යතාව උපරිම මට්ටමට ළඟා වීම හේතුවෙන් ඔක්සිජන් ආනයනය කිරීමට ද මේ වනවිට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.
කොළඹ අද (12) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
දිනෙන් දින මෙරට වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ ආසාදිතයින් නිවෙස්වල රැඳීමට තීරණය කෙරුණා.
(12.08.2021 – 13:10 +0530 – hirunews.lk/sinhala)
කොරෝනා මර්දනය සඳහා පළාත් අතර පනවා ඇති සංචරණ සිමා උල්ලංඝණය කරන්නන් සොයා අද (12) සිට දිවයින පුරා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, පළාත් මායිම් සීමා සහ එහි අතුරු මාර්ගවල මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙන බවයි.
මේ අතර, ඊයේ (11) දිනයේ දී හඳුනාගත් නව ආසාදිතයින් 2987 අතරින් වැඩි ම පිරිස වන 468 ක් වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රිකයෙන්. කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 310 ක් වාර්තා වී තිබෙනවා.
කෙසේ වෙතත්, ආන්දොලනයකට ලක් වී ඇති ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 35 ක් ඊයේ (11) වාර්තා වීම විශේෂත්වයක්.
ගම්පහ දිස්ත්‍රික්කයේ සහ නැගනෙනහිර පළාතේ ආසාදිතයින් වාර්තා කිරිමේ දී ඇති වූ දෝෂයන් කඩිනමින් නිවැරදි කරන බව යි. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද (12) කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී කියා සිටියේ.
මේ අතර, විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයන්ට අදාළ නිරෝධායන නීති ඇතුළත් මාර්ගෝපදේශවල සංශෝධන කිහිපයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති එම සංශෝධනවලට අනුව, පූර්ණ එන්නත්කරණය ලබා ඉන්දියාවේ සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්, ද්විත්ව පුරවැසියන් සහ ඔවුන්ගේ විදේශීය සහකරුවන්, සහකාරියන් සහ ළමයින් තවදුරටත් විදේශ අමාත්‍යාංශයෙන් හෝ සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් පූර්ව අවසර ලබාගැනීම අවශ්‍ය වන්නේ නැහැ.
කෙසේ නමුත්, ඔවුන් දිවයිනට පැමිණි පසු රජය මඟින් ක්‍රියාත්මක නිරෝධායන මධ්‍යස්ථානයක දී කොරෝනා පරීක්ෂණයකට භාජනය කර ආසාදිතයන් නො වන බව තහවුරු කළ යුතු වනවා.
ඉන් පසු ඔවුන්ගේ නිවහනක් ඇත්නම් නිරෝධායන මධ්‍යස්ථානයෙන් මුදා හරින අතර, දින 10 ක දී තවත් කොරෝනා පරීක්ෂණයකට ලක් කිරීමට නියමිත යි.
මේ අතර, සියලු ම විදේශිකයන් සහ විදේශ ගමන් බලපත්‍ර දරන ද්විත්ව පුරවැසියන් පසුගිය දින 14 තුළ ඉන්දියාවේ ගත කර දිවයිනට පැමිණෙන්නේ නම්, ඔවුන් විදේශ අමාත්‍යාංශයෙන් සහ සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් අනුමැතිය ලබාගත යුතු යි.
නව සංශෝධනයට අනුව ඉන්දියාව හෝ සංචාර සීමාවන් ක්‍රියාත්මක රටකින් හැර වෙනත් රටකින් පැමිණෙන පූර්ණ එන්නත්කරණය ලැබූ සංචාරකයන් දිවයිනට පැමිණ පළමු (1) දිනයේ කොරෝනා පරීක්ෂණයෙන් ආසාදිතයෙකු නො වන බව තහවුරු වේ නම්, නිරෝධායනයෙන් නිදහස් කෙරෙනු ඇති.
ඔවුන් දින 7 කින් කොරෝනා පරීක්ෂාවට ලක් කිරීම අවශ්‍ය නො වන බව ද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නව සංශෝධනවලට ඇතුළත්.
මේ අතර, ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව, ශ්‍රි ලංකා පොලීසිය සහ කොළඹ මහනගර සභාව මගින් කොළඹ නගරයේ සහ අනෙකුත් දිස්ත්‍රික්කවල සංවිධාන කරන කොරෝනා එන්නත්කරණ වැඩසටහන් අදත් (12) ක්‍රියාත්මක යි.
එසේ ම, ශ්‍රි ලංකා පොලිසිය මඟින් සිදු කරන ලබන එන්නත්කරණ වැඩසටහනක් අද (12) මෝදර මිහිජය සෙවණ ප්‍රජා ශාලාවේ දී පැවැත්වෙනවා.
අද (12) පෙරවරු 9 ට ආරම්භ වූ එම වැඩසටහන පස්වරු 5 දක්වා ක්‍රියාත්මක යි.
ඒ අනුව කිසිදු එන්නතක් ලබා නො ගත් අවුරුදු 30 ට වැඩි කොළඹ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින්ට එම ස්ථානයට පැමිණ එන්නත් ලබා ගත හැකි වනවා.
එන්නත්කරණයට ලක් වුව ද, වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතු බව යි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
එසේ ම, කොරෝනා රෝගය වැළඳී මිය ගිය අයගේ මෘතදේහ ප්‍රමාදයකින් තොර ව ආදාහනය කිරිමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස පළාත් පාලන ආයතන ප්‍රධානින්ට උපදෙස් ලබා දෙන ලෙස, පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී තිබෙනවා.
මේ අතර රිදීගම සෆාරි උද්‍යානයේ කොටියෙකුට කොරෝනා රෝග ලක්ෂණ මතු වී තිබෙනවා.
වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ එම කොටියා මේ වන විට කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවයි.
එමෙන් ම, පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන් ලබන 15 වනදා පැවැත්වීමට නියමිත මඩු මංගල්‍යය ජන සහභාගිත්වයකින් තොර ව පැවැත්වීමට තීරණය කර තිබෙනවා ෴
සේවකයින් කිහිප දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති හෙයින් නාරාහේන්පිට සහ වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳුදා (16) සිට තාවකාලික ව වසා දැමේ ෴
@@@ කොවිඩ් නොවන පුවත් @@@
(12.08.2021 – 11:35 +0530 – hirunews.lk/sinhala)
ගෑස් මිල ඉහළ නැංවීමට ලාෆ් සමාගමට රජය අද (12) අවසර ලබාදුන්නා.
ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363 කින් ඉහළ යනු ඇති.
දැනට රුපියල් 1493 ක් වන කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 1856 ක්.
එමෙන්ම, කිලෝග්‍රෑම් 5 ක ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල අද (12) සිට රුපියල් 145 කින් ඉහළ නැංවෙනවා.
ඒ අනුව, දැනට රුපියල් 598 කට අලෙවි වන කිලෝ ග්‍රෑම් 5 ලාෆ්ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 743 ක්.
කෙසේ වෙතත්, රජය සතු ලිට්රෝ සමාගම පෙර පැවති මිල ගණන් යටතේම තවදුරටත් ගෑස් අලෙවි කිරීමටයි තීරණය කර ඇත්තේ.
******************************************
(12.08.2021 – 11:59 +0530 – hirunews.lk/sinhala)
ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටලුව සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව මේ වනවිට රැස්ව තිබෙනවා.
ඒ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසේදීයි.
අදාළ කමිටුවේ සාමාජිකයන් ලෙස පත් කළ අමාත්‍යවරුන් වන ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, ප්‍රසන්න රණතුංග සහ මහින්ද අමරවීර යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
ඊට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ද සහභාගි වී සිටින බව හිරු වාර්තාකරු සඳහන් කළා.
මේ අතර, ගුරු – විදුහල්පති වැටුප් ගැටලුවට විසඳුම් ඉල්ලා ගුරු විදුහල්පති ඇතුලු තවත් වෘත්තීය සමිති කිහිපයක නායකයින් මේ වනවිට නිදහස් චතුරස්රයේ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් කියා සිටියේ ලංකා බැංකු සේවක සංගමය, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ඇතුලු වෘත්තීය සමිති රැසකම නායකයින් ඊට සහභාගි වී සිටින බවයි.
මේ අතර, ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතු වලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (12) ට දින 31 ක් ගතවනවා.
******************************************
(12.08.2021 – 12:40 +0530 – hirunews.lk/sinhala)
දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය කිහිපය තුල තවදුරටත් වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, බස්නාහිර සබරගමුව හා මධ්‍යම යන පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ගිගුරුම් සහිත වැසි සමග තාවකාලිකව තද සුළං තත්ත්වයක් ද ඇතිවිය හැකි අතර, අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා ෴
******************************************
(12.08.2021 – 12:53 +0530 – hirunews.lk/sinhala)
වී තොග එක්රැස් කර සඟවා තැබීමේ උපක්‍රමයක් ලෙස සිදු කරන නව වී මෝල් ලියාපදිංචිය, අත්හිටුවමින් චක්‍රලේඛයක් නිකුත් කරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (12) ප්‍රකාශ කළා.
කොළඹ අද (12) පැවති මාධ්‍ය හමුවේ දී වෙළඳ අමාත්‍යවරයා සඳහන් කළේ මෙලෙස වී තොග එක්රැස් කර සඟවා තැබීමේ සිද්ධීන් පිළිබඳ පැමිණිලි ප්‍රදේශ රැසකින් ඉදිරිපත් ව ඇති බවයි ෴
******************************************
(12.08.2021 – 12:59 +0530 – hirunews.lk/sinhala)
පරිසර හිතකාමී කෘෂිකර්මාන්තයට යොමු වීම සඳහා මෙරට පාසල් සහ විශ්වවිද්‍යාලවල කෘෂි අධ්‍යාපනයේ වෙනස්කම් රැසක් සිදු කිරීමට අපේක්ෂා කරන බව තිරසර කෘෂිකර්මාන්තයක් සඳහා වන විද්වත් කමිටුවේ සභාපති මහාචාර්ය ප්‍රියන්ත ඉන්ද්‍රලාල් යාපා මහතා පවසනවා.
ඔහු වැඩිදුරටත් පැවසුවේ කාබනික පොහොර ආනයනය හරහා බීජ පිළිබඳ කිසිදු ගැටලුවක් ඇති කර ගත යුතු නො මැති බවයි.
******************************************
(12.08.2021 – 13:23 +0530 – hirunews.lk/sinhala)
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය නවත ම බැඳුම්කර වෙන්දේසියේ දී ඩොලර් මිලියන 61 ක් වටිනා ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර අලෙවි කර තිබෙනවා.
එහි දී මාස 9 කින් කල් පිරෙන බැඳුම්කර මිලියන 49.41 ක් අලෙවි කර ඇත්තේ සියයට 7.82 ක අනුපාතයට යි.
වසරක් (1) සහ මාස 7 කින් කල් පිරෙන බැඳුම්කර මිලියන 5.26 ක් සියයට 7.83 ක අනුපාතයට අලෙවි කර ඇති අතර, වෙන්දේසියෙන් පසු බැඳුම්කර අලෙවිය හෙට (13) දිනය දක්වා විවෘත ව තැබෙනු ඇති.
මෙම බැඳුම්කර වෙන්දේසිය සඳහා ඩොලර් මිලියන 75 ක් වටිනා ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ඉදිරිපත් කර තිබූ බව සඳහන් ෴
******************************************
(12.08.2021 – 14:07 +0530 – hirunews.lk/sinhala)
මහනුවර ඓතිහාසික ඇසළ මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර හෙට (13) රාත්‍රී වීථි සංචාරය කිරීමට නියමිත යි.
පවතින කොවිඩ් වසංගතය හමුවේ මෙවර ඇසළ මංගල්‍යය ජනතා සහභාගිත්වයෙන් තොර ව පැවැත්වෙනවා.
මහනුවර ඓතිහාසික ඇසළ මංගල්‍යයේ කටයුතු ආරම්භ කෙරුණේ පසුගිය 08 වැනිදා සිදු කෙරුණු කප් සිටුවීමේ
මංගල්‍යයෙන්.
ඒ අනුව ඇසළ පෙරහැර මංගල්‍යයේ කුඹල් පෙරහැර හෙට (13) සිට ලබන 17 වැනිදා දක්වා වීථි සංචාරය කෙරුණ ද එය නැරඹීම සඳහා ජනතාවට අවස්ථාව හිමිවන්නේ නැහැ.
ඒ, පවතින කොවිඩ් වසංගතයත් සමඟ පෙරහැර කමිටුව ගනු ලැබූ තීරණය හේතුවෙන්.
පෙරහැර මංගල්‍යය සඳහා සහභාගී වන නැදුන්ගමුවේ රාජා හස්තියා මහනුවර බලා ගමන් ආරම්භ කළේ පසුගිය දෙවැනිදා (02) යි.
හස්තියා ගමන් කිරීමේ දී මුහුණ දෙන අනාරක්ෂිත තත්ත්වය සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති කළ අනාවරණයෙන් පසු එම හස්තියාට විශේෂ ආරක්ෂාවක් සැපයීමට කටයුතු යොදා ඇත්තේ මෙලෙසින්.
එම හස්තියා කඩුගන්නාව බිංගෙය අසළින් සෙංකඩගල පුරවරයට පිවිසීමේ දී පිළිගනු ලැබුවේ මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ යි.
ඇසළ පෙරහර මංගල්‍යයේ රන්දෝලි පෙරහර ලබන 18 වැනිදා ආරම්භ වන අතර, 22 වැනි දිනට යෙදෙන පොහෝ දිනයේ දී අවසන් රන්දෝලි පෙරහර වීථි සංචාරය කිරීමට නියමිත යි.
පෙරහර මංගල්‍යයේ කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඊයේ (11) ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴