*********************************************
ඇමති නාමල්ගේ කතාවෙන් මා අසරණ වුනා.. පාරෙ බැහැල යන්න බෑ.. – ඔලිම්පික් ගිය ශ්‍රී ලංකා ක්රිඩිකාව කියයි..
(09.08.2021 – 22:02 +0530 – lankacnews.com)
ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩිකාව ඔලිම්පික් උළෙලට සහභාගි වීම සඳහා ටෝකියෝ නුවර බලා ගියේ ක්‍රීඩා පාවහන් යුගලය ගෙදර තියා බවට ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයක් යයි මලල ක්‍රීඩිකා නිමාලි ලියනආරච්චි පැවැසුවාය.
කිසිවකු විසින් ක්‍රීඩා ඇමැතිවරයා නොමග යවා තිබෙනවා
“මම තරගවලට පාවිච්චි කරන එකම ක්‍රීඩා පාවහන් යුගලය අරන් ගිහින් තමයි ටෝකියෝ ඔලිම්පික් උළෙලට තරග වැදුණේ. එතන සිද්ධ වුණු දේ තමයි මම මගේ සල්ලිවලින් ක්‍රීඩා පාවහන් දෙකක් ජපානයෙන් මිලදී ගන්න උත්සාහ දරලා බැරි වුණාම ජාතික ඔලිම්පික් කමිටුවෙන් මම ඉල්ලීමක් කළා ඒකට මට උදව් කරන්න, මම සල්ලි දෙන්නම් කියලා.” යයි ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගි වූ ලංකාවේ එකම මලල ක්‍රීඩිකාව වන නිමාලි ලියනආරච්චි ලංකාදීප කළ විමසුමකදී පැවැසුවාය.
එහිදී මීටර 800 (කාන්තා) ඉසව්වෙන් තරග වැදුණු නිමාලි දෙවැනි වටයට සුදුසුකම් ලබාගැනීමට අපොහොසත් වූ අතර, මූලික වටයේ ඇගේ තරග නිමි කාලය විනාඩි 2 තත්පර 10.23 කි. ඇය ටෝකියෝ නුවර සිට දිවයිනට පැමිණියේ පසුගිය 31 වැනිදාය.
“මේ ගැන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය, ජාතික ඔලිම්පික් කමිටුව කළ ප්‍රකාශ ගැන කියන්න මම දන්නේ නෑ. මට කියන්න තියෙන්නේ ඇමැතිවරයා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයෙන් මා අසරණ වුණා.”
“දැන් මට පාරේ බැහැලා යන්න බෑ. මිනිස්සු ඒ ගැන මගෙන් අහනවා. ෆේස්බුක් එකේත් බොහෝ අය මම ආණ්ඩුවේ සල්ලි කාබාසිනියා කළා කියලා චෝදනා කරලා තිබ්බා. රට වෙනුවෙන් පදක්කම් ගණනාවක්ම දිනා දෙන්න කැපවුණු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් හැටියට මම මේ සිද්ධියෙන් ගොඩක්ම කලකිරීමට පත්වුණා.” යයි නිමාලි වැඩිදුරටත් පැවැසීය.
නිමාලි ලියනආරච්චි මෙසේ ද පැවැසුවාය.
“ඔලිම්පික් නෙමෙයි ලෝකෙ කොතැනක තිබෙන තරගවලට සහභාගි වුණත් මම පළමුව කරන්නේ මගේ ක්‍රීඩා පාවහන් දෙක සූදානම් කරගැනීමයි. ඒ වගේම මම පිටරට යනකොට පුරුදු වෙලා තිබෙන්නේ මගේ ක්‍රීඩා පාවහන් දෙක අතේ අරගෙන යන බෑග් එකක අරගෙන යාමටයි. ඒකට හේතුව ක්‍රීඩා පාවහන් දෙක නැතුව මට තරග වදින්න බැරි හින්දයි.”
“මම ජපානයට ගිය වෙලාවෙ උත්සාහ කළේ එරටින් වඩා උසස් තත්ත්වයේ ක්‍රීඩා පාවහන් දෙකක් මිලදී ගන්නයි. නමුත් ඔලිම්පික් ක්‍රීඩා ගම්මානයේ නිරෝධායන නීති රීති එක්ක මට එළියට ගිහින් ඒ දේ කරගන්න අවසර ලැබුණේ නෑ. ඒ හින්දා මම ඇවිත් හිටපු ජාතික ඔලිම්පික් කමිටුවේ ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කළා. මම සල්ලි දෙන්නම් මට ඔයාලාවත් මැදිහත් වෙලා ක්‍රීඩා පාවහන් දෙකක් ගන්න උදව් කරන්න කියලා.”
“සිද්ධ වුණේ ඒකයි. මම අරන් ගිය ක්‍රීඩා පාවහන් දෙක දාගෙන තමයි මම ටෝකියෝ ඔලිම්පික් මීටර 800 කාන්තා ඉසව්වට දිව්වේ. අවාසනාවකට මට මූලික තරගයේ හොඳට දුවන්න බැරි වුණා. සමහරු අහනවා ‘කතාව බොරුවක් නම් ඇයි නිශ්ශබ්දව ඉන්නෙ’ කියලා.”
“ක්‍රීඩා ඇමැතිවරයා ඒ ප්‍රකාශය කළේ පාර්ලිමේන්තුවේදී. මම නිහඬව ඉන්නවා ඇරෙන්න මම පාර්ලිමේන්තු ගිහින් ඒකට උත්තර දෙන්න ද?”
“ක්‍රීඩා ඇමැතිතුමා අපට ටෝකියෝ ඔලිම්පික් උළෙලට යන්න සියලු පහසුකම් දුන්නා. අපිට ටෝකියෝ යන්නත් කලින් කොළඹ තරැ පහේ හෝටලයක නවත්තලා නිරෝධායනය වෙන්න අවශ්‍ය පහසුකම් සියල්ලත් ලබාදුන්නා. ඒ ගැන නාමල් රාජපක්ෂ මහතාට අපි කෘතඥ වෙනවා.”
“ඇමැතිවරයා කියලා තිබ්බා ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග සංචාර විනෝද සවාරි කරගෙන යනවා කියලා. එතුමා පුහුණුකරුවන් ගැනත් කතා කරලා තිබ්බා. ඒ අය ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු කරවන්නේ ජාතික මට්ටමේ ජයග්‍රහණ සඳහා පමණයි කියලත් එතනදී කියලා තිබ්බා.”
“නමුත් මේ රටේ පුහුණුකරුවන් වෙතින් පුහුණුව හදාරලා ජාත්‍යන්තර පදක්කම් දිනා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ බොහෝ දෙනෙකුත් ඉන්නවා” යයි නිමාලි කීවාය.
මේ වන විට 31 හැවිරිදි වියේ පසුවන නිමාලි ලියනආරච්චි විශේෂ ප්‍රසාද ලකුණු ක්‍රමයෙන් ටෝකියෝ ඔලිම්පික් උළෙලට අවසන් මොහොතේදී නිර්දේශ ලබාගැනීමට සමත්වූවාය.
ආසියානු ශූරතා හා සාග් රන් පදක්කම්ලාභිණියක්වන නිමාලි 2017 දී ඉන්දියාවේ බහුබන්සවර්හිදී පැවැති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කමක් දිනාගත් එකම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවයි. අවසන් වරට ඇය 2019 පැවැති ලෝක ආරක්ෂක හමුදා ක්‍රීඩා උළෙලේදී මීටර 800 (කාන්තා) ඉසව්වෙන් රිදී පදක්කමක් දිනාගත් අතර එහිදී මීටර 400×4 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනාගත් ශ්‍රී ලංකා ආරක්ෂක සේවා සහාය දිවීමේ කණ්ඩායමටද ඇතුළත් වූවාය.
– lankadeepa
******************************************
පාරිභෝගිකයන්ට අසාධාරනකම් කරන ලීසිං සමාගම්වලින් මහබැංකුවේ උසස් නිලධාරීන්ට වැටුප් සහ විදේශ සංචාර
(09.08.2021 – colombotoday.com)
මූල්‍ය ආයතන, ලීසිං සහ අනෙකුත් ගනුදෙනුවලදී පාරිභෝගිකයන් නොයෙකුත් කූඨ උපක්‍රම මගින් නොමගයවන බව පසුගියදා පැවති සාකච්ඡාවකදී ලීසිං සහ ණය වාරික ගෙවන්නන්ගේ එකමුතුවේ කැදවුම් කරු සංජය මහවත්ත මහතා පැවසීය.
තවදුරටත් අදහස් දක්වමින් මේ කූඨ උපක්‍රම පිටුපස මහබැංකුව සිටින බවද, සමහර උසස් නිලධාරීන් අදාල ලීසිං සමාගම්වලින් වැටුප් සහ විදේශ සංචාර ලබාගෙන ඇති බව ද ඔහු සඳහන් කරන ලදි.
2000 අංක 56 දරන ලීසිං පණත කිසිඳු විවාදයකින් තොරව පාර්ලිමේන්තුවේ සම්මත වී ඇති බවත් එසේවීමට හේතුව වශයෙන් මෙම ආර්ථික ගණුදෙනු පිටුපස දේශපාලකයන්ගේ නොපෙනෙන හස්ත ක්‍රියාත්මක වීම බවද ඔහු පැවසීය.
මෙම අසාධාරණයට එරෙහිව හඬ අවදිකිරීම නිසා සංජය මහතාට ලංකාවේ ප්‍රසිද්ධ රක්ෂණ ආයතනයක් මගින් රුපියල් කෝටි 20 ක අපහාස වන්දි ඉල්ලා නඩු හතරක් (4) අධිකරණ හතරක (4) දී පවරා ඇති බව ද අනාවරණය විය.
මෙම සාකච්ඡාව සදහා ඒකාබද්ධ ලීසිං සංගමයේ ලේකම් අසංක පොතුපිටිය මහතාද සහභාගී විය. අදාල සම්මුඛ සාකච්ඡාව :
******************************************
(10.08.2021 – 06:35 +0530 – hirunews.lk/sinhala)
තීරුබදු නොගෙවා ආනයනය කරන ලද නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දිවුලපිටිය, දුනගහ ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී නීති විරෝධී දුම්වැටි 11,000 ක් සොයා ගැනුණා.
මෙලෙස සොයාගත් දුම්වැටිවල වටිනාකම රුපියල් හත්ලක්ෂ හැත්තෑ දහසකට (7,70,000) වැඩි බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ෴
******************************************
(10.08.2021 – 07:13 +0530 – hirunews.lk/sinhala)
මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු පුද්ගලයෙකු හෙරෝයින් සහ කේරළ ගංජා සමග වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වයස අවු: 36 ක පුද්ගලයකු වන මොහු ව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.
අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් දෙලක්ෂ තිස්පන්දහසකට අධික වටිනාකමකින් යුතු බවට යි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ෴
******************************************
(10.08.2021 – 07:44 +0530 – hirunews.lk/sinhala)
පසුගිය මාර්තු මාසයේ පැවති 2020 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම තවදුරටත් ප්‍රමාද වනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා.
කොළඹ ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ගුරු වර්ජනය හේතුවෙන් මෙලෙස විභාග ප්‍රතිඵල ප්‍රමාද විය හැකි බවයි ෴
******************************************
(10.08.2021 – 07:47 +0530 – hirunews.lk/sinhala)
මත්ද්‍රව්‍ය භාවිතය, වර්තමානයේ සිදුවන රිය අනතුරුවලට ප්‍රධානතම හේතුවක් බව මහජන ආරක්ෂක අමාත්‍ය, විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා.
කොළඹ ඊයේ (09) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය වසර 10 තුලදී සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් 27,000 කට අධික පිරිසක් මියගොස් ඇති බවයි ෴
******************************************
(10.08.2021 – 07:49 +0530 – hirunews.lk/sinhala)
විදෙස් රටවල සේවාවල නිරත මෙරට ශ්‍රමිකයන්ගේ ගැටලු විසඳීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යංශය, විදේශ කටයුතු අමාත්‍යංශය යටතට පත් කරන ලෙස විදෙස් බලකා පෙරමුණ සංවිධානය ඉල්ලීමක් කරනවා.
එහි ලේකම් සුභාෂණ සමරවික්‍රම මහතා ඊයේ (09) මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ මෙරට ගුවන්තොටුපල තුළ කොරෝනා පරීක්ෂණ සිදු කිරීමේ යන්ත්‍ර පහසුකම් අවම වීම හේතුවෙන් විදෙස් රටවල සංක්‍රමණ නීතිවලට අනුව මෙරටට පැමිණ සිටින විදෙස්ගත ශ්‍රමිකයන්ට යළි එම රටවල් වෙත යාමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි ෴
******************************************
(10.08.2021 – 07:53 +0530 – hirunews.lk/sinhala)
ගුරු විදුහල්පති වැටුප් ගැටලුව සම්බන්ධයෙන් සොයා බලා මීලග අමාත්‍ය මණ්ඩලයට කරුණු වාර්තා කිරීම සඳහා පංච (5) පුද්ගල අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කර තිබෙනවා.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පත් කර ඇති එම අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ මහින්ද අමරවීර, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ සහ ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන්.
ඊයේ (09) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම කමිටුව පත් කර තිබෙනවා.
මේ අතර, වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වී සිටින ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති සහ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති අතර විශේෂ සාකච්ඡාවක් අද (10) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
එසේම ගුරු විදුහල්පතිවරුන් ආරම්භ කළ ඔන්ලයින් ඉගැන්වීම් වලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (10) 29 වන දිනටත් ක්‍රියාත්මක වනවා.
මේ අතර, මර්දනකාරි කටයුතුවලට විරෝධය පළ කරමින් අද (10) සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය නිවේදනය කළා ෴
******************************************
(10.08.2021 – 08:20 +0530 – hirunews.lk/sinhala)
මේ වනවිට රට තුළ පැන නැගි ඇති කිරිපිටි අර්බුදය සම්බන්ධයෙන් ඊයේ (09) රැස්වූ අමාත්‍ය මණ්ඩලයේදී සාකච්ඡා වී තිබෙනවා.
එහිදී සාකච්ඡා වී ඇත්තේ කිරිපිටි ආනයනයේදී පාරිභෝගිකයාට මෙන්ම ආනයන සමාගම්වලටද අසාධාරණයක් නොවන ලෙස කටයුතු කිරීමටයි.
ඒ සඳහා කිරිපිටි ආනයනයේදී රජය විසින් පනවා ඇති බදු කිහිපයක් අඩු කිරිමට යෝජනා වී තිබෙනවා.
එමෙන්ම, වෙළඳපොළේ පවතින ගෑස් හිඟය සම්බන්ධයෙන් ද අමාත්‍ය මණ්ඩලයේදී සාකච්ඡා වී ඇති අතර ලාෆ් ගෑස් සිලින්ඩරය ලබාගෙන ලිට්රෝ සමාගම විසින් ගෑස් ලබාදීමට එකඟතාවය පළ කර ඇති බවයි එහිදී ප්‍රකාශ වී ඇත්තේ ෴
******************************************
කාලගුණ වෙනස නිසා රටවල් රැසක් මිහිපිටින් අතුරුදන්වීමේ අවධානමක්
(10.08.2021 – 08:25 +0530 – hirunews.lk/sinhala)
කාලගුණ වෙනසේ බලපෑමෙන් ලොව දූපත් රාජ්‍ය රැසක් මිහිපිටින් අතුරුදන්වීමේ අවදානමට ලක්ව තිබෙනවා.
ඊයේ (09) ප්‍රකාශයට පත්කෙරුණු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අන්තර් රාජ්‍ය කාලගුණ වෙනස පිළිබඳ කමිටු වාර්තාවෙන් මේ බව අවධාරණය කෙරුණා.
එමඟින් සඳහන් කළේ මිහිතලය උණුසුම් වීම නිසා මේ සියවස අවසාන වනවිට සාගර ජල මට්ටම මීටර් දෙකකින් (2) පමණ ඉහළ යෑම බැහැර කළ නොහැකි කරුණක් බවයි.
එම තත්ත්වය වැළැක්වීමට නම් හරිතාගාර වායු මුක්තවීම කැපී පෙනෙන ලෙස අඩු කළ යුතුයි.
කාලගුණ වෙනස පිළබඳ ජගත් සංවිධාන වාර්තාව ප්‍රකාශයට පත් කෙරුණේ ග්ලාස්ගෝ නුවර පැවැත්වෙන කෝප් 26 ලෝක කාලගුණ සමුළුව පැවැත්වීමට මාස 03 ක් තිබියදීයි.
මේ නිසා කාලගුණ වෙනසේ බලපෑමට ඍජුවම ලක්වන රටවල් එහිදී කෙටුම්පත් කළ යුතු පියවර රැසක් දැනටමත් යෝජනා කර තිබෙනවා.
සාගර ජල මට්ටම ඉහළ යෑමෙන් මිහිපිටින් අතුරුදන් විය හැකි දූපත් රාජ්‍යයක් වන මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ප්‍රකාශ කළේ වෙනත් කිසිවෙකුගේ කාබන් නිකුත් කිරීම් වෙනුවෙන් මාලදිවයින් වාසීන්ට ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුව ඇති බවයි.
මේ නිසා තම රට මිහිපිටින් අතුරුදන්වීම ආසන්නයට පැමිණ ඇති බවට ඔහු චෝදනා කළා.
කාලගුණ වෙනස පිළිබඳ අන්තර් රාජ්‍ය කමිටු වාර්තාවට අනුව උණුසුම් වා-දහර, දැඩි වර්ෂාපතනය සහ නියඟ ඉදිරියේදී ඉතා දරුණු ලෙස නිරන්තරයෙන් සිදුවිය හැකියි.
ජගත් සංවිධාන මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් මෙම තත්ත්වය හැඳින්වූයේ මානව සංහතියට නිකුත් කෙරුණු රතු එලියක් ලෙසයි.
ඉදිරි දශක දෙක (2) තුළ මිහිතලයේ උෂ්ණත්වය පූර්ව කාර්මිකකරණ මට්ටමේ සිට සෙල්සියස් අංශක එකයි දශම පහ (1.5) ඉක්මවා ඉහළ යනු ඇති බව ඊයේ (09) නිකුත් කෙරුණු ජගත් කාලගුණ වාර්තාවේ සඳහන් ෴
@@@@@ කොවිඩ් පුවත් @@@@@
දිනක් තුළ වැඩිම කොරෝනා මරණ වාර්තා වෙයි – ආසාදිතයින් සංඛ්‍යාවත් තුන්දහස (3000) ආසන්නයේ
(10.08.2021 – 07:58 +0530 – hirunews.lk/sinhala)
මෙරට වැඩිම දෛනික කොරෝනා මරණ පසුගිය 08 වැනිදා වාර්තා වී තිබෙනවා.
ඒ අනුව කොරෝනා ආසාදිත පුද්ගල මරණ 111 ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (09) තහවුරු කළ බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
ඒ සමග මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 5,222 ක් දක්වා ඉහළ යනවා. කොරෝනා ආසාදිතයන් 2,953 දෙනෙකුද ඊයේ (09) වාර්තා වුණා.
ඊයේ (09) තහවුරු වූ මරණ වලින් 90 දෙනෙකු වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අතර කාන්තාවන් 49 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 41 දෙනෙකු වනවා.
වයස අවුරුදු 30 ත් 59 ත් අතර මරණ 21 ක්ද වාර්තා වී තිබූ අතර, ඊට පිරිමි පුද්ගලයන් 15 දෙනෙකු සහ කාන්තාවන් 06 දෙනෙකුද ඇතුළත්.
මේ අතර, බස්නාහිර පළාතේ කොරෝනා එන්නතේ ප්‍රථම මාත්‍රාව නොගත් වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයින් සඳහා අද (10) සිට දින 03 ක් ඇතුළත එන්නත් ලබාදීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මකයි.
එමෙන්ම, නැවත දැනුම් දෙනතුරු අද (10) සිට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත සේවා ලබා ගැනීම සඳහා විශ්‍රාමිකයින්ගේ පැමිණීම අත්හිටුවා තිබෙනවා. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ලබා ගත යුතු සේවා පිළිබඳව 1970 අංකයෙන් තොරතුරු ලබා ගත හැකි බවයි.
මේ අතර, කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් මහාචාර්ය මලික් පීරිස් මහතා විසින් නිකුත් කල බවට හැඟවෙන ව්‍යාජ හඬ පටයක් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන බවත් එය නිර්මාණය කල පුද්ගලයන් සොයා විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.
මේ අතර, දුම්රිය පාලක කාර්යාලයේ සේවයේ නියුතු දුම්රිය ස්ථානාධිපතිවරුන් හා කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයන් ඇතුලු 12 දෙනෙකු පමණ මේ වනවිට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් කිහිප දෙනෙකුම නිරෝධායනයට යොමු කර තිබෙනවා.
මේ අතර, ගමනාගමන කටයුතු සඳහා මගීන් අඩුවෙන් ගමන් ගන්නා දුම්රිය පමණක් භාවිතා කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා ෴
+++++++++++++++++++++++
(10.08.2021 – 08:06 +0530 – hirunews.lk/sinhala)
මෙරට කොරෝනා වසංගත තත්ත්වය පාලනය සහ මර්දන කිරීම සඳහා සහයෝගය ලබාදීමට චීන රජය ප්‍රමුඛතාව ලබාදී කටයුතු කරන බව මෙරට චීන තානාපති චී චෙන්හුන්ග් ප්‍රකාශ කර තිබෙනවා.
තානාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමග ඊයේ (09) පැවති සාකච්ඡාවකට එක්වෙමින්.
එහිදී චීන තානාපති චී චෙන්හුන්ග් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවට ප්‍රදානයන් සහ අවශ්‍ය සහය ලබාදීමට කටයුතු කරන බවයි.
දෙරට අතර දීර්ඝ කාලයක් පුරා පවතින අන්තර්ජාතික සබඳතාව ශක්තිමත් කරමින් කොරෝනා ව්‍යාප්තියේ ආරම්භයේ සිටම මේ දක්වා චීනය දැක්වූ සහයෝගය පිළිබඳව සිය කෘතඥතාවය පළ කළ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ ෴
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴