නාමල් ඇමතිතුමාගේ ‘ඩිජිටල් ටුවරිස්ට්’ලා!

නාමල් ඇමතිතුමාගේ ‘ඩිජිටල් ටුවරිස්ට්’ලා!

*********************************************

නාමල් ඇමතිතුමාගේ ‘ඩිජිටල් ටුවරිස්ට්’ලා!

(08.08.2021 – 08:04 +0530 – lankaleadnews.com)

ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලබා ගැනීමේ ක්‍රමයක් වශයෙන්, වෙනත් රටවල්ට සංචාරය කරමින් තොරතුරු තාක්ෂණ වෘත්තීන්හි නියැළෙන ‘ඩිජිටල් සංචාරකයන්’ වැඩි වැඩියෙන් ගෙන්වාගත යුතු බව ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමති නාමල් රාජපක්ෂ මහතා පවසයි. ජීවනෝපාය සඳහා ඩිජිටල් තාක්ෂණය භාවිතා කරමින් සංචාරකයන් ලෙස සැරිසරමින් ජීවිතය ගතකරන පුද්ගලයින් ඩිජිටල් සංචාරකයින් ලෙස හඳුන්වනු ලැබේ.

පාසැල් අධ්‍යාපනය හමාර කරන බොහෝ සිසුන් වැඩිදුර අධ්‍යාපනය සඳහා තොරතුරු තාක්ෂණය හෝ පරිගණක මෘදුකාංග විද්‍යාව හැදෑරීමට කැමැත්තක් දක්වති. ඒ සඳහා ජාතික මෙන්ම පෞද්ගලික අධ්‍යාපන ආයතන රාශියක් ක්‍රියාත්මකව පවතී. මේ වෙනුවෙන් රජය ඉදිරිපත් කරන ලද කොතලාවල විශ්ව විද්‍යාලයට සමාජයේ යම් විරෝධයක් එල්ලවෙමින් පවතී. ඒ පිළිබඳව කතා කිරීම මෙම ලිපියේ අරමුණ නොවුනද කාටත් සාධාරණ, එක නීතියක් එක රටක්, ​කතාවට පමණක් සීමා නොවී, රටට ජාතියට හිතවත් කටයුතුවල පමණක් යෙදීම මගින් රජයට එල්ල වෙන ඔවැනි විරෝධතාවලින් පහසුවෙන් ගැලවිය හැක.

කෙසේ නමුත් ලංකාවේ දරුවන්ගේ අධ්‍යාපනය, ශිල්පීය දැනුම, තාක්ෂණික සාක්ෂරතාවය වැඩි දියුණු කිරීම් සඳහා රජය යම් යම් වැඩ පිළිවෙළවල් දියත් කරමින් සිටී. පසුගිය අයවැයෙන් රජය රුපියල් බිලියන 126 මුදල් ප්‍රමාණයක් වෙන් කර ඇත්තේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය සහ ඒ සදහා වන පහසුකම් වෙනුවෙනි. නව පාඨමාලා හඳුන්වා දීම, නව අධ්‍යාපන ආයතන ඇති කිරීම මෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පවා ඉදිරිපත් කරමින් රජය දරුවන්ගේ ප්‍රාථමික, ද්විතියික, විශ්ව විදයාල අධයාපනය මෙන්ම වෘත්තිය කුසලතා වර්ධනය කරමින් සිටී.

අපි දැන් මෙම ලිපියේ මාතෘකාවට පිවිසෙමු. කවුද මේ ‘ඩිජිටල් ටුවරිස්ලා’ කියන්නේ ? ටුවරිස්ලා විවිධ වර්ගයේ අය සිටිති. සුඛෝපභෝගී ලෙස නිවාඩුව කිරීම සඳහා සිය පවුල් පිටින් ශ්‍රී ලංකාවට පැමිණෙන සල්ලිකාර සංචාරකයෝ දැකිය හැක. එසේම සාපේක්ෂව අඩුවෙන් මුදල් වියදම් කරමින් සිය නිවාඩුව ඉතා සතුටෙන් සහ සැහැල්ලුවෙන් ගත කරන තවත් බොහෝ සංචාරකයෝ සිටිති. ඔවුන් සිය රටේ තමන්ගේ ව්‍යාපාර කටයුතු වලින් හෝ රැකියාවෙන් උපයන මුදල් විනෝදාස්වාදය පිණිස මේ රටේ දී වියදම් කරති. මේ සියල්ලන්ගෙන්ම රටට විදේශ විනිමය ලැබේ.

ඔය අතර ලැප්ටොප් පරිගණකයක් කරේ දමාගෙන, යාමට සහ ඒමට ගුවන් ටිකට් පතක් අතැතිව, යාන්තමට සතියකට දෙකකට පමණක් වියදම් කිරීමට සෑහෙන මුදලක් අතැතිව ශ්‍රී ලංකාවට පැමිණෙන ‘දුප්පත්’ සංචාරකයන් පිරිසක් ද ඇත. ඔවුන් පැමිණෙන්නේ රටේ ‘සංචාරය’ කිරීමට නොවේ, රස්සාවක් කිරීමටයි. ඔවුන්ට සල්ලි ම අවශ්‍ය නැත. ඉන්න තැනක් සහ කන්න දෙයක් දුන් විට ඔවුන්ගෙන් බොහෝ වැඩ කරවා ගත හැක.

මෙවැන්නන් බේරුවල, අලුත්ගම, උණවටුන, හික්කඩුව, මීගමුව, පාසිකුඩා, ඇල්ල වැනි ප්‍රදේශ වලදී මා හට හමු වී ඇත. මොවුන් බොහෝමයක් පැමිණෙන්නේ ඉන්දියාව, නේපාලය, බංගලාදේශය වැනි දකුණු ආසියානු රටවල් වලිනි. යුරෝපීය රටවල් වලින් පැමිණෙන මෙවැනි ආකාරයේ සංචාරකයන් සමහර අවස්ථාවලදී ටිකක් වැඩි පිළිගැනීමකට පවා ලක් වෙන අවස්ථාද දැකිය හැක. මොවුන් කුඩා හෝටල්, අවන්හල්වල වෙබ් අඩවි සකස් කර දෙති. අය කරන්නේ ඉතාම අඩු මුදලකි. ඔවුන්ට හෝටලයේ ගරාජයේ හෝ නිදාගැනීමට ඇඳක් දමා කෑමට යමක් සපයන්නේ නම් වෙබ් අඩවි නිර්මාණයේ සිට ගරාජයේ වාහන සේදීම දක්වා සියලුම වැඩ කරවා ගත හැක. නාමල් ඇමතිතුමා ‘ඩිජිටල් ටුවරිස්ලා’ යනුවෙන් අදහස් කරන්නේ මොවුන්ට ද?

අඩු මුදලට සේවයක් හෝ වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමට අකමැති කවුද? මොවුන් වෙබ් අඩවි නිර්මාණය පමණක් නොව, පෝස්ටර් නිර්මාණය කිරීම, සමාජ මාධ්‍ය ජාලා යාවත්කාලීන කිරීම මෙන්ම කුඩා පරිමාණ සංචාරක ආයතන තුළ සියලු දෑ කරමින් ව්‍යාපාර ප්‍රවර්ධන කටයුතු වල ද නියලෙනවා මම දැක ඇත්තෙමි.

එලෙස පැමිණෙන ‘හිඟන’ සංචාරකයන්ගෙන් රටට සෙතක් නැත. මොවුන් තමන්ගේ ජීවනෝපාය සඳහා මෙරටට සංචාරය කරති. මොවුන් බොහෝවි විට කරන්නේ ‘ජීවත්වීම සඳහා රස්සාවක්’ කිරීමයි. මොවුන්ට මුදල් ලැබෙන්නේ රට තුලිනි. ඒවා ඔවුන් මේ රට තුළම වියදම් කරති. මොවුන්ගේ ප්‍රධාන අරමුණ විවිධ දුෂ්කරතා සහිතව සිය රටේ ජීවත්වනවාට වඩා, ශ්‍රී ලංකාව වැනි රටකට හෝ ගොස් පහසුකම් සහිතව හොඳින් කා බී සැනසිල්ලේ ජීවත්වීමයි. වෙනත් බොහෝ රටවල බහුලව දැකිය හැකි මොවුන්ගේ අවශ්‍යතාවය කුමක් හෝ රැකියාවක් කරමින් කීයක් හෝ උපයා ගනිමින් ජීවත්වීමයි. මෙසේ අවුරුදු 4 – 5 ක් පමණ, සමහරවිට අවුරුදු 10 – 15 ක් රැකියාව කර යම් මුදලක් රැගෙන ආපසු සිය රට යති. මෙය ඒ ඒ රටවල්වල ශ්‍රම වෙළෙඳ පොළවල පවතින ගැටලූ මග හරවා ගැනීම සඳහා හොඳ විකල්පයකි.ලංකාවේ ශ්‍රම වෙළඳපොලේ යම්කිසි ඌනතාවයක් පවතී නම් එය ‘ඩිජිටල් ටුවරිස්ලා’ ගෙන් විසඳා ගත නොහැක.

මෙලෙස විදේශීය ශ්‍රමිකයන් පැමිණීමෙන් සිද්ධ වන්නේ අපේ රටේ දරුවන්ට ලැබෙන්න තිබෙන අවස්ථාවන් අහිමි වීමයි. මෙය පසුකාලීනව වෙනත් සමාජ ගැටලු වලට ද මුල පිරීමකි. සංචාරක කර්මාන්තයෙන් මේ වන විට උපයා ගත හැකි උපරිම මට්ටමට අපි ළඟා වී තිබෙනවා ද? තවත් සංචාරක ව්‍යාපාරය දියුණු කළ නොහැකිද? රජය එක පැත්තකින් අවුරුද්දකට බිලියන ගණනින් මුදල් වියදම් කරමින් අධ්‍යාපන ප්‍රවර්ධන කටයුතු සිදුකරන අතර අනිත් පැත්තෙන් තොරතුරු තාක්ෂණ රැකියා අවස්ථාවන් සඳහා විදේශිකයන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට උනන්දු කරවයි. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් ශ්‍රී ලංකාව ෆේල් ද?

ශ්‍රී ලංකාවේ පරිගණකවේදීන් වඩාත් සංකීර්ණය වූ තාර්කික පරිගණක වැඩසටහන්කරනය (programming) සඳහා අසාමාන්‍ය උද්යෝගයක් පෙන්නුම් කරන අතර ම, විසුරුනු පද්ධති (distributed system) ආශ්‍රිත අභියෝග වලට හොඳම විසඳුම් ලබා දීම සඳහා ලොව හොඳම ශ්‍රේණිගත කිරීම්වලට ඔවුන් පත්වූ බව සහ, සමස්ත සංවර්ධන කුසලතා ඇති හොඳම රටවල් 50 අතරට ශ්‍රේණිගත වී ඇති බව ද අපනයන සංවර්ධන මණ්ඩලය වෙබ් අඩවිය (srilankabusiness.com) සඳහන් කරයි. තල් සංවර්ධන මණ්ඩලය වත් පොල් සංවර්ධන මණ්ඩලය වත් නෙවෙයි කියන්නේ…, අපනයන සංවර්ධන මණ්ඩලයයි කියන්නේ. 2020 පළමු මාස හයේදී ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාවය 32% බව ද ඩිජිටල් සාක්ෂරතාවය 49.5% ක් බව ද ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (statistics.gov.lk) පවසයි.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය හරහා රජයට මහා පරිමාණයෙන් විදේශ විනිමය ගෙන්වාගත් හැකි ක්‍රම රාශියකි. මහා පරිමාණ තොරතුරු තාක්ෂණික කලාප ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය කළ හැක. සුළු හා මධ්‍ය පරිමාණ තොරතුරු තාක්ෂණ ශිල්පීන් හෝ ආයතන සඳහා ව්‍යාපෘති ගෙන්වාගත හැකියි මාර්ගගත පද්ධති නිර්මාණය කළ හැක. දැනටමත් ලෝකෙ මෙවැනි පද්ධතීන් (Fiverr, Freelancer, Upwork, 99designs, Guru) ක්‍රියාත්මක වන අතර සමහර ශ්‍රී ලාංකික පුද්ගලයන්ද ඒවා සමග සම්බන්ධ වී විවිධ වෘත්තීන්හි නිරත වෙමින් ශ්‍රී ලංකාවට විදේශ විනිමය ද ගෙන්වා දෙති. එසේම ලොව ප්‍රධාන පෙළේ මෘදුකාංග නිෂ්පාදන බහුජාතික සමාගම් කීපයක් දැන්ටමත් සිය පර්යේෂණ සහ සංවර්ධනය මධ්‍යස්ථාන ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය කොට ඇත.

අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම යථාර්තයක් බවට පත් කිරීම උදෙසා තරුණ ප්‍රජාව ව්‍යාපාර කරා යොමු කරමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට තරුණ ව්‍යවසායකයින් 50,000 ක් බිහිකිරීමේ ‘Hope 4 Sri Lanka’ නවතම වැඩසටහන පසුගියදා මහරගම ජාතික තරුණ සේවා සභාවේදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ලාංකීය නිර්මාණශීලී තරුණ්‍යයට ව්‍යවසායකයින් ලෙස නැඟීසිටීමට මඟපෙන්වීම තුලින් ඔවුන් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීම සහ දළ ජාතික නිෂ්පාදනයට තරුණ්‍යයේ දායකත්වය මේ හරහා ලබා ගැනීමද මෙමගින් අපේක්ෂා කරයි. මේ පැත්තෙන් මෙහෙම කරන නාමල් ඇමතිතුමාට (හෝ ආණ්ඩුවට) අනෙක් පැත්තෙන් ‘ඩිජිටල් ටුවරිස්ට්’ලා ගෙන්නන්නැයි දිරච්ච ලණු දෙන්නේ කවුද?

ලංකාවේ දරුවන්ට විදේශීය රටවල ව්‍යාපෘති ගෙන්වා ගත හැකි ක්‍රමවේද රාජ්‍ය අනුග්‍රහය ඇතිව හෝ නැතිව හෝ සකස් කරන්න. උදේ 08:00 සිට සවස 05:00 දක්වා රැකියාවක් කරන මානසිකත්වයට වඩා තමාගේම ව්‍යාපාරයක්, ස්වයං රැකියාවක් ආරම්භ කරන්න දරුවන් උනන්දු කරවන්න. උගන්වන සෑම විෂය නිර්දේශයක් අතරටම ව්‍යවසායකයන් බිහිකිරීමේ ‘මන්ත්‍ර’ ඇතුලත් කරන්න. හැම දෙයක්ම පිටරටින් ගෙන්වීමේ මානසිකත්වයෙන් මිදෙන්න. පුළුවන් හැම දෙයක්ම මෙරට නිෂ්පාදනය කරන්න. මේ රට නැවත එකම වැඩබිමක් කරන්න.

ෂම්මි උයනගේ

පරිගණක මෘදුකාංග ඉංජිනේරු

shammie@email.com

******************************************

ඇත් රජු නැඳුන්ගමු සිරි දළදා කරඬුව වැඩම වීමට යන වගයි

(08.08.2021 – 09:58 +0530 – lankadeepa.lk)

නැදුන්ගමුවේ රාජා හස්තියා මහනුවර දළදා පෙරහරේ සධාතුක කරඩුව වැඩමවීම සඳහා මහනුවර බලා ගමන් අරඹා ඇත.

දින නවයක් (9) පුරා පා ගමනින් මහනුවර බලා යන හස්තියා දිනකට කිලෝ මීටර් 10 ක දුරක් ගමන් කරන බවත් දින අටක් (8) විහාරස්ථාන ඇතුලු සූදානම් කළ ස්ථානවලදී රාත්‍රීය ගත කිරීම සිදු කරන බවත් හිමිකරු ධර්මවිජය මහතා පැවසීය.

දැනට 67 වෙනි වියෙහි පසුවන රාජා හස්තියා ආසියාවේ සිටින විශාලතම ඇතා ලෙස සැලකෙන බවත් හස්තිරාජයාගේ ආරක්ෂාව පතා සෑම පෙරහරක් සදහාම පා ගමනින් රැගෙන යාම සිදු කරන බවත් හෙතෙම සඳහන් කළේය.

රටේ පවතින කොරෝනා රෝග තත්ත්වය හේතුවෙන් ජනතාව මගහරිමින් වරකාපොල දක්වා අතුරු මාර්ග ඔස්සේ රැගෙන ගොස් එතැන් පටන් මහනුවර මාර්ගයෙන් නුවර බලා ගමන් ගැනීමේ දී සහ ආපසු රැගෙන ඒමේදී හස්තියාට පොලීසිය , පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුධ හමුදාව මගින් රැකවරණය ලබා දෙන බවද වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය මහතා පැවසීය.

******************************************

රත්මලානේ මෙහෙයුමකින් කුඩු සහ ගංජා සමග දෙකක් (2) මාට්ටු

(08.08.2021 – 09:58 +0530 – lankadeepa.lk)

රත්මලාන ජයසුමන මාවත සහ වෙඩිකන්ද ප්‍රදේශවල සිදු කළ වැටලීම් දෙකකින් කේරළ ගංජා, අයිස් මත්ද්‍රව්‍ය, හොරයින් මත්කුඩු, කඩුවක්, තරාදි හා යතුරු පැදියක් සමග දෙදෙනකු (2) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

ඩුබායි රටේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘රත්මලාන කුඩු අන්ජු’ නමැත්තාගේ ගෝලයන් දෙදෙනකු (2) බව ද පොලිස් විශේෂ කාර්ය බළකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය පවසයි.

එම සැකකරුවන් දෙදෙනා (2) සමඟ කේරළ ගංජා කිලෝ 5 අධික ප්‍රමාණයක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 104 ක් හොරයින් මත්කුඩු ග්‍රෑම් 30 ක් විද්‍යුත් තරාදි 2 ක් ජංගම දුරකථන 3 ක් ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් 53,600 ක මුදලක් හා කිසිදු බලපත්‍රයක් හෝ ලිපි ලේඛනයක් නොමැති යතුරුපැදියක් (1) පොලිසිය භාරයට ගෙන ඇත.

@@@@@ කොවිඩ් පුවත් @@@@@

නිරෝධායන නීති කැඩූ යාපනයේ කෝවිල් දෙකක් (2) වසා දමයි

(08.08.2021 – am.lk)

යාපනය පේදුරුතුව ප්‍රදේශයේ පිහිටි හින්දු කොවිල් දෙකක (2) භාරකාර මණ්ඩලයන් විසින් නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පූජාවන් පැවත්වීම හේතුවෙන් අද (08) සිට දින 14 ක කාලයක් වසා තැබීමට පියවර ගත් බව පේදුරුතුඩුව සෞඛ්‍ය නිලධාරී කාර්යාලය පවසනවා.

පේදුරුතුඩුව සුපර්මඩම් ප්‍රදේශයේ මුණියප්පර් සහ සිවන් හින්දු කෝවිල්හි වාර්ෂික දේව පූජාවන් සඳහා විශාල පිරිසක් සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය නොකරමින් සහභාගී වීම පිළිබඳව සෞඛ්‍ය නිලධාරී කාර්යාලයට පැමිණිලි ලැබීමෙන් අනතුරුව එහි නිලධාරීන් විසින් මෙම පියවර ගෙන තිබෙනවා.

එහිදී සෞඛ්‍ය නිලධාරීන් විසින් අදාල කෝවිල දින 14 ක කාලයකට මුද්‍රා තැබූ අතර කොවිල් භාරකාර මණ්ඩලයන්ටද නිරෝධායනය වන ලෙසට දැනුම් දී තිබෙනවා.

පේදුරුතුඩුව ප්‍රදේශයේ දැඩි කොරෝනා අවධානමක් පවතින අතර මේ වන විටත් පුද්ගලයින් 2000 කට අධික පිරිසක් නිවෙස්හි නිරෝධායනය වෙමින් සිටින හෙයින් කිසිදු උත්සව අවස්ථාවකට සහභාගී නොවන ලෙසට සෞඛ්‍ය නිලධාරීන් විසින් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

+++++++++++++++++++++++

අපි ඉන්නේ ඉන්දියාවටත් වඩා දරුණු තැනක, අසාධිතයෝ ලක්ෂ 50 ක් සමාජයේ සැරිසරනවා (05.08.2021)

ආචාර්ය සංජය පෙරේරා චමුදිත සමරවික්‍රම සමග

+++++++++++++++++++

මෙරට පවතින අවදානම් සහගත තත්ත්වය පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සමග විශේෂ සාකච්ඡාව (06.08.2021)

+++++++++++++++++++++++

BIG FOCUS TODAY : විඩාබර සෞඛ්‍ය සේවකයින් මුහුණදෙන අසීරු අභියෝගය (08.08.2021)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *