අඛණ්ඩ ව තුන්වන (3) දිනටත් කොරෝනා මරණ සියය ඉක්මවයි. ඊයේ (11) 124 ක්

අඛණ්ඩ ව තුන්වන (3) දිනටත් කොරෝනා මරණ සියය ඉක්මවයි. ඊයේ (11) 124 ක්

*********************************************

අඛණ්ඩ ව තුන්වන (3) දිනටත් කොරෝනා මරණ සියය ඉක්මවයි. ඊයේ (11) 124 ක්

(12.08.2021 – 09:10 +0530 – hirunews.lk/sinhala)

මෙරට දිනක දී සිදු වූ වැඩි ම මරණ සංඛ්‍යාව ඊයේ (11) වාර්තා වුණේ තවත් කොරෝනා මරණ 124 ක් වාර්තා වීමත් සමඟ යි.

එලෙස සියය (100) ඉක්මවා කොරෝනා මරණ වාර්තා වූයේ අඛණ්ඩ ව තුන් (3) වන දිනට යි.

මේ අතර තවත් නව ආසාදිතයින් 2987 ක් ඊයේ (11) වාර්තා වුණා.

ඊයේ (11) වාර්තා වූ කොරෝනා මරණවලින් 95 ක් ම වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන් බව රජයේ ප්‍රවෘත්තී දෙපාර්තමේන්තුව සඳහන් කළා.

වයස අවුරුදු 30 ට අඩු එක් මරණයක් ද ඊයේ (11) වාර්තා වූ අතර, සෙසු මරණ වාර්තා වී ඇත්තේ වයස අවුරුදු 30 ත් 59 ත් අතර පුද්ගලයින්ගෙන්.

ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 5,464 ක් ලෙසින්.

තවත් ආසාදිතයින් 2987 ක් ඊයේ (11) වාර්තා වූ අතර, ඒ අනුව මෙරටින් දැනට වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 342,079 ක් වනවා.

ඊයේ (11) වාර්තා වූ නව ආසාදිතයින් අතරින් විදේශ ගත ව පැමිණි පිරිස 97 ක්.

එසේ ම කොරෝනා ආසාදිතයින් 2,244 දෙනෙකු ඊයේ (11) සුවය ලබා රෝහල්වලින් පිට ව ගිය අතර ඒ අනුව සුවය ලැබූ මුළු සංඛ්‍යාව ලක්ෂ 3 සීමාව ඉක්මවමින් වාර්තා වුණේ 300,406 ක් ලෙසට යි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සියයට 95 කට, පාර්ලිමේන්තු සේවකයන්ගෙන් සියයට 98 කට, ආරක්ෂක නිලධාරීන්ගෙන් සියයට 99 කට හා පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගෙන් සියයට 98 ක ප්‍රතිශතයකටත් මේ වන විට එන්නත් ලබා දී ඇති බවට වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළා.

එසේ ම අනුරාධපුර ශික්ෂණ රෝහලේ ‘මෙත්සිරි සෙවණ’ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු පලා යාමට දැරූ උත්සහයක දී ඔහුගේ රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත් ව ඇති බවක් ද වාර්තා වුණා.

මේ අතර කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් බස්නාහිර පළාතේ ලියාපදිංචි වී ඇති වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අද (12) සිට ලබන 31 වනදා දක්වා අත්හිටුවීමට පියවර ගැනෙනවා.

බස්නාහිර පළාත් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් චන්දිමා දිසානායක මහත්මිය පැවසුවේ මෙම කාලය තුළ කල් ඉකුත් වන වාහන ආදායම් බලපත්‍ර නැවත ලබා ගැනීමේ දී ලබන සැප්තැම්බර් 30 වනදා දක්වා දඩ මුදල් අය නො කරන බවයි ෴

+++++++++++++++++++

(12.08.2021 – 09:36 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රි ලංකා පොලිසිය මඟින් සිදු කරනු ලබන එන්නත්කරණ වැඩසටහනක් අද (12) මෝදර මිහිජය සෙවණ ප්‍රජා ශාලාවේ දී පැවැත්වෙනවා.

අද (12) පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා මෙම එන්නත්කරණ වැඩසටහන පැවැත්වෙන බව යි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

ඒ අනුව කිසිදු එන්නතක් ලබා නො ගත් අවුරුදු 30 ට වැඩි කොළඹ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින්ට එම ස්ථානයට පැමිණ එන්නත් ලබා ගත හැකි වනවා ෴

++++++++++++++++++++

කන්න නැතුව මැරෙන්නේ නෑ.. හැබැයි ඔක්සිජන් නැතුව මැරෙයි.. අපි ඉක්මණින් තීරණයක් ගතයුතුයි – වෛද්‍ය ජීවන්දර

(12.08.2021 – 07:59 +0530 – sinhala.adaderana.lk)

ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදයේ බලපෑම ඉදිරි දෙසතිය තුළ ඉතා ප්‍රබලවනු ඇති බව වෛද්‍ය, ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

‘දෙරණ අලුත් පාර්ලිමේන්තුව’ වැඩසටහනට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ වඩාත් අවශ්‍ය වන්නේ ආහාර ද? ඔක්සිජන් ද? යන්න මත ප්‍රතිපත්ති තීරණය කළ යුතු බවය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ ශෛල්‍ය ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් පැවසුවේ,

“මේ ඩෙල්ටා බලපෑම පටන්ගත්තා විතරයි. මේකේ දරුණු බව ඉදිරියට තමයි බලාපොරොත්තුවෙන්නේ. විශේෂයෙන් ඉදිරි සති දෙක තුන ඉතාමත්ම තීරණාත්මකයි. වුහාන් ප්‍රභේදයට වඩා දෙගුණයකින් මේක පැතිරෙනවා. තප්පර 5 ක අපි මේ මාස්ක් එක ගැලෙව්වොත් ඒ කාලය ඇති අපි ආසාදිතයෙක් වෙන්න. මේ අවස්ථාවේ දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි මේකෙ පැතිරීම වළක්වන්න. අපිට හෙට දිනයේ තියෙන ප්‍රශ්නය තමයි ‘කන්න නැතුව මැරෙනවා ද? ඔක්සිජන් නැතුව මැරෙනවා ද?’ කියන එක. කන්න නැතුව මැරෙන්නේ නෑ. මොකද කන්න තියෙන මිනිහෙක් අපිට ගෙනත් දෙයි. හැබැයි ඔක්සිජන් නැති වුණොත් අපිට ජීවත්වෙන්න බෑ. අලුතෙන්ම තීරණ අරගෙන ඉදිරියට යා යුතුයි.”

++++++++++++++++++

කොරෝනා ආසාදිතව ආයුර්වේද රෝහල්වලින් සුවය ලැබූ 2843ක් පිටව යයි

(11.08.2021 – 07:18 +0530 – lankadeepa.lk)

‘කොවිඩ්’ ආසාදිත රෝගීන් 3820 ක් පසුගිය මාස දෙක තුළ ආයුර්වේද රෝහල්වලින් ප්‍රතිකාර ලබා ඉන් 2843 ක් කිසිඳු සංකූලතාවක් නොමැතිව පිටව ගොස් ඇති බවත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා පැවසීය.

ආයුර්වේද රෝහල්වල ප්‍රතිකාර ලැබූ කිසිඳු ‘කොවිඩ්’ රෝගියකු මරණයට පත්ව නොමැති බවත් සඳහන් කළේය.

පළාත් නවය (9) ආවරණ පරිදි ආයුර්වේද රෝහල් ධාරිතාවෙන් සියයට 48 ක් හෙවත් ඇදන් 1033 ක් ‘කොවිඩ්’ රෝගීන් සඳහා වෙන්කර ඇති බවත් මේ වන විට රෝගීන් 835 දෙනකු ආයුර්වේද රෝහල්වල ප්‍රතිකාර ලබන බවත් ආයුර්වේද කොමසාරිස්වරයා කීය.

ප්‍රවෘත්ති දෙපාර්තමේතුවේදී අද (11) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා එසේ පැවසීය ෴

@@@ කොවිඩ් නොවන පුවත් @@@

(12.08.2021 – 08:57 +0530 – hirunews.lk/sinhala)

ගුරු – විදුහල්පති වැටුප් ගැටලුවට විසඳුම් ඉල්ලා ගුරු විදුහල්පති ඇතුළු තවත් වෘත්තීය සමිති කිහිපයක නායකයින් අද (12) කොළඹ දී සත්‍යග්‍රහයක නිරත වනවා.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් කියා සිටියේ ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතුවලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (12) 31 වන දිනටත් ක්‍රියාත්මක වන බව යි.

එමෙන්ම අද (12) පැවැත්වෙන සත්‍යග්‍රහයට ලංකා බැංකු සේවක සංගමය, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති රැසක ම නායකයින් සහභාගී වන බව යි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, ගුරුවරුන්ගේ වැටුප් ගැටලුව සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට පත් කළ කැබිනට් අනුකමිටුව ද අද (12) රැස් වෙනවා ෴

******************************************

(12.08.2021 – 09:24 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගේ සහෝදරයා වන ‘කිදර් මොහොමඩ් ශියාබ්දීන් ඉස්මත්’ නැමැත්තා ලබන 16 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළා.

ඊයේ (11) පස්වරුවේ එම නියෝගය නිකුත් කෙරුණේ කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට කළ කරුණු දැක්වීමක් සලකා බලමින්.

ඔහු, රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ සේවය කළ ‘ජූඩ් හිෂාලිනී’ දැරිය කෲරත්වයට පත් කිරීම ඇතුළු චෝදනා යටතේ පවරා ඇති නඩුවේ 4 වන සැකකරු වනවා.

2016 වසරේ දී ඔහු, එම නිවසේ සේවය කළ තවත් බාල වයස්කාර දැරියක් අවස්ථා 2 ක දී දූෂණය කළ බවට ලැබුණු පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියා.

එම සැකකරු ඩයගම ප්‍රදේශයේ ම පදිංචි එම දැරිය නුවරඑළිය ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් තුල දී දූෂණය කර ඇති බවට හා අනතුරු ව පාර්ලිමෙන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසට පැමිණි පසු එහි සිටි දරුවන් ආපන ශාලාවක් වෙත යවා කාමරයක් තුළ දී බලහත්කාරයෙන් දූෂණය කළ බවත් හෙළි වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් නිවසේ හිමිකාරියට දැනුම් දුන් නමුත් සහනයක් නො ලැබුණු බවත් එම දැරිය ප්‍රකාශ කර ඇතැයි ද පොලිසිය අධිකරණයට පෙන්වා දුන්නා.

එසේ ම එම දැරියගෙන් යළිත් ප්‍රකාශ සටහන් කර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භකර ඇති බවට යි කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට පෙන්වා දී ඇත්තේ ෴

******************************************

(12.08.2021 – 10:17 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ ප්‍රථම වතාවට සෑම බෝගයකටම යෙදිය හැකි ගුණාත්මක බවින් යුත් කැට සහිත කාබනික පොහොර ටොන් දහසක් (1000) නිෂ්පාදනය කිරීමේ නව වැඩපිළිවෙලක් දඹුල්ල ‘සීඅයිසී පෞද්ගලික’ ආයතනයේ දී ආරම්භ කෙරුණා.

මෙම වැඩපිළිවෙළ යටතේ දිවයිනේ සීඅයිසී ගොවිපලවල නිෂ්පාදනය කරන කාබනික පොහොර දඹුල්ල ආයතනයට රැගෙනවිත් අනෙකුත් සියලු පෝෂක සංඝටක එකතු කොට සෑම වගාවකට ම යෙදිය හැකි ගුණාත්මක භාවයෙන් ඉහළ ‘කැට කාබනික පොහොර’ මෙහි නිෂ්පාදනය කරන බව සීඅයිසී බීජ සහ කෘෂි ව්‍යාපාර ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අංජන ලීලාරත්න මහතා පැවසුවා.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ උදෑසන නමයයි හතළිස් පහට පමණ යෙදුණු සුබ මොහොතින් මෙම පොහොර නිෂ්පාදනය ආරම්භ කෙරුණා.

සීඅයිසී ගොවිපළේ කාබනික පොහොර නිෂ්පාදනය සඳහා වෙනමම අංශයක් ස්ථාපිත කොට තිබෙන බවත් මේ සඳහා උපයෝගී කර කරගන්නා ගොම පොහොර කුකුල් පොහොර ආදී පොහොර වර්ග සීඅයිසී ගොවිපලවල් වලට අමතරව දිවයිනේ උතුරු නැගෙනහිර ප්‍රදේශ වලින් මිලදී ගැනීම් සිදුකරන බවත් දඹුල්ල සීඅයිසී බීජ ගොවිපල සාමාන්‍යධිකාරි චමිල් සේනානායක මහතා පැවසුවා.

මීට පෙර කාබනික පොහොර සාමාන්‍යයෙන් සිහින් තේ කුඩු වලට සමාන බවත් ඒවාට වැලි සහ අනෙකුත් ද්‍රව්‍ය කළවම් වී ඇති නිසා ගොවීන්ට එහි විශ්වාසය පිළිබඳව බරපතළ ප්‍රශ්න පැවති බවත් ඔහු කියා සිටියා.

එම නිසා ඉතා සාර්ථකව ගුණාත්මක භාවයෙන් යුතුව වැලිකැටයක් හෝ නොමැතිව සම්පූර්ණයෙන්ම කාබනික පොහොර කැබලි මෙහිදී යන්ත්‍රානුසාරයෙන් නිෂ්පාදනය වන බවත් ඉදිරියේ දී දිවයිනේ ස්ථාන ගණන ගණනාවක මෙයාකාරයෙන් ‘කැට කාබනික පොහොර’ වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් ඔහු වැඩිදුරටත් පවසනවා ෴

******************************************

යාපනය මාණිප්පායි පොලිස් වසමේ කල්ලුණ්ඩායි ප්‍රදේශයේදී ලංගම බස්රථයක් පෙරැළෙයි

(12.08.2021 – 11:20 +0530 – lankadeepa.lk)

යාපනය මාණිප්පායි පොලිස් වසමේ කල්ලුණ්ඩායි ප්‍රදේශයේදී අද (12) උදෑසන ලංගම බස්රථයක් පෙරළීමෙන් මගීන් 24 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය පවසයි.

යාපනය කරෙයිනගර් ප්‍රදේශයේ සිට යාපනයට වඩුක්කොඩ්ඩෙය් මාර්ගයේදී ඔස්සේ ධාවනය වූ මෙම බසය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් ඇතැයි පොලිසිය කියයි.

බස් රථය පෙරළී යාමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර පැවති වැසි සහිත කාලගුනය හේතුවෙන් බස් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

තුවාල ලැබූවන්ගෙන් කීප දෙනකු ගේ තත්ත්වය තරමක් බරපතල බව පොලිසිය කියයි.

******************************************

නැඳුන්ගමු ඇත් රජුට මහනුවරදී ඉහළ පිළිගැනීමක්

(11.08.2021 – 09:10 +0530 – lankadeepa.lk)

ඓතිහාසින මහනුවර ඇසල පෙරහරේ දළඳා කරඬුව වැඩම කරවීම සඳහා ගම්පහ සිට මහනුවර බලා ගමන් ගන්නා නැදුන්ගමුවේ රාජා හස්තියා මධ්‍යම පළාතට ඇතුළුවන ගල විදපු ස්ථානයේදි මහා සංඝරත්නය පිරිත් සජ්ජායනය කර ආශිර්වාද කළහ.

ගණේතැන්න විහාරයේ විවේකිව ගත කළ නැදුන්ගමුවේ රාජා හස්තියා අද (11) උදෑසන එම විහාරයෙන් පිටත් වු අතර පස්වරු 02:00 ට පමණ පහළ කඩුගන්නාව ප්‍රදේශයට ළඟා විමේදි එම ස්ථානයට මහා සංඝරත්නය වඩම්මවා පිරිත් සජ්ජායන කර ආශිර්වාද කළේය.

අද (11) දිනයේදි පිළිමතලාව ඌරාපොල විහාරයේ නවාතැන් ගන්නා නැදුන්ගමුවේ හස්තියා හෙට (12) දිනයේදි මහනුවර ශ්‍රී දළඳා මාළිගාවට පිවිසිමට නියමිතය.

නැදුන්ගමුවේ රාජා හස්තියාට ආශිර්වාද කිරම කඩුගන්නාව නගරසභාවේ සභාපති අමිල වේරගොඩ මහතා විසින් සංවිධානය කර තිබු අතර ඉලුක්වත්ත රන්දුන්න විහාරයේ නායක ස්වාමීන් වහන්සේ ඇතුලු ඌරාපොල මහා විහාරයේ පරණාගල විහාරයේ ස්වාමින් වහන්සේලා පිරිත් සජ්ජායනා කළහ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *